කොග්ගල ෆැෂන් ගාමන්ට් වසා දැමීමෙන් කම්කරුවන් සිය ගනනකට රැකියා අහිමි වෙයි

කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) පිහිටි, ඉන්දියානු ආයෝජකයෙකු විසින් පවත්වා ගෙන ගිය ෆැෂන් ගාමන්ට් ඇඟලුම් කම්හල වසා දැමීමෙන් 200ට අධික කම්කරුවන් ට රැකියාව අහිමි වී ඇත. අඟහරුවාදා කම්හල සම්පුර්නයෙන් වසා දැමීමට සති කිහිපයක ට පෙරාතුව නිෂ්පාදන පේලි දෙකක් වසා කම්කරුවන් 108 කගේ රැකියා අහිමි කෙරුනි. ජනවාරි මාසයේ නැවත කම්හල විවෘත කරන බව පාලකයන් කම්කරුවන්ට පවසා ඇත.

ඇසුරුම් අංශයේ කිහිප දෙනෙකු පමනක් දැනට සේවයේ යොදවා ඇති අතර කම්හල යලි විවෘත කිරීම ගැන කම්කරුවන්ට විශ්වාසයක් නැත.

කාර්ය මන්ඩලයේ සේවයේ නියුක්ත සිටි කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: “මම වැඩට ඇවිල්ලා මාස අටක් විතර වෙනවා. අගෝස්තු 29 වෙනිදා ඉඳලා ෆැක්ටරිය වැඩ කලේ නැහැ. හය වෙනිදා වැහැව්වා. වහන කොට ඉතිරිවෙලා හිටියේ 100 ක් විතර. ගිය මාසේ පඩිය මේ මාසේ 18 වනදාට කලින් දෙනවා කිව්වා. ජනවාරි මාසේ නැවත ෆැක්ටරිය අරිනවා කිව්වා. ඒ වුනා ට අපිට නම් විශ්වාසයක් නැහැ අරියි කියල. සමහරු අවුරුදු 20-28 වැඩ කරපු අය”.

ෆැෂන් ගාමන්ට් හි කම්කරුවන් ගේ රැකියා අහිමි කිරීම ධනපති හාම්පුතුන් විසින් ක්‍රියාවට දමන පුලුල් රැකියා ඝාතනයක කොටසකි.

මීට පෙරාතුව හොන්කොන්ග් පදනම් කර ගත් බහු ජාතික සමාගමක් වන එස්කුවෙල් සමාගම, එහි යක්කල එවර් බෙස්ට්, කොග්ගල කම්හල් දෙක සහ ජාඇල ඒකල සහ කෑගල්ලේ කම්හල් වසා දමා, සොච්චම් වන්දියක් පමනක් ගෙවා 6000 ක් පමන කම්කරුවන් ට රැකියා අහිමි කලේ ය. මෑත වසරවල දී එස්කුවෙල් සමාගම ට හිමිව තිබු වියට්නාමයේ සහ මැලේසියාවේ කම්හල් ද වසා දමා ඇත.

කොග්ගල නිවෙක තවත් කම්හල් කිහිපයක දහස් ගනනක් කම්කරුවෝ රැකියා අහිමිවීමේ තර්ජනය ට මුහුන දී සිටිති. බහු ජාතික සමාගමක් වන බ්‍රන්ඩික්ස් කම්හල ද සැප්තැම්බර් 2 වෙනිදා සිට වසා ඇත. දින 10කින් යලි විවෘත කරන බවත් වැසූ කාලයට වැටුප් ගෙවන බවත් පාලකයන් පවසා ඇත. පසුගිය මාස කිහිපයක්ම සිකුරාදා දින මෙම ආයතය වසා තැබූ බවත් සෙසු දිනවල දහවල් කාලය පමනක් වැඩකර සවස 4.30 ට වැසූ බවත් කම්කරුවෝ කීහ. කම්හල වසා දැමුවොත් කම්කරුවන් 1,100 ගේ පමන රැකියා අහෝසි කෙරෙනු ඇත. කොග්ගල ගාම්න්ට් සහ ලංකා ගාමන්ට් යන කම්හල් දෙක ද වසා දැමීමේ සැලස්මක් ඇතැයි ඒවායෙහි කම්කරුවෝ කීහ.

