ලංකාවේ ඉහලපෙල සංචාරක ව්‍යාපාර සංගම් එලඹෙන මහජන අරගල නොඉවසන බවට තර්ජනය කරයි

පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ හෝටල් සංගමය (ශ්‍රීලහෝස) බිස්නස් මිරර් වෙත ප්‍රකාශ කර තිබුනේ “කර්මාන්තය මත සෘනාත්මක බලපෑමක් ඇති කරන කිසිදු [මහජන] විරෝධතාවයක් එය නොඉවසනු ඇති” බවයි. බොහෝ සෙයින් විදෙස් සංචාරකයන් මත පදනම් වෙන මෙම හෝටල් ව්‍යාපාරිකයින් මහජන විරෝධතාවන්ට එරෙහිව කඩාපැනීමේ ආසන්නතම හේතුව වන්නේ එලඹෙන නොවැම්බර් 2දා විරුද්ධ පක්ෂ, ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන වල සහභාගිත්වයෙන් කොලඹදී පැවැත්වෙන බවට නිවේදන කර ඇති විරෝධතා රැලිය වුවද, එය ඉදිරියේදී එලැඹීමට නියමිත සියලුම පංති අරගල වලට එරෙහිව යොමු වූවකි.

මහජන විරෝධතා හෙලා දකිමින් හෝටල් සංගමය පවසා ඇත්තේ “මෙම දේශපාලන කන්ඩායම් තම රංගනය නවතා රටේ සහ ජනතාවගේ ඉහලම අවශ්‍යතාවයන් ගැන සිතිය යුතු කාලය එලඹ ඇති” බවයි. සංගමයේ චෝදනා 'දේශපාලන කන්ඩායම්' වලට එරෙහිව යොමු කෙරී ඇති බවක් මතුපිටින් පෙනෙන නමුදු, එහි සැබෑ ඉලක්කය වනුයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත එල්ල කරමින් පවත්නා රුදුරු ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට ඇදෙමින් සිටින කම්කරු-පීඩිත මහජනතාවයි.

'දේශපාලන කන්ඩායම්' සම්බන්ධයෙන් ගත් කල, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු ධනපති විපක්ෂ මෙම විරෝධතා මුදුනට පැන, ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන කෝපය ගසාකමින් බලයට පැමිනීමට යත්න දරති. අනෙක් අතට, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ද්‍රෝහී වෘත්තීය සමිති, එකී මහජන විරෝධය ධනපති පක්ෂවල අත යට ගාල්කොට, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ප්‍රතිප්‍රහාරයක් වලකාලීම සඳහා හාත්පසින්ම ක්‍රියා කරමින් සිටිති.

කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ විරෝධතා, දෛනික මහජන ක්‍රියාකාරකම් සහ ව්‍යාපාර වලට බාධා පමුනුවන බව පවසන ශ්‍රීලහෝස සභාපති එම්.ශාන්තිකුමාර්, “ඒවා වැලැක්වීමට සහ උත්සන්න වීම නතර කිරීමට පියවර ගන්නා” ලෙස බලධාරීන්ගෙන් ඉල්ලයි. ඉහලපෙල සංචාරක ව්‍යාපාරිකයන් මෙලෙස ඉල්ලා සිටින්නේ කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් ඇතුලු පීඩිත කන්ඩායම් අතරින් මතුවන අරගල තලා දැමීම සඳහා ආන්ඩුව දැනටමත් ක්‍රියාවට නංවා ඇති මර්දනය උත්සන්න කරමින් තම ලාභ අවශ්‍යතාවයන් ආරක්ෂා කර දෙන ලෙසයි.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ සිට මාස ගනනාවක් පැවැති මහා වැඩ වර්ජන හා විරෝධතාවන් හි ක්‍රියාකාරීන්ට එරෙහිව වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව රුදුරු දඩයමක් දියත් කර ඇත්තේ තියුනුම උද්ධමනයක් මධ්‍යයේ තම ජීවන වියදම දරාගත නොහැකි තත්ත්වයකට සාමාන්‍ය ජනතාව පත්ව සිටින තතු යටතේය. ජනාධිපති වික්‍රමසිංහ රුදුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ක්‍රියාවට දමා ඇත්තේ ආන්ඩුවට එරෙහිව අරගලයට අවතීර්න වන කවරෙකු වුව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මර්දනයට ගොදුරු කිරීම සඳහාය.

