ඇඟලුම් කම්කරුවෝ මහා පරිමාන රැකියා සහ වැටුප් කප්පාදුවලින් පීඩාවට පත් වෙති

[මෙය Sri Lankan apparel workers hit by major jobs and wages cuts මැයෙන් 2022 නොවැම්බර් 17 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ඇඟලුම් නිෂ්පාදකයින් පහත වැටෙන අපනයන ඇනවුම්, ඉහල පොලී අනුපාත සහ බලශක්ති පිරිවැයට ප්‍රතිචාර දක්වා ඇත්තේ වැටුප්, දිරි දීමනා සහ අනෙකුත් ගෙවීම් කප්පාදු කිරීම සහ රැකියා දස දහස් ගනනක් ඉවත් කිරීම මගිනි. ඇනවුම් අඩු වීම වූ කලී, ගෝලීය සැපයුම් දාම සහ බලශක්ති පිරිවැය මත්තෙහි කොවිඩ්-19 වසංගතයේ සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ විනාශකාරී බලපෑමේ ප්‍රතිඵලයකි.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

මෙම ප්‍රහාර ගැඹුරු වනු ඇති බව පෙන්නුම් කරමින් ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පසුගිය මාසයේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසීය: “ඉදිරි මාස හතරේ සිට හය දක්වා කාලය තුල ඇනවුම් සියයට 20-25 කින් පහත වැටෙනු ඇති බව අපගේ හැඟීමයි.”

මෙය ම ප්‍රතිරාවය කරමින්, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හේමන්ත පෙරේරා බිස්නස් ටයිම්ස් වෙත පැවසුවේ ඇඟලුම් ඇනවුම් දැනටමත් සියයට 50 කින් පහත වැටී ඇති බවයි. ඔහු පැවසුවේ සංගමයේ ලියාපදිංචි සමාගම් 85 න් 35 ක්ම “අර්බුයට පත් ව” තිබෙන බවත් කම්කරුවන් 10,000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය හැකි බවත්‍ ය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින් 300 ක් පමන සිටින අතර, ඇස්තමේන්තුගත යැපෙන්නන් 700,000 ක් සමඟ දල වශයෙන් 350,000 කම්කරුවන් සේවය කරයි. මෙම සමාගම්, වික්ටෝරියාස් සීක්‍රට්, මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, ජීඒපී, ටොමී හිල්ෆිගර්, එච් ඇන්ඩ් එම් සහ සාරා වැනි එක්සත් ජනපදය සහ යුරෝපය පදනම් කරගත් ජාත්‍යන්තර සංගත දුසිම් ගනනක් සඳහා නිෂ්පාදනය කරයි.

ඇඟලුම් කම්හල් හිමියන්, රැකියා සහ වැටුප් කප්පාදු කිරීම පමනක් නොව ආන්ඩුව විසින් නිර්දේශ කරන සොච්චම් වන්දි මුදල පවා නොගෙවා කම්හල් වසා දමා ඇත. අධි උද්ධමනය සමඟ පොර බදන බොහෝ කම්කරුවන්ගේ මූලික මාසික ආදායම රුපියල් 25,000 ක් පමන දක්වා පහත වැටී ඇත.

මෙම ප‍්‍රහාර පැමිනෙන්නේ වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පිලිවෙත් පැනවීම ආරම්භ කර ඇති තතු තුල ය. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල දැමීම, කම්කරුවන් මත බදු ඉහල දැමීම, සමාජ වියදම් කප්පාදු කිරීම සහ රාජ්‍ය අංශය පුද්ගලීකරනය කිරීම මෙයට ඇතුලත් වේ.

ට්‍රෙන්ඩ් සෙටර්ස් සහ අවුරා ගාමන්ට්ස් මේ වසර මුල දී ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා වසා දමා රැකියා 6,000 ක් පමන විනාශ කලහ. ස්මාර්ට් ෂර්ට්ස්, ස්ටාර් ගාමන්ට්ස්, නෙක්ස්ට් මැනුෆැක්චරින්, මාස් හෝල්ඩින්ස්, බ්‍රැන්ඩික්ස් සහ තවත් බොහෝ සමාගම් වැටුප් හා රැකියා කප්පාදු කිරීමට පටන් ගෙන ඇත.

එස්කුවෙල් විසින්, දකුනේ කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ (කොනිවෙක) එහි කම්හල් දෙක මෙන්ම කොලඹට තදාසන්නයේ ඒකල සහ කොලඹ සිට කිලෝමීටර් 85 ක් දුරින් පිහිටි කෑගල්ල ප්‍රදේශයේ කම්හල් දෙක වසා දැමී ය. නිදහස් වෙලඳ කලාපය සහ පොදු සේවක සංගමය, සොච්චම් වන්දියක් සමඟ ස්වේච්ඡා විශ්‍රාම ගිවිසුමක් අත්සන් කරන ලෙස කම්කරුවන්ට බල කලේ ය.

