කම්කරු කාන්තාවක් ඇඟලුම් කර්මාන්තයේ රුදුරු සූරා කෑම ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

රැකියාව අහිමි ව සිටින ඇඟලුම් කම්කරු කාන්තාවක් සේවා කාලය තුල ඇය අත්විඳි දුෂ්කර සේවා කොන්දේසි සහ රැකියාව අහිමිවීමෙන් දැන් මුහුන දී සිටින ජීවන අරගලය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලාය. ඇය කොග්ගල පිටිදූව ගමේ ජීවත් වන 40 වියැති අවිවාහක කාන්තාවකි. පිටිදූව, කොග්ගල නිදහස් වෙලඳ කලාපය ආසන්නයේ පිහිටි දුෂ්කර ගම්මානවලින් එකකි.

වෙලඳ කලාපය අවට තිබෙන මෙම ගම්මානවල බහුතරයක් වැඩිහිටි සහ තරුන, කාන්තාවෝ සහ පිරිමි කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ රැකියාවන් හි නිරතව සිටින්නෝය. ඇඟලුම් සේවිකාවක් ලෙස වසර 21 කම්හල් කිහිපයක රැකියාවේ යෙදුන ඇයගේ රැකියාව සැප්තැම්බර් මාසයේ අහිමි වන විට ඇය සේවය කරමින් සිටියේ කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ ට්රෙන්ඩ් සෙටර් ඇඟලුම් කම්හලේ ය. එය සැප්තැම්බර් 9 වෙනිදා වසා දැමීම නිසා ඇයත් ඇතුළුව කම්කරුවන් 300 ට පමන රැකියා අහිමි විය.

ට්රෙන්ඩ් සෙටර් සමාගම විසින් පාලනය කල බෙලිඅත්තේ සහ බෙලිඅත්ත, සිටිනාමළුව කාර්මික උද්‍යානයේ පිහිටි ඇඟලුම් කම්හල් දෙක ද වැසීම නිසා තවත් කම්කරුවන් 1000 ට පමන රැකියා අහිමි වී ඇත. ඊට පෙරාතුව කොග්ගල අවුරා ඇඟලුම් කම්හල සහ එස්කුවෙල් සමාගම විසින් පාලනය කල යක්කල, කොග්ගල, කෑගල්ල සහ ජාඇල ඒකල කම්හල් වැසීමෙන් 6,500 අධික කම්කරුවන් ගේ රැකියා අහෝසි කෙරුනි. මෙම කම්කරුවන්ගේ රැකියා අහෝසිය ශ්‍රී ලංකාවෙත් ජාත්‍යන්තරවත් ලක්ෂ සංඛ්‍යාත ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ සමාජ අයිතීන් ට එරෙහි පුලුල් ප්‍රහාරයක කොටසකි.

අහස උසට නැගෙන ජීවන වියදම් බරින් මැඩී සිටින කම්කරුවෝ තම පවුල් සාගින්නෙන් බේරා ගැනීම සඳහා රැකියා සෙවීමේ අරගලයක යෙදී සිටිති.

සමාජවාදී සමානතා පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩ නැගුනු කොග්ගල නිදහස් කලාපයේ ක්‍රියාකාරී කමිටුව කම්කරුවන්ගේ රැකියා හා වැටුප් රැකීමේ අරගලයක මූලිකත්වය ගෙන ඇත.

(ආරක්ෂාව පිලිබඳ කරුනු සලකා අප වාර්තා කරුවන් සමග කතාකල සේවිකාවගේ නම මෙහි පල නොකරමු)

