ජවිපෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිත්‍යාවන්ට යලි පනදීමට උත්සාහ කරයි

[මෙය Sri Lanka’s JVP seeks to revive illusions in parliamentary democracy මැයෙන් 2022 අගෝස්තු 18 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ පෙරනොවූ විරූ ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ විපක්ෂ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සර්වපාක්ෂික ආන්ඩුවක් පිහිටුවීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අගෝස්තු 12 වෙනිදා ඔහුට ලිපියක් යැවීය.

අනුර කුමාර දිසානායක (මුලාශ්‍රය:අනුර කුමාර දිසානායක මුහුනු පොත) [Photo: Facebook]

දිසානායක ඔහුගේ ලිපියේ දී අන්තර් කාලීන, සර්වපාක්ෂික ආන්ඩුවක් පිලිබඳ පක්ෂයේ කලින් යෝජනාව නොසලකා හැරීම ගැන කනසල්ල පල කලේය. දැන් ඔහු ලියා ඇත්තේ, 'නව ජනවරමක්' සහිත 'නව පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීමට' හදිසි මැතිවරනයක් පැවැත්විය යුතු බව අවධාරනය කරමිනි.

වත්මන් ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) නියම කර ඇති දැඩි කප්පාදු ප්‍රතිපත්ති වලට ජවිපෙ මූලික වශයෙන් විරුද්ධ නැත. ජවිපෙ ආස්ථානයෙන් පිලිබිඹු කෙරන්නේ, වික‍්‍රමසිංහ ආන්ඩුවට නීත්‍යානුකූල භාවයක් නොමැති බවටත්, කප්පාදු න්‍යාය පත‍්‍රය කෙරෙහි මහජන විරෝධය පාලනය කිරීමට නොහැකි ලෙස තව දුරටත් උතුරා යනු ඇති බවටත් පාලක කවයන් තුල පවතින ගැඹුරු සංත්‍රාසයයි.

වික්‍රමසිංහ ජනාධිපති වූයේ ජූලි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට ඉල්ලා අස්වීමට බලකරමින් මාස ගනනාවක් පැවති මහජන විරෝධතා සහ වැඩවර්ජනවලින් අනතුරුව රටින් පලාගොස්, ඉල්ලා අස්වීමෙන් පසුවය. බෙහෙවින් පිලිකුලට පාත්‍ර වූ, ඔහුගේ එක්සත් ජාතික පක්ෂ පතුරේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කෙරුනේ අපකීර්තියට පත් පාර්ලිමේන්තුවේ ඡන්දයකිනි.

රාජපක්ෂ තවමත් ධූරයේ සිටියදී, දෙදරමින් පැවති ආන්ඩුව විස්ථාපනය කිරීම සඳහා සියලුම පාර්ලිමේන්තු පක්ෂවල 'අන්තර් කාලීන ආන්ඩුවක්' සඳහා මාස ගනනාවක් තිස්සේ උද්ඝෝෂනය කිරීමට ජවිපෙ අනෙකුත් විරුද්ධ පක්ෂ සමග සම්බන්ධ විය. දැන් එය පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ මිත්‍යාවන් ට යලි පනදීම සඳහාත් තවත් ධනපති ආන්ඩුවකට නීත්‍යානුකූල භාවය ලබා දීම සඳහාත් “හදිසි මහ මැතිවරනයක්” ඉල්ලා සිටී.

ජනතා විමුක්ති පෙරමුන මෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලම වික්‍රමසිංහ ආන්ඩුවෙන් දුරස්ථව සිටිති. සමගි ජන බලවේගය (සජබ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප ), සහ දෙමල ජාතික සන්ධානය (දෙජාස) යන සියල්ලෝම “ප්‍රතිපත්තිමය වශයෙන්” සර්ව පාක්ෂික ආන්ඩුවක් සඳහා වූ වික්‍රමසිංහගේ යෝජනාව පිලිගෙන ඇති නමුත්, සෘජුව එක්වීම ප්‍රතික්ෂේප කරමින් පිටතින් සිට සහාය දීමට පමනක් ඉදිරිපත්ව සිටිති.

නව ජනවරමක් සහිත නව ආන්ඩුවක් ස්ථාපනය කිරීම සඳහා හදිසි මැතිවරනයක් ඉල්ලා සිටීමෙන්, ජවිපෙ, සරලව ව ම පාලක පන්තියට යෝජනා කරන්නේ ප්‍රතිගාමී කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සහ ඊට එරෙහි කවර හෝ විරුද්ධත්වයක් රුදුරු ලෙස මර්දනය කල හැකි පොලිස් රාජ්‍ය මර්දනයක් සහිත තවත් යාන්ත්‍රනයකි.