ට්‍රෙන්ඩ් සෙටර්ස් විසින් කොනිවෙක සහ සමනලවැව කාර්මික කලාපයේ කර්මාන්තශාලා වසා දැමීමත් සමඟ රැකියා 1,500 ක් පමන වනසා දමන ලදී. අවුරා සිය කොනිවෙක කම්හල ජුනි මාසයේ දී වසා දැමුවේ 200 ක් රැකියා විරහිතයින් බවට පත් කරමිනි. කිසිදු සමාගමක් හිඟ වැටුප් හෝ සේවයෙන් පහ කිරීමේ වන්දි මුදල් ගෙවා නැත.

වරක් ජාත්‍යන්තර ව සේවකයින් 35,000 ක් පමන සිටින ලොව විශාලතම වියන ලද කමිස නිෂ්පාදකයා වූ එස්කුවෙල් සමූහය, චීන සමාගම්වලට මෙන්ම එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සිල්ලර වෙලෙන්දන්ට රෙදිපිලි සපයයි. 2020 දී එහි විකුනුම් ආදායමෙන් සියයට 30 කට ආසන්න ප්‍රමානයක් චීනයෙන් ලැබුනු අතර, 2021 දී පැන වූ එක්සත් ජනපද සම්බාධක මගින් සමාගමට දැන් පහර වැදී ඇත.

අවුරා ගාමන්ට්ස් 2019 පෙබරවාරි මාසයේ දී කොනිවෙකහි නිෂ්පාදනය ආරම්භ කලේ ය. එය එක්සත් ජනපදයේ සහ යුරෝපයේ, ගෙමෝ, එම්කේ-මයිකල් කෝර්බ්ස්, නිව් ලුක්, එම් ඇන්ඩ් එස් සහ වැන් හියුසන් සඳහා ෂර්ට්, බ්ලවුස්, කලිසම් සහ යට ඇඳුම් ඇතුලු වියන ලද සහ ගෙතූ ඇඳුම් නිෂ්පාදනය කලේ ය. ට්‍රෙන්ඩ් සෙටර්ස්, 2015 අප්‍රේල් මාසයේ දී කොනිවෙක සහ සමනලවැව කාර්මික කලාපයේ දී පිරිමින්, කාන්තාවන් සහ ලමුන් සඳහා ඇඳුම් නිෂ්පාදනය සහ අපනයනය ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන ඇඟලුම් සමාගම් අතරට කම්කරුවන් 35,800 ක් සිටින මාස් සහ ගෝලීය වශයෙන් 54,400 ක් පමන සේවය කරන හයිද්රාමනී ඇපරල් ඇතුලත් වේ.

ජූලි මාසයේදී ඩේලි ෆිනෑන්ෂල් ටයිම්ස් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ ආදායම් වර්ධනයක් වාර්තා කලේ ය. එය ප්‍රකාශ කලේ, කර්මාන්තය “පූර්ව කොවිඩ් ඔරොත්තු දීමේ හැකියාව වෙත ආපසු හැරී ඇතිවා පමනක් නොව ඊටත් වඩා හොඳ තත්වයකට පත් ව ඇති අතර, පලමු භාගයේ [වසරේ] අගය, 2019 පලමු භාගයේ දී ලබා ගත් ඩොලර් බිලියන 2.62 ට වඩා වැඩි ය, එනම් ඩොලර් බිලියන 2.8 කි. කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵල සාක්ෂාත් කර ගෙන ඇත්තේ අනුකම්පා විරහිත සූරාකෑම හරහා ය.

2020 ඔක්තෝම්බර් මාසයේ දී නිකුත් කරන ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල්ඕ) වාර්තාවකට අනුව, ආසියාවේ ඇඟලුම් සහ රෙදිපිලි කම්කරුවන්ගේ රැකියා දහස් ගනනින් විනාශ ව ඇත. ඉන්දුනීසියාවේ, 2020 ජූලි වන විට ශ්‍රම බලකායෙන් 812,254 ක් හෙවත් ආසන්න වශයෙන් සියයට 30 ක් ඉවත් විය; මියන්මාරයේ 22,000 කට පමන රැකියා අහිමි විය; කාම්බෝජයේ 150,000 ට වැඩි ප්‍රමානයකට රැකියා අහිමි විය. statists.com විසින් කරන ලද තවත් සමීක්ෂනයකට අනුව, 2020 මාර්තු සිට 2021 මාර්තු දක්වා, ඉන්දියාවේ රැකියා 712,000 ක්, බංග්ලාදේශයේ 438,000 ක් සහ ශ්‍රී ලංකාවේ 100,000 ක් විනාශ වී ඇති බව ගනන් බලා තිබේ. මෙම වාර්තා නිකුත් කිරීමෙන් පසු ඊනියා ප්‍රකෘතිමත් වීමක් සිදු වුව ද බොහෝ සමාගම් තමන් සේවයෙන් ඉවත් කල සියලු දෙනා නැවත බඳවා ගැනීමට අපොහොසත් ව ඇත.

