ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැඩි වැටුප් ඉල්ලා ආන්ඩුවට කන්නලව් කරයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස සහ රාජ්‍ය මර්දනය නතර කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (ශ්‍රීලරනිවෘසස) ආන්ඩුවට කන්නලව් කරන පෙත්සමකට සිය සාමාජිකයන්ගේ අත්සන් එකතු කරන වඳ උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.

ශ්‍රීලරනිවෘසස යනු, සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය, කෘෂිකර්ම පර්යේෂන සහ නිෂ්පාදන සහකාරවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය ඇතුලු වෘත්තීය සමිති 35ක සන්ධානයකි.

උද්ඝෝෂනයේ ඉල්ලීම් වනුයේ: ජීවන වියදම පහත හෙලීම, රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා දීම සහ වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංවිධාන ඇතුලු ආන්ඩුවට විරුද්ධ ව උද්ඝෝෂනය කරන සංවිධාන වලට එරෙහි රාජ්‍ය මර්දනය නතර කිරීමයි.

ශ්‍රීලරනිවෘසස මෙම උද්ඝෝෂනය ආරම්භ කර තිබෙන්නේ, දැරිය නොහැකි ජීවන වියදම හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආන්ඩුව කෙරෙහි රාජ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය තුල කැකෑරෙන කෝපයක් හා පුලුල් විරුද්ධත්වයක් වර්ධනය වන කොන්දේසි තුල ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයන්ට අනුව රාජ්‍ය අංශයේ රැකියා සියයට 50 කින් කපා දමා 850,000 කගේ රැකියා අහෝසි කිරීම, නව බදු, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය හා පුද්ගලීකරනය, අත්‍යවශ්‍ය සමාජ සේවාවන් කප්පාදු කිරීම ඇතුලු රුදුරු ප්‍රහාරයන් ආන්ඩුව විසින් කම්කරු පන්තියට එරෙහි ව ක්‍රියාවට දමා තිබේ.

අත්‍යාවශ්‍ය බඩු මිල හා සේවා ගාස්තු නොනැවතී ඉහල යාම තුල පසුගිය නොවැම්බර් මාසයේ දී, සියයට 9.9 වූ ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන රේට්ටුව සියයට 75 දක්වා සහ එම මාසයේ දී සියයට 17.5 වූ ආහාර උද්ධමනය සියයට 102 දක්වා ඉහල ගොස් තිබේ. මිල උද්ධමනය විසින් කම්කරු පන්තියේ මුර්ත වැටුප් අගය වඩ වඩා පහලට තල්ලු කෙරෙයි.

මෙම ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පන්තිය යලි අරගලයන්ට පිවිසෙමින් සිටියි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ, ඛනිජ තෙල් සංස්ථාවේ, සෞඛ්‍ය සේවයේ කම්කරුවෝ ද මෑත සතිවල විරෝධතා උද්ඝෝෂන වල නිරත වූහ. රැකියා විනාශයට සහ වැටුප් කප්පාදුවට එරෙහි ව නිදහස් වෙලඳ කලාප, වතු හා ඉදිකිරීම් ඇතුලු පුද්ගලික අංශයේ කම්කරුවන් අතර ද පුලුල් විරෝධයක් පැසවමින් ඇත.

එහෙත් ශ්‍රීරනිවෘසස උද්ඝෝෂනයේ එල්ලය වන්නේ ඉහල යන ජීවන වියදමට සරිලන වැටුපක් සඳහා සහ රාජ්‍ය මර්දනයට විරුද්ධ ව රාජ්‍ය සේවකයන් ගේ අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොවේ. ඔවුන්ව දේශපාලනික ව අවමංගත කොට ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි ව එවන් අව්‍යාජ අරගලයක් මතුවීම වැලැක්වීමයි.

උද්ඝෝෂනයේ වඳභාවය සහ ප්‍රතිතිගාමි එල්ලය සම්මේලනයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මාධ්‍යට කර තිබෙන ප්‍රකාශයෙන් මනාව එලිදරව් කෙරෙයි. “පවතින ආර්ථික තත්වය තුල ආන්ඩුවට වැටුප් වැඩිවීමක් කල නොහැකි නම් (ආර්ථික) තත්වය යහපත් වනතුරු අන්තර්කාලීන දීමනාවක් ලබා දෙන” ලෙස ඔහු ආන්ඩුවට කියයි.

බස්නායක සඳහන් කරන “පවතින තත්වය” යනු පොදු පෙරමුනු-වික්‍රමසිංහ ආන්ඩුව ප්‍රමුඛ ධනපති පාලක පන්තිය මුහුන දී ඇති පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයයි. එහෙත් මෙම “පවතින තත්වයට” එනම් ධනේශ්වර අර්බුදයට කම්කරු පන්තිය කර ගැසිය යුතු නැත.

ශ්‍රී ලංකාවේ පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදය ධනවාදයේ ගෝලීය අර්බුදයේ කොටසකි. කොරෝනා වසංගතය සහ යුක්‍රේනය මෙහෙයවා ගනිමින් රුසියාවට එරෙහි ව කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධය විසින් එය වඩ වඩා ගැඹුරු වෙමින් ඇත.

ලෝකයේ අනෙකුත් ධනපති පාලක පන්තීන් මෙන් ම, ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තියේ පිලිවෙත වන්නේ අර්බුදයේ බර වැඩකරන ජනයා මත පැටවීමයි. ජාමුඅ විධානයන් හරහා ක්‍රියාවට දැමෙන්නේ එයයි. අර්බුදයෙන් ගොඩ යාමට ඒ හැර වෙනත් මගක් නැතැයි පුන පුනා කියන ආන්ඩුව එලඹෙන අයවැය තුලින් වැඩකරන ජනයාට එරෙහි ප්‍රහාර තවදුරටත් තියුනු කරනු ඇත.

