ශ්‍රී ලංකා නාවික හමුදාව දෙමල ධීවරයින්ට අමානුෂික ලෙස පහර දෙයි

සැප්තැම්බර් 5 වැනි දින කිලිනොච්චියට නුදුරින් පූනගරි ප්‍රදේශයේ ධීවර ගම්මානයක් වන වාලෙයිප්පඩු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙමල ධීවරයින් කිහිප දෙනෙකුට ශාරීරික ව පහර දී ඇත.

ආර්. සිවදාසන් (44) සහ එම්. ජෙබනේසන් (46) යන අය මුහුදේ මාලු දැලක් එලා ආපසු එමින් සිටියදී සවස පහට පමන මෙම පහරදීම සිදු ව ඇත. බෝට්ටුවේ හිමිකරු වන රාජරත්නම් නිමල් තම බෝට්ටුව එන තුරු වෙරලේ බලා සිටියේ ය.

නාවික හමුදා ප්‍රහාරයෙන් පසු කිලිනොච්චි රෝහලට ඇතුලත් කෙරුනු ආර්. නිමල් 2022 සැප්තැම්බර් 5

ධීවරයින් නාවික හමුදා මුරපොල අසලට පැමිනියේ ඔවුන්ගේ බෝට්ටු එන්ජිම හොඳ තත්ත්වයේ නොතිබීම හේතුවෙනි. නාවික හමුදා මුර පොල ආසන්නයේ දී ඔවුන් බෝට්ටුවෙන් භාන්ඩ ගොඩ බෑමට උත්සාහ කල අවස්ථාවේ දී නාවික භටයෙකු එය අවහිර කලේ ය. එම අවස්ථාවේ දී නාවික හමුදා සාමාජිකයින් සමග බහින්බස්වීමක් ඇති විය. නාවික හමුදා සෙබලුන් බීමතින් සිටි බවට ධීවරයෝ චෝදනා කරති.

නාවික හමුදා ප්‍රහාරයෙන් පසු කිලිනොච්චි රෝහලට ඇතුලත් කෙරුනු ජෙබනේසන් 2022 සැප්තැම්බර් 5

“අපිට මේ ස්ථානයේ බඩු බාන්න නිදහස නැද්ද” කියා ධීවරයන් ඇසූ විට නාවික හමුදා සාමාජිකයින් ඔවුන්ට පහර දීමෙන් ප්‍රතිචාර දැක්වූහ. නිමල් සිද්ධිය වීඩියෝ කිරීමට උත්සාහ කරන විට ඔහු අසලට පැමිනි උසස් නිලධාරියෙක් වෙඩි තැබීමට පවා සූදානම්ව ඔහුගේ තුවක්කුව උන්ඩ පුරවා සූදානම් කරගෙන සිටියේ ය. නාවික හමුදාවේ පුද්ගලයෝ නිමල්ට සහ ධීවරයින්ට පහර දුන්හ. නිමල්ගේ ජංගම දුරකථනය ද උදුරා ගත්හ.

මෙම සිද්ධියෙන් පසු නාවික හමුදාවේ නාවිකයින් 5 කට වැඩි පිරිසක් සහ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ධීවරයින් වට කර ගෙන පයින් ද, බැටන් පොලු සහ රයිෆල් භාවිතා කරමින් ද පහර දී ඇත. ධීවරයන්ගේ මුහුනු, හිස්, උරහිස් තුවාල වී ඇත. සිහිසුන් වන තුරු ඔවුන්ට පහර දී තිබේ.

ජෙබනේසන් ලෝසවෙඅ වෙත මෙසේ පැවසී ය: “අපට පැන යාමට නොහැකි වන සේ ඔවුන් අපව වට කර ගත්තා. ඔවුන් නිමල්ව බිමට තල්ලු කරලා පයින් ගැහුවා. මා දකින විට නිමල් ලෙයින් තෙත් වී සිටි නමුත් නාවිකයන් ඔවුන්ගේ ප්‍රහාරය දිගටම කරගෙන ගියා. ඒ වෙලාවේ එයාගේ දත් කැඩිලා. මට අභ්‍යන්තර තුවාලයක් සිදු වුනා. අපි දැන් රෝහලට ඇතුලත් කර තිබෙනවා. අපි කොහොමද අපේ පවුල් පෝෂනය කරන්නේ?”

ප්‍රථමයෙන්, ඥාතීන් විසින් බරපතල ලෙස තුවාල ලබා සිටි ඔවුන් වේරවිල් ග්‍රාමීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලෝමීටර් 61 ක් දුරින් පිහිටි කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහල වෙත මාරුකර යවා ඇත. ජෙබනේසන් සහ නිමල් කිලිනොච්චිය රෝහලේ නැවතී ප්‍රතිකාර ලබති.

රටේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල වෙසෙන ධීවරයෝ දිගින් දිගටම මෙවැනි මර්දනයන්ට මුහුන දෙති. 2009 මැයි මාසයේ වාර්ගික යුද්ධය අවසන් වුවද, ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර අවසරපත් නිකුත් කිරීමේ ක්‍රමය, පරීක්ෂා කිරීම, අධීක්ෂනය සහ මුර සංචාරය දිගටම කරගෙන යයි. නාවික හමුදාව මත්ද්‍රව්‍ය නිවාරන කටයුතුවල මුවාවෙන් මුහුදේ සහ මුහුදු වෙරලේ මුර සංචාරයේ යෙදේ.

මුර සංචාර අතරතුර ධීවරයින්ට හිරිහැර කරති. ඔවුන්ගේ මර්දනකාරී ක්‍රියාවන් සාධාරනීකරනය කිරීම සඳහා නාවික හමුදාව මත්ද්‍රව්‍ය විරෝධී නිරීක්ෂන සහ තහනම් ධීවර ක්‍රම වැලැක්වීම වැනි දේ භාවිතා කරයි.

සිවිල් යුද සමය තුල මෙන්ම, බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව 2009 මැයි මාසයේ ලේ වැකි වර්ගවාදී යුද්ධය අවසන් වීමෙන් පසුවත් ධීවරයින් දරුනු ජීවන තත්ත්වයන්ට සහ හමුදා ප්‍රහාරවලට මුහුන දෙමින් සිටිති.

ධීවරයන්ට එරෙහි මෙම ප්‍රහාරය යලිත් වරක් පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර ජීවත් වන ජනතාව මිලිටරි ආක්‍රමනයට යටත්ව සිටින මර්දනකාරී තත්ත්වයන් ය. කිලිනොච්චි දිස්ත්‍රික්කය වාර්ගික යුද්ධයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ අතර මිනිසුන් බොහෝ විනාශයන්ට ගොදුරු විය. යුද්ධයෙන් පසුව ද ඔවුන්ගේ ජීවන තත්ත්වය දියුනු වී නැත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෘජු ව ප්‍රකාශයක් කර නොමැත. පසුගිය 07 වැනිදා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හමු වූ නාවික හමුදා නිලධාරියෙකු පැවසුවේ “අභ්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීමට නියමිත බව සහ මූලික විමර්ශනයේ දී දෙපාර්ශවයේ ම වැරදි කර ඇති බවට අනාවරනය වී ඇති” බවයි.

මෙම සාකච්ඡාවේ දී පහර කෑ ධීවරයා පිලිබඳව කිඹුල් කඳුලු හෙලූ ඩග්ලස් දේවානන්ද නාවික හමුදාවට උපදෙස් දුන්නේ “ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවීමට සහ නීති විරෝධී ධීවර කටයුතුවලට එරෙහිව පියවර ගන්නා” ලෙසයි. ඇත්ත වශයෙන්ම, දේවානන්දගේ ඉල්ලීම ක්‍රියාත්මක කල හැක්කේ ධීවරයින්ට අනිවාර්යයෙන්ම බලපාන පරිදි මුහුදේ නාවික හමුදාවේ මර්දනකාරී ක්‍රියාමාර්ග දැඩි කිරීමෙනි.

දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කලේ “බීමත්ව සිටි නාවික හමුදාව දෙමල ධීවරයින්ට පහර දුන්” බවයි. මෙම ප්‍රකාශ නාවික හමුදාවේ ප්‍රහාරයට එරෙහි කෝපය ගසා කෑම පමනක් ඉලක්ක කර ඇත.

කෙසේ වෙතත්, මෙම දෙමල ප්‍රභූවේ පක්ෂයට මිලිටරි වාඩි ලෑම සහ මර්දනකාරී කොන්දේසි යටතේ කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයින්ගේ දුක්ඛිත තත්වය ගැන කිසිදු සැලකිල්ලක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවට ගොස් අධිරාජ්‍ය ගැති ඝෝෂා කිරීම් සහ වරප්‍රසාද ඉල්ලා සිටීම සඳහා ඡන්දය පමනි.

දකුනේ තම ධනපති පාලක පංති සගයන් මෙන්ම, දෙමල, සිංහල සහ මුස්ලිම් කම්කරුවන් අරගලයයේ දී ඒකාබද්ධ වීම සම්බන්ධයෙන්, ඔවුන් බිය වැදී සිටින්නේ එය ධනේශ්වර පාලනයට තර්ජනයක් වන බැවිනි. කොලඹ ධනේශ්වර පක්ෂ සහ වර්ගවාදී කන්ඩායම් සිංහල ස්වෝත්තමවාදය අවුලුවන අයුරින්ම කම්කරුවන් වාර්ගික වශයෙන් බෙදීමට මෙම පක්ෂ දෙමල වර්ගවාදය නමැති දුෂ්ට ආයුධය භාවිතා කරයි.

ධනපති පක්‍ෂ සමග ඉතා සමීප ව කටයුතු කරන උතුරේ ධීවර සංගම් මෙම අඛන්ඩ මර්දනයට විරුද්ධත්වය පවා පලකර නැත.

දැන් ධීවරයෝ ද අනිකුත් ජනයා මෙන්ම සුවිසල් ආර්ථික අර්බුදයකට මුහුන දී සිටිති. කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද හා නැටෝ යුද්ධය මගින් අර්බුදය ගැඹුරු කෙරී ඇත.

