වතු වෘත්තීය සමිතිය ජනාධිපති වික්‍රමසිංහගේ ආන්ඩුවට එක් වීමට සූදානම් වේ

[මෙය Sri Lankan plantation workers union to join President Wickremesinghe’s government මැයෙන් 2022 නොවැම්බර් 11 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ විශාලත ම වතු කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය වන ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක ජීවන් තොන්ඩමන්, “ආන්ඩුවේ කැබිනට් ඇමති ධූරයක් භාර ගැනීමට” කැමති බව ජනාධිපති වික්‍රමසිංහට දන්වා ඇත. ලංකා කම්කරු කොංග්‍රසය දේශපාලන පක්ෂයක් ලෙස ද වැඩ කරයි.

බ්‍රහස්පතින්දා ඩේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් තොන්ඩමන් කියා සිටියේ “උඩරට ජනතාව මුහුන දෙන ප්‍රශ්න විසඳීමට ජනාධිපති වික්‍රමසිංහ මහතාට උපකාර කල හැකි බව සීඩබ්ලිව්සීයට හැඟෙන” බවයි. කෙසේ වෙතත්, සීඩබ්ලිව්සීයේ කැබිනට් මන්ඩලය තුල සහභාගීත්වය රඳා පවතින්නේ එය පිරිනමන අමාත්‍ය ධූරය මත බව ඔහු පැවසී ය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජීවන් තොන්ඩමන් [Photo: Facebook]

තොන්ඩමන්ගේ නිවේදනය පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින ලංකාවේ ධනපති ක්‍රමය බේරා ගැනීමට සීඩබ්ලිව්සීය හැකි සෑම දෙයක් ම කරන බවට පැහැදිලි ප්‍රකාශයකි. වික‍්‍රමසිංහ තන්ත‍්‍රය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) පියවරයන් හා එමගින් ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනතාවගේ උර මත පැටවීමට කැප වී සිටී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) වතු කම්කරුවන්ට සහ සමස්තයක් ලෙස කම්කරු පන්තියට අනතුරු අඟවන්නේ, සීඩබ්ලිව්සී මෙම කුරිරු පියවර පැනවීමට සහ කම්කරු පන්තියේ හා ගම්බද මහජනතාවගේ පුලුල් ව පැතිරුනු විරුද්ධත්වය මර්දනය කිරීමට සෘජු ව ම සහයෝගී ව කටයුතු කරන බවයි.

තොන්ඩමන්ගේ යෝජනාවට වික්‍රමසිංහ තවමත් ප්‍රතිචාර දක්වා නොමැති මුත්, ඉදිරි දින කිහිපය තුල ජනාධිපතිවරයා තවත් අමාත්‍යවරුන් තම කැබිනට් මන්ඩලයට බඳවා ගනු ඇතැයි වාර්තා වේ. නොවැම්බර් 14 දා, ජාමූඅ විසින් නියෝග කරන ලද සිය අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන වික්‍රමසිංහ, ඔහුගේ අස්ථාවර ආන්ඩුවට සහයෝගය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටී.

තොන්ඩමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා විය. රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් මහජන විරෝධතා පැන නැගුනු තතු තුල, අප්‍රේල් 4 දා ඔහු සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

වතු කම්කරුවන් සහ ගම්බද දුගීන් ඇතුලු මිලියන ගනනක් කම්කරුවන් මෙම රටපුරා පැතුරුනු අරගල වලට සහභාගී වූහ. මධ්‍යම පලාතේ තේ වතු දිස්ත්‍රික්කවල බගවන්තලාව, රාගල, මස්කෙලිය සහ හැටන් යන ප්‍රදේශවල වතු කම්කරුවන් විරෝධතා පැවැත් වූ අතර, සීඩබ්ලිව්සීය මෙම විරෝධතා සම්බන්ධයෙන් වරදකාරී නිශ්ශබ්දතාවයක් අනුගමනය කලේ ය.

දැවැන්ත විරෝධතා සහ මහා වැඩවර්ජන මධ්‍යයේ ජූලි 13 දා රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පලා ගිය අතර දින දෙකකට පසු ව සිය ධූරයෙන් ඉල්ලා අස් විය. රාජපක්ෂ විසින් මැයි මාසයේ දී වික්‍රමසිංහ අගමැති ලෙස පත් කිරීම ගැන උද්‍යෝගිමත් වූ තොන්ඩමන් සීඩබ්ලිව්සීයේ “පූර්න සහයෝගය” ලබා දුන්නේය.

