ආන්ඩු-විරෝධී අරගල තලා දමන බවට ජනාධිපති තර්ජනය කරයි

(මෙය Sri Lankan president threatens to crush anti-government struggles මැයෙන් 2022 නොවැම්බර් 26 පල වූ ලිපියේ පරිවර්තනය යි.)

ආන්ඩු-විරෝධී විරෝධතා මැඩීම සඳහා පොලිස් රාජ්‍ය පියවර ගන්නා බවට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදාදා තර්ජනය කලේ ය. අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුව ඇමතූ ඔහු මෙසේ පැවසී ය: “ආන්ඩුව වෙනස් කිරීම සඳහා තවත් ‘අරගලයක්’ ආරම්භ කිරීමට සැලසුම් තිබෙනවා. ඒත් මම එයට ඉඩ දෙන්නේ නැහැ. මිලිටරිය හා හමුදාවන් යොදාගෙන මම හදිසි තත්ත්වයක් පනවනවා.”

රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 21 බ්‍රහස්පතින්දා කොලඹ දී ජනාධිපති ධූරයේ දිවුරුම් දෙමින් (ඒපී හරහා ශ්‍රී ලංකාවේ ජනාධිපති කාර්යාලය) (ඒපී ඡායාරූප/ ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය) [AP Photo/Sri Lankan President's Office]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ පාලන තන්ත්‍රය පෙරලා දැමූ, අප්‍රේල් සිට ජූලි දක්වා පැවති කම්කරුවන්ගේ හා දුගීන්ගේ මහජන නැගිටීම පුනර්කරනයවීමේ හැකියාවක් ගැන වික්‍රමසිංහ සඳහන් කලේ ය.

මිලිටරිය දිගේලි කිරීම, දේශපාලන පක්ෂ ඇතුලු ඕනෑ ම සංවිධානයක් තහනම් කිරීම, විරෝධතා හා වැඩ වර්ජන තහනම් කිරීම, ඕනෑ ම පුද්ගලයෙකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම, දේපොල පරීක්ෂා කිරීම හා මාධ්‍ය වාරනය යන විෂඝෝර බලතල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම මගින් ජනාධිපතිවරයාට ලබා දෙයි.

අප්‍රේල් මාසයේ ආරම්භ වූ මහජන විරෝධතා, රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස ද දරාගත නො හැකි උද්ධමනය, අත්‍යවශ්‍ය භාන්ඩවල හිඟයන් සහ පැය ගනන් දිගු දෛනික විදුලි කප්පාදු අවසන් කරන ලෙස ද බල කලේ ය. කම්කරුවන් හා දුගීන් මිලියන ගනනක සහභාගීත්වයෙන්, මාස හතරක් පුරා ඇදෙමින් සමස්ත පාලක පන්තියට එරෙහි ව යොමු වූ මෙම අරගලය, රාජපක්ෂගේ ආන්ඩුව ඇද වැටෙද්දී ඔහුට රටින් පලා යාමට බල කලේ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය සහිත ව, වෘත්තීය සමිති විසින් මෙම මහජන ව්‍යාපාරය පාවා දෙනු ලැබී ය. අපකීර්තිමත් පාර්ලිමේන්තුව සිදු කල ප්‍රජාතන්ත්‍ර-විරෝධී ඡන්දයක් හරහා එක්සත් ජනපදයේ ගැත්තෙකු වන වික්‍රමසිංහට බලයට ඒමට මාවත පාදාදීම සඳහා මෙම බලවේග ධනපති විපක්ෂ සමග පෙල ගැසුනි.

මහජනයා මුහුන දෙන දැවෙන ප්‍රශ්න කිසිවක්, වික්‍රමසිංහ බලය කරා ආරෝහනය කිරීමෙන් විසඳුවේ නැත. ඒ වෙනුවට, ඔහුගේ පාලන තන්ත්‍රය, ජීවන කොන්දේසි මත ප්‍රහාරයන් තීව්‍ර කලේ, අධික උද්ධමනය හා කුසගින්න අවුලුවමිනි.

