ආන්ඩුව චීන පර්යේෂන නෞකාවේ සංචාරය “කල් දමයි”

[මෙය Sri Lankan government “postpones” visit by Chinese research vessel යන මැයෙන් 2022 අගෝස්තු 13 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සඳුදා (8), ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය බීජිං වෙතින් ඉල්ලා සිටියේ යුවාන් වැන්ග් 5 චීන නෞකාව දිවයිනේ දකුනු කෙලවරේ පිහිටි හම්බන්තොට වරායට පැමිනීම දින නියමයක් නොමැතිව කල් දමන ලෙසයි. නෞකාව සැපයුම් ලබාගැනීම සහ ඉන්ධන පිරවීම සඳහා අගෝස්තු 11 සිට අගෝස්තු 17 දක්වා හම්බන්තොට නැව්ගත කිරීමට නියමිතව තිබුනි.

යුවාන් වැන්ග් 5

එක්සත් ජනපදය හා ඉන්දියාව විසින් යොදන පීඩනයේ ප්‍රතිඵලයක් වන කොලඹ අන්ඩුවේ තීරනය, කලාපය පුරා චීනය සමග වොෂින්ටනයේ වේගවත් ගැටුමේ තවත් ප්‍රකාශනයකි. චීනය යුවාන් වැන්ග් 5 චන්ද්‍රිකා ලුහුබැඳීමේ පර්යේෂන යාත්‍රාවක් බව පැවසෙන අතර, වොෂින්ටනය සහ නවදිල්ලිය එය 'ඔත්තු බලන නැවක්' ලෙස හංවඩු ගසා ඇත.

බීජිනය සහ කොලඹ අතර සබඳතා බිඳදැමීමට අධිෂ්ඨාන කර ගත් නව දිල්ලියේ පිටුබලය ලබන වොෂින්ටනය සමග යුවාන් වැන්ග් 5 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව භූ දේශපාලනික සුලි කුනාටුවකට හසුව ඇත. පසුගිය දශකය පුරා වොෂින්ටනය—ඉන්දියන් සාගරයේ මූලෝපායිකව පිහිටා ඇති—ශ්‍රී ලංකාව චීනයට එරෙහිව තීව්‍ර වන ආර්ථික හා මිලිටරි ගොඩ නැගීම සමග පෙලගැස්වීමට වඩ වඩාත් මැදිහත් වී ඇත.

මාධ්‍ය වාර්තාවලට අනුව, විදේශ අමාත්‍යාංශය ජූලි 12 වන දින යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට නැංගුරම් ලෑමට අවසර දුන්නේය. ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජපානය සහ චීනය වැනි මිත්‍ර රටවල වානිජ සහ යුධ නැව් ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිනීම සාමාන්‍ය දෙයක් බව පවසමින් එය අවසර ලබා දුන්නේය.

කෙසේ වෙතත්, සඳුදා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පැවසුවේ, “තවදුරටත් උපදේශන අවශ්‍යතා අනුව” යුවාන් වැන්ග් 5 හි සංචාරය “කල් දමන ලෙස” කොලඹ චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටි බවයි.

සැබෑ හේතු පෙන්වා දෙමින්, බ්‍රහස්පතින්දා වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේ, “ඉන්දියානු සහ එක්සත් ජනපද නිලධාරීන් ඔවුන්ගේ චීන සගයන් කෝපයට පත් කරමින්, වරායට ප්‍රවේශය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා ආන්ඩුවට දැඩි ලෙස බලපෑම් කර ඇති බව ය... හම්බන්තොටට පැමිනෙන චීන නාවික හමුදාවේ නෞකාව උපාය මාර්ගික වශයෙන් වැදගත් නොවන මුත්, එක්සත් ජනපදය හා ඉන්දියානු නිලධාරීන් තර්ක කරන්නේ එය ශ්‍රී ලංකාව ප්‍රධාන නයහිමියෙකු වන චීනයට දක්වන විශේෂ සැලකිල්ලක් ලෙස සැලකෙනු ඇති බවයි.”

ජුලි 29 මාධ්‍ය හමුවකදී ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි මෙසේ ප්‍රකාශ කලේය: “ඉන්දියාවේ ආරක්‍ෂාව සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම වර්ධනයක් ආන්ඩුව ප්‍රවේශමෙන් නිරීක්‍ෂනය කරමින් ඒවා ආරක්‍ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනී,” තවදුරටත් මෙසේ ද එකතු කලේ ය “මම හිතන්නේ මෙය පැහැදිලි පනිවිඩයක් විය යුතුය.'

