සිසුන්ගේ විරෝධතාවයට පොලීසිය යලිත් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරයි

ඊයේ කොලඹදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සමග ඒකාබද්ධව පැවැත්වූ පා ගමනට පොලිසිය දරුනු ප්‍රහාරයක් එල්ල කලේය. “මර්දනය නවතනු!, රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු! “ත්‍රස්ත පනත යටතේ සිරගත කල වසන්ත, සිරිධම්ම, හෂාන් වහා නිදහස් කරනු‍!” යන සටන් පාඨ මෙම උද්ඝෝෂනයේදී ඉදිරිපත් කර තිබුනි.

ප්‍රහාරය අතරතුර පොලිසිය පා ගමනට සහභාගී වූවන්ගෙන් 28 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය. ආන්ඩුව ශිෂ්‍යයින්ගේ විරෝධතාවයට එරෙහිව පොලිස් මර්දනයක් මුදාහැරියේ සති දෙකක් තුල දෙවන වතාවටය.

මීට පෙර අගෝස්තු 18 වනදා අවිශිබම විරෝධතාවයට පොලීසිය රුදුරු ප්‍රහාරයක් එල්ල කොට විරෝධතාකරුවන් 19 දෙනෙක් අත් අඩංගුවට ගත්තේය. ඉන් අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම සහ හෂාන් ගුනතිලක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිදු අධිකරනයකට ඉදිරිපත් නොකර දැඩි මර්දන කොන්ද්සි යටතේ තංගල්ල රැඳවුම් කඳවුරක දින අනූවකට රඳවා තබාගෙන සිටී. ඊයේ විරෝධතාවය පැවැත්වූයේ මෙම ශිෂ්‍යයින් තිදෙනා අත් අඩංගුවෙන් නිදහස් කර ගනිමට බල කිරීම සඳහා ය.

ප්‍රහාරය එල්ල කලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත මහජනතාවට එල්ල කෙරෙන කප්පාදු සහ පුද්ගලීකරන ප්‍රහාර සහිතව අතුරු අය වැය පාර්ලිමේන්තුවට ඉදිරි පත් කෙරෙන දිනයේදීය. මෙම පියවරයන්ට එරෙහිව අරගලයට එන කම්කරු-පීඩිත මහජනතාව මර්දනය කිරීමට තමන් සූදානම් බව වික්‍රමසිංහ යලි වතාවක් ඊයේ පොලිස් මර්දනයෙන් යලිත් පෙන්වා දී තිබේ.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, තරුනයින්, කම්කරුවන් ඇතුලුව පන්දහසක පමන පිරිසක් සහභාගී වූ පා ගමන - 30 අගෝස්තු 2022 –Image-WSWS media

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් සවස දෙකට පමන ආරම්භ කල පා ගමනට විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, තරුනයින්, කම්කරුවන් ඇතුලුව පන්දහසක පමන පිරිසක් සහභාගී වූහ. පා ගමන ආරම්භක ස්ථානයෙන්ම ටෙක්නිකල් මංසන්ධියෙන් පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ යොදා මාර්ගය අවහිර කොට තිබිනි. මර්දනයක් එල්ල කිරීම යුක්ති සහගත කිරීමට බොරු හේතුවක් ඉදිරිපත් කරමින් පා ගමන “පැය හයකට පෙර දැනුම් නොදුන් හෙයින්” පොලිස් ආඥා පනත යටතේ එය වරදක් බවත් නීති විරෝධි රැස්වීමක සාමාජිකයින් නිසා ඊට සහභාගීවන්නන්ට එරෙහිව පියවර ගන්නා බවත් පොලීසිය නිවේදනය කලේය.

විරෝධතාකරුවන් පොලිස් බාධකය මග හැර මරදාන හරහා ලිප්ටන් වට රවුම දෙසට ගමන් කලහ. ඔවුහු “විධායක ජනාධිපතිධුරය අහෝසි කරනු!”, “බදු බර බඩු මිල දරන්න බෑ ජනතාවට සහන දියව්!”, “ජනතා බලය තහවුරු කෙරෙන නව ව්‍යවස්ථාවක් දිනාගමු!” ආදී පුවරු ප්‍රදර්ශනය කරමින් හා සටන් පාඨ කියමින් පාගමනෙහි නිරත වූහ. පොලීසිය යලි වතාවක් සෞඛ්‍ය අමාත්‍යංශය අසලින් පොලිස් භටයින්, කැරලි මර්දන ඒකකය යොදා මාර්ගය අවහිර කලේය. විරෝධතාකරුවන් එම අවස්ථාවේදී මාර්ගයේ වාඩිවූ අතර පොලීසිය ඒ සමගම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කලේය.

පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ යොදා මාර්ගය අවහිර කොට තිබු අයුරු.30 අගෝස්තු 2022 –Image-WSWS media

පොලීසිය බැටන් පහර දෙමින් විරෝධතා කරුවන්ට ශාරීරිකව හිරිහැර කරමින් අත් අඩංගුවට ගැනීම් සිදු කලේය. මෙම ප්‍රහාරය හෙලා දකිමින් අවිශිබම තවත් වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන එකතුව මරදානේ සාමය හා සමාජයික කේන්ද්‍රයේ එදිනම සවස 5ට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට වෙනසක තාරුන්‍ය සංවිධානයේ ලහිරු වීරසේකර හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් පොලිසිය කඩා පැන්නේය. එහි සිටි අයගේ විරුද්ධත්වය නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.

