ආන්ඩුව ශිෂ්‍ය විරෝධතාවට එරෙහිව ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයක් මුදාහරී

[මෙය Sri Lankan government unleashes brutal police attack on student demonstration මැයෙන් 2022 අගෝස්තු 19 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

කම්කරු පන්තිය හා දුගීන් මතට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එල්ල කරන සමාජ ප්‍රහාරවලට හා ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන්ට එරෙහි ව, ඊයේ (අගෝස්තු 18) කොලඹ දී විරෝධතාවේ යෙදුනු ශිෂ්‍යයන්ට පොලීසිය ම්ලේච්ඡ ප්‍රහාරයක් මුදාහැරී ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසින් බලමුලු ගන්වන ලද ශිෂ්‍යයන් 2,000ක් පමන, සවස 3ට කොලඹ ලිප්ටන් වටරවුමේ දී විරෝධතාවක් ආරම්භ කලේ, කිලෝමීටර තුනක් පමන දුරින් පිහිටි කොලඹ කොටුවට පෙලපාලියෙන් යාමට සැලසුම් කරමිනි.

2022 අගෝස්තු 18දා කොලඹ කොම්පඤ්ඤ වීදිය දෙසට පෙලපාලියෙන් යන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

පෙලපාලිය ආරම්භයේ දී මාධ්‍ය ඇමතූ අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ, මහජනයා මුහුන දෙන කිසිදු ගැටලුවක් විසඳා නොමැති හෙයින් විරෝධතා කැඳවූ බවත් එය තහනම් කරන වරෙන්තුවක් නිකුත් කර නැති බව කීවේ ය. විරෝධතාකරුවන්ට එරෙහි කිසිදු මර්දනයක් යොදා නො ගන්නා ලෙස ඔහු ජනාධිපති වික්‍රමසිංහට අනතුරු ඇඟවී ය.

එහෙත් විරෝධතාව “නීති-විරෝධී” යයි ප්‍රකාශ කල ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියෙක්, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇති බවත්, විරෝධතාව නැවැත්වීම සඳහා ඕනෑ ම පියවරක් ඔවුන්ට ගත හැකි බවත් කියා සිටියේ ය.

කොලඹ ආන්ඩුවේ විෂඝෝර හදිසි නීති යටතේ ලංකාවේ පොලීසියට හා ආරක්ෂක හමුදාවන්ට පලල් පරාසයක බලතල දෙනු ලැබ ඇත. මාස ගනනක් පැවති මහජන විරෝධතාවලින් අනතුරු ව රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත්කරනු ලැබීමෙන් දින තුනකට පසුව, ජූලි 17දා, හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට වික්‍රමසිංහ ක්‍රියා කලේ ය.

අගෝස්තු 18 විරෝධතාවේ යෙදුනු ශිෂ්‍යයෝ “රනිල්-රාජපක්ෂ ජුන්ටාව ගෙදර යනු, මර්දනය නවතනු,” “අත්අඩංගුවට ගත් අරගල ක්‍රියාකාරීන් නිදහස් කරනු,” සහ “මහජන සභා ගොඩනගනු” වැනි සටන් පාඨ හඬනැගූ හ. “විශ්ව විද්‍යාල හා පාසල් යලි විවෘත කරනු,” “මහජනයාට සහන දෙනු,” “තවත් නය එපා,” “හොරකම් කල මුදල් ආපසු දෙනු,” “මහජනයාගේ බලය ආරක්ෂා කිරීමට නව ව්‍යවස්ථාවක් සකස් කරනු,” සහ “විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු” යනාදිය අනෙකුත් සටන් පාඨ අතරට අයත් විය.

පෙලපාලිය ඇරඹීමෙන් පැය බාගයකට පසුව, ජල ප්‍රහාරක දෙකක් ද පිරිවරාගත් කැරලි මර්දන භටයින්ද ඇතුලු, 500ක පමන විශාල පොලිස් භට කන්ඩායමකට මුහුන දීමට ශිෂ්‍යයන්ට සිදු විය.