සැලකිය යුතු ලෙස, ඉහල යන ජීවන වියදම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ සාගින්න පිලිබඳ ව වතු කම්කරුවන් සහ දුගීන් ඇතුලු කම්කරුවන් අතර පුලුල් ලෙස කෝපය ඉහල යද්දී තොන්ඩමන් ආන්ඩුව හා එක් වීමට තීරනය කර ඇත.

අධි උද්ධමනය සහ ඔවුන්ගේ වැටුප් හා කොන්දේසිවලට නව වටයකින් එල්ල වන ප්‍රහාරවලින් දැඩි ලෙස පීඩාවට පත් ව සිටින වතු කම්කරුවන් මුහුන දෙන ජීවිතය සහ මරනය පිලිබඳ ප්‍රශ්න ගැන තොන්ඩමන් සහ සීඩබ්ලිව්සීය කිසිදු සැලකිල්ලක් නොදක්වයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අප්කොට්හි ග්ලෙනුජ් වත්තේ කම්කරුවන් 500 ක් පමන තම නොඉවසිය හැකි සේවා කොන්දේසි සහ වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් ඔක්තෝබර් 27 සිට වැඩ වර්ජනයක නිරත ව සිටිති. තොන්ඩමන්, වික්‍රමසිංහ සමග ධනේශ්වර පාලනය සුරැකීම පිලිබඳ ව සාකච්ඡා පවත්වමින් සිටින විට, ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) සමග සීඩබ්ලිව්සීය, කාර්මික ක්‍රියාමාර්ගය වසා දමා වර්ජකයින් ආපසු වැඩට තල්ලු කිරීමට මංමුලා සහගත ලෙස ක්‍රියා කරමින් සිටී.

අප්‍රේල් 5, ග්ලෙනුයිජ් වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවයේ දී වතු කම්කරුවන් අප්කොට් නගරය දෙසට ගමන් කරමින්

ඔහුගේ ඩේලි මිරර් සම්මුඛ සාකච්ඡාවේ දී තොන්ඩමන් වතු කම්කරුවන්ගේ සාගිනි මට්ටමේ වැටුප් විවේචනය කරන අය හෙලා දුටුවේ ය: “මෙහි වතු කම්කරුවන්, ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ඉහලම වැටුප් ලබන කම්කරුවන් අතරින් කොටසක් බව ජනතාව දැන ගත යුතු ය.”

තොන්ඩමන්ගේ ප්‍රකාශය, වතු කම්කරුවන්ට යහපත් ජීවන වැටුපක් ගෙවීමට ප්‍රචන්ඩ ලෙස විරුද්ධ වන වතු සමාගම්වල ප්‍රකාශයන් ප්‍රතිරාවය කරයි. අනෙකුත් රටවල අධික ලෙස සූරාකෑමට ලක්වන වතු කම්කරුවන්ට වඩා වැඩි වැටුපක් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ට ලැබෙන බැවින්, තේ නිෂ්පාදන පිරිවැය ඉහල මට්ටමක පවතින බව සමාගම් අවධාරනය කරයි. වතු කම්කරුවන් යනු ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අඩු ම වැටුප් ලබන කොටසකි.

1948 දී, නිදහසින් පසු, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ දේශපාලන මූලෝපායේ කොටසක් ලෙස, එවකට එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් දෙමල-ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතීන් අහෝසි කරන ලදී. 1980 ගනන්වල කොලඹ ආන්ඩුව මෙම වතු කම්කරුවන්ට පුරවැසි අයිතිය ලබා දුන් මුත්, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව තවමත් ඔවුන් සලකන්නේ දෙවන පන්තියේ පුරවැසියන් ලෙස ය.

වික්‍රමසිංහ ආන්ඩුව සමග එක් වීමට ඔහු ගත් පියවර සාධාරනීකරනය කරමින් තොන්ඩමන්, පසුගිය ආන්ඩුවල ඇමති ධුර දැරූ සීඩබ්ලිව්සීයේ සහයෝගීතාවය පිලිබඳ විවේචන පසෙකට දැමීමට උත්සාහ කර ඇත. ඉතිහාසය උඩුයටිකුරු කරමින් ඔහු කියා සිටියේ, සීඩබ්ලිව්සීයේ සහභාගීත්වය වතු සේවකයින්ගේ යහපැවැත්ම සඳහා වූ බවයි.

1948 සිට විවිධ ආන්ඩුවලට සහාය දීමෙන් පසු, සීඩබ්ලිව්සී නිර්මාතෘ එස්. තොන්ඩමන් (ජීවන්ගේ මුත්තා) 1978 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුවට එහි ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස සම්බන්ධ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ක්‍රියා කරමින් ජයවර්ධන, පුලුල් පරාසයක “විවෘත වෙලඳපොල” ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන් අතර, ජනාධිපතිවරයාට පුලුල් විධායක බලතල ලබා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කලේ ය.