ආන්ඩුව විසින් පසුගිය මාස හතරේ මහජන නැගිටීමට සහභාගී වූ මිලියන ගනන් මහජනයා බිය වැද්දීමේ හා දඬුවම් කිරීමේ පලල් දඩයමක් ආරම්භ කර ඇත. මෙම මර්දන කොන්දේසි යටතේ යලි යලිත් ශිෂ්‍යයින් අරගලයට පැමිනීම පෙන්නුම් කරන්නේ ඔවුන්ට තමන් මුහුන දී ඇති ප්‍රශ්න විසඳා ගැනීමට ඇති උවමනාවයි.

ශිෂ්‍යයින් මත නායකත්වය දරන අවිශිබම හා එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) උත්සාහ දරන්නේ ශිෂ්‍යයින්ගේ මෙම ධෛර්යය ධනපති පන්ති පක්ෂ අත යටට තල්ලු කිරීමටය. ධනපති පක්ෂ ද ඇතුලත් පුලුල් පෙරමුනක් ගොඩනගා ආන්ඩුවට බලපෑම් දැමීමකින් මර්දනය නතර කර ගත හැකි බවට මිථ්‍යාවක් පෙසප හා අවිශිබම පතුරුවා හරියි. ඊයේ විරෝධතාව ද මෙම සංවිධාන විසින් මෙහෙයවා තිබුනේ ආන්ඩුවට බලපෑම් දමා එය නමා ගැනීමේ වැඩපිලිවෙල මතයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය අවිශිබම සහ ඊට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සමග පවතින දේශපාලන වෙනස්කම් නොතකා පොලිසියේ මර්දනය හෙලා දකී. ඒ අතරම, ආන්ඩුව ගෙනයන මෙම මර්දනය පරාජය කිරීම සඳහා කම්කරු පන්තිය වෙතට හැරී කරන අරගලයකට සිසුන්ට ආරාධනය කරයි.

පෙසප හා අවිශිබම කටයුතු කලේ මර්දනයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමක් වලක්වාලමිනි. මෙම සංවිධාන පසුගිය සතිය පුරාම කල් මැරුවේ ඒවා ද සම්බන්ධ වෘත්තීය සමිති සමග එක්ව මර්දනයට එරෙහි වන ලෙස ආයාචනා කරමින් අධිරාජ්‍යවාදී යුරෝපා සංගමයේ නියෝජිත ආයතනය, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත බඩගෑම සඳහා ය.

එම සතියේම බදාදා මෙම සංවිධාන වෘත්තීය සමිති හා බහුජන සන්ධානය සමග එක්ව, සමගි ජන බලවේගය , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමල ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුන ආදී ධනපති පක්ෂවල නායකයින් ද බ්‍රිතාන්‍ය, කැනඩාව, ස්විට්සර්ලන්ත තානාපතිවරුන් ද කැඳවා “මර්දනයට එරෙහි වේදිකාව” නමින් සම්මන්ත්‍රනයක් පැවැත්වූයේය. එහි අරමුන වූයේ පලල් පෙරමුනක් මගින් අධිරාජ්‍යවාදීන්ගේ ද සහයෝගය ඇතිව ආන්ඩුවට බලපෑම දැමීමයි.

මෙම ධනපති පක්ෂ ආන්ඩුවේ මර්දනයට එරෙහිව බොරු විවේචන දමන නමුත් ඒවාට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමට හවුල්විමේ ඉතිහාසයකි. ඔවුන් පිහිටුවන ආන්ඩුවක් ක්‍රියා කරනු ඇත්තේද ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් පාගා දැමීමය.

සම්මන්ත්‍රනයට නියෝජිතයන් එවූ අධිරාජ්‍යවාදී රටවල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීමේ හා යුද අපරාධවලට හවුල්විමේ වාර්තාවක් සහිතය.

මෙම ධනපති පක්ෂවලින් හා අධිරාජ්‍යවාදී බලයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකදෙන ලෙස ආයාචනා කිරීම කම්කරුවන් සිසුන් හා තරුනයන් මහා මුලාවක හෙලීමකි.

ඊයේ එල්ල කර ප්‍රහාරයට එරෙහිව අද අවිශිබම මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් යොමු කලේය. ඊට සහභාගී වෙමින් අවිශිබමයේ පොකුනුවිට පියසෝම භික්ෂුව “මේ විහිලුව දැන්ම නවත්තපල්ලා. නවත්තලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දීපල්ලා” යනුවෙන් ආන්ඩුවට ආයාචනා කල අතරම අතර එසේ නොකලහොත් “මානව හිමිකම් සංවිධාන වලට, තානාපති කාර්යාලවලට මේ හැම එකටම ගිහිල්ලා මේ ගැන පැමිනිලි කරනවා” යනුවෙන් පුස් තර්ජනයක් ද කලේය.