අගෝස්තු 5 වෙනිදා පාර්ලිමේන්තුව ඇමතු දිසානායක මෙසේ පැවසීය: “අපි චක්‍රීයව ඊලඟ අවුරුද්දේදී මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුන නොදෙන්න නම් අපට ස්ථාවර වැඩපිලිවෙලක් තිබිය යුතුයි. එවැනි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න පුලුවන් ජනතාවගේ ජනවරමක් තියෙන ආන්ඩුවකට විතරයි. මොකද එතන සමහර නීරස තීන්දු තියනවා, ජනතාව සමඟ ගැටුම් ඇති විය හැකි තීන්දු තියනවා.”

“ජනතාව සමඟ ගැටුම් ඇතිවිය හැකි” මෙම “නීරස තීන්දු” මොනවාද? ඒවා අන් කිසිවක් නොව, රාජ්‍ය අංශයේ සේවකයන් මහා පරිමානයෙන් දොට්ට දැමීම, පුද්ගලීකරනය, මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් තව දුරටත් කප්පාදු කිරීම සහ මිල සහනාධාර ඉවත් කිරීම මගින් තවදුරටත් මිල ඉහල යාම සඳහා වන ජාමුඅ කප්පාදු පිලිවෙත් ය.

දැනටමත් වැඩ කරන ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුන දෙමින් සිටිති. බොහෝ දෙනෙකුට තම ආහාර වේල සීමා කිරීමට බල කෙරී ඇත. ඉන්ධන සහ ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල උග්‍ර හිඟයක් තිබෙන අතර මිල ගනන් අහස උසට නැඟෙමින් පවතී. සෑම දිනකම පැය ගනන් විදුලිය කප්පාදු කෙරෙයි.

එසේ වුවද, ජවිපෙ අවධානය යොමුව ඇත්තේ ධනවාදය හා ධනේශ්වර පාලනය සුරැකීමට මිස කම්කරු පන්තිය හා ගම්බද දුගීන් ආරක්ෂා කිරීමට නො වේ.

“අපි දැන් ලිං ගැට්ටේ ඉන්නේ, අපට කාගේ හෝ පිලිසරනක් අවශ්‍යයි. මං හිතන්නේ අපි ඒකට යන්න ඕනෙ” යැයි ජුලි 11 දා ස්වර්නවාහිනී සාකච්චාවක දී දිසානායක පැවසුවේ ය. ජාත්‍යන්තර නය සහ මූල්‍ය ආධාර ලබා ගැනීමට එය ප්‍රමානවත් නැහැ, “රටේ පරිභෝජන රටාව වෙනස් කල යුතුයි. ... සියල්ල භුක්ති විඳිමින් අපට ඩොලර් ඉතිරි කල නොහැකි” බව ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ය.

2010 පටන් දරුනු ආර්ථික අර්බුදයකට මුහුන දුන් ග්‍රීසියේ උදාහරනය දිසානායක අවධාරනයෙන් සඳහන් කලේය. “ග්‍රීක ආන්ඩුව ඉඩ දුන්නේ දුන්නේ පුද්ගලයෙකුට දිනකට යුරෝ 20ක් වියදම් කිරීමට පමනයි. දිනකට බනිස් එකක්, කොකාකෝලා එකක් සහ සිගරට් එකක් පමනක් පමනයි මිලදී ගන්න පුලුවන් වුනේ” යැයි ඔහු කීවේ ය.

ජවිපෙ අනුගමනය කරමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ යුරෝපීය මහ බැංකුවේ කප්පාදු න්‍යාය පත‍්‍රයට විරුද්ධ වන බවට පොරොන්දු වී 2015 බලයට පත් වූ නමුත් ඊට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධව ක්‍රියා කරමින් ග‍්‍රීසියේ කම්කරුවන් මත දැවැන්ත බර පැට වූ ග්‍රීසියේ ව්‍යාජ වාම සිරසා තන්ත්‍රයේ මාවතයි.

ජනතා විමුක්ති පෙරමුන 1966 දී පිහිටුවන ලද්දේ සිංහල ජනතාවාදය, මාඕවාදය සහ කැස්ත්‍රෝවාදය යන සියල්ලේම සම්මිශ්‍රනයක් මත පදනම් වූ “සන්නද්ධ අරගලය” වෙනුවෙන් පෙනී සිටින සුලු ධනේශ්වර රැඩිකල් සංවිධානයක් ලෙස ය. මෙම සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ දැන් කොලඹ දේශපාලන සංස්ථාපිතයට මුලුමනින්ම ඒකාග්‍ර වී ඇත. මෙම පක්ෂය, 2004 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආන්ඩුවේ ඇමති ධූර හතරක් බාරගනිමින් ධනේශ්වර ආන්ඩුවට මුක්කුව දුන්නේ ය.

