ඉදිරිදර්ශන

වසංගතය සැබැවින්ම අවසන් ද?

[මෙය Is the pandemic really over? යන මැයෙන් 2022 මාර්තු 4 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

අඟහරුවාදා (01) එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවැත්වූ රාජ්‍යයේ තත්වය පිලිබඳ දේශනය (ස්ටේට් ඔෆ් ද යූනියන් දේශනය - සෑම වර්ෂයක ම ආරම්භයේ දී ම රටේ වත්මන් තත්ත්වය පිලිබඳව එක්සත් ජනපද කොන්ග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් වාර්ෂිකව ලබා දෙන පනිවිඩයකි - පරි), කෝවිඩ්-19 වසංගතය අවසන් වී ඇති බව නිරූපනය කිරීම සඳහා ඉදිරිපත් කල නාට්‍ය ජවනිකාවකි. එයින් සලකුනු වූයේ, ඇමරිකානු ජනතාවට “වෛරසය සමඟ ජීවත් වීමට” බල කිරීම සහ කෙලවරක් නැති මහා පරිමාන ආසාදන, කායික දුබලතා සහ මරනයන්ගේ “නව සාමාන්‍යයක්” බාරගැනීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය විසින් මෙහෙයවන ලද සමස්ත දේශපාලන සංස්ථාපිතයේ සහ සංගත මාධ්‍යවල සති ගනනක ප්‍රයත්නයේ කූටප්‍රාප්තිය සලකුනු කලේය.

බයිඩන්ගේ කතාවේ කේන්ද්‍රීය අවධානය යොමු වූයේ යුක්‍රේනයේ යුද්ධය වෙතයි. ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වූ කලී යහපත සහ නපුර අතර සිදුවන අරගලයක දුෂ්ටයා ලෙස නිරූපනය කලේය. බයිඩන් පරිපාලනය සහ ඩිමොක්‍රටික් පක්ෂය විසින් යුද්ධය සලකනු ලබන්නේ රට “එක්සත්” කිරීමේ සහ වසංගතය විසින් අවුලුවාලන ලද දැවැන්ත දේශීය අර්බුදයෙන් සියලු අවධානය වෙනතකට යොමු කිරීමේ මාධ්‍යයක් ලෙස ය.

2022 පෙබරවාරි 16 වැනි බදාදා, ෆිලඩෙල්ෆියා හි රීඩිං ටර්මිනල් පොදු වෙලඳපොලේ සාප්පු සවාරි යද්දී, කොරෝනා වෛරසය පැතිරීමෙන් ආරක්ෂා වීමට මුහුනු ආවරන පැලඳ සිටින පාරිභෝගිකයින්. (ඒපී ඡායාරූප/මැට් රූක්)

එක්සත් ජනපදයේ කෝවිඩ්-19 මරන සංඛ්‍යාව මිලියනයකට ආසන්න වෙමින් පවතින අතර නව වසර ආරම්භයේ සිට ඇමරිකානුවන් 125,000 කට වඩා මිය ගොස් තිබියදී, සංගත මාධ්‍ය වසංගතය ගැන කතාකිරීම නතර කර තනිකර ම පාහේ යුද ප්‍රචාරක කටයුතුවල නියැලී සිටී. ඒ හා සමාන තත්වයක් යුරෝපය පුරා පැතිරී ඇති අතර, එහි ධනේශ්වර ආන්ඩු කෝවිඩ්-19 මගින් සිදුවෙමින් පවතින මහා ආසාදන හා මරනවලට සාපරාධී ලෙස සම්බන්ධ වී සිටී.

එහෙත්, වසංගතය අවසන් බව මහජනතාවට ඒත්තු ගැන්වීමට දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය දරන උත්සාහයන් නොතකා, සිදු වීමේ සැබෑ තත්වය බොහෝ දුරස් ය. අඟහරුවාදා, බයිඩන් කතා කල දිනයේ, බීඑන්ඕ ප්‍රවෘත්ති වාර්තා කලේ කෝවිඩ්-19න් පුද්ගලයින් 1,763 දෙනෙකුගේ ජීවිත අහිමි වූ බවයි. පසු දින මරන සංඛ්‍යාව 2,236 දක්වා ඉහල ගියේ ය.