අගෝස්තු 18 වනදා පැවති ආන්ඩු විරෝධී උද්ඝෝෂනයක් අතරතුරදී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු තවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙක් පීටීඒ යටතේ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වික්‍රමසිංහ නියෝග කලේය. ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් දින 60ක් පිරීම නිමිත්තෙන් ඔක්තෝබර් 18 වනදා පැවති ශිෂ්‍ය විරෝධතාවයකට, ජනාධිපති වික්‍රමසිංහ රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල තල අතර එහිදී තවත් සිසුන් අටක් අත්අඩංගුවට ගනු ලැබින.

රාජ්‍ය මර්දනය උත්සන්න කිරීමකින් නොනැවතී, කම්කරු පන්තිය ප්‍රමුඛ ආන්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට එරෙහි ප්‍රහාරයන් සඳහා ෆැසිස්ට් මැර කල්ලි කැඳවා ගැනීම දක්වා වුවද ශ්‍රීලහෝස ඇතුලු මෙම මහ ධනපති ව්‍යාපාරික ස්ථරයන්ගේ උත්සුකයන් පාර කපනු ඇත. කම්කරු පන්තිය ශ්‍රීලහෝසයේ මෙම ප්‍රකාශයන්ට එකහෙලා විරුද්ධ විය යුතු අතර, එහි අන්තරායන් බරපතල ලෙස සැලකිල්ලට ගනිමින්, ඊට එරෙහිව සංවිධානයවීම අත්‍යවශ්‍ය වේ.

සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ස්ථරවල උත්සුකයන් හුදෙක් තම ලාභ අවශ්‍යතා මත පදනම් වෙයි. කම්කරුවන් සහ දුගීන් මුහුන දෙන අතිශයින් දුෂ්කර ජීවන කොන්දේසි පිලිබඳව අංශුමාත්‍රික හෝ තැකීමක් ඔවුනට නැත.

“එලඹෙන ශීත සෘතුව සඳහා හැකිතාක් සංචාරකයන් ආකර්ශනය කරගැනීමට අප වෙහෙස වෙන” බව සඳහන් කරන ශ්‍රීලහෝස ප්‍රධානී ශාක්තිකුමාර් “අපේ කර්මාන්තයට කිසිසේත් තවත් සෘනාත්මක දේ දැරිය නොහැකි” බව පවසයි. එලඹෙන සංචාරක සමය සඳහා හෝටල් ක්ෂේත්‍රය ඇ.ඩො බිලියන 15ක් ආයෝජනය කර ඇති බවත්, තවත් ඇ.ඩො බිලියන 4ක ව්‍යාපෘති සම්පූර්න වීමට නියමිත බවත් පෙන්වා දෙමින්, “කවර හෝ සෘනාත්මක සිද්ධියක් විදේශිකයන් ලංකාවට පැමිනීම පහත හෙලනු ඇති අතර ආයෝජකයන් වෙනතක් බලනු ඇත” යැයි ඔහු කනස්සලු වෙයි.

මහජන විරෝධතාවන්ට එරෙහි මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනයට එක්වෙමින් ක්ෂේත්‍රයේ තවත් ව්‍යාපාරික කවයක් වන ලංකාවේ අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ (The Sri Lanka Association of Inbound Tour Operators) සභාපති නිශාඩ් විජේතුංග පවසන්නේ එලඹෙන ලෝක සංචාරක වෙලඳපල සඳහා ලංකාවෙන් හෝටල් හිමියන් සහ සංචාරක ගමනාන්ත කලමනාකරුවන් 70ක් පමන සමබන්ධ වී ලංකාව සංචාරක නැවතුමක් ලෙස ප්‍රවර්ධන කිරීමට බලාපොරොත්තු වන බැවින්, “සෘනාත්මක භාවයකට” කවර හෝ ඉඩක් නැති බවයි.

“එලඹෙන විරෝධතා, ලංකාව යහපත් සංචාරක නැවතුම්පලක් ලෙස ප්‍රවර්ධනය කිරීමට සෘනාත්මක ලෙස බලපානු ඇතැයිද, ඒවා සාමකාමී ලෙස පවත්වාගැනීමට වගබලා ගනිමින් සියලුදෙනා රටේ ආර්ථිකය තිරසාර අන්දමින් ගොඩනැගීමට දායක විය යුතු” බවද විජේතුංග පවසා ඇත.

ධනපති අර්බුදයට කම්කරු-පීඩිත මහජනතාව උරදිය යුතුය යන මෙම නරුම සහ වංචනික යෝජනාව කම්කරුවන් සහ පීඩිතයන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතුය.

යතාර්ථයේදී කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නැටෝ බලයන් විසින් ප්‍රකුපිත කර ඇති යුද්ධය ගෝලීය ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය පුපුරුවා හැර තිබෙන අතර ලංකාව තුල අත්දකිමින් සිටින්නේ එහි දරුනුතම විපාකයන්ය.

