රාජ්‍ය සේවක රැකියා හා වැටුප් කප්පාදුව කම්කරු පන්තියට එරෙහි බරපතල ප්‍රහාරයක් බව කම්කරුවෝ පවසති

ගෝඨාභය රාජපක්ෂ-රනිල් වික්‍රමසිංහ ආන්ඩුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රැකියා සහ වැටුප් කප්පාදු කිරීමේ දුෂ්ට සැලැස්මක් ක්‍රියාවට දැමීමට තීන්දු කර ඇත. එය ආන්ඩුව මුහුන දී සිටින බරපතල ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) නියෝග කර තිබෙන ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමේ පියවරකි.

රාජ්‍ය අංශයේ සේවකයින් අප්‍රේල් 8 වැනි දින මහනුවරදී පාගමනක් පවත්වයි [ඡායාරූපය: ෆේස්බුක්-සංවර්ධන නිලධාරී සේවා සංගමය]

ආන්ඩුවේ සැලසුමට අනුව දහහත් ලක්ෂයක් වන රජයේ සේවකයන් ගෙන් හරි අඩක්, එනම් 850,000 ක ගේ රැකියා අහිමි වෙයි.

* ඒ අනුව අත්‍යවශ්‍ය යැයි සැලකෙන සේවකයන් පමනක් සේවයට කැඳවීම

* සේවකයන් වසර පහක නිවාඩු සහිතව විදේශ රැකියාවලට යොමු කිරීම

* වැඩ සතිය දින හතරකට සීමා කිරීම (මෙය දැනටමත් කම්කරු අමාත්‍යංශයේ කාර්යාල සම්බන්ධයෙන් ක්‍රියාවට දමා ඇත.)

* විශ්‍රාම වැටුප් කප්පාදුව: රුපියල් බිලියන 17 ක පාරිතෝෂික දීමනාව ගෙවීමට ආන්ඩුවට මුදල් නැති බවත් ඒ නිසා එය ඉබේම අහෝසි වී ඇති බවත් මැයි 29 වෙනිදා පැවති රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ රැස්වීමක දී පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සඳහන් කලේය.

* විශ්‍රාම ගන්වන වයස් සීමාව වසර 65 සිට 62 දක්වා අඩු කිරීම

* ස්වෙච්ඡා විශ්‍රාම ක්‍රමයක් ක්‍රියාවට දැමීම

* රාජකාරියට නො කැඳවන සේවකයන්ගේ මුලික වැටුපෙන් අඩක් පමනක් ගෙවීම

අවසන් යෝජනා දෙක රාජ්‍ය මාධ්‍ය ආයතන සේවකයන් සඳහා වැටුප් ගෙවීමට භාන්ඩාගාරයෙන් ප්‍රතිපාදන සඳහා කෙරුන ඉල්ලීමක දී ඒ සඳහා සැපිරිය යුතු කොන්දේසි මාලාවට ඇතුලත් විය යුතු නිශ්චිත කොන්දේසි දෙකක් ලෙස මාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන, සැලසුම් හා තොරතුරු අතිරේක ලේකම් ටී.එම්.එස්.බී. ජයසුන්දර විසින් මධ්‍ය ආයතන ප්‍රධානින් වෙත යවන ලද ලිපියක සඳහන් කර තිබුනි.

රාජ්‍ය වියදම් 'ඇටපොත්තට ම කපන' බව මැයි 24 වෙනිදා රොයිටර් සේවයට ප්‍රකාශ කල අගමැති හා මුදල් ඇමති වික්‍රමසිංහ රාජ්‍ය සේවය දෙස 'වෙන ම ඇසකින් බැලිය යුතු' බවත් එය 'මුලුමනින් ම ප්‍රතිසංස්කරනය සහ ප්‍රතිසංවිධානය' කලයුතු බවත් ජුනි 2 වෙනිදා ආන්ඩුවේ ආර්ථික අර්බුදය පිලිබඳව පාර්ලිමේන්තුවට කල ප්‍රකාශයේ දී සඳහන් කලේ ය.

රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ ආන්ඩුවේ වැඩපිලිවෙලට එකඟ නොවන 'දේශපාලන පක්ෂ, මහජන සංවිධාන සහ වෘත්තීය සමිති දේශද්‍රෝහීන්' බව මායාදුන්නේ සඳහන් කර ඇත.

රාජ්‍ය සේවකයන් මත මෙම ප්‍රහාර එල්ල කෙරෙනුයේ, අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස් සහ ඖෂධ මිල අසීමිතව ඉහල යාම සහ ඒවායේ බරපතල හිඟය විසින් ඔවුන් ඇතුලු සමස්ත වැඩකරන ජනතාව නො ඉවසිය හැකි පීඩනයකට හා ව්‍යසනයකට ගොදුරු කෙරී ඇති කොන්දේසි තුලය.

මෙම ව්‍යසනකාරී තත්වයට එරෙහිව පසුගිය දෙමස තුල මිලියන සංඛ්‍යාත කම්කරුවෝ, තරුන ජනයා, ගම්බද හා නාගරික දුගීහු විරෝධතාවල යෙදුනහ. අප්‍රේල් 28 සහ මැයි 6 වෙනිදා මහ වැඩ වර්ජන දෙකට ලක්ෂ ගනනක් කම්කරුවෝ සහභාගී වූහ.

එහෙත් වෘත්තීය සමිති ඒවා එක්දින වර්ජනයන්ට සීමා කොට පාවාදුන්හ. රාජ්‍ය සේවකයන්ගේ රැකියා හා වැටුප් කප්පාදුව ඇතුළුව ජාමුඅ නියෝග අකුරට ම ක්‍රියාවට දැමීමට රාජපක්ෂ-වික්‍රමසිංහ ආන්ඩුව සමත් වී ඇත්තේ වෘත්තීය සමිතිවල මෙම ද්‍රෝහී පාවාදීම නිසාවෙනි.

වෘත්තීය සමිති රාජ්‍ය සේවක රැකියා සහ වැටුප් කප්පාදු ඇතුළු ජාමුඅ නියෝග යටතේ ක්‍රියාවට දමන ආන්ඩුවේ සැලසුම් වලට විරුද්ධ නැත. ඔවුහු ඒවාට සහයෝගය දෙති.

ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන වෘත්තීය සමිති සහ 'ස්වාධීන' වෘත්තීය සමිති එකතුවක් වන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග මැයි 4 වෙනිදා කල සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ කියා සිටියේය 'ජාමුඅ යෝජනා කරන සියලු දේවල් ප්‍රතික්ෂේප නොකල යුතුයි. බොහෝ හොඳ දේවල් තියෙනව. මූල්‍ය කලමනාකරනයේදී අපේ රට නොකල යුතු දේවල් වගයක් ගැන කියනව. ඒව ජාමූඅ කිව්වයි කියල බැහැරකරන්නට ඕනෙ නැහැ'

රාජ්‍ය සේවාවෙන් මීට වඩා දෙගුනයක් වැඩ ගත හැකි බවත් නිවැරදි කලමනාකරනයක් නැති නිසා එය නොකෙරෙන බවත් පැවසූ ඔහු ජාමුඅ කියන විදිහට රාජ්‍ය සේවකයන් ගෙදර නොයවා 'භාගයක් රට යැවිය හැකි' බව ද කීවේ ය.

ධනපති රාජ්‍යයේ සහ හාම්පුතුන්ගේ කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් රාජ්‍ය සේවකයන් ගේ රැකියා හා වැටුප් කප්පාදුව ට එරෙහිව අරගලය සංවිධානය කිරීම තමන් අතටගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 31 වෙනිදා 'රාජ්‍ය අංශයේ රැකියා සහ වැටුප් කප්පාදුවලට විරුද්ධ වනු! සේවක අයිතීන් සුරැකීමට ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!' මැයින් ප්‍රකාශයක් නිකුත් කලේ ය.

එම ප්‍රකාශය බෙදා හරිමින් සසප සාමාජිකයෝ පසුගිය සතියේ කම්කරුවන් අතර මැදිහත්වූහ. සසප සාමාජිකයන් සමග සාකච්ඡාවන්ට සම්බන්ධ වූ කම්කරුවෝ ආන්ඩුවේ ප්‍රහාරයට දැඩි විරෝධය ප්‍රකාශ කල අතර වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී ක්‍රියා කලාපය හෙලා දුටුවහ. රැකියා හා වැටුප් කප්පාදුවට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක අශ්‍යතාවය ද ඔවුහු ප්‍රකාශ කලහ.

සංවර්ධන නිලධාරියෙකු වන වසන්ත විජේසිරි රැකියා සහ වැටුප් කප්පාදුවේ අනතුර දැනටමත් අත්දකිමින් සිටින බව පැවසීය. 'අප්‍රේල් මාසේ කිව්වා මැයි මාසයේ වැටු ප්‍රමාදවීමට ඉඩ තිබෙන බව. අන්තිමට වැටුප ලැබුනත් ඉදිරි මාසවලදී වැටුප් නොලැබී යාමේ බයක් අපිට තිබෙනවා. මේ තත්වය යටතේ බොහෝ දෙනෙක් දරාගත නොහැකි ජීවන තත්වයන්ටයි තල්ලු කෙරෙන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ අතිකාල දීමනා දැනටමත් කප්පාදු කරලා තියෙන්නේ. මේ තත්වයට මුහුනදීමට කම්කරුවන් දේශපාලනිකව සූදානම් වෙන්න ඕන”.

'කම්කරු ක්‍රියාකාරි කමිටු සන්ධානයේ ප්‍රකාශයට මම සම්පූර්නයෙන් එකඟයි. ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුයි. වෘත්තීය සමිති කම්කරුවන්ව ධනපති ප්‍රහාරයට ගොදුරු කිරීමේ සංවිධාන බවට පත්වෙලා තියෙන්නේ. පසුගිය 9 වෙනිදා දීප ව්‍යාප්ත වර්ජනය අපේ ප්‍රශ්න කිසිවක් විසඳී නැති තත්වයක් තුල පාවාදුන්නා.”

'මාව දැන් පාසලකට අනුයුක්ත කරල. වෘත්තීය සමිති කියන්නේ මේ තත්වය යටතේ අපේ ඉල්ලීම් දෙන්න ආන්ඩුවට හැකියාවක් නැහැ, ටිකක් ඉවසගෙන ඉන්න වෙනව කියල. ඔවුන් ඇත්තට ම සහයෝගය දෙන්නේ ධනපති පන්ති පාලනය පවත්වාගෙන යාමටයි' ඔහු පැවසීය.

යාපනය දිස්ත්‍රික්කයේ රෝහලක හෙද සේවකයෙක්, අමාත්‍යංශ ලේකම් මායාදුන්නේ ගේ ප්‍රකාශය කෝපයෙන් හෙලා දුටුවේය. 'අර්බුදය අපි මවපු එකක් නෙවෙයි. පාලකයෝ නිර්මානය කරපු එකක්. ඒකෙන් මතු කරලා දුෂ්කරතාත් විඳගෙන වැඩකරන අපි ද්‍රෝහියෝ වෙන්නේ කොහොමද? යැයි ඔහු ප්‍රශ්න කලේ ය

අමාරුවෙන් අපි ඉගෙන ගත්තෙ. වසර තුනක වෘත්තීය පුහුනුවකුත් ලබලා පත්වීමක් ලබා ගන්න කොට වයස අවුරුදු 26-27ක් වෙලා. දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවටයි පත්වීම ලැබුනෙ'

යාපනයේ සංවර්ධන නිලධාරිනියක් පැවසුවේ, 'අයවැයෙන් විශාල මුදලක් වැය වෙන්නේ රජයේ සේවකයන්ට කියල දේශපාලකයන් කියන්නේ අප‌ට ජීවත් වෙන්න සරිලන වැටුපක් වත් නොගෙවා' බවයි. 'සේවකයන් සීමා කිරීමේ චක්රලේඛ අපේ කාර්යාලයටත් ආව. තව ම වැඩ නතර කරල නැහැ. නමුත් රජයේ සේවකයන් ට දුන්න රුපියල් 5000 දීමනවා නවත්වන කතාවක් තියෙනවා'

රජයේ සියලු ම ව්‍යාපෘති නතර කිරීම නිසා කාර්මික හා ක්ෂේත්‍ර නිලධාරීන්ට සහ කම්කරුවන්ට රැකියා අහිමි වී ඇති බව ඇය කීවාය.

විදේශ රැකියාවලට යොමුකරන බව ආන්ඩුව කිව්වට ඒකෙන් රැකියා සුරක්ෂිත බවක් ඇති නොවන බව රජයේ සංස්කෘතික මධ්‍යස්ථානයක නිලධාරිනියක් කීවාය. “විදේශ ගත වෙන්න කිව්වට ලෝකය පුරා රැකියා කොන්දේසි දරුනුයි. මැද පෙරදිග යන කාන්තාවෝ පැය 20 ක් විතර වැඩ කරනවා. දරුනු සූරාකෑමක් තියෙන්නේ. යුරෝපයේ රටවලත් තත්වය නරකයි විශේෂයෙන් රුසියාවට එරෙහි යුද්ධය ඒ සඳහා තවත් බලපාලා තියෙනවා.'

'කප්පාදුවේ කොටසක් ලෙස පසුගිය වසරේ කොවිඩ් වසංගතය තත්වය තුලත් සංස්කෘතික මධ්‍යස්ථාන, සංස්කෘතික අමාත්‍යාංශයෙන් වෙන් කරන්න බැලුවා. මධ්‍යස්ථාන වැහුවොත් අපේ රැකියා අනතුරේ වැටෙනවා. දැනටමත් අපේ දීමනා, ගමන් වියදම්, විවිධ වැඩසටහන් සඳහා මුදල් කපලා තියෙන්නේ. අර්බුදයට කම්කරුවන් වගකිව යුතු නැහැ. අපි ඒකට වන්දි ගෙවිය යුතු නැහැ' යි ඇය සඳහන් කලා ය.

“මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරයට විරුද්ධ අඛන්ඩ වර්ජනයක් කරනවා කියලා වෘත්තීය සමිති කිව්වා නමුත් ඒක කෙරුවේ නෑ. ඇත්තටම ආන්ඩුවට බලපෑම් දානවා ඇරෙන්න, කම්කරු පන්තියේ පොදු අරගලයකට, විශේෂයෙන් දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කරගෙන ආන්ඩුවලට අභියෝග කරන්න වෘත්තීය සමිති සූදානම් නෑ. කම්කරු පන්තිය එක එක ක්ෂේත්‍රවලට බෙදලා, සුලු ආර්ථික ඉල්ලීම් වෙනුවෙන් විතරයි වෘත්තීය සමිති කෑ ගහන්නේ.“

කලා ශිල්පිනියක් වන සඳුනි සෝමරත්න මෙසේ පැවසුවාය: 'රජයේ සේවකයන් රටට බරක්' කියල ආන්ඩුව කීවා. දැන් රැකියා කප්පාදු පියවර අරන් යනවා. ජීවන වියදම අහස උසට නගිනව. ඒ තත්වය තුල රැකියාව අහිමි වීම කොහොමටවත් දරාගන්න බැහැ.. ආන්ඩුවට මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසි තැකීමක් නැහැ. ඔවුන් බලන්නේ ඩොලර් සංචිත වැඩි කරගන්නේ කොහොම ද කියල. සියලුම බර වැඩකරන මිනිස්සුන්ට පටවන්නේ. මේ වෙනකොට පුද්ගලික අංශයෙත් කප්පාදුව කෙරෙනවා. පුද්ගලික මාධ්‍ය ආයතනයකට සම්බන්ධ සේවිකාවක් විදිහට මම මත් එය අත්දකිනවා.”

කොවිඩ් වසංගතය ආරම්භ වීමත් එක්ක ආයතනයේ පැරනි සේවකයන් ඉවත් කිරීම, වැටුප් කපා දැමීම, නිදහස් (ෆ්‍රී ලාන්ස්) මාධ්‍යවේදීන් වැඩිවශයෙන් යොදාගැනීම ආදී දෑ මගින් පිරිවැය අඩුකොට රැකියාවේ නියුතු සේවකයන් විශාල සූරා කෑමකට ලක් කරමින් සිටින බව ද, සේවයෙන් ඉවත්කල අය තමන්ගේ හැකියාවට ගැලපෙන රැකියාවක් සොයාගත නොහැකිව ඉතා අපහසුවෙන් සිටින බව ද ඇය සඳහන් කලාය.

'නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන කෙනෙක් හැටියට මම පසුතල නිර්මානය, රංගනය වගේ විවිධ ආකාරයෙන් කටයුතු කලා. මම රංගනයෙන් සම්බන්ධ වුන නාට්‍ය දැන් තාවකාලිකව නවත්තලා. ඒවා නිෂ්පාදනයට වගේම ප්‍රදර්ශනයට යන ඉහල වියදම් නිෂ්පාදකයන්ට දරාගන්න බැහැ. විශාල පිරිසකට රැකියා අහිමි වෙලා. පුර්න කාලීනව කලා කටයුතු වල නිරත වුන අයගේ සියලුම අදායම් අහිමි වෙලා'.

'මිනිස්සු පීඩනය දරාගන්න බැරිව අරගලවලට ආවත් වෘත්තීය සමිති මැදිහත්වෙලා ඒ අරගල පවා දුන්න. කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සහ ඒකාබද්ධව ධනපති ක්‍රමය පෙරලා දැමීම‌ට කරන අරගලයක් හරහා තමයි රාජ්‍ය අංශයේ වගේම අනෙකුත් වැඩකරන ජනතාව මත පටවන කප්පාදු පියවරයන් නැවත්වීමට පුලුවන් වෙන්නේ. කලාකරුවෝ විදියට අපි මුහුන දෙන ව්‍යසනයට විසඳුම් ලැබෙන්නෙත් ඒ හරහාම පමනයි”.

Loading