ශිෂ්‍ය උද්ඝෝෂනයට එල්ල වූ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය හෙලා දකිමු!

[මෙයCondemnbrutalSriLankanpoliceattackonstudentdemonstration!යනමැයෙන් 2022 ඔක්තෝබර් 22 පලකෙරුනුලිපියේපරිවර්තනයයි.]

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය විරෝධතාවලට එරෙහිව ක්‍රියාත්මක වන පොලිස් මර්දනය හෙලා දකින ලෙස කම්කරු පන්තියට කැඳවුම් කරයි.

අඟහරුවාදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසින් සංවිධානය කරන ලද ශිෂ්‍ය විරෝධතා පාගමනට එරෙහිව, කැලනියේදී මෑතම පොලිස් ප්‍රහාරය එල්ල විය. සිසුන් ඉල්ලා සිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, ශ්‍රී ලාංකීය ජනතාව මුහුන දෙන වඩ වඩාත් නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයට විසඳුම් ලබා දෙන ලෙසත් ය.

2022 ඔක්තෝබර් 18 වැනි දින, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් පෙලපාලියක යමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

අවිශිබම මෙම විරෝධතාවය කැඳවා ඇත්තේ, එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂු පෙරමුනේ ගල්වැව සිරිධම්ම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ රඳවා තබා දින 60 ක් පිරීම නිමිත්තෙනි. මුදලිගේ, සිරිධම්ම සහ තවත් ක්‍රියාකාරිකයෙකු වන හෂාන් ජීවන්ත සහ තවත් සිසුන් කිහිප දෙනෙකු අගෝස්තු 18 වැනි දින උද්ඝෝෂනයකදී අත්අඩංගුවට ගන්නා ලදී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන් පීටීඒ යටතේ දින 90 ක් රඳවා තබා ගැනීමට නියෝග කලේය.

පසුගිය අඟහරුවාදා විවිධ විශ්වවිද්‍යාලවල සිසුන් 1000 ක් පමන කැලනිය විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර් 11 ක් දුරින් පිහිටි කොලඹ කොටුවට පැමිනීමට සැලසුම් කරමින් පස්වරු 3 ට පා ගමන ආරම්භ කලහ. විශ්ව විද්‍යාලයේ සිට කිලෝමීටර් 2 ක් පමන දුරින්, විරෝධතාව වැලැක්වීම සඳහා පොලිසිය ජල ප්‍රහාරක රථ දෙකක සහාය ඇතිව කැරලි මර්දන සහ විශේෂ කාර්ය බලකා ඒකක ඇතුලු නිලධාරීන් 1,000 ක පමන බලකායක් බලමුලු ගන්වන ලදී.

පාගමනේ ගිය ශිෂ්‍යයෝ, “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු මර්දන නීති වහා ඉවත් කරනු,” “වික්‍රමසිංහ-රාජපක්ෂ ජුන්ටාව ඉවත් කරමු,” “අපට ජීවත් වීමට ඉඩ දෙනු—බදු බර අඩු කරනු” වැනි සටන් පාඨ කීහ.

පාගමන ආරම්භ කර පැයකට පසු සිසුන්ට පොලිස් භටයින් මුන ගැසුනු අතර ඔවුන්ගේ විරෝධතාව නීති විරෝධී බවත් පොලිස් අනුමැතිය ලබා නොදුන් බවත් ඔවුහු ප්‍රකාශ කලහ. ඉන් පසු, කැලනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක ඇතුලු සිසුන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් පොලිසිය පාගමන කඩාකප්පල් කර දැමීමට පටන් ගත්තේය.

2022 ඔක්‌තෝබර් 18 වැනිදා, කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පොලිසිය ප්‍රචන්ඩ ලෙස ප්‍රහාර එල්ල කරමින්. [ඡායාරූපය: ලෝසවෙඅ]

සටන් පාඨ කියමින් අසල මාර්ගයකට රැස්වූ සිසුන් පවා විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කලේය. විරෝධතාවයෙන් පසු අවිශිබම ක්‍රියාකාරික ජනිත් ජනජය මාධ්‍ය වෙත පැවසුවේ, එක් පොලිස් නිලධාරියෙක් “අපි උඹලව මරනවා” යැයි ඔවුන්ට තර්ජනය කල බවයි.