කම්කරුවන් ට සති කිහිපයක ට නිවාඩු දී කම්හල් වසා දැමීම රැකියා අහිමිවීමට එරෙහිව කම්කරුවන්ගෙන් මතුවිය හැකි විරුද්ධත්වය සහ අරගල මඟ හැරීමට සමාගම් යොදාගෙන ඇති උපක්‍රමයකි. සති දෙකකට නිවාඩු දෙන බව කියා ජුලි මාසයේ වසා දැමු කොග්ගල අවුරා කම්හලේ කම්කරුවන් මෙතෙක් සේවයට කැඳවා නැත. ජුනි මාසයේ වැටුපෙන් ඔවුන් ට ගෙවා ඇත්තේ ද අඩක් පමනි. කම්හල යලි විවෘත කිරීම පිලිබඳව කිසිදු සහතිකයක් නැත. කම්කරුවන් 300 ගේ රැකියා දන්ගෙඩිය මත තබා ඇත.

හාම්පුතුන් විසින්.ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා විනාශය සිදු කෙරෙන්නේ ධනපති ආන්ඩුවේ සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය. හිතුමතේට කම්හල් වසා කම්කරුවන් රැකියාවලින් නෙරපීම සම්බන්ධයෙන් පවතින සීමිත නීතිය යටතේ පවා නීතිමය පියවර ගැනීම කම්කරු අමාත්‍යාංශය සහ ආන්ඩුව පැහැර හැර ඇත.

කම්හල් හෝ ව්‍යාපාරයක් ඈවර කිරීමේ දී සේවය අහෝසි කිරීමේ පනත යටතේ කම්කරු කොමසාරිස් ගේ අනුමැතිය ලබා ගත යුතු අතර සේවය අහිමි වන කම්කරුවන් ට වන්දි පනත ට අනුකුල ව හාම්පුතා විසින් වන්දියක් ගෙවිය යුතුය. බරපතල මුල්‍ය අහේනියකින් පෙලෙන රනිල් වික්‍රමසිංහ ආන්ඩුව කටයුතු කරමින් සිටින්නේ පවතින මේ සීමිත නීතිත් සංශෝධනය කොට ආයෝජකයන් ට සහ මහා ව්‍යාපාරිකය ට පහසුකම් සැලසීමට ය.

වෘත්තීය සමිති මෙම රැකියා විනාශය ට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා පමනක් නොව, රැකියා විනාශයට කම්කරුවන් කරබදු කිරීමේ අතිශය ප්‍රතිගාමී භූමිකාවක් ඉටුකරති.

එස්කුවෙල් කම්කරුවන්ගේ රැකියා අහිමි කිරීමේ දී කම්කරුවන් සංවිධානය වී සිටි නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස) සුවිශේෂ භුමිකාවක් ඉටුකලේ ය. යක්කල එව්‍ර්බෙස්ට් වසා දැමීමට එරෙහිව මතු වූ එහි කම්කරුවන්ගේ අරගලය නිවෙකපොසේ විසින් පාවා දෙනු ලැබීය. ඒකල, කොග්ගල සහ කෑගල්ලේ කම්හල්වසා දැමීමේ දී කම්කරු අරගලයක් මතුවීම නිවෙකපොසේසේස නායක ඇන්ටන් මාකස් විසින් දැනුවත් ව ම වලකාලීය. කොග්ගල දී ඔහු එස්කුවෙල් කම්හල් නව හාම්පුතෙක් යටතේ යලි විවෘත කරන බවට කම්කරුවන් නොමග යවා ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන බවට සමාගමේ ලිපියකට කම්කරුවන් ලවා අත්සන් කරවී ය.

