ශ්‍රී ලංකාව තුලින් දෙවන වඳුරු උන රෝගියා ද හඳුනා ගැනේ

නොවැම්බර් 01 දා එක්සත් ඒමීර් රාජ්‍යයේ හි ඩුබායි හි සිට ලංකාවට පැමිනි 20 හැවිරිදි ශ්‍රී ලාංකික තරුනයෙකුට වඳුරුඋන (Monkeypox) වැලඳී ඇති බවට ජාතික වෛද්‍ය පර්යේෂන ආයතනය මගින් තහවුරු කිරීමෙන් අනතුරු ව සෞබ්‍ය අමාත්‍යාංශය, නොවැම්බර් 03 වන දා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවෙන් වඳුරු උන රෝගියකු හමු වූ බව ප්‍රකාශයට පත් කරන ලදි.

වඳුරු උන [Photo: CDC]

කැලනිය ප්‍රදේශ‌යේ පදිංචිකරුවෙකු වු ඔහුට ශ්‍රී ලංකාවට පැමිනීමෙන් පසු ඇති වූ උන තත්වය, වසා ගැටිති විශාල වීම, වෙහෙසකර බව සහ තවත් රෝග ලක්ෂන හේතුවෙන්, ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට ප්‍රතිකාර ලබාගැනීමට පැමිනීමෙන් පසු වෛද්‍යවරුනට ඇති වූ සැකයක් පදනම් කරගෙන රෝගියා වෛද්‍ය පර්යේෂන ආයතනයට යොමු කර ඇත. එහිදී ඔහුගේ ශ්ලේෂ්මල පරීක්ෂා කිරිමෙන් පසු වඳුරු උන වැලඳී ඇති බවට සනාථ කර තිබේ. දැනට ඔහු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ඒකලන ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

වඳුරු උන ශ්‍රී ලංකාව තුල වේගයෙන් ව්‍යාප්ත විය හැකි බව ඇඟවුම් කරමින්, පලමු රෝගියා හඳුනාගෙන සතියක් ගතවත් ම දෙවැන්නා ද රට තුලින් හඳුනා ගැනින.

ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරන ලද දත්ත අනුව මේ වන විට ලොව පුරා වඳුරුඋන රෝගීන් 68,900 ක් වාර්තා වන අතර සිදු වී ඇති මරන සංඛ්‍යාව 25 කි. රෝගය ලොව පුරා පැතිරීමේ අවදානම අඟවමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය ජුලි මාසයේ දී වඳුරුඋන “ගෝලීය හදිසි තත්වයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.

1958 වර්ෂයේ ඩෙන්මාර්කයේහි කෝපන්හේගන් නගරයේ රසායනාගාර පරීක්ෂන සඳහා යොදාගන්නා වඳුරු විශේෂයක් අතරින් මෙම වඳුරු උන වයිරසය සොයා ගෙන ඇත. අනතුරු ව, 1970 වසරේ පලමු වරට කොන්ගෝ ජනරජයේ දී වයිරසය ආසදනයවූවන් වාර්තා විය. ඒ වන විට ලොව පුරා ක්‍රියාත්මක වූ වසූරිය මර්දන එන්නත්කරනය නිසා, වඳුරුඋන රෝගයට එරෙහි ප්‍රතිශක්තිය ලැබි වඳුරු උන ගෝලීය ව පැතිරීම වැලකී ගිය බව විද්‍යාඥයන්ගේ මතයයි.

මුල දී වඳුරු උන වයිරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රට වලට සීමා වී තිබුන ද මෙම වසංගතය එක්සත් රාජධානියෙන් එක් ආසාදිතයකුගෙන් පටන් ගෙන පසුගිය මැයි 6 වන දා වන විට එය පැතිරීමේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්වුනි.

කෙසේ නමුත්, මේ සා අන්තරායකාරී ව්‍යාප්තියක් පැවතිය ද, ලොව පුරා ධනපති ආන්ඩු කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් දැක් වූ විනාශකාරී අමානුෂීය ප්‍රතිචාරය වඳුරු උන සම්බන්ධයෙන් ද දක්වමින් සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තියේ අවදානම යලි යලිත් ප්‍රකාශයට පත් කරමින්, එයට අවශ්‍ය මහජන සෞඛ්‍ය පියවර ගැනීමට නිර්දේශ කල ද, ධනපති ආන්ඩු සහ ඒවායෙන් මෙහෙය වෙන ආයතන එම නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් මහජනතාවට කියා සිටියේ, රෝගයට බිය විය යුතු නැති බව සහ එය ඊනියා රංචු ප්‍රතිශක්තිකරනයෙන් වෛරසය පාලනය වී අවසන්වන බවයි. එහි ප්‍රතිඵලය වූයේ මිලියන 20 කට අධික මිනිස් ජීවිත අහිමි වීම සහ තවත් මිලියන සිය ගනනක් දිගු කාලීන පශ්චාත් කෝවිඩ් සාංකූලතාවයන්ට ගොදුරු වීමයි.

