කොවිඩ්-19 වසංගතය උග්‍ර වන වන තතු යටතේ, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවෝ ගෝලීය කම්කරු පරීක්ෂනයට සහාය දක්වති

[මෙය As COVID-19 surges, Sri Lankan apparel workers support Global Workers Inquest යන මැයෙන් 2022 පෙබරවාරි 14 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල අසල පිහිටි කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නිවෙක ඇඟලුම් කම්කරුවෝ, කලාපයේ සේවකයින්ට කොවිඩ්-19 වසංගතය ආසාදනය වීම නිසා දරුනු තත්ත්වයකට මුහුන දී සිටිති.

ඉහල විරැකියාව සහ නරක අතට හැරෙන ආර්ථික ගැටලු හේතුවෙන් සෑම වසරකම දුරස්ථ ග්‍රාමීය දිස්ත්‍රික්කවල සිට තරුන තරුනියන් සිය ගනනක් ස්මාර්ට් ෂර්ට්, ස්ටාර් ගාමන්ට්, නෙක්ස්ට් මැනුෆැක්චරින්, මාස් හෝල්ඩින්ග්ස් සහ බ්‍රැන්ඩික්ස් වැනි දැවැන්ත ගෝලීය වෙලඳුන්ට ඇඟලුම් සපයන කර්මාන්තශාලාවල අඩු වැටුප් සහිත රැකියාවලට තල්ලු කෙරේ.

නෙක්ස්ට් මැනුෆැක්චරින් ගාමන්ට් ඇඟලුම් කම්කරුවන් ඔවුන්ගේ ප්‍රසාද දීමනා ඉල්ලා සිටිති, දෙසැම්බර් 2020 [ඡායාරූපය: ලොසවෙඅ මාධ්‍ය]

2020 දී කොවිඩ්-19 වසංගතය පුපුරා යාමෙන් පසු කටුනායක කලාපයේ සේවකයෝ දැඩි දුෂ්කරතාවන්ට මුහුන දී සිටිති. 2020 මාර්තු කෙටිකාලීන වසා දැමීමෙන් පසුව, මාරාන්තික රෝගය දිවයින පුරා පැතිර යමින් තිබියදී පවා ඇඟලුම් කම්හල් හිමියන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ආන්ඩුව විසින් ආර්ථිකය නැවත විවෘත කෙරුනු විට කම්කරුවන්ට ඉහල නිෂ්පාදන ඉලක්ක පනවන ලදී.

2020 ඔක්තෝබර් මස අග දී, කටුනායක අසල මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 1,394 දෙනාගෙන් 567 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්‍ෂනවලින් තහවුරු කෙරිනි. කර්මාන්තශාලා කලමනාකාරීත්වය මෙම සේවකයින්ට කොවිඩ් රෝග ලක්ෂන ඇති විට පවා සේවයේ යෙදෙන ලෙසට බල කර ඇති බව පසුව අනාවරනය විය.

පසුව රට පුරා ඇඟලුම් කම්හල්වල කම්කරුවන් සිය ගනනකට මාරාන්තික වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී. සමහර කම්හල් තාවකාලිකව වසා දැමූ අතර බොහෝ කම්කරුවන්ට වැටුප් නොගෙවා හෝ ඔවුන්ගේ සුපුරුදු වැටුපෙන් අඩක් පමනක් ලැබුනි.

මුදල් අහේනියට ගොදුරු වී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විදේශ විනිමය උපයා ගැනීම සඳහා, විශේෂයෙන්ම ඇඟලුම් මත බෙහෙවින් රඳා පවතී. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට අනුව ඇඟලුම් කර්මාන්තය සෘජුව හෝ වක්‍රව දිවයිනේ ශ්‍රම බලකායෙන් සියයට 15 කට ආසන්න ප්‍රමානයක් සේවයේ යෙදවා ඇත. මෙම කම්කරුවෝ රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් පමන දායක වෙති. එක් මෑත වාර්තාවක් තක්සේරු කරන්නේ කටුනායක කලාපයේ දැන් කම්කරුවන් 350,000ක් පමන සේවයේ යොදවා ඇති බවයි.

නිවෙක නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු පසුගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ කලාපයේ නොපැමිනීම සාමාන්‍යයෙන් සියයට 5 ක් වන නමුත් ඉහල යන කොවිඩ්-19 ආසාදනවල බලපෑම යටතේ මෙය වැඩි වී ඇති බවයි.

රාජපක්ෂ ආන්ඩුව නිවේදනය කර ඇත්තේ “නව සාමාන්‍යය” ලෙස නම් කෙරුනු තතු යටතේ ශ්‍රී ලාංකිකයන් “වෛරසය සමඟ ජීවත් විය යුතු” බවයි. මහා ව්‍යාපාරික ලාභ ඉල්ලීම්වලට අනුකූලව, කම්කරුවන් කිහිප දෙනෙකු ආසාදනය වී ඇති බව අනාවරනය වුවහොත්, කම්හලක් වැසෙන්නේ නැත. කලමනාකාරිත්වය ආසාදිතයින් හමුවූ කම්හලේ අංශය පමනක් වසා දමයි.

