කොග්ගල "අවුරා ගාමන්ට්ස්" සහ "පොලිටෙක්ස් ගාමන්ට්ස්" වැසී යාමෙන් කම්කරුවන් දෙදහසකට රැකියා අහිමිවෙයි

කොග්ගල නිදහස් වෙලඳ කලාපය තුල පවත්වාගෙන ගිය අවුරා ගාමන්ට් සහ පොලිටෙක්ස් ගාමන්ට් යන සමාගම් ද්විත්වය වසා දැමීම හේතුවෙන් සේවකයන් දෙදහසකට අධික සංඛ්‍යාවකගේ රැකියා අහිමි වී ඇත.

කොග්ගල ආයෝජන කලාපයේ කම්කරුවෝ

පොලිටෙක්ස් ගාමන්ට් ආයතනය එස්ක්වෙල් සමාගමට අයත්වන අතර පසුගිය මාර්තු මස සිට එය සිය නිෂ්පාදන අත්හිටුවා තිබේ. දේශීය ව්‍යාපාරිකයකු සතු අවුරා ඇපරල් සමාගම ඉන්දියාවේ ගැනුම්කරුවකු සමග ගිවිසුම් ගතව පවත්වා ගෙනගොස් ඇත. එය පසුගිය ජුනි මස සිට නිෂ්පාදන අත්හිටුවා ඇති අතර සේවකයින්ට දැනුම් දී ඇත්තේ තාවකාලිකව වසාදමන බවයි.

ඒ අතර කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ බොහෝ ඇඟලුම් කර්මාන්ත ශාලා වැටුප් ගෙවීම ප්‍රමාද කිරීම හා අතිකාල අත්හිටුවීම ඇතුළු කම්කරුවන්ට ලබා දුන් සොච්චම් සුබසාධන වේ නම් ඒවා ඉවත් කිරීම අරඹා ඇති අතර ලෝක සන්නාම දරන සමාගමක් වන =බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම පවා අතිකාල දීමනා අත්හිටුවා ඇත්තේ ඇනවුම් නොමැති බව පවසමිනි.

එක්සත් ජනපදය සහ නැටෝව රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල ගෙනයන යුද්ධයෙන් වඩාත් ගැඹුරුවන ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ, ඇනවුම්වල සීඝ්‍ර පහත වැටීමකට මුහුනදෙන ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රය අතිශය අවදානම් තත්වයකට පත්ව ඇත.

ප්‍රධාන නිදහස් වෙලඳ කලාප 14ක සේවකයින් පන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක රැකියා අතිශය අවදානමකට ලක්වී ඇති බවත්, ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක උප කොන්ත්‍රාත් හා සැපයුම් ආශ්‍රිත දහස් ගනනකගේ ජීවනෝපායන් අතිශයින්ම ඛේදනීය තැනකට ඇද වැටී ඇති බවත් එක්සත් ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු, මැයි 21 දා දෙරන රූපවාහිනීයේ 'බිග් ෆෝකස්' සාකච්ඡාවේදී පැවසීය. සියයට 10- 20 අතර ඇනවුම් ප්‍රමානයක් දැනටමත් ඉන්දියාව හා බංග්ලාදේශයට ඇදී ගොස් ඇති බවත්, ලෝක ආර්ථිකය අවපාතයකට ගමන් කරන තතු හමුවේ ඇඟලුම් ඇනවුම් ලබා ගැනීම අතිශය දුෂ්කර බවත් ඔහු කීවේය.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

කම්හල් වසා දැමීමෙන් රැකියා අහිමි වූ සහ රැකියා අහිමිවීමේ අවදානමට ලක්ව ඇති කොග්ගගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් හමුවීමට පසුගිය දා ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් ට කම්කරුවන් විශාල පිරිසක් ස්වෙච්ඡාවෙන්ම අදහස් දැක්වූහ.