සැප්තැම්බර් මාසයේදී කෝවිඩ්-19 හි ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇති වූ ඉහල යාමේ උච්චතම අවස්ථාවේදී මෙන්, එක්සත් ජනපදයේ සෑම දිනකම බොහෝ මිනිසුන් මිය යති. බීඒ.2 ප්‍රභේදය ලොව පුරා ඉහල යන විට වියට්නාමය, දකුනු කොරියාව සහ අනෙකුත් රටවල් වාර්තාගත ආසාදන රේට්ටු වාර්තා කරමින් සිටී.

වසංගතය සාමාන්‍යකරනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, පසුගිය සිකුරාදා (පෙබරවාරි 25) රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) කෝවිඩ්-19 ආසාදන රේට්ටු වෙනුවට රෝහල් ධාරිතාව මත පදනම්ව නව මුහුනු ආවරන මාර්ගෝපදේශ නිකුත් කලේය. මුහුනු ආවරන, අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය පියවරකට වඩා පුද්ගලික කැමැත්තක් බවට පත් කිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයින් විසින් මෙම මාර්ගෝපදේශ පුලුල් ලෙස හෙලා දැක ඇත. බදාදා, සීඩීසී විසින් එක්සත් ජනපදයේ සියලුම කෝවිඩ්-19 අවම කිරීමේ පියවරයන් ඉවත් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් පසුකරමින්, එහි ආශ්‍රිතයන් සොයා යාමේ නිර්දේශ අවලංගු කරන ලදී.

මුහුනු ආවරන පැලඳීමේ සහ ආශ්‍රිතයන් සොයායෑමේ අවසානය පිලිබඳ ඒකාබද්ධ නිවේදනය වසංගතයේ ආරම්භයේ සිට එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය විසින් සිහින මැවූ ප්‍රතිපත්තියක අවසාන ක්‍රියාව සනිටුහන් කරයි: එනම් සෑම දිනකම මිනිසුන් දහස් ගනනක් අනවශ්‍ය ලෙස මිය යද්දී, රෝගය පැතිරීම අවහිර කිරීමේ සියලු ක්‍රියාමාර්ග අවසන් කිරීමයි.

ස්ටේට් ඔෆ් ද යූනියන් කතාවේදී ක්‍රියාත්මක කරන ලද සීඩීසී හි මුහුනු ආවරන මාර්ගෝපදේශ අනුව, සහභාගිවන්නන් සියලු දෙනාම පාහේ සිටියේ මුහුනු ආවරන රහිතව ය. මෙම සාමාන්‍ය තත්වය නමැති බොරු ඔපය පිටුපසින්, පැමින සිටි සියල්ලන්ටම එදින කෝවිඩ්-19 ආසාදනය වී නැති බව තහවුරු කිරීම සඳහා පරීක්‍ෂනයක් කිරීමට සිදු විය, එය එක්සත් ජනපදය පුරා සෑම පාසලකම සහ සේවා ස්ථානයකම පාහේ ප්‍රතික්ෂේප වන වරප්‍රසාදිත තත්වයකි.

වසර දෙකක් තිස්සේ සෑම ඇමරිකානුවෙකුටම ප්‍රබල ලෙස බලපා ඇති වසංගතය පිලිබඳ සඳහන, බයිඩන්ගේ පැයක කතාවේ දෙවන භාගයේදී දල වශයෙන් මිනිත්තු හතකට පහත හෙලා තිබුනි. ඔහු 'ඔමික්‍රෝන්,' 'දිගු කාලීන කෝවිඩ්,' 'වාතයෙන් පැතිරෙන ස්වභාවය' හෝ 'එන් 95' යන වචන එක් වරක් හෝ කීවේ නැත.

සමස්තයක් ලෙස බයිඩන් ගේ කතාව මෙන්ම, කෝවිඩ්-19 පිලිබඳ ඔහුගේ ප්‍රකාශයන් ප්‍රතිවිරෝධතා, බොරු සහ වසංගතයේ වර්තමාන යථාර්ථයේ ගැඹුරු විකෘති කිරීම් සමූහයකි.

