ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ජාමූඅ විධානයන් මත අයවැය ඉදිරිපත් කරයි

[මෙය Sri Lankan president presents IMF-dictated budget යන මැයෙන් 2022 නොවැම්බර් 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

නොවැම්බර් 14 දා, මුදල් ඇමති ධූරය ද දරන ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු වැඩපිලිවෙලින් නියම කෙරුනු පිලිවෙත් මත 2023 අයවැය ඉදිරිපත් කලේය. ආන්ඩුවට ජාමූඅ න් ඇප නයක් ලැබෙන්නේ එහි ඉල්ලීම් ක්‍රියාත්මක කලහොත් පමනි.

කෙසේවෙතත්, වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී ප්‍රකාශ කලේ, “අප ගෙන එන ආර්ථික ප්‍රතිසංස්කරන ජාමූඅ සමඟ එකඟ වූ ප්‍රතිසංස්කරනවලට පමනක් සීමා නොවන” බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

අධි උද්ධමනය, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ සාගින්න සමඟ පොරබදමින් සිටින කම්කරුවන් හා දුගීන් මුහුන දෙන ම්ලේච්ඡ සමාජ කොන්දේසි ආමන්ත්‍රනය කරන කිසිදු පියවරක් අයවැයට ඇතුලත් කර නැත.

අයවැය ඉදිරිපත් කෙරෙද්දී, ලෝක ආහාර වැඩසටහනේ (ලෝආවැ) සමීක්ෂනයක් පැවසුවේ, කුටුම්භ දහයකින් හතකට ආසන්න ප්‍රමානයකට—එනම් රටේ ජනගහනයෙන් සියයට 68 කට—තමා රුචි කරන ආහාර අඩුවෙන් අනුභව කිරීම සහ ආහාර වේල් ගනන හා ප්‍රමානය අඩු කිරීම වැනි දේට මුහුන දීමට සිදුව ඇති බව ය. ලෝආවැට අනුව, මිලියන 3.4 ක ජනතාවකට හදිසි ආධාර ලබා ගැනීම ප්‍රමුඛත්වයට පැමින තිබේ.

ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන සහ සංගනන දෙපාර්තමේන්තුව ඔක්තෝබර් මාසයේදී වාර්තා කලේ වාර්ෂික උද්ධමනය සියයට 66 ක් සහ ආහාර උද්ධමනය සියයට 86 ක් ලෙසයි. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මෑතකදී කියා සිටියේ සැබෑ උද්ධමන අනුපාතය 115 ක් වන අතර නිල සංඛ්‍යාලේඛන 'සම්පූර්න ප්‍රබන්ධයක්' බව යි.

කලින් ඇස්තමේන්තු කර තිබූ රුපියල් ට්‍රිලියන 4.4 ඉක්මවමින්, මෙම වසර සඳහා ට්‍රිලියන 5.8 වියදම් කිරීමට අයවැය පුරෝකථනය කරයි. බදු ආදායම සියයට 69 කින් දැවැන්ත ලෙස වැඩි කිරීම හරහා නව වියදම් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට නියමිතය. දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 9.8 ක් වන මෙම වසරේ අයවැය හිඟය, 2023 දී සියයට 7.9 දක්වා කප්පාදු කිරීමටත්, සියයට 2.3 ක අතිරික්තයක් නිෂ්පාදනය කිරීමටත් වික්‍රමසිංහ සැලසුම් කරයි.

මෙම සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ වැඩකරන ජනතාව මත දැවැන්ත බරක් පැටවෙනු ඇති බවයි.

* ආන්ඩුව විසින් සෙස් බදු (විවිධ සේවාවන් සිය ගනනකට අරමුදල් සැපයීම සඳහා අය කරනු ලබන බදු) සියයට 15 කින් පමන වැඩි කර ඇති අතර, අත්‍යවශ්‍ය භාන්ඩ රැසක ආනයන වියදම් තවදුරටත් ඉහල යනු ඇත.

* එකතු කල අගය මත බද්ද (වැට්) ලබන අප්‍රේල් මාසයේදී නැවත වැඩි කෙරේ. සැප්තැම්බර් මාසයේදී ආන්ඩුව සියලුම භාන්ඩ හා සේවා සඳහා මෙම බද්ද සියයට 12 සිට 15 දක්වා ඉහල නැංවීය.

* ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් ආනයනය කරන විට අධිභාර බද්දක් පැනවෙන අතර එමඟින් මිල ඉහල යනු ඇත. සැප්තැම්බර් මාසයේදී හඳුන්වා දුන් වැඩි කිරීම් මත නව බදු පැටවේ.

* ලබන වසරේ ජනවාරි මාසයේ සිට රාජ්‍ය ආයතන සඳහා “උපයන විට ගෙවනු” යන ආදායම් බදු ක්‍රමය අවසන් කරන බව ද මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කලේය, මෙම වෙනස රාජ්‍ය අංශයේ සේවකයන්ට බලපානු ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු සහ ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් (රාව්‍ය), දැනට ඒවායේ සේවකයින්ගේ බදු, සහන සැලසීමක් ලෙස ගෙවනු ලබයි.

* ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොලඹ හිල්ටන් සහ වෝටර්ස් එජ් හෝටල් සහ ශ්‍රී ලංකා රක්‍ෂන සංස්ථාව සහ එහි අනුබද්ධ ආයතන ඇතුලුව රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් පුද්ගලීකරනය කිරීම අයවැය මගින් නිවේදනය කෙඑුනි. තවත් පුද්ගලීකරනයන් ඉදිරියේ දී පැමිනෙනු ඇත.

* මිලියන 1.45 ක ජනතාවක් සේවය කරන රාජ්‍ය අංශයට “ප්‍රතිසංස්කරන” යෝජනා කිරීමට ජනාධිපති කොමිසමක් පත් කෙරෙනු ඇත. “රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් ඔවුන්ගේ පඩි හා වැටුප් සඳහා වැය කිරීමට සිදුව ඇති” බවට වික්‍රමසිංහ මැසිවිලි නැගුවේය. රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩකින් කප්පාදු කිරීමට ආන්ඩුවට දැනටමත් සැලසුම් තිබේ.

වික්‍රමසිංහ කම්කරු නීතිවලට වෙනස්කම් ද නිවේදනය කල අතර, 'ආර්ථික පරිවර්තනය සඳහා ඒවා අවශ්‍ය' බව ඔහු පැවසීය. රැකියා අහිමි වන පුද්ගලික අංශයේ සේවකයින් ආවරනය කිරීම සඳහා රක්ෂන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව වික්‍රමසිංහ කීවේ—සංගත ප්‍රභූව දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි දෙයක් වන—අඩු වැටුප් පවත්වා ගෙනයන අතරේ කම්කරුවන් දොට්ට දැමීම ව්‍යාපාරවලට පහසු වනු ඇති බවට ඉඟි කරමිනි.

අයවැය මගින් මහජන සෞඛ්‍ය සේවය පෞද්ගලීකරනය කිරීමේ තවත් පියවරක් ලෙස, කොලඹ ජාතික රෝහලෙන් පටන් ගෙන ඇතැම් ප්‍රධාන රෝහල්වල වාට්ටු ප්‍රතිශතයක් සඳහා පරිශීලක-ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

නිදහස් සෞඛ්‍ය සේවාව පසුගිය අරගලවලදී කම්කරු පන්තිය දිනාගත් ප්‍රධාන ජයග්‍රහනයකි. අනුප්‍රාප්තික ආන්ඩු, විශේෂයෙන් 1977 සිට, මහජන සෞඛ්‍ය සේවය ක්‍රමානුකූලව කපා හැර, රෝහල් ඇතුළු පුද්ගලික සෞඛ්‍ය ආයතන හතු පිපෙන්නාක් මෙන් බිහිවීමට මග පාදා තිබේ.

ආන්ඩුවේ ප්‍රමුඛතා පෙන්නුම් කරමින්, අයවැයෙන් ආරක්‍ෂක හමුදාවට සහ පොලිසියට රුපියල් බිලියන 539 ක් වෙන් කල අතර සෞඛ්‍යයට රුපියල් බිලියන 322 ක් සහ අධ්‍යාපනයට බිලියන 232 ක් පමනක් ලබාදී ඇත. වික්‍රමසිංහ තන්ත‍්‍රය, ජීවන තත්වයන්ට එරෙහි නිර්දය ප‍්‍රහාරයට එරෙහිව කම්කරුවන් හා දුගීන්ගෙන් එල්ල වන විරෝධය තලා දැමීම සඳහා වඩ වඩාත් කුරිරු පොලිස් හා මිලිටරි ක්‍රියාමාර්ගයන්ට සූදානම් වෙමින් සිටී.