පොලිටෙක්ස් ගාමන්ට් හි වසර 16 ක් සේවයේ නියුතුව සිටි සේවිකාවක් පැවසූයේ කම්හල වසා දැමීමෙන් තමා හා තම දියනිය අතිශයින්ම දරුනු ආර්ථික දුෂ්කරතාවයන්ට පත්ව ඇතිබව යි. 'මගේ වයස දැන් අවුරුදු 48යි, වයස නිසා මට වෙන ෆැක්ටරියකට යන්නත් බැහැ. මහත්තයත් නැතුව මගේ දරුවා බලාගන්න දහදුක් විඳීනවා' යයි ඇය කීවාය.

ඇය සමග එම ආයතනයේ සේවය කල 1800 කට රැකියා අහිමි වී ඇත. කම්හල වසා දමා ඇත්තේ, නැවත විවෘත කරන බවට, වෘත්තිය සමිති නායකයෙකු වූ ඇන්ටන් මාකස් ලවා කම්කරුවන්ට බොරු පොරොන්දු ලබා දෙමිනි. තමා ඇතුළු සේවක සේවිකාවන් කම්හල යලි විවෘත කරනු ඇතැයි යන තදබල විශ්වාසයෙන් පසු වූ බවත්, මාකස් අතිශයින්ම තුච්ඡ ලෙස තමන් නොසලකා හැරිය බවක් ඇය පැවසුවාය. සොච්චම් වන්දියක් පමනක් ඔවුනට ලැබී ඇත.

එහි සේවය කල තවත් කාන්තාවක් පැවසුවේ, රැකියාව අහිමිවීමෙන් පසු විවිධ කම්හල්වල රැකියා සොයා වෙහෙසුනු නමුත් එය අසාර්ථක වූ බවයි. මාස එකහමාරකින් පමන කවර හෝ ආදායමක් නොලැබ සිටින ඇයට දියවැඩියාවෙන් දැඩි ලෙස පීඩා විඳින තම ස්වාමි පුරුෂයා රැකගැනීමට ද සිදුව ඇත. ' මගේ පුතා ලබන අවුරුද්ද විභාගය ගන්නවා ඉස්කෝලේ ඇත්තෙත් නැහැ. අමතර පංති යවන්න සතයක්වත් ගෙදර ඇත්තෙත් නැහැ, උයන්නෙත් එක වේලයි, රැකියාව අහිමිවීම නිසා අතමාරුවක් වත් කරගන්න විදිහක් නැහැ' යනුවෙන් ඇය පැවසුවාය. රැකියාව තිබූ කාලයේ නිවස අලුත්වැඩියා කිරීමට ගත් නය මුදලේ මාසික වාරිකය ලෙස රු: 12,000 ක් ගෙවියයුතු නමුත්, එය කිසිලෙසකවත් ඉටුකල නොහැකි බව ඇය වැඩිදුරටත් කීවාය.

වසර තුනකට අධික කාලයක් අවුරා ගාමන්ට් හි සේවය කොට රැකියා අහිමි වූ කම්කරුවෙකු කියා සිටියේ, මාර්තු මාසයේ කම්හල වැසූ පසු තමන් අතිශයින්ම වික්ෂිප්තභාවයට පත්වූ බවයි. 'මගේ මාසේ පඩියත් දුන්නේ නැහැ. පස්සේ අපි බීඕඅයි (ආයෝජන මන්ඩලය) එකට ගියාම පඩි භාගයක් දුන්නා' යැයි ඔහු පැවසිය. 'ෆැක්ටරි වලට ඕඩර් නැහැ කියලා කියනවා, ඒ උනාට පහුගිය අප්‍රේල් කාලේ අපි රෑත් වැඩ කලා' යැයි ඔහු කීවේය.

