කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ කම්හල් වැසි යාමේ තර්ජනයකට මුහුන දෙති

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් කන්ඩායමක් පසුගිය සති අන්තයේ කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් මුනගැසී ඔවුනගේ රැකියා සහ ජීවන කොන්දේසි පිලිබඳ සාකච්ඡාවක නිරත වූහ.

කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල එක්සත් ජනපද සහ නැටෝ හමුදාවන් රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය හේතුවෙන් ලෝක වෙලඳපොල හැකිලී ඇනවුම් අඩුවී ඇතිබව පවසන කම්හල් කලමනාකාරිත්වයන්, ඔවුන් මුහුදෙන අර්බුදයේ සියලු බර තමා මත පටවමින් සිටින බව කම්කරුවෝ පැවසූහ. රැකියා කප්පාදුව, අතිකාල ඇතුළු සියලු දීමනා කපා හැරීම, වැටුප් ගෙවීම පැහැර හැරීම සහ වැටුප් නොගෙවා අත්තිකාරම් පමනක් ගෙවීම ආදී ප්‍රහාරයන්ට ඔවුහු ගොදුරුව සිටිති.

කොග්ගල ආයෝජන කලාපයේ කම්කරුවෝ

කම්හල් කලමනාකාරිත්වයන් විසින් කම්කරුවන්ගේ පුද්ගලික තොරතුරු ඇතුලත් ලේඛන සකස්කොට ඒවාට අත්සන් ගැනීම අරඹා ඇති බවත්, දැවැන්ත රැකියා විනාශයකට ඔවුන් අරඅදිමින් සිටින බව එහි ඇඟවුම බවත් කම්කරුවෝ කියා සිටියහ.

ඒකාබද්ධ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජ්‍ය සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු රුපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා පැවසුවේ, සියයට 10-20 අතර ප්‍රමානයක ඇනවුම් ශ්‍රී ලංකාවට අහිමිව ඇති බවයි. එලෙස අහිමි වූ ඇනවුම්, අසල්වැසි තරඟකරුවන් වන ඉන්දියාව හා බංග්ලාදේශය වෙත ඇදී ගිය බව ඔහු වැඩිදුරටත් පැවසීය. ඉදිරි කාල පරිච්ඡේදය තුල අලුත් ඇනවුම් නොලැබුනහොත් ඇඟලුම් කර්මාන්තය අතිශය බරපතල අනතුරකට ලක්විය හැකි බවද ඔහු කියා සිටියේ ය.

ප්‍රනාන්දු සමග කරන ලද සාකච්ඡාවෙන් වැඩිදුරටත් හෙලිවූයේ, පවතින ඉහල අවදානම මත, ලෝක සන්නාම දරන ප්‍රධාන සමාගම් වලට පවා ඇනවුම් ලබා දීමට ගැනුම්කරුවන් මැලිවන බවයි. එලඹෙන මාස වල ලෝක ආර්ථිකය අවපාතයකට ගමන් කරනු ඇතැයි ආර්ථික විශේෂඥයන් පෙන්වාදෙන බවත්, ඒ අනුව ගැනුම්කරුවන්ගේ මිලදී ගැනීමේ ශක්තිය තව දුරටත් පහල යනු ඇති බවත් ඔහු පැවසීය.

වැඩිදුරටත් කරුනු දැක්වූ ප්‍රනාන්දු කියා සිටියේ, 2022 වර්ෂයේ ඇඟලුම් අපනයනයෙන් බලාපොරොත්තුවන ඩොලර් බිලියන 6ක ආදායම, පවතින අර්බුදය හමුවේ සාක්ෂාත් කරගත නොහැකි බවයි. කෙසේ වෙතත් සේවකයින් වර්ජනයන්ට නොකැඳවමින් කර්මාන්තය අඛන්ඩව පවත්වාගෙන යාමට වෘත්තීය සමිති ලබාදෙන දායකත්වයට තමා කෘතඥ වන බව යි.

2020 - 2021 වසර වල මාරාන්තික කෝවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යද්දී, එයින් කම්කරුවන් ආරක්ෂා කර ගැනීමට කිසිදු සාධනීය පියවරක් නොගත් ආන්ඩුව, කම්හල් හිමියන් හා වෘත්තීය සමිති, කම්හල් විවෘතව තැබීමට ත්‍රෛපාක්ෂික එකඟතාවකට එලැඹෙමින් කම්කරුවන්ගේ ජිවිත දැවැන්ත අවදානමකට ලක් කලහ. මෙම එකඟතාව මත කම්කරුවන් දසදහස් ගනනකට රැකියා අහිමි කෙරුන අතර, වැටුප් අඩකට කපා දැමුනි. දැන් අපනයන හැකිලීමේ බර ද කම්කරුවන් මත පැටවීමට මෙම ත්‍රෛපාර්ශ්වය එක්ව සිටිති.

