ආර්ථික අර්බූදය මධ්‍යයේ තම අධ්‍යාපනය බිඳ වැටෙමින් තිබෙන බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පවසති

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩවල මිල හා පොදු ප්‍රවාහන ගාස්තු සීග්‍ර ලෙස ඉහල නැගීම හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන හා ජීවන කොන්දේසිවලට එල්ල වී ඇත්තේ බලගතු ප්‍රහාරයකි. 

ශිෂ්‍යයන්ගෙන් සැලකිය කොටසකට පෝෂදායි ආහාර නොලැබෙන අතර ඇතැම්හු කුසගින්නේ පසුවෙති. ශිෂ්‍යයන්ගෙන් බහුතරයකට විශ්ව විද්‍යාල නේවාසිකාගාර පහසුකම් හිමි නොවන බැවින්, පෞද්ගලික නේවාසිකාගාරවල අධික ගාස්තු දරා ගත නොහැකි තත්වයකට ඔවුන් පත්ව ඇත. ඉන් සමහරු දුරබැහැර පිහිටි තම නිවෙස්වල සිට, සීමිත දින ගනනක් පමනක්, දේශන සහ ප්‍රායෝගික කටයුතු සඳහා සහභාගි වෙති. මේ අතර, තම වියදම් ආවරනය කර ගැනීම සඳහා, ශිෂ්‍යයන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමනයකට අර්ධ-කාලීන රැකියාවල නිරත වීමට සිදුව ඇත. මේ සියල්ල හේතුවෙන් ඔවුනගේ අධ්‍යාපනය බිඳ වැටෙමින් පවතී.

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයෝ පසුගිය දිනවල විශ්වවිද්‍යාල කිහිපයක ශිෂ්‍යයන් හමුවී ඔවුන් පොදුවේ මුහුන දෙන ප්‍රශ්න පිලිබඳව සාකච්ඡා කලහ.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යාවක් සසජාතශි සමග අදහස් දක්වමින් කියා සිටියේ 2019 අප්‍රේල් ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය හා මේ වසරේ ඇති වූ ඛනිජ තෙල් හිඟය, විදුලිය කප්පාදුව හා ජීවන වියදම් ඉහල යෑම හේතුවෙන් ඇගේ අධ්‍යාපන කටයුතු බරපතල ලෙස බිඳ වැටුනු බවයි. 

ඇය විශ්වවිද්‍යාලයට ඇතුලත් වුයේ පෙරදිග හා අපරදිග සංගීත භාන්ඩ වාදනය වැඩිදුරටත් හදෑරීමේ බලාපොරොත්තුවෙනි. “මම පාසල් අධ්‍යාපනයෙන් ලැබූ දැනුමට වඩා වැඩි යමක් එකතු කර ගන්න බැරි වුන තරම්. විශ්වවිද්‍යාල දීර්ඝ කාලයක් වසා තැබීම නිසා අඛන්ඩව වාදන පුහුනුව සිදු කර ගන්න බැරි වුනා. දැන් මුහුන දෙන ලොකුම ප්‍රශ්නය ආහාර, බස් ගාස්තු, ලිපි ද්‍රව්‍ය මිල ගනන් අපිට දරා ගන්න බැරි ලෙස ඉහල යෑම“ යැයි ඇය පැවසුවා ය.  

ඇගේ පියා රජයේ සේවකයෙකු බැවින් ශිෂ්‍යාධාරය හිමි වූයේ රුපියල් 4,000 ක් පමනි. “දැන් අවුරුදු දෙකක ඉදලා ශිෂ්‍යාධාර අපිට දුන්නේ නෑ. බාහිර කථිකාචාර්යවරුන්ට වැටුප් ගෙවන්නත් සල්ලි නැතිව අපිට ආධාර දෙන්නේ කොහොම ද කියලා කැම්පස් එකේ පරිපාලනය කියනවා“ යනුවෙන් ප්‍රකාශ කල ඇය මුහුන දෙන ආර්ථික ගැටලු විස්තර කලා ය. 

ඇගේ සොහොයුරිය පාසල් අධ්‍යාපනය අවසන් කලා පමනි. පියා රජයේ අමාත්‍යාංශයක මුර රැකියාවේ නිරත වී ලබන්නේ රුපියල් 33,000 ක පමන මාසික වැටුපකි. “තාත්තාගේ වැටුප ජීවත් වෙන්න කොහෙත්ම ප්‍රමානවත් නෑ. තාත්තා දැන් දවල් කාලයේ තවත් මුර රැකියාවක් කරනවා. එකෙන් දවසකට ලැබෙන්නේ රුපියල් 1,000 ක් විතරයි. තාත්තා දැන් ගෙදර ඉන්නේ ම නැති තරම්“ යැයි කියමින් ඇය ශෝක වූවා ය.  

නේවාසිකාගාරයේ සිට විශ්වවිද්‍යාලයට ගමන් කිරීමට ඇයට දිනකට රුපියල් 2,00 ක් වැය වේ. නේවාසිකාගාරයේ සියලුම ශිෂ්‍යාවන් නිවසින් රැගෙන එන ආහාර ද්‍රව්‍යවලින් තුන්වේල ම සකසා ගන්නා බව ඇය කීවා ය.  

“කෑම උයන්නත් පැය එකහමාරක විතර කාලයක් යනවා. නමුත් හැමදාම ආහාරයට ගන්නේ බත් සමග එක එලවලුවක් විතරයි. ගොඩක් වේලාවට බතුයි පරිප්පුයි. කරවල, බිත්තර වගේ දෙයක්වත් අපිට මිල දී ගැනීමට වත්කමක් නෑ. කැන්ටිමෙන් තේ එකක්වත් බොන්නේ කලාතුරකින්. අවම විදිහට කුස පුරෝගන්න සතියකට රුපියල් 2,500 ක් විතර යනවා“ 

කොවිඩ්-19 වෛරසයේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ලංකාව තුල ව්‍යාප්ත වූ 2019 මැද භාගයේ දී ඇය ද වසංගතයට ගොදුරු වී ඇත. “කොවිඩ් වැලඳුනායින් පස්සේ මගේ ඇස් පෙනීම දුර්වලයි. කොන්දේ අමාරුවකුත් තියෙනවා. තවත් ගොඩක් ලමයි ආසාදිත වෙලා ජීවිත අවදානමෙන් බේරුනා“ යයි ඇය විස්තර කලා ය. 

වියදම් පියවා ගැනීමේ අරමුනින් පාසල් ලමුන් සඳහා අමතර පන්ති පවත්වන ඇය ප්‍රකාශ කලේ රටේ බහුතරයක් මිනිස්සු ආර්ථික ප්‍රශ්නවල හිර වී සිටිය දී දරුවන් සංගීතය වැනි විෂයයන්ට පන්ති එවීම බෙහෙවින් අඩු වී ඇති බවයි. 

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ ම තවත් ශිෂ්‍යාවක්, හේමාස් සහ යුනිලීවර් වැනි සංගත වලට අයත් සුපිරි වෙලඳසැල්වල සති අන්තයේ දී රැකියාවේ නිරත වෙයි. උදෑසන 9.30 සිට සවස 6.30 දක්වා, නම් කරන වෙලඳ භාන්ඩ පාරිභෝගිකයන්ට හඳුන්වා දෙන ඇයට දිනකට රුපියල් 2,000 ක් හිමි වේ. 

“උදේ ඉඳන් පැය 9ක් අපි හිටගෙන ඉන්නේ. අපිම කෑම බීම සපය ගන්න ඕනා. තේ එකක්වත් ලැබෙන්නේ නෑ. මේ වසරේ මුල මම මාස තුනක් වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ තේ කර්මාන්ත ශාලාවක වැඩ කලා. එහිදි මට ලැබුනේ දිනකට රුපියල් දාහක විතර වැටුපක්. එතනත් දරුනු සූරාකෑමක් තිබුනේ. කම්හලේ ගොඩක් කම්කරුවන්ට කොරෝනා වැලඳුනා“ යයි ඇය ප්‍රකාශ කලා ය. 

දෙවසරකට පෙර තම පියා දරුනු හෘර්දයාබාධයකින් ඔත්පල වීමෙන් පසු ඇය කිසිදු මූල්‍යයම ආධාරයක් දෙමාපියන්ගෙන් ලබා ගෙන නැත. ඇයට පාසල් යන වයසේ සොහොයුරියක් සිටී. ඇයට උදව් කිරීමට විවාහක සොහොයුරියන්ට ද අපහසු ය. මව නිවසේ එලවලු වගා කිරීමෙන් ලැබෙන ආදායමෙන් ඉතා දුෂ්කරතා මධ්‍යයේ නිවසේ වියදම් පිරිමසා ගනී. එක් වරක් ගමන් කිරීමට ඇයට රුපියල් 4,000ක් පමන වැය වීම හේතුවෙන් ඇය දැන් ගෙදර යන්නේ මාස කිහිපයකට වරක් පමනි. 