'ෆැක්ටරිය අයිති පිලියන්දල පැත්තේ දිනේෂ් කියලා කෙනෙකුට. වැඩිපුර ඕඩර්ස් ලැබුනේ ඉන්දියාවේ බයර් කෙනෙකුගෙන්. ඊපීඑෆ් කපනවා කියලා ඒවා ඒ ගොල්ලොම තියාගෙන. කම්කරුවො ගිහිල්ලා පැමිනිලි කරා. එ්ත් ෆැක්ටරිය වහලා නිසා වැඩක් වෙයිද දන්නේ නෑ' යයි අවුරා ගාමන්ට් හි තවත් සේවකයෙක් පැවසීය.

කම්හල් වසා දමා දසදහස් සංඛ්‍යාත කම්කරුවන් රැකියාවලින් දොට්ට දමද්දී වෘත්තීය සමිති මුලුමනින්ම නිෂ්ක්‍රියවී සිටින බව කම්කරුවෝ පැවසූහ. කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්හල් වසා දමන විට දී ද ඇන්ටන් මාකස් ඇතුලු අනෙකුත් සමිති නායකයන් මෙලෙසම හැසිරුනුබව එහිදී සාකච්ඡාවට භාජනය විය.

කෝවිඩ් වසංගතය පැතිරෙද්දී, හාම්පුතුන් සහ ආන්ඩුව සමග ත්‍රෛපාක්ෂික ගිවිසුම් වලට එලඹෙමින්, කම්කරුවන්ගේ ජීවිත නොතකා කම්හල් විවෘතව තැබීමට අවශ්‍ය කොන්දේසි නිර්මානය කර දුන් වෘත්තිය සමිති, ධනේශ්වර ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරුවන කොන්දේසි හමුවේ කම්කරු පංතියට එල්ල කෙරෙන ප්‍රහාරයන් රුදුරුම මට්ටම් වලට නංවා ඇති තතු යටතේ, එයට එරෙහිව කවර හෝ කාර්මික ක්‍රියාවකට කම්කරුවන් කැඳවීම දැනුවත්ව අත්හැර දමා ඇත.

ධනපති ආන්ඩුවට සහ හාම්පුතුන්ට වෘත්තීය සමිති ලබාදෙන මෙම සහාය අගයමින්, ඉහත දෙරන රූපවාහිනී සාකච්ඡාවේදී එක්සත් ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයා කියා සිටියේ, 'මේ මොහොතේ ශ්‍රී ලංකාවට අපනයන ක්ෂේත්‍රයේ වැදගත්කම අවබෝධ කරගත් වෘත්තීය සමිති වැඩවර්ජන වලින් තොරව කම්හල් දිගටම ක්‍රියාත්මක වීමට' ඉඩදියයුතුබව තීරනය කර ඇති බවයි.

මෙම තතු මගින් යලියලිත් පැහැදිලි කෙරෙන්නේ, ධනපති උපකරන ලෙස සෘජුවම ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් බිඳී තමාගේම ස්වාධීන සංවිධාන ලෙස කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවේ හදිසිභාවය බව ලෝසවඅ වාර්තාකරුවෝ කම්කරුවන්ට පෙන්වා දුන්හ. එයට එකඟත්වය පලකල ඔවුහු, තමන් හා සමාන කොන්දේසි වලට මුහුනදෙන අනෙකුත් නිදහස් වෙලඳ කලාපවල සහ වෙනත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් අතරට ද ගම්බද ජනයා තුලට ද ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ උද්ඝෝෂනය ගෙනයායුතු බවට කල යෝජනාවට ද තම අනුමැතිය පල කලහ.

එවන් ක්‍රියාකාරී කමිටු ජාලයක් දිවයින පුරා ගොඩනගා ගනිමින්, එම කමිටුවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන ඇති ආරම්භකත්වය අවධාරනය කරමින්, එයට කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමේ දේශපාලන ලීවරය ලෙස ක්‍රියාත්මකවීමේ හැකියාව ගැන ලෝසවෙඅ වාර්තාකරුවන් කල පැහැදිලි කිරීම් වලට කම්කරුවෝ ඉතා සාවධානව ඇහුම්කන් දුන්හ.