කෝවිඩ් වසංගතය මධ්‍යයේ නිවෙකපොසේසේස සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය ඇතුලු පුද්ගලික අංශයේ වෘත්තීය සමිති ආන්ඩුව සහ හාම්පුතුන් සමග ත්‍රයිපාක්ෂික ගිවිසුමකට එලැඹෙමින් රැකියා හා වැටුප් කප්පාදුවට සහ කම්කරුවන් අනාරක්ෂිතව සේවයේ යෙදවීමට සහයෝගය දුන්හ.

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා විනාශ කිරීම ඇඟලුම් නිෂ්පාදක සමාගම් මුහුන දී සිටින අර්බුදය කම්කරුවන් මතට කඩාපාත් කිරීමකි. ජාත්‍යන්තර වෙලඳපොල තුල තරඟය තිව්‍රවීම, ඉල්ලුම පහත වැටීම, ඇඟලුම් ඇනවුම් වලින් සැලකිය යුතු ප්‍රමානයක් අහිමිවීම-ඇනවුම් වලින් සියයට 20 ක් පමන බංගලාදේශය සහ ඉන්දියාවට යොමුවී ඇති බව ඇඟලුම් අපනයන කරුවන්ගේ සංවිධාන සංසදය මෑත දී පවසා තිබුනි- මගින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කරමාන්තය බරපතල අර්බුදයක ට ඇද දමා ඇත.

ධනවාදයේ අර්බුදය විසින් නිර්මිත ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සහ අපනයන කරුවන්ගේ අර්බුදයට ඇඟලුම් කම්කරුවන් වගකිව යුතු නැත. රැකියා සහ වැටුප් ඇතුලු සමාජ අයිතීන් සඳහා ඔවුහු සටන් කල යුත්තාහ. අලාභ බව පවසන කම්හල් වල ගනන් හිලව් පොත් විවෘත කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. වසා දැමීමට සුදානම් වන කම්හල් වාඩිලා ගත යුතුය. වසා දැමීමෙන් රැකියා අහිමි වන්නේනම් විශ්‍රාම යාමේ වයසට හා ජීවන වියදමේ ඉහල යාමට ගැලපෙන පුර්න වන්දි මුදලක් හාම්පුතා විසින් ගෙවිය යුතු වෙයි. මෙම ඉල්ලීම් මත සියලු ඇඟලුම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරලයක් සංවිධානය කිරීම අවශ්‍යවෙයි.

එහෙත් දැනටමත් කම්කරුවන් ප්‍රායෝගිකව අත්දැක ඇති පරිදි ධනපති රාජ්‍යයේ සහ හාම්පුතුන්ගේ අත්ගෙඩියක් ලෙස ක්‍රියාත්මක වෙමින් කම්කරුවන්ට වින කටින වෘත්තීය සමිති තුලින් එවන් අරගලයක් සංවිධානය කල නොහැකිය. එවන් අරගලයක් සංවිධානය කිරීමට වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා ක්‍රියා කමිටු ඇඟලුම් කම්කරුවන් විසින් ගොඩනගා ගැනීම අවශ්‍ය වෙයි.

සමාජවාදී සමානතා පක්ෂයේ මග පෙන්වීම යටතේ රැකියා අහිමි වූ කොග්ගල එස්කුවෙල් කම්කරුවන් එවන් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගා ගනිමින් දැනටමත් ආරම්භකත්වයක් ගෙන ඇත. රැකියා අහිමි වූ හා රැකියාවේ නියුක්ත කොග්ගල, කටුනායක, අවිස්සාවේල්ල, බියගම ඇතුලු සියලු නිවෙක වල ඇඟලුම් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පියවර ගැනීම කල් නොදැමිය යුතු අවශ්‍යතාවයකි. සසප ඒ සඳහා මග පෙන්වීම සහ නායකත්වය සම්පාදනය කරනු ඇත.

Loading