ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධවන්නන් "දේශද්‍රෝහීන්" ලෙස සලකන බව ඉහල රාජ්‍ය නිලධාරියා පවසයි

[මෙය Top Sri Lankan ministry official declares those opposing government austerity are “traitors” යන මැයෙන් 2022 ජූනි 3 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, ඔහුගේ පරිපාලන නිලධාරීන් සමග ඉරිදා පැවති රැස්වීමක දී ආන්ඩුව විසින් සුදානම් කරනු ලබන 'ප්‍රතිසංස්කරන වැඩපිලිවෙලේ' සමහර පියවර විස්තර කලේ ය. ඒවාට 'විරුද්ධ වන කවර හෝ දේශපාලන පක්ෂයක්, මහජන සංවිධානයක් හෝ වෘත්තීය සමිතියක්, ඒ සියලු දෙනාම අනාගත පරපුර විසින් දේශද්‍රෝහීන් ලෙස සලකනු ඇත' යි ඔහු එහි දී සඳහන් කලේ ය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ (මූලාශ්‍රය: Priyantha Mayadunne Facebook)

මායාදුන්න ගේ ප්‍රකාශයන් සිදු කෙරුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) නියෝග කර තිබෙන කප්පාදු වැඩපිලිවෙල ගෝඨාභය රාජපක්ෂ-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දැමීම ආරම්භ කර ඇති තත්වය තුලය. මුදල් අහේනියෙන් පෙලෙන කොලඹ පාලන තන්ත්‍රය ට කවර හෝ ඇපකර නයක් ලබාදීම, මෙම වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සහ රටේ නය ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම මත රඳා පවතින බව ජාමුඅ අවධාරනය කර තිබේ.

රාජ්‍ය වියදම් කැපීම මගින් රාජ්‍ය මුල්‍ය පරතරය අඩුකිරීම, බදු ඉහල දැමීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හෝ වානිජකරනය සහ සුබසාධන කප්පාදු කිරීම මෙම වැඩපිලිවෙලට ඇතුලත් වේ. මෙම පියවරවලට රාජ්‍ය අංශයේ රැකියා, වැටුප් සහ විශ්‍රාම වැටුප් කැපීම, සුබසාධන අතුගා දැමීම සහ රජයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් තවදුරටත් කප්පාදු කිරීම අන්තර්ගත වෙයි.

පරිපාලන අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රකාශයන් කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. ඒවා ඔහුගේ පුද්ගලික අදහස් නොවේ. ඒවා කප්පාදු පියවර වලට විරුද්ධ වන සියල්ලන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා මර්දනය කිරීමේ උද්ඝෝෂනකට ආන්ඩුව සුදානම් වන බවට ඇඟවුමකි.

අමාත්‍යංශ ලේකම් ගේ විනාඩි 15 කතාව පලමුව කැප කෙරුනේ වේගයෙන් දිගහැරෙන රුදුරු සාගිනි තත්වය ගැන විස්තර කිරීමට ය. ඔහු මෙසේ පැවසීය: 'අපි කැමති වුනත් නැතත් ඊලඟ මාසය වෙනකොට අපි කිඳෙනව ම තමා. අපිට කිසිම සහතිකයක් නැහැ අපේ කෘෂිකාර්මික නිෂ්පාදනය යල කන්නයේ ගොඩ ගන්න පුලුවන් මට්ටමක තියෙනව ද කියල. අපි ඉන්නේ ගිනි කන්දක් උඩ'

රටේ වර්තමාන ආර්ථික අර්බුදය ගැන ඔහු මහජනතාවට සාප කලේ ය. අර්බුදය සම්බන්ධයෙන් මහජනතාවට චෝදනා කරමින් මායාදුන්නේ මෙසේ පැවසීය: 'අපට තේරෙන්නනම් එහෙම වෙන්න ම ඕන. කවදාවත් හැදෙන් නැති රටක් මේක'.

