ලාභ ශ්‍රමය සඳහා පාසල් සිසුන් රැකියාවල යෙදවීමේ වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයට එරෙහිවෙමු! අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වදිමු!

වයස අවුරුදු 16 ට වැඩි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෞද්ගලික අංශයේ රැකියාවන්හි යෙදවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර පසුගිය සතියේ ප්‍රකාශ කලේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ මෙම පියවර පාසල් දරුවන් අධ්‍යාපනයෙන් විතැන් කොට ඔවුන් ලාභ ශ්‍රම සූරාකෑමට විවෘත කිරීමේ මෙන්ම සමස්ත නිදහස් අධ්‍යාපනය අතු ගා දැමීමේ විනාශකාරී පියවරක් බව කියා සිටින ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව, ආන්ඩුවේ මෙම ප්‍රතිගාමී පියවරට එරෙහි වන ලෙසත්, කවර හෝ ආර්ථික දුෂ්කරතාවයකින් තොර ව අධ්‍යාපනය ලැබීම සඳහා සෑම ලමයෙකු ම සතු අයිතිය සුරක්ෂිත කිරීමට පෙරට එන ලෙසත්, දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

“අධ්‍යාපනය ලබන අතරතුර මුදල් උපයා ගැනීමට තරුනයන්ට අවස්ථාව සලසා දීමේ ඉදිරි පියවරක්” ලෙස මෙය පින්තාරු කිරීමේ නරුම ප්‍රයත්නයක යෙදී සිටින ආන්ඩුව සහ ධනපති මාධ්‍ය සංස්ථාපිතය, මහජන විරෝධය වලකනුවස්, දරුවන් රැකියාවේ යොදවන්නේ දින හතරක් හෝ පහක් වශයෙන් සතියකට පැය 20 ක් පමනක් යයි කියා සීටී.

මෙය තුච්ඡ ප්‍රලාපයකි. බාල වයස්කාර දරුවන් රැකියාවල යෙදවීම වැලැක්වීමේ නීති පැවතිය දී, දුගී පවුල්වල වයස අවුරුදු 16ට අඩු දරුවන් පවා තම පවුලේ වියදම් පිරිමසා ගැනීම සඳහා විවිධ රැකියාවලට යොමු වීමේ ප්‍රවනතාව අපි මීට පෙර සිට ම අත් දැක ඇත්තෙමු.

ජාතික ලමා රක්ෂන අධිකාරියේ දත්තවලට අනුව වාර්ෂික ව පාසල් හැර යන සංඛ්‍යාව 2020 වන විට 20,000 ක් දක්වා ඉහල නැග තිබුනි. 2017 වන විට ලංකාවේ පාසල් යායුතු වයසේ දරුවන්ගෙන් සියයට 9.9 ක් හෙවත් 452,661ක් පාසල් නොයන බව තවත් පරීක්ෂනයකින් හෙලිදරව් විය. ගොවි, ධීවර ජනයා අතරත්, නාගරික දිලිඳු ජනයා හා වතු කම්කරුවන් අතරත් මේ තත්වය බරපතල ය.

දැන් වර්ධනය වී ඇත්තේ මෙම තත්වයේ සීඝ්‍ර ඉහල යෑමකි. ප්‍රවාහන ගාස්තු, ආහාර පාන වියදම් හා පාසල් පොත්පත්, ලිපි ද්‍රව්‍ය, සපත්තු, නිල ඇඳුම් සඳහා යන වියදම් දරා ගත නො හැකි ව රටපුරා පාසල් ශිෂ්‍යයන්ගෙන් සියයට 30-40 ත් අතර ප්‍රතිශතයක් පාසල් නොයන තත්වයක් උද්ගත වී තිබේ.

රටක් රටක් පාසා ධනපති පාලක පන්තිය ගෝලීය කොවිඩ්-19 වසංගතයේ විනාශයට මහජනයා ගොදුරු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ ද පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පසුගිය වසර දෙක පුරා කඩාකප්පල් කෙරුනු අතර දරුවන් තවදුරටත් වසංගතයට ගොදුරු කෙරෙමින් පවතී. මේ හේතුවෙන් දිගුකාලීන ව විභාග ප්‍රමාද වීම සහ විශ්වවිද්‍යාල වසා තැබීම යන කරුනු ද දරුවන් අධ්‍යාපනය හැර යෑමට හේතු වී තිබේ.