ආන්ඩුවේ මර්දනය පිලිබඳ පුලුල් කෝපය මධ්‍යයේ, අත්අඩංගුවට ගත් සිසුන් බදාදා රුපියල් 50,000 ක ඇප මත මුදා හරින ලදී. පොලිස් ප්‍රහාර හෙලා දකිමින් සහ අත්අඩංගුවට ගත් සියලුම ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කැලනිය, ජයවර්ධනපුර, රජරට විශ්වවිද්‍යාලවල සිසුන් බදාදා විරෝධතාවක නිරත වූහ. පීටීඒ යටතේ රඳවාගෙන සිටින අය නිදහස් කරන ලෙස බලකරමින් අවිශිබම විසින් සංවිධානය කරන ලද පෙර විරෝධතා ද—අගෝස්තු 30 සහ ඔක්තෝබර් 4 යන දිනවල—මෙවැනිම පොලිස් පහරදීම් වලට ලක්විය.

රැඳවුම් කඳවුරක රඳවා සිටින අවිශිබම කැඳවුම්කරු මුදලිගේ සිටින්නේ බරපතල අනතුරක ය. සාක්‍ෂි එකතු කරන මුවාවෙන් පොලිසිය අවස්ථා කිහිපයකදී ඔහුව රාත්‍රියේ කඳවුරෙන් පිටතට රැගෙන ගොස් ඇත. රිමාන්ඩ් බන්ධනාගාරවලින් ගෙන යන දේශපාලන සිරකරුවන් පැන යාමට තැත් කරන බව බොරු කියා මරා දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කුප්‍රකට ය.

එක් අවස්ථාවකදී මුදලිගේ, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ගිනිගත් නිවසට ගෙන යන ලදී. මැයි මාසයේදී ගාලු මුවදොර පිටිය අල්ලාගෙන සිටි විරෝධතාකරුවන්ට දක්ෂිනාංශික මැරයන් පහර දීමෙන් පසු ඇති වූ කැරලි වලදී මෙම දේපල ගිනිබත් විය.

මුදලිගේ සමග අත්අඩංගුවේ සිටි හෂාන් ජීවන්ත දින 50 කට පසු නිදහස් කරනු ලැබුවේ ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීමට තමන් සතුව සාක්ෂි නොමැති බව පොලිසිය පිලිගැනීමෙන් පසුවය, එය මෙම අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම්වල අත්තනෝමතික ස්වභාවය පෙන්නුම් කරන තවත් කරුනකි.

ශිෂ්‍ය පෙලපාලිවලට සහ අනෙකුත් මර්දනකාරී ක්‍රියාවලට එල්ල වෙමින් පවතින පොලිස් ප්‍රහාර කම්කරු පන්තියට පැහැදිලි අනතුරු ඇඟවීමකි. එමෙන්ම එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝගයන්ට අනුකූලව මුදා හරින කප්පාදු පියවරයන්ට විරුද්ධ සියලු දෙනා තලා දැමීමට වික්‍රමසිංහ ආන්ඩුව සිය මර්දනකාරී බලතල භාවිතා කරනු ඇති බවට තවත් ඇඟවීමකි.

පසුගිය අඟහරුවාදා, සිසුන් විරෝධතාවයේ යෙදී සිටියදී, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කම්කරුවන් ආන්ඩුව සතු කර්මාන්තය පෞද්ගලීකරනය කිරීමට එරෙහිව වැඩ වර්ජනයක නිරත විය. ආන්ඩුව සිය කුරිරු අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වර්ජකයන්ට දඬුවම් කරන බවට තර්ජන සමග ප්‍රතිචාර දැක්වීය.

2022 ඔක්‌තෝබර් 18 වැනි දින, සියලුම දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා සිසුන් පෙලපාලියක යති. [ඡායාරූපය: ලෝසවෙඅ]

සසප සහ සසජාතශි මෙම පොලිස් මර්දනය හෙලා දකින අතර සියලුම දේශපාලන සිරකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත, මහජන ආරක්ෂක ආඥාපනත සහ හදිසි නීතිය ඇතුලු සියලුම මර්දන නීති අහෝසි කරන ලෙසත් බලකරයි. කෙසේ වෙතත් සසජාතශි සහ සසප, ධනේශ්වර ගැති පිලිවෙත් නිසා සහ පාලක ප‍්‍රභූවට බලපෑම් කල හැකි යයි කියන අවිශිබමට සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) දේශපාලනිකව විරුද්ධ ය.

