සෞඛ්‍ය කම්කරුවෝ ඉහල යන ජීවන වියදමට සහ අත්‍යාවශ්‍ය භාන්ඩ හිඟයට එරෙහිව අරගලයට පැමිනෙති

ඉහල යන ජීවන වියදම පහත හෙලීම, වැටුප් කප්පාදුව නතර කිරීම සහ ප්‍රවාහනය සඳහා පහසුකම් සැපයීම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මත සෞඛ්‍ය සේවකයෝ සඳුදා කෑම පැයේ දීප ව්‍යාප්ත උද්ඝෝෂනයක නිරත වුහ. වෘත්තීය සමිතිවාදී භේද කිරීම් සහ අසංවිධානාත්මක බව තිබියදී කොලඹ ජාතික රෝහල, ජයවර්ධන පුර රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලු දිවයින පුරා රෝහල්වල හෙද-හෙදියන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය සහායකයන් ඇතුලු රෝහල් සේවකයෝ කිහිප දහසක් ඊට සහභාගී වුහ.

2022 අප්‍රේල්, ශ්‍රී ලංකාවේ කොලඹ රිජ්වේ ආර්යා රෝහලෙන් පිටත හෙද විරෝධතාවයක් [ඡායාරූපය ලෝසවෙඅ වෙත ලබා දුන්නේ හෙද කාර්ය මන්ඩලයේ අනුග්‍රහයෙනි]

සඳුදා විරෝධතාවය සෞඛ්‍ය සේවකයන්ගේ අඛන්ඩ විරෝධතා රැල්ලේ ආසන්නතම පියවරයි. ඔවුන් අරගලයට පැමිනියේ සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් රාජ්‍ය මර්දනය ඉහලකට නංවා ඇති තතු තුලය.

උද්ඝෝෂනය තුල දී ඔවුහු “ජීවන වියදම අඩු කරනු!, වැටුප් කප්පාදුව නවතනු!, සේවාව අඛන්ඩව පවත්වාගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙනු!, අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරන අඛන්ඩව සපයනු!, රාජ්‍ය මර්දනය නවතනු!, රටේ සම්පත් හා දේපල විකිනීම නවතනු!, විසඳුම් නොදෙන ආන්ඩුව ගෙදර යනු!” ආදී සටන් පාඨ හඬ නැගූහ.

සඳුදා විරෝධතා උද්ඝෝෂනය, කෝවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේනය මැදිකරගෙන එක්සත් ජනපදය සහ නැටෝව රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයෙන් තීව්‍ර කෙරුන ලෝක ධනවාදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට එරෙහිව ජාත්‍යන්තරව වර්ධනයවන සෞඛ්‍ය සේවකයන්ගේ සහ අවශේෂ කම්කරුවන්ගේ අරගලවල කොටසකි.

එක්සත් ජනපදයේ සහ ජර්මනියේ සෞඛ්‍ය සේවකයන් මෑත දිනවල වර්ජනවලට එලඹුන අතර එලඹෙන අඟහරුවාදා ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන සේවකයන් 140,000 වර්ජනය කිරීමට නියමිතය. වැටුප් ඉල්ලීම් මත බ්‍රිතාන්‍ය දුම්රිය කම්කරුවෝ 50,000 ක් ද රැකියා අහෝසියට එරෙහිව චිලියේ තඹ පතල් කම්කරුවෝ 50,000 ක් වර්ජන යේ යෙදී සිටිති.

සෞඛ්‍ය සේවකයන් යලි අරගලයට පිවිස ඇත්තේ වේගයෙන් ඉහල යන ජීවන වියදම යටතේ නොපෑහෙන වැටුප්, රෝහල් උපකරන සහ සේවක හිඟය, ඉන්ධන හිඟය විසින් ඇති කර ඇති ප්‍රවාහන ගැටලු, දීමනා කැපීම්, රාජ්‍ය මර්දනය, ඉහිලිය නොහැකි වැඩ කොන්දේසි තුලය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් යටතේ රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව නව ප්‍රහාර වටයක් මුදාහැර ඇත. රාජ්‍ය වියදම් කැපීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සහ වානිජකරනය හා බදු ඉහල දැමීම ඇතුලු කම්කරු පන්තියේ රැකියා සහ ජීවන තත්වයන්ට දැඩි සේ පහර වදින කොන්දේසි ජාමුඅ විධානයන්ට ඇතුලත්වේ.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයන් තුල වර්ධනය වන බරපතල කෝපය සහ නොසන්සුන්තාවය මධ්‍යයේ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව (සෞසේවෘසඑ) ට විරෝධතා උද්ඝෝෂනයක් කැඳවීමට බල කෙරුන නමුත් ඔවුන් කලේ එය හුදු කෑම පැයේ උද්ඝෝෂනයකට සීමා කොට දියකර හැරීමය. සෞසේවෘසඑ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවන සමිති පෙරමුනකි.

ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අප්‍රේල් 28 සහ මැයි 6 පැවැත්වුනු ජාතික වැඩ වර්ජන වල දී ද, මැයි 9 දා ගෝල් ෆේස් විරෝධතාකරුවන්ට ආන්ඩුවේ මැරයන් පහර දීමෙන් පසු ඇතිවූ විරෝධතාවල දී ද සෞඛ්‍ය කම්කරුවෝ තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කලහ.

ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහභාගී වූ එම අරගල එක්දින වර්ජන වලට සීමාකල වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව හා වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය, අවසානයේදී මැයි 11 දා ට කැඳවා තිබූ අඛන්ඩ වර්ජනය අත්හැර දමා සටන නිර්ලජ්ජිතව පාවාදුන්හ. ජවිපෙ, සමගි ජන බලවේගය සහ දෙමල ජාතික සන්ධානයේ අන්තර්වාර පාලනයක් සහ මැතිවරනයක් පිලිබඳ ඉල්ලීම් වලට කම්කරුවන්ගේ අරගලය කොටු කල මෙම සමිති විපක්ෂයේ ධනේශ්වර පක්ෂ වල අත යටට කම්කරුවන්ගේ අරගලය හරවා යැවූහ. එමගින්, කම්කරුවන්ගේ අරගල මර්දනය කොට ජාමුඅ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා ජනාධිපති රාජපක්ෂගේ අත ශක්තිමත් කෙරුනි.

20 වෙනිදා විරෝධතාවය සම්බන්ධයෙන් සෞසේවෘසඑ නිකුත් කල පත්‍රිකාවේ මෙසේ සඳහන් වේ. “රට වැනසූ පාලකයන්ට වත්මන් අර්බුදයට විසඳුම් නැති නම්, ඇති එකම මාර්ගය ඉල්ලා අස් වී තාවකාලික පාලන ව්‍යූහයක් මගින් මාස කිහිපයක් තුල නව ජනවරමක් සඳහා අවස්ථාවක් එනම් මහමැතිවරනයක් පවත්වා ජනතාවාදී පාලනයක් බිහිකර ගැනීමට ජනතාවට අයිතිය ලබා දීමයි.”

ජවිපෙ සහ සෞසේවෘසඑ හා සෙසු වෘත්තීය සමිති විසින් තොරොම්බල් කරන 'ජනතාවාදී' පාලනය වනාහි තවත් ප්‍රතිගාමී ධනේශ්වර ආන්ඩුවක් මිස වැඩකරන ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් සපයන එකක් නොවේ.

සෞඛ්‍ය සේවක උද්ඝෝෂනය පැවති 20 වෙනිදා අත්‍යාවශ්‍ය සේවා නියෝග තවදුරටත් විස්තාරනය කරමින් ජනාධිපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේ ය. එමගින් විදුලි බල සැපයුම සම්බන්ධ සියලු සේවා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරිම – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිලිගැනීම, රැකවරනය, පෝෂනය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කල යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

ඒ අනුව වර්ජන හෝ විරෝධතා උද්ඝෝෂන තහනම් ය. එම නියෝග කඩ කිරීම මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියේ කෙටි නඩු විභාගයකින් පසුව, වරදකරු' බවට පත්වීමේ සහ වසර දෙකේ සිට පහ දක්වා “දැඩි සිරදඬුවම්වලට” සහ/හෝ රුපියල් 2,000 ත් 5,000 ත් අතර දඩයකට හෝ ඒ දෙකටම යටත් වේ.

ධනපති ක්‍රමය තුල කම්කරු පන්තිය මුහුන දෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුම් නැත. කම්කරු පන්තියට තමන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සම්පාදනය කර ගත හැක්කේ ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දැමීමේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක් තුලින් පමනි.

ජවිපෙ, එහි වෘත්තීය සමිති හෝ සෙසු වෘත්තීය සමිති ආන්ඩුව විසින් ක්‍රියාවට දමන ජාමුඅ කප්පාදු පියවරයන්ට විරුද්ධ නැත. ඔවුන් නිහඬව එම කප්පාදු වලට සහාය දෙන අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස) සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය (සෞවෘස) ඒවාට ඍජුව ම සහයෝගය දෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් ප්‍රකාශ කල සෞඛ්‍ය සේවකයෝ තමන් මුහුන දෙන දුෂ්කර ජීවන හා වැඩ කොන්දේසි ගැන විස්තර කල අතර ආන්ඩුව සහ වෘත්තීය සමිති කෙරෙහි බරපතල අප්‍රසාදය පලකලහ.

කොලඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙකු වන කුසල් සඳහන් කලේ ජීවන වියදම ඉහල දැරිය නොහැකි බවයි.“වැඩට යන්න එන්න පහසුකම් නෑ. ජීවත් වෙන්න බැහැ. පඩිය මදි. ප්‍රවාහන වියදම් තුන් හතර ගුනයකින් වැඩි වෙලා. නයවලට රුපියල් 15,000 විතර පඩියෙන් කැපෙනවා” යැයි ඔහු සඳහන් කලේය.