මෙම ප්‍රකාශයන් අතිශයින් ම නරුමය. පෙර නොවුවිරූ ආර්ථික අර්බුදය ගැන ජනතාවට චෝදනා කිරීම අර්බුදයේ යතා මුලයන් වසන් කිරීමක් මිස අන් කිසිවක් නොවේ. ශ්‍රී ලංකාවේ දිග හැරෙමින් තිබෙන්නේ ගෝලීය ධනවාදී අර්බුදයේ තියුනු ප්‍රකාශනයකි. එය කොවිඩ් 19 වසංගතය විසින් උත්ප්‍රේරනය කෙරුනි. එක්සත් ජනපදය සහ නැටෝව රුසියාවට එරෙහිව යුක්‍රේනයේ ගෙනයන වක්‍ර යුද්ධය විසින් එය නව අදියරකට ගෙනවිත් ඇත.

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු සහ සමස්ත පාලක පන්තිය, මෙම අර්බුදයට වගකිව යුතු ලාබ පද්ධතිය ආරක්ෂා කරමින් එහි බර ජනතාව මත පටවති.

රාජ්‍ය සේවකයන් සියලු 'වරප්‍රසාද' වසර 10 කට කල් දැමිය යුතු බව අවධාරනය කරමින් හදිසි නිශ්චිත සැලැස්මක් අවශ්‍ය බව ඔහු සඳහන් කලේ ය. මායාදුන්නේ රුදුරු තත්වය විස්තර කලේ හුදෙක් ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ කප්පාදු පිලිවෙත් පිලිගැනීමට ජනතාව පෙලඹවීමට පමනි.

'ආර්ථිකය ඇමරිකානු ඩොලර් 10,000 වෙනකම්, [ඔහු අපැහැදිලි ලෙස අදහස් කලේ ඒක පුද්ගල ආදායම් මට්ටම] විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික ගැන අහන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. පාර්තෝෂිකය [ගෙවිය යුතු] රුපියල් බිලියන 17.5 ක් තියෙනවා. එය ගෙවන්න කිසිම ක්‍රමයක් නැහැ' යි ඔහු අවධාරනය කලේ ය.

රාජ්‍ය අංශයේ රැකියා සහ වැටුප් කැපීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් ඔහු මෙසේ සඳහන් කලේ ය: 'රාජ්‍ය අංශයේ රැකියා දරාගත හැකි උපරිමය 500,000 හෝ වැඩිම වුනොත් 800,000 ක්. ඒ නිසා වඩාත් සුදුසු වෙන්නේ විශ්‍රාමයන්නෙකු පාරිතෝෂිකය නැතිව විශ්‍රාම වැටුප පමනක් ඉල්ලීම. වෘත්තීය සමිති කෑගැහුවට ගෙවන්න සල්ලි නැහැ. අපිට බැහැ මුදල් අච්චු ගහල ගෙවන්න. එම නිසා මේක සියලු දෙනාම කැපකල යුතු යුගයක්.

පසුගිය ආන්ඩු විසින් පුම්බපු නිසා රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව මිලියන 1.7 දක්වා දෙගුන වී ඇති බැව් ඔහු පැවසීය. වර්තමාන අර්බුදය තුල වැටුප් වැඩිකිරීමට ඔහු විරුද්ධ වූ බව අමාත්‍යංශ ලේකම් කීවේ ය. ඔහුගේ ප්‍රකාශයන් ප්‍රතිරාවය කලේ මහජනතාවගේ ජීවන සහ සමාජ කොන්දේසිවලට එල්ල කිරීම ට දැන් පාලක ප්‍රභූව තුල කෙරෙන සාකච්ඡාවයි.

කම්කරු පන්තියේ බලගතු විරුද්ධත්වය නිසා අනුප්‍රාප්තික ආන්ඩු වලට ජාමුඅ විසින් නියම කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරන මුලුමනින් ක්‍රියාවට දැමීම කල් දැමීමට සිදු විය. එහෙත් දැන් තවදුරටත් පසුබැසිය නොහැකි බව ජාත්‍යන්තර මුල්‍ය ආයතන පැහැදිලි කර ඇත.

කම්කරුවන් සහ දුගීන් අතර වැඩී පැවති විරෝධය, දැරිය නොහැකි ලෙස ආහාර මිල ඉහල යාම, ආහාර ද්‍රව්‍ය, ඖෂධ, සහ ඉන්ධන හිඟය, දිගු පැය ගනන් විදුලිය කැපීම හේතුවෙන් පසුගිය මාසවල දී ගැඹුරු වී ඇත. අප්‍රේල් මාසයේ සිට රට පුරාම මහජන අරගල පැන නැගුනි. ඔවුන් ගෙන් කොටසක් ගාලුමුව දොර වාඩිලා ගති.