රටේ ආර්ථික අර්බුදයට විසඳුම ලෙස වික්‍රමසිංහ ධනේශ්වර ලාභ පද්ධතිය උත්කර්ෂයට නැංවීය. “ගමේ කුඩා ව්‍යවසායකයාගේ සිට මහා පරිමාන ව්‍යවසායකයින් දක්වා සියලු දෙනාම සැලකුවේ සූරාකන්නන් ලෙසයි. අපි මේ තත්වය වෙනස් කල යුතුයි,” ඔහු ප්‍රකාශ කලේය.

ඒ අතරම, අර්බුදය සම්බන්ධයෙන් කතා කරමින්, සාමාන්‍ය මිනිසුන් සතුව ඇතැයි සැලකෙන කෑදරකම මත වික්‍රමසිංහ නරුම ලෙස දොස් පැවරුවේය. ඔහු ප්‍රකාශ කලේ, “ලෝකයට නයගැති වුවත්, මතුපිටින් සහනයක් ලෙස පෙනෙන අයවැය යෝජනා දැකීමට ජනතාව කැමති යි. ඒ ජනප්‍රිය මාවතේ ගිය නිසා අපි අතරමං වුනා.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “අපි ලෝකයාට නය වී විවාහ මංගල්‍යයක් පවත්වන්නේ නැත,” එයට මෙසේ ද එකතු කලේ ය: “[කුමක්ද] අප කලේ? වෙනත් රටවල් දුක් මහන්සියෙන් උපයන මුදල් නයට ගෙන අපේ පරිභෝජනයට වියදම් කිරීම යි. අපි දවසින් දවස කම්මැලි වුනා.”

යතාර්ථයේ දී, අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් විශාල නය ගොඩ ගැසුවේ කම්කරුවන් හෝ දුප්පතුන් සඳහා කොන්දේසි ලිහිල් කිරීමට නොව, ව්‍යාපාරික ආයෝජන සඳහා යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා ය.

දශක ගනනාවක් තිස්සේ නරක අතට හැරුනු ගෝලීය ආර්ථික අර්බුදය, ලොව පුරා ආන්ඩු විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද “පැතිර යාමට ඉඩ හරිනු” ප්‍රතිපත්ති මගින් උග්‍ර විය. යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය සෑම රටකම උද්ධමන අර්බුදය තවදුරටත් වේගවත් කලේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහා ව්‍යාපාරික කන්ඩායම වන ලංකා වානිජ මන්ඩලය, අයවැය ප්‍රශංසා කරමින් ප්‍රකාශයක් නිකුත් කලේය: “අයවැයේ ප්‍රශංසනීය යෝජනා කාලීනව ක්‍රියාත්මක වනු ඇතැයි ද පුද්ගලික අංශයේ උපදේශනයන් අඛන්ඩව ලබා ගනු ඇතැයි ද අපි විශ්වාස කරමු.”

ඒ අතරම, වතුකරයේ “නියෝග කෙරී පැවති” වැටුප් ක්‍රමය ඉවත් කරමින් කම්කරුවන්ට එරෙහි ප්‍රහාර තව දුරටත් ඉදිරියට යන ලෙස වානිජ මන්ඩලය ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. තේ වතු කම්කරුවන්ට, දිනකට ප්‍රමානවත් නොවන වැටුපක් වන රුපියල් 1,000 ක් ගෙවීමට, පූර්ව ආන්ඩු නියෝග කර තිබුනි. එකදු වතු සමාගමක්වත් මෙම ඉල්ලීමට අවනත නොවූ අතර, ඔවුන් සියල්ලෝම කම්කරුවන් මත කොඳු කැඩෙන වැඩ බර පටවා ඇත.

ජාමූඅ කප්පාදු ඉල්ලීම් සමග එකඟ වන ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ, ජනතාව අතර පුලුල්ව පැතිරුනු කෝපය අපසරනය කිරීමේ උත්සාහයක් ලෙස අයවැය පිලිබඳ ව්‍යාජ විවේචන කිහිපයක් එල්ල කලේය.