බලයට පත් ආන්ඩු හෙලාදුටු ඇය මෙසේ ප්‍රකාශ කලා පැවසුවාය: “ලංකාවේ වක්‍ර බදු විශාල ලෙස ඉහලයි. නමුත් ඒවායින් අපේ සුභසිද්ධියට කිසිම දෙයක් කෙරෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ මැති ඇමතියෝ, මහ ව්‍යාපාරිකයෝ විතරයි තර වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජමූඅ) අපේ ප්‍රශ්න විසඳනවා නෙමේ තවත් උග්‍ර කරනවා“. 

වික්‍රමසිංහ ආන්ඩුව, ජාමූඅ න් හදිසි නයක් ඉල්ලුම් කරමින් එහි රුදුරු කප්පාදු නියෝග නිර්දයව ක්‍රියාවට නගමින් සිටී. මේ සතියේ ඉදිරිපත් කල අය-වැයට පෙර ම යලි ඉන්ධන මිල ඉහල දැමූ ආන්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු සමාජ සුභසාධන කප්පාදුව අඛන්ඩව ක්‍රියාවේ යොදවා තිබේ. 

මේ වසර තුල මිලියන 09 ක් හෙවත් ජනගහනයෙන් සියයට 40 ක ජනයා දරිද්‍රතාවයට පත් වී ඇතැයි පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අංශය කල සමීක්ෂනයකින් හෙලි විය. මේ වන විට රටේ ආහාර උද්ධමනය සියයට 100 ඉක්මවා තිබේ. 

වර්ධනය වන දරිද්‍රතාවය හේතුවෙන්, රටපුරා පාසල් ශිෂ්‍යයන්ගෙන් ද සියයට 30-40 ත් අතර ප්‍රතිශතයක් අඛන්ඩව පාසල් නොඑන තත්වයක් උද්ගත වී ඇත. 

දරුවන් පාසල් හැර යෑමේ ප්‍රවනතාවය ගසා කමින් සිටින වත්මන් වික්‍රමසිංහ ආන්ඩුව දරුවන් තවදුරටත් අධ්‍යාපනයෙන් විතැන් කොට ලමා ශ්‍රම සූරාකෑමකට කොන්දේසි සකසා ගනුවස්, වයස අවුරුදු 16 ට වැඩි පාසල් දරුවන් පෞද්ගලික අංශයේ රැකියාවල යෙදවීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පාදනය කිරීමට පියවර ගත්තේ ය.     

අගෝස්තු මාසයේ දී ආන්ඩුව මෙම පියවර ප්‍රකාශයට පත් කරද්දි ඊට හුරේ දැමූ ධනපති මාධ්‍ය, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට රැකියා කිරීම අනිවාර්ය කර, ශිෂ්‍යාධාර අහෝසි කල යුතු බවට උද්ඝෝෂනය කලේය. 

සසජාතශි සමාජිකයෝ, කොවිඩ්-19 වසංගතය මගින් හා රුසියාවට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදී බලයන් ප්‍රමුඛ නේටෝ බලයන් විසින් මාස 07 ක් තිස්සේ ගෙන යන බිහිසුනු යුද්ධය මගින් වර්ධනය කෙරෙන ලෝක ධනේෂ්වර ක්‍රමයේ තියුනු අර්බූදය හමුවේ ලොව පුරා ආහාර උද්ධමනය ඉහල ගොස් ඇති ආකාරය හා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ බලගතු පන්ති සටන් වර්ධනය වී ඇති ආකාරය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලිපි ලේඛන ඇසුරෙන් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට පෙන්වා දුන්හ. 

