ගැඹුරු ආර්ථික අර්බුදයක රට ගිලී තිබුනද ඇඟලුම් කම්හල් හිමියෝ දැවැන්ත ලාභ කඳු ගසා ගනිති

වාර්තාගත ආදායමක් සනිටුහන් කරමින් ඇඟලුම් අපනයන කර්මාන්තය මෙම වසරේ මුල් අර්ධය තුල ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක් උපයාගෙන ඇත. මෙය, එදාමෙදාතුර වාර්තා කෙරුනු අඩ වසරක ඉහලම ආදායම වන අතර කෝවිඩ්-19 වසංගතය ආරම්භ වීමට පෙරාතු පැවති ආදායම් තත්වයද ඉක්මවා යාමකි.

මෙම වාර්තාගත ආදායම ගැන ඇඟලුම් කර්මාන්ත හාම්පුතුන්ගේ ප්‍රමූඛතම ආයතනය වන ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය (ඒඇසස) උපුටා දක්වමින් ජූලි 25 දා ඩේලි ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කලේ, ඇඟලුම් කර්මාන්තය කොවිඩ්-19 වසංගතය පැතිරීමට පෙර වාර්තා කර තිබුනු ඉහලම අඩ වසරක ආදායම වූ එජ ඩොලර් බිලියන 2.62 ඉක්මවා මෙම වසරේ මුල් අර්ධය තුල එජ ඩොලර් බිලියන 2.8 ක් ඉපයූ බවයි.

එදාමෙදාතුර එම කර්මාන්තය ඉපයූ ඉහලම මාසික ආදායම ජූනි මාසයේ වාර්තා වූ අතර එය එජ ඩොලර් මිලියන 537 කි. මෙය 2019 මාර්තු මස ඉපයූ එජ ඩොලර් මිලියන 504 ට වඩා සියයට 39.45 ක ප්‍රබල වර්ධනයකි. ඇඟලුම් කර්මාන්තය ඉපයූ ඉහලම වාර්ෂික ආදායම වූයේ 2019 වසරේ ඉපැයූ එජ ඩොලර් බිලියන 5.6 වේ. අනතුරුව මෙය 2020 දී එජ ඩොලර් බිලියන 4.4 දක්වා අඩු වූ අතර 2021 දී එය එජ ඩොලර් බිලියන 5.4 දක්වා යලිත් වැඩි විය.

ඇඟලුම් කම්හල් හිමියන්ගේ මෙම වාර්තාගත ආදායම් ඉහල යාම පසුපස පවතිනුයේ, එම ක්ෂේත්‍රයේ කම්කරුවන් දැවැන්ත පරිමානයෙන් සූරා කෑමයි. එය පහසු කෙරී ඇත්තේ ආන්ඩුව සහ වෘත්තීය සමිති ඒකාබද්ධ වී සකසන ලද කොන්දේසි මගිනි. වඩාත්ම කැපී පෙනෙන කරුනක් වනුයේ, මෙම වාර්තාගත ආදායම උපයාගනු ලැබුවේ, ඇඟලුම් කම්කරුවන් ද ඇතුලුව, කම්කරුවන්, තරුනයින්, ශිෂ්‍යයන් සහ අනෙකුත් පීඩිතයින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්විය යුතු බවටත්, ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවටත් ඉල්ලමින් අරගල පුපුරා ගිය මාස කීපය තුල වීමයි.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

මුලු දිවයිනම වෙලා ගනිමින් පැවැත්වූ මෙම අරගලවලට, කටුනායක, කොග්ගල, බියගම යනාදි නිදහස් වෙලඳ කලාපවල මෙන්ම ඉන් පිටත පිහිටි ඇඟලුම් කම්හල්වල රැකියාවේ නියුතු කම්කරුවන් සහභාගි වූයේ, දිවයිනේ සෙසු ජනතාව මෙන්ම තමන්ද මුහුන දෙන උග්‍ර ආර්ථික ප්‍රශ්නවලට සහ කම්හල්වල කෙරීගෙන යන සූරා කෑමට එරෙහිවයි. අප්‍රේල් 28 දා සහ මැයි 6 දා මුලු දිවයින පුරා පැවැත් වූ මහා වැඩ වර්ජන සහ හර්තාල් වලට ඇඟලුම් කම්කරුවන් ලක්ෂ ගනනක් සහභාගි වූහ.