අර්ථභාරී ලෙස, මහජන විරෝධය තලා දමන බවට වික්‍රමසිංහ තර්ජනය කලේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් විධානය කරන ලද අයවැයක් විවාදයට ගනිද්දී ය. පිරිවැය කපා දැමීම්, අධික බදු පැනවීම් හා පුද්ගලීකරනයන් ඇතුලු රුදුරු කප්පාදු පියවරයන් අඩංගු කරගන්නා එම අයවැය, රාජ්‍ය අංශයේ රැකියා කැපීම් ලක්ෂ ගනනක් පිලිබඳ ව පෙර ඇඟවුම් කරයි.

මෙම පියවරයන්, කම්කරු පන්තික අරගල හා ගම්බද දුගීන්ගේ විරෝධතාවල නව රැල්ලක් අවුලුවනු ඇතැයි ආන්ඩුව හා සමස්ත පාලක පන්තිය බිය වෙති.

“විරෝධතා දැක්වීමට ඕනෑ ම කෙනෙකුට නිදහස තිබෙනවා” යි ද එවැනි ක්‍රියාවන්ට පොලීසියේ අවසරය අවශ්‍ය බව ද වික්‍රමසිංහ නරුම ලෙස ප්‍රකාශ කලේ ය. “පොලීසියට ගොස් අවසර ගෙන පාරවල් දිගේ ඇවිදිමින්, මම ආඥාදායකයෙක් හෝ හිට්ලර් කෙනෙක් යයි කෑගහන්න, ඒත් මාර්ග අවහිර කරන්න එපා” යැයි ඔහු පැවසී ය.

ඔහුගේ පූර්වගාමියාට විරුද්ධ ව මාස ගනනක් පැවති විරෝධතා, ත්‍රස්තවාදීන් විසින් අවුලුවන ලද ක්‍රියාවන් බව, ජනාධිපතිවරයා වරෙන් ඔහෝ භාෂාවෙන් කීවේ ය. පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ඔවුන්ගේ ආධාරකරුවන්ට විරුද්ධ ව රට පුරා ඇවිල ගිය “ප්‍රචන්ඩත්වය” ගැන ඔහු සඳහන් කලේ ය. සත්‍ය වසයෙන් ම, ප්‍රචන්ඩ ප්‍රහාර සිදු කරන ලද්දේ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් බලමුලු ගන්වන ලදු ව, ඔහුගේ නිල නිවස ඉදිරිපිට හා ගාලු මුවදොර පිටියේ සිටි ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන්ට එරෙහි ව මැයි 9දා පහර දුන් මැරයන් විසිනි. එයට මහජන විරෝධතා සමග කිසිදු සබඳතාවක් නො තිබුනි.

2022 නොවැම්බර් 2දා කොලඹ පිටකොටුවේ විරෝධතාකරුවන්ට එරෙහි ව, එස්ටීඑෆ් හා මිලිටරි භටයන්ගේ පිටුබලය සහිත ව, ජල ප්‍රහාරක සමගින් සන්නද්ධ වී සිටින පොලීසිය (ඡායාරූපය: ලෝසවෙඅ)

මන්ත්‍රීවරුන්ට එරෙහි ව, දේශපාලනික ව අස්ථාවර සමහර කොටස් විසින් සිදු කරන ප්‍රචන්ඩත්වය, රාජ්‍යය ශක්තිමත් කිරීම පමනක් සිදු කරනු ඇතැයි, එකල සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවී ය.

පාර්ලිමේන්තු මැතිවරනයක් සඳහා විරුද්ධ පක්ෂ කරන කැඳවීම නො තකා හරිමින් ජනාධිපති මෙසේ ප්‍රකාශ කලේ ය: “ආර්ථික අර්බුදය විසඳන තෙක් මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ.” පෙර නුවූ විරූ ආර්ථික අර්බුදයෙන් ප්‍රකෘතිමත් වීමට මුවා වෙමින්, ආන්ඩුවේ පාලනය අවිනිශ්චිත කාලයක් පවත්වා ගැනීමට වික්‍රමසිංහ මෙම ව්‍යාජ නිමිත්ත යොදාගනු ලැබිය හැක.

