ගෙවන වාට්ටු ඇති කිරීමේ ඇමතිගේ යෝජනාව පෞද්ගලීකරනයේ තවත් පියවරක්! සෞඛ්‍ය සේවාව රැකගැනීමට සියලු සෞඛ්‍ය ආයතනවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

ලංකාවේ පැවති සියලුම ධනපති ආන්ඩු වල ප්‍රතිපත්ති මගින් දැන් නිදහස් සෞඛ්‍ය සේවය කඩාවැටීමේ අද්දරට තල්ලු කර ඇත. ඉතිරිව පවතින අංශ ද පෞද්ගලීකරනයට වත්මන් ආන්ඩුව පිඹුරු පත් සකස් කරමින් සිටින බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය මාසයේ එකොනොමිනෙක්ස්ට් වෙබ් අඩවියට කල ප්‍රකාශවලින් හෙලිවේ.

2022 අප්‍රේල් 28 මහජන ව්‍යාපාරයට සහාභාගී වූ මහනුවර රෝහලේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ.

රඹුක්වැල්ල පවසා ඇත්තේ තෝරාගත් රෝහල් කිහිපයක සියයට 30 දක්වා ප්‍රමානයක් මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගැනීමට වෙන්කිරීම සඳහා ඔහු උත්සාහ කරමින් සිටින බවයි. ඔහු ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, පෞද්ගලික අංශයෙන් සේවා ලබා ගැනීමේදී රෝගීන්ට විශාල වියදමක් දරන්නට වන නිසා, ඊට වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් රජයේ රෝහල් වලින් වඩා අඩු මුදලකට ලබා දීම බවයි. මුදල් නැති අයට ඉන් සහනයක් ලබා දිය හැකි බව ඔහු තවදුරටත් පවසයි.

මෙය සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කිරීමේ ආරම්භයක් ලෙස ද සැලකිය හැකි බව කී රඹුක්වැල්ල නිදහස් සෞඛ්‍ය සේවය 'ඉදිරි අවුරුදු 10 තුල කොයි තරම් දුරට ගෙන යා හැකිදැයි අප බරපතල ලෙස සිතා බැලිය යුතු' යයි යෝජනා කලේය. උදේ 8 සිට සවස 4 වනතුරු රෝහල් නිදහස් සෞඛ්‍ය සේවයට විවෘත කර තබා, අනතුරුව සවස 4 සිට පසුදා උදේ 8 දක්වා මුදල් අයකර විශේෂඥ සේවා ලබාදී වෛද්‍යවරයාට මෙන්ම අනෙකුත් කාර්ය මන්ඩලයට ද ගාස්තුවක් ගෙවීමට හැකියැයි සෞඛ්‍ය ඇමති පවසා තිබේ.

ඔහුගේ මෙම හේතු දැක්වීම ව්‍යාජයකි. ඔහු සෞඛ්‍ය ඇමති ධුරය දැරූ ආන්ඩු හා අනෙක් පාලනයන් ද දිගින් දිගටම කර ඇත්තේ නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමකි. හෘද හා වකුගඩු රෝගීන් ඇතුලු තවත් රෝගීන් දහස් ගනනකට, තම ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල වසර ගනනාවක් රැඳී සිටීමට සිදුවීම හා ඉන් සමහර රෝගීන් ශල්‍යකර්ම වලට පෙරම මියයාම මගින් මෙය ගැඹුරින්ම ප්‍රකාශයට පත්වෙයි.

කොරෝනා වසංගතය තුල ද සියලු සෞඛ්‍ය කාර්ය මන්ඩල අවශ්‍ය පහසුකම් නොමැති වීමෙන් වෛරසයට ගොදුරු වූ අතර ඔවුන් ට අධික වැඩ බර පැටවුනි. සෞඛ්‍ය සේවකයින් දුසිම් ගනනක් අකාලයේ ජීවිතක්ෂයට පත්වීමට එම කප්පාදුව බලපෑවේ ය. වසංගතයට ලක්ෂ ගනනක් නිරාවරනය වී දහස් ගනනක ජීවිත විනාශ වීමට ද එම සෞඛ්‍ය සේවා කප්පාදුව හේතු විය.

රජයේ සෞඛ්‍ය සේවයෙහි වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ පුරප්පාඩු තිබියදීත්, ආන්ඩුවේ ඩොලර් අහේනිය පියවා ගනුවස්, ඉන් සිය ගනනකට පඩි රහිත නිවාඩු ලබා දී විදේශ රටවල සේවයට යාමට ඉඩ සලසා ඇත්තේ එම කප්පාදුවේ ම කොටසක් ලෙසිනි.

රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවකයින් සහ ප්‍රතිකාර සඳහා පැමිනෙන රෝගීන් නිරතුරුවම මාධ්‍යයන්ට ප්‍රකාශ කර සිටින්නේ, ඖෂධ, උපකරන සහ පහසුකම් වල හිඟයෙන් සමස්ත රෝහල් පද්ධතියම ගරා වැටී ඇති බවත්, සමහර ශල්‍යකර්ම නවතා දමා ඇති බවත් ය.