කොරෝනා වසංගතය ගසාකමින් කම්හල් හිමියෝ කම්කරුවන් සූරාකෑම උග්‍ර කලහ. වසංගතයේ අවදානම තිබියදී ඉතා සීමිත සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් යටතේ කම්කරුවන් වැඩෙහි යෙදවූ ඔවුන්, වැඩ වේගවත් කරමින්, වැටුප් කපා දමමින්, අනිවාර්ය කෙරුනු අතිකාල වැඩ මගින් අවිවේකව දිගටම වැඩෙහි යොදවමින් සූරාකෑම තීව්‍ර කලේ වෘත්තීය සමිතිවල පූර්න සහයෝගයෙනි.

මෙම තත්වයට එරෙහි අරගල වලට ආරම්භකත්වය ගන්නා සටන්කාමී කම්කරුවන් දඩයම් කරමින් අනෙකුත් කම්කරුවන් ත්‍රස්ත කිරීමේ ව්‍යායාමයක කම්හල් පාලකයෝ යෙදී සිටිති. තම කම්හල මාර්තු මස වසා දැමීම නිසා සේවය අහිමි වූ, කොග්ගල වෙලඳ කලාපයේ පිහිටි එස්ක්වෙල් ඇඟලුම් කම්හලේ කම්කරු කාන්තාවක් ලෝසවෙඅට පැවසුවේ, තම කම්හලේ පාලකයෙකුට තර්ජනය කල බවට චෝදනා කරමින් ඇය ඇතුලු එහි සේවකයින්ට වෙනත් කිසිදු කම්හලක රැකියා නොදෙන බවයි.

එස්ක්වෙල් සමාගමට අයත් ජාඇල, ඒකල පිහිටි එස්ක්වෙල් කම්හල ජූලි මස අග වසා දැමුනු අතර එම කම්හලේ කම්කරු කාන්තාවක් පැවසුවේ තමන් ඇතුලු 20 ක් සීදුවේ, ලියනගෙමුල්ල පිහිටි ග්ලෝබල් පාක් ඇසුරුම් කම්හලේ වැඩට ගොස් දිනක් වැඩ කල පසු ඔවුන් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීන් යයි චෝදනා නගමින් සියලු දෙනාවම නෙරපා හරින ලද බවයි.

කොග්ගල ආයෝජන කලාපයේ කම්කරුවෝ

කොග්ගල සහ ජාඇල එස්ක්වෙල් කම්හල් දෙකෙහි ඇන්ටන් මාකස් සමලේකම් ධූරය දරන නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) ශාඛා පැවතියද, මාකස් කම්කරුවන් මගහැරිය බව මෙම කම්හල් දෙකේ කම්කරුවෝ පිලිකුලෙන් ලෝසවෙඅට පැවසූහ.

කම්හල් හිමියන්ට මේ ආකාරයෙන් සූරා කෑමටත්, දඩයම් කිරීමටත් ශක්තිය ලැබී ඇත්තේ කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමක් වලක්වමින් හාම්පුතුන්ද, ආන්ඩුවද සමග වෘත්තීය සමිති ගෙනයන සම්මුති ද, ඔවුන් කම්කරුවන්ට එරෙහිව කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මකවීම ද හේතුවෙනි.

කම්කරුවන්ගෙන් වැඩෙන නොසන්සුන්තාවය සමහන් කිරීම සඳහා ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුල නිරත මාකස්ගේ නිවෙකපොසේසේස, ලෙස්ලි දේවේන්ද්‍ර ප්‍රධාන ලේකම් ධූරය දරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලනිසේස) සහ පාලිත අතුකෝරාල සභාපති ධූරය දරන ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය කම්හල් තුල “කාර්මික සාමය” හා “ස්ථාවරත්වය” ගොඩ නැගීම සඳහා තම කැපවීම දක්වමින් පසුගිය වසරේ දෙසැම්බර් 23 දා, ඒඇසස සමග 'ඓතිහාසික' “ද්වි-පාර්ශවීය” සම්මුතියකට අත්සන් තැබූහ.

මෙම සම්මුතියේ අරමුනු ලෙස පැවසුනේ වසංගතය සඳහා ද්වීපාර්ශ්වීය සෞඛ්‍යාරක්ෂක කමිටු ගොඩ නැගීම, රැස්වීමේ නිදහස හා ඒකාබද්ධ කේවල් කිරීමේ අයිතිය සහ ගැටුම් නිරාකරනය කිරීම සඳහා ද්වීපාර්ශ්වීය යාන්ත්‍රනයක් ඇති කිරීම, වසංගතය හේතුවෙන් ලෝක පරිමානව පසුබැසීමට ලක්වී ඇති ගෝලීය ඇඟලුම් කර්මාන්තය යලි නගා සිටුවීමයි.

