ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය මුලුමනින් ම බිඳ වැටීමේ අද්දරට පැමිනෙයි

මිලියන සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත අනතුරේ හෙලමින් ලංකාවේ මහජන සෞඛ්‍ය පද්ධතිය මුලුමනින්ම බිඳ වැටීමේ අද්දරකට පැමින ඇත. වෛද්‍යවරුන්, තාක්ෂනික ශිල්පීන්, හෙද-හෙදියන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධිත වෘත්තිකයන් සහ ප්‍රතිකාර සඳහා රෝහල් වලට පැමිනෙන රෝගීන් නිරන්තර ව මාධ්‍යයන්ට කරන ප්‍රකාශයන් මගින් ද, ඒ පිලිබඳ ව පල කෙරෙන විවිධ වාර්තා මගින් ද ප්‍රකාශයට පත් කෙරෙනුයේ, ඖෂධ, උපකරන සහ පහසුකම් ඌනතාවයෙන් සමස්ත රෝහල් පද්ධතිය දැඩි ලෙස පීඩා විඳින බවයි.

රෝහල් තුල උද්ගත ව ඇත්තේ සාමාන්‍ය දෛනික වැඩකටයුතු පවා කර ගෙන යාමට නොහැකි තත්වයකි. ඊයේ පාර්ලිමේන්තු විවාදය තුල මේ පිලිබඳ ව විපක්ෂයෙන් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දීමේ දී, 400කට ආසන්න අත්‍යවශ්‍ය ඖෂධ වලින් 92ක් ම රජයේ රෝහල් තුල නොමැති බව පිලි ගැනීමට සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලටමත් සිදු විය. කෝවිඩ්-19 වැනි වසංගතයක් පැතිරෙන තතු තුල මෙම තත්වය අතිශයින් විනාශකාරීය.

මෙම තත්වය පෙන්නුම් කෙරෙන වාර්තා කීපයක් මෙසේ ය:

  • රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති පසුගිය සතියේ මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කලේ පිලිකා නාශක ඖෂධ, හෘද, අපස්මාර, දියවැඩියා, රෝගින් සඳහා භාවිතා කරන ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි.
  • වකුගඩු බද්ධ කිරීමෙන් පසු දෙන ඖෂධ නොමැති වීම හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ වකුගඩු ශල්‍ය කර්ම තාවකාලික ව නවතා දැමීමට සිදු ව ඇති බව සැප්තැම්බර් 14 වන දා අරුන පුවත්පත වාර්තා කලේ ය.
  • සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එස්. මැදිවත්ත එදින ම එම පුවත්පතට සඳහන් කලේ රෝගීන්ගේ ආහාර වේලට මාලු සැපයීමට මුදල් නොලැබීම හේතුවෙන් එය නතර වී ඇති බවයි. එමෙන්ම හාල් සැපයුම්කරුට මුදල් සම්පාදනය නොකිරීම හේතුවෙන් ඔහු ඒවා සැපයීමට මැලිකමක් දක්වන බවත් ඔහු පවසා ඇත.
  • පසුගිය 15 වනදා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මාධ්‍යයට පැවසුවේ ලමුන් මන්දපෝෂනයෙන් වලක්වන ත්‍රීපෝෂ, ආහාර අතිරේක සහ බීපී 100 බිස්කට් වල දැවැන්ත හිඟයක් පවතින බවයි.
  • පියයුරු පිලිකා රෝගීන්ට ලබා දෙන ටැබ්සුබාබ් එන්නත ඇතුලු ව පිලිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ 20ක හිඟයක් පවතින බව තවත් වාර්තාවක සඳහන්විය. අනුරාධපුර රෝහලේ එක්ස් කිරන යන්ත්‍රය සඳහා අවශ්‍ය උපකරන වල අඩු පාඩු නිසා ඒ හා සම්බන්ධ වැඩ කටයුතු අඩපන වී ඇත.

මෙම ව්‍යසනකාරී තත්වය සම්බන්ධයෙන් කවර හෝ තැකීමක් නොමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු ඔහුගේ ආන්ඩුවේ උත්සුකය වනුයේ එය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු වහා ක්‍රියාත්මක කිරීම පිලිබඳ ව ය.

මිනිස් ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුව දක්වන මෙම නරුම ප්‍රතිචාරයට එරෙහි ව වැඩුනු මහජන විරෝධය හමුවේ, ඇමරිකානු ආධාර ලෙස ලැබුනු ඩොලර් මිලියන සියයක සොච්චමක් ඖෂධ සහ වෛද්‍ය උපකරන සඳහා වියදම් කිරීමට, සැප්තැම්බර් 13 වනදා කැබිනට් මන්ඩලය තීන්දු කලේ ය. මෙම මුදල, සෞඛ්‍ය පද්ධතියේ ගැඹුරු අර්බුදය විසඳීමට කිසිසේත් ම ප්‍රමානවත් නොවේ.

