ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රැස්වීම, රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් ගැන සාකච්ඡා කරයි

[මෙය Sri Lankan SEP/IYSSE meeting discusses a socialist program to fight state repression යන මැයෙන් 2022 සැප්තැම්බර් 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), සැප්තැම්බර් 25, “ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් මර්දනය කිරීම නවතනු! සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!” යන මැයෙන් වැදගත් අන්තර්ජාල රැස්වීමක් පැවැත්වීය. එය පැවැත්වූයේ ප්‍රධාන නගරවල කම්කරුවන්, ශිෂ්‍යයන් සහ තරුනයන් අතර පුලුල් උද්ඝෝෂනයකට පසුව ය.

ශ්‍රී ලංකාවේ යාපනයට නුදුරින් පිහිටි කයිට්ස් හි තරුනයින් පිරිසක් සැප්තැම්බර් 25 දා සසප අන්තර්ජාල රැස්වීමට සහභාගී වෙමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

සූම් (Zoom) තාක්ෂනය ඔස්සේ 70 ක් පමන ද, පක්ෂයේ ෆේස්බුක් පිටුව හරහා තවත් දුසිම් කිහිපයක් ද මෙම සිදුවීම නරඹන ලදී. බොහෝ ප්‍රදේශවල පවතින දුර්වල අන්තර්ජාල පහසුකම් නිසා, රටේ සමහර ප්‍රදේශවල එකම උපාංගයම භාවිතා කරමින් රැස්වීමට සහභාගී වීමට සවන්දෙන්නන් කන්ඩායම් වශයෙන් රැස් වූහ. රැස්වීම් වීඩියෝව මේ වන විට පුද්ගලයින් 1,000 කට අධික පිරිසක් නරඹා ඇති අතර තවත් 350 ක් එය බෙදාහදාගෙන (sharing) ඇත.

රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන කමිටු සාමාජික ඩබ්ලිව්. ඒ. සුනිල්, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව කම්කරුවන්ට, සිසුන්ට හා තරුනයන්ට එරෙහිව මුදා හරිමික් සිටින පුලුල් මර්දන පියවර විස්තර කලේ ය.

“ආර්ථික අර්බුදයට ආන්ඩුවේ එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් ඉල්ලා සිටින පරිදි සමාජ කොන්දේසි මත ම්ලේච්ඡ ප්‍රහාරයක්. පවතින රාජ්‍ය මර්දනය, මෙම සමාජ ප්‍රහාරයට එරෙහි සියලු ප්‍රතිරෝධයන් තලා දැමීමේ උත්සාහයක්” ඔහු පැවසීය.

අප්‍රේල් මාසයේ සිට මහජන උද්ඝෝෂනවලට සම්බන්ධ වූ දහස් ගනන් ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සුනිල් පැහැදිලි කලේය. මෑතකාලීනව අත්අඩංගුවට ගනු ලැබුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු ද ඇතුලුව, එහි ක්‍රියාකාරීන් තිදෙනෙකි, ඔවුන් සාමකාමී උද්ඝෝෂනයක් අතරතුර පොලිසිය විසින් අල්ලා ගන්නා ලදී. කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ වික්‍රමසිංහ ආන්ඩුව විසින් ඔවුන් දින 90 කට රඳවා තබා ගෙන ඇත.

“අවිශිබම හා විරෝධතාවලට සම්බන්ධ අනෙකුත් විවිධ කන්ඩායම් සමග අපගේ දේශපාලන වෙනස නොතකා, සසප මෙම රුදුරු දඩයම හෙලා දකිනවා. සියලුම දේශපාලන සිරකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් සියලු චෝදනා ඉවත් කරගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිනවා” යැයි ඔහු පැවසීය.

“රාජ්‍ය මර්දනයට එරෙහිව සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සසප සහ සසජාතශි විසින් ගෙන යන අරගලය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් වෙනවා. මෙයට, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සහ ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන උද්ඝෝෂනය ඇතුලත් වෙනවා.”

සසප දේශපාලන කමිටු සාමාජික සහ ප්‍රමුඛ සසජාතශි සාමාජිකයෙකු වන සකුන්ත හිරිමුතුගොඩ රැස්වීමේදී පැවසුවේ, උග්‍රවන රාජ්‍ය මර්දනය, ආන්ඩුවේ සමාජ ප්‍රහාරවලට එරෙහිව නොවැලැක්විය හැකි ලෙස අරගලයට එන කම්කරුවන්ට හා තරුනයින්ට බරපතල අනතුරු ඇඟවීමක් බවයි.