අප වාර්තාකරුවන් සමග කතාකල කම්කරු කාන්තාව ඇගේ ජීවන අරගලයේ අත්දැකීම් මෙසේ විස්තර කලාය: මා ඉපදුනේ පිටිදූව ගමේ. මට සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. ඒ අය විවාහකයි. මට ඉගෙන ගන්න ලැබුනේ අපොස සාමාන්‍ය පෙල දක්වා පමනයි. වැඩ පහයි සම්මාන දෙකකුත් එක්ක විභාගය පාස් වුනත් පවුලේ ආර්ථික අමාරුකම් නිසා ඉගෙනීම නතර කරලා රැකියාවකට යන්න වුනා. පාසැල් අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුනුවක් එතනින් එහාට කරන්න ලැබුනේ නැහැ. මගේ අක්කලා දෙන්නගේ තත්ත්වයත් ඒකයි. තාත්තා අපිව ජීවත් කලේ කුලී වැඩ කරලා. අම්මා රැකියාවක් කලේ නැහැ. මම මුලින් ම රැකියාවට ගියේ කොග්ගල පොලිටෙක්ස් (පසුව එස්කුවෙල් නමින් හැඳින් වූ) එකට. ඒ 2001 අවුරුද්දේ. එතකොට මගේ වයස අවුරුදු 19 ටත් අඩුයි. මාස දෙකයි එතන වැඩ කලේ'

“ඊට පස්සේ ඒ අවුරුද්දෙම ඒෂියා ටෙක්ස්ට් එකට ගියා. එතන අවුරුදු පහ හමාරක් වැඩකලා. 2005 දී කිසිම දැනුම් දීමක් නැතුව එක රැයකින් ෆැක්ටරිය වැහුවා. අපිට පඩි දෙන්නේ 10 වෙනිදට. අපි නව වෙනිදත් වැඩ කලා. දහවෙනිදා වැඩට යනකොට ගේට්ටු වහලා. පස්සේ පඩි ගන්න හැමතැනම රස්තියාදු වුනත් සත 5 ක් වත් හම්බ වුනේ නැහැ. අවසාන මාස දෙකේ පඩියවත් දුන්නේ නැහැ. අපි කම්කරුවන් 300 ට රක්ෂාව නැතිවුනා” යැයි ඇය පැවසුවා ය.

උදේ ට තේ කෝප්පයක් පමනක් බී වැඩට යාමට සිදුවූ බවත්, ඒෂියා ටෙක්ස් හි රැකියාව කරද්දී කම්හලෙන් කිසිදු ආහාරයක් නොලැබුනු බවත් ගෙදරින් රැගෙන යන කුමකින් හෝ උදේ ට සහ දවල්ට සෑහීමට පත්වූ බවත් පැවසුවාය. 'උදේ තේ විවේකයට දුන්නේ මිනිත්තු 15 යි. දවල් කෑමට මිනිත්තු 30 යි. ඒ ඇරුනාම, කිසිම විවේකයක් නැතිව වැඩ කරන්න ඕන. හවස 5.30 වැඩ ඇරෙන වෙලාව වෙනකොට අත පය, හන්දි රිදෙනවා. ගෙදර ගියහම වෙනත් අධ්‍යාපන කටයුත්තක් හෝ විනෝදයට කිසිවක් කරන්න තරම් ඇඟට පනක් නැහැ. රෑට කෑම කනකොට ගෙදර තිබුන ටීවී එක බැලීම තමා එකම විනෝදාස්වාදය. කොපමන මහන්සිවෙලා වැඩකලත් ඒ දවස් වල මාසේ පඩිය රුපියල් 15,000 - 16,000 ට වැඩිය නැහැ”.

පසුව ඒෂියා ටෙක්ස්ට් කම්හල වසා දැමීමෙන් තමා ලද අමිහිරි අත්දැකීම තමාට කිසිදා අමතක නොවන බව පැවසූ ඇය 2006 දී එවකට පැෂන් ගාමන්ට් නමින් හැඳින්වූ (පසුව ට්රෙන්ඩ් සෙටර්) ඇඟලුම් කම්හලේ රැකියාවට ගිය බවත් එදින සිට සැප්තැම්බර් නවය කම්හල වසනතුරු එහි වැඩකල බවත් ඇය සඳහන් කලාය.

'ඕඩර් අඩුවීම නිසා 2011 දීත් පැක්ටරිය වැහෙන තත්වයට අවා. ඒක වලක්වා ගත්තේ කම්කරුවන්ගෙන් වියදම කපල. ෆැක්ටරියෙන් දුන්න ප්රවාහන පහසුකම් නතර කලා. මෙහෙ ඉඳල කලාපෙට බස් තිබුනේ නැහැ. ඒ නිසා අවුරුද්දක් විතර වැඩට ගියේ නැහැ. 2012 ජනවාරි මාසේ ආපහු වැඩට ගියා. සැප්තැම්බර් මාසේ වහන තුරු ම වැඩකලා'.