පසුගිය සති කිහිපය තුල ඉන්දීය මාධ්‍ය විසින් චීන යාත්‍රාව රටේ ආරක්ෂාවට තර්ජනයක් බවට නිරූපිත වාර්තා සහ ලිපි විශාල වශයෙන් ප්‍රචාරය කර ඇත. නවදිල්ලියේ ආරක්‍ෂක විශ්ලේෂක රාහුල් බේඩි කියා සිටියේ නෞකාව “ඔත්තු බැලීම සඳහා භාවිතා කල හැකි ඉතා දියුනු සංවේදක උපකරන වලින් සමන්විත” බවයි.

අගෝස්තු 6දා, ඉන්දීය වෙබ් අඩවියක් වන ෆස්ට්පෝස්ට් පැවසුවේ යුවාන් වැන්ග් 5 යනු 'ද්විත්ව ක්‍රියාකාරී ඔත්තු යාත්‍රාවක් වන අතර එය අභ්‍යවකාශය සහ චන්ද්‍රිකා ලුහුබැඳීම සඳහාත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් සඳහාත් නිශ්චිත භාවිතයක් සහිත' බවයි. නැව, 'මිසයිල සහ රොකට් දියත් කිරීමට සහ ලුහුබැඳීමට සහාය වීම සඳහා ඉහල පෙලේ ඇන්ටෙනා සහ ඉලෙක්ට්‍රොනික උපකරන සහිත අති නවීන මිසයිල පරාසයක උපකරන නෞකාවක්' බව එය තවදුරටත් පැවසීය.

ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පැවසුවේ, චීන නෞකාවට කිලෝමීටර් 750 කට වඩා වැඩි නිරීක්ෂන පරාසයක් තිබෙන අතර එය දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කලපක්කම් සහ කූඩන්කුලම් හි පිහිටි ඉන්දියාවේ විශාලතම න්‍යෂ්ටික බලාගාර ඇතුලු දකුනු ඉන්දීය ප්‍රාන්තවල උපාය මාර්ගික ස්ථාපනයන්ට ආරක්ෂක තර්ජනයක් බව ය

මෙම අමූලික චෝදනා කිසිවක් සනාථ වී නොමැත.

ශ්‍රී ලංකාවේ දකුනේ පිහිටි ගැඹුරු ජලය සහිත හම්බන්තොට වරාය අප්‍රිකාව, මැද පෙරදිග, නැගෙනහිර සහ උතුරු ආසියාව සහ ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රධාන නැව් මාර්ගයෙහි ඉහලින්ම පිහිටා ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක නයක් හරහා චීන සමාගමක් විසින් එය ඉදිකරන ලද අතර, ශ්‍රී ලංකා ආන්ඩුවට එම නය ආපසු ගෙවීමට නොහැකි වූයෙන් නය හුවමාරු ගිවිසුමක් මගින් 2017 දී එය වසර 99 කට චීනයට බදු දුන්නේය.

වොෂින්ටනය සහ ඉන්දියාව වහාම එම විධිවිධානයට එරෙහිව ව්‍යාපාරයක් ආරම්භ කල අතර, චීනය කලාපය තුල සිය බලපෑම වැඩිකර ගැනීම සඳහා වරාය ව්‍යාපෘතිය “නය උගුලක්” ලෙස යොදාගෙන ඇති බවටත් වරාය හමුදා කඳවුරක් ලෙස භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවටත් චෝදනා කලේය.

බීජිනය මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, තමන්ට ඇත්තේ වානිජ අවශ්‍යතා පමනක් බව ප්‍රකාශ කරමින් චීනයට එරෙහිව තීව්‍ර වන එක්සත් ජනපද ප්‍රකෝපකරන මධ්‍යයේ එය ස්වකීය මූලෝපායික හා මිලිටරි අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට උත්සාහ කරයි. එක්සත් ජනපදයේ සහ ඉන්දියාව වැනි එහි මූලෝපායික හවුල්කරුවන්ගේ චෝදනා නරුම හා කුහක ය. වොෂින්ටනයට පමනක් ලොව පුරා විදේශීය හමුදා කඳවුරු 700 කට වඩා තිබේ.