ජල ප්‍රහාරක හා කඳුලු ගෑස් යොදාගෙන පෙලපාලිකරුවන්ට ක්ෂනික ව ප්‍රහාර එල්ල කරනු ලැබී ය. පොලිස් නිලධාරීහු හා සන්නද්ධ කැරලි මර්දන ඒකකයේ සාමාජිකයෝ, යලි යලිත් ජල ප්‍රහාර හා කඳුලු ගෑස් එල්ල කරමින් සිසුන් ව කිලෝමීටර දෙකකට වැඩි දුරකින් පිහිටි බොරැල්ල දෙසට හඹා ගියහ. සමහරුන් පොලිස් ජීප් රථවලට ඇද දමමින් පොලීසිය විරෝධතාකරුවන්ට පහර දුන්නේ ය .

2022 අගෝස්තු 18දා ශිෂ්‍යයන් කොලඹ කොටුව වෙත ලඟා වීම වැලැක්වීම සඳහා කොම්පඤ්ඤ වීදියේ දී ජල ප්‍රහාරක සමගින් පෙලගැසී සිටින පොලීසිය (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

බොරැල්ල මංසන්ධියේ දී සිසුන් කිහිප සියයක් රැස් වුනු විට, ජල ප්‍රහාරක හා කැරලි මර්දන පොලීසිය සමගින් ඔවුන්ට ප්‍රචන්ඩ ලෙස යලි වතාවක් පහර දුන් අතර, නාරාහේන්පිට දක්වා එලවා දමන ලදී. ශිෂ්‍යයන් සිටීදැයි සොයමින් පොලීසිය බස් රථ ද නැවැත්වූයේ, ශිෂ්‍යයන් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කරමිනි.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමන්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම ඇතුලු ක්‍රියාධරයන් හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය.

පොලිස් ප්‍රහාර හෙලා දකිමින් හා අත්අඩංගුවට ගත් සියලු ශිෂ්‍ය ක්‍රියාධරයන් නිදහස් කරන ලෙස කැඳවුම් කරමින්, කැලනිය, අග්නිදිග හා රජරට විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ අගොස්තු 18 හවස විරෝධතා පැවැත්වූ හ.

විෂකුරු පොලිස් මර්දනය හෙලාදකින සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමනාතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, අත්අඩංගුවට ගත් සියලු විරෝධතාකරුවන් වහා නිදහස් කරන ලෙසත්, ඔවුන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කරගන්නා ලෙසත් කියා සිටියි.

සිය සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්, තරුනයන් හා දුගීන්ගේ ඕනෑ ම හා සියලු ආන්ඩු-විරෝධී ක්‍රියා තලා දැමීමට මිලිටරිය හා පොලීසිය මුදාහැරීම ඇතුලු, වික්‍රමසිංහ ආන්ඩුවේ සියලු මර්දනීය බලතල යොදාගැනීමට එය උත්සාහ දරනු ඇති බවට, මෙම පොලිස් ම්ලේච්ඡත්වය පැහැදිලි අනතුරු ඇඟවීමකි.

ජනාධිපති රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස කැඳවුම් කරමින්, ලංකාවේ කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් මිලියන ගනනක සහභාගීත්වයෙන් මහජන නැගිටීමක් පුපුරා යාමේ සිට, මාස හතරක් ගත වී ඇත. දැරිය නො හැකි උද්ධමනය, ආහාර, ඖෂධ හා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය හා දීර්ඝ විදුලි කප්පාදු අවසන් කරන ලෙස, ලංකාවේ ඉතිහාසයෙහි විශාලතම ඒවා වන මහජන විරෝධතා සහ මහා වැඩ වර්ජන ඉල්ලා සිටියේ ය. පාලක ප්‍රභූව අරටුවට ම සොලවා දමමින්, රාජපක්ෂට හා ඔහුගේ පාලන තන්ත්‍රයට ඉල්ලා අස්වීමට ආන්ඩු-විරෝධී නැගිටීම බලකලේ ය.

පාර්ලිමේන්තුව විසින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස ජනාධිපති ලෙස පත්කරනු ලැබීමෙන් පැය 24ක් ගත වන්නටත් මත්තෙන්, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන සිටි විරෝධතාකරුවන් මතට අලුයමට පෙර එල්ල කල, ප්‍රචන්ඩ මිලිටරි-පොලිස් ප්‍රහාරයක් සඳහා වික්‍රමසිංහ නියෝග කලේ ය. එම ප්‍රහාරයේ දී ක්‍රියාධරයන් නවදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, බොහෝ දෙනාට තුවාල සිදු විය. අලුයම් කාලයේ කඩාපැනීමේ සිට මේ දක්වා, අනෙකුත් ක්‍රියාධරයන් දුසිම් ගනනක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කිරීම, රජයට අයත් ව්‍යවසායයන් පුද්ගලීකරනය කිරීම, බදු ඉහල දැමීම සහ මිල සහනාධාර වැඩි දුර කප්පාදු කිරීම ඇතුලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පියවරයන් තමන් ක්‍රියාවට නංවන බව, වික්‍රමසිංහ පාලනය පැහැදිලි කර ඇත.