වත්මන් ආර්ථික හා සමාජ අර්බුදයට වගකිව යුත්තේ ධනවාදය නොව ශ්‍රී ලංකාවේ දුෂිත දේශපාලන සංස්කෘතිය බව ජවිපෙ චෝදනා කරයි. මහජන විරෝධතාවලට සහභාගී වන කම්කරුවන් හා තරුනයන්ගෙන් සැලකිය යුතු ස්ථරයන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම තම අවඥාව ප්‍රකාශ කර ඇත. එහෙත්, ජවිපෙ උත්සාහ කරන්නේ මැතිවරනයකින් සහ නව ආන්ඩුවකින් වැඩකරන ජනතාවගේ පුලුල්ව පැතිරුනු දුක් වේදනා සමනය කරනු ඇතැයි යන මිත්‍යාව ප්‍රවර්ධනය කිරීමට ය.

එසේ කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුන ජනතා කෝපය හා විරුද්ධත්වය යටපත් කිරීමේ ආරක්ෂක කපාටයක් ලෙස පාලක පන්තියට සේවය කරයි. එහි භූමිකාව ශ්‍රී ලංකාව තුල පමනක් නොව සෙසු රටවල පාලක කවයන් තුල ද පිලිගැනීමට ලක් වී ඇත.

ජවිපෙ නායක දිසානායක ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලී චන්ග් සමග (මූලාශ්‍රය: එජ තානාපති ජූලී චන්ග් ෆේස්බුක් පිටුව)

කොලඹ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මැයි මාසයේදී ජවිපෙ කාර්යාලයට ගොස් දිසානායක ඇතුලු එහි නායකයන් හමුවිය. පසු දිනෙක චන්ග් මාධ්‍යට මෙසේ පැවසුවා ය: “මට ජවිපෙ යනු වැදගත් පක්ෂයක්. ඔවුන්ට වර්ධනය වන තත්වයක් තිබෙනවා. මෑත කාලයේ ඔවුන් මහ ජනතාව අතර අනුනාදයක් ලබමින් තියෙනවා. එක්සත් ජනපද රජයේ පාර්ශ්වයක් ලෙස නොව, නමුත් සැබවින්ම ජවිපෙ නායකත්වය සමඟ පුද්ගල සම්බන්ධයක් ඇතිකර ගැනීම මගේ යුතුකම යැයි මම සිතුවා.”

ජනතා විමුක්ති පෙරමුනේ නායකයින් පසුගියදා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් ද හමුවී ඇත.

තමන් මුහුන දෙන සමාජ අර්බුදයට පාර්ලිමේන්තුවේ සහ ධනවාදයේ රාමුව තුල විසඳුමක් ඇතැයි ජවිපෙ විසින් ප්‍රවර්ධනය කරන මිථ්‍යාවන් කම්කරුවන් හා තරුනයන් ප්‍රතික්ෂේප කල යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) යලි යලිත් පැහැදිලි කර ඇත්තේ එම අර්බුදයට ධනේශ්වර ලාභ පද්ධතිය තුල විසඳුමක් නැති බවත් ජාතික විසඳුමක් නැති බවත් ය. සසප, අන්තර්කාලීන හෝ සර්ව පාක්ෂික ආන්ඩුවක් ස්ථාපිත කිරීම ප්‍රතික්ෂේප කරයි. වෘත්තීය සමිති හා ජවිපෙ ඇතුලු සියලුම ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් තම සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන තමන්ගේම අතට ගන්නා ලෙස සසප වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටී.

අන්තර්කාලීන, සර්ව පාක්ෂික හෝ වෙනත් ඕනෑම ධනේශ්වර ආන්ඩුවකට හා කප්පාදු වැඩපිලිවලට හා මර්දනයට එරෙහිව වැඩකරන ජනතාව සඳහා දේශපාලන හඬක් සැපයීමට මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම්ව කම්කරුවන් ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමේ දේශපාලන ආරම්භකත්වය සසප විසින් ගෙන ඇත.

සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදාහැරීම මත කම්කරුවන්ගේ පාලනය ඇති කරීම සහ ප්‍රකෝටිපතියන්ගේ හා ප්‍රධාන සංගතවල ධනය අත්පත් කර ගැනීම ඇතුලු මහජනතාවගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීමේ ප්‍රතිපත්ති ද සසප ඉදිරිපත් කර ඇත.

දකුනු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ඔස්සේ සමාජය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන අරගලයට මෙම කම්කරුවන් ගේ හා ග්‍රාමීය ජනතාවගේ සම්මේලනය සඳහා උද්ඝෝෂනය පදනම සපයනු ඇත.

Loading