ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි ලිපි සරනිය

නිර්ධන පන්ති කලාව සහ අපේ පක්ශයේ කලා ප්‍රතිපත්තිය

පලමු ලිපිය

ලදරු සෝවියට් සමාජය තුල ඉස්මතු වූ “නිර්ධන පන්ති සංස්කෘතිය” නමැති අභව්‍ය හා ප්‍රතිගාමී සංකල්පය බැහැර කරමින් ද, එය උත්කර්ශයට නැංවූ ප්‍රොලිකල්ට් ව්‍යාපාරය විවේචනය කරමින් ද වොරොන්ස්කි ලියූ “නිර්ධන පන්ති කලාව සහ අපේ පක්ශයේ කලා ප්‍රතිපත්තිය” (1923) නමැති ලිපියෙන් උපුටා ගැනිනි.

මෙම ලිපි සරනියේ දෙවැන්න, දෙසැම්බර් 2දා පල කරමු.

| හැඳින්වීම |

***

බැලූ බැල්මට ප්‍රස්තුතය අති සරල ය. සෝවියට් ජනරජය තුල මූලික පන්ති කාන්ඩ තුනකි: බලයට පත් වී සිටින නිර්ධන [කම්කරු] පන්තිය, අතරමැදි සුලු-ධනේශ්වරයෙහි ස්ථර සහ සුනුවිසුනු වී ගිය මහ ධනේශ්වරයෙහි හා කුලීන පෙලැන්තියෙහි භස්මාවශේශ. මීලඟට, සාහිත්‍ය කලාවක් ද පවතී. යට කී පන්ති විභේදනයට අනුරූපීව, සාහිත්‍යය ද මූලික ප්‍රවර්ග තුනකට බෙදා දැක්විය යුතු ය: නිර්ධන, සුලු-ධනේශ්වර හා රදල-ධනේශ්වර. අද්‍යතන රුසියාවේ නිර්ධන පන්තිය බලයට පත්ව සිටින බැවින් එහි සාහිත්‍යය ද බලාත්මක විය යුතු ම ය. නිර්ධන පන්ති සාහිත්‍යය කරා සමීපව නැඹුරු වන තාක් දුරට හා සහායක බලඇනියක් ලෙස සේවය කරන තාක් දුරට පමනක් සුලු-ධනේශ්වර සාහිත්‍යයට ඉඩ දිය හැකි ය. බාහිර හා අභ්‍යන්තර විගමනයේ සාහිත්‍යයට එරෙහිව අක්ශමනීය විනාශකාරී යුද්ධයක් අප විසින් දියත් කල යුතුව ඇත. වෙනත් මොනයම් දෘශ්ටිලක්ශයක් වුව, අවසන් විග්‍රහයේ දී, සාහිත්යික මෙන්ශෙවික්වාදය හා [ධනේශ්වර] පුනස්ථාපනය නියෝජනය කරනුයේ නිර්ධන පන්තියෙහි සතුරන් අතට දෙන අවියක් වනු ඇත. අන්තයට ම ගිය කල්හි එය ජංජාලයකි, විකේන්ද්‍රිකතාවකි (eccentricity), නැතහොත් නග්න රසපරමවාදයකි.

එබඳු අදහස්, ඒවායෙහි සරලතාව හා සැට්ටර ගුනය නොතකා, එක් බැරෑරුම් ඌනතාවකින් පීඩා විඳී: අපේ සංයුක්ත, තථ්‍ය, සමාජීය හා සාහිත්යික පරිවේශය (milieu) නොසලකා හරිමින් ඒවා නග්න, වියුක්ත හා සරලීකෘත පටිපාටි මත පදනම් වී ඇත. එක් දහස් එක්වැනි වරට ද ඒවායින් ප්‍රදර්ශනය වනුයේ අති සරල කරන්නන් අත මාක්ස්ගේ විධික්‍රමය ඉතා පහසුවෙන් ග්‍රාම්‍ය අශ්ලීලනයක් බවට පත් විය හැකි ය යන සරල සත්‍යය යි.[1] ඒ වනාහි ප්‍රසාදිත විශ්ලේශී මෙවලමක් වමටත් දකුනටත් වැනිය හැකි සැහැල්ලු මුගුරක් බවට හැරවීමකි. සංකීර්න සමාජ ප්‍රපංච සමඟ පොරබදන මාක්ස්වාදී ව්‍යවච්ඡේදකයාගේ වෙහෙසකර කාරිය සමඟ කිනම් ආකාරයේ වුව පොදු යමක් එයට නැත...

