ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විධායක ජනාධිපති ක්‍රමය පිලිබඳ ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගනී

[මෙය Sri Lankan parliament passes constitutional amendment on executive presidency යන මැයෙන් 2022 ඔක්තෝබර් 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඔක්තෝබර් 21 දින, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ආන්ඩුවේ සහ විපක්ෂයේ පක්ෂවල සහය ඇතිව නව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කලේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව කියා සිටියේ, 21 වැනි සංශෝධනය, 'විධායකයේ බලතල සීමා කරමින්, ව්‍යවස්ථාදායකය බලගැන්වීම හරහා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන' බව යි.

මෙය අමූලික බොරුවකි. මෙම සංශෝධනය මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා නොකෙරෙන අතර, මතුපිට වෙනස්කම් පමනක් සිදු කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය ට එරෙහිව දශක තුනකට ආසන්න යුද්ධයේ දී දෙමල සුලුතරයට එරෙහි ප්‍රහාරයන් ද ඇතුලුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි දශක හතරක ම්ලේච්ඡ ප්‍රහාරවලින් පසුව, විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව නැගී ආ ගැඹුරු මහජන විරෝධය මධ්‍යයේ නව සංශෝධනය හඳුන්වා දෙන ලදී.

එසේම එය පැමිනියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වීමට බල කරමින් මිලියන ගනනක් කම්කරුවන් හා දුගීන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් මස මුල ආරම්භ වූ මහජන විරෝධතාවන්ට පසුව ය. මෙම වර්ධනයන් සමස්ත දේශපාලන සංස්ථාපිතයට එරෙහි මහජන විරෝධය හෙලි කල අතර, විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම කන්ඩායම්, මෙම විරෝධතා හුදෙක් රාජපක්ෂට සහ ඔහුගේ තන්ත‍්‍රයට සීමා කලහ.

21 වැනි සංශෝධනයේ ප්‍රමුඛතම “ප්‍රජාතන්ත්‍රවාදී” අංගය වන්නේ ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම බව වික්‍රමසිංහ ආන්ඩුව අවධාරනය කර ඇත. මෙය, රාජ්‍ය පරිපාලනයේ ඉහල නිලධාරීන් පත්කිරීමට සෘජුව බලපෑම් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දුන්, පසුගිය රාජපක්ෂ පාලනය විසින් සම්මත කර ගත් 20 වැනි සංශෝධනයේ වගන්තියක් ඉවත් කරයි.

නව සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට වගකියන ව්‍යවස්ථාදායක සභාව (ව්‍යස) විසින් රාජ්‍ය සේවා, ජාතික පොලිස් සහ මැතිවරන ඇතුලු කොමිෂන් සභා නවයකට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කරනු ඇත. එහි, අගමැති, කථානායක, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මන්ත්‍රීවරයකු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කරන ලදුව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මහාචාර්යවරයකු, පාර්ලිමේන්තු බහුතර එකඟතාවෙන් පත් කරන ලද මන්ත්‍රීවරයකු, විපක්ෂ නායක සහ ඔහු විසින් තෝරා පත් කරන ලද මන්ත්‍රීවරයෙකු ඇතුලු සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් පත් කරන ලද අයෙකු සහ ලංකා වානිජ මන්ඩලය විසින් පත් කරන ලද නියෝජිතයෙකු ද ඊට ඇතුලත් ය.

අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරනයේ සහ අභියාචනාධිකරනයේ විනිසුරුවරුන් සහ පොලිස්පති වැනි ඉහල නිලධාරීන් සඳහා නම් යෝජනා කිරීමේ බලය ද ව්‍යවස්ථාදායක සභාව ට ඇත.

මෙම වෙනස්කම් කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායක සභාවෙහි පලමුව සඳහන් සාමාජිකයින් හය දෙනා ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හෝ තමා විසින් සෘජුවම පත් කරනු ලබන බැවින්, ජනාධිපතිට සෘජුව හෝ වක්‍රව බලපෑම් කල හැකිය. එබැවින් සභාව, ජනාධිපති, පාර්ලිමේන්තුව සහ මහා ව්‍යාපාරිකයන් විසින් ආධිපත්‍යය දරන අතර එහි සැබෑ ස්වාධීනත්වයක් නොමැත.

2019 නොවැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමයේ පුලුල් ඒකාධිපති බලතල තවත් පුලුල් කල 20 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙන ලදී. අග්‍රාමාත්‍යවරයා ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමේ සහ ඕනෑම අමාත්‍යාංශයක් පවරා ගැනීමේ බලය මෙයට ඇතුලත් වේ. වඩාත් වැදගත් කරුන නම්, පත්වී වසර දෙකහමාරකට පසු ඕනෑම ආන්ඩුවක් විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබීමයි. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී බලතල නොනැසී පවතී.