ඔහු ආරම්භ කලේ, “වසර දෙකකට වැඩි කාලයක්, කෝවිඩ් අපගේ ජීවිතවල සහ අප ජාතියේ ජීවිතයේ සෑම තීරනයකටම බලපා ඇත. ඔබ වෙහෙසට, කලකිරීමට පත්ව සහ හෙම්බත්ව සිටින බව මම දනිමි. වසංගතය කෑම මේසයක හෝ මුලුතැන්ගෙයි මේසයක වාඩි වී යමෙකු අහිමි වූ නිසා හිස් වූ පුටුවක් දෙස බලන මිලියනයකට ආසන්න ජනතාවක් ගනන් ගන්නේවත් නැත. ”

මෙම මස අගදී මිලියනය ඉක්මවනු ඇති, අති විශාල එක්සත් ජනපද මරන සංඛ්‍යාව පිලිබඳ මෙම නොපැහැදිලි සඳහන, මෙම දැවැන්ත ඛේදවාචකය පිලිබඳව බයිඩන් විසින් කරන ලද එකම පිලිගැනීම විය. ඔහු 2021 ජනවාරි 20 වන දින බලයට පත් වූ දා සිට, කෝවිඩ්-19 වලින් ඇමරිකානුවන් 535,000 කට වඩා මිය ගොස් ඇති බව මග හැරියේය, එය පලමු සහ දෙවන ලෝක යුද්ධ වලදී මියගිය එක්සත් ජනපද සොල්දාදුවන් සංඛ්‍යාවට වඩා වැඩිය. පසුගිය මාසය තුල සෑම සතියකම ඇමරිකානුවන් 15,000 ක් පමන මිය ගොස් ඇති අතර එහි අවසානයක් නොපෙනේ.

ප්‍රබල ඇමරිකානු තත්කාර්යවාදියෙකු ලෙස, බයිඩන් අතීතය මත ලැග නොහිඳ ඉක්මනින් ඉදිරියට ගියේය, “මේ රාත්‍රියේ, අපි ආරක්ෂිතව ඉදිරියට යන බවත් […] වඩාත් සාමාන්‍ය චර්යාවන් වෙත ආපසු යන බවත් මට පැවසිය හැකිය.” 'කෝවිඩ්-19 ට තවදුරටත් අපගේ ජීවිත පාලනය කිරීමට ඉඩ දිය නොහැක' යනුවෙන් ද ඔහු පසුව පැවසීය.

ඔහු සීඩීසී හි නව මුහුනු ආවරන මාර්ගෝපදේශ ප්‍රශංසා කලේ, “රටේ බොහෝ ඇමරිකානුවන්ට දැන් මුහුනු ආවරන නොමැතිව යා හැකිය.” තමාගේම වචන වලට පටහැනිව ඔහු පසුව ප්‍රකාශ කලේ, “මෙම වෛරසය විකෘති වී පැතිරෙන නිසා, අපි පරෙස්සම් විය යුතුයි.”

“අපි ආරක්ෂිතව ඉදිරියට යන විට ගතයුතු සාමාන්‍ය පියවර හතරක්” ගෙනහැර දක්වමින් බයිඩන් වසංගතයේ අනාගතය පිලිබඳ සුරංගනා කතා විස්තරයක් ඉදිරිපත් කලේය. එහි පලමු පියවර වනුයේ 'එන්නත් සහ ප්‍රතිකාර' ය.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පෙර නොවූ විරූ ව්‍යාප්තියෙන් කිසිවක් ඉගෙන නොගත් බයිඩන්, “එන්නතට මෙම රෝග පැතිරීම නැවැත්විය හැකිය” යනුවෙන් ප්‍රකාශ කලේය. ඇත්ත වශයෙන්ම, එන්නත්කරනය මගින් කෝවිඩ්-19 ආසාදනයෙන් සම්පූර්නයෙන්ම ආරක්ෂා නොවන නමුත් මූලික වශයෙන් රෝහල්ගත වීම සහ මරනයෙන් ආරක්ෂා වීම සඳහා සෑහෙන බව වසරකට වැඩි කාලයක් තිස්සේ දන්නා කරුනකි. සීඩීසී විසින් ඇඟ හිරිවට්ටන ආසාදන සහ මරන ප්‍රමානයන් පිලිබඳ තීරනාත්මක දත්ත මුදාහැරීමෙන් වැලකී සිටියි. නමුත් ඒවා දුලබ නොවන අතර මරනයට හෝ දිගු කාලීන කෝවිඩ් දුර්වල කිරීම් වලට හේතු විය හැකි බව දන්නා කරුනකි.