ධනේශ්වර හා කුලීන ලේඛකයන් සිටින වග පරම සත්‍යයකි. ඔවුන්ගේ කෘතීන්ගෙන් පිලිබිඹු වනුයේ එකී පන්තීන්හි දෘශ්ටිවාදය යි. නිර්ධන පන්තියේ ලේඛකයන් ද සිටින අතර (බොහෝ විට මොවුහු කම්කරුවෝ නොවෙත්) ඔවුන්ගෙගෙන් පිලිබිඹු වනුයේ කම්කරු පන්තියෙහි කොමියුනිස්ට් දෘශ්ටිවාදය යි. එහෙත්, අපට නිර්ධන පන්ති කලාවක් ඇතැයි මින් කිසිසේත් අදහස් නොකෙරේ. නිදසුනක් ලෙස, එල්. එන්. තොල්ස්තෝයිගේ යුද්ධය හා සාමය බඳු කෘතියක් රචනා කිරීමෙහිලා කලාකරුගේ සුධීමත්වයට අමතරව වෙනත් කොන්දේසි ද සැපිරී තිබිය යුතු ය: පැරනි කුලීන දිවි පෙවෙත හා සංස්කෘතික ව්‍යුහය පැවතිය යුතුවා මතු නොව ඌනාධික වසයෙන් එය තරයේ ස්ථාපිතව ද තිබිය යුතු ය. එනම්: කුලීන ‘කැදලි’, මොස්කව් නුවරින් එපිට නින්දගම්, පීටර්ස්බර්ග්හි කුවෙර මන්දිර හා මොස්කව්හි පරවේනි වලව්; ගෘහස්ථ මෙහෙකරුවන්, රදල වංශාධිපතීන්, ගොවි ප්‍රවේනිදාසයන් හා මිදුම් බදු (quitrent)[2], කුලීන පෙලැන්තියෙහි ආර්ථික, දේශපාලනික හා පවුල් ජීවිතය, එහි සකල ‘ආමෝද’ හා සිරිත් විරිත් යනාදිය සහිත සමස්තය යි. මෙකී ව්‍යුහයට ඉහලින් හෙවත් උපරි-ව්‍යුහයක රූපාකාරයෙන් නිසඟ ප්‍රතිචාර හා ගතිපුරුදු, අදහස් උදහස්, ආචාර ධර්ම, මතිමතාන්තර, වැටහීම්, සෞන්දර්යමය රුචිඅරුචිකම්, විද්‍යාත්මක ඥානය, ඇදහිලි, මිථ්‍යා විශ්වාස හා සැකසංකා යනාදියෙන් සමන්විත බහුවිධ සංකීර්නය හට ගනී. ඇන්ඩ්‍රි බොල්කොන්ස්කි, පියෙරි, කුතුශොව්, ඩෙනිසොව්, නතාශා හා සෙසු හැම දෙනා ප්‍රසූත කෙරුනේත් හදාවඩා ගැනුනේත් මෙකී පරිවේශය විසිනි. අදාල යුගයෙහි රජයන සහජාශ, ඥානය, ධර්මතා හා රුචිඅරුචිකම් ඓන්ද්‍රීයව එකිනෙක බැඳී නිපදවෙන කලාලය මත ඇතිදැඩි වන මොවුහු මුලු සංකීර්නය ම සමාග්‍රහනය (assimilation) කරත්. මෙහි දී අප කතා කරනුයේ අදහස් පිලිබඳව මතු නොව කුදු මහත් අන්තර්-බන්ධිත, අද්විතීය සංස්කෘතික සංකීර්නය පිලිබඳව ය. තොල්ස්තෝයි ගනුදෙනු කලේ කාලාන්තරයක් මුලුල්ලේ වර්ධනය වී පරිපූර්න රූපාකාරයක් අත්පත් කර ගත් කුලීන සංස්කෘතියක් සමඟ ය. ධනේශ්වර කලාව පිලිබඳව ද එය ම කිව හැකි ය. එය පාදකව තිබෙනුයේ සියවස් කීපයක ධනේශ්වර සංස්කෘතිය මත ය. සංස්කෘතිය යන්නෙන් මෙහි දී ද අප කතා කරනුයේ අදහස් මතු නොව අභිවර්ධිත සහජාශ, ගතිපුරුදු, සිතනමතන විධිය, සදාචාරමය හා සෞන්දර්යමය අභිධාරනාවන් (postulations) යනාදියෙහි ඓක්‍යයත් ඊට පදනම් වන ආර්ථික හා දේශපාලනික ජීවන ව්‍යුහයනුත් ය.