උදේ 7.45 ට සේවයට වාර්තා කර සවස 5 වන තුරු වැඩ කල යුතුව තිබුන බවත් උදේ සහ දහවල් දෙකට ම කෑම විවේකය ලැබුනේ විනාඩි 45 ක් බවත් ඇය කීවාය. එසේ වුවද, මාසේ පඩිය ලෙස ලැබුනේ රුපියල් 27,000ක් බව ද. සෙනසුරාදා රෑ වැඩමුරය කලොත් රුපියල් 30,000 ක් පමන ලැබුන බවද ඇය පැවසුවාය.

'වයස 74ක් වූ තාත්තයි 73 ක අම්මයි රැක බලා ගත්තෙත් ඒ ආදායමින්. සහෝදරියන් ගේ දරුවන් ට කිරිපිටි පැකට් එකක් අරගෙන දෙන එකත් මගේ යුතුකමක් විදිහට සැලකුවා.' ඇය, ඇගේ දෙමාපියන්, සහෝදරියන් ගේ පවුල් සියලු දෙනාමත් ජීවත් වෙන්නේ කුඩා නිවසකය. එක් සහෝදරියකගේ සැමියා රියැදුරෙකි. ඔහුට ද රැකියාව අහිමි වී ඇත. අනෙක් සහෝදරිය බැංකුවක පිරිසිදු කරන්නියක් ලෙස වැඩ කරයි. ඇගේ සැමියා බූස්ස තොග ගබඩාවක සේවකයෙකි. ආර්ථික අර්බුදය තුල බඩු ගොඩබෑම අඩු වී ඇති නිසා ඔහුටත් වැඩ ලැබෙන්නේ සතියක ට දින තුනක් බව ද ඇය පැවසුවාය. දැන් සියලු දෙනාගේම ජීවිතය ගැටගසා ගන්නේ ගෙදර හදන කැවිලි විකිනීමෙනි.

'මම වැඩ කරපු නිසා දෙමව්පියන්ගේ සමෘද්ධියත් කැපුවා. වයස 70වට වැඩි අයට දෙන වැඩිහිටි දීමනාව ඉල්ලුම් කලත් ඒක දුන්නෙත් නැහැ. වැඩට යන කාලේ ග්‍රාමීය බැංකුවේ කීයක් හරි දැම්ම අනාගතය වෙනුවෙන් කියල හිතලා. ඒ මුදල් ගන්න දැන් බැංකුවේ සල්ලි නැහැලු. මාස තුනකට එක ගෙදරක එක තැන්පත්කරුවෙකුට දෙන්නේ රුපියල් 3500 යි. ඔක්තෝබර් මාසේ රුපියල් 3500 ක් ගත්ත. ආයේ ගන්න වෙන්නේ දෙසැම්බර් මාසේ. දැන් මාසෙකට ලයිට් බිල විතරක් රුපියල් එක්දහස් හත්සිය පනහක් එනවා. කලින් ආවේ රුපියල් 500 - 600 ක් විතර.

'ෆැක්ටරියෙන් ලියුමක් එවල තියෙනවා වෙනින් පැක්ටරියක වැඩට ගියොත් මූලික වැටුප දෙන්නෙ නැහැ කියලා. ඒත් තාම වැඩ කරපු මාසේ පඩිත් නැහැ .වහලා තියෙන කාලෙ දෙනවයි කියපු මූලික පඩියත් නැහැ. ස්ත්‍රී මධ්‍යස්ථානයෙන් (රාජ්‍ය නොවන සංවිධානයක්) පඩි නොගෙවීමට විරුද්ධව නඩුවක් දාලා තියෙනව. විසඳුමක් ලැබෙයි කියල විශ්වාසයක් නැහැ. ගෙදරට වෙලා මොකද කරන්නේ කියා හිතා ගන්නවත් බැහැ'යැයි ඇය පැවසුවාය.

Loading