400 ක් පමන වන අත්‍යවශ්‍ය ඖෂධ වලින් 92 ක් ම රජයේ රෝහල්වල නොමැතිබව පාර්ලිමේන්තු විවාදයක් තුල දී සෞඛ්‍ය ඇමැති පිලිගත්තේය.

රජයේ රෝහල් තුල සිදුවීගෙන යන මෙම කඩාවැටීම මහජනතාවගෙන් වසන් කිරීමටත්, කප්පාදුව නිසා සෞඛ්‍ය ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් මුහුනදෙන රුදුරු වැඩ කොන්දේසි හෙලිවීමෙන් ඇතිවිය හැකි ඒකාබද්ධ අරගලයක් වැලැක්වීම සඳහාත්, වික්‍රමසිංහ ආන්ඩුව රජයේ සේවකයින්ට මාධ්‍ය වාරනයක් ද පනවා ඇත.

මෙම පෞද්ගලීකරන වැඩපිලිවෙලට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඇතුලු බොහෝ වෘත්තීය සමිති ආන්ඩුවට නිහඬව සහයෝගය දෙති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මාධ්‍යයට අදහස් දක්වමින් ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩපිලිවල ඍජුවම අනුමත කර ඇත. 'සල්ලි තියෙන මිනිහා ඇවිත් නොමිලේ බෙහෙත් ගන්නවා, සල්ලි නැති මිනිහා ඇවිත් නොමිලේ බෙහෙත් ගන්නවා, මේක හරි අසාධාරන සිස්ටම් එකක්' යයි ඔහු මෑතදී මාධ්‍යට පැවසුවේය. බෙල්ලන ගේ මේ ප්‍රකාශ ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්ති වලට තල්ලුව දීමකි.

බෙල්ලන කියන මේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි ධනපති කොටස් මේ වන විටත් ලංකාවේ පෞද්ගලික රෝහල් වලින් හෝ විදේශීය රෝහල් වලින් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.

මේ වන විට ලංකාවේ සමස්ත ආර්ථිකය කඩා වැටී ඇති තත්ත්වය තුල ජනගහනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමානයක් දරිද්‍රතා මට්ටමෙන් පහලට වැටී ඇති බව සමීක්ෂන වාර්තාවලින් හෙලි වී ඇත. මීට පෙර යම් ආදායම් මට්ටමක් තිබූ පිරිසගෙන් ද බහුතරයක් තමන්ගේ සෞඛ්‍ය සඳහා පෞද්ගලිකව වියදම් කිරීමට නොහැකි බැවින් රජයේ රෝහල් වෙත යොමු වෙමින් සිටි.

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්බී මැදවත්ත, ද මෝනින් පුවත්පතට පවසා තිබුනේ, පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පුලුල් කල යුතු නිදහස් සෞඛ්‍ය සේවාව, පෞද්ගලීකරනය කිරීමට රජය සූදානම් වන බවත් එවැනි ඕනෑම ක්‍රියාමාර්ගයන් පරාජය කිරීම සඳහා දැවැන්ත අරගලයක නිරත වන බවත් ය. දැවැන්ත ක්‍රියා මාර්ගය ඔහු හෙලිකර නැත.

ආන්ඩුවට බලපෑම් යොදා පෞද්ගලීකරනය නැවතිය හැකියැයි කියන බංකොලොත් ක්‍රම උපාය මේ වන විටත් ඇති තරමින් හෙලිදරව් වී ඇත. වරාය සහ ඛනිජ තෙල් වැනි අංශ පෞද්ගලීකරනය කිරීමේදී එයට එරෙහිව පැනනැගි කම්කරු සටන්, මෙම බලපෑම් යෙදීම තුල කොටුකල වෘත්තීය සමිති නිලධරය අවසානයේදී ඒවා පාවා දුන්හ.

සමස්ත ලංකා හෙද සංගමය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙහෙයවන වෘත්තීය සමිතියකි. ජවිපෙ දැන් උද්ඝෝෂනය කරන්නේ මැතිවරනයක් මගින් බලයට පැමින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධාන ක්‍රියාවට දැමීමටය. මැදවත්ත ගේ පුච්චානම් දෙඩවිල්ල සෞඛ්‍ය සේවය හා අනෙකුත් සමාජ අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව නැගෙන කෝපය දියකර දැමීමට හා ජනතා විමුක්ති පෙරමුනේ මැතිවරන උද්ඝෝෂනය තුලට ගාල්කර දැමීමට එල්ල වූවකි.

අප සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව, සෞඛ්‍ය ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ට පෙන්වා දෙන්නේ, ලංකාව තුල, සෞඛ්‍ය, අධ්‍යාපන, වරාය, ඛනිජ සහ විදුලිබල ක්ෂේත්‍රයන් තුල සිදු කෙරී ගෙන යන පෞද්ගලීකරනය ගෝලීයව කම්කරු පන්තිය වෙත එල්ල කරන ප්‍රහාරයේ කොටසක් බවයි.