මෙම ඊනියා සම්මුතියේ 'සේවකයින්ගේ අයිතින් ආරක්ෂා කිරීමත්, කර්මාන්තයේ සේවකයින් රඳවා තබා ගැනිම සඳහා උනන්දු කරවීමත්', මෙම 'සියලුම ප්‍රයත්නයන්ගේ කේන්ද්‍රය‘ බව ව්‍යාජ ලෙස සඳහන් කෙරුනු නමුදු, සම්මුතියේ සැබෑ අරමුන වනුයේ, කර්මාන්තය මුහුන දී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේදී සමිතිවල සහාය වඩාත් ඉහල තලයකින් සංවිධානය කර ගැනීම බව සමිති නායකයින්ට එරෙහි එස්ක්වෙල් කම්කරුවන්ගේ චෝදනාවලින් පැහැදිලි වේ.

කම්කරුවන් පාවාදීමේ මෙම සම්මුතියට පෙරාතුව සමිති ගනනාවක් කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමග එයින් ඇඟලුම් කම්හල් හිමිකරුවන්ට විය හැකි පාඩුව කම්කරුවන් මත පැටවීමට පියවර ගත්හ.

2020 මැයි මස, ඒඇසස විසින් ඉදිරිපත් කරන ලද රැකියා සහ වැටුප් කප්පාදු කිරීමේ යෝජනාවලට වෘත්තීය සමිති ගනනාවක්, ආන්ඩුව සහ සේවා යෝජක හාම්පුතුන්ගෙන් සැදුම්ලත් ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය (ත්‍රෛපාකාසාබ) සමග හවුලේ වැඩ කිරීමට එකඟ වූහ. එකඟ වූ සමිති වූයේ නිවෙකපොසේසේස, ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස), සිල්වෙස්ටර් ජයකොඩිගේ ලංකා වෙලඳ කාර්මික හා පොදු කම්කරු සංගමය හා (හිටපු) සභාපති, ලීනස් ජයතිලකගේ එක්සත් කම්කරු සම්මේලනය යනාදියයි.

අප්‍රේල් 28 සහ මැයි 6 දිනවල පැවැති මහා වැඩ වර්ජනවලදී වෘත්තීය සමිතිවලට පිටින් කම්කරුවන් අරගලවලට පිවිසිමින් සිටි නිසා වෙලඳ කලාපවල පිහිටුවාගෙන ඇති නිවෙකපොසේසේස සහ අසසේස, අනෙකුත් අංශයන්හි වෘත්තීය සමිති මෙන්ම පැකිලීමෙන් වැඩ වර්ජනය කැඳවූයේ හාම්පුතුන්ටත්, ආන්ඩුවටත් එරෙහිව වැඩෙන වෛරය වාෂ්ප කිරීම සඳහාය. මෙහි වාසිය ඩැහැ ගන්නා හාම්පුත්තු කම්කරුවන්ට එරෙහි ප්‍රහාර උත්සන්න කරමින් සිටිති.

දැනට දිවයින මුහුන දී ඇති විදේශ සංචිත හිඟය හේතුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීම, ඉන්ධන හිඟය, ඉන්ධන සහ විදුලි බලය සදහා අධික මිලක් ගෙවීමට සිදුවීම ආදී ගැටලු වලට ඇඟලුම් කර්මාන්තය මුහුන දී සිටී. මීට අමතරව, ඇමරිකාව සහ යුරෝපා සංගමය තුල මතු වී ඇති උද්ධමනය හමුවේ ජනතාවගේ ක්‍රය ශක්තිය අඩු වීම හේතුවෙන් ඇඟලුම් අංශයේ ඇනවුම් අඩුවීමක් ද පවතී. මෙම තතු තුල ඇඟලුම් හිමියන් තම කර්මාන්තශාලා දිවයිනෙන් ඉවත් කර බංග්ලාදේශය වැනි අවම වැටුප් ඇති රටවලට ගෙන යන බවට තර්ජනය කර ඇත.

ජූනි 31 දා ද සන්ඩේ ටයිම්ස් පුවත්පත කියා සිටියේ, රට තුල පවතින අස්ථාවරත්වයද සහ ඉහල යන උද්ධමනය හේතුවෙන් යුරෝපීය සහ ඇමරිකානු වෙලඳපොලේ ගැටලුද හේතුවෙන් ඇනවුම් සියයට 10-15 අතර අඩුවී ඇති බව ඒඇසස වාර්තා කර ඇති බවයි.

