බංග්ලාදේශ සංක්‍රමනික කම්කරුවන්ගේ වාර්ෂික මරන සංඛ්‍යාව ඉහල යද්දී හසීනා ආන්ඩුව විදේශ රැකියා සඳහා කම්කරුවන් දිරි ගන්වයි

2021 දී, විදේශයන්හි සේවයේ නියුතු බංග්ලාදේශ කම්කරුවන්ගේ දෛනික මරන අනුපාතය 5 ඉක්මවා ගොස් තිබුනු අතර, එරට නිල වාර්තාවන්ට අනුව මේ වසරේ එම රේට්ටුව දෙගුන වී ඇත. 2002-2021 දක්වා කාලය තුල බංග්ලාදේශ සංක්‍රමනික කම්කරුවන් 41,053ක ගේ මලසිරුරු නිවෙස් කරා පැමින තිබේ.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා (විකිපීඩියා)

මිය ගිය බහුතරය තරුන විය නොඉක්මවූ වයස අවුරුදු 30 ත් 35 ත් අතර වයස්වල පසුවන බවත් මරනවලින් සියයට 68.23ක් 'අස්වාභාවික' ලෙස නම්කොට ඇතිබවත්, 'වැටුප් උපයන්නන්ගේ සුබසාධක මන්ඩලය (Wage Earners' Welfare Board)' නමැති බංග්ලාදේශ රජයේ විදේශ කම්කරුවන් පිලිබද ආයතනයේ නිලධාරියෙකු පවසා ඇති බව නිව් ඒජ් පුවත් පත වාර්තා කලේය.

අකල් මරන පිලිබඳ විමර්ශනය කිරීමට එරට ආන්ඩුව කවර හෝ උත්සාහයක් දරා නැත. ඒ හේතුවෙන් පවුලේ එකම උපයන්නා මියයාමෙන් පසු පවුල්වලට ලැබිය යුතු වන්දිය පවා නොලැබී යන අතර, බොහෝ පවුල් වින්දිතයන්ගේ මරනයෙන් විනාශයට පත් වී ඇත. සෞදි අරාබියේ තත්වය විශේෂයෙන් ම දරුනු ය. එහි සිට මසකට 200ත් 250ත් අතර සංඛ්‍යාවක් ලැබෙන මල සිරුරු අතර බහුතරය කම්කරු කාන්තාවන් වේ.

කෝවිඩ් වසංගතය මරන සංඛ්‍යාව ඉහල යාමට මුලික හේතුව වී ඇත. පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබීම, සනීපාරක්ෂක සහ සෞඛ්ය පහසුකම් අහිමි වීම, රැකියා අහිමි වීම, වැටුප් කප්පාදුව සහ චන්ඩ තාපය යටතේ එලිමහනේ වැඩි කාලයක් වැඩ කිරීම ආදී දුෂ්කර කොන්දේසි යටතේ, විදේශයන්හි රැඳී සිටීමට මෙම කම්කරුවන්ට බලකෙරී ඇත්තේ, මවු රට තුල සිටින තම යැපෙන්නන් ජිවත් කිරීමට අන් මගක් නොමැති බැවිනි.

2012ත් 2019ත් අතර සියයට 4.2ක අගයක පැවති බංගලාදේශ විරැකියා අනුපාතයේ නිල අගය, 2020 දී කෝවිඩ් බලපෑම නිසා සියයට 26 දක්වා ඉහල ගොස් තිබේ. ලෝක බැංකුවේ 2017 වාර්තා අනුව බංග්ලාදේශයේ මිලියන 163 වූ මහජනතාවගෙන් සියයට12.9 ක් අන්ත දරිද්‍රතාවයේ ගිලී සිටි. වසංගතය සමයේ අපනයනයන් සඳහා ඉල්ලුම අඩුවීමෙන් මිලියන 2.28 ක කම්කරුවන්ට බලපෑම් ඇතිකල බව බිග්මේ වෙබ් අඩවිය පෙන්වාදෙයි. විකිපීඩියා ට අනුව, සුඩානයට දෙවනිවන ලොව පැයකට අඩුම වැටුප් ගෙවන රට සහ ලොව දිනකට වැඩිම පය ගනනක් කම්කරුවෙකු වැඩකරන රට බංග්ලාදේශයයි.

