රාජ්‍ය අංශයේ රැකියා සහ වැටුප් කප්පාදුවලට විරුද්ධ වනු! සේවක අයිතීන් සුරැකීමට ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!

[මෙය Sri Lanka: Oppose job and wage cuts in the public sector! Build action committees to defend workers rights! මැයෙන් 2022 මැයි 30 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මැයි 25 වැනි දින චක්‍රලේඛයක් නිකුත් කරමින්, “මහජන සේවාවන් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අවම නිලධාරීන් පමනක්' සේවයට කැඳවන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. අමාත්‍ය මන්ඩලය විසින් ගෙන ඇති මෙම තීරනය මැයි 26 වනදා සිට ක්‍රියාත්මක වේ.

රාජ්‍ය අංශයේ සේවකයින් අප්‍රේල් 8 වැනි දින මහනුවරදී පාගමනක් පවත්වයි [ඡායාරූපය: ෆේස්බුක්-සංවර්ධන නිලධාරී සේවා සංගමය]

ඉන්ධන හිඟය හේතුවෙන් “රාජ්‍ය සහ පෞද්ගලික ප්‍රවාහන සේවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන” නිසාත්, ඉන්ධන, විදුලිය සහ ජලය සඳහා වන රජයේ වියදම් “මෙම අර්බුදය තුල සීමා කල යුතු” නිසාත් මෙම පියවර අවශ්‍ය වූ බව චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම නියෝගය තාවකාලික පියවරක් නොවේ. ශ්‍රී ලංකාවේ ධනේශ්වර ආර්ථිකය දැවැන්ත අර්බුදයක ගිලී ඇති බැවින් ආන්ඩුවට 'සම්පත් හිඟයේ' නිමක් නැත. රාජ්‍ය අංශය කප්පාදු කිරීමේ පලමු පියවර මෙය වෙයි. එමඟින් ලක්ෂ සංඛ්‍යාත රැකියා විනාශ කිරීම, වැටුප් කප්පාදු කිරීම සහ ඉතිරි සේවකයින්ගේ වැඩ බර වැඩි කිරීම සිදුවනු ඇති බවට අපි අනතුරු අඟවමු. මෙම ප්‍රහාරය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් දැන් ක්‍රියාවට නංවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරවල කොටසකි.

මිනිස් බල සහ රැකියා අමාත්‍යාංශය විසින් අප්‍රේල් 25 දින නිකුත් කරන ලද “සංකල්ප පත්‍රිකාවක”, රාජ්‍ය අංශයේ විශාල වියදම සහ රැකියා කප්පාදු කිරීමේ අවශ්‍යතාවය ගෙනහැර දක්වා ඇත. රාජ්‍ය අංශයේ සේවකයන් මිලියන 1.7 කට වැටුප් හා දීමනා ගෙවීමට රජයේ ආදායමෙන් සියයට 50 කට වැඩි ප්‍රමානයක් යොදවන බව එහි සඳහන් වේ. මෙම වියදම්, දැන් 'දැරිය නොහැකි' බව එය ප්‍රකාශ කරයි.

කොවිඩ්-19 වසංගත සීමා කිරීම් තුල සේවයට කැඳවනු ලැබුවේ සියයට 30-50 ප්‍රමානයක් බවත් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නේ මිලියන 1.7 ක ශ්‍රම බලකායෙන් සියයට 50 ක් පමනක් බවත් එම පත්‍රිකාව කියා සිටී. එනම්, රජයේ සේවකයන් 850,000 කට වැඩි පිරිසක් දොට්ට දැමිය යුතු ය.