විධායක ජනාධිපති ක්‍රමය මුලින්ම පිහිටුවන ලද්දේ 1978 ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසිනි. වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති වික්‍රමසිංහ, එම පාලනයේ ඇමතිවරයෙකි. එය, පාර්ලිමේන්තුව තථ්‍ය රබර් මුද්‍රාවක් බවට පත් කල අතර ජනාධිපතිවරයාට පුලුල් බලතල ලබා දුන්නේය. ජනාධිපතිවරයා සියලු සන්නද්ධ හමුදාවන්හි අන දෙන නිලධාරියා වන අතර, ඔහුට යුද ප්‍රකාශ කල හැකිය, මර්දන නීති පැනවිය හැකිය.

'විවෘත වෙලඳපොල' ආර්ථික ප්‍රතිපත්ති පැනවීමට සහ රට ලාභ ශ්‍රම වේදිකාවක් බවට පරිවර්තනය කිරීමට වඩා ශක්තිමත් ජනාධිපති බලතල අවශ්‍ය බව ජයවර්ධන ගනනය කලේය. මෙහි අරමුන වූයේ, ආයාසයෙන් දිනාගත් සමාජ අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට කම්කරුවන් දක්වන ප්‍රතිරෝධය මැඩලීමයි.

17 වසරක සිය පාලන කාලය තුල එජාපය සිය සමාජ ප්‍රහාරයන්ට එරෙහි සියලු විරුද්ධත්වය නිර්දය ලෙස මර්දනය කලේය. 1980 දී එය රාජ්‍ය සේවකයින් 100,000 ක් දොට්ට දමන ලද අතර ඔවුන්ගේ වැඩි වැටුප් සඳහා වූ මහා වැඩ වර්ජනය තලා දැමීය. දෙමල සුලුතරයට එරෙහිව සිදුකල ක්‍රමානුකූල වාර්ගික ප්‍රකෝප කිරීම්වල ප්‍රතිඵලය වූයේ, එල්ටීටීඊයට එරෙහි 26 වසරක යුද්ධය පුපුරා යාම යි. 1987-1990 දී, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වර්ගවාදී ප‍්‍රකෝපකරනයන් කඩතුරාව ලෙස යොදා ගනිමින්, එජාපය දිවයිනේ දකුනේ රැකියා විරහිත ග‍්‍රාමීය තරුනයින්ට එරෙහිව ප‍්‍රචන්ඩ මර්දන රැල්ලක් මුදා හරිමින් 60,000 ක් පමන සමූල ඝාතනය කලේය.

විධායක ජනාධිපති ක‍්‍රමයට සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයට එරෙහි ජනතා විරෝධය පුපුරන මට්ටමට නැඟීමත් සමග, අනුප්‍රාප්තික පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ වෛරයට ලක් වූ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ප‍්‍රතිඥා දුනි. කෙසේ වෙතත්, ඔවුන් බලයට පත් වූ වහාම මෙම පොරොන්දු ඉවත දමන ලදී.

ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කවදාද සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමට එහි අඩංගු විධිවිධාන මොනවාදැයි විමසමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ), යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් නිතරම තම අමාත්‍යාංශයට පැමිනි බව ශ්‍රී ලංකාවේ අධිකරන ඇමති විජයදාස රාජපක්ෂ ඔක්තෝබර් 8 දා පාර්ලිමේන්තුවේදී පිලිගත්තේය.

මෙම ජාත්‍යන්තර බලපෑම් ලිහිල් වනු ඇති නමුත් එම සංශෝධනය සම්මත වුවහොත් ජාමූඅහි මූල්‍ය ආධාර ලබාගැනීමට එය ඉවහල් වනු ඇතැයි ඔහු පැවසීය.

කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය මගින් උග්‍ර කර ඇති ශ්‍රී ලංකාවේ ව්‍යසනකාරී ආර්ථික අර්බුදය සමනය කිරීමට ජනාධිපති වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව මේ වන විට ජාමූඅ වෙතින් හදිසි නයක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන සැලකිල්ලක් නොදක්වයි. කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රාග්ධනයේ ම්ලේච්ඡ කප්පාදු ඉල්ලීම් ක්‍රියාවට නංවද්දී, ආන්ඩුවට එරෙහිව මතුවන මහජන විරෝධය අපසරනය කිරීමට ඊනියා යහපාලන ක්‍රියාමාර්ගවල මවාපෑම උපකාරී වනු ඇතැයි ඔවුහු ගනනය කරති.

විපක්‍ෂයේ සියලුම පාර්ලිමේන්තු පක්‍ෂ, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තම බලවත් සහයෝගය පල කර තිබේ. ජාමූඅහි කප්පාදු සඳහා පාලක හා විරුද්ධ පක්ෂවල ද්විපාර්ශ්වික එකඟතාවය ඉස්මතු කරන්නේ, ඔවුන් බලයට පැමිනියහොත් සමාජ විරෝධය තලා දැමීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය භාවිතා කිරීමට ඇති සූදානම යි.

විරුද්ධ පක්ෂ විසින් නව සංශෝධනය අනුමත කරමින් එල්ල කරන සීමා සහිත විවේචන පවා සම්පූර්නයෙන්ම ව්‍යාජ ය.