ශ්‍රීලරනිවෘසස ඇතුලු කිසිදු වෘත්තීය සමිතියක් ජාමුඅ විධානයන් ක්‍රියාවට දැමීමට විරුද්ධ නැත. ඔවුන් භීතියට පත්ව සිටින්නේ එම ප්‍රහාරයන් ට එරෙහිව කම්කරු පන්තියේ කෝපය සහ විරුද්ධත්වය වර්ධනය වීම කෙරෙහි ය. 'පවතින තත්වය තුල 'වැටුප් වැඩිවීමක් දීමට නොහැකි නම් අන්තර්කාලීන දීමනාවක්' ලබා දෙන ලෙස ශ්‍රීලරානිවෘසස ආන්ඩුවට කන්නලව් කරන්නේ රාජ්‍ය සේවකයන් අතර පවතින කෝපය සහ විරුද්ධත්වය වාෂ්ප කිරීමේ උප්පරවැට්ටියක් ලෙස ය.

දෙසැම්බර් මාසයේ ආන්ඩුවට රුපියල් 18,000 ක වැටුප් ඉල්ලීමක් ඉදිරිපත් කල ශ්‍රීලරනිවෘසස පසු ව ආන්ඩුවේ “ආර්ථික තත්වය” ගැන සලකා එය රුපියල් 10,000කට කප්පාදු කල අතර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අරගලය පසුපසට තල්ලු කලේ ය.

එමෙන් ම, ශ්‍රීලරනිවෘසස ජනතා විමුක්ති පෙරමුන මෙහෙය වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුලිකත්වය සහිත වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සමග පෙල ගැසෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුවට එරෙහි අප්‍රේල් 28 සහ මැයි 6 වෙනිදා අරගල පාවාදුන්නේ ය.

කප්පාදු පිලිවෙත් වලට එරෙහි ව මතු වන ඕනෑ ම විරුද්ධත්වයක් නිර්දය ලෙස මර්දනය කිරීමට ආන්ඩුව සුදානම් ය. රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධ ව උද්ඝෝෂනයේ යෙදුන ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ නායකයන්ට සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට එරෙහි ව මුදා හැර ඇති රාජ්‍ය දඩයම ද ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එරෙහි ව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගැනීම ද පන්ති යුද්ධය සඳහා ධනපති පාලක පන්තියේ සුදානම පෙන්නුම් කරයි. එය කම්කරු පන්තියට කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි. එවන් තතු තුල පෙත්සම් අත්සන් කර හෝ හුදු විරෝධතා වැනි දේ මගින් රාජ්‍ය දඩයම පරාජය කල නොහැකි ය.

එබඳු වඳ උද්ඝෝෂන මගින් ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ධනපති ආන්ඩුවේ ප්‍රහාරයන් නතර කල නොහැකි ය.

කම්කරු පන්තියේ රැකියා වැටුප් ඇතුලු සමාජ අයිතීන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරයන් පරාජය කලහැක්කේ සමස්ත කම්කරු පන්තියේ කාර්මික ශක්තිය ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන ඉදිරි දර්ශනයක් මත බලමුලු ගැන්වීමක් තුලින් පමනි. කම්කරු පන්තිය තුල ඒ සඳහා බලගතු විභවයක් පවතින බව අප්‍රේල්-මැයි අරගලවල දී ප්‍රදර්ශනය කෙරුනි. එහෙත් එවන් අරගලයකට ශ්‍රීලරනිවෘසස ඇතුලු සියලු වෘත්තීය සමිති සපුරා ම විරුද්ධ ය. එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක මතු වීම කෙරෙහි ධනපති පාලක පන්තිය තරමට ම වෘත්තීය සමිති ද බිය වෙයි.

පන්ති සටන් දුර්මුඛ කොට විසුරුවා හැරීමේ ධනපති පාලක පන්තියේ සහ හාම්පුතුන්ගේ කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති තුල සිර වී සිටින තාක් දුරට කම්කරු පන්තියට තම අයිතීන් සඳහා අව්‍යාජ සහ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කල නොහැකි බව පසුගිය දෙ වසර තුල පන්ති අරගලයන් ගේ අත්දැකීම් මගින් යලි යලිත් සනාත කර තිබේ.

තම අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීම තමන්ගේ ම අතට ගැනීමේත්, ඒ සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේත් දැවෙන අවශ්‍යතාවය කම්කරු පන්තිය ඉදිරියේ මතු කෙරී ඇත.

එවන් ක්‍රියාකාරී කමිටු සියලු වැඩපොලවල හා කම්කරු නිවහන් ප්‍රදේශ වල ගොඩනගා ගැනීමටත්, ඒ හරහා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක පදනම මත ශ්‍රී ලංකාවේ සමස්ත කම්කරු පන්තියේ සහ සමාන ප්‍රහාරවලට මුහුන දී සිටින ජාත්‍යනතර කම්කරු පන්තියේ එකමුතු ව සඳහාත් සටන් කල යුතු ය. කම්කරු පන්තියේ අයිතීන් සඳහා සටන ධනේශ්වර පන්ති පාලනය අහෝසිකරන හා සමාජවාදී සැලසුම්ගත ආර්ථික පිලිවෙතක් මත ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමට කැප වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන සටනකි. එවන් දේශපාලන ව්‍යාපාරයකට පදනම් දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයකට සමාජවාදී සමානතා පක්ෂය සටන් කරයි.

Loading