ප්‍රකට සෝවියට් පෝස්ටර් සිත්තරා ඩෙනි නොහොත් වික්ටර් ඩෙනිසොව් විසින් අංජිත ඒ.කේ.වොරොන්ස්කි නිරූපිත කාටූනයකි (1923). හීසර එවනුයේ "නිර්ධන පන්ති කලාවේ˜ හොරනෑවක් වූ නා පොස්තු ( On Guard ) සඟරාවේ ප්‍රමුඛ සංස්කාරකවරුන් පිරිසකි: වොරොන්ස්කිගේ ප්‍රධාන සතුරාවූ ලේඛක ජී. ලෙලවිච් හෙවත් ලැබෝරි කල්මැන්සන්, නවකතාකරු තරාසොව්-රොඩියනොව්, සාහිත්‍ය විචාරක සිමියොන් රොඩොව් සහ පත්‍රකලාවේදී බොරීස් වොලින්. 1926 දී වොරොන්ස්කි සමඟ මිතුරුව වාම විපාර්ශ්වයට බැඳුනු ලෙලවිච් මහා විරේකය සමයෙහි දී (1937) ඔහු සමඟ ඝාතනයට ලක් කෙරුනි. රතු හමුදාවට බැඳී සටන් කල තරාසොව්-රොඩියනොව් ද 1938 දී ඝාතනය විය.

