2022 දී පෙර නොවූ විරූ ආර්ථික හැකිලීමක් ගැන ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවයි

[මෙය Sri Lankan central bank governor warns of unprecedented economic contraction in 2022 යන මැයෙන් 2022 මැයි 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සඳුදා (23), ශ්‍රී ලංකා පුවත්පත් සමාජය (Sri Lanka Press Club) අමතමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු ඇඟවූයේ, රටේ ආර්ථිකය “ඉතිහාසයේ වෙනත් කිසිම වසරකට වඩා ඉහලම අනුපාතයකින් හැකිලෙනු ඇති” බවයි.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ (ඡායාරූපය: මහ බැංකු ට්විටර් ගිනුම)

වීරසිංහ නිශ්චිත අගයක් ඉදිරිපත් නොකල අතර, 2022 සඳහා ඇස්තමේන්තුගත දල දේශීය නිෂ්පාදිතයේ (දදේනි) වර්ධන වේගය සියයට 1 දක්වා පහත වැටී ඇති බව අප්‍රේල් 30 වැනි දින මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සඳහන් කලේය. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ ආර්ථික වර්ධනය සෘන අගයකට වැටෙනු ඇති බවයි.

2020 දී ශ්‍රී ලංකාව සියයට 3.6 ක සෘන වර්ධන වේගයක් වාර්තා කලේ, සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම, ප්‍රේෂන පහත වැටීම සහ අපනයන පහත වැටීම සමඟ කොවිඩ්-19 වසංගතය රටට දැඩි ලෙස බලපෑ නිසාය. ලෝක බැංකුවට අනුව, 2020 දී, එක් පුද්ගලයෙකුට ඩොලර් 3.20 ලෙස ගනනය කර තිබූ දරිද්‍රතා මට්ටමට අනුව, 2019 හි ජනගහනයෙන් සියයට 9.7ක්ව පැවති දරිද්‍රතා රේට්ටුව සියයට 11.7 දක්වා වැඩි විය. තවත් 500,000 ක් ජනතාව දරිද්‍රතාවයට ඇද වැටී තිබේ.

වසර විසි එකකට පෙර, 2001 දී, 1983 දී ආරම්භ වූ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව කොලඹ දෙමල විරෝධී වාර්ගික යුද්ධය නිසා ඇති වූ විනාශයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාව සියයට 1.2 ක සෘන වර්ධනයක් වාර්තා කලේය.

මෙම වසරේ පුරෝකථනය කරන ලද පෙර නොවූ විරූ සෘනාත්මක වර්ධනය සාධක දෙකක ප්‍රතිඵලයකි: ඒවා නම්, ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව මත පටවනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) දරුනු ප්‍රතිපත්තිවල බලපෑම යි. මේවා, රාජ්‍ය අංශය ද ඇතුලත් ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම, තියුනු මූල්‍ය හිඟ කප්පාදු, පුද්ගලීකරනය සහ වෙලඳපොල මත පදනම් වූ රුපියලේ නම්‍යශීලී විනිමය අනුපාතිකය ආදියට හේතු විය, එය දක්නට ලැබුනේ මෙම වසර මුලදී මුදලේ අගය පහත වැටීමක් ලෙස ය.

ඊයේ (25), අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස පත් කරන ලද අතර, සති හයකින්, ජාමූඅ කප්පාදු පියවරයන්ට අනුකූලව නව “අතුරු අයවැයක්” ප්‍රකාශයට පත් කරන බව ඔහු වහාම ප්‍රකාශ කලේය. අතුරු අයවැය යනු හුදෙක්, “වියදම් කපා හැරීම, හැකි සෑම තැනකම පොත්තටම කප්පාදු කිරීම සහ ඒවා සුබසාධනය සඳහා මාරු කිරීමකි. නිදසුනක් වශයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශය ගනිමු, අපට එහි වියදම් කපා හැරිය නොහැකි අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා සීමිත කප්පාදුවක් පමනයි, එසේ නමුත් අපට කපා හැරිය හැකි තවත් බොහෝ අමාත්‍යාංශ තිබෙනවා.'

ආර්ථිකය හැකිලීමට තුඩු දෙන යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කිරීම සහ අනෙකුත් කප්පාදු කිරීම් මෙම පියවරයන්ට ඇතුලත් වනු ඇත, එය රැකියා, වැටුප් සහ ජීවන කොන්දේසි සඳහා ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන එනු ඇත.

ගැඹුරු වන අර්බුදය පැහැදිලි කරමින් මහ බැංකු අධිපති වීරසිංහ පුවත්පත් සමාජයට පැවසුවේ, “අමුද්‍රව්‍ය නොමැති” බව කර්මාන්ත වාර්තා කල ද, “ඉදිරි මාස තුනේ සිට හය දක්වා සාමාන්‍ය ආනයන සඳහා” ශ්‍රී ලංකාවට ගෙවීමට නොහැකි බවයි.

