ප්‍රමුඛ වෘත්තීය සමිති තුනක් ඇඟලුම් හාම්පුතුන් සමග කම්කරු විරෝධී ගිවිසුම්වලට එලඹෙති

ප්‍රමුඛ වෘත්තීය සමිති තුනක්, පසුගිය දෙසැම්බර් 23 දා, ඇඟලුම් කර්මාන්ත හාම්පුතුන්ගේ ප්‍රමූඛතම ආයතනය වන ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය (ඒඇසස) සමග 'ඓතිහාසික' “ද්වි-පාර්ශවීය” සම්මුතියකට අත්සන් තැබූ බව පැවසෙන “ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක්”, එම සමිති විසින් 'වෙලඳ කලාප සේවකයෝ' මුහුනු පොතේ පලකොට තිබුනි. මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ දකුනට රූටා යමින් සිටින සමිති නිලධරය කම්කරු පන්තිය පාවාදීමේ නව සන්ධිස්ථානයක් පසුකරමින් සිටින බවයි.

“ඒඇසස සහ වෘත්තීය සමිති එකමුතුව (Union Collective) අතර අවබෝධතා ගිවිසුම” සහ “කොවිඩ්-19 වසංගතයෙන් ප්‍රකෘතිමත් වීම: උත්සුකතාවයන් පිලිබඳ ප්‍රකාශය” නම් වූ ලේඛන දෙකකින්, මෙම ඊනියා ඓතිහාසික “ද්වි-පාර්ශවීය” සම්මුතිය සමන්විත වෙයි. අත්සන් තැබූ වෘත්තීය සමිති වන්නේ ඇන්ටන් මාකස් සමලේකම් ධූරය දරන නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ලෙස්ලි දේවේන්‍ද්‍ර ප්‍රධාන ලේකම් ධූරය දරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස) සහ පාලිත අතුකෝරාල සභාපති ධූරය දරන ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය යි.

වසංගතය සඳහා ද්වීපාර්ශ්වීය සෞඛ්‍යාරක්ෂක කමිටු ගොඩ නැගීම, රැස්වීමේ නිදහස හා ඒකාබද්ධ කේවල් කිරීමේ අයිතිය සහ ගැටුම් නිරාකරනය කිරීම සඳහා ද්වීපාර්ශ්වීය යාන්ත්‍රනයක් ඇති කිරීම යන කරුනු “අවබෝධතා ගිවිසුම” ට ඇතුලත් වන අතර, “උත්සුකතාවයන් පිලිබඳ ප්‍රකාශයේ” මූලික එල්ලය ලෙස සඳහන් වන්නේ වසංගතය හේතුවෙන් ලෝක පරිමානව පසුබැසීමට ලක්වී ඇති ගෝලීය ඇඟලුම් කර්මාන්තය යලි නගා සිටුවීමයි.

'සේවකයින්ගේ අයිතින් ආරක්ෂා කිරීමත්, කර්මාන්තයේ සේවකයින් රඳවා තබා ගැනිම සඳහා උනන්දු කරවීමත්', මෙම 'සියලුම ප්‍රයත්නයන්ගේ කේන්ද්‍රය” බව නිවේදනයේ ව්‍යාජ ලෙස සඳහන් කරන නමුදු, සම්මුතියේ සැබෑ අරමුන වනුයේ, කර්මාන්තය මුහුන දී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේදී සමිතිවල සහාය වඩාත් ඉහල තලයකින් සංවිධානය කර ගැනීමයි.

වසංගතයෙන් උග්‍ර කෙරී ඇති ආර්ථික අර්බූදයේ බර කම්කරුවන් මතට පැටවීමේදී ලංකාවේ සමිති ඇතුලු ලොවපුරා වෘත්තීය සමිති ධනපති පංතියට ලබාදෙනුයේ පෙරනොවූවිරූ වාරුවකි. එක්සත් ජනපදය තුල යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සමිතිය වොල්වෝ ට්‍රක් කම්කරුවන් මතටද, යුනයිටඩ් ස්ටීල්වර්කර්ස් සමිතිය ඩානා ෆෝට් වේන් කම්කරුවන් මතටද, දකුනු අප්‍රිකාවේ නැෂනල් යූනියන් ඔෆ් මෙටල් වර්කර්ස් ඔෆ් සවුත් ඇෆ්‍රිකා සමිතිය වර්ජනයේ සිටි 155,000 වන ලෝහ කර්මාන්ත කම්කරුවන් මතටද වැටුප් කප්පාදු ගිවිසුම් පටවා ඇත.