සීමිත ව හෝ පැවති නිදහස් සෞඛ්‍ය සේවය කම්කරු පංතියේ අතීත අරගලයන්හි වැදගත් ජයග්‍රහනයකි. පසුගිය දශක කිහිපය පුරා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් එල්ල කල ප්‍රහාරයන් මගින් එය ක්‍රමානුකූල ව පිරිහෙලනු ලැබී ය. කෝවිඩ්-19 වසංගතයෙන් සහ එක්සත් ජනපද-නැටෝ බලයන් රුසියාවට එරෙහි ව යුක්‍රේනය තුල ගෙන යන යුද්ධයෙන් වඩාත් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදය හමුවේ, නිදහස් සෞඛ්‍ය සේවය අවසානයකට ගෙන ඒමේ වැඩකටයුතුවල ආන්ඩුව ඇතුලු පාලක පංතිය යෙදී සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවෝ සහ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, සෞඛ්‍ය සේවය මුහුනදෙන මෙම කොන්දේසි පිලිබඳව රෝහල් සේවකයින් සමග සාකච්ඡා කලහ.

මහනුවර රෝහලේ විකිරන ශිල්පියෙකු සඳහන් කලේ “එක්ස්රේ සඳහා ලබා දෙන (ඡායාරූප) පටල මෙම වසර තුල නොලැබුනු හෙයින් විශාල අර්බුදයක්” මතු ව ඇති බවයි. මේ හේතුවෙන් එක් ඡායාරූප පටලයක් තුල රෝගීන් කිහිප දෙනකුගේ රූප රාමු මුද්‍රනය කර කුඩා කැබලිවලට කපා ලබාදීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කලේය.

මහනුවර ජාතික රෝහලේ සේවකයෙකු පැවසුවේ “අක්මාව නරක් වූ රෝගීන්ට අවශ්‍ය බඩ බුරුල් වීමට දෙන ඖෂධයක් වන lactulose නැති නිසා” රෝගීන් සිහි විකල් වීමෙන් යලිත් රෝහල් ගත වන බවයි.

තම ඒකකය තුල මීට පෙර දිනකට මරන දෙකක් පමන සිදුවූවත් දැන් “සමහර දිනවල මරන හතර ඉක්මවා යන බව” මහනුවර හදිසි සත්කාර ඒකකයේ වෛද්‍යවරයෙක් පැවසුවේ ය. ඒවාට බොහෝ වශයෙන් හේතු වී ඇත්තේ දෛනික ව ඖෂධ ලබා ගත නොහැකි වීම නිසා ඇති වූ සංකූලතා බව ඔහු සඳහන් කලේ ය.

මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙකු ලෝසවෙඅට සඳහන් කලේ සමහර පිලිකා රෝගීන්ගේ රුධිරයේ පවතින සංකූලතාවයන් මග හැරීමට දිය යුතු ප්‍රතිජීවක ඖෂධ නොමැති වීම හේතුවෙන් රෝගීන් “නොයෙකුත් වෛරස් හා බැක්ටීරියා රෝග වලට පවා ගොදුරු වී මිය යෑමේ” කොන්දේසි වර්ධනය වෙමින් පවතින බවයි.

පරික්ෂනාගාරයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලැබෙන්නේ කඩින්කඩ බැවින් විවිධ දුෂ්කරතා මතු වී ඇති බව එම රෝහලේ ම පරීක්ෂනාගාර සේවකයෙකු සඳහන් කලේ ය. මේ වන විට විටමින් ඩී සඳහා කරන පරීක්ෂනය මුලුමනින් ම ඇනහිට ඇති බව ඔහු පැවසී ය. සේවක හිඟය ද විශාල වශයෙන් වැඩකටයුතු සඳහා බලපා ඇති බව ඔහු සඳහන් කලේ ය.

පරීක්ෂනාගාර උපකරන සඳහා අවශ්‍ය ප්‍රමිති පාලක හිඟය හේතුවෙන් ඒවා දින කිහිපයකට වතාවක් භාවිතා කිරීමට බල කෙරී ඇති බව ගම්පොල රෝහලේ පරීක්ෂනාගාර සේවකයෙක් සඳහන් කලේ ය. ඒ හේතුවෙන් පරීක්ෂන වල ප්‍රතිඵලවල නිරවද්‍යභාවය අඩු වී ඇති බව ද ඔහු පැවසී ය.

සෞඛ්‍ය සේවකයන්ගේ අත්දැකීම් පෙන්වා දෙන්නේ, ධනපති මාධ්‍යයන්හි පල කෙරෙන සීමිත වාර්තා වලින් ප්‍රකාශයට පත්වන තත්වයට වඩා ගැඹුරින් මහජනතාවගේ ජීවිත මතට මෙම ව්‍යසනය කඩා පාත් කෙරෙමින් පවතින බවයි.

ආන්ඩුව මෙවැනි කොන්දේසි මධ්‍යයේ පවා ඉදිරි මාස හතරට නිකුත් කල අන්තර්වාර අයවැයෙන් සෞඛ්‍යයට වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 16.6 ක සොච්චමකි. මේ වසරේ පලමු කාර්තුවේ සෞඛ්‍ය වියදම් පසුගිය වසරට සාපේක්ෂව බිලියන හයකින් කපා හැර ඇති බව ජුනි මාසයේ නිකුත් කල විගනකාධිපති වාර්තාවෙන් පෙන්වා දුනි.