1980 දී රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ මහා වැඩවර්ජනයක් ද ඇතුලු කම්කරු පන්තියේ විරුද්ධත්වය තලා දමමින් ම්ලේච්ඡ ජාමූඅ ප්‍රහාර පැනවීමට මෙම බලතල යොදා ගන්නා ලදී. 1983 දී එජාපය, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ව කොලඹ ආන්ඩුව දියත් කල වසර 26 ක වර්ගවාදී යුද්ධය ආරම්භ කලේ ය.

සීඩබ්ලිව්සී සමග අනෙකුත් සියලු ම වතු වෘත්තීය සමිති—එන්යූඩබ්ලිව්, ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී), උඩරට ජනතා පෙරමුන (යූපීඑෆ්), ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ)—ධනේශ්වර රාජ්‍යය හා වතු සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ අනෙකුත් සෑම වෘත්තීය සමිතියක්ම මෙන්, සීඩබ්ලිව්සීයද රජයේ ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීම, පුලුල් බදු සහ පවතින සොච්චම් සමාජ සහනාධාර කප්පාදු කිරීම සඳහා ජාමූඅ ඉල්ලීම් වලට සහාය දක්වයි.

ශ්‍රී ලංකාවේ බොහෝ වතු කම්කරුවන් තවමත් ජීවත් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරන ලද සහ පිරිසිදු පානීය ජලය, වැසිකිලි සහ නිසි වෛද්‍ය පහසුකම් නොමැති අබලන් ලයින් කාමරවල ය. වතු තරුනයින් අතර විරැකියාව ඉහවහා ගොස් ඇති අතර දහස් ගනනකට ප්‍රධාන නගරවලට සහ නිදහස් වෙලඳ කලාපවලට යාමට හෝ රැකියා සුරක්ෂිත කර ගැනීම සඳහා විදේශ රටවලට සංක්‍රමනය වීමට බල කෙරී තිබේ. මෙම කොන්දේසි සඳහා සෘජු වගකීම දැරිය යුත්තේ සීඩබ්ලිව්සී සහ අනෙකුත් වතු වෘත්තීය සමිති විසිනි.

අනෙකුත් සියලුම වෘත්තීය සමිති මෙන්—ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා—සීඩබ්ලිව්සී යනු සමාගම්වල, ආන්ඩුවේ සහ රාජ්‍යයේ අවශ්‍යතා සඳහා සේවය කරන කාර්මික පොලිස් බලකායකි.

පසුගිය වසරේ ජීවන් තොන්ඩමන් යටතේ සීඩබ්ලිව්සීය, ඕල්ටන් වතු කලමනාකාරීත්වය හා පොලිසිය සමග වර්ජිත කම්කරුවන් දඩයම් කිරීම සඳහා සෘජු ව ම වැඩ කලේ ය. 2021 මාර්තු මාසයේදී රුපියල් 1,000 ක දෛනික වැටුපක් ඉල්ලා පැවති ජාතික වැඩ වර්ජනයක දී ඕල්ටන් වතු කම්කරුවන් තිස්අට දෙනෙක් වරදකරුවන් කර සේවයෙන් පහ කරන ලදහ. ව්‍යාජ චෝදනා මත කම්කරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ද ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග තවමත් සිදු වෙමින් පවතී.

සීඩබ්ලිව්සීයේ නවත ම නිවේදනය නැවත වරක් පෙන්නුම් කරන්නේ, වෘත්තීය සමිති, කම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අරගලයේ උපකරන ලෙස භාවිතා කල නොහැකි නමුත් ධනේශ්වර පද්ධතියේ සහ එහි ආන්ඩුවල කොටසක් බවයි.

තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා, කම්කරුවන් විසින් කාරනා තමන් අතට ගෙන, වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් සම්පූර්නයෙන්ම ස්වාධීන ව ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගත් සහ කම්කරුවන් විසින් පාලනය කරනු ලබන, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතු ය.

ඕල්ටන් සහ ග්ලෙනුයිජ් වතුවල කම්කරුවන් දැනටමත් ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගෙන ඇත. සසප සහ මෙම ක්‍රියාකාරී කමිටු, වතුකරය පුරා සහ අනෙකුත් අංශවල කම්කරුවන්ට තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සහාය වීමට සූදානම්‍ ය. සසප, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සඳහා, එනම් සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වදී.

Loading