ප්‍රථම වඳුරුඋන රෝගියා හමු වීමෙන් පසු එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ ප්‍රතිචාරය කුමක් ද යන්න පැහැදිලි කරමින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුනවර්ධන කල ප්‍රකාශයක් නොවැම්බර් 04 වනදා හිරු රූපවාහිනී නාලිකාව විකාශය කලේ ය:

“ දැනට ඔහු (වඳුරු උන රෝගියා) හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා. ඔහුගේ ආශ්‍රිතයින් අපි නිරෝධායනයට ලක් කරලා තියෙනවා. මෙය කිසිසේත් බිය වීමට කාරනයක් නෙවෙයි. යුරෝපයේ සහ අනිකුත් රටවල දැන් මේක පැතිරිලා අඩු වෙමින් යන්නේ. දකුනු අසියාවේ දැනට හමු වෙලා තියෙන්නේ රෝගීන් 23ක් විතරයි. එයින් එක රෝගියෙක් විතරයි මිය ගිහිල්ලා තියෙන්නේ. ... නිරෝධායනය කරන්නවත්, එයාපෝට් වහන්නවත්, කඩවල් වහන්නවත්, එහෙම රෝගයක් නොවෙයි; පැපොල රෝගය වගේ රෝගයක්.”

එදින ම, දෙරන රූපවාහිනී නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයේ දී, වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මෙසේ පැවසී ය:

“මේක හැදුනම (වඳුරු උන) ශරීරයේ තියෙන ප්‍රතිශක්තියෙන් මේක පාලනය කරන්න පුළුවන් තත්වයක් තියෙනවා. බොහෝ විට තියෙන්නේ නිශ්චිත ප්‍රතිකාරයකට වඩා රෝග ලක්ෂන වලට ප්‍රතිකාර කිරීමක්.”

එක්සත් ජනපදයේ ජනාධිපති බයිඩන් පරිපාලනය ද වඳුරු උන සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි ම නරුම ප්‍රතිචාරයකි. එය පැහැදිලි කරමින්, 2022 අගෝස්තු 24 වෙනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරුනු, “ලොස් ඇන්ජලීස් නගරයේ පාසැල් විවෘත කිරීමෙන් පසු මුල් සතිය තුල වඳුරුඋන රෝගීන් සංඛ්‍යාව දෙගුන වේ” යන හිසින් යුත් ලිපියේ මෙලෙස සඳහන් වෙයි:

“ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය (CDC) සහ අනෙකුත් මහජන සෞඛ්‍ය සංවිධාන වඳුරු උන සමලිංගික සම්බන්ධතා පවත් වන පිරිමින්ට පමනක් බලපාන රෝගයක් ලෙසට මංමුලා සහගත ලෙස ප්‍රකාශ කල ද, සැබවින් ම එම රෝගය සියළු ම වයස් කාන්ඩවල පුද්ගලයන් සහ ලිංගික ක්‍රියාකාරින් සහ විශේෂයෙන් ම පාසැල්ගත ව අධ්‍යාපනය ලබන දරුවන්ට විනාශකාරී ලෙස බලපාන බව සඳහන් කරයි.”

වඳුරු උන රෝගය වසර 50 කට වැඩි කාලයක් පැවතුන ද එම වයිරසය පිලිබඳ තව බොහෝ දේ ඉගෙන ගත යුතු බව පවසන එම ලිපිය, වඳුරු උන රෝගියකුගෙන් එය පැතිරෙන්නේ ආසාදිත කුෂ්ඨ, තුවාල කබොල, සිරුරෙන් වැගිරෙන ස්‍රාවයන් සෘජු ව ම ස්පර්ෂ වීමෙන් සහ රෝගියකු පරිහරනය කරන ලද වස්තූන්, රෙදිපිලි, ඔහු හෝ ඇය ස්පර්ෂ වූ පෘෂ්ඨයන්ගෙන් සහ ශ්වසන ස්‍රාවයන් ඇසුරෙන් බව අවධාරනය කරයි.

ඕනෑ ම කෙනෙකුට වඳුරු උන ආසාදනය විය හැකි නමුත්, ප්‍රතිශක්තීකරනය හීන අවුරුදු 8ට අඩු දරුවන්ට ද, ගැබිනි මව්වරුන්ට ද මෙම වෛරසය ආසාදනය වුව හොත් වඩා දරුනු රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක් ඇති බවට මූලික සාක්ෂි පවතින බව විද්‍යාඥයෝ පවසති.

මේ සා අන්තරායක් පැවතිය දී, වඳුරු උන රෝග කාරක නිදර්ශක පරීක්ෂාව සිදු කරන ලංකාවේ රසායනාගාර කාර්ය මන්ඩලයට පවා, රෝගයට අදාල එන්නත මෙතෙක් ලබා දී නොමැත. රසායනාගාර සේවකයන් අතර මේ සම්බන්ධයෙන් මතුව ඇති බලගතු විරෝධය හමුවේ, ඔවුනට වහාම ප්‍රතිශක්තිකරන එන්නත ලබාදෙන ලෙස වෛද්‍ය රසායනාගාර සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය ආන්ඩුවෙන් ඉල්ලා ඇත.

