ලමා මන්දපෝෂනයේ උග්‍ර මට්ටම් හෙලි කිරීම නිසා ශ්‍රී ලංකාවේ ආන්ඩුව වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කරයි

මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ ලමා මන්දපෝෂනය පිලිබඳ “අසත්‍ය” තොරතුරු ඉදිරිපත්කොට “ආන්ඩුව අපහසුතාවයට පත් කිරීම” සම්බන්ධයෙන් චෝදනා නගමින් ශ්‍රී ලංකාවේ ආන්ඩුව, හම්බන්තොට හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබේ. ආයතන සංග්‍රහයේ (ආසං) 48/31/1/15 වගන්තිය යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ (රාසේකොස) සෞඛ්‍ය සේවා කමිටුව හරහා මෙම වැඩ තහනම පනවා ඇත.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍ය වෘත්තික සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව [Photo by Chamal Sanjeewa]

සැප්තැම්බර් 21 දින, වෛද්‍යවරුන්ගේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෘත්තික සංගමයේ (එම්පීසීඒ) සභාපති වෛද්‍ය සංජීව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව ප්‍රදේශයේ කලාප කිහිපයක ලමා මන්දපෝෂනය පිලිබඳ ව ඔහු ඇතුලු වෛද්‍යවරුන් පිරිසක් විසින් කරන ලද සමීක්ෂනයක ප්‍රතිඵල ඉදිරිපත් කලේ ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), වෛද්‍ය සංජීවට එරෙහි දඩයම සහ ඔහුගේ භාෂනයේ නිදහස පිලිබඳ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කරන ලද නිර්දය ප්‍රහාරය හෙලා දකී. වැඩ තහනම් කිරීමේ නියෝගය සහ ව්‍යාජ චෝදනා වහා ම සහ කොන්දේසි විරහිතව ඉවත් කර ගෙන, ඔහු පූර්න වශයෙන් නැවත සේවයේ පිහිටුවන ලෙස සසප කියා සිටී. සසප වෛද්‍ය සංජීවගේ දේශපාලන මතවලට සහාය නොදක්වයි.

සමීක්ෂනයට ලක් කරන ලද අදාල කලාපවල ලමුන්ගෙන් සියයට 30 ක් දරුනු මන්දපෝෂනයෙන් ද, සියයට 50 ක් මද මන්දපෝෂනයෙන් ද පෙලෙන බව සැප්තැම්බර් මස පැවති මාධ්‍ය හමුවක දී තමා විසින් පැවසූ බව වෛද්‍ය සංජීව, ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දක්වමින් පැහැදිලි කලේය. කෙසේ වෙතත්, ඇතැම් මාධ්‍ය ඔහුගේ “අදාල කලාප” යන වාක්‍ය ඛන්ඩය අතහැර දමා, “හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 80 ක් මන්දපෝෂනයෙන් පෙලෙති” යනුවෙන් ඔවුන්ගේ වාර්තාවලට සිරස්තල යොදා තිබුනි.

“එම මාධ්‍ය අර්ථකථනය මත මට චෝදනා එල්ල වී තිබෙනවා” යැයි ලෝසවෙඅ ට පැවසූ ඔහු එයට මෙසේ ද එකතු කලේය: “අපගේ නිරීක්ෂනවලදී මෙම දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂනය සම්බන්ධ බොහෝ කරුනු හෙලි කිරීමට අපට හැකි වුනා. පසුගිය මාස හයක කාලය තුල මේ තත්ත්වය වර්ධනය වූ බව අප කල සම්මුඛ සාකච්ඡා තුලින් අපට දැනගන්නට ලැබුනා. අපගේ සමීක්ෂනය සම්පූර්නයෙන් ම විද්‍යාත්මක පදනමක් මත සිදු කර ඇති බව මට නිසැකවම පැවසිය හැකියි. එහි ප්‍රතිඵල ජනතාවට හෙලි කිරීම මගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.”

වෛද්‍ය සංජීව විසින් ඉදිරිපත් කරන ලද සමීක්ෂනයේ නිගමනවල දේශපාලන බලපෑම ගැන පැහැදිලි ව ම කලබල වූ ආන්ඩුව, සැප්තැම්බර් 26 වැනි දින රාජ්‍ය නිලධාරීන් පිරිසක් සූරියවැවට යැවීය. එම කන්ඩායමේ ප්‍රධානියා වූ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර වහා ම ප්‍රකාශ කලේ, ලමුන්ගෙන් සියයට 80 ක ප්‍රතිශතයක් මන්දපෝෂනයෙන් පීඩා විඳින බවට වූ ප්‍රකාශය වැරදි බව යි. කෙසේ වෙතත්, නිවැරදි සංඛ්‍යා කිසිවක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් විය.

ආන්ඩුව සහ එහි නිලධාරි හෙන්චයියන් විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ විමර්ශනයට විපරීත ව, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හේතුවෙන් රට තුල ගැඹුරුවන දරිද්‍රතාවය, මන්දපෝෂනය සහ විරැකියාව පෙන්වා දෙමින් විද්‍යාත්මකව පදනම් වූ සමීක්ෂන ගනනාවක් පල කෙරී ඇත.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතකදී කරන ලද සමීක්ෂනයකට අනුව, මිලියන 9 ක ජනතාවක් හෙවත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 40 ක් නිල දරිද්‍රතා මට්ටමට වඩා පහලට වැටී ඇත.

