“වැඩ කරන්න” නැත්නම් “ගෙදර යන්න” යයි ජනාධිපතිවරයා රාජ්ය අංශයේ සේවකයන්ට විධානය කරයි

[මෙය Sri Lankan president demands public sector employees “work” or “quit” මැයෙන් 2022 අගෝස්තු 26 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අගෝස්තු 21දා අනුරාධපුරයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නිවරුදි ව තම රාජකාරී ඉටු නො කරන රාජ්‍ය අංශයේ කම්කරුවන් වහා ම සේවයෙන් ඉවත් වන්නැයි විධානය කලේ ය.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

රාජ්‍ය අංශයේ සේවකයන් එල්ල කර ගනිමින් වික්‍රමසිංහ, “වැඩ කරනවා නම් වැඩ කරන්න. නැතිනම් ගෙදර යන්න. අපි නිකං ගෙවන්න ලෑස්ති නෑ” යි වියරු සහගත ලෙස ප්‍රකාශ කලේ ය.

මේ වසරේ දී ලංකාවේ ආර්ථිකය සියයට 8කින් හැකිලෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවී ය. ඒ අතර ම, කෘෂිකාර්මික සංවර්ධනය හා සංචාරක කර්මාන්තය හරහා මෙම යෝධ අර්බුදය විසඳෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රෝඩාකාරී ලෙස කියා සිටියේ ය.

වික්‍රමසිංහ මෙම තර්ජනාත්මක ප්‍රකාශයන් සිදු කලේ ප්‍රාදේශීය රැස්වීමක දී වුවත් ඒවායි ප්‍රකාශයට පත්වී ඇත්තේ, නව ඇප නයක් සඳහා පූර්ව කොන්දේසිය ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් බල කරනු ලබන නිර්දය ප්‍රහාරයන් ය.

ලංකාවේ ආන්ඩුව “නය තිරසරභාවයේ” පියවරයන් පනවන තෙක්, එවන් නයක් ප්‍රදානය නො කරන බව ජාමූඅ යලි යලිත් අවධාරනය කර ඇත. වික්‍රමසිංහ වනාහි ජාමූඅ රුදුරු විධානයන් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාවට නංවා ඇති කුප්‍රකට පුද්ගලයෙකි.

වැඩි දුර සාකච්ඡා සඳහා ජාමූඅ නියෝජිත කන්ඩායමක් බදාදා කොලඹට පැමිනියේ ය. රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීම, රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම, අඩු ආදායම්ලාභී පවුල් ඇතුලත් වන ලෙස බදු ජාලය පුලුල් කිරීම සහ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා අනෙකුත් තීරනාත්මක සමාජ සේවාවන් සඳහා රාජ්‍ය වියදම් හා සහනාධාර කපා දැමීම ආදී පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරනය කර තිබේ.

රාජ්‍ය අංශයේ කම්කරුවන් කුසීතයන් ලෙසත් රාජ්‍ය වියදමට දැරිය නො හැකි නාස්තියක් ලෙසත් වික්‍රමසිංහ කරන හෙලාදැකීම් අලුත් දෙයක් නො වේ. ඒවා වනාහි, ජාමූඅ විසින් ඉල්ලා සිටින මහා පරිමාන රැකියා විනාශය හා වැඩ වේගවත් කිරීම් සාධාරනීකරනය කිරීමට ආන්ඩුව ගෙන යමින් සිටින ප්‍රචාරනයෙහි කොටසකි.

ලංකාවේ ආන්ඩුව සැලසුම් කරමින් සිටින “ප්‍රතිසංස්කරන වැඩසටහන” පිලිබඳ ව, ජූනි මාසයේ දී, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ඉඟියක් ලබා දුන්නේ ය.

“වර්තමාන රාජ්‍ය අංශය සමග ඉදිරියට යා හැකි මාවතක් අපට නැහැ. රාජ්‍ය අංශයේ රැකියා දරාගත හැකි උපරිමය 500,000 හෝ වැඩිම වුනොත් 800,000 ක්.” යයි ඔහු ප්‍රකාශ කලේ ය. රැකියා මිලියනයකට ආසන්න ප්‍රමානයක් විනාශ කිරීම කොලඹ ආන්ඩුවේ ඉලක්කය යි.