ආන්ඩුව ලමා ශ්‍රම සූරාකෑම වේගවත් කිරීමට සැරසෙන්නේ මේ තත්වය තුලයි. ආන්ඩුවේ එම එල්ලය පසුගිය සතියේ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීමත් ප්‍රකාශයට පත්විය.

“ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් නිර්මානය කිරීම, ජාත්‍යන්තර ශ්‍රම වෙලඳපොල තත්වයන්ට පාසල් වියේ දී ම හුරු කරවීමත්, අධ්‍යාපන කටයුතුවල දී ස්වාධීනත්වයේ අභිමානය තරුන තරුනියන් තුල ජනිත කරවීම” මෙම පියවරේ මූලික අරමුනු යයි එහි දී ප්‍රකාශ විය.

වයස අවුරුදු 16 ට වැඩි නව යෞවනයන් “තරුන තරුනියන්” ලෙස අර්ථ කථනය කිරීම පවා සාවද්‍ය ය. පිලිගත් මතය වනුයේ වයස අවුරුදු 18 වන තෙක් යමෙකු ලමයෙකු ලෙස සැලකිය යුතු බවයි. එබැවින්, වයස අවුරුදු 18 වන තෙක් ලබා ගන්නා ශ්‍රමය “ලමා ශ්‍රමය” යි. “අධ්‍යාපන කටයුතු වලදී ස්වාධීනත්වයේ අභිමානය” ජනනය කරනු වෙනුවට, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ලමා ශ්‍රමය අර්ථ දක්වනු ලබන්නේමත්, “ලමුන්ට ඔවුනගේ ලමා විය, ඔවුනගේ විභව හැකියාවන් සහ ආත්මාභිමානය අහිමි කරන සහ ඔවුනගේ මානසික සහ කායික සංවර්ධනයට හානිකර වූ කාර්යයක්” ලෙසයි.

“ශ්‍රම වෙලඳපලට ගැලපෙන අධ්‍යාපනයක්” සඳහා තාක්ෂනික විෂයයන් අවශ්‍යයි අනුප්‍රාප්තික ආන්ඩු හඬ තලන නමුත් එම විෂයයන් වැඩි දුරටත් හැදෑරීමට විශ්වවිද්‍යාල මට්ටමේ පහසුකම් සපයා නැත. ඔවුන්ට නිසි රැකියා අවස්ථා සලසාලීමේ හැකියාවක් ඇත්තේ ද නැත. ලංකාවේ තරුන විරැකියාව මේ වන විට සියයට 28 දක්වා ඉහල නැග තිබේ.

නානායක්කාර කියන “ජාත්‍යන්තර ශ්‍රම වෙලඳපල” හි තත්වය කුමක් ද ? ලෝක ධනේෂ්වර ක්‍රමයේ පෙර නොවූ විරූ අර්බූදය යටතේ ලෝකයේ මිලියන 200 ක පමන ජනයා විරැකියාවට ගොදුරු කර ඇත. ලෝක ශ්‍රම බලකායෙන් බහුතරයක් යෙදී ගන්නේ තාවකාලික අනාරක්ෂිත රැකියාවල ය. විශ්‍රාම වැටුප්, සෞඛ්‍යාරක්ෂන වැනි අයිතීන් බරපතල ලෙස කප්පාදු කර ඇත. ලෝක ධනවාදයේ මෙම අර්බුදය කෝවිඩ් වසංගතය මගින් හා ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලයන් රුසියාවට එරෙහි ව යුක්ක්‍රේනය තුල කර ගෙන යන යුද්ධය මගින් තවත් ගැඹුරු කෙරෙමින් පවතී.

ලංකාවේ දිග හැරෙන තත්වය මෙම අර්බුදයේ එක් තියුනු ප්‍රකාශනයක් පමනි. තේ, ඇඟලුම් වැනි අංශවල ලංකාවේ අපනයන ආදායම් හා සංක්‍රමනික කම්කරුවන්ගේ විදේශ ප්‍රේෂන පහල ගොස් තිබේ. එසේ ම අර්බුදයට පිලියම් ලෙස පැවති රාජපක්ෂ ආන්ඩුව මෙන්ම දැන් වික්‍රමසිංහ ආන්ඩුව ගෙන යන ආනයන සීමා කිරීම් රට පුරා ගොවියන්ට, ධීවරයන් හා සුලු ව්‍යාපාරිකයන්ට මරු පහරක් එල්ල කොට තිබේ. ප්‍රතිඵලය වී ඇත්තේ මිලියන ගනනක රැකියා අතු ගෑවී යාමකි.

