ආන්ඩුවේ මර්දනයට එරෙහිව අවිශිබම රැස්වීම: ධනපති පෙරමුනක් තුල ශිෂ්‍යයන් සිර කිරීමේ වෑයමක්

පසුගිය මාස කිහිපය පුරා ලංකාවේ වර්ධනය වූ මහජන විරෝධතාවලට සම්බන්ධ ක්‍රියාකාරීන් එල්ල කරගෙන රනිල් වික්‍රමසිංහ ආන්ඩුව දියත් කර ඇති රාජ්‍ය මර්දනයට විරෝධය දැක්වීම සඳහා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය), “මර්දනයට එරෙහිව පෙලගැසෙමු“ නමින් පසුගිය සැප්තැම්බර් 16 වන සිකුරාදා කොලඹ හයිඩ් පිටියේ දී ප්‍රසිද්ධ රැස්වීමක් සංවිධානය කර තිබුනි. අවිශිබම, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) පිටුබලය ලබන සංවිධානයකි.

පෙසප නායක පුබුදු ජාගොඩ 2022 සැප්තැම්බර් 16 වැනි දින වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන සමඟ එක්ව අවිශිබම විසින් සංවිධානය කරන ලද පීඩනයට එරෙහි රැස්වීමේදී කතා කරයි (-ඡායා රූපය-Facebook-IUSF)

අවිශිබමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා එහි තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ගල්වැව සිරිධම්ම හා හෂාන් ගුනතිලක යන අය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ අත්අඩංගුවට ගෙන මාසයක් ගත වීම රැස්වීමේ නිමිත්ත ලෙස පැවතුනි. පසුගිය අගෝස්තු 22 දා අත්අඩංගුවට ගැනුනු මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනා, දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයකට ජනාධිපති වික්‍රමසිංහ අත්සන් තැබී ය.

මහජන විරෝධතා “ත්‍රස්තවාදී“ ලෙස හංවඩු ගැසීමත් ඒ අනුව ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමත් මගින් ආන්ඩුව සමස්ත කම්කරු පීඩිත මහජනයාට අනතුරු අඟවා සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැගීමේ දී කවර හෝ විරුද්ධත්වයක් නො ඉවසන බවයි.

සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට මහජනයා තුල ඇති අවශ්‍යතාවය පෙන්නුම් කරමින් රැස්වීමට කම්කරුවන් හා තරුනයන් දෙදහසකට වැඩි පිරිසක් රැස්ව සිටි අතර ඉන් බහුතරය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විය.

එම අව්‍යාජ අවශ්‍යතා සපුරාලී‌මේ ශක්‍ය ඉදිරි දර්ශනයක් සම්පාදනය කිරීමට ප්‍රතිකූලව, ඉහත රැස්වීම, වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාර තවත් ධනපති ආන්ඩුවකින් පරාජය කර ගත හැකි ය යන වැඩපිලිවෙලක් මත පාදක විය.

අවිශිබමයේ හා පෙසප ආරාධනයෙන් පාර්ලිමේන්තු විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු හමුදාපතිවරයෙකු වන සරත් ෆොන්සේකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නලින්ද ජයතිස්ස සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ වසන්ත යාපා බන්ඩාර වැනි ධනපති පක්ෂ නියෝජිතන් සහ ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් ලෙස වැඩ කරන ව්‍යාජ-වාම පක්ෂවල හා වෘත්තීය සමිතිවල නියෝජිතයන් රැසක් රැස්වීම ඇමතූහ.

රැස්වීම ආරම්භ කරමින් අවිශිබමයේ නියෝජිතයෙකු වූ ඉරෝෂ් අල්පොන්සු, ආන්ඩුවේ අත්අඩංගුවට ගැනීම් සිදු කර මසක් ගත වන විට “සියලුම දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන හා වෘත්තීය සමිති අපි සමග එකතු වෙලා“ යනුවෙන් මෙම ධනපති සංවිධානවල එකමුතුව උත්කර්ෂයට නැගුවේ ය.