ජාමූඅ විධානයන් ක්‍රියාත්මක කිරීම පිනිස, සමස්ත ධනපති සංස්ථාපිතය රැලි කරගැනීමේ උත්සාහයක යෙදෙමින්, සර්ව-පාක්ෂික ආන්ඩුවක් බිහිකරන ලෙස වික්‍රමසිංහ සියලු විරුද්ධ පක්ෂවලට කැඳවුම් කර තිබේ. එහෙත්, රාජපක්ෂ ව නෙරපා දැමූ මහජන නැගිටීම හේතුවෙන් බියට පත් ව සිටින වික්‍රමසිංහ හා පාලක ප්‍රභූව, කප්පාදුවට එරෙහි ව නව පිපිරීමක් එනු ඇතැයි භීතියට පත් වෙති.

ගම්බද දුගීන්ගේ හා පීඩිතයන්ගේ පිටුබලය ලබන කම්කරුවන් මිලියන ගනනක්, රාජපක්ෂට හා ඔහුගේ පාලනයට ඉල්ලා අස්වන ලෙස බල කිරීම සඳහා, අප්‍රේල් 28, මැයි 6, 10 හා 11 දිනවල මහා වැඩ වර්ජනවලට සහභාගි වූ හ. මේවා එක්දින විරෝධතාවන්ට සීමා කල වෘත්තීය සමිති, විපක්ෂයේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුන විසින් ඉල්ලා සිටින දෙය ම වන අන්තර්-කාලීන පාර්ලිමේන්තු පාලන තන්ත්‍රයක් සඳහා කැඳවුම් කල හ.

අවිශිබම පාලනය කරන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මෙම උද්ඝෝෂනයට පිටුබලය දුන් අතර, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයක් මත කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ව්‍යාපාරයක් වැලැක්වීමට ක්‍රියා කර ඇත.

වික්‍රමසිංහ පාලන තන්ත්‍රයට හා මෙම සමාජ හා ආර්ථික විනාශය නිර්මානය කල සමස්ත ධනපති ලාභ පද්ධතියට එරෙහි ව සටන ඉදිරියට ගෙන යාම සඳහාත්, ගම්බද දුගීන් රැලි කරගැනීම සඳහාත්, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කරගැනීමේ හදිසි අවශ්‍යතාව, අගෝස්තු 18දා එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය විසින් යලි වතාවක් ඉස්මතු කරයි.

සසප හා සසජාතශි, කම්කරු පන්තියේ හා දුගීන්ගේ මහජන අරගලවලට මුල පටන් ම මැදිහත් වී ඇත්තේ විප්ලවීය ක්‍රියාකාරී ක්‍රියා මාර්ගයක පදනම මත ය. සෑම වැඩපොලක, වත්තක, ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක හා ගම්බද ප්‍රදේශයක ම සියලු ධනපති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා අපි සටන් කරමු.

ධනපති කප්පාදුව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට ආන්ඩුව එල්ල කරන ප්‍රහාර පරාජය කිරීම සඳහා මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප සටන් වදී.

සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල නිෂ්පාදනය හා බෙදාහැරීම මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, බිලියනපතියන්ගේ හා ප්‍රධාන සංගතවල ධනය අත්පත් කරගැනීම සහ කම්කරුවන් හා දුගීන් මුහුන දෙමින් සිටින යෝධ සමාජීය ගැටලුවලට ආමන්ත්‍රනය කිරීම පිනිස සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සඳහා වන අරගලයක් වෙනුවෙන් සසප පෙනී සිටී. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙසත්, බහුතරයේ අවශ්‍යතා ඉටු කිරීම පිනිස සමාජය සමාජවාදී රේඛා ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීම සඳහාත්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට, මෙම සම්මේලනය ගොඩනැගීම මගින් පදනම් සම්පාදනය කරනු ඇත.

Loading