මෙම වසරේ බංග්ලාදේශයේ මිලියන 3.6 ක ජනතාවක් රැකියා විරහිතව සිටිනු ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගනන් බලා තිබේ. අධ්‍යාපනය, ආහාර, සෞඛ්‍යය, නවාතැන් ඇතුළු මූලික අවශ්‍යතා බොහෝ දෙනෙකුට අහිමිය. රට ස්වභාවික ආපදාවලට නිරන්තරව මුහුන දේ. ආසියානු සංවර්ධන බැංකු වාර්තා අනුව බංග්ලාදේශයේ ලෝක දරිද්‍රතා දර්ශකය වන ඩොලර් 1.9 ට අඩු දෛනික වැටුපක් ලබන සේවා නියුක්ත ජනගනය සියයට 4කි. ජාතික දරිද්‍රතා රේඛාවට පහලින් ජිවත් වන ජනගහනය මුළු ජනගහනයෙන් සියයට 20.5 කි.

ජූනි මාසය තුල බංගලාදේශයේ උද්ධමන අනුපාතය සියයට 7.6 දක්වා ඉහල ගියේය. එය වසර අටක් තුල ඉහලම අගය යි. ආහාර පිසීමේ තෙල්, තිරිඟු සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය මෙන්ම ඉන්ධන වැනි සැලකිය යුතු භාන්ඩ ප්‍රමානයක මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ලෙස ඉහලගොස් තිබේ.

කෝවිඩ්-19 වසංගතය පුපුරා යාමෙන් පසු රැකියා අහිමි වූ බංග්ලාදේශයේ විදේශගත ශ්‍රමිකයින් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ආපසු සිය රටට පැමිනි බව විදේශ රැකියා අමාත්‍ය ඉම්රාන් අහමඩ් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය. අගමැතිනි ෂික් හසීනා නායකත්වය දෙන ඔහුගේ ආන්ඩුවේ විවිධ රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම් හේතුවෙන් 2022 මැයි වන විට සංක්‍රමනික කම්කරුවන් ලක්ෂ 5.4 කට විදේශ රැකියා ලැබීමෙන් එම හිඩැස පිරවී ඇතිබව අහමඩ් ප්‍රකාශ කලේ| කම්කරුවන් විදේශවලදී මුහුනදෙන මරනීය තත්වය සම්පූර්නයෙන්ම වසං කරමිනි.

මයිග්‍රන්ට් ෆෝරම් ඒෂියා නමැති රාජ්‍ය නොවන සංවිධානය 2021 වසරේ කල අධ්‍යයනයක් මගින් වසංගතය මැද සංක්‍රමනික කම්කරුවන් මුහුනදෙන රුදුරු තත්වය එලිදරව් වේ. එම පර්යේෂනයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතරෙන් තුනක්ම වසංගතය පැතිරීමෙන් පසු ක්‍රමානුකුලව වැටුප් නොලැබීමට හෝ අක්‍රමවත් වැටුප් ලැබීමට මුහුනදී ඇත.

පර්යේෂකයන්ට හමුවූ කම්කරුවන්ගෙන් හතරෙන් තුනක්ම දන්වා සිටියේ තමන්ට තවදුරටත් රැකියාව කරගෙනයාමට නොහැකි වී ඇති බවයි. රැකියාව කල අයගෙන් හතරෙන් පංගුවකට වැටුප් කප්පාදු කර ඇත. වසංගතය හේතුවෙන් මවු රටට ගොස් යලි පැමිනි සංක්‍රමනිකයන්ගෙන් අඩක් පමන කැමැත්තෙන් තොරවම ඔවුනගේ රටවලට පිටුවහල් කර තිබේ. ඔවුන්ගෙන් අඩකට වැඩි කොටසකට නියමිත වැටුප් සහ අනෙකුත් හිමිකම් අහිමි විය.