කම්කරුවන්ට හා සිසුන්ට එරෙහිව වික‍්‍රමසිංහ ආන්ඩුවේ තීව‍්‍රවන ප‍්‍රහාර ඉස්මතු කරන්නේ, රැකියා, ජීවන තත්වයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව වික‍්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

සියලුම වෘත්තීය සමිති සමග අවිශිබම සහ අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන මෙම ඉදිරිදර්ශනයට සතුරු ය. පෙසප විසින් නායකත්වය දෙන අවිශිබම, පොලිස් මර්දනය නැවැත්වීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ආන්ඩුවට බලපෑම් කරන ලෙස “ජාත්‍යන්තර ප්‍රජාවට” ආයාචනා කරන ලෙස සිසුන් හා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

පසුගිය මාසයේ පෙසප, අවිශිබමයේ නියෝජිතයෙකු ලෙස එහි ප්‍රධාන නායකයෙකු වන නුවන් බෝපගේ, ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමට යැවුවේ ඔවුන්ගේ උදව් ඉල්ලා ආයාචනා කිරීමට ය. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් අනුග්‍රහය දක්වන ලද නරුම යෝජනාවක් පිලිබඳව මෙම රැස්වීම සාකච්ඡා කරමින් තිබුනි. යෝජනාවේ සැබෑ අරමුන වූයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ යුද අපරාධකරුවන්ට දඬුවම් කිරීම නොව චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි මූලෝපායික ගැටුම සමග මුලුමනින්ම ඒකාග්‍ර වන ලෙස කොලඹට බලපෑම් කිරීමයි.

පසුගිය සඳුදා අවිශිබම ඊනියා ජාත්‍යන්තර ප්‍රජාවට ආයාචනා කරමින් “වත්මන් ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී වැඩපිලිවෙල නිරීක්ෂනය කරන ලෙස” මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කලේය. ඒ සමගම, අවිශිබම සහ පෙසප, ආන්ඩුවේ මර්දනයට එරෙහි ඒකාබද්ධ වේදිකාවක් තනාගැනීම සඳහා සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති සමග සන්ධානයක් අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, මෙම පක්ෂ සියල්ල ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට කැපවී සිටින අතර ඔවුන් බලයට පැමිනියහොත් එය නිර්දය ලෙස ක්‍රියාත්මක කරනු ඇත. පෙසප සහ අවිශිබම, සජබ සහ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන්ගේ කප්පිත්තන් ලෙස ව්‍යාජ ලෙස හුවා දක්වයි.

අඟහරුවාදා උද්ඝෝෂනයෙන් පසු රැලියේදී කතා කල ශිෂ්‍ය නායකයෝ මර්දනය අවසන් කරන ලෙස ආන්ඩුවෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටියහ. කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සාමාජික ජනිත් ජනජය මෙසේ පැවසීය: “අපි මේ රටේ ආන්ඩුවට පනිවිඩයක් දෙනවා, මේ මර්දනය නතර කලේ නැත්නම් ආන්ඩුව ගෙදර යැවීමට අපි වග බලා ගන්නවා කියලා.”

මෙම සඳහන, අප්‍රේල් මාසයේ ආරම්භ වූ, රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට බලකෙරුනු මහජන නැගිටීම් පිලිබඳවයි. පෙසප සහ අවිශිබම විසින් පිටුබලය ලැබූ වෘත්තීය සමිති, සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම වැලැක්වූ නිසා වික‍්‍රමසිංහට බලයට පැමිනීමට හැකි වූ බව එය වසන් කරයි.

අවිශිබම හා පෙසප ඉදිරිදර්ශනයත්, ශ්‍රී ලංකාවේ ධනේශ්වර පක්ෂ සමග ඔවුන්ගේ පෙලගැස්මත්, අධිරාජ්‍යවාදී බලවතුන් වෙත කරන ආයාචන ද සමගින් ප්‍රතික්ෂේප කරන ලෙස සසජාතශි සිසුන්ගෙන් ඉල්ලා සිටී. ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරී ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සහ කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සටන් කල යුතුය. මෙය සමාජවාදී මාවත් ඔස්සේ සමාජය ප්‍රතිව්‍යුහගත කිරීමට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම දමනු ඇත.

පීටීඒ යටතේ රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයින් ඇතුලු සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට, සියලු මර්දන නීති ඉවත් කිරීමට සහ පොදු නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට කරන සටන සමාජවාදය සඳහා වන අරගලයෙන් වෙන් කල නොහැක. අපි සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ එක් එක් විශ්ව විද්‍යාලවල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සසජාතශි සංවිධානය ගොඩනගා මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කරන ලෙසයි.

Loading