සසප (ශ්‍රී ලංකාව) ඔන්ලයින් මහජන රැස්වීම, සැප්තැම්බර් 25. [ඡායාරූපය: ලෝසවෙඅ]

ශිෂ්‍යයන් සහ තරුනයන් රාජ්‍ය මර්දනයට එරෙහිව සහ ඔවුන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් නැවත නැවතත් විරෝධතා දක්වා ඇති බව ඔහු පැවසීය. “කෙසේ වෙතත්, සාර්ථක වීමට නම්, තරුනයින් සහ සිසුන් ඔවුන් නොමඟ යවන කන්ඩායම් දේශපාලනිකව ප්‍රතික්ෂේප කල යුතුය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරවල මූලාශ්‍රය වන ධනවාදයට එරෙහි අරගලයට නායකත්වය දිය හැකි එකම විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තියෙන් සිසුන් ඉවතට හරවමින් සිටිති.

රාජ්‍ය මර්දනයට එරෙහිව “මහජන ව්‍යාපාරයක්” ගොඩනැගීමේ නාමයෙන් පැවැත්වුනු මෑතකාලීන අවිශිබම රැස්වීමක් හිරිමුතුගොඩ උපුටා දැක්වීය. සහභාගී වූවන්ට, විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), වෘත්තීය සමිති සහ විවිධ ව්‍යාජ-වාම කන්ඩායම් වැනි ධනේශ්වර පක්ෂ ඇතුලත් විය. සජබ නායකයින් කම්කරුවන් සහ දුප්පතුන් නිර්දය ලෙස මර්දනය කල වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ සාමාජිකයන් බව කථිකයා පෙන්වා දුන්නේය. ජනතා විමුක්ති පෙරමුන ද රාජ්‍ය මර්දනයට සහය දුන් බව ඔහු පැවසීය.

අවිශිබම හා පෙසප ප්‍රතිපත්ති දේශපාලන උගුලක් බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස සිසුන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටි හිරිමුතුගොඩ, සසප හා සසජාතශි විසින් ඉදිරිපත් කරන විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනය අධ්‍යයනය කරමින්, ඔවුන් සමග එක්වන ලෙස ඉල්ලා සිටියේය.

සමාප්ති කතාව කල සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන එය ආරම්භ කලේ ඊට දිනකට පෙර ජනාධිපති වික්‍රමසිංහ විසින් කොලඹ ප්‍රදේශ රැසක් අධිආරක්ෂිත කලාප (අආක) ලෙස වර්ග කරමින් අත්‍යාසාමාන්‍ය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙන්වා දෙමිනි. එය ආන්ඩුවේ මර්දනයේ සහ ආඥාදායක විධික්‍රම භාවිතයේ තවත් තීව්‍රවීමක් බව ද, “සසප මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අආක නියෝගයට මුලුමනින්ම විරුද්ධ වන අතර එය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටින” බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අයට එරෙහිව පමනක් ක්‍රියා කරන බවට වික්‍රමසිංහ කල පෙර ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරමින් විජේසිරිවර්ධන මෙසේ පැවසීය: “ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සටන් කිරීමේදී කම්කරුවන් සහ දුගීන් වික්‍රමසිංහගේ සහ පාලක ප්‍රභූවේ අනට කීකරු වීමට බැඳී නෑ.”

මාක්ස්වාදයේ පුරෝගාමීන් ගැන සඳහන් කරමින් විජේසිරිවර්ධන මෙසේ පැවසීය: “රාජ්‍යය පන්ති පාලනයේ අවයවයකි. ධනේශ්වර රාජ්‍යය යනු වැටුප් වහල්භාවය පවත්වා ගෙන යාමට, කම්කරුවන් පීඩාවට පත් කිරීමට සහ ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමීමට පාලක පන්තිය විසින් භාවිතා කරන මූලික මෙවලමයි.”

අප්‍රේල් මාසයේ දී රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව මහජන අරගල පුපුරා ගොස් මිලියන ගනනක් සම්බන්ධ මහා වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා වර්ධනය වූ විට, පෙසප සහ අනෙකුත් මධ්‍යම පන්තික කන්ඩායම් මෙන්ම වෘත්තීය සමිති ද පාර්ලිමේන්තු පක්ෂවල සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩුවක් ඉල්ලා සිටි බව කථිකයා කියා සිටියේය.

“පෙසප සහ අනෙකුත් සම-අදහස් ඇති සංවිධාන, වික‍්‍රමසිංහ ආන්ඩුවට සහ අඛන්ඩ මර්දනයට මග පාදා දෙමින් වැඩකරන ජනතාව ධනේශ්වර පක්ෂ අත යටට තල්ලු කලා. සසප මෙම සර්ව පාක්ෂික අන්තර්වාර ආන්ඩු උගුල මුල සිටම ප්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමින් විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා උද්ඝෝෂනය කලා” යැයි කථිකයා පැවසීය.