මේ ප්‍රකාශයෙන් පසුව, මායාදුන්නේ රාජ්‍ය අංශයේ සේවකයන්ට වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදෙස් රැකියාවලට යොමු වීමට අවසර ලබා දෙන චක්‍රලේඛ නිකුත් කලේ ය. මෙයින් විදෙස් රටවල රැකියා පතා රාජ්‍ය අංශයේ කම්කරුවන් අතර වහවහා යොමුවීමක් ආරම්භයේ දී සිදුවුව ද, ගෝලීය වෙලඳපොලට ලංකාවේ රැකියා අහිමි වන රාජ්‍ය අංශයේ යෝධ සේවක සංඛ්‍යාව අවශෝෂනය කර ගනිමට නොහැකි වනු ඇත.

විශාල පිරිසක් දරිද්‍රතාවට හා කුසගින්නට ඇද දමනු ඇත්තා වූ අනෙකුත් රැකියා ඝාතනයන් හා අයවැය කප්පාදු කිරීමේ සැලසුම්, දැනට කැබිනට් මන්ඩලය විසින් සාකච්ඡා කරනු ලැබෙමින් පවතී.

මේ වසරේ අපේක්ෂිත දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8ක් වන අයවැය හිඟය, 2023 දී සියයට 6.8ක් දක්වා කප්පාදු කිරීමට ආන්ඩුව සැලසුම් කරන බව, අඟහරුවාදා මාධ්‍ය වෙත කතා කල කැබිනට් ප්‍රකාශකයෙක් කීවේ ය.

රජයට අයත් ව්‍යවසායයන් “ප්‍රතිව්‍යුහගත කිරීම,” සමහර “පාඩු ලබන” ආයතන වසා දැමීම සහ ඊනියා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ ක්‍රමයක් අනුගමනය කිරීම ඇතුලු ව බදු ඉහල දැමීමේ හා පිරිවැය තව දුරටත් කප්පාදු කිරීම් මෙයට අඩංගු වනු ඇත. මෙම ම්ලේච්ඡ පියවරයන්වල පලමු පියවර ක්‍රියාවට දැමෙනු ඇත්තේ, දහස් ගනනක් සේවයේ යෙදී සිටින රජයට අයත් මාධ්‍ය ආයතනයන් තුල ය.

දැනට සේවකයන් 26,000ක් සේවයේ නිරත ලංකා විදුලිබල මන්ඩලයට (ලංවිම) අවශ්‍ය වන්නේ සේවකයන් 5,000ක් පමනක් බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මෑතක දී ප්‍රකාශ කලේ ය. ලංවිම හා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (සීපීසී) “ප්‍රතිව්‍යුහගත” කිරීමට අවශ්‍ය පියවරයන් යෝජනා කිරීම සඳහා ඔහු දැනට මත් කමිටුවක් පත්කර ඇත. සීපීසී කම්කරුවන් දහස් ගනනක් අගෝස්තු 22දා මෙම පියවරයන්ට එරෙහි ව විරෝධතාවේ යෙදුනා හ. සේවකයන් 4,600ක් පමන සේවයේ යොදවන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා සේවකයන් 2,700ක් පමන සිටින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (රක්ෂන සංස්ථාව) ද පුද්ගලීකරනය සඳහා ඉලක්ක කෙරී ඇත.

නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය සහ අනෙකුත් මූලික සමාජ සේවාවන් තුල දැඩි සේවක හිඟයන් පැවතුන ද රාජ්‍ය අංශයට නව බඳවාගැනීම් තව දුරටත් සිදු නො කරන බව ආන්ඩුව නිවේදනය කර ඇත.

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් මහා පරිමානයෙන් ඉහල යමින් තිබුන ද සියලු රාජ්‍ය අංශ කම්කරුවන්ගේ වැටුප් එකතැන පල්වෙමින් තිබේ. පසුගිය මාසයේ දී නිල උද්ධමනය සියයට 60 ඉක්මවා නැගුනු අතර, ආහාර උද්ධමනය සියයට 90 කරා ඉහල ගියේ ය.

වැඩබර ඉහල දමමින් හා රෝගීන්ගේ සෞඛ්‍යය අනතුරේ හෙලමින්, සෞඛ්‍ය කම්කරුවන්ගේ අතිකාල ද පහත හෙලනු ලැබ ඇත. සිය අතිකාල ගෙවීම් හා දීමනා කප්පාදුවට විරෝධය පලකිරීම සඳහා රජයේ මුද්‍රන දෙපාර්තමේන්තුවේ කම්කරුවෝ බදාදා වැඩ වර්ජනය කල හ.