ලොවපුරා ධනපති ආන්ඩු, දැවැන්ත කප්පාදු හරහා, ආර්ථික අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවන අතර, මහ ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කර දීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගනී. ලෝක පරිමානව මෙන්ම ලංකාව තුලද පන්ති අරගලය ඉස්මත්තට පැමින ඇත්තේ මෙම ප්‍රහාරයට එරෙහි කම්කරු පන්තියේ ප්‍රතිචාරය ලෙසයි.

වික්‍රමසිංහ ආන්ඩුවේ නවතම ආදායම් බදු ප්‍රතිපත්ති යටතේද පීඩාවට ලක්වී සිටින්නේ කම්කරුවන්, වෘත්තිකයන්, ස්වයං රැකියා කරන්නන් සහ කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර හිමියන් මිස වසර ගනනාවක් තිස්සේ බදු සහන භුක්ති විඳින මහ ව්‍යාපාරිකයන් නොවේ. ආන්ඩු වල වරප්‍රසාද යටතේ පසුගිය වසර දෙක තුල ශ්‍රී ලංකාවේ සංගත පෙර නොවූ විරූ වාර්තාගත ලාභයක් උපයා ඇත.

ආන්ඩුව හඹා යමින් සිටින්නේ, දැවැන්ත බදු වැඩිකිරීම් මෙන්ම සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධනයන්ට කෙරෙන වියදම් කප්පාදුව හරහා 2026 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 14.5 ත් 15 ත් අතර ප්‍රමානයක් දක්වා රාජ්‍ය ආදායම් ඉහල දැමීමේ ජාමූඅ ඉලක්කයයි. මේ යටතේ “අසීරු කාලයන්ට මුහුන දීම වැලැක්විය නොහැකි බව”, එනම් කම්කරු-පීඩිත මහජනයා ඇටපොත්තටම මිරිකීයන තත්වයක් දරාගත යුතු බව ජනාධිපති වික්‍රමසිංහ පවසා ඇත .

ධනපති පන්තියේ ලාභ අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීම සහ කම්කරු පන්තිය සඳහා යහපත් ජීවන තත්වයක් ලබාගැනීම කිසිලෙසකින් හෝ පෑහිය නොහැකි ප්‍රතිවිරුද්ධයන් දෙකකි. කම්කරු පන්තිය සඳහා පවතින එකම විසඳුම වන්නේ තම පන්ති අවශ්‍යතා මත පදනම්ව ආර්ථික අර්බුදයට තමන්ගේම විසඳුම ඉදිරියට ගෙන යාමයි. එම විසඳුම පදනම් වන්නේ, බැංකු, මහා සංගත හා වතු ජනසතු කරමින්, නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන යටතට ගෙන, ධනපති ලාභය වෙනුවට මහජන අවශ්‍යතා සපිරෙන පරිදි ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන සමාජවාදී ක්‍රියාමාර්ගය මතයි.

ධනපති විරුද්ධ පක්ෂ, ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති මෙම වැඩපිලිවෙලට මුලුමනින්ම සතුරු වූ කඳවුරක සන්ධාන ගතව සිටිති. ධනපතියන්ගේ ලාභය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය තම අරගල හකුලාගෙන කැපකිරීමට සූදානම් විය යුතු බවට කෙරෙන ඉල්ලීම් වලට ඔවුන් එකහෙලාම එකඟත්වය පලකර තිබේ.

ධනපති ලාභය වෙනුවෙන්, කොවිඩ්-19 වසංගතයට කම්කරුවන් බිලිදෙමින් වැඩපලවල් කරා දැක්කීමටත්, ඔවුන්ගේ රැකියා සහ වැටුප් කප්පාදු කිරීමටත් ආන්ඩුව සහ හාම්පුතුන් සමඟ සහයෝගයෙන් කටයුතු කල වෘත්තීය සමිති දැන් ජාමුඅ රුදුරු කප්පාදු වැඩපිලිවෙලටද එලෙසම සහයෝගය දක්වති.

කම්කරු පන්තිය, වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා වන සටන සියතට ගත යුතුය. එහි පලමු පියවර වන්නේ රට පුරා වැඩපලවල, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි. ඉහත සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡාකොට ක්‍රියාවට නැංවීම සඳහා, ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කම්කරු හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සමාජවාදී සමානතා පක්ෂය කර ඇති කැඳවුම මෙහිදී ඉතා තීරනාත්මක වෙයි.

Loading