අතිකාල වැඩ උපරිමයෙන් කලත් ලබා ගත හැකි වන්නේ රුපියල් 45,000ක් පමන සොච්චම් පඩියක් බව කුසල් සඳහන් කලේය. රෝහලට සෞඛ්‍ය කාර්ය සහයකයින් 3000 ක් අවශ්‍ය වුවත් දෙදහසකින් පමන වැඩ ආවරනය කිරීමට සිදුවීම නිසා තමන්ට අධික ලෙස වැඩ පැටවී ඇති බව ද ප්‍රහාර තව දුරටත් උග්‍ර කිරීමට ආන්ඩුව කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කලේය.

මහනුවර රෝහලේ සෞඛ්‍ය සේවකයෙක් සඳහන් කලේ ආන්ඩුවට බලපෑම් දැමීමේ අරගල මගින් විසඳුමක් ලැබීම ගැන කිසි විශ්වාසයක් නොමැති බවයි. සමිති වල පාවාදීම සම්බන්ධයෙන් පවතින විරුද්ධත්වය මෙම අරගල වලට කම්කරුවන්ගේ සහභාගීත්වය අඩුවීමට හේතුවක් බව ද ඔහු සඳහන් කලේය.

'තෙල් හිඟය නිසා රැකියාවට පැමිනීමත් අවිනිශ්චිතයි. ගෑස් හිඟය හේතුවෙන් රෝහලෙන් ලබා දෙන කෑම වේලේ ප්‍රමිතියත් අඩුවෙලා'. මෙම ප්‍රශ්න වලට විසඳුම් ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉදිරිපත් කර ඇති විකල්ප සමාජවාදී වැඩපිලිවෙල කම්කරුවන් අතරට ගෙන යා යුතු බව ඔහු සඳහන් කලේය.

කලුබෝවිල රෝහලේ උපස්ථායකයෙක් වන අනිල් සමිතිවල ක්‍රියා කලාපය පිලිබඳව කෝපය පල කලේය. 'සමන් රත්නප්‍රිය ගිහින් නැවතුනේ රනිල් වික්‍රමසිංහගෙ ලඟ. අනිකුත් සමිතිත් එහෙමයි. රවි කුමුදේශ් වැනි නායකයන් දැන් ආන්ඩුවට අවශ්‍ය විදිහට කම්කරුවන් පාලනය කරනවා. කම්කරුවන්ගේ ඉල්ලීම් ගැන උනන්දුවක් නැහැ' යි ඔහු පැවසුවේය.

තමා සිතන ආකාරයට ඉල්ලීම් දිනා ගැනීමට වැඩියෙන්ම සටන් කලයුතු කාලය මෙය බව ඔහු සඳහන් කලේ ය. අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල යෑම, භාන්ඩ හිඟය යනාදියෙන් සෞඛ්‍ය සේවකයන් පීඩා විඳිද්දී සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් කිරීම මගින් ඔවුන්ගේ වැඩ වර්ජන තහනම් කිරීමට ඉඩදී සමිති නිහඬව සිටින බව ඔහු පැවසීය.

බොහෝ කම්කරුවන් වෘත්තීය සමිති වලට විරුද්ධ නමුත් එය ප්‍රසිද්ධියේ කතා නොකරන්නේ පාලකයන් සමඟ සමිති සම්බන්ධ නිසා දඩයමට ලක්වීමේ බියෙන් බව අනිල් පැවසුවේය. කම්කරුවන් ඒකාබද්ධ කර ගැනීමට විකල්ප වැඩ පිලිවෙලක අවශ්‍යතාවය ඔහු ඉස්මතු කලේය.

විකල්ප වැඩපිලිවලක් මත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල හැක්කේ ජුනි 16 වෙනිදා සසප ප්‍රකාශයෙන් පැහැදිලි කල පරිදි අප්‍රේල්-මැයි අරගලවල පාඩම් උකහා ගැනීමෙන් හා වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් මිදී ගොඩ නගා ගන්නා ක්‍රියාකාරී කමිටු හරහා තම අයිතීන් සඳහා අරගලය කම්කරුවන් අතට ගැනීමෙනි.

සසප සෞඛ්‍ය, වතු හා ඇඟලුම් කම්කරුවන්ගේ හා ගුරුවරුන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට දැනටමත් ආරම්භකත්වය ගෙන ඇත. සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන තුල සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට අප සමග එක්වන ලෙසත් කම්කරු පන්තියට අවශ්‍ය විකල්ප හා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සකච්ඡා කිරීම සඳහා ජුලි 3 ඉරිදා සවස 4 ට පැවැත්වෙන සසප අන්තර්ජාල රැස්වීමට සහභාගිවන ලෙසත් සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් සසප ඉල්ලා සිටී.

Loading