කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ එස්කුවෙල් සහ අවුරා කම්කරුවන්ගේ රැකියා ආරක්ෂා කරනු!

[මෙය Defend Esquel and Aura workers jobs at the Koggala Free Trade Zone in Sri Lanka! යන මැයෙන් 2022 සැප්තැම්බර් 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරු ක්‍රියාකාරී කමිටුව (කොනිවෙකකක්‍රික) විසින් පහත දැක්වෙන ප්‍රකාශය නිකුත් කරන ලදී. එස්කුවෙල් සහ අවුරා ඇඟලුම් සමාගම්වල සහ අනෙකුත් කම්හල්වල කම්කරුවන් කිහිප දෙනෙකු විසින් ආරම්භ කරන ලද මෙම කමිටුව, නිදහස් වෙලඳ කලාප (නිවෙක) ඇඟලුම් සහ අනෙකුත් නිෂ්පාදන කම්හල්වල තීව්‍ර වන රැකියා කප්පාදු හා සේවා කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීම සඳහා අගෝස්තු 28 දින පිහිටුවන ලදී.

ක්‍රියාකාරී කමිටුව පිහිටුවා දින කිහිපයක් ඇතුලත බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල තාවකාලික ව වසා දමන බව සැප්තැම්බර් 2 දා නිවේදනය කලේ ය. දින 10 කට පසු නැවත විවෘත කරන බව සේවකයින්ට පැවසුව ද එය තවමත් වසා දමා ඇත. ශ්‍රී ලංකාව පුරා විවිධ බ්‍රැන්ඩික්ස් කම්හල්වල සේවකයෝ 50,000 ක් පමන සේවය කරති. පුද්ගලයන් 200 ක් පමන සේවය කල ෆැෂන් ඇඟලුම් කම්හල ද සැප්තැම්බර් 6 වැනි දා වසා දැමුනි.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

පහත දැක්වෙන කොනිවෙකකක්‍රික ප්‍රකාශය එහි සාමාජිකයින් විසින් සාකච්ඡා කර ඒකමතික ව සම්මත කරගන්නා ලදී. වෘත්තීය සමිති, සමාගම්වල පැත්ත ගෙන කම්කරුවන්ට එරෙහි ව ක්‍රියාත්මක වන බව එය පැහැදිලි කරයි. කොග්ගල කම්කරුවන්ගේ ඉල්ලීම්වලට සහාය දෙන ලෙසත්, සියලු රැකියා සහ යහපත් සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යාම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව තමන්ගේ ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙසත් අපි ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව ඇඟලුම් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

***

එස්කුවෙල් (කලින් පොලිටෙක්ස්) සමාගමට අයත් කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) කර්මාන්තශාලා දෙකක් මාර්තු මාසයේ දී වසා දැමීමෙන් පසු කම්කරුවන් 1,600 කට පමන රැකියා අහිමි වී ඇත.

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමයේ (නිවෙකපොසේසං) ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්, සමාගමෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් කරන ලෙස අපෙන් ඉල්ලා සිටියේ ය. මාස තුනකින් කර්මාන්ත ශාලා යලි විවෘත කරන බවටත්, අපව නැවත සේවයේ පිහිටුවන බවටත් ඔහු බොරු කීවේ ය.

එස්කුවෙල් අපට ලබා දුන් වන්දිය කිසිසේත් ප්‍රමානවත් නැත. අපගෙන් බොහෝ දෙනෙකුට බැංකු නය වෙනුවෙන් මාසික වාරික වශයෙන් රුපියල් 12,000 ත් 15,000 ත් අතර ගෙවීමට සිදුවී තිබීමත්, අහස උසට ඉහල නැගෙන ජීවන වියදමත් හේතුවෙන් අපි දැන් ව්‍යසනකාරී සමාජ තත්වයන්ට මුහුන දී සිටිමු.

එස්කුවෙල් විසින් පසුගිය වසරේ ජුනි 29 වන දින යක්කල පිහිටි එවර්බෙස්ට් කර්මාන්තශාලාව වසා දැමූ අතර මෑතකදී ජා-ඇල ඒකල සහ කෑගල්ල ප්‍රදේශයේ පැවති එහි කම්හල් වසා දමා රැකියා 4,000 ක් පමන විනාශ කලේ ය. මෙම සේවකයන්ට ද වන්දි වශයෙන් ලැබී ඇත්තේ සොච්චම් මුදලකි. මෙම බහුජාතික සමාගම මැලේසියාවේ සහ වියට්නාමයේ කර්මාන්තශාලා වසා දමමින් එම රටවල රැකියා දහස් ගනනක් ද අතුගා දමා ඇත.