කම්කරුවන්ගේ ජිවිත නොතකා ඔවුන් බුරුතු පිටින් විදේශයන්ට පැටවීම බංග්ලාදේශ ආන්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්වී ඇත්තේ මේ තතු තුලයි. විදේශ කම්කරු ප්‍රේෂන ආර්ථිකයේ වැදගත් කොටසක් බවට පත්වී තිබෙන සෑම රටකම පොදු ක්‍රියා පිලිවෙත බවට මෙය පත්වී තිබේ. පසුගියදා ලංකාවේ ආන්ඩුව ශ්‍රමිකයින් වැඩියෙන් විදේශගත කිරීම සඳහා වයස් සීමා නීති පවා වෙනස් කලේය.

රුසියානු යුක්රේන අර්බුදය හමුවේ බංගලාදේශයේ මුළු අපනයනයෙන් සියයට 58ක් වන යුරෝපා කලාපය වෙත කෙරෙන අපනයනයන් බලපෑමට ලක්ව ඇත. විශේෂයෙන් ම, බංගලාදේශයේ මුළු ඇඟලුම් අපනයනයෙන් සියයට 64ක් පමන වූ යුරෝපා කලාපයට කෙරෙන අපනයනය මෙම යුද්ධය තුල තර්ජනයට ලක්ව පවතී. ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත කම්කරුවන් ලක්ෂ ගනනකගේ රැකියා අනතුරට ලක්වී ඇත.

බංග්ලාදේශ ආර්ථික විද්‍යාඥයෙකු සහ චිතගොං විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වන මුයිනුල් ඉස්ලාම්, ඩීඩබ්ලිව් නමැති වෙබ් අඩවියට පවසා තිබුනේ ආනයන වියදම අපනයන ආදායමට වඩා වේගයෙන් වැඩි වන බැවින් මේ වසරේ ඩොලර් බිලියන 10 ක් පමන විය හැකි හිඟය ඉදිරි වසරවලදී වර්ධනය විය හැකි බවයි. මෙම තතු තුල විදේශ ප්‍රේෂනවල අවශ්‍යතාව මුයිනුල් ඉස්ලා ම් අවධාරනය කර තිබුනි.

බංග්ලාදේශ කම්කරුවන් විදේශයන්හි දී මියයාමේ රේට්ටුව ඉහල අගයක පැවතිය දී හසීනා ආන්ඩුව එය මුලුමනින්ම නොතකා සිටීම සම්බන්ධයෙන් වැඩෙන මහජන විරෝධය දියකර හරිනුවස්, ධනපති මාධ්‍ය පසුගියදා කියා සිටියේ මරන රේට්ටුව පහල යාමට පටන්ගෙන ඇති බවයි. මෙම වසරේ මුල් මාස තුන තුල මල සිරුරු 971 ක් (දෛනික සාමාන්‍යය 10.8) නිවෙස් කරා පැමිනි නමුත්, අප්‍රේල් මාසයේ දින 10 ක් තුල පැමිනියේ මලසිරුරු 82 ක් (දෛනික සාමාන්‍යය 8.2) පමනක්වීම මෙම කුතර්කයට සාක්ෂි ලෙස ඔවුන් ඉදිරිපත් කරයි.

එහෙත් සංක්‍රමනික කම්කරු ශ්‍රමය යොදා ගැනෙන විදේශ රටවල් මුහුනදෙන ගැඹුරු ආර්ථික අර්බුදයට ප්‍රතිචාරී වශයෙන් ක්‍රිියාත්මක කෙරෙන, වැඩවේගවත් කිරීම් සහ දැවැන්ත කප්පාදු හමුවේ නිසැකවම සිදුවනු ඇත්තේ මෙම මරන අනුපාතය තවතවත් ඉහල යාමයි. බංග්ලාදේශ කම්කරුවන් මුහුනදෙන මෙම ව්‍යසනකාරී තත්වය, මිනිස් ජීවිත වලට ඉහලින් ලාභය පිහිටුවන ම්ලේච්ඡ ධනපති ක්‍රමය තවදුරටත් මිහිමත නොපැවතියයුතු බවට බලගතු සාක්ෂියකි.