මෙම ප්‍රකාශ සහ ක්‍රියා කලාපයන් පෙන්නුම් කරන්නේ පෙසප හා අවිශිබමයේ ධනපති ගැති ස්වභාවයයි. එනම්, ධනපති ක්‍රමය තුල විසඳුම් ලබාගැනීමේ දේශපාලනයයි. මෙම සංවිධාන පසුගිය මාස හතරේ මහජන නැගිටීමේදී කටයුතු කලේ එය ධනපති අන්තර්වාර ආන්ඩුවක් ඉල්ලූ සජබ හා ජවිපෙ වෙත අපසරනය කිරීමටයි. ඔවුන්ගේ සහායෙන්, මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ අරගල පාවාදීමට වෘත්තීය සමිති ඉටුකල ද්‍රෝහී ක්‍රියාකලාපය ජනාධිපති වික්‍රමසිංහ ආන්ඩුවට මර්දනයට අවශ්‍ය කරන කල් ගැනීමකට ඉඩ ලබා දුනි.

බදාදා එල්ල කල ප්‍රහාරයේ පාඩම වනුයේ, ප්‍රතිගාමී ධනපති පක්ෂවලට හා අධිරාජ්‍යවාදීන්ට ආයාචනා කරමින් ශිෂ්‍යයින්ට හුදෙකලා අරගල මගින් ප්‍රජාතන්ත්‍ර සහ සමාජ අයිතීන් ආරක්ෂා කල නොහැකි බවයි. අවිශිබම කම්කරු පන්තිය වෙත හැරීම වෙනුවට කරන්නේ අරගල පාවා දී අපකීර්තියට පත් වී සිටින වෘත්තීය සමිති සමග සන්ධාන ගත වීමයි.

කම්කරුවන්, දුගීන් හා සිසුන් ඇතුලු තරුනයන් අතිමහත් සමාජ ව්‍යසනයකට ලක්කර ඇත්තේ, පෙර පාලනයන් හා දැන් ආන්ඩුව ධනපති අර්බුදයේ බර ඔවුන් මතට පැටවීමට ගෙනයන වැඩපිලිවෙල නිසාය. ලංකාවේ මෙන්ම ලෝකය පුරා ධනපති ආන්ඩු වල පිලිවෙත වී ඇත්තේ අර්බුදයේ බර මහජනයා මත පැටවීමයි.

මෙම ප්‍රහාරයන්ට තිත තැබිය හැක්කේ ඒවායේ මූලය වන ධනපති ක්‍රමය පෙරලා දැමීමෙනි.. ඒ සඳහා විප්ලවවාදී ශක්තතාව සහිත පන්තිය වන කම්කරු පන්තිය සමග එක්ව සිසුන් සටන් වැදිය යුත්තේ ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන එ්ම සඳහා ය. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසකි.

අගෝස්තු 23 සසප සහ සසජාතශි “ත්‍රස්ත-විරෝධී නීති යටතේ රඳවාගෙන සිටින සිසුන් නිදහස් කරනු!” යන මාතෘකාවෙන් නිකුත් කල ප්‍රකාශය සියලු මර්දනීය පියවරයන් අහෝසි කිරීමත් ඇතුලත් වන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා මෙම සටන පෙරට ගැනීමට, ලංකාවේ ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරී දියත් කල යුතු අරගලය පිලිබඳව මෙසේ සඳහන් කලේය.

“සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන සියතට ගැනීමට, සියලු වැඩපොල, වතු හා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන මෙන් ම ගම්බද ප්‍රදේශ තුල ද තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරු පන්තියට හා ගම්බද ජනයාට කැඳවුම් කරයි. මෙම සංවිධාන ගොඩනගනු ලැබිය යුත්තේ, වෘත්තීය සමිති හා ධනපති පක්ෂවලින් ස්වාධීන ව ය. තම විශ්ව විද්‍යාලවල සසජාතශි ශාඛා ගොඩනගන ලෙස අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලමු.”

සසප සාමාජිකයෝ මෙම ප්‍රකාශයේ පිටපත් දහසකට වැඩි ගනනක් පා ගමනට සහභාගී වූවන් අතර බෙදා හරිමින් ඔවුන් සමග මෙම ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරි දර්ශනය සාකච්ඡා කලහ.

එහිදී කැලනියේ සිට පැමිනි උපේක්ෂ නම් පාසල් ශිෂ්‍යයෙක් මෙසේ සඳහන් කලේය. “මම මේ පා ගමන පිලිබඳව දැකලා ආවේ මේ මර්දනයට එරෙහි වීම අත්‍යාවශ්‍ය හින්දා. නමුත් වෘත්තීය සමිති සහ ධනපති පක්ෂ ඇතුලු ධනපති සංවිධාන සමග මේ ගමන යන්න බැහැ, කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම අත්‍යාවශ්‍යයි.”

සමාජ සමානතාව සඳහා තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය ඉහත දැක්වූ ක්‍රියාමාර්ගයට එක්වන ලෙස සියලු සිසුන්ගෙන් ඉල්ලා සිටී.

Loading