ඒඇසස උපුටා දක්වමින්, ජූලි 1 දා ලංකාදීප පුවත්පත වාර්තා කලේ ප්‍රධාන පෙළේ මහා පරිමාන ඇඟලුම් කම්හල්වලින් උපකොන්ත්‍රාත් භාර ගන්නා සුළු හා මධ්‍ය පරිමාන ඇඟලුම් කම්හල් 200 ක් පමන ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් බරපතල අවදානමකට ගොදුරු වී ඇති බවයි.

මෙම තත්වය යටතේ කම්හල් වසා දැමීම හේතුවෙන් කම්කරුවන්ගේ රැකියා දැනටමත් විනාශ කෙරෙමින් පවතී. එස්ක්වෙල් ජාලයට අයත් කොග්ගල, ජාඇල සහ කෑගල්ල කම්හල්ද, කොග්ගල පිහිටි අවුරා ඇපරල් එක්ස්පෝට් කම්හලද වසා දමමින් දහස් ගනනකගේ රැකියා අහිමි කරනු ලැබ ඇත. එස්ක්වෙල් කම්කරුවන්ට සොච්චම් වන්දි ගෙවනු ලැබූ අතර අවුරා කම්කරුවන්ට වැටුප් සහ වන්දි ගෙවීම පැහැර හැර ඇත.

කොරෝනා වසංගතයත් සමග වෙලඳ කලාප කම්කරුවන් 150,000 කට රැකියා අහිමි විය. ප්රධාන නිදහස් වෙලඳ කලාප 14ක සේවකයින් පන් ලක්ෂයකට අධික සංඛ්යාවක් රැකියාවන්හි නිරතවන අතර, ඔවුන් අතරින් විශාල සංඛ්‍යාවක් ලාභ ශ්‍රමය සපයන මිනිස්බල කම්කරුවෝ වෙති.

මෙම ඉසිලිය නොහැකි රැකියා සහ ජීවන කොන්දේසි හේතුවෙන් නිදහස් වෙලඳ කලාප කම්කරුවන් අතර වැඩෙන ආතතිය පුපුරා යාමක් සම්බන්ධයෙන් පාලක පංතිය ඉතා සංවේදීය. මැයි 6 දා වැඩ වර්ජනයට පසු දිනම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කල හදිසි නීති යටතේ රට පුරා මිලිටරිය වීදි බැස්සවීමේ කොටසක් ලෙස වෙලඳ කලාපවලට මිලිටරිය යෙදවිනි. රට තුලට විදේශ විනිමය ගලා එන ප්‍රමුඛ අංශයක් ලෙස ඇඟලුම් කර්මාන්තය පවතින බැවින්, එම ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ නොසන්සුන්තාවයක් ආයෝජකයින් අධෛර්යයට පත් කරනු ඇතැයි පාලක පන්තිය ගනන් බලයි.

කොරෝනා වසංගතයත් සමග ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා අහිමි වූවද, වැටුප් කප්පාදු වුවද, කම්හල් හිමියන්ගේ ලාභ වැඩි වී ඇත. අනාගතයේදී ඇනවුම් අඩු වූවද තම ලාභ මට්ටම් පවත්වා ගැනීම සඳහා කම්හල් හිමියෝ සූරාකෑම තවතවත් උග්‍ර කරනු ඇත. මෙයට එරෙහිව කම්කරුවන්ගෙන් වැඩෙන ප්‍රතිරෝධය මැඩීම සඳහා රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය මර්දනය උත්සන්න කිරීම දැනටමත් අරඹා ඇත.

අගෝස්තු 08 දා සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිකුත් කල ප්‍රකාශයේ සඳහන් කෙරුනු පරිදි, 'පසුගිය සතියේ දී, සර්ව-පාක්ෂික ආන්ඩුවකට එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කල ආයාචනයෙහි ඉලක්කය වන්නේ, ජාමූඅ රුදුරු කප්පාදු වැඩසටහන පටවන සහ කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව පූර්න පරිමාන පන්ති යුද්ධයක් දියත් කරන ධනපති පාලන තන්ත්‍රයක් ශක්තිමත් කරගැනීම බව, සසප අනතුරු අඟවයි.

'අර්බුදයේ කිඳුනු පාලක පන්තිය එල්ලකරන අනවරත ප්‍රහාරයට එරෙහි ව, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ අවශ්‍යතා සඳහා සටන් වැදීමේ උපකරන ලෙස, ස්වාධීන ක්‍රියාකාරී කමිටු මත පදනම් වන ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් නොපමාව ගොඩනගන ලෙස' එම ප්‍රකාශයෙන් සසප ඉල්ලා සිටියි.

Loading