මෙම දැවැන්ත විරැකියාව හේතුවෙන් රැකියා සඳහා ඇති කර තිබෙන ආන්තික තරඟකාරිත්වය වැටුප් මට්ටම් සුවිසල් ලෙස පහත දැමීමේ වාසිය ව්‍යවසායකයන්ට අත්කර දී ඇත. පාසල් දරුවන් ශ්‍රම බලකායට එක් කිරීමෙන් ධනපති පාලක පංතිය අපේක්ෂා කරන්නේ, වඩාත් අඩු වැටුප් වලට ඔවුනගේ ශ්‍රමය සූරා කෑමයි.

ආන්ඩුවේ මෙම ප්‍රතිගාමී පියවරට අනුපූරක ව ධනපති මාධ්‍ය බිස්ස වැඩ අරඹා තිබේ. ඩේලි නිව්ස් පුවත් පත අගෝස්තු 15 දා කතුවැකියෙන් කියා සිටියේ, ශිෂ්‍යයන් රැකියාවලට යොමු කිරීමෙන් “පාරවල්වල උද්ඝෝෂන කරමින් කාලය නාස්ති කිරීම” වැලකෙන බව සහ “මුදලක් ඉපයා ගැනීම කොතරම් අසීරුද” යන්න තේ‍රුම් කර දිය හැකි බවයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට රැකියා කිරීම අනිවාර්ය කිරීමටත්, රුපියල් 5,000 ක සොච්චම් ශිෂ්‍යාධාරය කපා දැමීමටත් කතුවැකිය උද්ඝෝෂනයේ නිරත වෙයි.

ආන්ඩුවේ මෙම ප්‍රහාර නිදහස් අධ්‍යාපන කප්පාදුව සමග එකට ගමන් කරයි. පසුගිය දශක දෙකක් පුරා දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.5 ක් පමන දක්වා අධ්‍යාපන වියදම් අඛන්ඩ ව කප්පාදු කර ඇත. විශ්වවිද්‍යාල සඳහා ඇතුලත් කර ගත හැක්කේ විභාගය සමත් පිරිසෙන් සියයට 15-20 අතර ප්‍රතිශතයකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තම වියදම් සඳහා දැනටමත් විවිධ දුෂ්කර කොන්දේසි යටතේ රැකියාවල නිරත වී සිටින අතර ආන්ඩුවේ උත්සාහය එය තවත් පුලුල් කිරීම මගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබා දෙන ශිෂ්‍යාධාරය ද කප්පාදු කිරීමයි.

ආන්ඩුවේ මෙම ප්‍රහාරයට ඊනියා විරුද්ධ පක්ෂ නිහඬතාවයෙන් සහයෝගය දෙති. මෙම ප්‍රහාරය ද ඇතුලු සියලු ප්‍රහාරයන්ගේ මූලය වන අර්බුද ග්‍රස්ත ධනපති ක්‍රමයට සහ එම ප්‍රහාර ක්‍රියාවට නංවන ධනපති ආන්ඩුවට එරෙහි ස්වාධීන දේශපාලන ප්‍රතිප්‍රහාරයකින් කම්කරු පංතිය වලකා, ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙලට කම්කරුවන් තල්ලු කෙරෙන ප්‍රතිගාමී භූමිකාවක ලංකා ගුරු සංගමය (ලංගුස) ඇතුලු ගුරු සංගම් යෙදී සිටිති.