නිදහස් සෞඛ්‍ය සේවය මුලුමනින්ම වලලා, අතමිටෙහි යමක් කමක් ඇති අය හැර, බහුතර මහජනතාව රෝගාබාධ වලින් පීඩා විඳ මිය යාමට අත්හැර ඇති ආන්ඩුව, ආරක්ෂක වියදම් ලෙස ඩොලර් බිලියන 326 ක දැවැන්ත මුදලක් තම අයවැයෙන් වෙන් කිරීමට පියවර ගෙන ඇත. ජාමූඅ වෙතින් බලාපොරොත්තු වන ඩොලර් බිලයන 2.9 ක හදිසි නය වෙනුවෙන් එය පනවා ඇති කප්පාදු විධානයන් ක්‍රියාත්මක කිරීමේ දී එයට එරෙහි ව පැන නගින පංති අරගල රුදුරු ම ආකාරයෙන් තලා දැමීම සඳහා රාජ්‍ය මර්දන යන්ත්‍රය තර කිරීම මේ සා ඉමහත් මුදල් සම්භාරයක් වෙන් කිරීමේ අරමුනයි.

මහජනතාවගේ ජීවිත වලට ඉහලින් ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමේ මෙම පිලිවෙත මත ම ක්‍රියාත්මක වූ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, කෝවිඩ් වසංගතය මැඩීමට අත්‍යවශ්‍ය පියවර ගැනීම ප්‍රතික්ෂේප කරමින් “රටෙහි ආර්ථිකය” ආරක්ෂා කිරීමේ නාමයෙන් ආර්ථිකය විවෘත කොට පවත්වා ගෙන යාමේ ප්‍රතිඵලය ලෙස ලංකාව තුල පමනක් ජීවිත 17,000 ක් බිල දී ඇත. වික්‍රමසිංහ විසින් ඉදිරියට ගෙන යන මෙම පිලිවෙත, සෞඛ්‍ය පද්ධතිය තුල ගැඹුරුවන අර්බුදය තුල ඉමහත් සමාජ ව්‍යසනයක් ජනිත කරනු ඇත.

මෙය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. සැප්තැම්බර් මුල සතියේ දී එක්සත් ජනපදයේ ජෝ බයිඩන් ආන්ඩුව ප්‍රමානවත් මුදල් සම්පාදනය නොකිරීම නිසා මිලියන ගනනක් ඇමරිකානුවන්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂන කිරීමට තිබූ පහසුකම නවතා දැමී ය. වසංගතය සීමා කිරීමේ පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටි නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද එම පිලිවෙත් මුලුමනින් ම අත්හැර මහජනතාව වසංගතයට ගොදුරු වීමට ඉඩහැර ඇත. මෙම රුදුරු පිලිවෙත් හේතුවෙන් මේ වන විට ලොව පුරා සිදු ව ඇති කෝවිඩ් මරන සංඛ්‍යවේ නිල අගය මිලියන 6.5ක් ලෙස සැලකුව ද යතා අගය මිලියන 20 ඉක්මවා ඇති බව පිලිගත් සමීක්ෂන මගින් පෙන්නුම් කරයි.

කිසියම් සමාජයක ඓතිහාසික ප්‍රගතිය නිර්නය කිරීමේ දී මහජන සෞඛ්‍යය අතිමූලික දර්ශකයකි. එ මෙන් ම මහජන සෞඛ්‍යය වර්ධනය කිරීම රාජ්‍යයේ වගකීමක් බව ධනපති ක්‍රමය ආරම්භයේ දී ධනපති නායකයන් විසින්මත් පිලිගත් කරුනක් විය. මහජන සෞඛ්‍යය පිලිබඳ වත්මන් තතු මගින් පෙන්නුම් කරන්නේ ධනපති ක්‍රමයේ ලෝක පරිමාන පරිහානියේ පරිමාවයි.

“කෝවිඩ්, වසංගතය සහ ධනවාදය” නමැති කෘතිය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට හැඳින්වීමක් ලියමින් ඉවාන් බ්ලේක් සඳහන් කල පරිදි, “වසංගතය, දේශගුනික විපර්යාස සහ මහජන සෞඛ්‍යය විනාශ කිරීම, මුදල් පිපාසිත පාලක පන්තියක ලාභ අවශ්‍යතාවන්ට සියලු මිනිස් අවශ්‍යතා යටත් කරන ධනේශ්වර ක්‍රමයේ ම වඩාත් බලගතු රෝගයක රෝග ලක්ෂන පමනි.”

මෙම ව්‍යසනය ජයගත හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පංතිය මැදිහත් වී ඓතිහාසික ව අසමත් ධනේශ්වර පද්ධතිය පෙරලා දමා සමාජවාදී පදනමක සමස්ත ලෝකය ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි.

Loading