තවද, එන්නත් මාත්‍රා දෙකක් ලැබී ඇත්තේ ඇමරිකානුවන්ගෙන් සියයට 65 කට පමනි. එන්නත් අනුපාතය දිනකට 350,000 ක අගයේ ඇනහිට ඇති අතර බූස්ටර් එන්නත ලබා දී ඇත්තේ සියයට 29 කට වඩා අඩු ප්‍රමානයකට ය. ප්‍රතිවෛරස ‌‌ඖෂධ, විශ්වාසනීය වුවත්, සැපයුම ඉතා සීමිතය. එන්නත් සහ ප්‍රතිකාර මත පමනක් විශ්වාසය තැබීම හේතුවෙන්, නොවැලැක්විය හැකි ලෙස මීලඟ ප්‍රභේදය පරිනාමය වන හැම විටකම තවදුරටත් මහා පරිමාන ආසාදන හා මරන සඳහා වේදිකාව සකසයි.

මිලියන 9 කට අධික, අඩු ප්‍රතිශක්තිකරනයක් සහිත ඇමරිකානුවන් අනතුරේ හෙලන සීඩීසී හි නව මුහුනු ආවරන නිර්දේශ වෙත එල්ලවෙන දැවැන්ත විවේචන වලට මුහුන දෙමින් බයිඩන් ප්‍රකාශ කලේ, “ඔබට ප්‍රතිශක්තිකරනය අඩු නම් හෝ වෙනත් අවදානමක් ඇත්නම්, අපි ලඟ ප්‍රතිකාර සහ නොමිලේ උසස් තත්ත්වයේ මුහුනු ආවරන ඇත. අපි ඉදිරියට යන විට කිසිවකු අත් නොහරිමු, කිසිවකුගේ අවශ්‍යතා නොසලකා නොහරිමු.” කෙසේ වෙතත්, සෑම ගෘහස්ථ පොදු අවකාශයක්ම දැන් මිලියන සංඛ්‍යාත අවදානම් සහිත පුද්ගලයින්ට අනතුරුදායක වනු ඇත යන කාරනය සමඟ මෙය පෑහීමට ඔහු අසමත් විය.

බයිඩන් පරිපාලනයේ සැලැස්මේ දෙවන පියවර වන්නේ 'නව ප්‍රභේද සඳහා සූදානම් වීමයි.'

බයිඩන්ගේ පොරොන්දු මෙසේ විය, “අවශ්‍ය නම්, සමහර විට මාස හෝ අවුරුදු වෙනුවට දින 100 ක් ඇතුලත නව එන්නත් යෙදවීමට අපට හැකි වනු ඇත,” එයට තව දුරටත් එකතු කරමින්, “නව ප්‍රභේදයක් නොපැමිනෙන බවට මට පොරොන්දු විය නොහැක, නමුත් එසේ වුවහොත් සූදානම්ව සිටීමට අපට හැකි සෑම දෙයක්ම කරන බවට මට ඔබට පොරොන්දු විය හැකිය.”

ඔමික්‍රෝන් සඳහා විශේෂිත එන්නතක් නිපදවීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බවත්, බීඒ.2 ඔමික්‍රෝන් උප ප්‍රභේදය එක්සත් ජනපදයේ ඝාතීය ලෙස ඉහල යන අතරම, එක්සත් ජනපදයට වඩා ඉහල එන්නත් අනුපාතයක් ඇති හොංකොං, දකුනු කොරියාව, ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය තුල ආසාදන, රෝහල්ගතවීම් සහ මරන පිලිබඳ වාර්තා බිඳ දමමින් තිබෙන බවත් සඳහන් කිරීම ඔහු නොසලකා හැරියේය.