ඉහත සමිති තුනේ “ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය” සඳහන් කරන්නේ “සේව්‍ය සේවක දෙපාර්ශවයට හා ජාතික ආර්ථිකයටද වාසිදායක වන ද්වි-පාර්ශවීය එකඟතාවක් මත” ඒඇසස සමගින් සියලුදෙනාම කැප විය යුතු බවයි. එනම්, 'ජාතික ආර්ථිකය' ආරක්ෂා කිරීමේ නමින් මහධනපතියන්ගේ ලාභ ආරක්ෂා කර දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ඇතුලු පාලක පංතිය ගෙනයන රුදුරු පිලිවෙත් වලට කම්කරුවන් කරබදු විය යුතු බවයි.

“එවැනි ද්වි-පාර්ශවීය එකඟතාවයක අවශ්‍යතාවය හේතු කාරනා කිහිපයක් නිසාවෙන් කලෙක සිට දැනුන” බවත් “ගැටුම් නිරාකරනයේදී අතිශය පීඩාකාරී, සංකීර්න හා දිගු ඇදෙන නිලධරවාදී ඇතැම් විට තෙවන පාර්ශවයකද මැදිහත්වීම් සෙවිය යුතුවන ක්‍රියාදාම හේතුවෙන් අපතේ යන කාලය” වලකා ගැනීම සැලකිල්ලට ගත් බවත් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

මාස හතක් පුරා සාකච්ඡා කොට හාම්පුතුන් සහ සමිති මෙම සම්මුතියට එලැඹුනේ, පසුගිය වසර කිහිපය තුල වැඩෙමින් පැවැති පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ කැරලිකාරිත්වය සමිති නිලධරයේ පාලනය ඉක්මවා යමින් සිටින බවට දෙපාර්ශ්වයටම පවත්නා භීතිය හේතුවෙනි. සමහර කම්කරු අරගල පුපුරා ගියේ සමිතිවල කැඳවීමකින් තොරවය. සමිති පලමුව ගිවිසුම් සඳහා යෝජනා ඉදිරිපත් කලේ 2019 දීය, එනම් කොරෝනා වසංගතය මතුවීමට පෙර සිටය.

කම්කරු අරගල පැන නැගුනු විට මෙම නායකයන් සෑම විටම කලේ අවම වශයෙන් තම සමිතිවල සාමාජිකයින් සෙසු අරගල වටා බලමුලු ගන්වනවා වෙනුවට කම්කරුවන් හෙම්බත් වනතෙක් හුදකලා උද්ඝෝෂනවලට කොටු කරමින් අවසානයේදී කම්කරු උසාවිවල රස්තියාදු කරමින් අරගල පාවාදීමයි.

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි අත් වැසුම් නිෂ්පාදන කරන ඒටීජී සිලෝන් කම්හලේ පරිපාලනය, 2019 ජනවාරි මස “කම්හලට අයත් දේපල අනිසි ලෙස භාවිතා කිරීම” යන ව්‍යාජ චෝදනාවක් නගමින් එහි පැවති මාකස්ගේ සමිතියේ ක්‍රියාකාරීන් හය දෙනෙකු රැකියාවෙන් නෙරපා දැමූහ. දඩයමට එරෙහිව කම්කරුවන් 1000 ක් පමන වර්ජනයකට එලැඹි නමුත් උපවාසවලට සහ කම්කරු උසාවියේ නඩුවලට කොටු කිරීමෙන් හා ඔවුන් හුදකලා කිරීමෙන් මාකස් අරගලය පාවා දුනි.

මෙම පාවාදීම් මධ්‍යයේ සමිති නිලධරය කම්කරුවන්ගේ අතිමහත් පිලිකුලට පත්ව ඇත. දැන් මෙම සමිති නිලධරය මාන බලන්නේ, අධිකරනයට යාමෙන් ද වැලකී, ඍජුව හාම්පුතුන් සමග සම්මුතිවලට යමින් හාම්පුතුන්ගේ 'විසඳුම්' කම්කරුවන් මත පැටවීමටයි.

කම්කරු අධිකරන මගින් අතීතයේදී කම්කරු අයිතීන් ආරක්ෂා කෙරෙන යම් තීන්දු ඉඳහිට ලබා දුන්න ද, මෙම අධිකරන සෑමවිටම, හාම්පුතුන්ගේ අවශයතාවයන්ට ප්‍රමූඛතාවය ලබාදුනි. හාම්පුතුන් සමග සම්මුතිය කෙතරම් දුරදිග ගොස් ඇත්දයත්, අධිකරන භූමිකාව ඉටු කිරීමට පවා “ගැටුම් නිරාකරනය” කඩතුරාව යටතේ සමිති නායකයෝ උර දී සිටිති.