යුවාන් වැන්ග් 5 හම්බන්තොට නැව්ගත කිරීම නතර කරන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් වොෂින්ටනය සහ නවදිල්ලියට එරෙහිව චීනය තියුනු ප්‍රතිචාරයක් දක්වා ඇත. අගෝස්තු 6 වෙනිදා, එක්සත් ජනපද ගැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ ඉල්ලීම පරිදි, චීනයේ තානාපති ක්වී ෂෙන්හොං හමුවී, ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා තිරය පිටුපස රැස්වීමක් පැවැත්වීය. එම සාකච්ඡා පිලිබඳ කිසිදු තොරතුරක් නිකුත් කර නොමැත.

යුවාන් වැන්ග් 5 ගේ පැමිනීම කල් දැමිය යුතු බවට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ඉල්ලීමෙන් පසුව, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බිං ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ආරක්‍ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් “ශ්‍රී ලංකාවට එල්ලකරන නිරර්ථක පීඩනය” නතර කරන ලෙසයි.

ඉන්දියාවේ නම සඳහන් නොකල ද ඔහුගේ විවේචනය පැහැදිලිවම එල්ල වූයේ ඊට එරෙහිවය. “ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයකි. එයට තමන්ගේම සංවර්ධන අවශ්‍යතා අනුව වෙනත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගත හැකිය,” ඔහු පැවසීය. රටේ වර්තමාන පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකා ආන්ඩුවට බලපෑම් කිරීම “සදාචාරාත්මකව වගකීම් විරහිත” බව ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ අර්බුදය ගැඹුරු වන විට ආර්ථික ආධාර සැපයීමට නවදිල්ලිය මෑත මාසවල මැදිහත් විය. තීරනාත්මක ආහාර, ඉන්ධන, ඖෂධ සහ පිහුම් ගෑස් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක නය මෙයට ඇතුලත් වේ, එය, ඉන්දීය ඇමති නරේන්ද්‍ර මෝඩි 'අපට ජීවන හුස්මක් ලබා දී ඇති' බව පසුගිය සතියේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ප්‍රකාශ කිරීමට ජනාධිපති වික්‍රමසිංහට තල්ලුව දුනි.

කෙසේ වෙතත්, මෙම මූල්‍ය ආධාරය හුදෙක් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය බේරා ගැනීමට නොව කොලඹ මත ඉන්දියාවේ බලපෑම ශක්තිමත් කිරීමට ය. ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට කාන්දු වීම වැලැක්වීමට නව දිල්ලිය ද උනන්දු වෙයි, එහි ඉන්දීය ආන්ඩුවට එරෙහිව මහජන විරෝධය වැඩෙමින් පවතී.

මෝදි ආන්ඩුව බීජිනයෙන් ඈත් වන ලෙස ශ්‍රී ලංකාවට ක්‍රමානුකූලව බලපෑම් කර ඇත. පසුගිය වසරේ චීනය විසින් දකුනු ඉන්දීය වෙරලට කිලෝමීටර් 50 ක් ඈතින් යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ඉදිකිරීම ඉන්දියාව විසින් කනස්සල්ල පල කිරීමෙන් පසු අත්හිටුවන ලදී.

චීනයෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමට උනන්දු වන අතර, දිගුකාලීන එක්සත් ජනපද ගැති ගෝලයෙකු වන වික්‍රමසිංහ, එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ භූ දේශපාලනික ඉල්ලීම් වලට තියුනු ලෙස සංවේදී ය. විපක්‍ෂයේ දිටියදී, වික‍්‍රමසිංහ සහ ඔහුගේ එක්සත් ජාතික පක්ෂය වොෂින්ටනයේ ඉල්ලීම්වලට, විශේෂයෙන්ම 2009 දී බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි කොලඹ වාර්ගික යුද්ධය අවසන් වීමෙන් පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව චීනයෙන් ඈත් වීම සඳහා සහාය දුන්නේ ය.

තිරය පිටුපස, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, වික්‍රමසිංහගේ සහාය ඇතිව, මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂගේ පාලක පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පොලඹවා ගැනීමට කුමන්ත්‍රනය කර, 2015 ජනවාරි ජනාධිපතිවරනයේදී රාජපක්ෂට වල කැපීමට සහ සිරිසේන ජනාධිපති පුටුවට පත් කිරීමට උදව් කලාය.

හම්බන්තොට වරායට චීන යාත්‍රාව අවහිර කිරීම හුදකලා සිදුවීමක් නොව චීනයට එරෙහි බයිඩන් පරිපාලනයේ ආක්‍රමනශීලී ප්‍රකෝපකරනයේ තවත් අංගයකි.

Loading