කොග්ගල නිවෙකයේ තවත් රැකියා සිය ගනනක් විනාශ කර තිබේ. අවුරා ඇඟලුම් කම්හල මෙම වසරේ ජුනි මාසයේ දී වසා දැමූ අතර, එය සැප්තැම්බර් මාසයේ දී නැවත විවෘත කරන බව කලමනාකාරිත්වය ප්‍රකාශ කලේ ය. දැන් එය දින නියමයක් නොමැති ව වසා දමා තිබේ. අගෝස්තු මාසයේ දී කම්කරුවන් 108 දෙනෙකු සේවයෙන් පහ කල ෆැෂන් ඇඟලුම් කම්හල, සැප්තැම්බර් 6 දා මුලුමනින් ම වසා දැමීමෙන් කම්කරුවන් 200 කට වැඩි පිරිසකට රැකියා අහිමි විය.

බ්‍රැන්ඩික්ස් කම්හල සැප්තැම්බර් 2 දා දින 10 කට වසා දමන බව ප්‍රකාශ කර ඇත. ඔවුන්ගේ කම්හල් ද එලෙස ම වසා දමනු ඇති බව ලංකා ගාමන්ට් සහ කොග්ගල ගාමන්ට් යන ඇඟලුම් කම්හල්වල කම්කරුවෝ අපට පැවසුහ.

එස්කුවෙල් සහ අනෙකුත් සමාගම් ලෝක වෙලඳපොලේ අර්බුදයකට මුහුන දී සිටින බව ප්‍රකාශ කරන අතර, ඔවුන් වෙලඳපල වර්ධනය වන විට සූරා කෑම තීව්‍ර කිරීමෙන් දැවැන්ත ලෙස ලාභ උපයා ගනී. මෙම ලාභ නිෂ්පාදනයේ නියැලී සිටින කම්කරුවන් ධනේශ්වර සංගතවල අර්බුදවලට වගකිව යුතු නැත.

ශ්‍රී ලංකාවේ ධනේශ්වර ක්‍රමය ගැඹුරු වන අර්බුදයක ගිලී ඇති බව අපි දනිමු. නමුත් මෙය, කොවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධයෙන් ගැඹුරු වූ සමස්ත ලෝකය ම ගිල ගෙන තිබෙන ආර්ථික ව්‍යසනයක කොටසකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව සහ ධනපති පන්තිය කම්කරුවන් මෙම සමාජ ව්‍යසනයට ඇද දමා ඇත. දැන් ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීම මගින් වඩාත් පුලුල් ප්‍රහාරයක් වේගවත් කරමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව, වික්‍රමසිංහ ආන්ඩුව රාජ්‍ය අංශයේ රැකියා 850,000 ක්, එනම් ඇස්තමේන්තුගත රැකියා මිලියන 1.7 කින් සියයට 50 ක් පමන කපා හැරීමට සැලසුම් කරයි. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සහ පෞද්ගලීකරනය කිරීම හරහා තවත් ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදු කිරීමට නියමිත ය.

ආන්ඩුව සහ හාම්පුතුන් මේ ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් මත පටවන්නේ වෘත්තීය සමිතිවල පූර්න සහයෝගය ඇතිව ය.

ඇන්ටන් මාකස්ගේ නිවෙකපොසේසේස, එස්කුවෙල් කම්හල් වසා දැමීමට සහ සිය ගනනක් රැකියා කපා හැරීමට සහාය දීමෙන් ද්‍රෝහී භූමිකාවක් ඉටු කලේ ය. මෙම කර්මාන්ත ශාලා වසා දමනු ඇති බවට කල්තියා පිලිගෙන තිබියදීත්, නිවෙකපොසේසේස මෙම රැකියා ආරක්ෂා කිරීම සඳහා කිසිදු අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කලේ ය.

යක්කල එවර්බෙස්ට් කම්කරුවන් තම රැකියා සුරක්ෂිත කරගැනීම සඳහා අරගලයක් ආරම්භ කල විට, වෘත්තීය සමිතිය එය පාවා දුන්නේ, කම්කරුවන් නෙරපා හැරීමට කලමනාකාරිත්වයට මග විවර කරමිනි. රැකියා කප්පාදුවට පහසුකම් සැලසීමේ ඇන්ටන් මාකස්ගේ සහ නිවෙකපොසේසේස හි ද්‍රෝහීකම අපි තරයේ හෙලා දකිමු.

කොවිඩ්-19වසංගතය ට ශ්‍රී ලංකාව ප්‍රථම වරට ගොදුරු වූ විට, නිවෙකපොසේසේස, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංකා වෙලඳ හා පොදු සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය සහ එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු සියලුම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති, නිසි සෞඛ්‍ය පහසුකම් නොමැති ව සේවකයන්ට වැඩ කිරීමට බල කරමින්, ආන්ඩුවට සහ සමාගම්වලට සහයෝගය දැක්වී ය.