මහා ධනපතීන්ගේ ලාභ තර කිරීමේ ප්‍රතිඵල ලෙස ඇතිවී ඇති ආර්ථික අර්බුදයේ බර, ලොව පුරා පාලකයින් විසින්, පසුගිය දසක කිහිපය පුරා කම්කරුවන් මත පටවමින් සිටී. කොරෝනා වසංගතයෙන් එම ආර්ථික අර්බුදය තීව්‍ර කෙරුනු අතර, ඇමරිකා එක්සත් ජනපදය සහ නේටෝව විසින් අරඹා ඇති රුසියාවට එරෙහි යුද්ධය මගින් එය තවදුරටත් ගැඹුරු කෙරී ඇත.

රඹුක්වැල්ලගේ ප්‍රකාශයන් මගින් පෙන්නුම් කෙරෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි කර දැමීමේ දුරදිග යන සැලසුම් සකස් කෙරෙමින් පවතින බවයි.

විශේෂයෙන්ම, ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ සූරාකෑම සඳහා 1977 විවෘත වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමත් සමග ක්‍රමානුකුලව සෞඛ්‍ය සේවය පුද්ගලික ආයෝජනයන්ගේ ලාභ උල්පතක් බවට පත්කලේ, පුද්ගලික රෝහල් හා රසායනාගාර සේවා සඳහා ඉඩසැලසීමෙන් මෙන්ම ආන්ඩුවේ රෝහල් සේවය කප්පාදු කිරීම ගැඹුරු කිරීමෙනි.

දැන් පෙරනොවූ විරූ අර්බුදයක ගිලී සිටින ලංකාවේ ධනපති පන්තිය හා එහි ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත මුර්ග කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාවට දැමීම අරඹා ඇත. සෞඛ්‍ය ඇමති එලියට දමන්නේ මෙම නියෝග අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ක්‍රියාවට දැමීමට නියමිත ආන්ඩුවේ සැලසුම් ගැනයි.

එබැවින් අප සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍යය ඇතුලු මෙම සමාජ සේවාවන් ආරක්ෂා කරගැනීම සඳහා සමස්ත කම්කරු පන්තියේ බලය ගොනු කර ගත් සටනකට අවතීර්න වන ලෙසයි.

පසුගිය අප්‍රේල්-ජූලි මාසවල ලංකාවේ කම්කරුවන් හා දුගීන් දස ලක්ෂ සංඛ්‍යාතව අරගලවලට ආවේ බලයේ සිටි ආන්ඩුව පලවා හැරීමට මෙන්ම තමන් මුහුන දී සිටින සමාජ ව්‍යසනය නතර කිරීමටය. එහෙත්, සෞඛ්‍ය අංශයේ සියලු සමිති අනෙක් අංශවල සමිති සමග එක්ව කම්කරුවන්ගේ අරගල එක්දින වර්ජනවලට කොටුකර, විපක්ෂ සමගි ජන බලවේගයේ හා ජවිපෙ හි අන්තර්වාර ධනපති ආන්ඩු යෝජනාවලට යොමුකර පාවා දී, ප්‍රහාර තවත් උත්සන්න කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවට පාර කැපූහ.

ධනපති පන්තියේ සහ ආන්ඩුවේ මුක්කු බවට පත්ව සේවක අයිතීන් යටපත් කිරීමට හා පාවාදීමට ක්‍රියා කරන වෘත්තීය සමිතිවලින් බිඳී කම්කරුවන් ස්වාධීනව සංවිධානය විය යුතු බව සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව සියලු සෞඛ්‍ය සේවකයන්ට අවධාරනය කරයි. ශ්‍රේනි සහ වෘත්තීය වශයෙන් සේවකයන් බෙදා වෙන් කිරීමට වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ ඔවුන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම වලක්වමින් ඔවුන් අතර භේද වැපිරීමටය.

වෘත්තීය සමිති හා ඒවායේ නිලධරයේ පාවාදීම්වලට එරෙහිව තම අයිතීන් සඳහා සටනේදී තීන්දු තීරන ගැනීමේ බලය කම්කරුවන් අතට ගත හැක්කේ වෘත්තිය සමිතිවලින් හා ධනපති පක්ෂවලින් බිඳී වැඩපොලවල්වල, හා නිවහන් ප්‍රදේශ වල කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙනි.

අප දැනටමත් රෝහල් කිහිපයක එවන් ක්‍රියාකාරී කමිටු පිහිටුවා ඇත. එවන් ක්‍රියාකාරී කමිටු අනෙකුත් සෞඛ්‍ය ආයතනවල ද පිහිටුවා ගැනීමට එක්වන්න. අපි ඒ සඳහා ආධාර කිරීමට කැමැත්තෙන් සිටිමු.

Loading