ශ්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප 14ක් තුල කර්මාන්ත ශාලා 1600ක 500,000කට අධික කම්කරුවන් පිරිසක් තම දිවි ගැට ගසා ගනී. කොග්ගල නිදහස් වෙලඳ කලාපය තුල ලෝක සන්නාම ඈතුලත් කර්මාන්තශාලා රැසක් ක්‍රියාත්මකවන අතර ඒ තුල කම්කරුවන් 12,500 පමන රැකියාවේ යෙදී සිටිති. ඇඟලුම් කර්මාන්තශාලා තුල මාසික වැටුප රු. 25,000 - 35,000 අතර අගයක දෝලනය වන අතර පිම්මේ ඉහල යන ජිවන වියදම සමග එය කිසි ලෙසකින්වත් නොපෑහේ.

ලාභ ගරන ධනපති ක්‍රමය තුල දරිද්‍රතාවයේ පතුලටම කිඳවා ඇති කම්කරුවන්ට තම තාරුන්‍යය කම්හලටම කැප කිරීමට බලකෙරී ඇත. කොග්ගල යුනිචෙලා ගාමන්ට් හි තරුන කම්කරුවෙකු ලෝසවෙඅ ට පැවසුවේ තමා වසර 15 කටත් අධික කාලයක් කම්හල තුල සේවය කරන බවත් එයින් යන්තම් දිවි ගැට ගසා ගන්න බවත් ය. 'ගාමන්ට් වලට ඕඩර් නැතුව වහනවා කියලා අපටත් ආරංචියි, අපිත් ඉන්නේ බයෙන් තමයි' යැයි ඔහු පැවසීය.

ස්ටාර් ගාර්මන්ට් හි තරුන කම්කරුවෙක් ලෝසවෙඅ වාර්තාකරුවන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් තමා මුහුන දෙන අතිශය ඛේදනීය තත්වය විස්තර කලේය. 'තවමත් පසු ගිය ජුනි මාසයේ වැටුප දුන්නේ නෑ, මේ සතියෙවත් දේවිද කියලයි බලන් ඉන්නේ' යැයි ඔහු පැවසීය.

ඒ අතර පැෂන් ගාර්මන්ට් හි කම්කරුවෙකු පැවසුවේ පසුගිය මාසයේ වැටුපෙන් රු. 10,000/- ක අත්තිකාරමක් පමනක් ලබා දුන් අතර ඇනවුම් නැතුව රැකියාව අහිමි වුවහොත් තමා කුමන ඉරනමකට පත් වෙයිදැයි නොදන්නා බවයි. 'මේ වෙලාවේ අපි මහන ඩෙනිමක් මිල දී ගන්න අපි මාස දෙකක් වැඩ කරන්න ඕන' යැයි වොර්ග් ටෙක්ස් ගාර්මන්ට් හි කම්කරුවෙකු කියා සිටියේ ය.

වසර 8ක් පමන කොග්ගල යුනිචෙලා ගාමන්ට් හි සේවය කරන කම්කරුවකුගේ මවක් ලෝසවෙඅ ට ප්‍රකාශ කර සිටියේ පවතින ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුන දීමට තමාට කිසිම පිහිටක් නොමැති බවත් 'වත්තේ තියෙන නැදුන් ගසක් වත් කපා විකිනීමට' තමා සිතා සිටින බවත් ය.

ඉදිරි කාලපරිච්ඡේදය තුල ඇඟලුම් ඇතුළු සියලු අපනයන ක්ෂේත්‍ර දැවැන්ත කඩාවැටීමකට මුහුන දෙන අතර, තම රැකියා සහ ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය සුදානම් විය යුතුය. මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ, කම්කරු පංතිය තමාගේම ස්වාධීන දේශපාලන පිලිවෙතක් මත ගෝලීය ධනවාදයට එරෙහිව සටන් වැදීමෙන් පමනි. තමා ධනපති ක්‍රමයට බැඳ තබන වෘත්තීය සමිති වලින් මුලුමනින්ම බිඳී, තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. සමාන කොන්දේසි වලට මුහුන දෙන සහෝදර කම්කරු පන්තිය අතර එබදු ක්‍රියාකාරී කමිටු ජාලයක් ස්ථාපිත කරගත යුතු ය.

සියලු විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම, බිලියනපතියන්ගේ හා සංගත ප්‍රභුවේ ධනය අත්පත් කරගැනීම හා වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතාවයකට සදහා යොදාගනු පිනිස නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ මාධ්‍ය කම්කරුවන්ගේ පාලනය මත පිහිටුවීම ඇතුළු ප්‍රතිපත්ති මාලාවක් මත එම කමිටු ජාලය සටන් කලයුතු බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) කියා සිටී.

මෙම කමිටු ජාලය හරහා, දේශපාලන සංස්ථාපිතයේ හා ධනපති රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී කුමන්ත්‍රනවලට විරුද්ධ ව කම්කරු පන්තිය තමන්ගේ ම දේශපාලන බලයේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කල යුතු ය. කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සදහා සසප කරන කැඳවුමට ක්‍රියාශීලී දායකත්වය ලබාදෙන ලෙස සසප සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

සසප ක්‍රියාමාර්ගය වන්නේ සමාජවාදී ජාත්‍යන්තර වාදයයි. තමන් හා සමාන කොන්දේසි වලට මුහුන දෙන ආසියාවේ හා ලොව පුරා සිය පන්ති සහෝදරයින් වෙත හැරෙන ලෙස සසප කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ එබැවිනි.

Loading