“සමාජ අසමානතාවය, අධිරාජ්‍යවාදී එදිරිවාදිකම් සහ යුද්ධ, විරැකියාව, උද්ධමනය, දරිද්‍රතාවය, මන්දපෝෂනය සහ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර දෙවන ලෝක යුද්ධයෙන් පසු ඉහලම මට්ටම් කරා ලඟා වී තිබෙනවා. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන් දැන් මෙම ප්‍රහාරවලට එරෙහිව පන්ති අරගලයට අවතීර්න වෙමින් සිටිනු අපට දැකගත හැකි” යැයි ඔහු පැවසීය. ජාත්‍යන්තර තත්ත්වය ගැන සඳහන් කරමින් ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන කලබැගෑනිය මෙම ලෝක අර්බුදයේ තියුනු ප්‍රකාශනයක් බවයි.

“ට්‍රොට්ස්කිවාදීන් වශයෙන්, මහජනතාවගේ සමාජ අයිතීන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව අපි විශ්වාස කරනවා” යයි ඔහු තවදුරටත් පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ, ගෝලීයකරනය වූ නිෂ්පාදනය, කම්කරු පන්තිය ජාත්‍යන්තර පරිමානයෙන් ඒකාබද්ධ කර එය යෝධ සමාජ බලවේගයක් බවට පත් කර ඇති බව යි. විජේසිරිවර්ධන පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සහ එක්සත් ජනපද සසපයේ සභාපති ඩේවිඩ් නෝර්ත් උපුටා දැක්වීය: “එය භාවිතා කරන්නේ කෙසේදැයි දන්නේ නම්, කම්කරු පන්තියට ඉමහත් බලයක් ඇත.”

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේදී තීරනාත්මක වනුයේ, සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීම බව අවසානයේ දී විජේසිරිවර්ධන පැවසීය. කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප දියත්කොට ඇති ව්‍යාපාරයේ වැදගත්කම මෙය බව ඔහු පැවසීය. සසපට බැඳෙන ලෙස ඔහු රැස්වීමට සහභාගී වූ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

ෆේස්බුක් සවන්දෙන්නෙකු, සසප වැඩසටහන සමඟ තමා සම්පූර්නයෙන්ම එකඟ වන නමුත් මෙය යථාර්ථයක් බවට පත් කල හැකි කෙටි කාලීන වැඩසටහනක් තිබේදැයි විමසා සිටියේය. ප්‍රශ්නයට පිලිතුරු දෙමින් විජේසිරිවර්ධන පැවසුවේ, සසප වැඩපිලිවෙල පදනම් වී ඇත්තේ වෛෂයික තත්ත්වය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් මත බවත්, අවස්ථාවාදීන් විසින් හඹා යන ඊනියා කෙටි කාලීන වැඩසටහන් කම්කරු පන්තියට එකක් පසුපස එකක් ව්‍යසනයන් නිර්මානය කර ඇති බව ඉතිහාසය පෙන්වා දී ඇති බවත් ය.

“කම්කරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සහ විනාශකාරී ලෝක යුද්ධයක් නැවැත්වීම සඳහා ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී,” ඔහු පැවසීය. මෙම වැඩපිලිවෙල 1917 දී යථාර්ථයක් බවට පත්වූයේ, පලමු ලෝක යුද්ධය විසින් ඇති කරන ලද අර්බුදය තුල, කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමට සහ කම්කරුවන්ගේ සහ පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවයව වන සෝවියට් සභා මත පදනම් වූ කම්කරු රාජ්‍යයක් පිහිටුවීමට, නායකත්වය දුන් බොල්ෂෙවිකයන් විසින් ප්‍රතිචාර දැක්වීමත් සමග ය.

සසප විසින් යෝජනා කරන ලද ක්‍රියාකාරී කමිටුවල ස්වභාවය පිලිබඳ ප්‍රශ්නයකට සුනිල් පිලිතුරු දුන්නේය.

“කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීම පිටුපස ඇති ප්‍රධාන සංකල්පය නම් කම්කරු පන්තිය ධනේශ්වර පන්තියෙන් සහ ධනේශ්වර ගැති ව්‍යාජ වම්මුන්ගෙන් ද, වෘත්තීය සමිතිවලින් ද ස්වාධීන වීමයි,” ඔහු පැවසීය.

“මෙම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුත්තේ ජාත්‍යන්තර සන්ධානයක කොටසක් ලෙස වන අතර, හජාජාක විසින් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් සඳහා වන එහි කැඳවීමේදී එය වර්ධනය කර ඇත. 1917 ඔක්තෝබර් විප්ලවයේ දී කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සෝවියට් සභා එවැනි ස්වාධීන සංවිධාන වූ අතර ඒවා විප්ලවයේ උපකරන බවට පත් වුනා” යැයි සුනිල් පැවසීය.

Loading