කොවිඩ්-19 2020 දී ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට පටන් ගත් විට, සේවකයින් කිසිසේත් ප්‍රමානවත් නොවන ආරක්ෂන ක්‍රියාමාර්ගවලට විරුද්ධ වුව ද, ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය සහ අනෙකුත් අංශ ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ දිගට ම වැඩ කරන ලෙස ය. 2020 ඔක්තෝම්බර් මාසයේ දී බස්නාහිර පලාතේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයින් 1,000 කට අධික පිරිසක් කොවිඩ්-19 ආසාදිත බව සොයා ගන්නා ලදී.

මුලුමනින්ම වැලැක්විය හැකි ව තිබූ ආසාදන හා මරන දහස් ගනනකට තුඩු දුන් මෙම සාපරාධී ප්‍රතිපත්ති, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ආන්ඩුව සහ අනෙකුත් පාලක ප්‍රභූව විසින් නිර්දය ලෙස දිරිමත් කර අනුමත කරන ලදී.

ඒ අතරම, කොවිඩ්-19 හි පලමු රැල්ල අතරතුර, කර්මාන්තශාලා හිමියන් ලාභය පවත්වා ගැනීම සඳහා ශ්‍රම බලකායන් කපා හරින අතර ම ඵලදායිතාව වැඩි කිරීමට පියවර ගත්හ. උදාහරනයක් ලෙස, 2020 ජූනි මාසයේ දී, මාස් හෝල්ඩින්ස්, ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් හරහා තම ශ්‍රම බලකාය සියයට 4 කින් අඩු කලේ ය.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවලින් ඇඟලුම් මිල දී ගන්නා ගෝලීය විලාසිතා වෙලෙන්දෝ එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ද රැකියා කප්පාදු කරති. ජාත්‍යන්තර ව 97,000 ක් සේවය කරන වික්ටෝරියාස් සීක්‍රට්, ඩොලර් මිලියන 40 ක පිරිවැය අඩු කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස, කලමනාකරන තනතුරු 160 ක් ඉවත් කර ඇත. 2021 දී සිය ශ්‍රම බලකාය 20,000 කින් කපා දැමූ ජීඒපී දල වශයෙන් රැකියා 500 ක් පමන කපා හැරීමට සැලසුම් කරයි, එක්සත් රාජධානියේ වෙලෙන්දෙකු වන මාර්ක් ඇන්ඩ් ස්පෙන්සර් ද 2022 දී ඒ හා සමාන රැකියා ප්‍රමානයක් කපා හැරීමට සැලසුම් කරයි.

ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් ආසියානු රටවල ඇඟලුම් කම්කරුවන්ගේ වැටුප් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ යෝධ ඇඟලුම් වෙලෙන්දන් විසින් ගෙවන වැටුප්වලට වඩා බෙහෙවින් අඩු වන අතර, ගැඹුරු වන ගෝලීය අර්බුදය ඔවුන් සියල්ලෝ ම උද්ධමනය, රැකියා සහ වැටුප් කප්පාදුව සහ වැඩ අධික වීම වැනි පොදු ගැටලුවලට මුහුන දී සිටින බව හෙලි කරයි.

ජාත්‍යන්තර ව ඔවුන්ගේ සගයන් මෙන් ම, ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ද ධනේශ්වර පද්ධතියට බැඳී සිටින අතර, අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවිය යුතු බවට ආන්ඩුවේ සහ ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම් නිර්දය ලෙස ක්‍රියාත්මක කරන කාර්මික පොලිස් බලකායක් ලෙස ක්‍රියා කරයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) තම වැටුප්, රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස ඉල්ලා සිටින්නේ එබැවිනි. එවැනි කමිටු ආසියාව පුරා සහ ජාත්‍යන්තර ව ඇඟලුම් කම්කරුවන්ගේ ඒකාබද්ධ ක්‍රියාමාර්ග සම්බන්ධීකරනය කරනු ඇත.

සසපට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත් කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව අනෙකුත් කම්කරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ වැඩපලවල ද එය ම කරන ලෙසයි. සසප ගෝලීය වශයෙන් ඇඟලුම් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් ගොඩනැගීමේ අරගලයේ කොටසක් ලෙස සහ සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා මෙම අරගලය ගෙන යන ලෙසයි.

Loading