නව ප්‍රභේදයක් පැනනගින සෑම අවස්ථාවකම නිවැරදි ප්‍රතිචාරය වන්නේ, ලෝක ජනගහනයට එන්නත් කිරීමේ සමස්ත ක්‍රියාවලියම නැවත ආරම්භ කිරීමය යන සංකල්පය විකාරයකි. වෛරස් පරිනාමයේ නියමයන් අනුව, මෙම සිසිෆියානු අරගලය (මෙම වචනය පැමිනෙන්නේ ග්‍රීක මිථ්‍යා කථා වල එන සිසිෆස් නම් චරිතයකින් වන අතර ඔහුට උස් කඳු මුදුනකට නිරතුරුව ගල් පර්වතයක් පෙරලාගෙන යාමට බල කිරීමෙන් දඬුවම් කරන ලදී) වසර ගනනාවක් දිගටම පවතිනු ඇත, මන්ද තවත් බිලියන ගනනක් අනවශ්‍ය ලෙස ආසාදනය වී මිලියන ගනනක් මිය යන අතර නව එන්නත් ලොව පුරා සෙමින් බෙදා හරිනු ඇත.

බයිඩන්ගේ වසංගත අනාගතයේ තුන්වන සහ වඩාත්ම තීරනාත්මක අංගය වන්නේ “පාසල් සහ ව්‍යාපාර වසා දැමීම නතර කිරීමයි.” සංගතවල හා මූල්‍ය ප්‍රභූවේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන “නව සාමාන්‍යයේ” සාරය මෙයයි.

බයිඩන් ප්‍රකාශ කලේ, “මේ, ඇමරිකාවට නැවත වැඩට බැස අපගේ මහා නගර නැවත මිනිසුන්ගෙන් පුරවා ගැනීමට කාලයයි. නිවසේ සිට වැඩ කරන පුද්ගලයින්ට ආරක්ෂිත බවක් දැනෙන අතර ඔවුන්ගේ කාර්යාල වෙත ආපසු යාමට පටන් ගත හැකිය. ඔහු වැඩිදුරටත් පැවසුවේ “අපේ පාසල් විවෘතයි. අපි එය එසේ තබා ගනිමු. අපේ ලමයි පාසල්වල ඉන්න ඕනේ.' මෙයට ද්විපාර්ශ්වයම නැගිට ප්‍රීතිඝෝෂා කලේය.

බයිඩන් කියා සිටියේ, '[බො]හෝ ඇමරිකානුවන්ට ඔවුන්ගේ මුහුනු ආවරන ඉවත් කර පන්ති කාමරයේ රැඳී සිටිමින් ආරක්ෂිතව ඉදිරියට යා හැකිය.'

මෙය දැවැන්ත පරිමානයේ බොරුවකි. ලමුන්ගෙන් අතිමහත් බහුතරයක් එන්නත් ලබා නොමැති අතර මෑත අධ්‍යයනයන් පෙන්නුම් කරන්නේ ලමා එන්නත ඵලදායී බවින් අඩු බවයි. සිදුවෙමින් පවතින ඔමික්‍රෝන් නැඟීම අතරතුර, වාර්තාගත අනුපාතයකින් ලමයින් ආසාදනය වී, රෝහල් ගත කර සහ මිය ගොස් ඇත, සීඩීසී විසින් පෙබරවාරි මාසයේදී කෝවිඩ්-19 ලමා මරන 212 ක් වාර්තා කර ඇත, ඉන් 84 ක්ම පසුගිය සතියේ සිදුවූ ඒවා ය.

ඔහුගේ කරුනු හතරේ සැලැස්ම අවසන් කරමින් බයිඩන් පැවසුවේ, “අපි දිගටම ලෝකයට එන්නත් කරන්නෙමු. අපි රටවල් 112 කට එන්නත් මාත්‍රා මිලියන 475 ක් යවා තිබෙනවා—පෘථිවියේ ඕනෑම ජාතියකට වඩා. ඔහු, ජාතික අසාත්මිකතා සහ බෝවන රෝග පිලිබඳ ආයතනය සමඟ සහයෝගයෙන් සංවර්ධනය කරන ලද මොඩර්නා එන්නත සඳහා බුද්ධිමය දේපල අයිතිවාසිකම් අත්හැරීම එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර ඇති බව ගැන මුනිවත රැක්කේය.