කොවිඩ්-19 වසංගතයේ කඩතුරාව යටතේ, ඔවුන් වැටුප් හා රැකියා කප්පාදුවලට ද සහාය දුන්හ. රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ද එම පිලිවෙත අනුගමනය කර ඇත. ඔවුන් සියල්ලෝම දැන් ජාමූඅ හි නව වටයක ප්‍රහාරවලට සහාය දක්වති.

වෘත්තීය සමිති, හාම්පුතුන්ගේ සහ ආන්ඩුවේ ඒජන්තයින් බවට පරිවර්තනය වී ඇති බව අපගේම අත්දැකීම්වලින් අපට වැටහේ. අපගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සහ දිනා ගැනීමට ඇති එක ම මාර්ගය නම් අපගේ ම ශක්තිය බලමුලු ගැන්වීමයි.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු තුල සංවිධානය වීමටත් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ සහයෝගය ඉල්ලා සිටීමටත් අප තීරනය කර ඇත්තේ එබැවිනි. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ අපගේ එකමුතුකම ඇති කර ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමඟ අපගේ වැඩ කටයුතු සම්බන්ධීකරනය කිරීමට අප සූදානම් ය.

අපි පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරමු:

  • සේවයෙන් පහ කරන ලද සියලුම එස්කුවෙල් කම්කරුවන්ට රැකියා අයිතිය තහවුරු කරනු! නැතිනම් සම්පූර්න වන්දියක් ගෙවනු!
  • නිවෙක අනෙකුත් සමාගම්, කොග්ගල එස්කුවෙල් ඇඟලුම් කම්කරුවන් බඳවා ගැනීමට පනවා ඇති වාරනය වහා ඉවත් කරනු!
  • රැකියා අහිමි වීම නිසා නය ගෙවා ගත නොහැකි එස්කුවෙල් ඇතුලු සියලු ඇඟලුම් කම්කරුවන්ගේ නය අහෝසි කරනු!
  • අවුරා ඇඟලුම් කම්හල වහා යලි විවෘත කර සියලු ම කම්කරුවන්ගේ රැකියා අයිතිය තහවුරු කරනු!
  • සියලුම ෆැෂන් ඇඟලුම් කම්හල් කම්කරුවන් කොන්දේසි විරහිත ව නැවත සේවයේ පිහිටුවනු!
  • සියලු ම ඇඟලුම් කම්කරුවන්ගේ අවම මූලික මාසික වැටුප රුපියල් 75,000 දක්වා වැඩි කරනු! ජීවන වියදමට සරිලන සේ සියලු වැටුප් වැඩි කරනු! විශ්‍රාම වැටුප් අයිතිය සහ සියලු දෙනාට ම පූර්න වැටුප් සහිත වෛද්‍ය නිවාඩු!
  • සැමට යහපත් නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම්, නල ජලය, විදුලිය සහ සුරක්ෂිත පරිසරයක් ලබා දෙනු!

රැකියා, වැටුප් සහ අනෙකුත් සමාජ අයිතීන් සඳහා වන මෙම අරගලයට සහාය දෙන ලෙස ශ්‍රී ලංකාවේ එස්කුවෙල්, ෆැෂන් ගාමන්ට්ස්, අවුරා සහ අනෙකුත් ඇඟලුම් කම්කරුවන් ඇතුලු රැකියා අහිමි වූ සියලු ම කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු. මැලේසියාව, වියට්නාමය, චීනය, බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය සහ අනෙකුත් රටවල කම්කරුවන්ගේ කුරිරු සේවා කොන්දේසි අවසන් කිරීමට ද අප සටන් කල යුතු ය.

අපගේ ක්‍රියාකාරී කමිටුව පිහිටුවීමට අපට උපකාර කල සමාජවාදී සමානතා පක්ෂය පෙන්වා දී ඇත්තේ ධනේශ්වර ක්‍රමය යටතේ අපගේ ප්‍රශ්න විසඳිය නොහැකි බවයි. කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහා සංගත, විශාල බැංකු සහ වතු ජනසතු කරන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස ක්‍රියාකාරී කමිටු නියෝජිතයින් මත පදනම් වූ, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා එය සටන් වදියි.

කම්කරුවන් සහ දුප්පතුන් දැන් මුහුන දෙන ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්න ජය ගැනීමට මෙම ක්‍රියාමාර්ගය අවශ්‍ය බව අපි පිලිගන්නෙමු, ඔබේ සේවා ස්ථානයේ, කර්මාන්තශාලාවේ හෝ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශයේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට ඔබට උදවු කිරීමට අපට හැකි සෑම දෙයක් ම අපි කරන්නෙමු.

Loading