ශ්‍රී ලංකා ආන්ඩුවේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය (එස්එල්ජීඕටීයූඒ) හා ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සේවා සමිතිය (එස්එල්ඩීඕඑස්‍යූ) වික්‍රමසිංහ රාජ්‍ය අංශ කම්කරුවන්ට එල්ල කල මඩ ප්‍රහාරවලට අභියෝග කලේ නැත.

එවෙනුවට, එස්එල්ජීඕටීයූඒ සභාපති ප්‍රදීප් බස්නායක පැවසුවේ, “උපරිම කාර්යක්ෂමතාවෙන් යුතු ව රාජ්‍ය සේවකයන්ට වැඩ කල හැකි පරිදි පද්ධතිය සූදානම් නැත” යනුවෙනි . “අනෙක් සෑම ක්ෂේත්‍රයක මෙන් ම රාජ්‍ය සේවය තුලත් යෝග්‍ය පරිදි තමන්ගේ රාජකාරිය නො කරන අතලොස්සක් ඉන්න පුලුවන්. අපි ඒක නෑ කියන්නේ නැහැ” යි කියමින්, එස්එල්ඩීඕඑස්‍යූ නියෝජිතයෙක් වික්‍රමසිංහගේ අදහස් අනුමත කලේ ය.

දැරිය නො හැකි ජීවන වියදමට විරෝධය පලකරමින් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින්, පසුගිය මාස හතර පුරා මිලියන ගනන් කම්කරුවෝ හා දුගීහු යෝධ විරෝධතා හා වැඩ වර්ජනවල නියැලී ගත්හ.

රාජපක්ෂට රටින් පලා යාමට හා ඔහුගේ තනතුරින් ඉල්ලා අස්වීමට බලකෙරුනු අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටු බලය ලත් වෘත්තීය සමිති, මෙම පෙර නුවූ විරූ ව්‍යාපාරය පාවා දුන්නේ, සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (දෙජාස) යන විරුද්ධ පක්ෂවලට එය ගැටගසමිනි.

මින් සිදුවූයේ, මහජනයා මුහුන දෙන ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්න කිසිවක් විසඳා නැති නමුත්, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට වඩ වඩා මර්දනීය ප්‍රහාර සූදානම් කිරීමට හා දියත් කිරීමට ලංකාවේ නව ජනාධිපතිවරයාට කාලය ලබා දීමයි.

මේ සතියේ දී, ත්‍රස්ත-විරෝධී නීති යටතේ ශිෂ්‍ය නායකයන් තිදෙනෙකු රඳවා ගැනීමට වික්‍රමසිංහ පියවර ගත්තේ, ඔහුගේ පාලන තන්ත්‍රයෙහි කප්පාදු වැඩසටහනට එන සියලු විරුද්ධත්වයන් අනුකම්පා විරහිත ව මැඩීමට තමන් සූදානම් බවට පෙන්නුම් කරමිනි.

සජබ, ජවිපෙ හා දෙජාස ඇතුලු සියලු විරුද්ධ පක්ෂවලට ද වෘත්තීය සමිතිවලට හා ව්‍යාජ-වමට ද ජාමූඅ විධානයන් සමග මූලික වෙනස්කම් නැත.

කම්කරුවන්ට හා දුගීන්ට සිය රැකියා, වැටුප්, ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවල නිෂ්පාදනය හා බෙදාහැරීම මත කම්කරු-පන්තික පාලනය ස්ථාපිත කිරීමෙන් පමනි. බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අල්ලා ගැනීම, බැංකු, ප්‍රධාන සංගත හා වතු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සහ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම මේ සඳහා අවශ්‍ය කරයි.

මේ ක්‍රියා මාර්ගය සඳහා සටන් වැදීමට, කම්කරු පන්තිය ගම්බද දුගීන් සමග සන්ධානගත ව සිය ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගන්වා ගත යුතු ය.

වැඩපොල, වතු හා ප්‍රධාන ආර්ථික මර්මස්ථාන මෙන් ම ගම්බද ප්‍රදේශවල ද වෘත්තීය සමිති හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව, කම්කරුවන් හා දුගීන් තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටී.

මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් සමන්විත වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවන ලෙස සසප ඉල්ලා සිටී. සර්ව-පාක්ෂික ධනපති පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමට ලංකාවේ පාලක ප්‍රභූව දරන මංමුලා සහගත ප්‍රයත්නයන්ට විරුද්ධ ව, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන විප්ලවවාදී අරගලයට මෙම සම්මේලනය මගින් පදනම් දමනු ඇත.

Loading