අතිරික්ත යැයි සැලකෙන සියලුම සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දී විදේශ රැකියා සඳහා යොමු කල යුතු බව ද එය යෝජනා කර ඇත. මේ හරහා ආන්ඩුවට රාජ්‍ය අංශයේ වියදම් වසරකට රුපියල් බිලියන 300 කින් කපා හැර ශ්‍රී ලංකාවේ වාර්ෂික විදේශ විනිමය ප්‍රේෂන ඩොලර් බිලියන 2.5 සිට 4 දක්වා ප්‍රමානයකින් වැඩි කර ගත හැකි බව පත්‍රිකාව කියා සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර නය දෙන සංවිධානවල මූලික ඉල්ලීම් සපුරාලීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මෙම පියවරයන් ක්‍රියාත්මක කරන ලෙස 'සංකල්ප පත්‍රිකාව' ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, අයවැය හිඟය අඩු කිරීම සඳහා රාජ්‍ය අංශය සහ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ජාමූඅ පසුගිය දශක කිහිපය තුල ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩුවලට යලි යලිත් අවධාරනය කර ඇත. යෝජිත අනෙකුත් ක්‍රියාමාර්ග අතරට, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය හෝ වානිජකරනය සහ ඉහල බදු පැනවීම් ඇතුලත් වේ.

දැන්, ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුන දී විදේශ නය පැහැර හැරීමක් ප්‍රකාශ කර ඇති තත්වය තුල, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය කිසිදු කල් දැමීමක් තවදුරටත් ඉවසන්නේ නැත. කොවිඩ්-19 වසංගතය සහ එක්සත් ජනපදයේ ප්‍රමුඛත්වයෙන් නේටෝව රුසියාවට එරෙහිව යුක්‍රේනයේ ගෙනයන වක්‍ර යුද්ධය මගින් නිර්මිත ආර්ථික අර්බුදය සෑම රටකටම බලපා ඇත. ශ්‍රී ලංකාව විශේෂයෙන් දැඩි ලෙස ඉන් පීඩාවට පත්ව තිබේ.

ආහාර, ඖෂධ සහ ඉන්ධන ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල උග්‍ර හිඟය මෙන්ම, විදුලි කප්පාදුව සමඟ කම්කරුවෝ සහ දුගීහූ ඉහල යන සහ දරාගත නොහැකි උද්ධමනයකට මුහුන දී සිටිති. ජනාධිපති රාජපක්ෂගේ පෙර පාලන තන්ත්‍රය මෙන්ම, ඔහුගේ වත්මන් ආන්ඩුව ද ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනයාගේ කර මත පටවන්නේ විදේශ නය හිමියන්ට මුදල් ගෙවීමට සහ ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට ය.

තමන් ලඟදීම අතුරු අයවැයක් ප්‍රකාශයට පත් කරන බව පසුගිය සතියේ අගමැති වික්‍රමසිංහ රොයිටර් පුවත් සේවයට පැවසීය: 'එය හුදෙක්ම, වියදම් කපා හැරීම සහ හැකි සෑම තැනකම ඇටපොත්තටම කපා හරිමින් ඒවා සුබසාධනය වෙත මාරු කිරීමක්' බව ඔහු ප්‍රකාශ කලේය. සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වන වියදම් අඩු කිරීම දුෂ්කර ය, 'නමුත් අපට කපා හැරිය හැකි තවත් බොහෝ අමාත්‍යාංශ තිබේ' ඔහු පැවසීය.

අතුරු අයවැය මගින් සෞඛ්‍යයට හා අධ්‍යාපනයට අත නොතබමින් සුබසාධනයට අරමුදල් මාරු කරන බවට වික්‍රමසිංහ කරන ප්‍රකාශය මුසාවකි. සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු සියලුම අංශවල රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් වලින්, ආන්ඩුව රාජ්‍ය වියදම් “ඇටපොත්තටම” කපා දමනු ඇත. ඇත්ත වශයෙන්ම, අතිකාල දීමනා සහ අනෙකුත් දීමනා දැනටමත් කප්පාදු කර ඇත.

රැකියා සහ වැටුප් කප්පාදුව හුදෙක් රාජ්‍ය ආයතනවලට පමනක් සීමා නොවේ. ආනයනය සඳහා ආන්ඩුව විසින් පනවා ඇති සීමාවන්, බොහෝ පෞද්ගලික සමාගම් වසා දැමීමට හේතු වී තිබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට දැනටමත් රැකියා අහිමි වී ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්, මිලියන 4.5 ක් පමන වන කම්කරුවන්ට වැටුප් ගෙවීමට නොහැකි බව හෙලි කර ඇත.