හාම්පුතුන් කෙරෙහි විශ්වාසය වගාදිගා කිරීම සඳහා මෙම සමිති වෙර දරමින් සිටින්නේ හාම්පුතුන්ට එරෙහිව කම්කරුවන්ගේ වෛරය මෝදු වෙමින් පවතින තතු යටතේය. කම්කරුවන්ගේ ජීවිත අනතුරට හෙලමින්, රාජපක්ෂ ආන්ඩුවේ “ආර්ථිකය විවෘත කිරීමේ” පිලිවෙත යටතේ කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා මෙම සමිති නායකයෝ පූර්න මහයෝගය ලබා දුන්හ.

“කර්මාන්ත යලි ඇරඹීමේදී පැනනගින ගැටලු සාකච්ඡා කිරීමට සහ එහිලා වෘත්තීය සමිතිවල යෝජනා ඉදිරිපත් කිරීමට” සාකච්ඡාවක් ඉල්ලා සිටිමින්, මාකස්, ලංකා වෙලඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (සීඑම්යූ) ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහ එක්සත් කම්කරු සම්මේලනයේ (එකස) සභාපති ලීනස් ජයතිලක ඇතුලු සමිති නායකයෝ 2020 අප්‍රේල් මස රාජපක්ෂට ලිපියක් යොමු කලහ.

ආන්ඩුවේ මුලිකත්වයෙන් 2020 මැයි මාසයේ ආන්ඩුවේ බලධාරීන්, හාම්පුතුන් විසින් පිහිටුවන ලද ත්‍රෛපාර්ශ්වීය කාර්යසාධක බලකායකට නිවෙකපොසේසේස, ශ්‍රීලනිසේස, සීඑම්යු, එකස සහ ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවෙන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) කරබදු වූහ. මෙය පිහිටුවීමෙන් අනතුරුව මාකස් සඳහන් කලේ කිසිම සේවකයෙකු අස්කරන්නේ නැති බවට ආන්ඩුවෙන් 'සහතිකයක්” ලැබුනු බව යි.

එහෙත් මාකස් ඔජවඩවන ආන්ඩුවේ 'සහතිකය' තිබිය දී ඇඟලුම් කම්කරුවන් ලක්ෂ ගනනකට රැකියා අහිමි වී ඇති අතර වැඩ වේගවත් කිරීම, වැටුප් හා දීමනා කප්පාදුව සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය කිරීමේ කොන්දේසි වලට ද කම්කරුවෝ මුහුන දී සිටිති.

අනතුරුව, කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සමග සමිති නායකයින් එකතුවී සෞඛ්‍ය බලධාරීන්ගේ දැනුම් දීම් අනුව වසංගතයට එරෙහි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම සඳහා සියලු කර්මාන්ත ශාලාවල ‘කම්හල් සෞඛ්‍ය කමිටු’ පිහිටුවීමේ තීන්දු ගනු ලැබුවද, මෙම කමිටු පැවතියේ නාමිකව පමනි.

නිසි සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් වලින් තොරව සේවයේ යෙදවීම නිසා 2020 වසරේ ඔක්තෝබරයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ඇඟලුම් කම්කරුවන්ට කොරෝනා රෝගය ආසාදනයවීම ආරම්භ වීමත් සමග ඇඟලුම් සහ අපනයන කම්කරුවෝ දහස් ගනනක් පසුගිය දෙවසර තුල වසංගතයට ගොදුරු වුහ. කම්කරුවන් ගනනාවක් මිය ගියහ.

පිම්මෙ ඉහල යන බඩුමිල නිසා කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට එල්ල වී ඇති රුදුරු ප්‍රහාර හමුවේ රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන් කෙරෙහි වර්ධනය වන බරපතල කෝපය හා නොසන්සුන්කම සමනය කිරීමේ එල්ලය ඇතිව වෘත්තීය සමිති මෙවර අයවැයෙන් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් හා දෛනික අවම වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා සිටි නමුත් මෙයද නිෂ්ඵල විය.

ඇඟලුම් සහ අපනයන නිෂ්පාදන අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 20,000 ක් වන අතර සියලු දීමනා සහිතව මුලු වැටුප රුපියල් 32,000 - 35,000ක පමන සාමාන්‍යයක්වේ. බඩු මිල ඉහල යාමත් සමග දැන් රුපියල් 5,000 - 10,000 ක් අතර අමතරව වියදම් දැරීමට සිදුවන බව කම්කරුවෝ පවසති.

