ඉන්දියාව නිල කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 41 ක් පසු කරන විට, මෝදි ඔහුගේ “විශිෂ්ට සාර්ථකත්වය” ගැන පුරසාරම් දොඩයි

[මෙය As India passes 41 million official COVID-19 cases, Modi boasts of his “great success” යන මැයෙන් 2022 පෙබරවාරි 3 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව, බෙහෙවින්ම අවගනනය කෙරූ නිල කොවිඩ්-19 ආසාදන සහ මරන සංඛ්‍යා උපුටා දක්වමින් ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ප්‍රමුඛව ධාවනය වන වසංගතයේ තුන්වන රැල්ලකින් එල්ල වන තර්ජනය අවතක්සේරු කරමින් සිටියි. ඔමික්‍රොන් වැනි වේගයෙන් බෝවන ප්‍රභේද පාලනය කිරීම සඳහා එන්නත-පමනක් අනුයන ප්‍රතිපත්තිවල නිශ්ඵල ස්වභාවය හෙලිදරව් කෙරී තිබියදී පවා, “වැඩිහිටි ජනගහනයෙන් සියයට 75 කට එන්නත් කිරීම” ඔහුගේ “සාර්ථකත්වය” පෙන්නුම් කරන බව මෝදි ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ කල්කටා හි කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් වසා දැමූ පාසල් අර්ධ වශයෙන් නැවත විවෘත කරන ලද 2021 නොවැම්බර් 16 වන අඟහරුවාදා දිනයේ, සිසුන් මුහුනු ආවරන පැලඳ පාසලක පිටත රැඳී සිටිති. (ඒපී ඡායාරූප/බිකාස් දාස්)

ඔහු සාමාන්‍යයෙන් සිදුකරන තමන්ටම සුබපතාගැනීමෙ ක්‍රමය අනුයමින්, මෝදි, ජනවාරි 30දා, (ඉන්දියාව කොවිඩ්-19 ආසාදන සඳහා මිලියන 41 සීමාව පසු කලේ හරියටම එදින ය), “ඉන්දියාව නව කොරෝනා රැල්ලට එරෙහිව ඉතා සාර්ථක ලෙස සටන් කරන” බවට පුරසාරම් දෙඩුවේය. මෝදි තවදුරටත් කීවේ, “එය ආඩම්බරයට කාරනයක්” බවයි. 2022 පලමු මාසයේ පමනක් ඉන්දියාවේ කොවිඩ්-19 රෝගීන් මිලියන 6 කට වඩා වාර්තවී තිබේය යන කාරනම වුව සැලකූ කල, මෝදිගේ “සාර්ථකත්වයේ” කතාන්දරය තුච්ඡ සරදමක් බව ප්‍රකට වෙයි.

මිනිස් ජීවිතවලට ඉහලින් ලාභ තබන මෝදිගේ සාපරාධී ප්‍රතිපත්තිය දැනටමත් ලෝකයේ දෙවන වැඩිම ජනගහනයෙන් යුත් රටෙහි දැවැන්ත මානව ක් නිර්මානය කර ඇත. පෙබරවාරි 2 වන විට, විශාල වශයෙන් අවගනනයන් සහිත නිල සංඛ්‍යාලේඛනවලට අනුව කොවිඩ් මරන 497,975 ක් සමඟ, ඉන්දියාව නිල කොවිඩ්-19 මරන මිලියන භාගයක් පසු කිරීමට ආසන්නව සිටී. කෙසේ වෙතත්, පසුගිය වසරේ, එක්සත් ජනපදය පදනම් කරගත් ගෝලීය සංවර්ධන මධ්‍යස්ථානය පෙන්වා දුන්නේ, ඉන්දියාවේ ඇත්ත කොරෝනා වෛරස් මරන සංඛ්‍යාව මිලියන හතරක් වන අතර එය නිල සංඛ්‍යාවට වඩා අට ගුනයකින් වැඩි බවයි.

ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන පරිදි මෙම මරනවලට ලමුන් දහස් ගනනක් ද ඇතුලත් වේ. නවී මුම්බායි හි ලමා බෝවන රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ධන්‍යා ධර්මපාලන් සහ තමිල්නාඩුවේ වෙල්ලෝර් හි ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලයේ වෛරස් විද්‍යාව පිලිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙකු වන වෛද්‍ය ටී. ජේකබ් ජෝන් ද හින්දු පුවත්පතේ පලකල ලිපියකින් පෙන්වා දුන් පරිදි, ඉන්දියාවේ නිල කොවිඩ් මරන 486,000 න් (ජනවාරි 12 වන විට) සියයට 0.4 ක් (එනම් 1,944) ලමුන් ය. ඉන්දියාවේ උක්ත සඳහන් කල නිල ගනන්වලට වඩා “හය ගුනයක සිට හත් ගුනයක් දක්වා වැඩි මරන සංඛ්‍යාවක්” සිදුව ඇතිබවට වන ඇස්තමේන්තු වෙත අවධානය යොමුකරමින් විශේෂඥයින් ලීවේ, “ලමා මරන සංඛ්‍යාව බෙහෙවින්ම වැඩි වියහැකි” බවයි.

ලැව්ගින්නක් මෙන් පැතිර යන ඔමික්‍රොන් රැල්ලකට මිලියන ගනනක් අනාරක්ෂිත දරුවන් නිරාවරනය වන තත්වයක් යටතේ, විශේෂඥයන් විසින් පෙන්වා දෙන සමහර දත්ත, ලමුන් ඉදිරියේ ඇති විනාශකාරී ශක්‍යතාවන් ඉස්මතු කර දක්වයි. දියවැඩියාව, නිදන්ගත හෘදය/පෙනහලු/වකුගඩු/ස්නායු රෝග, තරබාරුකම, හෝ ප්‍රතිශක්ති ඌනතා සින්ඩ්‍රෝම් හෝ ප්‍රතිශක්ති දුබලතා ඇති කරවන චිකිත්සා හේතුවෙන් ප්‍රතිශක්තිය අඩපන වූ තත්වයන් සහිත දරුවන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඔවුන් කොවිඩ්-19 හි වඩාත් බිහිසුනු තත්වයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇත.

මෙම දත්ත පෙන්වා දෙන පරිදි:

  • ඉන්දියාවේ සෑම වසරකම, ඇස්තමේන්තුගත දරුවන් 200,000 ක් හදෘ දෝෂ සහිතව උපදිති;
  • වසරකට, පිලිකා රෝග සහිත ලමුන් 50,000 ක් පමන අලුතෙන් වාර්තා වෙයි;
  • ඉන්දියාවේ තරබාරු රෝග සහිත දරුවන් මිලියන 14.4 ක් පමන වන අතර එය ලෝකයේ දෙවැනියට ඉහලම සංඛ්‍යාවයි;
  • වාර්ෂිකවව ලමුන් 140,000 ක් පමන ලමා නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමයෙන් [නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝමය යනු වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන බව පෙන්නුම් කරන රෝග ලක්ෂන සමූහයකි] පීඩා විඳිති;
  • ලමුන් මිලියන 1 කට වැඩි ප්‍රමානයක් ප්‍රාථමික ප්‍රතිශක්තිකරන ඌනතා රෝගයට ගොදුරු වේ.

ප්‍රාන්ත සහ ඒකාබද්ධ රාජ්‍ය ප්‍රදේශ පාසල් නැවත විවෘත කරමින් පවතින තත්වයක් යටතේ, මිලියන සංඛ්‍යාත ලමයින් මුහුන දෙන අන්තරාය ඉහල යමින් පවතී. මේ අතර, මධ්‍යම ආන්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය, “පාසල් නැවත විවෘත කිරීමේ ජාතික සැලැස්මක්' සැකසීමේ නිරතව සිටින බව කියයි. නැවත විවෘත කරන ලද පාසල් කොවිඩ්-19 සඳහා තෝතැන්නක් වනු ඇති අතර එයින් ලමුන් බොහෝ ගනනක් රෝගීන් බවට පත් කරමින් රෝහල්ගතවීම් ඉහල යාමට තුඩු දෙනු ඇත. එමෙන්ම, එය, වෙනත් රෝගාබාධ සහිතව ජීවත්වන දරුවන් කෙරෙහි වඩා බිහිසනු ලෙස තර්ජනය කරමින් පවතී.

මෝදි හෝ ඔහුගේ දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය (බීජේපී) කිසිවිටෙකත් කොවිඩ් මරන පිලිබඳ ප්‍රකම්පනීය සංඛ්‍යාලේඛන ගැන කනගාටුව ප්‍රකාශ කර නැත. මිලියන ගනනක් වින්දිතයින් සාපරාධී ලෙස අමතක කර දමා ඇති, ව්‍යාජ නිල කොවිඩ් මරන සංඛ්‍යාව නිවැරදි කිරීමට ඔවුහු අදහස් නොකරති.

ඊයේ, පෙබරවාරි 2දා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පැය 24 ක් ඇතුලත ඉන්දියාව මරන 1,733 ක් වාර්තා කල අතර, ඉන්දියාවේ දින 7 ක් තුල සිදුවූ දෛනික මරන සංඛ්‍යාවේ සාමාන්‍යය මරන 979 ක් විය. මෙය, වසර ආරම්භයේ දින 7 ක සාමාන්‍ය ලෙස සටහන්වූ කොවිඩ් මරන 281 සිට තියුනු වැඩිවීමකි. ජනවාරි මාසයේදී පුද්ගලයින් 13,564 ක් පමන කොවිඩ්-19 හේතුවෙන් මිය ගොස් ඇති බව තහවුරුවී ඇත.

ඉන්දියාවේ දැනට කොවිඩ් සීමාවන් කිසිවක් ඉතිරිව පවතී නම්, ඒ සියල්ල අත්හැර දැමීම සාධාරනීකරනය කිරීම සඳහා ඉන්දීය ආන්ඩුව සහ මාධ්‍ය, ආසාදන සංඛ්‍යාව පහත වැටීම ගැන වංචනික ලෙස පුරසාරම් දෙඩීමට පටන් ගෙන ඇත. එසේ කිරීමේදී, තත්වයට අයිසින් තැවරීම සඳහා පහත දමා ඇති කෝවිඩ් පරීක්ෂන සංඛ්‍යාව ගැන ඔවුහු මුනිවතර රකිති. ජනවාරි 23දා, දෛනික පරීක්ෂන මිලියන 2.18 ක් සහ දෛනික ආසාදන 333,533 ක් වාර්තාවූ නමුත්, පෙබරවාරි 2 වන දින, පරීක්ෂන ප්‍රමානය මිලියන 1.74 දක්වා පහත දමා ඇති අතර ආසාදිතයන් 161,386 ක් සොයා ගැනුනි. මෙයින් බරපතල ලෙස පෙන්නුම් කරන්නේ, අනාවරනය වන දෛනිකව වාර්තාවන ආසාදන සංඛ්‍යාවේ පහත වැටීමට හේතුව, දෛනික පරීක්ෂන සංඛ්‍යාව අඩුකිරීම බවයි.

පෙබරවාරි 1 වෙනිදා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත, “තුන්වන රැල්ල අතරතුර වසංගතයේ පැතිරීමේ ප්‍රමානය පිලිබඳ නොමඟ යවන චිත්‍රයක්” ලබා දිය හැකි මුඛ්‍යාංග ගනනාවක් පෙන්වා දුන්නේය. කොවිඩ් රෝගීන්ගෙන් තම නිවස තුල “ස්වයං හුදකලා වීමට” යොමුකෙරුනු අවස්ථා වලදී, එම දත්ත ක්‍රමානුකූලව රැස් කිරීමට නිසි යාන්ත්‍රනයක් නොමැති බව එය පෙන්වා දුන්නේ ය. 'නිවසේ භාවිතා කරන ස්වයං පරීක්ෂන කට්ටල භාවිතයෙන් ආසාදිත බව පරීක්ෂා කර ඇති පුද්ගලයින් ඒ ගැන වාර්තා නොකරන අවස්ථාවල එවැනි (පරීක්ෂන) කට්ටල මිලදී ගන්නන් සොයා ගැනීමට ක්‍රමවේදයක් සිවිල් බලධාරීන්ට නැත' යනුවෙන් ටීඕඅයි ලිවීය.

මෝදි ආන්ඩුව හා පාලක භාරතීය ජනතා පක්ෂය සහ කොන්ග්‍රස හා ස්ටැලින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයත් (මාක්ස්වාදී) ඇතුලු අනෙකුත් දේශපාලන පක්ෂත් විසින් පාලනය කරනු ලබන විවිධ ප්‍රාන්ත ආන්ඩු, පාසල් සහ සේවා ස්ථාන සම්පුර්නයෙන්ම විවෘත කරන ලෙස බලකිරීමට මෙම විකෘති සංඛ්‍යා ගසා කති. විශේෂයෙන්ම, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ද ඇතුලුව ලොව පුරා අනෙකුත් බොහෝ ධනේශ්වර පාලන තන්ත්‍රයන් මෙන්, ඉන්දියානු පාලක ප්‍රභූව ද කොරෝනා වෛරසය ජනගහනය හරහා වේගයෙන් පැතිර යාමට ඉඩ සලසමින්, මිනීමරු රංචු ප්‍රතිශක්තිකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

පෙබරවාරි 1 වන දින ඉදිරිපත් කරන ලද 2022-23 මධ්‍යම ආන්ඩුවේ අයවැය තුලින් සෞඛ්‍ය සඳහා වෙන්කරන ප්‍රතිපාදන කපා දැමූ විට, කොවිඩ්-19 ට එරෙහිව “ඉතා සාර්ථක ලෙස සටන් කිරීම” පිලිබඳ මෝදිගේ පාජාව මොනවට හෙලිදරව් කෙරුනි. වෛද්‍ය ආනන්ත් ෆාඩ්කේ ට අනුව, “2021-22 සංශෝධිත ඇස්තමේන්තුවට සාපේක්ෂව 2022-23 අයවැය තුල තථ්‍ය කාලීනව සෞඛ්‍ය සහ අදාල වැඩසටහන් සඳහා ප්‍රතිපාදන සියයට 7 කින් අඩු කෙරී ඇත” යනුවෙන්, ඉන්දියන් එක්ස්ප්‍රස් පෙබරවාරි 3 දා ලිවීය.

සෞඛ්‍ය අයවැය, “කොවිඩ්-19 වසංගතයේ පාඩම් සම්පූර්නයෙන්ම නොසලකා හැර ඇති අතර මහජන සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, ජාතික සෞඛ්‍ය මෙහෙවර වැඩසටහන, කොවිඩ් ආශ්‍රිත ප්‍රතිපාදනවල අඛන්ඩ අවශ්‍යතාව සහ සෞඛ්‍ය සේවකයින් සඳහා ආරක්ෂාව සහ වේතන සඳහා අවශ්‍ය වැඩි කිරීම් සඳහා මුදල් වෙන් කිරීමට අසමත්...' යැයි වෛද්‍යවරු පෙන්වා දුන්නෝ ය. ඔවුන් තවදුරටත් පැවසුවේ “මෙම බහුවිධ අසාර්ථකත්වයන් වසන් කිරීම සඳහා, වත්මන් සෞඛ්‍ය අයවැයේ දත්ත ඉදිරිපත් කිරීම හිතාමතාම මඩකරමින්, එම සංඛ්‍යා ලේඛන පෙර වසරේ සංඛ්‍යාවන් සමඟ සැසඳීමට අපහසු කර තිබේ.”

2021-22 ආර්ථික සමීක්ෂනය ජනවාරි 31 වැනි දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි. ද ප්‍රින්ට් හි ලිපියක සඳහන් වූයේ, ආන්ඩුවේ සමීක්ෂනය තුල “ඉන්දියාවේ කොවිඩ්-19 මරන අඩුවෙන් වාර්තා කිරීම පිලිබඳ කිසිදු පරීක්ෂනයකට ඉඩක් නැති” බවත්; එමෙන්ම, එය “ජනගහනයෙන් බහුතරයක් තම සෞඛ්‍ය සේවාවන් සලසාගන්නා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන, ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ උප මධ්‍යස්ථානවල හිඟය ගැන කිසිවක් නොකියන” බවත් ය.

ඉන්දියාවේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් සියයට 60 කට ඇත්තේ එකම එක වෛද්‍යවරයෙකු පමනක් බව 2018-19 ආර්ථික සමීක්ෂනය පෙන්වා දෙයි. “සෞඛ්‍ය සඳහා පුද්ගලයෙකුට පෞද්ගලිකව දැරීමට සිදුවන වියදම සම්බන්ධව සැලකූ කල, ඉන්දියාවේ පුද්ගලයෙකුට තමන්ගේ මුදල් පසුම්බියෙන් සියයට 50කට වඩා සෞඛය සඳහා වියදම් කිරීමට සිදුව තිබීම හේතුකොටගෙන, එය ලෝකයේ සෞඛ්‍ය සඳහා එවන් ඉහලම වියදම් දරන රටවල් අතර පවතින්නේ ය යන කරුන ආන්ඩුව නොතකා හැර ඇති” බව ද ප්‍රින්ට් සටහන් කරයි.

මෙය අවධාරනය කරන්නේ, ඉන්දියාවේ බහු මිලියන සංඛ්‍යාත කම්කරු පන්තියේ සහ පීඩිත ජනයාගේ ඉරනම කෙරෙහි මෝදි සහ සමස්තයක් ලෙස ඉන්දීය පාලක ප්‍රභූවේ සාපරාධී නොතකාහැරීම යි.

Loading