මහ මැතිවරනයක් සඳහා විපාර්ශවික සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) කරන කැඳවීමට, මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සමග මෙලොව සම්බන්ධයක් නැත. ඒ වෙනුවට මෙම පක්ෂ උත්සාහ කරමින් සිටින්නේ, දේශපාලන බලය සඳහා ඔවුන් ගෙන යන උද්ඝෝෂනය පිටුපසට මහජන විරෝධය අපසරනය කිරීමට යි.

පෙසප ඇවිලවූ ප්‍රචන්ඩත්වය ගැන වික්‍රමසිංහ කරන කියාපෑම්වලට, අංශු මාත්‍ර සාක්ෂියක් නො සැපයුනි. මෙම කන්ඩායම සමග සසපට තිබෙන අතිමූලික දේශපාලන වෙනස්කම් නො තකා, පෙසපට එරෙහි ව ජනාධිපතිගේ තර්ජනය අපි එකහෙලා හෙලාදකිමු. විශේෂයෙන් ම ඉහල යන කෝපයේ බොහෝ සලකුනු තිබෙන, කම්කරු පන්තිය තුලින් මතු වන විරෝධය ඇතුලු සකල දේශපාලනික විරෝධය බියවැද්දීම, ඔහුගේ ප්‍රකාශයන්ගේ ඉලක්කය යි.

කොඳු කැඩෙන වැඩබරට හා වැටුප් කප්පාදුවලට විරුද්ධ ව, නුවර එලියේ අප්කොට්හි ග්ලෙනුයිජ් වත්තේ කම්කරුවන් 500ක්, මෑත දී වැඩ වර්ජනය කල හ. අඟහරුවාදා හා බදාදා ආන්ඩුවේ මුද්‍රනාලයේ සේවකයන් 1,200ක් වැඩ වර්ජනයේ යෙදුනෝ ය. ඊයේ, ටෙලිකොම් කම්කරුවන් දහස් ගනනක්, පුද්ගලීකරනයට එරෙහි ව රට පුරා විරෝධතා පැවැත්වූ හ.

වික්‍රමසිංහට කිසිදු මහජන සහයෝගයක් නැත. බලයෙන් නෙරපා දැමූ ජනාධිපති රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) නම් වූ ඔහුගේ දේශපාලන පදනම, මහජන විරෝධය මධ්‍යයේ ඉරිතලා ගොස් ඇත. ජූලි මාසයේ දී මන්ත්‍රීවරුන් 134කගේ ඡන්දයෙන් ඔහු පත් වුව ද ඔහුගේ අයවැයට පක්ෂ ව ඡන්දය දුන්නේ 121ක් පමනි.

වික්‍රමසිංහ බලයේ එල්ලී සිටින්නේ, ඔහුගේ පූර්වගාමියා යොදාගත් ඒකාධිපති විධික්‍රම ම යොදාගනිමිනි. ජූලි 22දා ජනාධිපති ලෙස ඔහුගේ පලමු ක්‍රියාව වූයේ, ජනාධිපති ලේකම් කාර්යාලය මාස ගනනක් තිස්සේ වාඩිලාගෙන සිටි, විරෝධතාකරුවන් සිය ගනනක් බලහත්කාරයෙන් ඉවත් කිරීම සඳහා, මිලිටරිය හා පොලීසිය දිගේලි කිරීම යි. සති කිහිපයකට පසුව, ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන සිටි විරෝධතාකරුවන් ව ද පොලීසිය විසින් ප්‍රචන්ඩ ලෙස ඉවත් කරන ලදී. විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් හා ෆැසිස්ට්වාදීන් ලෙස උන්මාදයෙන් හෙලා දකින අතර, සිය ගනනක් අත්අඩංගුවට ගනිමින් පොලිස් දඩයමක් මුදාහැරීමට ජනාධිපතිවරයා කටයුතු කලේ ය.