“රාජපක්ෂ විතරක් ඉවත් කරලා හරි යන්නේ නෑ. මේ ක්‍රමයත් වෙනස් වෙන්න ඕනා. අවිශිබමය සැමදාමත් සිදු කරන ආකාරයට නිවැරදි සටන් පාඨ තේරුවා“ යනුවෙන් අල්පොන්සු කියා සිටියේ ය. අල්පොන්සු කියා සිටින “ක්‍රම වෙනස“ යනු, බලයේ සිටින ධනපති ආන්ඩුව තවත් ධනපති ආන්ඩුවකින් විස්ථාපනය කිරීමක් මිස, අර්බුදයේ මූලය වන, නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති නිෂ්පාදන-ආර්ථික ක්‍රමය වෙනස් කිරීමක් නොවේ.

අවිශිබමය “වත්මන් අර්බූදයට විසඳුම“ නමින් පසුගිය මැයි මාසයේ යෝජනා මාලාවක් ඉදිරිපත් කලේය. ධනපති පාර්ලිමේන්තුවට පීඩනය යෙදීමෙන් සහන දිනා ගැනීමට “මහජන කොමිෂන්“ පත් කර යුතු යයි එමගින් යෝජනා කෙරුනි. එම යෝජනා හා මහජන කොමිෂන් සභා, පෙසප ඉදිරිපත් කල ජනබලසභා වැඩපිලිවෙලට වෙනස් වූයේ නම්වලින් පමනි.

ඒත් සමගම අවිශිබමය හා පෙසප, ගෝල්ෆේස් අරගලකරුවන් හා වෘත්තීය සමිති සමග ඒකාබද්ධව වැඩ කලේ, ධනපති සජබ සහ ජවිපෙ ඉදිරිපත් කල අන්තර් කාලීන සර්ව-පාක්ෂික ආන්ඩු යෝජනා පිටුපස මහජන විරුද්ධත්වය ගාල් කිරීමටයි. වික්‍රමසිංහ බලයට පැන ගත්තේ, ධනේෂ්වර පාර්ලිමේන්තු පද්ධතිය, අධිකරනය හා මිලිටරිය පිලිබඳව මාරක මිත්‍යාවන් වගාදිගා කල මෙම සංවිධානවල ධනපති ගැති දේශපාලනයේ ඍජු ආධාරයෙනි.

මර්දනය නතර කරන්නැයි ඉල්ලා පෙසප හා අවිශිබමය පසුගිය දා අධිරාජ්‍යවාදී රටවල තානාපතිවරු ලඟට මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යුඑන්එච්ආර්සි) දක්වා ගමන් කිරීම යලි පෙන්වා ඇත්තේ මෙම සංවිධාන අධිරාජ්‍යවාදී පද්ධතියට කොතරම් නම් බැඳී සිටිනවා ද යන්නයි.

“නිවැරදි සටන් පාඨ“ තේරීමේ අවිශිබම වාර්තාව වෙන කිසිවක් නොව, ශිෂ්‍යයන් ඇතුලු තරුනයන් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට යොමුවීම වලකන, ධනපති පෙරමුනු ගොඩනැගීමේ සටන්පාඨ තේරීමේ දීර්ඝ වාර්තාවයි.

පෙර බලයේ සිටිය දී පීටීඒ වැනි පනත් යොදා ගෙන කම්කරුවන් තරුනයන් මැඩීමට සම්බන්ධ වු ධනපති පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් රැස්වීමේ වේදිකාව පෙන්වා දෙමින් පෙසප නායකයෙකු වන පුබුදු ජයගොඩ කියා සිටියේ, “මේ මර්දනයට එරෙහිව අලුත් නායකයෝ හැදෙනවා. අලුත් සංවිධාන බිහි වෙනවා. සියලු දෙනා එකතු වෙනවා. මේ වේදිකාව ඒ සඳහා උදාහරනය“ බවයි.

ධනපති පක්ෂ සමග දුරදිග යන සන්ධානයන් ගැන බලාපොරොත්තු දල්වා ගෙන ජයගොඩ ඒ සමගම මෙසේ ප්‍රකාශ කලේ ය. “මේ මහජනය බලය ශිෂ්‍ය නායකයෝ මුදා ගන්නවා විතරක් නෙමේ, මේ ජනතා විරෝධි සමාජ විරෝධි රාජපක්ෂ පාලකයෝ හැත්ත බුරුත්ත, හිරේ යවන ජනතා බලයක් ඉදිරියේ දී ගොඩ නැගෙනවා“.

ධනපති සංවිධාන එකට ගොනු කිරීම සඳහා අලුතින්ම ඉදිරියට දමා ඇති ප්‍රෝඩාවක් වන “නිර්පාක්ෂිකභාවය“ තවදුරටත් ගසා කමින් සජබ සරත් ෆොන්සේකා රැස්වීම අමතමින් කියා සිටියේ තමා මේ රැස්වීම අමතන්නේ නිර්පාක්ෂික නියෝජිතයෙකු ලෙස බවයි.

ජෙනරල් සරත් ෆොන්සේකා රැස්වීම අමතයි

පසුගිය කාලපරිච්ඡේදය තුල මහජනයාට හා රටේ ආර්ථිකයට කිසිදු “ජයග්‍රහනයක්“ අත්පත් කර දීමට පාර්ලිමේන්තුවේ දේශපාලනඥයින් අසමත් වූවා යයි ප්‍රකාශ කල ෆොන්සේකා “එකම ජයග්‍රහනය ලැබුවේ යුද්දේ කාලයේ විතරයි. යුද්දේ ජයග්‍රහනය කිරීම පමනයි“ යනුවෙන් උතුරේ සහ දකුනේ ජීවිත දහස් ගනනක්, මහජන මුදල් හා දේපල විනාශ කල වර්ගවාදී යුද්ධය වගවර්නනා කලේ ය.

ආන්ඩුවේ අන පරිදි රැස්වීම පැවති හයිඩ් පිටිය වටා පොලිස් හා කැරලි මර්දන භටයන් දහසකට අධික සංඛ්‍යාවක් ඒකරාශී කර පැවතුනි. ලේවැකි යුද්ධයේ වසර ගනනක් හමුදාපති ලෙස පමනක් නොව 1989-1990 කාලපරිච්ඡේදය තුල දකුනේ තරුනයන් 60,000 ට වැඩි පිරිසක් කෘර ලෙස ඝාතනය කරමින්, පැහැර ගැනීම්වලට ලක්කරමින් එවකට පැවති රනසිංහ ප්‍රේමදාසගේ එජාප ආන්ඩුව මුදා හල රාජ්‍ය භීෂනය සමයේ හමුදාවේ ඉහල පෙලේ නිලධාරියෙකු ලෙස ද කටයුතු කල ෆොන්සේකා, හමුදාවේ හා පොලිසියේ සියයට 98 ක් ඉන්නේ අරගලකරුවන් සමග යයි තරුනයන් ඉදිරියේ කුහක ලෙස ප්‍රකාශ කලේ ය.

වත්මන් “අරගලය, මේ රටේ නිර්පාක්ෂික, රටට ආදරේ ජනතාවගේ අනාගත විප්ලවයක්“ විය යුතු යයි කී ෆොන්සේකා එය ජයග්‍රහනය කරන්න පෙසප, අවිශිබමය, ජවිපෙ ඇතුලු “රටේ සියලුම දෙනා පක්ෂ න්‍යාය පත්‍ර අමතක කරලා, ජාතික න්‍යාය පත්‍රයකට වැඩ කරන්න ඕනා. රට වෙනුවෙන් කැප වෙන්න ඹ්නෑ“ යැයි කියා සිටියේ ය. ෆොන්සේකාගේ කතාව 2010 දී එජාපයේ හා ජවිපෙ සහාය ලත් පොදු අපේක්ෂකයා ලෙස ෆොන්සේකා ජනාධිපතිවරනයට තරග කල බව යලි සිහි ගන්වයි.

ධනපති පක්ෂ සමග විශේෂයෙන් එජාප නායක වික්‍රමසිංහ සමග ජ්‍රජාතන්ත්‍රවාදය රැකීමේ නාමයෙන් අවස්ථාවාදී පෙරමුනු හැදිම සම්බන්ධයෙන් කුප්‍රකට ව්‍යාජ-වාම සංවිධානයක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) නියෝජනය කරමින් පැමිනි ශ්‍රීනාත් පෙරේරා, අවිශිබමය හා පෙසප ගොඩනමින් යන ධනපති පෙරමුන වටා “වතු කම්කරුවන්, උතුරේ පීඩිත දෙමල ජනයා ඒකාබද්ධ කර ගෙන පීඩිත ජනතාවන්ගේ අලුත් අරගලයක් අරඹමු“ යයි කියා සිටියේ ය.

මේ වසරේ අප්‍රේල් 28 හා මැයි 06 යන දිනයන්හි පමනක් නොව, ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහිව මැයි 09 දා දියත් කල සංවිධානාත්මක මැර ප්‍රහාරයෙන් පසුවත් පැනනැගි කම්කරු පන්තියේ මහ වැඩ වර්ජන හකුලා දැමීමට ප්‍රධාන කාර්යභාර්යයක් ඉටුකල, පෙසපයේ දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ජවිපෙ හි වසන්ත සමරසිංහ හා රවී කුමුදේශ් ඇතුලු සමිති නායකයෝ, වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි පූච්චානම් දොඩමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් වැලැක්වීමට රැස්වීමේ දී උත්සාහ දැරී ය.

ජාත්‍යන්තර තත්වය ගැන කතා කල කුමුදේශ් රැස්වීමේ දී “දැන් ලෝකේ තියෙන අලුත් ක්‍රමය තමයි අරගල කරන මිනිස්සු එක්ක කතා කරලා ප්‍රතිසංස්කරන දෙන එක“ යනුවෙන් අමු බේගලයක් ඇද බෑවේ ය. ලංකාවේ දිගහැරෙන අර්බූදය, ගෝලීය වසංගතයෙන් හා යුක්ක්‍රේනය තුල රුසියාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන් ගෙන යන යුද්ධය මගින් තීව්‍ර කෙරෙන ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදයේ ප්‍රකාශනයකි.

යුක්ක්‍රේන යුද්ධය හා ඒ ආශ්‍රිත සම්බාධක හේතුවෙන් ඉහල යන ජීවන වියදමට එරෙහිව ලොව පුරා පන්ති සටන් ඇවිලි ඇත. බ්‍රිතාන්‍යයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ දුම්රිය කම්කරුවන්ගේ අරගල, බ්‍රිතාන්‍යයේ ට්‍රක් රථ කම්කරුවන්ගේ, ප්‍රන්සයේ ගුවන් ගමන් සේවකයන්ගේ අරගලය හා ලොව පුරා පාසල් ගුරුවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ වර්ධන වන අරගල ධනපති පාලක පන්තියටත් වෘත්තීය සමිතිවලටත් අභියෝග කරමින් පවතී.

ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීම මගින් අධ්‍යාපන අයිතිය දිනා ගත හැකි ය යන බංකොලොත් විරෝධතා දේශපාලනය වටා සිසුන් රැලි කර ගෙන තිබෙන අවිශිබමය, පෙර ජවිපෙ යටතේ හා දැන් පෙසප යටතේ මෙහෙයවන සංවිධානයකි. ලෝක ධනේශ්වර ක්‍රමයේ පෙර නොවූ විරු අර්බූදය මධ්‍යයේ දී කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විප්ලවවාදී සටන් අවුලුවා ඇති තත්වයේ දී ධනපති ක්‍රමය රැක ගැනීමේ අවිශිබමය ප්‍රතිගාමී දේශපාලනයෙන් තරුනයන් ශිෂ්‍යයන් දැනුවත්ව කැඩී ගත යුතු ය.

'ත්‍රස්ත විරෝධී නීති යටතේ රඳවා ගෙන සිටින සිසුන් නිදහස් කරනු' යන හිසින් අගෝස්තු මස 24 දා සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ (සසජාතශි) පල කල ප්‍රකාශය මෙසේ අවධාරනය කලේ ය:

'පීටීඒ, සියලු හදිසි නීති හා අත්‍යවශ්‍ය මහජන සේවා පනත අවලංගු කිරීමත්, විධායක ජනාධිපති ධූරය හා අනෙකුත් සියලු මර්දනීය පියවරයන් අහෝසි කිරීමත් ඇතුලත් වන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා මෙම සටන පෙරට ගැනීමට, ලංකාවේ ශිෂ්‍යයන් කම්කරු පන්තියට හැරිය යුතු ය.'

'සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන සියතට ගැනීමට, සියලු වැඩපොල, වතු හා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන මෙන් ම ගම්බද ප්‍රදේශ තුල ද තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරු පන්තියට හා ගම්බද ජනයාට කැඳවුම් කරයි. මෙම සංවිධාන ගොඩනගනු ලැබිය යුත්තේ, වෘත්තීය සමිති හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව ය. තම විශ්ව විද්‍යාලවල සසජාතශි ශාඛා ගොඩනගන ලෙස අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලමු.'

'මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම් වන, “කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක්” සඳහා සසප සටන් කරන්නේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා අරගලය ඉදිරියට ගැනීමට යි. මෙය දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයෙහි කොටසකි.'

Loading