ලොව පුරා තරුනයන්ට කැඳවුමක්: යුක්‍රේන යුද්ධය නතර කිරීමට මහජන ව්‍යාපාරයක් ගොඩනගනු“ යන සසජාතශි ප්‍රකාශය ඒ අතර ප්‍රධාන විය. 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයෙකු ප්‍රකාශ කලේ විශ්වවිද්‍යාලයේ ආපනශාලාවේ ආහාර ගුනයෙන් හා රසයෙන් ඉතා පහත් බවයි. “සල්ලි නැති නිසා මම මාසයම කැන්ටිමෙන් කන්නේ. ඒත් සතියකට රුපියල් 3,000ක් විතර වැය වෙනවා. මම දැන් ඇඳුම් පැක් කරන කම්හලක වැඩ කරනවා. දවසකට රුපියල් 2,000ක් හම්බෙනවා. මගේ අධ්‍යාපනික වැඩ දැන් ගොඩක් බිඳවැටිලා“ යයි ඔහු කීවේ ය. 

එම විශ්වවිද්‍යාලයේ ම කලමනාකරන පීඨයේ පලමු වසර ශිෂ්‍යයෙක් තමන් මුහුන දෙන ආර්ථික ප්‍රශ්න මෙසේ විස්තර කලේ ය: “මම මේ දිනවල උදේ ආහාරය ගන්නේ නෑ. දවල්ට ගෙවල්වලින් බත් ගෙනත් කන ලමයි එක්ක එකතුවෙලා කනවා. රෑට බෝඩිමේ මොනවහරි හදාගෙන කනවා. ගොඩක් ලමයිට දැන් කන්න නෑ. මගේ බෝඩිමට රුපියල් 6,000 ක් දෙන්න ඕන. තාත්තාගේ වැටුපෙන් මල්ලිගේ වියදම් දරනවා. මමයි අයියයි දෙන්නම ටියුෂන් පන්ති කරලා වියදම් පිරිමසා ගන්නවා. නමුත් දෙමාපියන්ටත් ඉස්සර වගේ වියදම් කරන්න සල්ලි නැ. ඒ නිසා ඉන් ලැබෙන මුදලුත් අඩු වෙනවා“ යයි ඔහු කියා සිටියේ ය. 

මෙලෙස ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීම සම්බන්ධයෙන් වත්මන් වික්‍රමසිංහ ආන්ඩුව ඇතුලු බලයට පත් සියලු ආන්ඩු වගකිව යුතුය. එය සමස්ත ධනේෂ්වර ක්‍රමයට එරෙහි බරපතල චෝදනා පත්‍රයකි. ධනපති ආන්ඩු වලට බලපෑම් දමා අධ්‍යාපන අයිතිය දිනා ගත හැකි යයි මිත්‍යාවන් වගාදිගා කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය), විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුලු වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ ද මේ ව්‍යසනයට දේශපාලනිකව වගකිව යුතු ය.  

මේ වසරේ අප්‍රේල්-ජූලි මාසයන්හි පැන නැගි මහජන නැගීටීම, ධනේෂ්වර ක්‍රමයට අභියෝගයක් නොවන පරදි ධනපති පක්ෂවල අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල යටතේ දියකර හැරීමට මෙම සංවිධාන දැනුවත්ව වැඩ කලහ. 

අවිශිබමයේ විරෝධතා දේශපාලනය සම්බන්ධ දීර්ඝ සාකච්ඡාවකින් පසු ජයවර්ධනපුර සරසවියේ කලමනාකරන පීඨ ශිෂ්‍යයා මෙසේ පැවසීය: “මහජනයාට නිවැරදි මග පෙන්වීමක් අවශ්‍යයි. ඇත්තටම අවිශිබමය කියන විදිහට ධනපති ක්‍රමයට බලපෑම් දමලා අපේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. අවිශිබමය පසුගිය දිනවල යුඑන්එච්ආර්සීට (එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම) පැමිනි කලා මර්දනය නතර කරන්න කියලා. මේ අධිරාජ්‍යවාදී බලවතුන්ට වැඳ වැටිලා ලෝක යුද්ධය නතර කරන්නත් බෑ, ආන්ඩුවේ ප්‍රහාර නතර කරන්නත් බෑ“. 

ලෝක යුධ-විරෝධී තරුන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කොටසක් ලෙස, සසජාතශි විසින් සංවිධානය කරන ලදුව, දෙසැම්බර් 10 දා පවත්වන වෙබිනාර් රැස්වීමට සහභාගි වන ලෙස කල ආරාධනය පිලිගත් ඔහු ඒ සඳහා ලියාපදිංචි විය. 

Loading