කොටගල ඩ්‍රේටන් වත්තේ පවුල්

හදිසි නයක් සඳහා පූර්ව කොන්දේසිය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ඉල්ලා සිටින දැඩි කප්පාදු පියවර ආන්ඩුව විසින් ක්‍රියාවට නැංවීමත් සමග සමාජ අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇත. රාජ්‍ය අංශයේ ආයතන පෞද්ගලීකරනය හරහා රැකියා දස දහස් ගනනක් විනාශ කිරීම, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් සඳහා වන වියදම් ම්ලේච්ඡ ලෙස කපා හැරීම සහ වත්මන් බදු දැල පුලුල් කිරීම මේවාට ඇතුලත් වේ. ආහාර උද්ධමනය දැනටමත් සියයට 100 ඉක්මවා ඇත.

අප්‍රේල් මාසයේ පැනනැගුනු මහජන විරෝධතා සහ වැඩ වර්ජන යලි හිස ඔසවනු ඇතැයි බියෙන් සිටින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ, විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා සිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලතල යොදා ගනිමින් සිටී. විරෝධතා දැක්වීමට එඩිතරවීම නිසා ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු මර්දනකාරී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ රඳවා තබා ගැනීමට ඔහු නියෝග කර ඇත. අත්‍යාවශ්‍ය සේවා නීති පැනවීම යටතේ විදුලිබල, ඛනිජ තෙල්, වරාය සහ සෞඛ්‍ය අංශවල වැඩ වර්ජන ඇතුලු කාර්මික ක්‍රියාමාර්ග ද ආන්ඩුව විසින් තහනම් කර ඇත.

කෝවිඩ්-19 පාලනය කිරීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයින් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයින් ආන්ඩුව විවේචනය කරන විට, පසුගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය සේවකයින්ට මාධ්‍යයට කතා කිරීම තහනම් කරමිනි.

වෛද්‍ය සංජීව දඩයමට ලක් කිරීම, ආන්ඩුවේ විවේචකයන් බිය ගැන්වීම සහ නිහඬ කිරීම ඉලක්ක කරගත් මෙම වාරනයේ දිගුවකි.

යලිත් වරක් සෞඛ්‍ය වෘත්තීය සමිති—රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය—මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරයන් සහතික කරමින්, ආන්ඩුව විසින් වෛද්‍ය සංජීව දඩයම් කිරීම සම්බන්ධයෙන් මරනීය නිශ්ශබ්දතාවයක් පවත්වා ගෙන යයි.

මිනිස් ජීවිතවලට වඩා ලාභ ඉදිරියෙන් තබමින් අනාරක්ෂිත කොවිඩ්-19 තත්ත්වයන් යටතේ වැඩ කිරීමට ජනාධිපති රාජපක්ෂ සේවකයන්ට බල කල විට, සියලු වෘත්තීය සමිති එම ප්‍රතිපත්තියට සහාය දුන්හ.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියෙන්, විශේෂයෙන්ම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, වෛද්‍ය සංජීවගේ ආරක්ෂාවට පැමිනෙන ලෙස සහ ඔහුව වහාම යලි සේවයේ පිහිටුවන ලෙස බල කරන ලෙසයි. මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම මුලුමනින්ම බැඳී ඇත්තේ, තවත් මිලියන ගනනක් දරිද්‍රතාවයට හා අගහිඟකම් කරා ඇද දමන කප්පාදු පියවරයන්ට එරෙහි දේශපාලන අරගලයක් සමග ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම්වලට සහාය දෙන ධනේශ්වර විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති හරහා එවන් අරගලයක් ගෙන යා නොහැක. වැඩ කරන ජනතාව මත මෙම ගැඹුරින් ම අපකීර්තිමත් පියවර පැටවීම වඩාත් හොඳින් කල හැක්කේ තමන්ට බව සජබ සහ ජවිපෙ කියා සිටියි.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව, වැඩ කරන ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කරන ඔවුන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. සෞඛ්‍ය සේවකයින්ට කතා කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා සෑම රෝහලක ම සහ සෞඛ්‍ය ආයතනයක ම ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අත්‍යවශ්‍ය වේ.

දරිද්‍රතාවයෙන් පෙලෙන ග්‍රාමීය ප්‍රදේශවල, ඉහල යන මිල ගනන් සහ අත්‍යවශ්‍ය භාන්ඩ හිඟය අවසන් කිරීම සඳහා සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු අවශ්‍ය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ක්‍රියාවට නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, මන්දපෝෂනය සහ වැඩ කරන ජනතාව පීඩාවට පත් කරන අනෙකුත් සමාජ අනර්ථයන් විසඳීමට කිසිවක් කල නොහැකි බවත් යන්න බොරුවකි.

මෙම දුක්ඛිත තත්ත්වය අවසන් කිරීමට සියලු සම්පත් පවතින නමුත් ඒවා ඇත්තේ සංගත ප්‍රභූව අතේ ය. සමාජවාදී මාවත් ඔස්සේ කම්කරු පන්තිය විසින් සමාජය සම්පූර්නයෙන් ප්‍රතිසංවිධානය කිරීමෙන් මෙපිට අන් විසඳුමක් නැත. සියලු විදේශ නය ආපසු ගෙවීම සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කිරීමටත්, වැඩකරන ජනතාවගේ ජීවිත සඳහා තීරනාත්මක වන සියලු ම අත්‍යාවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තහවුරු කිරීමටත් සසප කැඳවුම් කරයි.

අප අමතන ලෙස, මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට අවශ්‍ය කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් සසප ඉල්ලා සිටී.

Loading