පන්ති යුද්ධයට සූදානම් වෙමින් ජනාධිපතිවරයා “අධි ආරක්ෂක කලාප” ප්‍රකාශයට පත්කරයි

(මෙය Preparing for class war, Sri Lankan president declares “high security zones” මැයෙන් 2022 සැප්තැම්බර් 27 පල වූ ලිපියේ පරිවර්තනය යි.)

සිකුරාදා රාත්‍රීයේ, කොලඹ හා එහි අවට ප්‍රදේශ කිහිපයක “අධි ආරක්ෂක කලාප” නිවේදනය කරමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කලේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජාමූඅ) විධානයන් යටතේ රුදුරු කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කරමින් සිටින වික්‍රමසිංහ, මෙම පියවරයන් ප්‍රකාශ කරමින් සූදානම් වෙමින් සිටින්නේ කම්කරු පන්තියට හා දුගීන්ට එරෙහි පන්ති යුද්ධය සඳහායි.

මෙම කලාප සිහිගන්වන්නේ, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 26-අවුරුදු ලේවැකි දෙමල-විරෝධී යුද්ධය සමයේ, අනුප්‍රාප්තික ආන්ඩු කොලඹ නගරය ද ඇතුලු ව රටපුරා, අධි ආරක්ෂක කලාප පිහිටුවීමයි. උතුරු හා නැගෙනහිර යුද කලාපවලින් පිටත දී දෙමල සුලුතරය මෙන් ම පන්ති අරගල ද මර්දනය සඳහා මෙම පියවරයන් හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යොදා ගන්නා ලදී.

ලංකාව තුල ක්‍රියාත්මක වන තවත් ප්‍රජාතන්ත්‍ර-විරෝධී නීතියක් වන රාජ්‍ය රහස් පනත යටතේ, මෙම නවතම මර්දන නියෝග නිවේදනය කිරීමට වික්‍රමසිංහ ක්‍රියා කලේ ය. ජනාධිපති, අගමැති හා ආරක්ෂක ප්‍රධානීන් ගේ නිල නිවාස, ආරක්ෂක හා පොලිස් මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්නය, උසාවි සංකීර්නය සහ නීතිපතිවරයාගේ පරිශ්‍රය ආවරනය කරමින් මෙම ආරක්ෂක කලාප ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

ආන්ඩුවේ ගැසට් පත්‍රයෙහි ගෙනහැර දක්වා තිබෙන පියවරයන් ක්‍රියාත්මක කිරීමේ “නිසි බලධාරියා” ලෙස ආරක්ෂක ලේකම් පත්කරනු ලැබ ඇත. ප්‍රකාශය යටතේ පහත සඳහන් පියවරයන් නිවේදනය කර තිබේ:

• පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිඛිත අවසරයකින් තොර ව, අධි ආරක්ෂිත කලාපයන් තුල පිහිටා ඇති පාරක, පිට්ටනියක, වෙරලක හෝ අනෙක් විවෘත ප්‍රදේශයක ප්‍රසිද්ධ ජනරාශියක් හෝ පෙලපාලියක් පැවැත්වීමට කිසිදු පුද්ගලයෙකුට අවසර නැත.

• ආරක්ෂක ලේකම්ගේ ලිඛිත අවසරයකින් තොර ව, අධි ආරක්ෂක කලාප ඇතුලත ඉදිකිරීම් වැඩකටයුතු හා වාහන නවතා තැබීම තහනම් කරනු ලැබේ.

• අධි ආරක්ෂක කලාප ඇතුලත නිවාසවල වාසය කරන්නන්, අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට, ඔවුන්ගේ ස්ථීර හෝ තාවකාලික නේවාසික ස්ථානවල ලැයිස්තුවක් ඉදිරිපත් කල යුතු ය. පදිංචි කරුවන්ගේ වෙනස් වීමක් පැය 24ක් තුල අදාල ප්‍රදේශයේ පොලීසියට දැනුම්දිය යුතුය.

• අධි ආරක්ෂක කලාප ඇතුලත පිහිටා තිබෙන ආන්ඩුවේ දෙපාර්තමේන්තු හා පුද්ගලික ආයතන, ඔවුන්ගේ සියලු සේවකයන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කල යුතු ය.

• අධි ආරක්ෂිත කලාප තුල පිහිටි ඕනෑ ම පරිශ්‍රයකට ඇතුලු වී පරීක්ෂා කිරීමට පොලීසියට අධිකාරය ඇත. සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන, ඔවුන්ගෙන් ප්‍රශ්න කොට, ඔවුන්ට එරෙහි ව නඩු පැවරීමට පොලීසියට බලය ඇත.