ප්‍රමුඛ පෙලේ කටුනායක කලාපයේ කම්හලක ඇඟලුම් සේවිකාවක් මෑතකදී ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැවසුවේ කලාපයේ සෑම කර්මාන්ත ශාලාවකම පාහේ කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් සොයා ගන්නා ලද බවයි.

2021 දෙසැම්බර් 20, හිඟ දීමනා ගෙවීමට ඉල්ලා එක්ස්වෙල් ඇඟලුම් සේවකයින් විරෝධතාවයක [ඡායාරූප: ලෝසවෙඅ මාධ්‍ය]

“මට ආසාදනය වී ඇති නිසා නිරෝධායනය කිරීමෙන් පසු මම මෑතකදී නැවත රැකියාවට ගියා. අපගේ කම්හලේ කම්කරුවන් විශාල සංඛ්‍යාවක් දැනටමත් ආසාදනය වී හිටියත්, කලමනාකාරිත්වය ඉලක්ක ලබා දෙන්න කියල අපට බල කරනවා,” යනුවෙන් ඇය පැවසුවාය. 'කෙසේ වෙතත්, කලමනාකරනය වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සැබෑ සංඛ්‍යා සඟවනවා.'

ඇය සේවය කරන සමාගමට කලාපයේ කර්මාන්තශාලා තුනක් ඇති අතර, සෑම කම්හලකම ආසාදිත කම්කරුවන් සිටිති. “එක් ආසාදිත සේවකයෙකු ඉවත් කර මම ඇය වෙනුවට එතනට දැම්මායින් පස්සේ මට ආසාදනය වුනා. අපේ ලයින් එකේ 23ක් ඉන්නවා, තුන්දෙනා ඇරෙන්න අනිත් ඔක්කොටම ආසාදනය වුනා. මට දින 10ක් නිවාඩු තිබුනත්, මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ආන්ඩුවේ රෙගුලාසි නිසා ආසාදිත සේවකයින්ට ලෙඩ නිවාඩු ලබා දී ඇත්තේ දින හතක් පමනයි. කෙනෙකුගේ සෞඛ්‍ය තත්වය හොඳ නැති වුවද ඔහුට වැඩ කිරීමට සිදු වේ. ආන්ඩුව සහ පරිපාලනය හිතන්නේ ලාභය ගැන විතරයි,” යනුවෙන් ඇය පැවසුවාය.

“ආසාදිතයින්ට නිරෝධායනය කිරීමට සුදුසු ස්ථානයක් පවා සපයා නැත. මගේ ශරීරයේ අපහසුතාවයක් දැනිච්චගමන්, මම ඇන්ටිජන් පරීක්ෂනයක් කර, මට ආසාදනය වී ඇති බව සොයා ගත්තත් පොදු ප්‍රවාහන සේවයෙන් ගෙදර යාමට සිද්ද වුනා.

“මම මගේ නවාතැනට ගොස් මගේ ගමට ගෙදර යන බව ඔවුන්ට කිව්වා. එම අවස්ථාවේ මූනටමූන හමු වෙච්ච නිසා නිවස හිමි කාන්තාව සහ ඇයගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට රෝගය වැලඳී ඇති බව පසුව මට දැනගන්නට ලැබුනා. ජීවිත විශාල ප්‍රමානයක් අවදානමට ලක්වෙලා තියෙන නිසා කර්මාන්ත ශාලා ටික කාලයකට වසා දැමිය යුතු බව මගේ අදහසයි.

“මිනිස්බල [දිනපතා කුලියට ගනු ලැබෙන] කම්කරුවන් හැමදාම උදේට රැකියාවක් සොයාගෙන කටුනායක කලාපයට ආවට සාමාන්‍යයෙන් සෑම දවසකම රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට දිනකට ගෙවන්නේ රුපියල් 1,200. කිලෝමීටර් 370ක් විතර ඈත යාපනේ ඉඳන් ආපු තරුන ගෑනු ලමයි හිටියා. දැක්කම දුකයි,” ඇය කියාගෙන ගියාය.

“මම සේවයට ඇවිත් වසර තුනක් විතර. මම වෘත්තීය සමිතියකට බැඳුනේ නැහැ. වසංගතය අතරතුර දිනක් වෘත්තීය සමිති නියෝජිතයෙක් කර්මාන්ත ශාලාවට ආවා. ඇය නැවත ආවේ නැහැ, අපගේ ගැටලු සොයා බලන්න කිසිවෙකු සිටියේ නැහැ.”

“[2020 මුලදී] වසංගතය නිසා රට වසා දැමූ වෙලාවේ, අපට ලැබුනේ අපගේ වැටුපෙන් බාගයක් විතරයි, එනම් රුපියල් 9,000, නමුත් එතකොටත් එම නවාතැන් ගාස්තු ගෙවීමට සිද්දවුනා. මෙම කාලය තුල සටන්කාමී කම්කරුවන්ට වන්දි ගෙවල සේවයෙන් පහ කලා. වසර ගනනාවක් සේවය කල මේ සේවකයන් ඉවත් කිරීම අපට පාඩුවක්,” යනුවෙන් ඇය පැවසුවාය.