ප්‍රමානවත්වන පරිදි ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම සහ විශාල ලෙස ඒවායේ මිල ඉහල යාම හේතුවෙන් ඔවුන්ගේ ධීවර ධාරිතාවය අඩු වී ඇත. ඉන්ධන ප්‍රශ්නය නිසා එන්ජින් සවිකල බෝට්ටු ජැටියේ නවතා තිබෙනු කෙනෙකුට දැකගත හැකි ය. බොහෝ ධීවරයින් දැන් බෝට්ටු සඳහා හබල් භාවිතා කරති. මේ අතර, ආදායමක් නොමැතිකම නිසා, තම දරුවන් පෝෂනය කිරීමේ අසීරු තත්වයකට ධීවර පවුල් පත්ව සිටිති.

මේ දුගී ජනයාගේ අනෙක් ප්‍රශ්නය මහා ව්‍යාපාරිකයන් සහ විදේශීය සමාගම් යටතේ මුහුදු කූඩලු ගොවිපලවල් වර්ධනය වීමයි. අපනයන වැඩි දියුනු කිරීමට සහ විදේශ විනිමය උපයා ගැනීමට මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආන්ඩුව විසින් දිරිමත් කර ඇත.

මේ ගොවිපලවල් සඳහා විශාල ව්‍යාපාරිකයන් මුහුදෙන් අක්කර ගනනාවක් අල්ලා ගෙන ඇත. මේ අනුව ධීවරයින්ට තම ධීවර ප්‍රදේශ අහිමි වී තිබේ. ගොවිපලවල් තම සංචරනය අවහිර කරන බැවින් ඔවුන්ට වෙනත් ප්‍රදේශ කරා යා නොහැක. මෙම ගොවිපලවල්වල හිමිකරුවන් දුප්පත් ධීවරයින්ට එරෙහි ව නාවික හමුදාව සමඟ සමීප ව කටයුතු කරති. ඉස්සන් කූඩු, වීසි දැල් මගින් මසුන් ඇල්ලීම සහ කකුලු කූඩු වැනි සාම්ප්‍රදායික මසුන් ඇල්ලීමේ ක්‍රම භාවිතා කරන්නන්ට මෙය බලපා ඇත.

යාපනය සහ මන්නාරම නගර යා කරන ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 12 ක් දුරින් පිහිටි වලයිප්පාඩු ධීවර ගම්මානය කිලිනොච්චියට ඈතින් පිහිටි ප්‍රදේශයකි. ප්‍රවාහනය ඉතා විශාල ගැටලුවකි. පොදු බස් සේවා නොමැත. පෞද්ගලික බස් රථ සේවාව ද සීමිත ය. මාර්ගය ඉතා දුෂ්කර තත්ත්වයක පවතී.

ගම්මානයේ පවුල් 538 ක් පමන ජීවත් වෙති. පිරිසිදු කල පානීය ජලය නොමැත. ඔවුන් ලිං භාවිතා කරන නමුත් ජලය ලුනු සහිත බැවින් බීමට සුදුසු නොවේ. පානීය ජලය සඳහා ජනතාව යැපෙන්නේ ජල බවුසර මත ය. පූනගරි ප්‍රාදේශීය සභාව සහ පෞද්ගලික බවුසර් හිමියන් විසින් ජලය ලීටරයක් රුපියල් 2 කට අලෙවි කරති. ජලය සඳහා සතියකට රුපියල් 1000 ක් පමන වැය කිරීමට ජනතාවට සිදු ව තිබේ.

මෑතදී ධීවරයින්ට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය සහ අඛන්ඩ පීඩාකාරී තත්ත්වයන් හෙලා දකින ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. මේ තත්ත්වය අවසන් කිරීමට නම් උතුරෙන් සහ නැගෙනහිරින් හමුදාව ඉවත් කර ගන්නා ලෙස බලකිරීම අත්‍යවශ්‍ය වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ගේ නව වටයක් මුදාහරිමින් සිටින බැවින්, රට පුරා වැඩකරන ජනතාවගේ සහ දුගීන්ගේ ජීවන සහ සමාජ කොන්දේසි තව දුරටත් ඛාදනයට ලක්වෙමින් තිබේ. වික‍්‍රමසිංහ තන්ත‍්‍රය කම්කරු පන්තිය හා ග‍්‍රාමීය ජනතාව නිර්දය ලෙස මර්දනය කිරීමට සූදානම් වෙමින් සිටී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) තම අයිතීන් සඳහා එක්සත් වී සටන් කිරීම සඳහා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව තමන්ගේම ක්‍රියාකාරී කමිටු කඩිනමින් ගොඩනගන ලෙස කම්කරුවන් හා ග්‍රාමීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි. දුප්පත් ධීවරයින් මෙම ස්ථාවරය ගෙන ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුයි.

සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා වන සටන හා අරගලය එක්සත් කිරීමට, මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කැඳවුම් කරයි.

Loading