ආන්ඩුවේ නව ප්‍රහාරයේ දුරදිග යන ඇඟවුම් වසන් කරන ලංගුස ප්‍රධාන ලේකම් ජෝස්‍ෆ් ස්ටැලින්, “ලමා ශ්‍රමිකයන් ලෝකය පුරා පිටු දැක තියෙද්දි ආන්ඩුව දරුවන්ට රැකියා කරන්න කියනවා” යයි පවසමින් මාධ්‍ය හමුවේ පුහු විවේචනයක් ඉදිරිපත් කලේ ය. ජනතා විමුක්ති පෙරමුනට අයත් ලංකා ගුරු සේවා සංගමයේ නායක මහින්ද ජයසිංහ, වයස අවුරුදු 16 න් ඉහල ලමුන් රැකියා වලට යොමු කිරීම සම්බන්ධයෙන් මුලුමනින්ම නිහඬ ය.

දරුවන් අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවල නිරත විය යුතු නොවේ. ඔවුන්ට ඔවුන්ට ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා කවර හෝ ආර්ථික අසීරුතාවයකින් තොර ව ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථා තිබිය යුතු ය. නමුත්, ධනේෂ්වර ක්‍රමය යටතේ ලෝකය පුරා මහජනයාට උරුම කරමින් ඇත්තේ, අධ්‍යාපනය ඇතුලු සියලු සමාජ අයිතීන් අහිමි කිරිම, නිමක් නැති වසංගත, පාරිසරික විනාශයන්, ආර්ථික අර්බුදය, සමාජ කාලකන්නිභාවය සහ යුද්ධය පමනි.

තම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුලු අනෙකුත් අවශ්‍යතා සපුරාලිය හැකි ශිෂ්ඨසම්පන්න ජීවිතයකට සරිලන වැටුපක් ලබා ගැනීම, බල ශක්ති, වාරිමාර්ග, නිවාස, අධ්‍යාපන සහ සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රයන්හි නව ව්‍යාපෘති ආරම්භ කරමින් මිලියන ගනනින් රැකියා උත්පාදනය කොට විරැකියාව අවසන් කිරීම, වේගයෙන් ඉහල යන උද්ධමනය පාලනය කිරීම, යුද්ධය සහ පරිසර විනාශය නතර කිරීම කම්කරු පංතියේ දැවෙන අවශ්‍යතාවන් ය.

ඒවා සාක්ෂාත් කල හැක්කේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත සිදු කෙරෙන ධනේශ්වර නිෂ්පාදනය ගෝලීය පරිමාන ව අහෝසි කොට නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පංති පාලනය යටතේ ජනසතු කොට මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත ගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීමෙන් පමනි.

මෙම ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන වෘත්තීය සමිති සපුරා එරෙහි ය. එබැවින්, එම වැඩපිලිවෙලට සටන් කිරීම සඳහා වෘත්තීය සමිති වලින් ස්වාධීන ව, අප විසින් පිහිටුවා ගෙන ඇති ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව වැනි ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක ම, වැඩබිමක ම, පාසලක ම සහ නිවස්නා ප්‍රදේශයක ම පිහිටුවා ගැනීමට කම්කරුවන්, තරුනයන් සහ ගම්බද ජනයා පෙරට පැමිනිය යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) අප්‍රේල් 07 ප්‍රකාශයෙන් පෙන්වා දුන් පරිදි,

මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!', 'සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!', 'බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!', 'දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු!', 'ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!' සහ 'ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු!' සහ 'ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!' යන ඉල්ලීම් මත එකී ක්‍රියාකාරී කමිටු සටන් වැදියයුතු යැයි අපි යෝජනා කරමු.

ධනපති ක්‍රමයේ ප්‍රහාරවලට හා වෘත්තීය සමිතිවල ද්‍රෝහි ක්‍රියාකලාපයට එරෙහි ව සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කර ඇති ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක වැඩපිලිවෙල යටතේ කම්කරුවන් ස්වාධීන ව බලමුලු ගැන්වීමට අපගේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව සටන් වදී.

එහි කොටසක් ලෙස, වික්‍රමසිංහ ආන්ඩුව පෙරට දමා ඇති සර්ව-පාක්ෂික යෝජනාවලට එරෙහි ව කම්කරු පන්තිය හා ගම්බද ජනයා බලමුලු ගන්වා ගනිමින් ඉහත සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට නංවන කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ ඉදිරිදර්ශනය මත සසප ප්‍රකාශයට පත් කර ඇති කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් පෙරට ගැනීම සඳහා අප හා ඒකාබද්ධ වන ලෙස සියලු කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන්ට කැඳවුම් කර සිටිමු.

Loading