බයිඩන්ගේ ප්‍රකාශයන්, බදාදා නිකුත් කරන ලද නව “ජාතික කෝවිඩ්-19 සූදානමේ සැලැස්මේ” අන්තර්ගතය සාරාංශගත කලේය. බයිඩන්ගේ සමාරම්භක දිනට පසු දින නිකුත් කරන ලද පලමු “සූදානමේ සැලැස්ම” මෙන්ම, මෙම සැලැස්ම ද චාටු කතාවක් හැර අන් කිසිවක් නොවේ. සැලැස්මේ සෑම අංගයක්ම පාහේ සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් කොංග්‍රසයෙන් අරමුදල් ලබා ගැනීම මත රඳා පවතී, එය කිසිදා සාර්ථක විය නොහැකි ක්‍රියාවලියකි.

දිගු කාලීන කෝවිඩ් රෝගීන්ට සහය වීමේ අවශ්‍යතාවය සහ පාසල් සහ පොදු ස්ථානවල වායු පෙරීමේ පද්ධති වැඩිදියුනු කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව කටින් බතලකොල සිටුවන අතර ම, සැලැස්මේ කේන්ද්‍රීය අරමුන වන්නේ අනාගත නව ප්‍රභේදවල වැඩිවීම් වලදී පාසල් සහ සේවා ස්ථාන විවෘත ව පවතින බව සහතික කිරීමයි. එහි සඳහන් වන්නේ, 'අපගේ ඉදිරි මාවත රඳා පවතින්නේ පාසල් සහ ව්‍යාපාරවල ආර්ථික හා අධ්‍යාපනික වසා දැමීම් වැලැක්වීමට අවශ්‍ය මෙවලම් ලබා දීම මත ය, එබැවින් අපගේ සිසුන්ට පාසැලේ රැඳී සිටිය හැකිය, අපගේ සේවකයින්ට රැකියාවේ ආරක්ෂිත විය හැකි අතර අපගේ ආර්ථිකයට දිගටම වර්ධනය විය හැකිය.'

ගෘහස්ථ වාතාශ්‍රය සම්බන්ධ සෑම දෙයකටම අදාලව පවතින්නේ, 'නිර්දේශ', 'මඟපෙන්වීම', 'පිරික්සුම් ලැයිස්තුවක්' සහ 'තාක්ෂනික සම්පත්' ය. මෙම අත්‍යාවශ්‍ය ප්‍රශ්නය සඳහා විශේෂයෙන් නීතිමය අවශ්‍යතාවයක් හෝ අරමුදල් සැපයීමක් ගැන කිසිම තැනක සඳහනක් නොමැත.

ට්‍රම්ප්ගේ “රංචු ප්‍රතිශක්තිකරන” ප්‍රතිපත්තිවල අඩිපාරේ යමින් බයිඩන් සහ ඩිමොක්‍රටිකයින් විසින් ඉල්ලා සිටින “නව සාමාන්‍ය”, පසුගිය වසර දෙක තුල සිදු කරන ලද සමාජ අපරාධ ගැඹුරු කරනු ඇත. වැලැක්විය හැකි රෝගයකින් සිදුවන සමූහ මරන පිලිගන්නා ලෙස ජනගහනයෙන් ඉල්ලා සිටින ඇමරිකානු පාලක පන්තිය, රුසියාව සමග යුද්ධයකදී ඊටත් වඩා කිව නොහැකි අපරාධ සහ මහා පරිමානයෙන් සිදු වන ජීවිත හානි සඳහා සමාජය තත්වාරෝපනය කරයි.

එක්සත් ජනපදය පුරා මිලියන ගනනක් සහ ලොව පුරා බිලියන ගනන් කම්කරුවන් මුහුන දෙන වෛෂයික යථාර්ථය, වසංගතය අවසන් වී ඇති බවට කෙරෙන ප්‍රචාරනය බොරු කරයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන ප්‍රධාන කර්තව්‍යය නම්, වසංගතය සහ ලෝක යුද්ධය කරා උත්සන්න වන ධාවනය යන දෙකම නැවැත්වීමට සටන් කරන මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

Loading