නිර්ධන පන්ති සංස්කෘතික ධාරාවෙහි තතු කවරේ ද? යට කී පරිදි, කම්කරු පන්තිය, වෙසෙසින් ම, රුසියානු කම්කරු පන්තිය සංස්කෘතියෙන් පිටමං කෙරුනු පන්තියකි. එහෙයින්, පන්ති ආඥාදායක යුගයෙහි මූලික කාර්යභාරය වනුයේ අතීත සංස්කෘතික උරුමයෙහි පාරගත වීම යි. මෙහි අරුත නම්, අපට නිර්ධන හෝ කොමියුනිස්ට් සංස්කෘතියක් නොමැති අතර එවැන්නක් පැවතීමට ද තව ම ඉඩකඩ නැති බව යි. පැරනි සංස්කෘතිය සමාග්‍රහනය කර ගැනුමෙහිලා දැනටත් ගැටලු පවතී. සංස්කෘතිය නමැති සංකල්පය කරා අවියෝජනීයව දිවෙන සහජාශ, කුසලතා හා විධික්‍රම ආදියෙන් සමන්විත බහුවිධ සංකීර්නයක අඩුව පවතින තාක් අපට නූතන නිර්ධන පන්ති කලාව සමඟ ධනේශ්වර හා කුලීන කලාව එක පෙලට තැබිය නොහැක. මේ අපරොක්ත කලාව ශතවර්ශ ගනනාවක් මත රැඳී තිබෙන අතර නිර්ධන පන්තියට එබඳු සංස්කෘතික පසුබිමක් නොමැත. වෙනත් අයුරකින් කියතොත්, නිර්ධන පන්ති කලාවක් මේ දැන් නොපවතින අතර චිරාගත සංස්කෘතිය හා චිරාගත කලාව සමාග්‍රහනය කොට ගැනුමෙහි කාර්භාරය අප හමුවේ පවතින තාක් එවැන්නක් බිහි නොවනු ද ඇත. අපට තිබෙනුයේ, නිර්ධන පන්තියට හාපුරා කියා විවර වූ ධනේශ්වරසංස්කෘතියක් සහ කලාවකි. රුසියානු කම්කරුවා දිනා ගත් දෑ ඔහු වෙතින් පැහැර ගනු වස් ධනේශ්වරය ස්වකීය සංස්කෘතික හා සෙසු ශක්‍යතා මෙහෙයවා ගනිමින් දැන් සිය සකල ශක්තීන් යොදා වෙහෙසෙයි. කලාව පවා, ඊට හැකි තාක් දුරට, එම කාරියෙහිලා පරිහරනය කෙරේ. සමනන්තරව, කොමියුනිස්ට් පක්ශය හා වැඩ කරන ජනතාවෝ නිර්ධන පන්තියේ අවසන් විජයග්‍රහනය උදෙසා මෙකී උරුමයෙහි පාරගත වීමට පරිශ්‍රම දරන්නාහු ය. එසේ ම, කොමියුනිස්ට් ලේඛකයෝ ද අපට සිටිත්. ඔවුන්ගේ කාර්යභාරය විය යුත්තේ අතීත කලාවෙහි පාරගත වෙමින් නිර්ධන පන්තියට එරෙහිව ධනේශ්වරය පරිහරනයකරන අවිආයුධ අතරින් එකක් ධනේශ්වරයට ම එරෙහිව පරිහරනය කරනුව නිර්ධන පන්තිය අතට පත් කිරීම යි. හරියට ම, සිවිල් යුද්ධයෙහි දී, ධනේශ්වර සමාජයේ නිපැයුම් වග නොතකා කම්කරුවා කාලතුවක්කු, මැශින් තුවක්කු, යුද ටැංකි ආදිය පරිහරනය කල පරිද්දෙනි. කොමියුනිස්ට් ලේඛකයා ද අතීත කලාව එහි අභිභවනය පිනිස යොදා ගත යුතු ය. ඇත්ත වසයෙන් ම, සිදු වෙමින් පවතිනුයේ මෙය යි. නිර්ධනපන්ති කලාව යනුවෙන් හැඳින්වෙනුයේ, කිසියම් සුවිශේශී කාර්යයක් – ධනේශ්වරයට නොව නිර්ධන පන්තියට සප්‍රයෝජනවත් කාර්යයක් හිමි පූර්ව කලාව ම ය. අපේ නිර්ධන පන්ති කලාව මුලුමනින් පවතිනුයේ මෙකී “කෞතුක ධාරාවේ” රාමුව ඇතුලත ය. සියල්ලට මත් වඩා, තම භූමිකාව ගැන අවබෝධයෙන් යුතු එක් එක් නිර්ධන පන්ති ලේඛකයා වැඩ කල යුත්තේ පූර්වයෙන් නිර්මිත කලාත්මක අනාවරනයන්හි හා මස්තක ප්‍රාප්තීන්හි පදනම හා මට්ටම මත ය. අතීත කලාවෙහි බහුවිධ හා සමෘධිමත් අන්තර්ගතය සැම විට ම හා ප්‍රත්‍යක්ශ ලෙස ම මනසේ රඳවා ගැනුමට ඔහුට බල කෙරී ඇත. ඔහු එය දැන සිටිය යුතුවා මෙන් ම අලුතින් “යමක් එකතු කරනුව” ඔහු එය පරිහරනය කල යුතු ය. අතීත කලාවෙන් ප්‍රදානය කෙරුනු දෑ සැලකිල්ලට ගැනුමට අමතක කලහොත් නැතිනම් එය නොතකා හැරියොත් එකදු වැදගත් කලාත්මක සාමාන්‍යෝක්තියක්, එකදු කලාත්මක ප්‍රවර්ගයක්, එකදු නව පරිකල්පන රූපයක් [සංකල්පරූපයක්] ඔහු අතින් බිහි නොවනු ඇත.[3] ඔබ ප්ලැතොන් කරාතියෙව් වේවා ඉවාන් අර්මොලිවිච් වේවා චෙකොෆ්ගේ කතා තුල හමු වන ගැමියන් වේවා නොහඳුනයි නම් වත්මන් ගැමියා ගැන ලිවීමට ඔබ අසමත් වනු ඇත. ඔබ ගොගොල්, උස්පෙන්ස්කි හා ශෙඩ්‍රින් ගැන නොදනී නම් ඔබට වත්මන් සෝවියට් පොලිස් ප්‍රවර්ග ගැන මොනයම් වටිනා දෙයක්වත් රචනා කල නොහැකි වනු ඇත. යටගිය දවසෙහි සකල සියලු කලාත්මක මූර්තිමත් වීම් අවශෝශනය කෙරී නැතිනම්, පූර්ව සාහිත්‍යය තුල කොහෙත්ම ප්‍රතිබිම්බිතව නැති නූතන කම්කරුවා හෝ නූතන කොමියුනිස්ට්වාදියා සමීපයටවත් ඔබට යා ගත නොහැක. එහෙයින්, ඔබ ශේක්ස්පියර්, සර්වන්ටේස්, ගර්තේ, තොල්ස්තෝයි, දොස්තයෙව්ස්කි සහ සෙස්සන් ගැන දැනුවත් වී සිටිය යුතු ම ය. නිදසුනක් ලෙස, මෙකී ධාරාවෙහි අඛන්ඩත්වය සහ ඒ මත දෘඩතරව යැපීම නූතන නිර්ධන පන්ති සාහිත්‍යය තුලින් දැක ගැනුම කොහෙත්ම අසීරු නැත...

පරිවර්තනය : දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකයාගේ අභිමතය පරිදි ය)


[1]

මාක්ස්ගේ න්‍යාය අති සරල කරන උදවිය පිලිබඳව වරක් ලැබ්‍රියෝලා මෙසේ ලිවී ය: “අලස මනස් එබඳු දල ප්‍රකාශවලින් නොවලහා තෘප්තිමත් වෙති. සියලු සරලමතික හා ඉතා පහසුවෙන් පිනායන මිනිසුන් හට එය කොතරම් සතුටක් ද? මොන තරම් අපූරු විශ්‍රාමයක් ද?: අවසානයේ දී, ප්‍රස්තුත ස්වල්පයක් සහිත කෙටි සාරාංශයකින් සකල ඥානාවබෝධය ලැබ, එක ම එක ගුරු යතුරකින් ජීවිතයේ සියලු රහස් විනිවිදිය හැකි ය!” (Antonio Labriola' Essays on the Materialistic Conception of History' Charles H. Kerr & Com' Chicago', 1908,පි. 204)– ද. මේ.

[2]

දාසභාවයෙන් මිදී ගනු වස් දාසයා විසින් ස්වාමියා වෙත ගෙවිය යුතු වූ මූල්‍යමය වන්දිය; අනෙක් අතට, ස්වාමියාගේ අභිමතය අනුව ගෘහස්ථ දාසයන් අත්පිට මුදලට ද, ගොවිදාසයන් ඉඩකඩම් සමඟ ද විකිනිය හැකි විය – ද. මේ.

[3]

ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය: “ශතවර්ශාධික කාලයක් පුරා යටගිය කලාව මනුශ්‍යයා වඩා සංකීර්න හා සුනම්‍ය කොට ඔහුගේ චෛතන්‍යය ඉහල නංවා ඔහු නන් අයුරින් ආඪ්‍ය කර ඇත. මෙකී ආඪ්‍යත්වය සංස්කෘතියේ අමිල විජයග්‍රහනයකි. එහෙයින්, අතීත කලාවෙහි පාරප්‍රාප්ත වීම නව කලාව නිමැවීම උදෙසා මතු නොව නව සමාජය ගොඩනැඟීම උදෙසා ද අතවශ්‍ය පූර්ව කොන්දේසියකි...” (“සංස්කෘතිය හා සමාජවාදය”,1927)– ද. මේ.

Loading