ඩොලර් නොමැති කමින්, කර්මාන්ත කඩාවැටීම සහ විශාල රැකියා අහිමිවීම පිලිබඳ අනතුරු අඟවමින් ආනයනය දැඩි ලෙස සීමා කිරීමට මහ බැංකුවට සිදුවී ඇත. නිදහස් වෙලඳ කලාපවල ආයෝජකයින් දැනටමත් ඔවුන්ගේ ආයෝජනවල කනගාටුදායක තත්වය පිලිබඳව අනතුරු අඟවා ඇත.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මීට පෙර වාර්තා කර ඇත්තේ, අසල්වැසි ඉන්දියාවට සහ බංගලාදේශයට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ ඇනවුම්වලින් සියයට 10 ත් 20 ත් අතර ප්‍රමානයක් අහිමි වෙමින් පවතින අතර ගැනුම්කරුවන් “රටේ ආර්ථික හා දේශපාලන තත්වය පිලිබඳව කනස්සල්ල පල කරන” බවයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට දැනට ඇනවුම් ඇත්තේ 2022 ජුනි දක්වා පමනි.

ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරික සන්ධානය (Sri Lanka United National Businesses Alliance) වැටුප් ගෙවීමට ඇති නොහැකියාව වැඩිවීම ගැන ඊයේ අනතුරු ඇඟවීය.

“කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායයන් 4,500 කට අයත් මිලියන 4.5 කට ආසන්න කම්කරුවන් වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඉදිරි මාසවලදී විරෝධතා දක්වමින් වීදි බසිනු ඇත,” උපදේශන කන්ඩායම (lobby group) ප්‍රකාශ කලේය. නය ආපසු ගෙවීමේ කාලය සඳහා දීර්ඝ කිරීම් ලබා දිය නොහැකි බව මහ බැංකුව ව්‍යාපාරික කන්ඩායමට පවසා ඇති බවට ද එවිසින් පැමිනිලි කර ඇත.

අඟහරුවාදා (24), ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා-ඉන්දියා තෙල් සමාගම, ආන්ඩුවේ අනුමැතිය ඇතිව, ඉන්ධන මිලෙහි වාර්තාගත වැඩිවීමක් ප්‍රකාශයට පත් කලේය—පෙට්‍රල් සියයට 24.3 කින් සහ ඩීසල් සියයට 38.4 කින් ඉහල නැංවීය. මෙම වැඩිවීම්, ඉන්ධන සහනාධාර කප්පාදු කිරීමට සහ වෙලඳපල විසින් පමනක් මිල තීරනය කිරීමට අවශ්‍ය ජාමූඅහි නිර්දේශයන්ට අනුකූල වේ.

නවතම ඉන්ධන වැඩිවීම් හේතුවෙන් බස් ගාස්තු සියයට 19.5 කින් ද, වරාය බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ද, ත්‍රිරෝද රථ කුලී රථ ගාස්තු සියයට 20 කින් පමන ද ඉහල ගොස් ඇති අතර, ඉදිරියේදී තවත් වැඩි වීම් සිදු විය හැක.

මෙම ඉහල යාම, උද්ධමනය බරපතල ලෙස නරක අතට හරවනු ඇත. සඳුදා, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කලේ ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 මාර්තු මාසයේදී වාර්තා වූ සියයට 21.5 සිට අප්‍රේල් මාසයේදී සියයට 33.8 දක්වා ඉහල ගිය බවයි. ආහාර උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 45.1 දක්වා සීඝ්‍රයෙන් වැඩි විය.

අධි උද්ධමනය, දෛනික ජීවන වියදම දරුනු මට්ටම් දක්වා විශාල ලෙස වැඩි කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල්වල මිල මාස දෙකක පමන කාලයකදී සියයට 100 කින් ඉහල ගොස් ඇති අතර එය බොහෝ දෙනෙකුට දැරිය නොහැකි තත්වයකට පත්ව ඇත. වසර ආරම්භයේ සිට බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අවම වශයෙන් සියයට 50 කින් ඉහල ගොස් ඇති අතර පාන් මිල තුන් ගුනයකින් වැඩි වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින් පසුගිය මාස දෙක පුරා පැවති මහජන විරෝධතා සහ මහා වැඩවර්ජන දෙක පිලිබඳ සඳහනක් හැටියට 'ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් හා සමාජ නොසන්සුන්තාවක් දක්වා ද පැතිරී ඇත', යැයි මහ බැංකු අධිපතිවරයාගේ කල කතාව සැලකිය යුතු කරුනකි.

ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට මැර ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව මහනුවර සෞඛ්‍ය සේවකයින් සිය ගනනක් විරෝධතා පාගමනක් පවත්වයි.