විදුලිබල, ඛනිජ තෙල් හා සෞඛ්‍ය අංශ තුල වැඩ වර්ජන තහනම් කරමින්, වික්‍රමසිංහ විෂඝෝර අත්‍යවශ්‍ය මහජන සේවා පනත පනවා ඇත. මර්දනීය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේ හා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමන්ඩලයේ කැඳවුම්කාර ගල්වැව සිරිධම්ම දින 90ක් රඳවා ගැනීමේ නියෝගයකට අගෝස්තු 21දා ඔහු අත්සන් කලේ ය.

වැඩි දුර රාජ්‍ය මර්දනය සඳහා සූදානම් වෙමින්, මිලිටරියට හා පොලීසියට අයවැයෙන් රුපියල් බිලියන 539ක් වෙන්කොට ඇත්තේ, අධ්‍යාපනයට හා සෞඛ්‍යයට දෙන අරමුදල් කපා හරිද්දී ය.

ප්‍රධාන විරුද්ධ පක්ෂ, වික්‍රමසිංහගේ නවතම තර්ජනයන් ගැන නාමික විවේචන සිදුකර ඇත. සජබ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපතිගේ ප්‍රකාශයන් “දුෂ්ට” බවත්, තමන්ගේ පක්ෂය මර්දනීය ක්‍රියාවන්ට “ඉඩ නො දෙන” බවත් සඳහන් කලේ ය. සජබ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී මහජන අරගලයකට නායකත්වය දීමට සූදානම් බව ඉන්පසු ප්‍රකාශ කල ඔහු, එයට මෙසේ එකතු කලේ ය: “කවුරුන් හෝ ප්‍රචන්ඩත්වයෙහි නිරත වෙනවා නම්, ආරක්ෂක හමුදාවන්ට එයට විරුද්ධ ව ක්‍රියාකල හැකියි” -එය, මර්දනය සඳහා ආන්ඩුවට හිතුමතේ ක්‍රියා කිරීමට ඉඩ දීමකි.

“ජනතා බලය ජනාධිපති ධූරයට වඩා බලවත්” යි කියමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වික්‍රමසිංහගේ ප්‍රකාශයන්හි සැර බාල කලේය. “රනිල් වික්‍රමසිංහගේ කතා බැරෑරුම් ලෙස සලකන්නේ කවුරුන්දැ” යි ඔහු ආවාට ගියාට ප්‍රකාශ කලේ ය. “ජනතා විමුක්ති පෙරමුන ඔවුන් ව ගනන් ගන්නේ නැහැ.”

යෝධ අන්තරායන්ට අභිමුඛ ව සිටින කම්කරු පන්තිය නිරායුධ කිරීමට මෙම පක්ෂ දෙක ම උත්සාහ දරමින් සිටිති. සජබ හා ජවිපෙ, ඔවුන් බලයට පත් වුවහොත් වික්‍රමසිංහ පාලන තන්ත්‍රයට නො අඩු අනුකම්පා විරහිත භාවයකින් ක්‍රියාවට දමනු ඇති, ජාමූඅ කප්පාදු පියවරයන්ට සහයෝගය දෙති.

පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඒ හා සමාන ව ආන්ඩුවේ තර්ජන නො තකා හැරියේ මෙසේ අසමිනි: “මහජනතාව ඔහුට ඇහුම්කන් දී බියෙන් වෙවුලනු ඇතැයි (වික්‍රමසිංහ) බලාපොරොත්තු වෙනවා ද? ජනතාව ඔහුට භය නැති බව ඔහු දන්නවා.”

ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සැලසුම් ප්‍රදර්ශනය කර ඇති බව කී තවත් පෙසප නායකයෙක් වන දුමින්ද නාගමුව, “රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරියට එන ලෙස සියලු දේශපාලන පක්ෂවලට හා සිවිල් සමාජ සංවිධානවලට” ආරාධනා කලේ ය. ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන් හා සමාජ අයිතීන් මත ප්‍රහාරයන් පරාජය කිරීමේ නාමයෙන්, ධනපති විරුද්ධ පක්ෂ සමග පලල් දේශපාලන පෙරමුනක් වෙනුවෙන් පෙසප පෙනී සිටී. මෙය වනාහි, ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවන්ට හා ජාමූඅ කප්පාදුවට එරෙහි ව සමාජවාදී පදනමක් මත කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලුගැන්වීම වලකන දේශපාලන උගුලකි.

රාජපක්ෂ මහජන අරගල වැලැක්වීමට අසමත් වූ බවත්, වික්‍රමසිංහ ද එසේ කිරීමට අසමත් වනු ඇති බවත් ප්‍රකාශ කරමින්, ජවිපෙ මගින් පාලනය කරන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් වසන්ත සමරසිංහ ප්‍රකාශයක් නිකුත් කලේ ද උදාසීනත්වය දිරිමත් කිරීමට උත්සාහ කරමිනි. අනෙකුත් වෘත්තීය සමිති මාරාන්තික නිහඬතාවක් පවත්වාගෙන යමින් සිටිති. වික්‍රමසිංහ පාලනයට හා ධනපති පන්තියට එරෙහි ව, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් ආරක්ෂා කරගැනීමේ කම්කරුවන්ගේ අරගල යටපත් කිරීමේ දී, වෘත්තීය සමිති එක දිගට ම මූලික ක්‍රියා කලාපයක් ඉටුකරමින් සිටිති.

ජනාධිපතිගේ තර්ජන බැරෑරුම් ව ගන්නා ලෙස සසප කම්කරුවන්ට අනතුරු අඟවයි. සාමකාමී ව සිදු කල නො හැකි, සමාජීය ලෙස ව්‍යසනකාරී පිලිවෙත් පැටවීමට ආන්ඩුව සූදානම් වේ. වසංගතය හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් ගැඹුරු කරන ලද ආර්ථික අර්බුදයට, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ජාත්‍යන්තර ව පාලක ප්‍රභූන් ප්‍රතිචාර දක්වමින් සිටින්නේ, ආඥාදායක පාලන රූප කරා වේගයෙන් චලනය වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමේ ආරම්භකත්වය ගැනීම කම්කරු පන්තියට තීරනාත්මක ය. සෑම වැඩපොලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම, වෘත්තීය සමිති හා ධනපති පක්ෂවලින් ද ඒවායේ ව්‍යාජ-වාම අත්ගෙඩිවලින් ද ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරුවන් ව උනන්දු කරන්නේ මේ නිසා ය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේත්, හදිසි නීති, පීටීඒ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත හා අනෙකුත් මර්දන නීති හකුලා දැමීමේත් සටන මෙම කමිටු විසින් ඉස්මත්තට ගත යුතු ය.

කම්කරුවන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් හා සමාජ කොන්දේසි ආරක්ෂා කරගත හැක්කේ, ජාමූඅහි ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන ප්‍රතික්ෂේප කරමින් හා අත්‍යවශ්‍ය භාන්ඩවල නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ පාලනය සියතට ගැනීමෙන් පමනි. සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරමින්, බැංකු, මහා සමාගම් හා වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කල යුතු ය.

මෙම ක්‍රියාමාර්ගය සඳහා සටන් වැදීමට, කම්කරු ක්‍රියාකාරී කමිටුවලින් තෝරාගත් නියෝජිතයන් මත පදනම් වන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට සසප කැඳවුම් කරයි. ගම්බද දුගීන්ගේ සහයෝගය ලබන කම්කරුවන්ගේ මෙම මූලෝපායික මධ්‍යස්ථානය, ලෝක ආර්ථිකය සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීමට ගෙන යන ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට පදනම වනු ඇත.

Loading