ආන්ඩුව පවසන්නේ එන්නත පමනක් ප්‍රමානවත් බවයි, ඇය තවදුරටත් කියා සිටියාය. “මට පලමු මාත්‍රා දෙක ලැබුනා, නමුත් තුන්වන එන්නත තවමත් අපට දීලා නැහැ. එහෙම වුනත්, තුන්වන එන්නත ලබා ගත් අයටත් ආසාදනය වෙලා තියෙනවා.”

කටුක සේවා කොන්දේසි පැහැදිලි කරමින් ඇය පැවසුවේ, “අපේ මූලික වැටුප රුපියල් 21,400යි. අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරලයි අමතර මුදලක් උපයා ගන්නේ. මම උදේ 9.30 ඉඳල සවස 7.30 දක්වා වැඩ කරනවා. සේවක හිඟය කියන්නේ අපිට වැඩ වැඩියි. ජනවාරි මාසයේ නිවාඩු දින තුනේම වැඩ කල නිසා, වෙහෙසට පත් වෙච්ච නිසි මට ආසාදනය වුනා.”

“අපේ වැටුප් ජීවත් වීමට ප්‍රමානවත් නැහැ. මම මගේ මව සහ අවිවාහක සහෝදරියට ජීවත් කරවන්න තියෙනවා. මටත් අවිවාහක දුවක් ඉන්නවා එයාව බලාගන්න වෙනවා. අපි [කටුනායක කලාපයේ]කුඩා කාමරවල ජීවත් වෙන්නේ, කාමරයක් කුලියට ගන්න රුපියල් 4500 ක්, විදුලිය සඳහා තවත් රුපියල් 500 ක් ගෙවනවා. අපි අපේ කෑම උයාගන්නවා. 20 දෙනෙකුට වැසිකිලි දෙකක් පමනයි තිබයන්නේ. මෙම තත්වයන් වසංගතය පැතිරෙන්න හොඳින් ගැලපනවා.”

ලොව පුරා ආන්ඩු කම්කරුවන්ගේ ආරක්ෂාවට වඩා ලාභය කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථිකයන් විවෘත කරමින් සිටින බවත් ලෝසවෙඅ විසින් දියත් කරන ලද ගෝලීය කම්කරු පරීක්ෂනයේ අරමුන කුමක්ද යන්නත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඇයට පැහැදිලි කලහ. කටුනායක කලාපයේ කම්කරු කාන්තාව ලෝසවෙඅ මුලපිරීම පැසසුමට ලක් කරමින් ප්‍රතිචාර දැක්වූ අතර ගෝලීය කම්කරු පරීක්ෂනයට තොරතුරු ඉදිරිපත් කිරීමට ඇගේ කැමැත්ත ප්‍රකාශ කලාය. 'මෙවැනි පියවරක් ගැනීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි,' ඇය කීවාය, 'මම ආපසු [කටුනායක කලාපයට] ආවට පස්සෙ මම ඔබව හමුවීමට තවත් සේවකයින් සූදානම් කරනවා.' යනුවෙන්ද පැවසුවාය.

කටුනායක කලාපයේ ස්ටාර් ගාමන්ට් කම්හලේ තරුන සේවිකාවක් ද ලෝසවෙඅට කතා කලාය. මුලින් ගල්ගමුවේ සිට පැමිනි ඇය වසර පහක් සමාගමේ මැහුම් අංශයේ සේවය කර ඇත. කම්හලේ සේවකයින් 800 ක් පමන සේවය කරන අතර ඇයගේ පේලියේ සේවකයෝ 60 ක් වැඩ කරති.

“බූස්ටර එන්නත ගත්තත්, අපට කොරෝනා වෛයිරසයෙන් ගැලවිය නොහැක,” ඇය පැවසුවාය. “අපේ කම්හලේ දෙවැනි එන්නත් මාත්‍රාව ගත්ත අයටත් මේ රෝගය වැලදී තිබුනා. [මැහුම්] යන්ත්‍ර දුරින් තිබුනත්, වැඩ කරන වේලාවන්හිදී සමාජ දුරස්ථභාවය පවත්වා ගත නොහැක්කේ විටින් විට සෙසු සේවකයන් හමුවීමට අවශ්‍ය නිසායි,” යනුවෙන් ඇය පැවසුවාය.

'ගෝලීය වශයෙන් පැතිරිලා තියෙන මෙම රෝගය ශ්‍රී ලංකාව තුල පාලනය කරන්න බැහැ වගේ පේන්නෙ, පිටරට ඉඳලත් මිනිස්සු එනවා,' යනුවෙන් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා ආන්ඩු රෝගය පාලනය කිරීම පිනිස කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. ගෝලීය කම්කරු පරීක්ෂනයේ අරමුන පිලිබඳ සාකච්ඡාවකින් පසුව, 'එවැනි මුලපිරීමක් මම අගය කරනවා' යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

Loading