තියුනු ආර්ථික පරිහානිය සහ නැගී එන සමාජ නොසන්සුන්තාව පිලිබඳ මහබැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයන් ගැන සඳහන් කරමින්, ඉකොනොමි නෙක්ස්ට් ශ්‍රී ලංකාවේ 1953 මහා වැඩ වර්ජනය සහ හර්තාලය සමඟ සමානකම් පෙන්වා දුන්නේය. කම්කරු පන්තියේ සහ ගම්බද දුගීන්ගේ මහා කාර්මික ක්‍රියාමාර්ග සහ විරෝධතා සහල් මිල ද ඇතුලුව ජීවන වියදම තියුනු ලෙස ඉහල යාමට ප්‍රතිචාරයක් විය. ලංකා සමසමාජ පක්‍ෂය හර්තාලය කැඳවද්දී එය එක්දිනකට සීමා කර අඛන්ඩ අරගල අත්හැර දැමීය.

ඉකොනොමි නෙක්ස්ට් 1848 දී යුරෝපයේ විප්ලවවාදී නැගිටීම් ගැන ද සඳහන් කරමින්, එය විස්තර කලේ ' එය ජනතාවන්ගේ වසන්ත සමයකි, එහිදී රජවරුන් පලවා හැර ව්‍යවස්ථානුකූල පාලනයක් පිහිටුවන ලදී' යනුවෙනි.

1848 පෙබරවාරියේ ප්‍රංශයේ විප්ලවීය කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස රාජාන්ඩුව පෙරලා දැමීය, එය මාර්තු මාසයේදී ජර්මනිය දක්වා ව්‍යාප්ත වූ අතර යුරෝපය පුරා වේගයෙන් ව්‍යාප්ත විය. ජර්මානු ප්‍රාන්තවල වැඩවසම් පාලකයින්ට පාර්ලිමේන්තු සහ ව්‍යවස්ථා පිලිගැනීමට බල කෙරුනි. මෙම නැගිටීම් පිලිබඳ සඳහන් කිරීම්, නව ජාමූඅහි කප්පාදු පියවර මහජන විරෝධය ගැඹුරු කරන බවටත්, ගම්බද හා නාගරික දුගීන් ඇද ගන්නා කම්කරු පන්ති අරගලයේ දැවැන්ත පිපිරීමක් එලඹෙන බවටත් ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව තියුනු ලෙස දන්නා බවට තවත් ඇඟවීමකි.

ඊයේ, වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කලේය: “ඉදිරියේ එලඹෙන දුෂ්කර දින දෙස බලන විට විරෝධතා ඇතිවීමට යුක්ති යුක්තය. මිනිසුන් දුක් විඳින විට ඔවුන් විරෝධතා දැක්වීම ස්වාභාවිකය... නමුත් අපට අවශ්‍ය වන්නේ එය දේශපාලන පද්ධතිය අස්ථාවර නොකරන බවට සහතික වීමයි.

ජනාධිපති රාජපක්ෂ සහ අගමැති වික්‍රමසිංහ ම්ලේච්ඡ රාජ්‍ය මර්දනය මුදා හැරීමට පසුබට නොවනු ඇත. පසුගිය සතියේ හදිසි නීතිය අහෝසි වීමට ඉඩ හැරියද, රටේ දිස්ත්‍රික්ක 25 හි සහ එහි මුහුදු සීමාවේ හමුදාව බලමුලු ගන්වන ලෙස රාජපක්ෂ නියෝග කලේය. පසුගිය සතියේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආන්ඩු විරෝධී පෙලපාලි දෙකකට පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර යොදා ගනිමින් දරුනු ලෙස ප්‍රහාර එල්ල කරන ලදී.

සියල්ලටත් වඩා, පාලක ප්‍රභූව සහ එහි ආන්ඩුව “දේශපාලන පද්ධතියේ” ඕනෑම අස්ථාවර කිරීමක් නැවැත්වීම, මුලුමනින්ම වෘත්තීය සමිති මත රඳා පවතී. අප්‍රේල් මාසයේ සිට එකකට පසු තවත් අරගලයක් පාවා දෙමින් වෘත්තීය සමිති දේශපාලනිකව සාපරාධී භූමිකාවක් රඟ දක්වයි. අප්‍රේල් සහ මැයි මාසවල මහා වැඩවර්ජන කැඳවනු ලැබුවේ, මිල ඉහල දැමීම් සහ දෛනික විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇවිලෙන කෝපය වාෂ්ප කර හැරීමට පමනි.

වෘත්තීය සමිති මංමුලා සහගත ලෙස උත්සාහ කරන්නේ—ජාමූඅහි කප්පාදුවලට සහය දෙන—විපක්ෂයේ ධනේශ්වර පක්ෂවලට කම්කරුවන් ගැටගැසීමට සහ රාජපක්ෂ තන්ත‍්‍රය විස්ථාපනය කිරීම සඳහා අන්තර්වාර ආන්ඩුවක් සඳහා වන ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙනි.

දැන් රාජපක්ෂ-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් ක‍්‍රියාවට නංවන දරුනු කප්පාදු පිලිවෙත් පිලිබඳව වෘත්තීය සමිති වචනයක් හෝ කියන්නේ නැත. කම්කරු පන්තිය වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙසත්, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට සිය කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගන්වන ලෙසත්, සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් වෙත කෙරෙන ඉල්ලීම භාර ගැනීම හදිසි කර්තව්‍යක් වන්නේ එබැවිනි.

Loading