• ගැසට් පත්‍රය මගින් නිවේදනය කර තිබෙන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප දෙනු ලැබිය හැක්කේ මහාධිකරනයකින් පමනි. වැරදිකරුවන් වුවහොත්, ඔවුන්ට මාස හයේ සිට වසර දෙකක් දක්වා වන කාලයක සිර දඬුවම් හා රුපියල් 2,000ක දඩයක් පනවනු ලැබිය හැකි ය.

සැප්තැම්බර් 26දා මාධ්‍ය ඇමතූ ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා, මෙම අධි ආරක්ෂිත කලාපවලට පිටත විරෝධතා පැවැත්වීමට අවශ්‍ය ඕනෑ ම අයෙක්, පොලීසියෙන් හෝ ආරක්ෂක බලධාරීන්ගෙන් සිද්ධිය පැවැත්වීමට පැය හයකට පෙර අවසර ගත යුතු ය. “නීත්‍යානුකූල” විරෝධතාවන්ට පමනක් අවසර දෙනු ඇත. මෙම අපැහැදිලි යෙදුම, ආන්ඩුවට එරෙහි ඕනෑ ම විරෝධතාවක් තහනම් කිරීම සඳහා යොදාගනු ලැබිය හැක.

සෙනසුරාදා කොලඹ දී ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අයත් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවන්ට පොලීසිය ප්‍රහාර එල්ල කිරීම තුලින්, මෙම පියවරයන්ගේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කරනු ලැබිනි. මෙම ධනේශ්වර විරුද්ධ පක්ෂය සමග අපට පවතින බරපතල විරුද්ධත්වය නො තකා, සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම පොලිස් ප්‍රහාරය හෙලාදකී.

වික්‍රමසිංහ ආන්ඩුව හා ලංකාවේ පාලක පන්තිය වාඩි වී සිටින්නේ සමාජීය ගිනි කන්දක් මත ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට බල කල මහජන අරගලයක් අප්‍රේල් මුල සිට පුපුරා ගියේ ය. අප්‍රේල් 28 හා මැයි 6 පවත්වන ලද එක් දින වැඩ වර්ජන මගින් මිලියන සංඛ්‍යාත කම්කරුවන් මෙම අරගලවලට එක් වූයේ, රට පුරා සියලු පීඩිතයන්ගේ සහයෝගය ලබමිනි.

මෙම විරෝධතා මධ්‍යයේ, අගමැති මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ආන්ඩුවට මැයි මාසයේ දී ඉල්ලා අස්වීමට බලකෙරුනි. ජනාධිපති රාජපක්ෂ ජූලි 13දා රටින් පලාගොස් ඉල්ලා අස් විය.

පලා යමින් සිටි රාජපක්ෂ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගැත්තෙකු සහ පලල් මහජන වෛරයට පාත්‍රවී සිටින්නෙකු වන වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත් කලේ ය. ඉන් පසු අපකීර්තිමත් පාර්ලිමේන්තුව විසින් ඔහු ජනාධිපති ලෙස පත් කරන ලදී. සිය ගනනක් අත්අඩංගුවට ගනිමින්, ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එරෙහි මර්දනය තීව්‍ර කිරීම ක්ෂනික ව ආරම්භ කිරීමට වික්‍රමසිංහ ක්‍රියා කලේ ය. අගෝස්තු මාසයේ දී ඔහු, විරෝධතාවන්ට සහභාගි වූ ශිෂ්‍ය ක්‍රියාධරයන් තිදෙනෙකු පීටීඒ පනත යටතේ දින 90කට රඳවා තැබීමට නියෝග කලේය.

විශාල බදු පැනවීම හා අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ගනන් වැඩි දුර ඉහල දැමීම හරහා කම්කරුවන්ට හා දුගීන්ට දරාගත නො හැකි ජීවන කොන්දේසි නිර්මානය කරමින්, ජාමූඅ කප්පාදු ධාවනය වේගවත් කිරීමට ද වික්‍රමසිංහ පියවර ගෙන ඇත. අගෝස්තුවේ දී ජාතික උද්ධමන අනුපාතය සියයට 70 කරා අහස උසට නැගුනු අතර, ආහාර උද්ධමනය සියයට 85 දක්වා ඉහල ගියේ ය.

කුසගින්න ඉහල යමින් පවතී. අගෝස්තු මුල දී ලෝක ආහාර වැඩසටහන වාර්තා කලේ, මිලියන 3.4ක් ජනයාට ආධාර ලැබීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව යි. මිලියන 6.3ක් පමන ජනයා ආහාර අනාරක්ෂිතතාවෙන් පෙලෙන බව, එනම් ආහාර වේල් මග හරිමින් සිටින බව තක්සේරු කෙරුනි. අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරන නොමැති කමින් සෞඛ්‍ය සේවය බිඳ වැටීමේ අද්දර පවතී. කම්හල්, කුඩා සාප්පු හා ආපනශාලා වැසී යාම නිසා, දැනට මත් රැකියා ලක්ෂ ගනනක් අතුගෑවී ගොස් තිබේ.

පුද්ගලීකරනය, රජයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීම හා සොච්චම් සහනාධාර කපා දැමීම ඇතුලු ව ජාමූඅ විසින් නියම කරනු ලබන වඩවඩාත් කුරිරු පියවරයන් සූදානම් කෙරෙමින් පවතී. මේ වසරේ දී සියයට 9.8ක් වන අයවැය හිඟය, 2025 දී සියයට 2.3ක අතිරික්තයක් දක්වා නිර්මානය කිරීම දක්වා පියවර ගැනීමට, ආන්ඩුව රාජ්‍ය වියදම් කප්පාදු කිරීමට සැලසුම් කරමින් සිටී.

මෙම පියවරයන් ගැන සඳහන් කරමින් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මෙසේ කීවේ ය: “අප වේදනාකාරී ලෙස [තත්වය] කලමනාකරනය කරගනිමින් සිටියත්, තවමත් අපි අනතුරෙන් මිදී නැහැ. සංක්‍රාන්ති සමය දුෂ්කර කාල පරිච්ඡේදයක් වේවි.” මෙම ම්ලේච්ඡ “දුෂ්කර කාල පරිච්ඡේදය” කම්කරුවන් හා දුගීන් මතට පැටවීමට නියමිත වන්නේ, වැනසෙමින් පවතින ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා ය.

අන් සෑම රටක් තුල මෙන් ලංකාවේ ද, යුක්රේනය තුල රුසියාවට එරෙහි ව ගෙන යන එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධයෙන් සහ කෝවිඩ්-19 වසංගතයෙන් අර්බුදය ගැඹුරු කෙරී ඇත. ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදය විසින් යුද්ධය තීව්‍ර කිරීම සමග එකාබද්ධ වන රුසියාවේ ප්‍රතිගාමී ජාතිකවාදී පිලිවෙත න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය මතු කරයි.

වික්‍රමසිංහගේ නවතම විෂඝෝර පියවරයන් වනාහි ආඥාදායක පාලනයක් දෙසට ගනු ලැබෙන ඉදිරි පියවරයන් ය. අධි ආරක්ෂක කලාප ස්ථාපිත කිරීම නියෝජනය කරන්නේ, සමස්ත පාලක සංස්ථාපිතය හා රාජ්‍ය යාන්ත්‍රනය මහජන නැගිටීමක තර්ජනය යටතේ සිටින බව පිලිගැනීමකි.

විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස, නවතම පියවරයන් කුහක විවේචනයකට ලක් කරමින් ප්‍රකාශ කලේ, ආන්ඩුව “අධි ආරක්ෂක කලාප කිහිපයක් ප්‍රකාශ කිරීම, ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවභාවිතයේ යෙදීම හා මාධ්‍ය මර්දනය ඇතුලු ව මහජනයාට විරුද්ධ තුන් ආකාර මර්දනයක් මුදාහැර” ඇති බව යි. වික්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය කන්ඩායමක් පිහිටුවා ඇති සජබ, එය කම්කරුවන් හා දුගීන් ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමේ වගකීම දරයි.

වික්‍රමසිංහගේ මර්දන පියවරයන්ගේ අන්තරාය ලඝු කරමින්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කීවේ: “මෙවන් නිරර්ථක ප්‍රහාර හා තර්ජන මගින් මහජන ව්‍යාපාරය නැවැත්වීමට ආන්ඩුවට හැකි වන්නේ නැහැ.” ඔහු මෙසේ අනතුරු ඇඟවී ය: “කොලඹ නගරය ලක්ෂ ගනන් පුරවැසියන් විසින් වටලන කාලය වැඩි ඈතක නෑ.”

ජවිපෙ පාලනය කරන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානයේ (ටීයූසීසී) හා ලංකා ගුරු සේවා සංගමයේ නායකයෙක් වන මහින්ද ජයසිංහ, වෘත්තීය සමිති ව්‍යාපාරය “සිරගත කිරීම් මගින් බිය වැදෙන්නේ නැති” බවට කයිවාරු ගසමින් “බන්ධනාගාර පුලුල් කරන” ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ ය.

ජවිපෙ හා ටීයූසීසී නායකයන්ගේ ප්‍රකාශ නරුමය. මෙම හිස් තර්ජන වික්‍රමසිංහගේ ආඥාදායක ධාවනය නො නවත්වනු ඇත.

සජබ මෙන් ජවිපෙ ද අප්‍රේල්-ජූලි මහජන නැගිටීම අපසරනය කොට උගුලට හසු කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ පක්ෂවල අන්තර්-කාලීන ආන්ඩුවක් සඳහා කැඳවුම් කලේ ය. ටීයූසීසී හා තවත් පෙරමුනක් වන වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාරය, කම්කරුවන්ගේ අරගල එක් දින මහා වැඩ වර්ජනවලට සීමා කරමින්, මහජන විරෝධය සජබ හා ජවිපෙහි අන්තර්වාර පාලන තන්ත්‍රයක් සඳහා ඉල්ලීම පිටුපස හිර කිරීමට උදවු දුන් හ.

මෙම උද්ඝෝෂනය සමග ද්‍රෝහී ලෙස සම්බන්ධ වීම මගින්, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) හා එහි වෘත්තීය සමිති ප්‍රමුඛ භූමිකාවක් ඉටු කල හ.

ඔවුන් මහජන විරුද්ධත්වය පාවාදීම වික්‍රමසිංහට පාර කැපුවේ ය. ඔහු උසි ගන්වා ඇති මර්දන ක්‍රියාවන්ට ඔවුහු ද වගකිව යුතු වෙති.

වික්‍රමසිංහ පාලන තන්ත්‍රය ජීවන හා සමාජ කොන්දේසි මත එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව කම්කරුවන් හා දුගීන් අතර විරෝධය කැකෑරෙමින් පවතී. කම්කරුවන්ගේ හා දුගීන්ගේ අරගල පුපුරා යාම කෙරෙහි භීතියට පත් වන මෙම පක්ෂ හා වෘත්තීය සමිති, ඒවා අපසරනය කිරීමට සූදානම් වෙති.

සසප කම්කරුවන්ට හා දුගීන්ට මෙසේ කැඳවුම් කරයි: මෙම පක්ෂවලින් ප්‍රවේසම් වන්න! කම්කරු පන්තියට වික්‍රමසිංහ ආන්ඩුව හා පාලක පන්තිය සූදානම් කරන ම්ලේච්ඡ මර්දනය පරාජය කල හැක්කේ, ගම්බද ජනයාගේ සහයෝගය සහිත ව තමන්ගේ ම ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි.

කම්කරු පන්තියේ එවන් ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා, සෑම වැඩපොලක, වත්තක හා ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය කරයි. මෙම අරගලය සඳහා සහයෝගය රැලි කිරීම පිනිස, තමන්ගේ ප්‍රදේශවල ද ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි ගම්බද දුගීන්ට කැඳවුම් කරමු.

ධනපති පන්තීන්ගේ ප්‍රහාරයට විරුද්ධ ව සෑම රටක ම කම්කරුවෝ අරගලවලට ඇදී එමින් සිටිති. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) ගොඩනැගීම සඳහා ඔවුන් වෙතට හැරෙන ලෙස, අපි ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලමු.

මෙම ක්‍රියාකාරී කමිටු, විධායක ජනාධිපති ධුරය ද පීටීඒ, රාජ්‍ය රහස් පනත, අත්‍යවශ්‍ය මහජන සේවා පනත, මහජන ආරක්ෂක ආඥා පනත හා හදිසි නීති ද අහෝසි කරන ලෙස කැඳවුම් කල යුතු ය.

වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයට එරෙහි සටන, ධනවාදයට එරෙහි වූ ද ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා වූ ද අරගලය සමග, එනම්, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරන්නා වූත්, බැංකු, මහා සංගත හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන්නා වූත් අරගලය සමග බද්ධ කරන ලෙස, සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි.

මෙම ක්‍රියා මාර්ගය සඳහාත් එය ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහාත් සටන් කිරීම පිනිස, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනය කරමින් සිටී.

Loading