පාර්ලිමේන්තු විවාදය අතරතුර, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කලේ: “අපි මේ සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනවා, මොකද අපිට මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න උදව් කරන්න ඕන නිසා.” වෙනත් වචන වලින් කිවහොත්, ඔහුගේ ප්‍රධාන උත්සුකය වන්නේ ජාමූඅ සතුටු කිරීමයි.

ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ විධායක බලතල වැඩි කරන සංශෝධනවලට මීට පෙර සහාය පල කල බවට විවේචන එල්ල කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සංශෝධනයට සහය පල කලේය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක [Photo: Facebook]

එවකට එජාපයේ කොටසක් වූ සජබ නායකත්වය මෙන්ම ජවිපෙ ද, එල්ටීටීඊයට එරෙහි 26 වසරක වර්ගවාදී යුද්ධයට සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු ඒ ආශ්‍රිත සියලුම මර්දන නීතිවලට සෘජුවම සහාය දුන්හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැවත නැවතත් බලාත්මක කල අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා නියෝග ද, වැඩ වර්ජන තහනම් කිරීමට සහ කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය ද මෙම සංවිධාන නිහඬව අනුමත කලහ. ඛනිජ තෙල්, විදුලිබල සහ සෞඛ්‍ය සේවකයින්ට අත්‍යවශ්‍ය මහජන සේවා නියෝග සහ වර්ජන තහනම් කිරීමේ නියෝග පැනවීමේ දී ජනාධිපති වික්‍රමසිංහට ද ඔවුන් එවැනිම සහයෝගයක් ලබා දුන්හ.

දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එම්. ඒ. සුමන්තිරන්, නව සංශෝධනය විවේචනය කරමින්, තම පක්ෂයට කිසිදු “ව්‍යවස්ථාමය පැලැස්තර දැමීමකට” සහාය දීමට අවශ්‍ය නැති බව ප්‍රකාශ කලේය. කෙසේ වෙතත්, දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලහ. මේ කිසිවකට, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම හා සම්බන්ධයක් නැත. ජාමූඅ කප්පාදුවට සහාය දෙන එක්සත් ජනපද ගැති පක්ෂයක් වන ටීඑන්ඒ හි උත්සුකය වන්නේ, දෙමල ප්‍රභූව සමග බලය බෙදාගැනීමේ සැකැස්මක් සඳහා ව්‍යවස්ථාමය වෙනස්කම් හඳුන්වා දෙන ලෙස කොලඹට බලපෑම් කිරීමයි.

ඔවුන්ගේ පැත්තෙන්, ආන්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු පක්ෂ සමඟ පෙලගැසී සිටින වෘත්තීය සමිති, මෙම ව්‍යවස්ථාමය වෙනස් කිරීම් නිශ්ශබ්දතාව මගින් අනුමත කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන කිසිදු කොටසක් ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තිය තුල නැත. 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිල නිදහස ලැබීමේ සිට, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු, කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල හා මුස්ලිම් විරෝධී ප්‍රකෝප කිරීම් අවුලුවන අතරම, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා හදිසි නීති බලතල ක්‍රමානුකූලව භාවිතා කර ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ව්‍යාජ වාම කන්ඩායම්වල සහ වෘත්තීය සමිතිවල පිටුබලය ලබන ආන්ඩුවේ සහ විරුද්ධ පක්ෂවල දේශපාලන උපාමාරු ප්‍රතික්ෂේප කරයි. මෙම කුමන්ත‍්‍රනය පිටුපසින් වික‍්‍රමසිංහ තන්ත‍්‍රය සූදානම් වන්නේ, එහි කප්පාදු පිලිවෙත් වලට වැඩකරන ජනතාව විසින් එල්ල කරන ඕනෑම විරුද්ධත්වයක් නිර්දය ලෙස මර්දනය කිරීමට ය.

විධායක ජනාධිපති ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථාව වහාම අහෝසි කරන ලෙස සසප ඉල්ලා සිටී. මහජන ආරක්ෂක පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත ඇතුලු සියලුම මර්දන නීති ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. සසප සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටී.

සසප යලි යලිත් පැහැදිලි කර ඇති පරිදි, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, සියලු වැඩකරන ජනතාවගේ සමාජ අයිතීන් සඳහා වන අරගලයෙන් වෙන් කල නොහැකි ය.

මෙම ඉල්ලීම් සඳහා අරගලය ඉදිරියට ගෙනයාමට නම් කම්කරු පන්තිය ධනේශ්වර පක්ෂවලින් බිඳී තමන්ගේම ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගැන්විය යුතුය. වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, සියලුම වැඩපලවල, අසල්වැසි ප්‍රදේශවල සහ ගම්බද දුගීන් අතර ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය වේ.

කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ සම්මේලනය ගොඩනැගීම තුලින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා අරගලයට මාවත විවෘත කරනු ඇත.

අප කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් සහ පීඩිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම දේශපාලන අරගලය සියතට ගෙන, සසපට බැඳී, මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස එය ගොඩනගන ලෙසයි.

Loading