ජාඇල, ඒකල පිහිටි එස්ක්වෙල් ශ්‍රී ලංකා ඇඟලුම් කම්හලේ කම්කරුවන් විසින් රුපියල් 3,000 ක වැඩි වැටුප් ඇතුලු වෙනත් ඉල්ලීම් ඉදිරිපත් කරමින් දෙසැම්බර් 14 සිට ආරම්භ කල සතියක් ඉක්මවූ වැඩ වර්ජනය මාකස් අවසන් කලේ වැඩිවීම රුපියල් 1,750 ක සොච්චමකට යටත් කරමිනි.

කටුනායක කලාපයේ පිහිටි නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ රුපියල් 4,000 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ජනවාරී 7 දා සිට වැඩ වර්ජනයක නිරතව සිටිති. මෙම කම්කරු අරගල වනාහි දිවයින පුරා පසුගිය මාසවල දියත් කෙරුනු ගුරුවරුන්ගේත්, සෞඛ්‍ය සේවකයින්ගේත්, තැපැල්, තෙල්, වරාය, විදුලිබල කම්කරුවන්ගේත් අරගල මාලාවේ දිගුවකි.

අහස උසට නගින ජීවන වියදම සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව වැඩී ඇති මහජන විරෝධය හමුවේ ආන්ඩුව රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000 ක සොච්චම් මාසික දීමනාවක් ලබාදුන් සැනින්, එයට සරිලන පරිදි රුපියල් 10,000 වැඩි වැටුප් ඉල්ලීම අඩකට කප්පාදු කල මාකස්ගේ නිවෙකපොසේසේස, ජනවාරී 21 දා රුපියල් 5,000 ක වැඩි වැටුප් ඉල්ලමින් කටුනායක වෙලඳ කලාපයේ උද්ඝෝෂන සංවිධානය කලේය.

වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය නිවේදනය අවසානයේදී මෙසේ සඳහන් කරයි: “දෙපාර්ශවයේ හා ජාතික ආර්ථිකයේ වාසියට හේතුවන අඩු වියදමකින් කාර්මික සාමය හා ස්ථාවරත්වය තහවුරු කල හැකි මේ ද්වි-පාර්ශවීය නැඹුරුව අනෙකුත් කාර්මික ක්ෂේත්‍ර විසින්ද අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරමු.”

තමන්ගේ පාවාදීමේ ආදර්ශය අනෙකුත් සමිතිද අනුගමනය කල යුතුයයි ඉල්ලා සිටින ඔවුන් තොරොම්බල් කරන “කාර්මික සාමය” හා “ස්ථාවරත්වය” යන වචන ධනපති පන්තිය විසින් ඝෘජුවම භාවිතා කෙරෙන්නේ විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා කම්කරු අරගල මර්දනය කර තබා ගැනීමටයි. සමිති නිලධරය විසින්ද “කාර්මික සාමය” හා “ස්ථාවරත්වය” සඳහා තම කැපවීම දැක්වීමේ සැබෑ අර්ථය වන්නේ, අනාගතයේදී වැඩෙන කම්කරු අරගල මැඩීම සඳහා ධනපති පන්තියයේ ඝෘජු ඒජන්තයින් ලෙස කම්කරුවන්ට එරෙහි පොලිස්කාරකම් වඩාත් ඉහල තලයකින් සිදු කිරීමට ඇති සූදානමයි.

ධනපති පන්තිය වෙනුවෙන් කරන සේවය වෙනුවෙන් මාකස් ඇතුලු සමිති නායකයින් නව දෙනෙකුට කෘතඥතාවය පුද කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ විසින් අරලියගහ මන්දිරයේ දෙසැම්බර මස පැවති “ශ්‍රමයට අභිමන්-ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උලෙලේදී “ජාතියේ උපහාර” පිරිනැමුනි.

කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වී, වසංගතයෙන් ආරක්ෂා වීමේත්, එය මුලිනුපුටා දැමීමේත්, රැකියා, වැටුප් හා සෙසු සමාජ අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීමේත් සටන තම අතට ගත යුතු ය. මේ සඳහා නිදහස් වෙලඳ කලාප සහ කම්කරු පන්තියේ අවශේෂ කොටස් සම්බන්ධ කරගත් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සියලු ආයතන තුල ගොඩ නගා ගැනීම දැවෙන අවශ්‍යතාවයක් ලෙස පවතී.

Loading