ආයාචනා කිරීමේ හෝ පීඩනය දැමීමේ උපක්‍රමවලින් ආන්ඩුවේ න්‍යාය පත්‍රය වෙනස් නොකරනු ඇත. කම්කරුවන්ට රැකියා, වැටුප් සහ මූලික අයිතීන් සඳහා වන අරගලය වෘත්තීය සමිති අතේ පැවතීමට ඉඩ දිය නොහැක.

අප්‍රේල් මාසයේ මුල පටන් ඔබේම අත්දැකීම් සමාලෝචනය කරමින් පසුගිය වසර පුරා වෘත්තීය සමිති කර ඇති දේ ගැන ද සිතන්න!

ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්විය යුතු බවටත්, ව්‍යසනකාරී හා වඩාත් නරක අතට හැරෙන සමාජ කොන්දේසිවලට තිත තැබීමටත් බල කිරීම සඳහා, විශේෂයෙන්ම අප්‍රේල් මස මුල සිට, පුලුල් ලෙස කම්කරුවන් හා තරුනයින් අඛන්ඩ විරෝධතාවල නිරතව සිටිති. අප්‍රේල් 28 සහ මැයි 6 දා පැවති මහා වැඩ වර්ජන, කම්කරුවන්, දුගීන් සහ පීඩාවට පත් සියලු ම ජනයාගේ පුලුල් සහයෝගය දිනා ගත්තේ ය.

වෘත්තීය සමිති, මෙම අරගල තුලදී අපගේ සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කිසිදු පිලිවෙතක් ඉදිරිපත් කර නැතුවා පමනක් නොව සටන් කිරීමට ප්‍රතිපත්තියක් හෝ ප්‍රකාශ කර නැත. ඒ වෙනුවට, ඔවුන්, අන්තර්වාර පාලනයක් සඳහා වන විපක්ෂයේ සමගි ජන බලවේගයෙහි සහ ජනතා විමුක්ති පෙරමුනෙහි ඉල්ලීම්වලට පිටුබලය දෙමින් ඒවාට දේශපාලන සහයෝගය වෙතට අපගේ අරගලයන් අපසරනය කර ඇත. මෙම පක්ෂ තමන් ජාමූඅ නියෝග ක්‍රියාත්මක කරන බව පැහැදිලි කර තිබේ.

මැයි 6 දා පැවති මහා වැඩවර්ජනයෙන් පසු රාජපක්ෂ හදිසි තත්වයක් පැනවූ අතර, මැයි 10 දා ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට ආන්ඩු පක්ෂ මැරයින් පහර දීමෙන් පසු මිලිටරිය පාරට බැස්සුවේය. වෘත්තීය සමිති ප්‍රතිචාර දැක්වූයේ අපගේ වැඩවර්ජන ක්‍රමානුකූලව අවසන් කරමින් සහ ඒ වෙනුවට සීමිත විරෝධතා කැඳවමිනි.

පසුගිය වසරේ ගුරු සංගම්, මුල් වැටුප් ඉල්ලීමෙන් තුනෙන් එකක ආන්ඩුවේ යෝජනාව පිලිගනිමින් තම සාමාජිකයින් ගෙන ගිය දින 100 ක අන්තර්ජාල වැඩ වර්ජනය පාවා දුන්හ.

වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ නැගී එන ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන්, සෞඛ්‍ය සේවා සම්මේලනයේ නායක රවී කුමුදේශ් සහ සමන් රත්නප්‍රිය, අරගල මැඩපැවැත්වීමට සහ පාලනය කිරීමට “තම සාමාජිකයින්ගේ කෝපය කලමනාකරනය කරන” බව ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත.

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට රාජ්‍ය අංශයේ කම්කරුවන් දැනටමත් ඔවුන්ගේ සූදානම පෙන්නුම් කර තිබේ. පසුගිය සතියේ මහනුවර, අනුරාධපුර සහ කුරුනෑගල ආදී රෝහල්වල සෞඛ්‍ය සේවකයෝ සහ රජයේ මුද්‍රනාල සේවකයෝ අතිකාල සහ අනෙකුත් දීමනා කපා හැරීමට එරෙහිව, වැඩ නවත්වා විරෝධය පෑහ.