සමගි ජන බලවේගයේ (සජබ) ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හර්ෂ ද සිල්වා, අයවැය “යහපත් ප්‍රතිසංස්කරන” අඩංගු කර ගැනීම ගැන ප්‍රශංසා කල නමුත් මෙම ප්‍රතිසංස්කරන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා “හොඳ කන්ඩායමක්” තෝරා ගැනීමට මහ මැතිවරනයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලයේ (ජාජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ, 'මෙය ජාමූඅ විසින් සකස් කරන ලද සියලු ප්‍රතිසංස්කරන සමග පෙලගැසී ඇති 'රූකඩ' අයවැයක් ලෙස හැඳින්විය හැකි' බවයි. කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමට ඊනියා 'නව වරමක්' ලබා දීම සඳහා මෙම පක්ෂය ද මහ මැතිවරනයක් ඉල්ලා සිටියි.

මේ දක්වා එකදු වෘත්තීය සමිතියක්වත් අයවැය ගැන වචනයක්වත් කතා කර නැත. ඔවුන් සියලු දෙනාම ජාමූඅ වැඩසටහනට සහය දක්වයි.

මෙම ම්ලේච්ඡ කප්පාදු ධාවනයට එරෙහිව තමන්ගේම ප්‍රති-ප්‍රහාරයක් සූදානම් කිරීමට කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතුය.

දරාගත නොහැකි උද්ධමනය, ආහාර, ඖෂධ සහ ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය අවසන් කරන ලෙස ඉල්ලමින්, අප්‍රේල් මාසයෙන් ආරම්භ වූ මාස හතරක කාලය තුල මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ දුගී ජනතාව මහජන අරගලවලට සහභාගී වූහ. ඔවුන් ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පාලනය ඉල්ලා අස්විය යුතු බවයි.

රාජපක්ෂ රටින් පලා ගිය අතර ඔහුගේ ආන්ඩුව බිඳ වැටුනි. කෙසේ වෙතත්, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය ලද වෘත්තීය සමිති මෙම අරගලය, විවිධ ධනේශ්වර පක්ෂවලින් සැදුම්ලත් අන්තර්වාර ආන්ඩුවක් සඳහා වූ සජබ සහ ජවිපෙ ඉල්ලීම පිටුපසට හරවා යවමින් පාවා දුන්නේය.

මෙම පාවාදීම විසින්, මහජනතාව විසින් තෝරා පත් නොකල ජනාධිපති වික්‍රමසිංහට ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු ක්‍රියාවට නැංවීමට සහ කම්කරුවන්ට, ග්‍රාමීය දුගීන්ට සහ සිසුන්ට එරෙහිව මර්දනය මුදා හැරීමට ඉඩ සලසා දී ඇත.

ජීවන හා සමාජ කොන්දේසි මත එල්ල වන ම්ලේච්ඡ ප්‍රහාර පරාජය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙන යන වැඩපිලිවෙල සමග ඒකාබද්ධ වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ධනේශ්වර ක‍්‍රමය තුල මහජනතාව මුහුන දෙන අර්බුදයට විසඳුමක් තිබිය නොහැක.

ඔවුන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, රැකියා ස්ථානවල, අසල්වැසි ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රදේශවල තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස සසප කම්කරුවන්ට කැඳවුම් කර ඇත.

ජීවිතයට අත්‍යවශ්‍ය වන ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරුවන් විසින් පාලනය කල යුතුය. මෙය කල හැක්කේ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, මහා සමාගම් සහ වතු ජනසතු කිරීම මගිනි.

වික‍්‍රමසිංහ ආන්ඩුවට හා විරුද්ධ පක්ෂවලට එරෙහිව මෙම වැඩපිලිවෙල සඳහා සටන් කිරීමට, මෙම ක‍්‍රියාකාරී කමිටුවලින් තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්වූ, කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප උද්ඝෝෂනය කරයි. ග්‍රාමීය දුප්පතුන්ගේ සහාය ඇතිව එවන් කම්කරුවන්ගේ බල මධ්‍යස්ථානයක් ගොඩනැගීම, ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට මග පාදනු ඇත.

අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ සසපට බැඳෙමින් මෙම වැඩපිලිවෙල සඳහා සටන් කරන ලෙසයි.

Loading