මහනුවර මහ රෝහලේ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවසී ය: “කෝවිඩ් වසංගතය නිසා අපේ සේවා සගයන් දුසිම් ගනනක් මිය ගියා. ආරම්භයේ දී ම ඔවුනට අවශ්‍ය පීපීඊ (පුද්ගලික ආරක්ෂක උපකරන සහ ඇඳුම්), ගුනාත්මක ව සහ ප්‍රමානාත්මක ව ලැබුන නම්, එන්නත හරියට ලබා දුන්න නම්, ඒ වගේ ම ආරක්ෂිත ප්‍රවාහන සේවාවන් සම්පාදනය කලා නම් ඔවුන්ගේ ජීවිත රැක ගන්න තිබුන. ආන්ඩුව මේ කිසිවක් ගැන තැකුවෙ නෑ. දැන් මන්කිපොක්ස් පැතිරෙනව. ඒත් ඒ සම්බන්ධයෙන් කිසි ම අධ්‍යාපනික හෝ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරල නෑ. මන්කිපොක්ස් එන්නතක් ගැන කිසි ම ආරංචියක්වත් නෑ. රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් සපයන්න බැරි ආන්ඩුවකින් එහෙම වැඩපිලිවෙලක් කොහොමටවත් බලාපොරොත්තු වෙන්නත් බෑ.”

මේ වන විට කෝවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන තිබූ සීමිත පියවර සියල්ල ම ආන්ඩුව විසින් අත් හැර දමා ඇති තතු යටතේ, ‌වෛරසය නිදැල්ලේ ව්‍යාප්ත වෙමින්, මහජනතාව නොකඩවා ආසාදනය කරමින් පවතී. ඒ සම්බන්ධිත දෛනික පරීක්ෂන සහ ආසාදිතයන්ගේ නිල සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කිරීම මුලුමනින් ම නතර කර ඇති තතු යටතේ ව්‍යාප්තියේ පරිමාව සහ අන්තරායේ ගැඹුර ගැන කවර හෝ අදහසක් මහජනතාවට නොමැත. රෝග ලක්ෂන පහල වන බොහෝ දෙනා, තමා කෝවිඩ්-19 ආසාදිතයෙකුදැයි තහවුරකර ගතහැකි පරීක්ෂන සඳහා පවා ප්‍රවේශයන් නොමැති ව පීඩා විඳිති.

කෝවිඩ්-19 වෛරසය මුලිනුපුටා නොමැති බැවින් එය නව ප්‍රභේදයන් බිහි කරමින් ව්‍යාප්ත වන අතර බොහෝ දෙනා යලි යලිත් ආසාදනයට ලක් වෙති. සෑම ආසාදන රැල්ලක් ම, කෝවිඩ් නොවන (non-COVID) අතිරික්ත මරන, එනම් කෝවිඩ් මගින් ඇති කෙරෙන සංකූලතාවයන්ගේ සිදුවන මරන තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත. නමුත් ඒවා කෝවිඩ්හි ප්‍රතිඵලයක් ලෙස මහජනතාවට නොපෙනේ.

වසංගතයේ වසර තුනකට පසු ව, ගැඹුරු වන ආර්ථික අර්බුදයේ බරින් වඩ වඩාත් කප්පාදු වලට මුහුන දී සිටින ගෝලීය මහජන සෞඛ්‍ය පද්ධතිය මරනයේ අභියසට පැමින සිටී. ශ්‍රී ලංකාව එහි ගැඹුරු ම ප්‍රකාශනයක් අත් කර ගෙන ඇත. දැවැන්ත ඖෂධ හිඟයකින් සහ බලගතු පහසුකම් ඌනතාවයකින් පෙලෙන නිදහස් රජයේ රෝහල් සේවාව තව දුරටත් සීමා කරමින්, ජාතික සහ මූලික රෝහල්වල මුදල් අය කිරීමේ වාට්ටු ස්ථාපිත කිරීමට, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයෙන් ජනාධිපති වික්‍රමසිංහ යෝජනා කලේ ය.

කෝවිඩ්-19 වසංගතය ජය ගැනීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කල වැඩපිලිවෙල මත සටන් වැදීමේ අත්‍යවශ්‍යභාවය වඳුරු උන රෝගය හමුවේ බලගතු ලෙස ඉස්මතු කෙරී ඇත: “මූලික වශයෙන්, සිදු වෙමින් පවතින වසංගතයේ ව්‍යසනය, කෑදර මූල්‍ය කතිපයාධිකාරයක ලාභ අවශ්‍යතාවලට සියලු සමාජ අවශ්‍යතා යටත් කරන ලෝක ධනවාදයට එරෙහි ප්‍රතික්ෂේප කල නොහැකි චෝදනාවකි. මෙම යල්පැනගිය සමාජ ක්‍රමය සියලු මනුෂ්‍ය වර්ගයාගේ සෞඛ්‍යය හා යහපත් ජීවන තත්වයන් සහතික කිරීම සඳහා ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන ලෝක සමාජවාදී සමාජයක් මගින් ප්‍රතිස්ථාපනය කල යුතු ය.”

Loading