වෘත්තීය සමිතිවලට අප්‍රේල් 28සහ මැයි 6 මහ වර්ජන දෙකක් කැඳවීමට බල කෙරුනි. මහජනතාවගේ පුලුල් සහයෝගය ලැබුන මෙම වර්ජනවලට මිලියන ගනනක් සහභාගී වීම රාජපක්ෂ ආන්ඩුව පමනක් නොව සමස්ත දේශපාලන සංස්ථාපිතය කම්පනයට පත් කලේ ය.

කම්කරුවන්ගේ අරගල හකුලා දැමීමේ වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය උපයෝගී කරගනිමින්, එක්සත් ජනපද ගැති නව අගමැති සහ මුදල් ඇමති වික්‍රමසිංහ ජාමුඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට උත්සාහ කරයි. ඔහු විසින් සුදානම් කරනු ලබන අන්තර්කාලීන අයවැයෙන් ආන්ඩුවේ වියදම් 'ඇටපොත්තට ම කපන' බව වික්‍රමසිංහ මැයි 24 වෙනිදා රොයිටර් පුවත් සේවයට පැවසීය.

රාජ්‍ය අංශය කප්පාදු කිරීමේ පලමු පියවර ලෙස සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවකයන් පමනක් රාජකාරියට කැඳවන ලෙස ආන්ඩුව රාජ්‍ය ආයතන බලධාරීන්ට නියෝග කොට ඇත. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයන් ගෙන් සියයට 50 සේවයට කැඳවන්නේ නැත. කම්කරු අමාත්‍යංශයේ කාර්යාල සිකුරාදා දිනවල වසා තබන බව කම්කරු ඇමති මෙම සතියේ නිවේදනය කලේය .

සමස්ත රාජ්‍ය අංශය දියකර හැරීමේ ක්‍රමානුකුල වැඩපිලිවෙලක් ගෙනයන අතර රැකියා, වැටුප් හා විශ්‍රාමික වැටුප් කැපීම ක්‍රියාවට දමන්නේ කෙසේදැයි සාකච්ඡාවක් කෙරෙමින් පවතී.

මෙම දැවැන්ත ප්‍රහාරයන්ට සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය ඇතුලු විපක්ෂයේ කිසිදු පක්ෂයක් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ විරුද්ධ වී නැත. ඔවුහු සියලු දෙනාම ජාමුඅ වැඩපිලිවෙලට සහයෝගය දෙති.

වෘත්තීය සමිති ජාමුඅ වැඩපිලවෙල සහ රාජ්‍ය අංශයේ ලක්ෂ ගනනක ගේ රැකියා අහෝසි කිරීම ගැන නරුම ලෙස නිහඩව සිටිති.

පසුගිය වසරේ ගුරුවරුන් ගේ සහ සෞඛ්‍ය සේවකයන් ගේ විරෝධතා අරගලවලට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ, රටේ 'ආර්ථික අර්බුදය ගැන අවබෝධයක්' තිබෙන බව ආන්ඩුවට පවසමිනි. මෙම වෘත්තීය සමිති අරගල වැලක්වුහ. එසේ කල නොහැකි වූ විට විරෝධාතා සහ උද්ඝෝෂන කැඳවුහ. නමුත් අවසානයේ දී ඒවා පාවා දුන්හ.

සමාජවාදී සමනා පක්ෂය (සසප) විසින් මුලිකත්වය ගනු ලැබූ ක්‍රියාකාරී කමිටු සන්ධානය, 'ශ්‍රී ලංකාව: රාජ්‍ය අංශයේ රැකියා සහ වැටුප් කප්පාදුවට විරුද්ධ වනු! කම්කරුවන්ගේ අයිතීන් ආරකාෂා කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!' මැයෙන් සඳුදා ප්‍රකාශයක් නිකුත් කලේ ය.

මෙම කැඳවුම අධ්‍යනය කරන ලෙස ද, වැඩපලවල්, කර්මාන්තශාලා වතු සහ කම්කරු නිවහන් ප්‍රදේශ වල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සහ සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අරගලයේ පදනම මත තම අයිතීන් ආරක්ෂා කිරීමට වහා සුදානම් වන ලෙස ද කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading