ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

[මෙය Sri Lanka: Stop the repression of anti-government protesters! Release all political prisoners! මැයෙන් 2022 සැප්තැම්බර් 13 පල වූ සසප ප්‍රකාශයේ පරිවර්තනයයි.]

රාජපක්ෂ පාලන තන්ත්‍රය යටතේ ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මැඬලීමට ආරම්භ කල පොලිස් කඩාපැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තීව්‍ර කරනු ලැබ ඇත. පොලිස් වාර්තාවලට අනුව, අප්‍රේල් මාසයේ මහජන විරෝධතා ආරම්භ වූ තැන් පටන්, පුද්ගලයින් 3,800ක් පමන අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, ඉන් 1,400ක් තවමත් බන්ධනාගාරයන්හි හෝ රැඳවුම් කඳවුරුවල රඳවනු ලැබ සිටිති.

අප්‍රේල් මාසයේ දී, කොලඹ ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන ගෝඨාගෝගම උද්ඝෝෂනය දියත් කල විරෝධතා කන්ඩායමේ ප්‍රමුඛ නායිකාවක් වූ, ප්‍රකට ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිලි දමිතා අබේරත්න බ්‍රහස්පතින්දා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනි.

දමිතා අබේරත්න [Photo: Facebook]

දැනට කර ගෙන යන රාජ්‍ය මර්දනයට එරෙහි විරෝධතාවකට සහභාගි වීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ කොලඹ තදාසන්න ප්‍රදේශයක දී අබේරත්න පොලිස් ජීප් රථයකට බලහත්කාරයෙන් ඇද දමාගනු ලැබුවා ය. පොලීසියේ ඉල්ලීම් අනුව, මහේස්ත්‍රාත්වරයෙක් ඇය සැප්තැම්බර් 14 දක්වා බන්ධනාගාරගත කලේ ය. මහජන කෝපය මධ්‍යයේ ඇයට ඊයේ ඇප ලබා දුන්න ද ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීම හා පොලීසියට බාධා කිරීම ඇතුලු ව්‍යාජ චෝදනාවන්ට ඇය මුහුන දෙයි.

තවත් ක්‍රියාධරයෙකු වන, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අතුරු සංවිධානයක් වන, “වෙනසක තාරුන්‍යය” සංවිධානයේ ලේකම් ලහිරු වීරසේකර සිකුරාදා අත්අඩංගුවට ගන්නා ලදී. සෙනසුරාදා ඔහුට ඇප නියම කෙරුනි.

පසුගිය මාසය අග දී, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු එම සංවිධානයේ ක්‍රියාධරයන් තිදෙනෙකු, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ දවස් 90කට රඳවා ගැනීමේ නියෝගයකට, වික්‍රමසිංහ අත්සන් තැබුවේ ය. කොලඹින් කිලෝමීටර 180ක් පමන දකුනින් තංගල්ලේ පිහිටි රැඳවුම් කඳවුරක ඔවුහු රඳවනු ලැබ සිටිති.

අත්අඩංගුවට පත්වූවන් සහ ඔවුන්ගේ සංවිධාන හා පක්ෂ සමග තිබෙන මූලික වෙනස්කම් නො තකා, මෙම දුෂ්ට දඩයම හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප), සියලු දේශපාලන සිරකරුවන් වහා ම කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙසත්, ඔවුන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කර ගන්නා ලෙසත් බලකර සිටී.

රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙසත්, වේගවත් උද්ධමනය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දරුනු හිඟයන් අවසන් කරන ලෙසත් ඉල්ලා සිටි මහජන විරෝධතා තුල ප්‍රමුඛත්වය දැරූ පෙසප හා විවිධාකාර මධ්‍යම-පන්තික කොටස් ක්‍රියා කලේ, සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු ධනේශ්වර විරුද්ධ පක්ෂවලට අත යටට, වැඩකරන ජනයා තල්ලු කර දැමීමටයි. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු න්‍යාය පත්‍රය පටවමින් හා දේශපාලන විරුද්ධවාදීන් මතට කඩාපනිමින් සිටින වික්‍රමසිංහට, ජනාධිපති ලෙස තහවුරු වීමට සැලසීම පිලිබඳ ව දේශපාලනික ව වගකිව යුත්තේ, සර්ව-පාක්ෂික අන්තර්-කාලීන ආන්ඩුවක් තොරම්බල් කල මෙම සියලු බලවේගයන්‍ ය.

සසප මුල පටන් ම මෙම ඉදිරි දර්ශනයට විරුද්ධ වූයේ, එය කම්කරුවන් හා දුගීන් ධනපති රාමුවේ උගුලක් තුලට කොටු කිරීමට හේතුවන බවට අනතුරු අඟවමිනි. ආරම්භයේ පටන් ම, විප්ලවීය සමාජවාදී ඉදිරි දර්ශනයක් මත කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමට උද්ඝෝෂනය කලෙමු.

මහජන විරෝධතාවන්ට හා මහා වැඩ වර්ජනවලට ප්‍රතිචාර දක්වමින් රටින් පලාගිය රාජපක්ෂ, වැඩ බලන ජනාධිපති ලෙස වික්‍රමසිංහ පත්කලේ ය. දිග්ගැස්සුනු ලේවැකි දෙමල-විරෝධී වාර්ගික යුද්ධය කර ගෙන ගිය හා 1987-1990 සමයේ අවම වසයෙන් 60,000 ක් සංහාරය කරමින් ගම්බද තරුනයන්ට එරෙහි ව රාජ්‍ය ත්‍රස්තයේ උද්ඝෝෂනය මුදා හල ආන්ඩුවල ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ව සිටි වික්‍රමසිංහ කිසිදු සුජාත භාවයක් නැති, මහජනයා අතර දැඩි ලෙස අපකීර්තියට පත් පුද්ගලයෙකි.

නින්දාවට පත් ව තිබෙන පාර්ලිමේන්තුව විසින් ඔහු ජනාධිපති පුටුවේ වාඩි කිරීමෙන් පැය ගනනක් ඇතුලත කලේ ජනාධිපති ලේකම් කාර්යාලය වාඩි ලා ගෙන සිටි විරෝධතාකරුවන්, මිලිටරියේ හා පොලීසියේ ප්‍රචන්ඩ බලය යොදා ඉවත් කිරීමට නියෝග කිරීමයි. මෙම ප්‍රහාරයේ දී විරෝධතාකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන දුසිම් ගනනකට තුවාල සිදු කරන ලදී. වික්‍රමසිංහ විරෝධතා නායකයන් “ෆැසිස්ට්වාදීන්” හා “ත්‍රස්තවාදීන්” ලෙස හෙලා දුටුවේ ය. .

ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපතිගේ හා අගමැතිගේ නිවාසවලට ඇතුලු වීම සහ එම ගොඩනැගිලිවල දේපොලට හානි කිරීම වැනි ව්‍යාජ චෝදනා විරෝධතාකරුවන්ට එරෙහි ව පොලීසිය විසින් ගොතා ඇත. තව තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා හඳුනාගැනීමට, පොලීසිය හා මිලිටරි ඔත්තු සේවය සීසීටීවී හා මාධ්‍ය ඡායාරූප පීරා බලමින් සිටිති. සමහරුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, මුලුමනින් ම රාජපක්ෂගේ ආධාරකරුවන් විසින් සපයන ලද “සාක්ෂි” මත පදනම් වෙමිනි.

2022 අගෝස්තු 30දා කොලඹ පෙලපාලි යන ශිෂ්‍යයෝ

සැප්තැම්බර් 3දා පොලීසිය ඇමතූ වික්‍රමසිංහ, ඔවුන්ගේ මර්දනය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් ලෙස උත්කර්ෂයට නැංවූයේ ය. “අපි ක්‍රියා කල යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලවයි... ඔවුන් ව්‍යවස්ථාවට අනුකූල ව ක්‍රියා කරන්නේ නැත්නම්, ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා මාර්ග ගත යුතු යි...මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතු නම්, රටෙහි ව්‍යවස්ථාව ආරක්ෂා කරගත යුතු” යැයි ඔහු ප්‍රකාශ කලේ ය.

මෙම කියාපෑම්වල ගම්‍යයන් මොනවා ද? ඒවායින් අනතුරු අඟවා ඇත්තේ, තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට කම්කරුවන් හා දුගීන් ගන්නා ඕනෑ ම පියවරක් වේවා, අන්ත ප්‍රජාතන්ත්‍ර-විරෝධී රටෙහි ව්‍යවස්ථාවට, රාජ්‍යයට හා ධනපති ක්‍රමයට විරුද්ධ ව ගන්නා පියවරක් වේවා, ඒ කිසිවක් නීත්‍යානුකූල නොවන බවයි!

සිය අවශ්‍යතා සඳහා සටන් කිරීමේ දී, කම්කරු පන්තිය හා දුගීන් වික්‍රමසිංහගේ හා පාලක ප්‍රභූවේ ආඥාවන්ට කීකරු වීමට බැඳී නැත. ලොව පුරා එහි සහචරයන් මෙන් ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය ද ගැඹුරු වන ආර්ථික අර්බුදයෙහි බර මහජනයා පිට පැටවීම මගින්, මිලියන ගනනක් දෙනා ඇද දමා ඇත්තේ සමාජ ව්‍යසනයක් තුලටයි.

කම්කරුවන් හා දුගීන් මිලියන ගනනකගේ ක්‍රියාකාරී සහයෝගය ආකර්ශනය කරගනිමින් අප්‍රේල් මාසයේ ආරම්භ වූ මහජන නැගිටීම, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය මුලුමනින්ම තැතිගැන්වූවා පමනක් නොව ජාත්‍යන්තර අගනගර වලට ද අනතුරු ඇඟවී ය. වැඩකරන ජනයා මත ජාමූඅ විධානයන් පැටවීමේ දී, මෙම මහජන විරෝධය යලිත් පුපුරා යනු ඇති බව වික්‍රමසිංහ දනී.

2022 අගෝස්තු 30දා ශිෂ්‍ය විරෝධතාවට එරෙහි ව දිගේලි කරන ලද කැරලි මර්දන පොලීසිය

වික්‍රමසිංහගේ ත්‍රස්ත කිරීම් හා අත්අඩංගුවට ගැනීම් පූර්න-පරිමාන පන්ති යුද්ධයක් සඳහා සූදානම් වීමකි. මෙය අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතු කම්කරු පන්තිය, තමන්ගේ ම ප්‍රතිප්‍රහාරයක් සූදානම් කල යුතු ය.

ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සජබ, වික්‍රමසිංහගේ රාජ්‍ය මර්දනය ගැන බයාදු විවේචන නිකුත් කර ඇත. මෙම පක්ෂයේ හිස් වාගාලාප යොමු වී ඇත්තේ, ආන්ඩුවේ ප්‍රහාර සම්බන්ධයෙන් පවතින මහජන කෝපය ගසා කා පීලිපැන්නවීමටයි.

මහජන විරෝධය පාවා දීමට වෘත්තීය සමිතිවලට උදවු වී ඇති ජවිපෙ, ම්ලේච්ඡ සමාජ ප්‍රහාරවල මීලඟ වටය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා, “නව ජනවරමක්” සහිත ආන්ඩුවක් බිහි කිරීමට මහා මැතිවරනයක් සඳහා කැඳවුම් කරමින් සිටී. ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට සහයෝගය දෙන සජබ හා ජවිපෙ යන පක්ෂ දෙක ම, එම වැඩපිලිවෙල ක්‍රියාවට දමනු ඇත්තේ වික්‍රමසිංහ තරම් ම රුදුරු ප්‍රජාතන්ත්‍ර-විරෝධී මර්දනයන් තුලිනි.

ජවිපෙ, පෙසප හා අවිශිබම සහයෝගය ලබන වෘත්තීය සමිති, රාජ්‍ය මර්දනයට විරෝධය දැක්වීමේ කඩතුරාව යටතේ එකමුතු වී ඇත. සජබ සමගින් මුස්ලිම් හා දෙමල ධනපති පක්ෂ සහ මූලික අධිරාජ්‍යවාදී රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෑත පැවති සම්මන්ත්‍රනයක දී, රාජ්‍ය මර්දනය අවසන් කිරීම සඳහා වික්‍රමසිංහ පාලන තන්ත්‍රයට පීඩනය යෙදිය හැකි බව ඔවුහු කියා පෑවෝ ය.

රාජ්‍ය මර්දනයට එරෙහි වීමටත්, සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමටත්, සමාජවාදී ක්‍රියා මාර්ගයක පදනම මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම වැලැක්වීම සඳහා වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පෙසප දුෂ්ට භූමිකාවක යෙදී සිටිති.

මේ සියලු ධනපති-ගැති පක්ෂවලට විරුද්ධ ව, පහත ඉල්ලීම් සඳහා සටන් වදින ලෙස සසප කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටී:

  • සියලු දේශපාලන සිරකරුවන් වහා ම හා කොන්දේසි විරහිත ව නිදහස් කරනු!
  • පීටීඒ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත සහ මහජන ආරක්ෂක ආඥා පනත හා හදිසි නීතිය ඇතුලු සියලු මර්දන නීති ඉවත් කරනු!

මෙම උද්ඝෝෂනයේ කොටසක් ලෙස, රාජ්‍ය මර්දනය මුදාහැරීමේ දී පාලක පන්තියෙහි මූලෝපායික සුක්කානම වන ඒකාධිපති විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ද අපි බලගතු උද්ඝෝෂනයක් කැඳවුම් කරමු.

මෙම ඉල්ලීම් සඳහා වන සටනට, කම්කරු පන්තියෙහි යෝධ සමාජ බලය ස්වාධීන ව බලමුලු ගැන්වීම අවශ්‍ය වෙයි. කම්කරුවන් ඔවුන්ගේ වැඩපොල හා නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සහ ගම්බද දුගීන්ට ඔවුන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සහයෝගය දීම ද අවශ්‍ය ය. මේවා වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන විය යුතු ය.

කොලඹ ආන්ඩුව ගැඹුරු කරන රාජ්‍ය මර්දනයේ මූලික හේතුව ධනවාදයේ ගැඹුරු වන අර්බුදයයි. සෑම රටක් තුල ම පාලක පන්තීන් ෆැසිස්ට්වාදී හා ආඥාදායක පාලන ක්‍රම වෙතට හැරීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ එයයි.

වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරයට එරෙහි සටන, ධනවාදයට එරෙහි ද ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා ද වන අරගලය සමග බද්ධ කරන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි. සියලු විදේශ නය අහෝසි කිරීම, බැංකු, මහා සමාගම් හා වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම ඇතුලු වැඩකරන ජනයාගේ දැවෙන අවශ්‍යතා ඉටුකරන ඉල්ලීම් මාලාවක් අපි ඉදිරිපත් කරමු.

සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා කැපවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් වන සටන ඉදිරියට ගැනීම පිනිස, කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනයේ නිරත ව සිටී.

Loading