අනෙකුත් ක්ෂේත්‍රවල සිටින ඔවුන්ගේ සගයන්ට මෙන් ම, රාජ්‍ය සේවකයන්ට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැක්කේ, සියලුම තීරන ගැනීමේ සහ ඔවුන්ගේ අරගල සංවිධානය කිරීමේ පූර්න පාලනය සියතට ගැනීමෙන් පමනි. සෑම කම්හලකම, වතුවල, විශාල සමාගම්වල සහ කම්කරු පන්තික අසල්වැසි ප්‍රදේශවල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට අපි යෝජනා කරන්නේ එබැවිනි. මේවා වෘත්තීය සමිතිවලින් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන විය යුතුය.

• ධනේශ්වර අර්බුදයට කම්කරුවන් වගකිව යුතු නැත. ඊට වන්දි ගෙවීමට ද සුදානම් නැතැයි අපි කියා සිටිමු. අපගේ රැකියා, වැටුප් සහ විශ්‍රාම වැටුප්වලට අත නොතබනු!

• අධි උද්ධමනය ට ගැලපෙන ලෙස සහ වැඩිදියුනු කල සේවා කොන්දේසි සඳහා ජීවන වියදම සමඟ වැටුප් සම්බන්ධ කරන ලෙස අපි ඉල්ලා සිටිමු!

ක්‍රියාකාරී කමිටුවල සන්ධානය (ක්‍රිකස) යනු සමාජවාදී සමානතා පක්ෂය විසින් ආරම්භ කරන ලද සහ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින්, ඇඟලුම්, වතු හා සංක්‍රමනික කම්කරුවන් සහ කලාවේ සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා සටන් කරන කොටස් අතර ගොඩනගා ඇති ක්‍රියාකාරී කමිටු එකතුවකි.

අපි, මෙම කමිටු පුලුල් කිරීමට සටන් කරමු . ඒ අතර අපගේ පන්ති සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ සේවා ස්ථානවල ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමට මෙන්ම, ජාත්‍යන්තරව සමාන ප්‍රහාරවලට මුහුන දෙන කම්කරුවන් සමඟ සන්ධාන ඇති කර ගැනීමට ද සහය වීමට අප ක්‍රියාකාරී කමිටු සූදානම් ය.

දරුනු වන සමාජ හා ජීවන තත්වයන්ට එරෙහිව සටන් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් යෝජනා කරන වැඩපිලිවෙලට අපගේ ක්‍රියාකාරී කමිටු සහාය දක්වයි. එහි වැඩපිලිවෙල ට ඇතුලත් වන්නේ පහත සඳහන් කර්තව්‍යයන්ය:

• අත්‍යවශ්‍ය භාන්ඩ සහ අනෙකුත් තීරනාත්මක සමාජ සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන ආ යුතුය! බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

• සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු ඉල්ලීම් එපා!

• බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය අත්පත් කර ගනු!

• ග්‍රාමීය හා නාගරික පීඩිතයින්, දිලිඳු ගොවීන්, ධීවරයන් සහ කුඩා ව්‍යාපාරිකයන්ගේ සියලු නය අහෝසි කරනු! පොහොර සහනාධාර ඇතුලු සියලුම ගොවි සහනාධාර නැවත ලබා දෙනු!

• නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍ය සේවයට රුපියල් බිලියන ගනනින් මුදල් වෙන් කිරීම හරහා අවශ්‍ය සියලු දෙනාටම උසස් තත්වයේ සේවාවන් සහතික කරනු!

ජනතාව මුහුන දෙන අර්බුදයට ධනේශ්වර ක්‍රමය තුල විසඳුමක් නොමැති බව සසප පැහැදිලි කර ඇත. අවශ්‍ය වන්නේ ඉහත ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයකි. මෙම අරගලයට සම්බන්ධ වන ලෙසත් වැඩි විස්තර සඳහා අප අමතන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading