ඉදිරිදර්ශන

2023: ගෝලීය ධනේශ්වර අර්බුදය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වන ප්‍රහාරය

(මෙය 2023: The global capitalist crisis and the growing offensive of the international working class මැයෙන් 2023 ජනවාරි 3දා පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

1. නව වසරෙහි ආරම්භය සැමරුම කෙටි වනු ඇත. ගෙවුනු වසර ඉතිහාසයට ගොස් ඇති නමුත් අර්බුදය දිගට ම පවතිනුවාක් මෙන්ම තීව්‍ර වනු ද ඇත. 2023 ආරම්භ වෙද්දී, කෝවිඩ්-19 වසංගතය සිවු වැනි වසරට ඇතුලු වෙමින් තිබෙන්නේ, එහි අවසානයක් පෙනෙනෙ මානයක නැති තතු යටතේ ය. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය අඛන්ඩ ව තීව්‍ර වේ. ඒ අතරම, විනාශකාරී උද්ධමනය හා අවපාතය යන ද්වයම ලෝක ධනපති ආර්ථිකය වෙලාගනු ලැබේ. දියුනු ධනපති රටවල් තුල -අන් සියලන්ටමත් වඩා එක්සත් ජනපදය තුල- ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිඳවැටෙමින් පවතී. 2021 ජනවාරි 6 ප්‍රචන්ඩ කැරැල්ලෙන් පැනනැගි පසුකම්පනයන් සමග ඇමෙරිකානු දේශපාලන පද්ධතිය අසාර්ථක ලෙස පොරබදිමින් සිටී. දක්ෂිනාංශික හා නව-ෆැසිස්ට්වාදී ව්‍යාපාර, අඛන්ඩවම ලෝකය අරක් ගනිමින් පවතී. ශ්‍රමය වගුරන මහජනයාගේ ජීවන තත්ත්වයන් ගෝලීය වසයෙන් බිඳ වැටෙමින් පවතින තතු තුල, තීව්‍ර වෙමින් පවතින පන්ති අරගලය, නිල වෘත්තීය සමිතිවල පාලනයෙන් බිඳී යමින් පවතී.

2. 2022 දී, ලෝක ධනේශ්වර අර්බුදයෙහි අන්තර්ඡේදනය වන මෙම මූලිකාංගයන්ගේ සමුච්ඡිත පීඩනය, තීරනාත්මක සන්ධිස්ථානයකට සමාන තත්වයක් කරා ලඟා විය: එනම්, ඒවා, සමාජ පිපිරීමක් කරා ගමන් කිරීමට නොදී පාලනය කිරීමට ආන්ඩුවලට පවතින හැකියාව ඉක්මවා ගිය ලක්ෂ්‍යයකට අර්බුදයේ ගතිකය සම්ප්‍රාප්තවී තිබේ. අර්බුදය පාලනය කරගැනීමට පාලක පන්ති අසමත් ය; ඔවුන්ගේ ආර්ථික, දේශපාලන හා සමාජීය පිලිවෙත් වඩ වඩා සාහාසික හා අතාර්කික ස්වභාවයක් අත් කරගනී. වසංගතයට දක්වන සුජාතවත් ප්‍රතිචාරයක් ලෙස ඔවුන් “රංචු ප්‍රතිශක්තිය” ඉදිරියට දැමීමේ සහ රුසියාව සමග ගැටුමක දී න්‍යෂ්ටික යුද්ධයක අන්තරාය ගැනීමට පවා ඔවුන්ගේ සූදානම තුලින් අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ, ලෝක මහා ජනකායන්ගේ ජීවිත කෙරෙහි මිනීමරු අවඥාවකි. ධනවාදය විසින් නිර්මානය කරන විනාශයෙන් ගැලවීමේ මාවතක් මානව වර්ගයාට සම්පාදනය කල හැකි වන්නේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයකින් සන්නද්ධ වූ කම්කරු පන්තියට පමනක් ම ය.

කෝවිඩ්-19 වසංගතය

3. බයිඩන් පරිපාලනය යටතේ වන එක්සත් ජනපදය පෙරටු කරගත් ලෝකයේ ධනපතිආන්ඩු, 2021 නොවැම්බරයේ දී ඔමික්‍රෝන් ප්‍රභේදය ඉස්මතු වීම පිලිගනු ලැබුයේ, කෝවිඩ්-19 පැතිරීම මන්දගාමී කරන පියවරයන් අත්හැර දැමීම සඳහා කඩතුරාවක් ලෙස ය. විශ්වාසනීය විද්‍යාත්මක පදනමකින් තොර වූ ආන්ඩුවේ “න්‍යාය” වූයේ, “සජීවී වෛරස් එන්නත්කරනයක්” වනු ඇතැයි සැලකු ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරී යාම, එක්තරා මට්ටමක ප්‍රතිශක්තියක් ජනනය කරන අතර, එම පදනම මත කොරෝනා වෛරසය අතුරුදන් ව යනු ඇති බව යි.

ඔමික්‍රෝන් යනු සැලකිල්ලට බඳුන්විය යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් දවස් තුනකට පසුව, එම ප්‍රභේදයෙහි අන්තරායන් ලඝු කරමින් කතාවක් පවත්වන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් (ඒපී ඡායාරූප/ එවාන් වුසී) [AP Photo/Evan Vucci]


4. වෛරසය “ආවේනික” තත්ත්වයකට පත්වනු ඇති බවටත්, එය සෘතුමය උනකට වඩා අන්තරායකාරී නො වන බවටත් ව්‍යාජ පොරොන්දුව ලබාදෙමින් ඇමරිකානුවන් “වෛරසය සමග ජීවත් වීමට ඉගනගත යුතු” බවට පාලක පන්තිය විධානය කලේ ය. මුව ආවරන පැලඳීම, පරීක්ෂන සිදුකිරීම, ආසාදිතයන් හඳුනාගැනීම, ආසාදිත රෝගීන් හුදකලා කිරීම සහ ආසාදන හා මරන වාර්තා කිරීම ආදිය ක්‍රමානුකූල ව අවසන් කරන උද්ඝෝෂනයක් මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කෙරින. කෝවිඩ්-19 වසංගතයේ අඛන්ඩව සිදුවෙමින් පවත්නා අන්තරායන් ඉදිරියේ මහජනයා නිරායුධ කරමින්, “වසංගතය අවසන්” බවත්, ජීවිතය පෙරලා සාමන්‍ය තත්වයට ගෙන ආ හැකි බවත් බයිඩන් ප්‍රකාශ කර සිටියේය.

5. මෙම ආඛ්‍යානය පදනම් කරන ලද්දේ, බොරු හා ප්‍රචාරනය මත යි. පොදු බවට පත් වී ඇති කෝවිඩ්-19 යලි ආසාදනය වීම්, ආසාදිත රෝගියා රෝහල්ගත වීමේ හා මරනයට පත්වීමේ අන්තරාය සංකීර්න කරයි යන විද්‍යාත්මක සත්‍යය නො තකා හැරීමට එය ක්‍රියා කලේ ය. දීර්ඝ-කාලීන කෝවිඩ් වෙත ද වෛරසය ආසාදනය වූ සැලකිය යුතු ප්‍රතිශතයක් මත එය ඇති කරන දීර්ඝ-කාලීන බලපෑම ගැන ද ධනපති ජනමාධ්‍ය කිසිදු අවධානයක් නො දුන් තරම් ය. අඛන්ඩ ව හා වේගයෙන් නව ප්‍රභේද පරිනාමය වීම, එන්නත්වල ඵලදායීත්වයත්, පැරනි ආසාදනවලින් අත් කරගත් ප්‍රතිශක්තියත් යටපත් කරන බවට, වෛරසවිද්‍යාඥයින් විසින් ප්‍රකාශිත අන්තරාය පිලිබඳ ව එම මාධ්‍ය බොරු කීවේ ය. වසර අවසන් වූයේ, එක්සත් ජනපදයේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) මාස තුනක් ඇතුලත දෙවන වතාවටත් නව ඔමික්‍රෝන් උප-ප්‍රභේදයක අනතුරුදායක පැතිරී යාම ආවරනය කල බව හෙලිදරවු කරමිනි. පලමුව සමස්ත ඊසානදිග කලාපය පුරා ආසාදන හා රෝහල්ගතවීම් රැල්ලක් ජනනය කරමින් පැතිරී ගිය එක්ස්බීබී.1.5 ප්‍රභේදය එක්සත් ජනපදය පුරා වේගයෙන් පැතිරී ගොස් ඇත.

6. “වෛරසය සමග ජීවත්වීම” යන්නෙහි අර්ථය වී ඇත්තේ, නිම නො වන ආසාදන හා ප්‍රති-ආසාදන රැලි මධ්‍යයේ ඇඟ කිලිපොලා යන මට්ටම්වල මරන හා ශාරීරික දුබලතාවන් පිලිගැනීම යි. දෙවැනි ලෝක යුද්ධයේ පටන් පලමු වරට, ගෝලීය ආයු අපේක්ෂාව පහත වැටී ඇත. කෝවිඩ්-19 හේතුවෙන් ලොව පුරා දරුවන් මිලියන 10ට අධික පිරිසකට දෙමව්පියන්ගෙන් එක් අයෙක් හෝ ප්‍රාථමික රැකවරන සපයන්නකු අහිමි කර තිබේ. ශරීරයේ සෑම අවයවයකට ම පාහේ බලපෑ හැකි දීර්ඝ-කාලීන කෝවිඩ් හේතුවෙන්, කෝටි ගනන් ජනයා පීඩා විඳිමින් සිටිති.

7. අතිරික්ත මරන පිලිබඳ තක්සේරුවලට අනුව, වසර තුනක් තුල කෝවිඩ්-19 හේතුවෙන් ඍජු ව හෝ වක්‍ර ව මිලියන 21ට අධික පිරිසක් මියගොස් ඇති අතර, එය ආසන්න වසයෙන් පලමු වන ලෝක යුද්ධයේ අවුරුදු හතර තුල මිය ගිය සමස්ත මිලිටරි හා සිවිල් මරන සංඛ්‍යාවට සමාන වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෑත දී කල අතිරික්ත මරන පිලිබඳ අධ්‍යයනයකින් සොයා ගත්තේ, 2020 වසරේ ලෝකයේ මරනවලට තුන්වැනි ප්‍රධානතම හේතුවත්, 2021 වසරේ ලෝකයේ මරනවලට ප්‍රධානතම හේතුවත් කෝවිඩ්-19 බවයි. 2022 දී, අතිරික්ත මරන සංඛ්‍යාව ආසන්න වසයෙන් මිලියන 5.1ක් වූයේ, “මෘදු” ඔමික්‍රෝන් ප්‍රභේදය මරනවලට තුන්වැනි ප්‍රධානතම හේතුව ලෙස මතු වෙමිනි. නව වෛරසයක් ගෝලීය ව පැතිර ගොස් ලෝකයේ එක් ප්‍රධාන ඝාතකයෙක් බවට පත්වීමට සෑම ආන්ඩුවක් ම ඉඩ සලසා දුන්නේය.

8. එක්සත් ජනපදය තුල පමනක්, 2022 දී, තහවුරු කල කෝවිඩ්-19 මරන 270,000ක් හා 350,000ට අධික අතිරික්ත මරන වාර්තා විය. මෙම මරන තියුනු ලෙස වයස්ගත පුද්ගලයන් වෙතට විතැන් වී ඇත. 2022 කෝවිඩ්-19 මරනවලින් හතරෙන් තුන් පංගුවක් නොහොත් පුද්ගලයන් 186,000ක් වයස අවුරුදු 65ට වැඩි අය වූයේ, ප්‍රතිශතය වසර පුරා ඉහල නගිද්දී ය. වයස්ගත පුද්ගලයන්ගේ මරන දෙස ඇඟ කිලිපොලා යන උදාසීනත්වයකින් බලන පාලක පන්තිය වෙලාගෙන ඇත්තේ නව මැල්තුසියානුවාදයකිනි . චාල්ස් ඩිකන්ස්ගේ සම්භාව්‍ය කෘතියේ ස්කෲජීගේ වචන, දැන් මූල්‍ය කතිපයාධිකාරයේ නව මන්ත්‍රය යි: “ඔවුන් මිය යන්නේ නම්, එසේ මිය ගියාවේ, අතිරික්ත ජනගහනය අඩු වුනාවේ.”

9. 2022 නොවැම්බර් දක්වා, වෛරසයෙහි පැතිරී යාම නැවැත්වීමට අවශ්‍ය සුප්‍රකට මහජන සෞඛ්‍ය පිලිවෙත් ක්‍රියාත්මක කිරී මේ “ශූන්‍ය කෝවිඩ්” පිලිවෙතකට චීනය බැඳී සිටියේ ය. වසංගතයේ පලමු වසර තුන තුල, මෙම පිලිවෙත අනුගමනය කිරීමෙන් චීනය තුල කෝවිඩ්-19 මරන සංඛ්‍යාව බිලියන 1.4ක ජනගහනයකින් යන්තම් 5,000ට අධික ගනනකට නොහොත්, එම කාල පරිච්ඡේදය තුල එක්සත් ජනපදයේ මරන අනුපාතයෙන් සියයට 0.1ක් දක්වා සීමා කර ගත්තේය. 2022 මාර්තු-ජුනි කාලයේ, ෂැංහයි ප්‍රදේශය තුල ඔමික්‍රෝන් බීඒ.2 උප-ප්‍රභේදය පුපුරා යාම සාර්ථක ව නවතා දැමුවේ, අතිශයින් ආසාදනශීලී මෙම ප්‍රභේදය මැඩපැවැත්වීමේ දී පවා, එම පිලිවෙත ඵලදායී බව සනාථ කරමිනි.

පසුගිය වසරේ ඔමික්‍රෝන් නැගීම සමයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම පිනිස, බෙයිජිංඑි සෞඛ්‍යාරක්ෂන කම්කරුවෝ ප්‍රදේශවාසීන්ගෙන් උගුරේ සාම්පල ලබාගනිති. (ඒපී ඡායාරූප/ඇන්ඩි වොං) [AP Photo/Andy Wong]


10. චීනයේ පියවරයන් ඒ හැටියට කොතරම් නිවැරදි වුවත්, එක් මූලික හා මාරාන්තික දෝෂයකින් පීඩාවින්දේ ය: ගෝලීය වසංගතය ජාතික මූලෝපායක පදනම නවත්වනු ලැබිය නො හැක. රාජ්‍ය දේශසීමාවල් විනිවිදයාම නතර කල නො හැක. වෛරසය චීනය තුලට විනිවිදීම නොවැලැක්විය හැකි කර්තව්‍යයක් විය. තව ද සිය ශූන්‍ය-කෝවිඩ් මූලෝපාය අත්හැර දමන ලෙස, ප්‍රධාන ධනපති රටවල ආන්ඩු හා මාධ්‍ය ආක්‍රමනශීලී උද්ඝෝෂනයක් ගෙන ගියේ, අනුගමනය කරනු ලබන පියවරවල් ගෝලීය වෙලඳ හා සැපයුම් දාමයන්ට වලකපමින් පවතින්නේය, වෙනත් වචන වලින් කිවහොත්, අන්තර්ජාතික සංගතවල ලාභ අවශ්‍යතාවන්ට ඒවා හානිකරය යන පදනම මත යි. ඇපල්, නයික් හා අනෙකුත් ප්‍රධාන සංගත, ඒවායේ නිෂ්පාදන ආයතන වෙනත් රටවලට ගෙන යන බවට තර්ජනය කලේ ය.

11. ආර්ථික හා භූ-දේශපාලනික පීඩනයන්ට ප්‍රතිචාර ලෙස, නොවැම්බරයේ පටන් ශූන්‍ය-කෝවිඩ් පිලිවෙත අත්හැර දැමීමට පාලක චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) ක්‍රියා කලේ ය. එක් මසක පරාසය තුල, එය සියලු අගුලු දැමීම්, මහා පරිමාන පරීක්ෂන, ආසාදිතයන් හඳුනාගැනීම, නිරෝධායන හා හුදකලාකිරීමේ නියමාවලීන් සහ සංචාරක සීමා අවසන් කර දැමුවේය.

12. දෙසැම්බර් මාසයේ පලමු සති තුන තුල පමනක්, චීනය තුල පුද්ගලයින් මිලියන 248ක් ආසාදිත වූ බව තක්සේරු කෙරින, එය වසංගතයෙහි පලමු වසර තුන තුල ආසාදනය වූ සංඛ්‍යාව මෙන් 100 ගුනයකි. 2023 මාර්තු වනවිට, චීනයේ බිලියන 1.4ක ජනයාගෙන් බහුතරය ආසාදිත වනු ඇතැයි අපේක්ෂිත ය. මිය යනු ඇතැයි තක්සේරු කරන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 1 සිට මිලියන 2 දක්වා පරාසයේ විහිදෙයි. චීනය පුරා නගරවල රෝහල් රෝගීන්ගෙන් පිටාර ගලන අතර, මල සිරුරු ගොඩගැසෙන තතු තුල, භූමදාන සේවාවන් සිදුකිරීම මෘතශරීරාගාර විසින් අත්හිටුවමින් පවතී. රට පුරා දහස් ගනනක් දෛනික ව මරනයට ගොදුරුවන බව සැලකේ.

13. චීනය තුල ශූන්‍ය-කෝවිඩ් පිලිවෙත ඉවත් කොට, “සදහට ම කෝවිඩ්” පිලිවෙත අනුගමනය කිරීම සලකුනු කරන්නේ, වසංගතයෙහි නව හා විභව වසයෙන් වඩා අන්තරායකාරී අවධියකි. මහා පරිමාන ආසාදනයෙහි ඉහල යාම, නව ප්‍රභේදයන් පරිනාමය වීමේ විභවය ඉහල දමන බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. ලෝකයෙහි ධනපති පාලක ප්‍රභූන් සමාජය සමග භයංකර සෙල්ලමක යෙදී සිටින්නේ, වඩා ආසාදනය වන සුලු, ප්‍රතිශක්ති-ප්‍රතිරෝධී හා මාරාන්තික වූ ප්‍රභේදයකින් ඉමහත් විනාශකාරී ගෝලීය ආසාදන රැල්ලක් මුදාහැරීමේ අන්තරාය පැන නංවමිනි.

14. විවෘත ව ෆැසිස්ට්වාදී නො වන ආන්ඩු, මහා පරිමාන රෝග හා මරන වලට තුඩුදෙන පිලිවෙත් අනුගමනය කිරීමේ පූර්වාදර්ශයක් නූතන ඉතිහාසය තුල නැත. එහෙත්, වසංගතයෙහි සමස්ත ගමන් මාවත පුරා, සියලු ධනපති රාජ්‍යයන් නිශ්ච්තව ම සිදු කර ඇත්තේ මෙය යි.

15. වසංගතයට දක්වන ප්‍රතිචාරය සැකයකට ඉඩ නොතබා පෙන්නුම් කර ඇත්තේ, දේශගුන වෙනස විසින් ඇතිකෙරෙන ඉමහත් තර්ජනයට, ධනපති ආන්ඩු ප්‍රතිචාර දක්වනු ඇත්තේ ද එලෙසින් ම ය, යන්නයි. මහා පරිමානයෙන් ජනයා වඳ වී යාමේ තර්ජනය තිබියදී පවා, පාලක ප්‍රභූන් විනාශකාරී ලෙස සංගතවල ලාභ හා පුද්ගලික ධනය අත්පත්කර ගැනීමට ලුහුබැඳ යාම අත්හරින්නේ නැත. පකිස්තානය සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශ අලලා ගත් ගංවතුර ද යුරෝපය, චීනය හා නැගෙනහිර අප්‍රිකාව සිසාරා ගිය විනාශකාරී නියඟය ද එක්සත් ජනපදය තුල ඉයන් කුනාටුව හා ශීත කුනාටුව ද ලොව පුරා අනෙකුත් ආන්තික කාලගුන සිද්ධීන් ද ඇතුලු දේශගුන අර්බුදයෙහි බරපතල තීව්‍ර වීමක් පසුගිය වසරේ සිදුවිය. දේශගුන වෙනස ගෝලීය ආහාර අර්බුදය අඛන්ඩ ව ගැඹුරු කරනු ඇතැයි ද මිලියන ගනන් ජනයා මරා දමනු ඇතැයි ද තවත් කෝටි සංඛ්‍යාත පිරිසක් අවතැන් කරනු ඇතැයි ද අනාගත වසංගතවල හැකියාව ඉහල දමනු ඇතැයි ද විද්‍යාඥයන් විසින් අනතුරු අඟවනු ලැබ තිබේ.

රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය

16. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, තුන්වැනි ලෝක යුද්ධය කරා පෙරගමනේ සැතපුම් කනුවකි. යුද්ධයක සාරභූත හේතුව හා ස්වභාවය නීර්නය කරනු ලබන්නේ “පලමු වෙඩිල්ල තැබුවේ” කවර රට විසින් ද යන්න මගින් නො ව, ගැටුමෙහි පටලැවී සිටින රටවල් පාලනය කරන පන්තීන්ගේ සමාජ-ආර්ථික හා භූ-දේශපාලනික අවශ්‍යතා විසිනි. යුක්‍රේනයෙහි දූෂිත ධනපති කතිපයාධිකාරය විසින් එම රට එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ වක්‍ර යුද්ධයක් තුල ව්‍යපහරනයෙහි තබනු ලැබ ඇත. එම යුද්ධයේ ඉලක්කය වන්නේ, 1) රුසියාව නමැති සුවිශාල රට කැබලි කිරීම හා එහි තීරනාත්මක ස්වාභාවික සම්පත් මත පාලනය සුරක්ෂිත කරගැනීම, 2) එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ යුරේසියානු අර්ධද්වීපය මත අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට පවත්නා සියලු බාධක ඉවත් කිරීම, 3) චීනය වටලෑම සහ ආර්ථික හා මිලිටරිමය පියවරයන් ඒකාබද්ධ කර මෙහෙයවීම මගින් ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරට යටත් කිරීම සම්පූර්න කිරීම යන අරමුනු සඳහා රුසියාව පරාජය කිරීම යි.

යුක්‍රේන සොල්දාදුවෝ 2022 දෙසැම්බර් 26 සඳදා යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ අව්දීව්කා අසල රුසියානු කඳවුරු දෙසට ප්‍රන්සයේ නිෂ්පාදිත සීසර් නමැති ස්වයං-ප්‍රචාලක කෙටි දුර කාල තුවක්කුවකින් වෙඩි තබති. (ඒපී ඡායාරූප/ලිබ්’ස්) [AP Photo/Lib's]


17. 2022 පෙබරවාරි 24දා, රුසියාව විසින් යුක්‍රේනයට කරන ලද “අනුචිත ආක්‍රමනයක්” පිලිබඳ කියාපෑම වටා ගොඩනංවනු ලබන ධනපති මාධ්‍යවල ප්‍රචාරනය පදනම් වන්නේ බොරු, අර්ධ-සත්‍යයන් සහ වැදගත් තොරතුරු යටපත් කිරීම මත ය. එම ප්‍රචාරනය, ගෙන යන්නේ යුද ගැටුම එහි සමස්ත පූර්ව ඉතිහාසයෙන් හා එක්සත් ජනපදයෙහි නායකත්වයෙන් පසුගිය වසර 30 පුරා සිදුකර ඇති යුද්ධයන්ගෙන් ද ආක්‍රමනයන්ගෙන් ද වෙන්කර දැමූ ප්‍රචාරනයක් ලෙසය.

18. එක්සත් ජනපදය, 1991 දී සෝවියට් සංගමය බිඳ විසිරවීම දැකගත්තේ, ලෝකය පුරා සිය අනභියෝගී ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහා මිලිටරි බලය උපයෝගී කරගත හැකි අවස්ථාවක් ලෙස යි. අධිරාජ්‍යවාදයේ ප්‍රචාරකයන්, එය උත්කර්ෂයට නැංවූයේ, වෝල් වීදියේ අවශ්‍යතාවන් සඳහා වන “නව ලෝක පර්යායක්” ඇතිකර ගැනීමට එක්සත් ජනපදයට විධානය කලහැකිව පවතින “ඒකධ්‍රැවීය මොහොතක්” ලෙස ය. එක්සත් ජනපද මූලෝපාය “කිසිදු අනාගත ශක්තිමත් ගෝලීය තරඟකරුවෙකු ඉස්මතු වීම වැලැක්වීම” මත පදනම් කල යුතු බව, 1991 නිකුත් කල පෙන්ටගනයේ මූලෝපායික ලේඛනයකින් ප්‍රකාශ කර සිටියේය.

19. යුකේනය තුල “ජන ඝාතනය” ගැන රුසියාව හෙලාදැකීමට බඳුන් කරන ආන්ඩුව ම, එහි ගෝලීය ආධිපත්‍යය සඳහා වන ව්‍යාපෘතියේ දී, සමස්ත සමාජයන් විනාශ කරමින් ලක්ෂ ගනනක් මරා දැමී ය. සෝවියට් සංගමයේ අවසන් වසර තුල දියත් කරන ලද 1990-91 ඉරාකයට එරෙහි පලමු යුද්ධයෙන් අනතුරු ව, 1999 සර්බියාවට එරෙහි යුද්ධය තුල කුලුගන්වමින්, 1990 ගනන් පුරා යුගෝස්ලාවියාව කැබලි කිරීම සිදු කලේ ය. යුක්‍රේනයෙහි භෞමික අඛන්ඩතාව මත දැන් අවධාරනය කරන සහ ක්‍රිමියාව ආපසු ලබා දෙන ලෙස විධානය කරන අධිරාජ්‍යවාදී බලයන්ට ම, සර්බියාවෙන් කොසෝවෝව වෙන්කර දැමීමට කිසිදු චකිතයක් නො තිබුනි.

20. 2001 සැප්තැම්බර් 11දා එල්ල කරන ලද ප්‍රහාරයන් ගසාකනු ලැබුවේ, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයත්,” ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් හඳුන්වන ලද “21වැනි සියවසේ යුද්ධත්” ප්‍රකාශ කිරීම පිනිස ය. 2001 දී ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කල එක්සත් ජනපදය, 2003 දී ඉරාකයට එරෙහි දෙවන යුද්ධයකට නායකත්වය දුන්නේ ය. ඉන්පසුව, ඔබාමා පරිපාලනය යටතේ ලිබියාවට එරෙහි ව යුද්ධයක් දියත් කල එම රට, 2011 දී සිරියාව තුල සිවිල් යුද්ධයක් ක්‍රියාවට දැමී ය. මේ සෑම යුද්ධයක් ම සාධාරනීකරනය කරන ලද්දේ, පලවා හැරිය යුතු ඒ හෝ මේ යක්ෂයෙකුට එරෙහි ව “ප්‍රජාතන්ත්‍රවාදය” හා “නිදහස” සඳහා එක්සත් ජනපදය සටන් වදිමින් සිටින්නේය යන පදනම මත ය.

21. එහෙත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය ක්‍රියාවට දැමූ හා නායකත්වය දුන් රුධිරස්නානයෙන් එහි ඉලක්කය වූ මැද පෙරදිග, මධ්‍යම ආසියාව හා යුරේසියානු භූ-ස්කන්ධය මත අනභියෝගී පාලනය ස්ථාපිත කිරීමට අසමත් විය. එක්සත් ජනපදයේ භූ-දේශපාලනික මූලෝපායඥයන්, චීනයට එරෙහි ගැටුමකට පූර්විකාව ලෙස රුසියාව සමග ඍජු ගැටුමක අවශ්‍යතාව ගැන වඩවඩාත් සාකච්ඡා කිරීම ආරම්භ කලේය. 2021 අගෝස්තුවේ දී, එක්සත් ජනපදය භටයන් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීම නිවේදනය කරන විට බයිඩන් කියා සිටියේ, තමන් “සදාකාලික යුද්ධය” අවසන් කරන බව යි. මෙය සිදුකලේ, 'අවශ්‍ය තරම් දිගු කාලයක්' ගෙනයාමට ඔහු ප්‍රතිඥා දී ඇති රුසියාවට එරෙහි යුද්ධය සඳහා සූදානම් වෙමින් බව දැන් පැහැදිලි ය.

1949 සිට නැගෙනහිර දෙසට නැටෝවේ ප්‍රසාරනය වීම පෙන්නුම් කරන සිතියමක් (ඡායාරූපය පැට්‍රික්නීල් විසිනි/සීසී බීවයි-එන්සී-එස්ඒ 4.0) [Photo by Patrickneil / CC BY-NC-SA 4.0]


22. එක්සත් ජනපදය හා යුරෝපීය බලයන් මෙම යුද්ධය ඇවිල වූයේ, රුසියාවේ දේශසීමා දක්වා ම, දශක ගනනාවක් පුරා නැගෙනහිර දෙසට නැටෝව ප්‍රසාරනය කිරීම මගිනි. විශේෂයෙන් ම, රුසියානු-ගැති ආන්ඩුවක් නෙරපමින් 2014 දී එක්සත් ජනපදය යුක්‍රේනය තුල ක්‍රියාවට දැමූ කුමන්ත්‍රනයෙන් පසුව, ආක්‍රමනයට පෙරාතු වසරවල දී, නාමික ව හැරුනු විට අන් සෑම අයුරකින් ම නැටෝ සාමාජිකයෙකු බවට පරිවර්තනය කරනු ලැබ ඇති යුක්‍රේනය තුලට ඩොලර් බිලියන ගනන් ආයුධ පොම්ප කිරීමට එක්සත් ජනපදය හා නැටෝව ක්‍රියා කල හ.

23. “(යුක්‍රේන කුමන්ත්‍රනයෙන් පසුව ඇති කරගත්) 2014 මින්ස්ක් ගිවිසුම, යුක්‍රේනයට කාලය ලබා දීමේ උත්සාහයක් වුනා. අද දින ඔබලාට දැකගත හැකි පරිදි, වඩා ශක්තිමත් වීමට එය මෙම කාලය යොදාගත්තා” යි පසුගිය මාසයේ ඩී සයිට් පුවත්පතට හිටපු ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාෂ කලේ, හදිසියෙන්ම සත්‍යය දොඩවමිනි.

24. 2022 දී රුසියාවට එරෙහි යුද්ධය සඳහා සැලසුම් මෙහෙයුම්ගත කරන ලදී. යුද්ධයට පුපුරා යාමට සති හතකට පෙර, ලෝසවෙඅ මෙසේ අනතුරු ඇඟවූයේය:

නව වසර ආරම්භ වන්නේ, බයිඩන් පරිපාලනය යුක්‍රේනය තුල ඉව බව නැති නැටෝ-පිටුබලය සහිතව මිලිටරිය තරකිරීමට නායකත්වය දෙමින්, රුසියානු දේශසීමාවන්ට සොල්දාදුවන් 125,000ක් යෙදවීම සඳහා දක්ෂිනාංශික යුක්‍රේනියානු ආන්ඩුව පොලඹවමින් සහ එක්සත් ජනපදය “කිසිවෙකුගේ රතු අනතුරු ඇඟවීම් පිලි නො ගන්නා” බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනතුරු අඟවමින් සිටින තතු තුල ය. යුක්‍රේන පාලන තන්ත්‍රය හික්මවනු වෙනුවට, බයිඩන් පරිපාලනය මිලිටරි ගැටුමකට දිරිදීමේ අභිප්‍රායයෙන් පසුවන බව පෙනෙන්නට තිබේ. “රුසියාව ඉදිරියට යාම තෝරාගන්නේ නම්, රුසියාවට මීලඟ ඇෆ්ගනිස්තානය විය හැක්කේ යුක්‍රේනයයි” යනුවෙන් දෙසැම්බරයේ දී ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි තර්ජනය කලේ ය.

25. එක්සත් ජනපදය හා එහි නැටෝ සහචරයෝ තමන් විසින් දියත් කරනු ලබන සෑම යුද්ධයක දී මෙන් ම, රුසියාවට එරෙහි ගැටුම ද ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා කරන අරගලයක්‍ය යයි අතොරක් නැතිව කියාපාති. එහෙත්, අධිරාජ්‍යවාදී බලයන්ගේ ක්‍රියාවන්ට යටින් පවතින ආර්ථික අවශ්‍යතා පිලිබඳ කිසිදු සඳහනක් මාධ්‍යයන් තුල සොයාගැනීමට නැත. එහෙත්, “තීරනාත්මක වැදගත් කමකින් යුත් සම්පත්, අධිරාජ්‍යවාදය හා රුසියාවට එරෙහි යුද්ධය” යන හිසින්, 2022 මැයි 22දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල සවිස්තර ලිපියක් තුල මෙම කරුන දිගට විභාග කරනු ලැබිනි. එය මෙසේ විස්තර කලේ ය:

රුසියාව යනු ලෝකයේ විශාලතම රට ය. එහි ආර්ථිකය අධිරාජ්‍යවාදී බලවතුන් හා සංසන්දනය කරන විට සාපේක්ෂව අල්ප වන අතරතුර, එහි භූ ස්කන්ධය මහාද්වීප දෙකක් හරහා පැතිර යන, වර්ග සැතපුම් මිලියන 6.6 ක පූර්න වපසරියක් අත්පත් කොට ගනී. ඊට පසුව එන කැනඩාව (ව.සැ. මිලියන 3.8), චීනය (ව.සැ.මි. 3.7) හා එක්සත් ජනපදය (ව.සැ.මි. 3.6) භූමි ප්‍රමානයෙන් ඊට සැලකිය යුතු ලෙස පසුපසින් සිටිති. රුසියාව පමනක් සැදුම් ගෙන ඇති භූමි ප්‍රමානය, සමස්ත ලෝක භූ ස්කන්ධයෙන් සියයට 11 ක් වේ.

මෙම අතිදැවැන්ත භූ ස්කන්ධය තුල වැදගත් ඛනිජ හා සම්පත් රැසක් පවතී.

රුසියාව යුරෝපා සංගමයේ ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් දල වශයෙන් සියයට 40ක් නිපදවන අතර, ලෝකයේ ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් සියයට 12 ක් පමන ම පාහේ නිපදවන්නේ ද රුසියාව යි. එමෙන්ම ලෝකයේ ගල් අඟුරු සංචිතවල දෙවන විශාලතම හිමිකරුවා වන්නේ ද ගල් අඟුරු ටොන් බිලියන 175 ක සංචිත ඇති රුසියාව ය. මෙම සම්පත් දැන් දිග හැරෙමින් පවත්නා ගැටුමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ලෝක ගෝලීය බලශක්ති සැපයුම් සීමා වෙමින් පටි තද වෙමින් තිබීම මධ්‍යයේ (රුසියාව සතු) මෙකී සම්පත් ලෝක ගෝලීය වශයෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අවහිරයක් වෙයි. විශේෂයෙන්ම චීනයේ නැඟීම සමඟ සටන් වැදීමට එජ අධිරාජ්‍යවාදය දරන ප්‍රයත්නය තුල එය වැඩි දුරටත් එසේ වෙයි...

හයිඩ්‍රෝකාබනවලට අමතරව රුසියාව තුල මූලික ලෝහ වර්ග ද විශාල ප්‍රමානවලින් පවතී. යකඩ ටොන් බිලියන 25 ක සංචිත සමඟ රුසියාව ලෝකයේ තුන්වැනි විශාලතම යකඩ සංචිතයට හිමිකම් කියයි. එමෙන්ම එය ලෝකයේ දෙවන විශාලතම රත්‍රන් සංචිත (ටොන් 6,800) හිමිකරුවා වන අතර, රිදී සංචිතවල පස්වන ස්ථානය සම කිරීමට සමීප තත්ත්වයක් උසුලයි. එමෙන්ම එම රට ලෝකයේ විශාලතම දියමන්ති නිෂ්පාදකයා ය. මෑත වර්ෂවලදී එහි නිෂ්පාදනයේ සාමාන්‍යය ලෝකයේ දියමන්ති නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමන විය.

එක්සත් ජනපදයේ හා එහි අනුචරයන්ගේ භූ මූලෝපායාත්මක අභිලාෂයන් වටහා ගැනීමෙහි ලා මෙම සම්පත් සෑම එකක්ම අවධානය ලැබීමට යෝග්‍ය ඒවා වන අතර ම, ලෝක ගෝලීය සම්පත් පිලිබඳ දේශපාලනයේ වැඩි දෙනා නොදත් අංශයක් වන තීරනාත්මක වැදගත්කමකින් යුතු ඛනිජ පිලිබඳව මෙම ලිපිය මඟින් විමසා බැලේ. තීරනාත්මක ඛනිජ යනු ගෝලීය නිෂ්පාදනයට වඩ වඩාත් වැදගත් වෙමින් පවතින ලෝහ සහ ඛනිජ ද්‍රව්‍ය සමූහයක් වන අතර, ඒවා සඳහා වන ඉල්ලුම ඉදිරි දශක දෙක තුල පුපුරන සුලු වේගයකින් ප්‍රසාරනය වෙතැයි අපේක්ෂා කෙරේ. විසි එක්වන සියවසේ ලෝක ගෝලීය ආර්ථික හා දේශපාලන බලය සඳහා තීරක වැදගත්කමකින් යුතු වෙතැයි එක්සත් ජනපදය විශ්වාස කරන විවිධ තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය රැසක සැලකිය යුතු ප්‍රභව මත රුසියාව වාඩි ගෙන සිටී.

26. රුසියාවේ මූලෝපායික සම්පත් පිලිබඳ ප්‍රවේසම් සහගත විමර්ශනයක් මත පදනම් වෙමින්, ලිපිය මෙසේ නිගමනය කලේ ය:

රුසියාව බිඳ විසුරුවා ලීම හා එහි ආධිපත්‍යය ඇමරිකානු ප්‍රාග්ධනය සතුවීම යනු, චීනය හා යුරේසියාව සිය අරමුනු සඳහා වඩාත් පුලුල් ලෙස යටත් කර ගැනීම හරහා “නව ඇමරිකානු සියවස”ක් ආරෝපනය කිරීමට ඇමරිකානු පාලක පන්තිය දරන ප්‍රයත්නයේ මූලෝපායාත්මක ආධාරක පියවර වනු ඇත. ස්වභාවික සම්පත් මෙහි දී කාර්ය භාරයක් ඉටු කරයි. ඛනිජ තෙල් හා ස්වභාවික වායූන් සඳහා වන චිරස්ථායී අවශ්‍යතාවය මෙන්ම, තීරනාත්මක ඛනිජ සඳහා වන ශීඝ්‍රයෙන් වර්ධනය වන අවශ්‍යතාවය ද මධ්‍යයේ, රුසියාව දකිනු ලබන්නේ දැවැන්ත සම්පත් සම්භාරයක් සහිත අතිශයින් වැදගත් භූ ස්කන්ධයක් ලෙසින් ය.

27. නැටෝව දියත් කරමින් තිබෙන යුද්ධයෙහි අධිරාජ්‍යවාදී ස්වභාවය, රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීම සාධාරනීකරනය නො කරනවා පමනක් නොව, එයට කිසිදු ප්‍රගතිශීලී ස්වභාවයක් ද ලබා නො දෙයි. 2022 දෙසැම්බර් 10දා, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය පැවැත්වූ යුද්ධයට එරෙහි ඔන්ලයින් රැලියේ දී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පුටින් පාලන තන්ත්‍රයෙහි ක්‍රියාවන් එකපැහැර හෙලාදුටුවේ ය:

යුද්ධය පොලඹවාලීමේ දී එක්සත් ජනපද-නැටෝ සන්ධානයේ කේන්ද්‍රීය වගකීම තිබියදී, 2022 පෙබරවාරි 24දා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම, 1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසුව බලයට ආ පාලක ධනපති කතිපයාධිකාරය වෙනුවෙන්, පුටින් තන්ත්‍රය ක්‍රියාවට දැමූ ප්‍රතිගාමී හා මංමුලා සහගත ක්‍රියාවක්.

සාර්වාදයේ හා නව-ස්ටැලින්වාදී ජාතික ස්වෝත්තමවාදයේ ප්‍රතිගාමී උරුමයට ආයාචනා කිරීම මගින්, යුද්ධය සාධාරනීකරනය කිරීමට පුටින් පාලන තන්ත්‍රය ගන්නා උත්සාහයන් නියෝජනය කරන්නේ, නින්දිත ඓතිහාසික ප්‍රතිගමනයක්. ඔක්තෝබර් විප්ලවයෙන් පස් වසරකට පසුව, 1922 දී සෝවියට් සංගමය ගොඩනගන ලද දුර දක්නාසුලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම, පුටින් පාලන තන්ත්‍රය විසින් මුලුමනින් ම ප්‍රතික්ෂේප කිරීම නොවන්නට, නැටෝවේ ප්‍රකෝපකරනයන් සාර්ථක වන්නේ නෑ. ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් බොල්ෂෙවික් ආන්ඩුව, ස්වේච්ඡා ජනරජයක් ලෙස ගොඩනැගූ සෝවියට් සංගමය, සියලු ජාතික හා වාර්ගික කන්ඩායම්වල ප්‍රජාතන්ත්‍රවාදී සමානතාවට ව්‍යවස්ථාවෙන් ම කැප වුනා. රුසියාව තුල ජාතික ස්වෝත්තමවාදය හිතාමතා ම දිරිගැන්වීම -මෙය යුක්‍රේනය තුල එහි විවෘත ෆැසිස්ට්වාදයට අනුරූප වෙයි- දඩයමට යටත් වී සිටින රටවල් දෙකේ ම මහජනයා අතර භාතෘ-ඝාතක යුද්ධයක් සඳහා දෘෂ්ටිවාදාත්මක පූර්වාවශ්‍යතා නිර්මානය කලා.

එහි සාරභූත ඓතිහාසික ඉදිරිදර්ශනය තුල බහා විමර්ශනය කරන කල, යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධය යලි වතාවක් සනාථ කරන්නේ, ධනවාදය ද එය මූර්තිමත් කරන ජාතික රාජ්‍ය පද්ධතිය ද අවසන් කිරීමේ අවශ්‍යතාව. සත්‍ය වසයෙන් ම, මෙම යුද්ධය වනාහි, නිෂ්පාදන මාධ්‍යයන්හි ධනපති පුද්ගලික අයිතිය හා ලෝකය එකිනෙකට හතුරු ජාතික රාජ්‍යයන්ට බෙදී තිබීම, මානව වර්ගයාගේ ප්‍රගතිශීලී වර්ධනය හා පැවැත්ම සමග ම පවා, මාරාන්තික ලෙස නො ගැලපෙන බව පෙන්නුම් කරන එක් ප්‍රකාශනයක් පමනයි.

28. යුද්ධය වනාහි සෝවියට් සංගමය බිඳ විසුරුවනු ලැබීමේ තවත් එක් ඛේදජනක විපාකයකි. ගොර්බචෙව්, යෙල්ට්සින් හා වරප්‍රසාදිත මධ්‍යම-පන්තික අනුග්‍රාහක ස්ථරය [නෝමන්ක්ලැචුරාව] තුල ඔවුන්ගේ ආධාරකරුවෝ, ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් ගලා එන දැවැන්ත ප්‍රතිලාභ පිලිබඳ ව කල සියලු කියාපෑම්, පසුගිය වසර 30 සිද්ධීන් විසින් ඛන්ඩනය කරනු ලැබ ඇත. සාමය, සෞභාග්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට, ඔක්තෝබර් විප්ලවයෙහි සමස්ත උරුමය සහ එහි යෝධ සමාජ හා සංස්කෘතික ජයග්‍රහන ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් නිෂ්පාදනය වී ඇත්තේ, භාතෘඝාතක යුද්ධ, මහා පරිමාන දුගී භාවය සහ ඒකාධිපති පාලන තන්ත්‍රයන් ය.

2019 ජනවාරි 1දා යුක්‍රේනයේ කීව් නගරයේ දී පැවැත්වූ රැලියක් අතරතුර ස්ටෙපාන් බන්ඩේරාගේ ආලේඛ්‍ය ඡායාරූපයක් සහිත බැනරයක් සහ විදුලි පන්දම් රැගෙන යන අන්ත-දක්ෂිනාංශික පක්ෂවල ආධාරකරුවෝ (ඒපී ඡායාරූප/එෆ්‍රම් ලුකෑට්ස්කි). [AP Photo/Efrem Lukatsky]


29. සෝවියට් සංගමය බිඳ විසිරවීමේ නිෂ්පාදනයන් වන කීව් හා මොස්කව් පාලන තන්ත්‍ර, ඒවායේ දෘෂ්ටිවාදාත්මක උත්තේජනය ඇදගන්නේ, දේශපාලන ප්‍රතිගාමීත්වයේ වසුරු වලවල් තුලිනි. දෙවැනි ලෝක යුද්ධය සමයේ, යුදෙව්වන් හා පෝලන්ත ජාතිකයන් මහා පරිමානයෙන් ඝාතනය කිරීමේ දී නාසීන් සමග අත්වැල් බැඳගත් යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානයේ නායකයා වූ ස්ටෙපාන් බන්ඩේරාට, දැන් යුක්‍රේනයේ ආරම්භක පියා ලෙස ගෞරව දක්වනු ලැබේ. පුටින් විසින් මූර්තිමත් කරන්නේ, ස්ටැලින් ගැන සිතේ තබාගෙන, ලෙනින් 1922 දී විස්තර කල “එම සැබෑ රුසියානු මිනිහා, මහා-රුසියානු ස්වෝත්තමවාදියා, හරයෙන් ගත් කල අධමයෙකු හා කෘර පාලකයෙක් වන නියම රුසියානු නිලධාරියා බඳු පුද්ගලයායි.“ [ලෙනින්, Collected Works (එකතුකල කෘති) 36 වෙලුම]

30. මෙම වක්‍ර යුද්ධයේ වඩාත් ම ප්‍රතිගාමී විපාකයන් අතර, භූ-දේශපාලනික ගැටුමේ යුක්ති යුක්ත උපකරනයක් ලෙස න්‍යෂ්ටික ආයුධ යොදා ගැනීම සාමාන්‍යකරනය කිරීම පවතී. න්‍යෂ්ටික ආයුධ යොදාගැනීමේ හැකියාව නිසා නැටෝ බලයන් “බියපත්” නො වන බව යලි යලිත් කියාපෑමෙහි එක ම අර්ථය විය හැක්කේ, මිනිසුන් බිලියන ගනනකගේ ජීවිත අනතුරේ හෙලමින් පවා, එම බලයන් රුසියාව ද, කාලය පැමිනි විට චීනය ද, පරදවා ලබන පරිපූර්න ජයග්‍රහනයක් ලුහුබැඳ යාමට අධිෂ්ටානවත්ව සිටින බව යි.

31. යුද්ධය එහි දෙවැනි වසරට ඇතුල් වෙද්දී, තීරනාත්මක ජයග්‍රහනයක් ලබාගැනීමේ අවශ්‍යතාව විසින් අවුලුවනු ලබන, අයථා ඉලක්ක හා ව්‍යසනකාරී වැරදි තක්සේරු කිරීම් මත පදනම් වන මිලිටරි ප්‍රහාර තීව්‍ර කිරීමේ තර්කනය නිර්දය ලෙස ඉදිරියට ඇදෙයි. සොල්දාදුවන් දුසිම් ගනනක්, බොහෝවිට සිය ගනනක් මරා දමමින්, ඩොනෙට්ස්ක් නගරයේ රුසියානු සොල්දාදුවන් රැඳී සිටින ගොඩනැගිල්ලකට යුක්‍රේනය නව අවුරුදු දා එල්ල කල ප්‍රහාරය තුලින් පෙන්නුම් කෙරෙන්නේ යුද්ධයෙහි අනතුරුදායක ගමන් මාවත යි. මෙම යෝධ ප්‍රහාරය සිදු කරන ලද්දේ, අතිරේක ආයුධ හා මිලිටරි සහයෝගය ලබාගැනීමේ අභිප්‍රාය විවෘතව ප්‍රකාශ කරමින් යුක්‍රේනියානු ජනාධිපති සෙලෙන්ස්කි එක්සත් ජනපදයට කල සංචාරයෙන් යන්තම් සතියකට පසුව යි.

32. එක්සත් ජනපදය විසින් සම්පාදනය කරන ලද, අභිවර්ධිත හිමාස් කාලතුවක්කුවෙන් [High Mobility Artillery Rocket System] මිසයිල එල්ල කරමින් ජනවාරි 1 ප්‍රහාරය සිදු කරන ලදී. යුද්ධය මෙහෙයවීමේ දී හා මෙම රොකට් පද්ධතිය සූක්ෂමකරනයේ දී එක්සත් ජනපදය ඉටුකරන ප්‍රධාන භූමිකාව සලකන කල, බයිඩන් පරිපාලනය මෙම ප්‍රහාරයට අනුමැතිය දුන් බවත්, රුසියානු සොල්දාදුවන් ඉලක්ක කරගැනීමේ දී හා මිසයිල දියත් කිරීමේ දී ඇමරිකානු මිලිටරි තාක්ෂනඥයන් ඍජු ව සම්බන්ධ වූ බවත් නිසැක ය.

33. බයිඩන් පරිපාලනය රුසියාව වෙතින් දැඩි ප්‍රතිචාරයක් ඇවිලවීමට උත්සාහ කරන්නේ ද නැතහොත් පුටින් පාලන තන්ත්‍රය නැටෝව සමග යුද්ධය තීව්‍ර කිරීම මගහරිනු ඇතැයි විශ්වාස කරන්නේ ද යන්න පැහැදිලි නැත. එහෙත්, හිතාමතා ප්‍රකෝප කිරීමක් හෝ රුසියානු පිලිවෙත පිලිබඳ වැරදි තක්සේරුවක් මගින් ගෝලීය ව්‍යසනයක් කරා ධාවනය වන අනතුර නො තකා, ධවල මන්දිරය ක්‍රියා කරයි. යුක්‍රේනියානුවන් බිල්ලට දෙන්නන් හා ඉත්තන් ලෙස යොදාගන්නා එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රධාන නැටෝ බලවත්තු, මිලිටරි ජයග්‍රහනයක් ලබාගැනීමේ අධිෂ්ටානයෙන් පසුවෙමින් රුසියානු යටත් වීමක් ම අපේක්ෂා කරති. බ්‍රිතාන්‍ය මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රධාන හොරනෑව වන, ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය ජනවාරි 2දා පලකල කතුවැකියක මෙසේ සඳහන් කලේ ය: “සටන් භූමියේ දී යුක්‍රේනය ලබන සාර්ථකත්වයන්ගේ තේරුම වන්නේ , එහි මිත්‍රයන්ට ඔවුන්ගේ සහයෝගය සැහැල්ලු කල හැකි බව නොවේ ...එසේ ම මෙය, සටන් විරාමයක් හෝ සාකච්ඡාවක් පිලිබඳ අදහස කල්පනාවට ගත යුතු අවස්ථාවක් නො වේ.”

34. අනෙකුත් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවත්තු ද ලෝක යුද්ධයට සූදානම් වෙමින් සිටිති. ගෙවී ගිය වසරේ දී ජර්මනිය හා ජපානය සම්මත කල යෝධ මිලිටරි අයවැය, යුද අයවැය වේ. තව ද රුසියාව හා චීනය සමග ගැටුමේ දී, ප්‍රධාන බලයන් වර්තමානයේ එක්සත් ව සිටිය ද සසජාතශි ඔන්ලයින් රැලියේ දී සටහන් කල පරිදි: “නැටෝ සන්ධානය සහ ආසියාවේ හා ආසියා-පැසිෆික් කලාපයේ රටවල් අඩංගු කරගන්නා අතිරේක මිලිටරි ගිවිසුම් සමන්විත වන්නේ, “සහෝදර කන්ඩායමක්” නො ව, අධිරාජ්‍යවාදී චෞරයන්ගේ හා බෙලි කපන්නන්ගේ ගුහාවක්. අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිමල්ලතාවන්ගේ තර්කනය, අද දින තාවකාලික මිතුරන් අතර රුදුරු ගැටුම් බවට තුඩු දීමට වැඩි කලක් ගත වීමට ඉඩ ලැබෙන්නේ නෑ. උදාහරනයක් ලෙස, එක්සත් ජනපදය හා ජර්මනිය අතර පැවතියාවූ අතීත හතුරුකම්, අනිවාර්යයෙන් ම යලි ඉස්මතු වෙනවා ඇති.”

ජනවාරි 6 කුමන්ත්‍රනය සහ ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය

35. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ සාහසික කම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ දේශපාලනික අවශ්‍යතා විෂයෙහි ලා පමනක් වටහා ගත නොහැක. කේන්ද්‍රීය සාධකයක් වන්නේ එක්සත් ජනපදය තුලම පවතින ආන්තික දේශීය අර්බුදයයි. ගෝලීය ආධිපත්‍යය පිලිබඳ එහි සියලු සිහින වෙනුවෙන්, ඇමරිකානු පාලක පන්තිය මුලසුන හොබවන්නේ, වඩ වඩාත් අක්‍රිය වෙමින් පවතින දේශපාලන ක්‍රමයක් මත ය. 1998-99 දී ක්ලින්ටන් දෝෂාභියෝග අර්බුදය සහ 2000 දී ශ්‍රේෂ්ඨාධිකරනයේ මැදිහත්වී, ඡන්ද ගනන් කිරීම යටපත් කර, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට ජනාධිපති ධූරය පිරිනැමීම තරම් ඈත අතීතයේ දී ම, ඇමරිකානු පාලක පන්තිය ඒකාධිපති පාලනයේ ස්වරූපයන් කරා ගමන් කරමින් සිටින බවට ජාත්‍යන්තර කමිටුව අනතුරු අඟවා තිබුනි.

2021 ජනවාරි 6 වන දින, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පක්ෂපාතී දක්ෂිනාංශික කැරලිකරුවන්, කුමන්ත්‍රන ප්‍රයත්නයක් සඳහා වොෂින්ටනයේ එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදෙති. [ඒපී ඡායාරූප/ජෝසේ ලුවිස් මැගානා] [AP Photo/Jose Luis Magana]


36. ප්‍රජාතන්ත්‍ර-විරෝධී පරිහානියේ මෙම දිග්ගැස්සුනු ක්‍රියාවලිය 2021 ජනවාරි 6 වැනිදා කූටප්‍රාප්ත වූයේ, බලය පැවරීම අවහිර කිරීම සහ ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම සඳහා ෆැසිස්ට්වාදී කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහයෙනි. මෙම කුමන්ත්‍රනයට රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයකගේ ද, පාලක පන්තියේ සහ මිලිටරි-රාජ්‍ය යාන්ත්‍රනය තුල සැලකිය යුතු කොටසක ද සහාය ලැබුනි.

37. පසුගිය වසර පුරා, ජනවාරි 6 වෙනිදා පිලිබඳව විමර්ශන කෙරුනු මන්ත්‍රී මන්ඩල කමිටුව විසින් නඩු විභාග මාලාවක් පැවැත් වූ අතර, එයින් ඔප්පු වූයේ: 1) කැරැල්ලට නායකත්වය දෙමින්, එය මෙහෙයවීමට ට්‍රම්ප් කුමන්ත්‍රනය කල බව; සහ 2) කුමන්ත්‍රනය සාර්ථක වීමට ඉතා ආසන්නයටම පැමිනි බව යි. ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමටත්, “කැරැල්ලක් උසිගැන්වීමට, සහාය දීමට හෝ ආධාර කිරීමට සිදුකල කුමන්ත්‍රනයක්” සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමටත් අධිකරන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමත් සමඟ දෙසැම්බර් මාසයේදී නඩු විභාගය අවසන් විය.

38. මුලෝපායික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය (අයිඅයිඑස්එස්), 2022 සඳහා සිය වාර්ෂික මුලෝපායික සමීක්ෂනයේදී ඇමරිකානු දේශපාලනයේ බිඳෙනසුලු ස්වභාවය පෙන්වා දුන්නේය. එය මෙසේ සඳහන් කලේය:

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනය අසාර්ථක වුවද, උත්සාහයේ සාහසිකත්වය, අනාගත මැතිවරන ප්‍රතිඵලයක් ප්‍රතික්ෂේප කර කනපිට ගැසිය හැකිය යන්න පිලිබඳ විඥානයේ සහ අපේක්ෂාවේ පෙරලියක පෙර නිමිත්තක් විය. එවැනි ප්‍රතිඵලයක් පරිකල්පනය කල හැක්කේ, 2021-22 කාලය තුල වොෂින්ටනයේ සහ එක්සත් ජනපදය පුරා ප්‍රාන්ත පාර්ලිමේන්තු ගර්භයන් හි දේශපාලන ප්‍රභූන් අතර අත්‍යසාමාන්‍ය මට්ටමේ දේශපාලන ධ්‍රැවීකරනයේ බලවත් කම නිසා සහ අන් කවර කලකටත් වඩා, මතකයට නගා ගත හැකි මෑත කාලයක නොවූ විරු ලෙස ඇමරිකානුවන් ම සමාජමය සහ දේශපාලනික වශයෙන් වඩ වඩාත් විභේදනය වී ඇති නිසා ම ය...

එලඹෙන දශකය තුල එක්සත් ජනපදයට සිවිල් යුද්ධයට මුහුන දිය හැකිද යන්න පිලිබඳව ශාස්ත්‍රාලික විවාදයක් පවතී. පිලිතුර අර්ථ දැක්වීම් මත රඳා පවතී. ඇමරිකානු දේශපාලනයේ කැපී පෙනෙන ලක්ෂනයක් ලෙස ප්‍රචන්ඩත්වය යලි මතුවී ඇත.

39. ට්‍රම්ප් නියෝජනය කරන්නේ, කිසිසේත් ම ඇමරිකානු දේශපාලනයේ එකම ෆැසිස්ට් ඒකාධිපතිවාදී තර්ජනය නම් නොවේ. රිපබ්ලිකන් පක්ෂය බොහෝ දුරට සාම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් ප්‍රතික්ෂේප කරන අතර, ෆ්ලොරිඩාවේ ආන්ඩුකාර රොන් ඩිසැන්ටිස් වැනි චරිත මතුවීමෙන් පෙන්නුම් කරන පරිදි, දේශපාලන විරුද්ධවාදීන් නිර්දය ලෙස මඩින ඒකාධිපති රාජ්‍යයක් නිර්මානය කිරීමට උත්සාහ දරයි. [1973දී ගබ්සාව සඳහා ඇති අයිතිය ව්‍යවස්ථාගත කල] වේඩ්ට එදිරිව රෝයි නඩු තීන්දුව අවලංගු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවත් සමග, ගබ්සාව සාපරාධීකරනය කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍ය නීති රැල්ලක් මුදා හැර තිබේ. ප්‍රාදේශීය පොලීසි සෑම වසරකම මිනිසුන් 1,000 කට වඩා මරා දමයි. ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනය වීමේ මේ සියලු ප්‍රකාශනයන්ට යටින් රාජ්‍ය මර්දන යාන්ත්‍රනයේ, එනම්, එන්එස්ඒ, එෆ්බීඅයි වැනි දැවැන්ත ඔත්තු බැලීමේ සහ මර්දනයේ ආයතන සහ සෑම ප්‍රාන්තයකම, ප්‍රධාන නගරයකම පවතින ඊට සමාන අයතන වල අඛන්ඩ වර්ධනයක් පවතී.

ඉතාලියානු සහෝදරයෝ පක්ෂයේ ජෝර්ජියා මෙලෝනි, 2022 සැප්තැම්බර් 22 වන දින, රෝමයේ මධ්‍ය-දක්ෂින සභාග සමාප්ති රැලියට සහභාගී වෙමින් [ඒපී ඡායාරූප/ග්‍රෙගරි බෝෂා, ගොනුව] [AP Photo/Gregori Borgia, file]


40. ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම සහ අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී ව්‍යාපාරවල දේශපාලන බලපෑම වර්ධනය වීම ගෝලීය ප්‍රපංචයකි. ඉතාලියේ, ෆැසිස්ට්වාදී ඉතාලි සමාජ ව්‍යාපාරයේ අනුප්‍රාප්තිකයින් සහ ෆැසිස්ට් ආඥාදායක බෙනීටෝ මුසෝලිනිගේ උරුමක්කාරයන් වන ඉතාලියානු සහෝදරයෝ (එෆ්ඩීඅයි) පක්ෂය, අගමැති ජෝර්ජියා මෙලෝනිගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් මාසයේදී බලයට පත් විය. ප්‍රන්සයේ, නව-ෆැසිස්ට් අපේක්ෂක, මැරීන් ලෙ පෙන්, මාර්තු මාසයේ පැවති ද්විත්ව-වාර ඡන්ද විමසීමේ දී ඉමැනුවෙල් මැක්‍රෝන්ට එරෙහිව සියයට 45 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. විසි වැනි සියවසේ දරුනුතම අපරාධ සඳහා නාසි ආඥාදායකත්වය වගකිව යුතු ජර්මනියේ, දෙසැම්බරයේ දී සිදු වූ වැටලීමකින්, මිලිටරි බලයෙන් බලය අල්ලා ගැනීමේ ෆැසිස්ට් ත්‍රස්තවාදී කුමන්ත්‍රනයක් හෙලිදරව් විය. “රීච්ස්බර්ගර්” ව්‍යාපාරයට, අන්ත-දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පයක් (ඒඑෆ්ඩී) පක්ෂය සමඟ සමීප සබඳතා ඇති අතර නව-නාසි ව්‍යාපාරයට බුද්ධි හා මිලිටරි යාන්ත්‍රනය තුල සමීප සම්බන්ධතා ඇත.

41. යුරෝපය පුරා ෆැසිස්ට්වාදී පක්ෂ දේශපාලනිකව නීත්‍යානුකූල කරනු ලැබ ඇත්තේ, මිලිටරිවාදය ප්‍රවර්ධනය කිරීම, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අත්හැර දැමීම, සංක්‍රමනිකයන්ට සහ සරනාගතයින්ට එරෙහි ප්‍රහාර, සහ සියල්ලටමත් වඩා, කම්කරු පන්තිය සමඟ ගැටුමකට සූදානම් වීම සඳහා තීරනාත්මක දේශපාලන සහාය සම්පාදනය කරමිනි.

42. සමාජවාදී විප්ලවයේ තර්ජනයට පාලක පන්තීන්ගේ ප්‍රතිචාරයක් ලෙස ෆැසිස්ට්වාදයේ අර්ථභාරය ඓතිහාසික අත්දැකීම් මගින් තහවුරු කර ඇත. කම්කරු පන්තියේ ව්‍යාපාරය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීම සඳහා ඉතාලි ධනේශ්වරය විසින් 1922 දී මුසෝලිනී සහ ඔහුගේ ෆැසිස්ටි [ඉතාලියේ බලය අල්ලාගෙන මුසෝලිනි යටතේ ෆැසිස්ට් ආඥාදායකත්වයක් (1922-43) පිහිටවූ දේශපාලන සංවිධානයකි - පරිවර්තක] බලඇනිය බලයට පත් කරන ලදී. හිට්ලර් සහ ඔහුගේ නාසීන්, ජර්මනිය තුල එම අරමුන සඳහා ම ඊටත් වඩා ම්ලේච්ඡ ලෙස යොදා ගන්නා ලදී. ෆැසිස්ට් ව්‍යාපාර විසින් තෝරා ගන්නා ලද ආකෘති රටින් රටට වෙනස් වේ. ඇතැම් අවස්ථාවලදී ජර්මනියේ සහ ඉතාලියේ මෙන්, ඔවුන් ධනේශ්වර රාජ්‍යයේ පූර්න පාලනය ම පාහේ අත්පත් කරගෙන ඇත. අනෙක් රටවල— ඇත්ත වශයෙන්ම, බොහෝ විට—ෆැසිස්ට් සංවිධාන රාජ්‍ය මර්දනයේ සහායක පැරාමිලිටරි උපකරන ලෙස ක්‍රියා කර ඇති අතර, රාජ්‍ය විසින් මෙහෙයවන ලේවැකි ප්‍රතිවිප්ලවයේ දී (උදාහරනයක් ලෙස, ස්පාඤ්ඤයේ, ආර්ජන්ටිනාවේ, චිලී සහ ඉන්දුනීසියාවේ ඔවුන් කලාක් මෙන්) හමුදාවට සහ පොලිසියට සහාය වේ.

43. වත්මන් තත්වය තුල, වෛෂයික අර්බුදයේ පීඩනය විසින්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආකෘති අත්හැර දමා කම්කරු පන්තියේ නැගී එන ව්‍යාපාරයට එරෙහිව පූර්ව-භංග ප්‍රහාරයක් එල්ල කිරීමට පාලක ප්‍රභූව තල්ලු කරයි.

ඇමරිකානු හා ලෝක ධනවාදයේ ආර්ථික අර්බුදය

44. අවසාන විග්‍රහයේ දී, ආන්තික දේශපාලන අස්ථාවරත්වය ප්‍රේරනය කරනු ලබන්නේ, වඩ වඩාත් අස්ථාවර වෙමින් තිබෙන ආර්ථික හා මූල්‍ය තත්වයන් මගිනි. පසුගිය දශක තුන පුරා පාලක පන්ති ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය අංගය වී තිබුනේ වෙලඳපොලවල් තුලට පෙර නොවූ විරූ විශාල ද්‍රවශීලතාවයක් එන්නත් කිරීමයි. මෙය ආරම්භ වූයේ, 1979 'වොල්කර් කම්පනය' --එනම්, පෝල් වොල්කර් යටතේ එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුව අවපාතයක් ඇති කිරීමට සහ විරැකියාව ඉහල නැංවීම සඳහා පොලී අනුපාත තියුනු ලෙස ඉහල දැමූ කාලපරිච්ඡේදයට--පසුවය. 1990 ගනන් වලින් ආරම්භ වී 21 වැනි සියවසේ මුල් දශක දෙක දක්වා විහිදී ගිය අඩු පොලී අනුපාත අඛන්ඩව පවත්වා ගෙන ගිය කාලපරිච්ඡේදය තුල, මූල්‍ය වෙලඳපොලවල් වෙත මුදල් ගලා ආ අතර එය කොටස් අගය ඉහල යාමට හේතු විය.

45. ඇමරිකානු පාලක පන්තිය 2008 ආර්ථික හා මූල්‍ය බිඳවැටීමට ප්‍රතිචාර දැක්වූයේ වෝල් වීදියට ඇපවීම මගිනි. ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් ඩොලර් බිලියන සිය ගනනක් සමපේක්ෂන වත්කම් මිලදී ගැනීම සඳහා මුදල් සම්පාදනය කිරීමට ජාතික නය එක රැයකින් ම පාහේ දෙගුන කරන ලදී. මෙය 2020 දී කොවිඩ්-19 වසංගතයේ මුල් මාසවලදී ඊටත් වඩා විශාල පරිමානයකින් පුනර්කරනය වූ අතර, සමූහ මරන සහ සමාජ දුක්ඛිත තත්වයන් මධ්‍යයේ කොටස් අගයන් වාර්තාගත මට්ටම් කරා ඉහල ගියේය.

ෆෙඩරල් රිසර්ව් බැංකුවේ සභාපති ජෙරොම් පවෙල්, (මැද), 2022 අගෝස්තු 26 සිකුරාදා, මොරාන්, වයෝ හි, ග්‍රෑන්ඩ් ටෙටන් ජාතික උද්‍යානයේ ජැක්සන් ලේක් ලොජ් හි මහ බැංකුවේ වාර්ෂික සම්මන්ත්‍රනයට සහභාගිවන්නන් සමඟ කෝපි පානය සඳහා විවේකයක් අතරතුර. [ඒපී ඡායාරූප/ඇම්බර් බාර්ස්ලර්] [AP Photo/Amber Barsler]


46. එක්සත් ජනපදය ප්‍රමුඛ පාලක පන්තියේ ප්‍රතිපත්තිය වූයේ පන්ති අරගලය මර්දනය කිරීම හරහා වැටුප් අඩු මට්ටමක තබා ගනිමින්, මුදල් අච්චු ගැසීම හරහා මූල්‍ය වත්කම් පුම්බා ගැනීමයි. සංගත හා මූල්‍ය ප්‍රභූවගේ පමනක් නොව ඉහල-මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටස්වල ධනය ඉපැයීම සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියෙන් වඩ වඩාත් වියෝ විය.

47. 2008 අර්බුදයෙන් පසු දශකය තුල වටිනාකමින් පීම්ඹී ගියා වූ, ව්‍යාජ ප්‍රාග්ධනය සඳහා ව්‍යාජ මුදල් වර්ගයක් ලෙස මතුවූ ක්‍රිප්ටොකරන්සි (ඩිජිටල් මුදල්) සඳහා වෙලඳපොලේ මෙම සමපේක්ෂන උන්මාදය වඩාත්ම ආන්තික ස්වරූපයෙන් සිදුවිය. 2009 දී නිර්මානය කරන ලද බිට්කොයින්හි මිල 2021 දී එහි උච්චතම අවස්ථාව වන විට ඩොලර් 64,000 කට වඩා වැඩි විය. 2021 නොවැම්බර් මාසයේදී—බිට්කොයින් සහ අනෙකුත් දේ ඇතුලුව—මුලු ක්‍රිප්ටෝ වෙලඳපොල ඩොලර් ට්‍රිලියන 3 කට වඩා වැඩි වූ අතර, විශාල මුදල් සම්භාරයක් සමස්ත මූල්‍ය වෙලෙඳපොල තුලට එන්නත් කිරීම මගින් එය පවත්වා ගෙන ගියේය.

48. පසුගිය වසර පුරා, මෙම පිලිවෙත ආවෘත අන්තරයක්ට ලඟා විය. ශක හතරක් තුල ඉහලම මූල්‍ය උද්ධමනය මගින් ලෝක ආර්ථිකයට පහර වැදුනි. එය, මහ බැංකුවල මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයක්ගෝලීය සැපයුම් දාමයන් මත වසංගතය සහ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයේ බලපෑම මගින් අසාධ්‍ය විය.

49. එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව්හි ප්‍රමුඛත්වයෙන් මහ බැංකු විසින් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ, 1980 ගනන්වල මුල් භාගයෙන් පසු තියුනුම පොලී අනුපාත ඉහල දැමීම සමග ය. කෙසේ වෙතත්, උද්ධමනයට ප්‍රතිචාර වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග, පන්ති අරගලයේ නැගිටීමක් ඇති කරන සමාජ ආතතීන් තීව්‍ර කරන අතරම, ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර කරයි.

50. පොලී අනුපාත ඉහල දැමීම දැනටමත් මූල්‍ය වෙලඳපොලවල් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. වසර පුරා නස්ඩැක් (NASDAQ) කොටස් වෙලඳපොල සියයට 35 කින් පමන පහත වැටී ඇති අතර එස් ඇන්ඩ් පී 500 දර්ශකය සියයට 20.6 කින් සහ ඩව් ජෝන්ස් සියයට 9.5 කින් පහත වැටී ඇත. ටෙස්ලා, ගූගල්, ඇමේසන්, මයික්‍රොසොෆ්ට් සහ සමපේක්ෂනය මත දියුනු වූ බොහෝ සමාගම්වල වෙලඳපල වටිනාකම පහත වැටී ඇත. ක්‍රිප්ටොකරන්සි වෙලඳපොලේ මුලු වටිනාකම ඩොලර් ට්‍රිලියන 2.3 සිට ඩොලර් බිලියන 800 දක්වා සියයට 60 කට වඩා පහත වැටුනි. කඩා වැටුනු ක්‍රිප්ටොකරන්සි වෙලඳපොල වන එෆ්ටීඑක්ස්හි නිර්මාතෘ සෑම් බෑන්ක්මන්-ෆ්‍රයිඩ් දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනීම, මූල්‍ය ප්‍රාග්ධනයේ සමපේක්ෂන උන්මාදය අවධමනය වීමේ වඩාත්ම සෘජු ප්‍රකාශනයක් පමනි.

51. 2023 දී ලෝක ආර්ථිකය අවපාතයකට අවතීර්න වන බවට ඇඟවීම් වර්ධනය වෙමින් තිබේ. ඔක්තෝම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කලේ, 2008-09 අර්බුදය සහ වසංගතයේ ආරම්භක වසර බැහැර කල විට, 2001 න් පසු අඩුම ගෝලීය වර්ධන මට්ටම වන සියයට 2.7 දක්වා මේ වසරේ දී ගෝලීය වර්ධනය පහත වැටෙනු ඇති බව යි. කෙසේ වෙතත්, මෙම තක්සේරුව අතිශයින්ම ශුභවාදී බව පෙනේ. නොවැම්බරයේදී, ඉකොනොමිස්ට් විසින් 2023 ගෝලීය අවපාතයක් 'නොවැලැක්විය හැකි' බව ප්‍රකාශ කලේ භූ දේශපාලනික ගැටුම්, ඉහල යන භාන්ඩ මිල සහ පොලී අනුපාත ඉහල යාමත් 'සාර්ව ආර්ථික ස්ථාවරත්වය අහිමි වීමත්' හේතුවෙන් ඇති වූ 'අඛන්ඩ-අර්බුද' වල බලපෑම හුවා දක්වමිනි.

52. පාලක පන්තියේ ආස්ථානයෙන් ගත් කල, කොටස් වෙලඳපොල මත පොලී අනුපාත ඉහල දැමීමේ බලපෑම වඩාත් වැදගත් මූලෝපායික අරමුනක් සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නපුරක් ලෙස සලකනු ලැබේ: එය නම්, පසුගිය වසරට වඩා ජීවන තත්වයන්ගේ අති මහත් පරිහානියට එරෙහිව කම්කරු පන්තියේ නැගෙන ප්‍රතිරෝධය තලා දැමීම යි. අගෝස්තු මාසයේදී ෆෙඩරල් මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල්, පොලී අනුපාත ඉහල යාමේ කිසිදු අඩුවක් නොකෙරෙන බව ප්‍රකාශ කල විට, 'කුටුම්භයන්ට සහ ව්‍යාපාරවලට යම් වේදනාවක් ගෙන දෙන' 'මෘදු ශ්‍රම වෙලඳපොල තත්වයන්'—එනම්, මහා විරැකියාව—ඇති කිරීම අවශ්‍ය බව ඔහු අවධාරනය කලේය.

53. ඉහල යන උද්ධමනය ලොව පුරා කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත විනාශකාරී බලපෑමක් ඇති කර තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට (අයිඑල්ඕ) අනුව, 2022 දී මූර්ත වැටුප් සියයට 1 කින් පමන පහත වැටුනු අතර, දශක කිහිපයකින් සනිටුහන් වූ එවැනි පලමු ගෝලීය පරිහානිය එය විය. 2022 ඔක්තෝම්බර් මාසයේදී වාර්ෂික උද්ධමනය සියයට 11.5 දක්වා ලඟා වූ යුරෝපීය සංගමයේ, පෙර වසරට සාපේක්ෂව 2022 පලමු භාගයේ මූර්ත වැටුප් අති විශාල ලෙස, සියයට 2.4 කින් පහත වැටී ඇත.

54. මූර්ත වැටුප් පහත වැටෙන අතර, ශ්‍රම ඵලදායිතාව අඛන්ඩව වර්ධනය වීම පෙන්නුම් කරන්නේ කම්කරු පන්තිය සූරාකෑම පෙර නොවූ විරූ මට්ටම් කරා ලඟා වෙමින් පවතින බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දියුනු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් යන දෙකොට්ටාශයේම 2023 දී වැඩ වර්ජන සහ සමාජ විරෝධතා ආධිපත්‍යය දරනු ඇතැයි සංගත විශ්ලේෂකයින් බිය පල කරති. ඇමරිකානු කාර්මික සබඳතා පිලිබඳ බ්ලූම්බර්ග් නීති විශ්ලේෂනය මෙසේ සඳහන් කරයි: “අවම වශයෙන්, විශාල වෘත්තීය සමිති ගිවිසුම් 150 ක් ලබන වසරේ කල් ඉකුත් වීමට නියමිත තතු තුල, ඉහල යන උද්ධමනය සහ සංගතවල ලාභ ඉහල යාම් මධ්‍යයේ තව තවත් කම්කරු නොසන්සුන්තා සිදුවනු ඇත. අවම වශයෙන් කම්කරුවන් මිලියන 1.6 ක් නියෝජනය කරන ගිවිසුම් අවලංගු වීමට් නියමිතය, එය ෆිලඩෙල්ෆියාහි ජනගහනයට වඩා වැඩි ය”.

කම්කරු පන්තියේ නැගී එන ගෝලීය ප්‍රහාරය

55. මිල ඉහල යාම, ලෝකය පුරා පන්ති අරගලයේ වර්ධනය ඉහල යාමට තුඩු දී ඇති ක්‍රියාවලීන් වේගවත් කර ඇත. වෘත්තීය සමිති උපකරනයේ යාන්ත්‍රනය තුලින් බලහත්කාරී ලෙස පවත්වා ගෙන ගිය එකතැන පල්වන දිගු කාලපරිච්ඡේදය මහජන විරුද්ධත්වයට පාත්‍රවී තිබේ. රටක් රටක් පාසා කම්කරු පන්තියේ නවමු සටන්කාමීත්වයක් දක්නට ලැබේ. ට්‍රොට්ස්කි වරක් ලියූ පරිදි 'ඉතිහාසයේ නියාමයන් නිලධාරීවාදී යාන්ත්‍රනයට වඩා බලවත් ය.'

56. සමාජ අසහනය වර්ධනය වීමේ ප්‍රධාන සාධකයක් වී ඇත්තේ, මූලික අවශ්‍යතාවල මිල ඉහලයා යාම ද ඇතුලුව ජීවන වියදම නැගීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (ජාමූඅ) අනුව, ගෝලීය කොවිඩ්-19 වසංගතය පැමිනීමත් සමඟ 2020 අප්‍රේල් සහ 2021 දෙසැම්බර් අතර කාලය තුල තිරිඟු මිල සියයට 80 කින් වැඩි විය. එය, 1970 ගනන්වලින් පසු ආහාර මිල ඉහලම මට්ටම් වලට යාමකි. 2022 වසරේ මේ දක්වා තිරිඟු මිල සියයට 37 කින් සහ බඩ ඉරිඟු මිල සියයට 21 කින් ඉහල ගොස් ඇත. [මුල්‍ය ගිවිසුම් අනුව] තිරිඟු වල අනාගත මිල, පෙර මාස හයට වඩා සියයට 80 කින් ද, බඩ ඉරිඟු සියයට 58 කින් ද ඉහල ගොස් ඇත.

විරෝධතාකරුවන්, 2022 ජූලි 9 සෙනසුරාදා, ශ්‍රී ලංකාවේ කොලඹ පිහිටි ජනාධිපති නිල නිවස දෙසට දිවෙන වීදියක රැස් ව සිටිති. (AP Photo/Amitha Thennakoon) [AP Photo/Amitha Thennakoon]


57. ශ්‍රී ලංකාව තුල, මාර්තු අග සිට ආන්ඩුවට එරෙහි විරෝධතා ආරම්භ වූ අවුරුද්ද පුරා පැතිරී ගියේය. එම අරගල දැවැන්ත මහා වැඩවර්ජන තුනකින් කූටප්‍රාප්ත ව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජූලි 13 දා රටින් පලා ගොස් දින දෙකකට පසු ඉල්ලා අස්වීමට බලකෙරුනි. ඉක්වදෝරය, පේරු, ලෙබනනය, පකිස්ථානය සහ අනෙකුත් රටවල ද ආහාර සහ ඉන්ධන මිල කේන්ද්‍ර කරගත් දැවැන්ත විරෝධතා පැවැත්විනි.

58. තුර්කියේ වානේ කම්කරුවන්, කඩදාසි කම්කරුවන්, සපත්තු කම්කරුවන්, යකඩ කම්කරුවන් සහ ඉදිකිරීම් කම්කරුවන් සම්බන්ධ වෙමින්, වෘත්තීය සමිති වලට පිටින් සිදු වූ වැඩ වර්ජන මාලාවක් දෙසැම්බර් සහ ජනවාරි දක්වා පැවතුනි.

59. ඉරානයේ බල පැවැත්වෙන හිජාබ් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්, මුර සංචාරය කරන සදාචාර මාර්ගෝපදේශන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහ්සා අමිනි ගේ මරනයෙන් පසු සැප්තැම්බර් මාසයේ දී ආන්ඩු-විරෝධී විරෝධතා ආරම්භ විය. ආරම්භක විරෝධතාවලට මූලික වශයෙන් සම්බන්ධ වූයේ අයතුල්ලා කමේනිගේ ධනේශ්වර-පූජක තන්ත්‍රයට එරෙහි මධ්‍යම පන්තික ස්ථරයන් ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ද උත්සාහ කරන්නේ මැද පෙරදිග තමන්ගේම අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ඉරානයේ දේශීය අර්බුදය ගසාකෑමට ය.

60. දෙසැම්බරයේ දී, දැවි තෙල් කම්කරුවන්, වානේ සහ සිමෙන්ති කම්කරුවන් සහ බස් රියදුරන් ඇතුලු ඉරාන කම්කරු පන්තියේ විවිධ ස්ථර විරෝධතා වල කොටසක් ලෙස, තුන්දින 'ජාතික වැඩ වර්ජනයකට' සහභාගී වූහ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ තන්ත්‍ර-මාරු මෙහෙයුම් වලට සහාය නොදී, ඉරානයේ ධනේශ්වර ආන්ඩුවට විරුද්ධ වෙමින්—ප්‍රගතිශීලී දිශාවකට විරෝධතා වර්ධනය කිරීම රඳා පවතින්නේ කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී නායකත්වයක් ගොඩනැගීම මත ය.

61. උද්ධමනය අප්‍රිකාවේ පන්ති අරගලයේ වර්ධනයට ඉමහත් බලපෑමක් ඇති කරයි. අප්‍රිකාවේ රටවල් 54 න් 23 ක් ම, ඔවුන්ගේ ප්‍රධාන භාන්ඩ වලින් අඩකට වඩා ආනයනය සඳහා රුසියාව සහ යුක්‍රේනය මත යැපේ. බොහෝ අප්‍රිකානු රටවල් කිසිදු සමාජ ආරක්ෂන ජාලයක් සපයන්නේ නැති තත්වයක් යටතේ, මිල ඉහල යාම කුසගින්න උග්‍ර කරයි. සිය ආහාර ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමානයක් ආනයනය කරන සහ කොවිඩ්-19 හි ආර්ථික ප්‍රතිවිපාක දැඩි වූ නයිජීරියාව, කෙන්‍යාව, ඝානාව, රුවන්ඩාව සහ ඊජිප්තුව ඇතුලු රටවලට සිදුව ඇති බලපෑම විශේෂයෙන් ආන්තික වේ. අප්‍රිකාවේ කුසගින්නට ගොදුරු වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මහාද්වීපයේ බිලියන 1.2 ක ජනතාවගෙන් මිලියන 500 කට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

62. අප්‍රිකාව පුරා කම්කරුවන් වෘත්තීය සමිති යාන්ත්‍රනයේ උත්සාහයන් නොතකා අරගලයට අවතීර්න වී ඇත. කෙන්‍යානු සෞඛ්‍ය සේවකයෝ උසාවි නියෝගයක් නොතකා දෙසැම්බර් 9දා වැඩවර්ජනයක නිරත වූහ. නයිජීරියාවේ ද විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, බස් රථ රියදුරන් සහ සිවිල් සේවකයන්ගේ වැඩ වර්ජන සිදු විය. විශේෂ වැදගත් සිදුවීමක් වූයේ, මාර්ග ප්‍රවාහන කම්කරුවන්ගේ නිල වෘත්තීය සමිතිය වන ජාතික සංගමයේ වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහිව නයිජීරියාවේ ලාගෝස් හි පැවති රියදුරන්ගේ වැඩ වර්ජනයයි.

63. වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනය කල මැක්‍රෝ කම්කරුවන්ගේ සිට එස්කොම් හි සේවයෙන් පහ කරන ලද දකුනු අප්‍රිකානු විදුලි සැපයුම් සේවකයන් යලි සේවයේ පිහිටුවීමට ඉල්ලා කල වැඩවර්ජන දක්වා, දකුනු අප්‍රිකාව තුල ද වැඩ වර්ජන පැන නැගුනි. දකුනු අප්‍රිකාවේ සමිති සාමාජික කම්කරුවෝ, ධනේශ්වර අප්‍රිකානු ජාතික කොංග්‍රසය සහ ස්ටැලින්වාදී දකුනු අප්‍රිකානු කොමියුනිස්ට් පක්ෂය සමග ත්‍රයිපාර්ශ්වික සන්ධානයක සිටින දකුනු අප්‍රිකානු වෘත්තීය සමිති සම්මේලනයේ නිලධරයට අභියෝග කර සිටිති. තම වැටුප් සියයට 10 කින් වැඩි කරන ලෙස ඉල්ලා දකුනු අප්‍රිකානු ආන්ඩුවේ සේවකයන් දහස් ගනන් නොවැම්බරයේ රටපුරා විරෝධතා වලට සහභාගී වූහ. මෙය රාජ්‍ය අංශය පුරා එක්දින මහා වැඩවර්ජනයකට තුඩු දුන්නේය.

2022 සැප්තැම්බර් 8 වන දින, බ්‍රසීලියානු මර්සිඩීස්-බෙන්ස් කම්කරුවන්ගේ සාවෝ බර්නාඩෝ ඩු කැම්පෝහි රැලිය. [Photo: Adonis Guerra/SMABC/FotosPublicas] [Photo: Adonis Guerra/SMABC/FotosPublicas]


64. වසර තුනකට පෙර සමාජ අසමානතාවයට සහ කලාපයේ කුනු වූ දේශපාලන තන්ත්‍රවලට එරෙහිව දැවැන්ත නැගිටීම් සඳහා වේදිකාවක් වූ ලතින් ඇමරිකාව, 2022 දී පන්ති අරගලයේ නව රැල්ලකින් ඇලලී ගියේය. 2022 දී නැව් තටාක කම්කරුවන්, ටයර් කම්කරුවන්, ගුරුවරුන්, හෙදියන්, ප්‍රවාහන සේවකයින් සහ අනෙකුත් අයගේ වීදි විරෝධතා 9,000 කට වඩා වාර්තා කල, මහා වැඩ වර්ජන සිදු වූ ආර්ජන්ටිනාවේ ඉතිහාසය තුල වැඩිම “පිකට්” සංඛ්‍යාවක් සිදු වූ වසර ද මෙය විය. බ්‍රසීලයේ පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව, මෙම වසරේ මුල් භාගයේ වැටුප් අරගල රැල්ලක ප්‍රතිඵලයක් ලෙස සියයට 75 කින් වැඩි වැඩ වර්ජන සිදු වූ අතර, පෙර වසරට වඩා දෙගුනයකට වැඩි වැඩ පැය ගනනක වර්ජන සිදුවී ඇත.

65. විශේෂයෙන්ම සැතපුම් 6,000 කට වඩා එපිටින් යුක්‍රේනය තුල එක්සත් ජනපද ය සහ නැටෝව විසින් උසිගන්වන ලද යුද්ධය නිසා ඇති වූ ආර්ථික කම්පන වලින් පසුව, ලතින් ඇමරිකානු රටවල් ගනනාවක ඉහල යන ජීවන වියදමට එරෙහි දැවැන්ත විරෝධතා පුපුරා ගියේය. හයිටියේ ඒරියල් හෙන්‍රි සහ ඉක්වදෝරයේ ගිලර්මෝ ලැසෝගේ ආන්ඩු වැනි විවෘත දක්ෂිනාංශික ආන්ඩු—සහ, පේරුහි පේද්‍රෝ කැස්ටිලෝ සහ චිලියේ ගේබ්‍රියෙල් බෝරික් වැනි—ව්‍යාජ වාම පිටුබලය ලබන 'රෝස රැල්ලේ' [pink tide]' ආන්ඩු— යන දෙකොටසම මෙම විරෝධතා වලට ප්‍රතිචාර දැක්වූයේ කුරිරු රාජ්‍ය මර්දනය තුලිනි.

66. යුරෝපයේ, තෙල් පිරිපහදු කම්කරුවන්ගේ වැඩ වර්ජන මාලාවකින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රංශ ආන්ඩුව දෙදරුම් කෑවේය. වර්ජකයන්ට නැවත රැකියාවට යාමට බල කරන බවට තර්ජනය කරමින් සිටි මැක්‍රෝන්, අවසානයේ ප්‍රහාරයේ ගෙල සිරකිරීමේදී සීජීටී වෘත්තීය සමිතිවල සේවය ලබා ගත්තේය. වැඩ වර්ජන මාලාවකින් ප්‍රකාශයට පත් කම්කරු පන්තියේ රැඩිකලීකරනයක් මගින් ජර්මනියේ වර්ධනයන් ද සලකුනු විය. සරත් සමය තුල, උද්ධමනයේ බලපෑම් සහ ජර්මානු ආන්ඩුවේ යුද පිලිවෙත් පිලිබඳව කම්කරුවන්ගේ වැඩෙන කෝපය පාලනය කිරීම සඳහා අනතුරු ඇඟවීමේ වැඩ වර්ජනයකට ලක්ෂ ගනන් කම්කරුවන් කැඳවීමට අයිජී මෙටල් ලෝහ කම්කරු සමිතියට බල කෙරුනි. වසර පුරා හෙද හා ගුවන් සේවා අංශවල ද ගිම්හානයේදී නැව් තටාක සේවකයින් ද සහභාගිවූ අනෙකුත් සැලකිය යුතු වැඩ වර්ජන විය.

2022 දෙසැම්බර් 23 වන දින, බෝර්න්මවුත්හි ඇල්ඩර් හිල්ස් බෙදා හැරීමේ කාර්යාලයේ වැඩ වර්ජන කරන්නන් [ඡායාරූපය: ලෝසවෙඅ]


67. එක්සත් රාජධානියේ දුම්‍රිය කම්කරුවන්, නැව් තටාක කම්කරුවන්, විදුලි සංදේශ සේවකයන්, තැපැල්පත් බෙදා හැරීමේ සේවකයන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්, 1924 න් පසු ප්‍රථම වතාවට එක් වසරක් තුලදී අගමැතිවරුන් තිදෙනෙකු පත් කිරීමට තුඩුදෙමින් බ්‍රිතාන්‍ය ආන්ඩුව අස්ථාවර කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල අරගල මාලාවක නිරත වූහ. වසර අවසන් වූයේ, බ්‍රිතාන්‍යයේ මහා වැඩ වර්ජනයක් සඳහා වැඩෙන ඉල්ලීම් සීමා කිරීමට වෘත්තීය සමිති උත්සාහ දරන තත්වයකය. නව “අතෘප්තියේ ශීත ඍතුව” ලෙස මාධ්‍ය විසින් නම් කර ඇත්තේ මෙයයි.

68. ඕස්ට්‍රේලියාවේ, වෘත්තීය සමිති යාන්ත්‍රනය වැඩ වර්ජන සීමා කිරීමට සහ බෙදීමට උත්සාහ දැරුවද, කාර්මික ක්‍රියාමාර්ග දශකයකට වැඩි කාලයක් තිස්සේ නොදුටු මට්ටම් කරා ලඟා වී තිබේ. 2022 මැයි මාසයේ ඇල්බනීස්ගේ ලේබර් ආන්ඩුව තේරී පත්වීමෙන් පසුව, උද්ධමනය හේතුවෙන් නොඉවසිය හැකි වැඩ බර සහ වැටුප්[ පහත වැටීමට එරෙහිව හෙදියන්, ගුරුවරුන්, දුම්‍රිය, සමුද්‍රීය සහ ප්‍රවාහන සේවකයින් සහ අනෙකුත් කොටස්වල වැඩ වර්ජනවල නැගීමක් ඇති විය. ඇල්බනීස් ගේ ආන්ඩුවේ සහ ප්‍රාන්ත ආන්ඩුවල ප්‍රතිචාරය වී ඇත්තේ දශක හතරකට වැඩි කාලයක් තිස්සේ කම්කරු පන්ති අරගල මර්දනය කිරීමට භාවිතා කර ඇති වර්ජන විරෝධී නීති සහ පියවර තීව්‍ර කිරීමයි.

69. නවසීලන්තයේ, උද්ධමනය සියයට 7.2 දක්වා ඉහල යාමත් සමඟ, කොවිඩ් අර්බුදය විසින් ජනනය කරන ලද ජීවන වියදම් සහ පීඩනයන් මත, කම්කරුවන්ගේ පුලුල් කොටස් අරගලවලට අවතීර්න වූහ. වසර 20 කට පසු ගිනි නිවන භටයින් ජාතික පරිමානයේ වර්ජනයකට එලඹුනු අතර ශාස්ත්‍රාලිකයින්, නිෂ්පාදන සහ සත්කාරක සේවකයින් සමඟ වැඩ වර්ජනය කලහ. රජයේ රෝහල් හෙදියන් ආර්ඩන් ලේබර් ආන්ඩුව තාවකාලික “ශීතකාල ප්‍රසාද” දීමනා අවසන් කිරීමට එරෙහිව අතිකාල වැඩ මුරවල වැඩ කිරීම ප්‍රතික්ෂේප කලහ.

70. කැනඩාවේ, ඔන්ටාරියෝහි අධ්‍යාපන සහායක කම්කරුවන් 55,000 ක් වර්ජන විරෝධී නීතියක් නොතකා කල වැඩ වර්ජනය, ඩග් ෆෝර්ඩ්ගේ අන්ත දක්ෂිනාංශික පලාත් ආන්ඩුවට එරෙහිව මහා වැඩ වර්ජනයක් සඳහා කම්කරු පන්තිය තුල පුලුල් සහයෝගයක් ජනනය කලේය, එය වැලකුනේ වෘත්තීය සමිති විසින් වර්ජනය නතර කිරීම හේතුවෙනි.

2022 නොවැම්බර් 21 සඳුදා බර්ක්ලි සරසවියෙහි යූසී වර්ජකයන් [ඡායාරූපය: ලෝසවෙඅ]


71. අවසාන වශයෙන්, වඩාත් පුපුරන සුලු පන්ති සටන් ලෝක ධනවාදයේ කේන්ද්‍රස්ථානය වන එක්සත් ජනපදයේ පැන නැගෙමින් පවතී; කෝනෙල් විශ්වවිද්‍යාලයේ දත්ත ගබඩාවකට අනුව, එහි වර්ජන සංඛ්‍යාව පෙර වසරට වඩා 2022 දී සැලකිය යුතු ලෙස සියයට 40 කින් වැඩි වීය. තෙල් කම්කරුවන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්, නිෂ්පාදන සේවකයින්, සහ ගුරුවරුන් සහ අනෙකුත් අධ්‍යාපන සේවකයින්ගේ වැඩ වර්ජන මෙයට ඇතුලත් විය. වසර අවසන් වුයේ, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කම්කරුවන් 48,000 ක් විසින් දියත් කෙරුනු බලගතු වැඩ වර්ජනයක් යූඒඩබ්ලියු වෘත්තීය සමිතිය විසින් පිලිගන්නා ලද ගිවිසුමකින් නතර කර දැමීමත් සමග ය.

72. කෙසේ වෙතත් වැඩ වර්ජන සංඛ්‍යාවෙන්, කම්කරු පන්තියේ නැගෙන විරුද්ධත්වයේ තත්වය මුලුමනින්ම ප්‍රකාශයට පත් නොවේ. සමාජ කෝපය පාලනය කිරීමේ මංමුලා සහගත උත්සාහයේ දී සංගත හා ආන්ඩුව සමග සමීප සහයෝගීතාවයෙන් වැඩ කර ඇති නිලධර යාන්ත්‍රනය විසින් වඩා පුලුල් අරගලයක් පැනනැගීමට ඇබ ගසා ඇත. මෙය දුම්‍රිය සේවකයින් 100,000ක අරගලය මර්දනය කිරීමේ ස්වරූපය ගත්තේය. එහෙත් වෘත්තීය සමිති ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීමේ සහ වර්ජනයට අවසර දීමේ ඡන්ද නොතකා වැඩ වර්ජනය කිරීම නැවත නැවතත් වැලක්වූහ. මෙය අවසන් වූයේ දෙසැම්බර් මාසයේ වැඩ වර්ජනයක් නීතිවිරෝධී කිරීමට ආන්ඩුව සෘජුවම මැදිහත් වීමෙනි, එය සාරාර්ථයෙන් ෆැසිස්ට් ස්වභාවයේ පියවරක් වන අතර එයට වෘත්තීය සමිති තන්ත්‍රය විරුද්ධ නොවීය, ඇත්ත වශයෙන් නම් වෘත්තීය සමිති ඊට සහාය විය.

සමාජවාදී විප්ලවයේ දශකය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කර්තව්‍යයෝ

73. ගෝලීය පන්ති අරගලයේ වර්ධනය ප්‍රධාන ඓතිහාසික හැරීම් ලක්ෂ්‍යයක් නියෝජනය කරයි. කාලයට එදිරිව පංති අරගලයන්ගේ වර්ධනයේ ප්‍රස්ථාරය සැලකූ කල, 1970 ගනන්වල අග භාගයේ සිට පහලට ගමන් කරමින් පැවති වක්‍රය, එහි දිශාවනතියේ ඉතා පැහැදිලි වෙනසක් අත්කර ගනිමින් ඉහලට ගමන් කරමින් පවතී.

74. මෙම නව වෛෂයික තත්ත්වය තුල, විප්ලවවාදී පක්ෂයේ භූමිකාව සහ භාවිතය තීරනාත්මක වේ. ධනවාදයේ වෛෂයික අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය පිලිබඳ විශ්ලේෂනයක් මත පදනම් වූ සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය)2019 එහි ගිම්හාන පාසලේදී දේශපාලන තත්වයේ ගුනාත්මක වෙනස හඳුනා ගත්තේය. වත්මන් කාල පරිච්ඡේදය, ' ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කටයුතු සමඟ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව විප්ලවවාදී නැගිටීමක් අන්තර්ඡේදනය වීම' මගින් සංලක්ෂිත වනු ඇතැයි එය සටහන් කලේය:

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ පස්වන අදියර ආරම්භ කර ඇත. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ජාත්‍යන්තර කමිටුවේ දැවැන්ත වර්ධනයක් සාක්ෂාත් කරන අදියර මෙයයි. වසර 30කට පෙර ජාත්‍යන්තර කමිටුව විසින් හඳුනාගන්නා ලද ආර්ථික ගෝලීයකරනයේ වෛෂයික ක්‍රියාදාමය තව දුරටත් සුවිසල් වර්ධනයකට ලක්ව ඇත. සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් ඇති කල නව තාක්ෂනයන්ගේ මතුවීම සමඟ ඒකාබද්ධව, මෙම ක්‍රියාදාමයන් මීට වසර 25 කට පෙර පවා සිතීමට අපහසු මට්ටමකට පන්ති අරගලය ජාත්‍යන්තරීකරනය කර ඇත. කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය අන්තර් සම්බන්ධිත හා ඒකාබද්ධ ලෝක ව්‍යාපාරයක් ලෙස වර්ධනය වනු ඇත. මෙම වෛෂයික සමාජ-ආර්ථික ක්‍රියාවලියේ සවිඥානික දේශපාලන නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගනු ඇත. එය ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපායේ පන්ති පදනම මත අධිරාජ්‍යවාදී යුද්ධයේ ධනේශ්වර දේශපාලනයට ප්‍රතිවිරුද්ධව පිහිටුවනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසයේ නව අවධියේ සාරභුත ඓතිහාසික කර්තව්‍යය වන්නේ මෙයයි .

75. මෙම විශ්ලේෂනය මත පාදක වෙමින්, එලඹෙන දශකය “සමාජවාදී විප්ලවයේ දශකය” වනු ඇති බවට ලෝසවෙඅ 2020 ජනවාරි 3 දා පල කරන ලද සිය අලුත් අවුරුදු ප්‍රකාශයේ ලිවීය. “කම්කරු පන්තියේ වර්ධනය සහ ජාත්‍යන්තර පරිමානයකින් පන්ති අරගලය පැන නැඟීම විප්ලවය සඳහා වෛෂයික පදනම සපයයි. කෙසේවෙතත්, කම්කරුවන්ගේ ස්වයංසිද්ධ අරගල හා සමාජවාදය සඳහා ඔවුන්ගේ ඉමහත් සහජාශමය පරිශ්‍රමයන් පමනක් ප්‍රමානවත් නොවේ. පන්ති අරගලය සමාජවාදය සඳහා වන දැනුවත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම යනු දේශපාලන නායකත්වය පිලිබඳ ප්‍රශ්නයකි“ යැයි අපි ලීවෙමු.

76. දේශපාලන නායකත්වයේ අභියෝගය වන්නේ, ධනේශ්වර අර්බුදයේ වෛෂයික තර්කනය විශ්ලේෂනය කිරීම සහ එම පදනම මත කම්කරු පන්තියේ විඥානය ඉහල නංවන, ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුනු කෙරෙන සහ ධනේශ්වර පක්ෂවල දේශපාලන බලපෑම් යටපත් කෙරෙන ආරම්භකත්වයන් වර්ධනය කිරීමයි.

77. 2021 නොවැම්බරයේදී, ඔමික්‍රොන් ප්‍රභේදය එහි ගෝලීය ව්‍යාප්තිය යන්තම් ආරම්භ වෙමින් තිබියදී, හජාජක විසින් කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනය දියත් කලේය. කම්කරු පරීක්ෂනය, එහි පලමු වසර තුල, පාලක පන්තියේ සාපරාධී ප්‍රතිචාරය ලේඛනගත කරමින් සහ වසංගතය නිට්ටාවටම අවසන් කිරීම සඳහා විද්‍යාත්මක හා, සියල්ලටත් වඩා, දේශපාලන මූලෝපායක් විස්තාරනය කරමින්, දුසිම් ගනනක් විද්‍යාඥයින්ගෙන් සහ කම්කරුවන්ගෙන් ප්‍රකාශ රැස් කර ගෙන ඇත.

78. 2022 දෙසැම්බර් 10 දින, ජාත්‍යන්තර කමිටුවේ ශිෂ්‍ය හා තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), යුද්ධයට එරෙහිව තරුනයින්ගේ ගෝලීය ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ගෝලීය මාර්ගගත රැලියක් පැවැත්වීය. නොවැම්බරයේදී, ජාත්‍යන්තර කමිටුවේ ජර්මානු ශාඛාව වන සොට්සියලිෂ්ටිෂ ග්ලයිෂ්හයිට්ස්පාටයි (Sozialistische Gleichheitspartei - එස්ජීපී), 2023 ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වීමට නියමිත බර්ලින් මැතිවරනය තුල ආක්‍රමනශීලී උද්ඝෝෂනයක් ආරම්භ කලේය. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට විරුද්ධව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් වදින එකම පක්ෂය එස්ජීපී ය වෙයි.

79. වෛරයට පාත්‍ර වූ රාජපක්ෂ ආන්ඩුව වෙනුවට, ජාමූඅ විසින් විධානය කෙරී ඇති කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට ඒ හා සමානව කැපවී සිටින නව ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා දේශපාලන සංස්ථාපිතය තුල සිදු කෙරුනු කුමන්ත්‍රනවලට එරෙහිව, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවුම් කරමින් ජූලි මාසයේ ආරම්භකත්වය ගත්තේය.

80. සෑම රටකම කම්කරු පන්ති අරගලයට ප්‍රධානතම බාධකයක් වන්නේ, දශක ගනනාවක් තිස්සේ වර්ධනය වන සමාජ අසමානතාවය පැටවීමේ දී, පාලක පන්තියේ යුද පිලිවෙතට සහායදීමේ දී සහ වසංගතය සමයේ යලි වැඩට යාමේ උද්ඝෝෂනය ක්‍රියාවට නැංවීමේදී තීරනාත්මක භූමිකාවක් ඉටු කර ඇති සංගතවාදී වෘත්තීය සමිති ය. හජාජාක කැඳවා අති ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය, ලෝකය පුරා කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කල හැකි මාධ්‍යයයි. පවත්නා සංගතවාදී වෘත්තීය සමිති යාන්ත්‍රනයේ අනුල්ලංඝනීයත්වය පිලිබඳව අවධාරනය කරන සියල්ලන්ට එරෙහිව, කම්කරුවන්ගෙන්ම සමන්විත සහ ඔවුන් විසින්ම පාලනය කරනු ලබන සංවිධාන ගොඩනැගීම සඳහා ජාක උද්ඝෝෂනය කරයි.

යූඒඩබ්ලිව් සභාපතිත්වය සඳහා විල් ලේමන් වෙත සහාය දක්වන කම්කරුවන් [ඡායාරූපය: ලෝසවෙඅ]


81. ජූනි මස ආරම්භ වූ, එක්සත් ජනපදයේ එක්සත් මෝටර් කම්කරු සමිතියේ (යූඒඩබ්ලිව්) සභාපති තනතුර සඳහා වූ විල් ලේමන්ගේ උද්ඝෝෂනය තුල, වෘත්තීය සමිති නිලධරයෙන් කම්කරුවන් නිදහස් කර ගැනීමේ සටන බලගතු ලෙස ප්‍රකාශයට පත්විය. වෘත්තීය සමිති යන්ත්‍රය මුලුමනින්ම අහෝසි කිරීම සහ සාමාන්‍ය කම්කරුවන්ට බලය පැවරීම සඳහා ඔහු කල කැඳවුමට ප්‍රතිචාර දැක්වූ, සාමාන්‍ය කම්කරුවන්ගෙන් මෙම උද්ඝෝෂනයට පුලුල් සහයෝගයක් ලැබුනි.

82. මෙම උද්ඝෝෂනය, සාමාන්‍ය කම්කරුවන් සහ යූඒඩබ්ලිව් තන්ත්‍රය අතර පවතින දැවැන්ත සමාජ පරතරය හෙලිදරව් කලේය. මෙම තන්ත්‍රය සමන්විත වන්නේ, ජනගහනයෙන් ඉහලම ආදායම ලබන සියයට 5 ට සහ ඉහලම සියයට 1 ට පවා අයත්වන, පුද්ගලයන් දහස් ගනනකිනි. යූඒඩබ්ලිව් ගිලගත් දැවැන්ත දූෂන සෝලිය හේතුවෙන් සෘජු මැතිවරනයක් පැවැත්වීමට ඔවුන්ට බල කෙරුනු අතර, එයට මෙම තන්ත්‍රය ප්‍රතිචාර දැක්වූයේ, ඡන්දයදීම වලක්වනුවස් හිතාමතාම ගෙනගිය ව්‍යාපාරයකිනි.

83. සියයට 9ක් පමනක් වූ අතිශයෙන් අවම පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම, සාමාන්‍ය කම්කරුවන් තන්ත්‍රයෙන් දුරස්ථවීම සමග ඒකාබද්ධ වූ ඉහත වැඩකටයුතු වල නිෂ්පාදිතයකි. සාපේක්ෂව කුඩා ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කෙරුනද, ලේමන්ට ලැබුනු ඡන්ද 5,000, සමාජවාදී ප්‍රතිපත්ති සඳහා කම්කරු පන්තිය තුල ඉතා විශාල ඡන්ද පදනමක් පවත්නාබව හෙලිදරව් කරයි. රට පුරා මෝටර්‍රථ වාහන කම්හල් සහ අනෙකුත් සේවා ස්ථානවල කමිටු ජාලයක් ගොඩනැගීම සඳහා මෙම උද්ඝෝෂනය පදනම දැමීය.

84. පන්ති අරගලයේ වර්ධනය සඳහා සෑම අංශයකම සහ සෑම රටකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ. අනෙක් අතට මෙම අරගලය, සූරාකෑමට හා අසමානතාවයට එරෙහිව පමනක් නොව යුද්ධයටද, පාලක පන්තීන්ගේ වසංගත පිලිවෙතටද, ෆැසිස්ට්වාදයට හා ආඥාදායකත්වය දෙසට වන ධාවනයටද එරෙහි ව්‍යාපාරයක් සඳහා අත්‍යවශ්‍ය පදනම වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය

85. මෙම පක්ෂයෙන් පිටත ' මෙම ග්‍රහලෝකය මත විප්ලවවාදී යන නමට සැබවින්ම උචිත වන එක ද විප්ලවවාදී ධාරාවක් හෝ නොමැත' යනුවෙන්, හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක වැඩපිලිවෙල තුල ට්‍රොට්ස්කි ලිවීය. ගෝලීය පන්ති අරගලයේදී සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේදී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ භූමිකාව සම්බන්ධයෙන් ද එම තක්සේරුව කල හැකිය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා බොහෝ “කන්ඩායම්” වලින් එකක් නොවේ. හජාජාක මාක්ස්වාදී සම්ප්‍රදාය තුල ක්‍රියා කරන හා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික අඛන්ඩතාව දරා සිටින එකම දේශපාලන පක්ෂය යි. මෙය හුදු පුරසාරමක් නොවේ. එය ජාත්‍යන්තර කමිටුවේ න්‍යාය, වැඩපිලිවෙල සහ භාවිතාව තුල සනාථ වේ.

86. 2023 පෙබරවාරි 14 දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 1998 එහි සමාරම්භයේ 25 වැනි සංවත්සරය සනිටුහන් කරනු ඇත. අන්තර්ජාලයේ නව සන්නිවේදන තාක්ෂනය උපයෝගී කරගනිමින්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයේ පලමු අව්‍යාජ ගෝලීය ප්‍රකාශනය ලෙස ජාත්‍යන්තර කමිටුව ලෝසවෙඅ නිර්මානය කලේය. විප්ලවීය තාක්ෂනය එවැනි ප්‍රකාශනයක් වැඩිදියුනු කිරීමේ හැකියාව සහ මාධ්‍යයන් ලබා දුන්නේය. එහෙත් වසර 25ක කාලපරිච්ඡේදයක් පුරා ලෝසවෙඅ දෛනිකව ප්‍රකාශයට පත්කිරීම හැකි කෙරුනා වූ එහි අත්‍යවශ්‍ය පදනම වූයේ හතරවන ජාත්‍යන්තරයේ සමස්ත න්‍යායික හා දේශපාලන උරුමය තුල එය පාදක වීමයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ බුද්ධිමය සිදුවීම් සහ ක්‍රියාදාමය ආවරනය කිරීමේ විෂය පථය මාක්ස්වාදී විශ්ලේෂන විධික්‍රමයේ සහ ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික ඉදිරිදර්ශනයේත් බලගතුභාවයට සාක්ෂි දරයි.

87. 20වන සියවසේ කේන්ද්‍රීය විප්ලවවාදී හා ප්‍රතිවිප්ලවවාදී අත්දැකීම්වල පාඩම් උකහා ගනිමින්, ලෝසවෙඅ 21වන සියවසේ සියලුම කේන්ද්‍රීය දේශපාලන සිදුවීම් වාර්තා කර විශ්ලේෂනය කර ඇත. ධනේශ්වර මාධ්‍යයේ නීරස සහ වංචනික ප්‍රචාරනයට එරෙහිව එය (ලෝසවෙඅ) සමස්ත කම්කරු, ශිෂ්‍ය හා තරුන පරම්පරාවකට බුද්ධිමය වශයෙන් විමුක්තිදායී සහ විප්ලවවාදී දිශානතියක් සපයා ඇත. සිදුවීම් පිලිබඳ වඩාත්ම උසස් මට්ටමේ දේශපාලනික විශ්ලේෂනයන් සපයන අතරම, ලෝසවෙඅ සංස්කෘතික පසුගාමීත්වයේ සහ බුද්ධිමය කුහකත්වයේත්, වංචනිකත්වයේත් පරිසරයට එරෙහිව නිර්දය ලෙස සටන් කර ඇත.

1927 දී වාම විපර්ෂවයේ සාමාජිකයින් (වමේ සිට ඉදිරියෙන්) ලියොනිඩ් සෙරෙබ්‍රියාකොව්, කාල් රඩෙක්, ලියොන් ට්‍රොට්ස්කි, මිහායිල් බොගුස්ලාව්ස්කි, යෙව්ගනි ප්‍රෙබ්‍රජන්ස්කි; (පසුපෙල) ක්‍රිස්ටියන් රකොව්ස්කි, ජාකොබ් ඩ්‍රොබ්නිස්, ඇලෙක්සැන්ඩර් බෙලෝබොරොඩොව් සහ ලෙව් සොස්නොව්ස්කි


88. මේ වසරේ සරත් සෘතුවේ දී සැමරීම ආරම්භ වීමට නියමිත තවත් සංවත්සරයක් තිබේ. 2023 ඔක්තෝබරය, ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ වාම විපාර්ශ්වය පිහිටුවීමේ ශත සංවත්සරය සනිටුහන් කරයි. මෙය ස්ටැලින්වාදී නිලධරයට හා පාලන තන්ත්‍රයට එරෙහි ට්‍රොට්ස්කිවාදී විරුද්ධත්වයේ ආරම්භය සනිටුහන් කලේය. ඔවුන් විසින් ඔක්තෝබර් විප්ලවයේ මූලධර්ම පාවාදීමේ ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඓතිහාසික පරාජයන් සහ අවසානයේ සෝවියට් සංගමය විනාශ කිරීම සහ ධනවාදය පුනස්ථාපනය කිරීම යි.

89. වාම විපාර්ශ්වය පිහිටුවා වසර සියයකට පසුව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල ඉතිහාසය විසින් සනාථ කරනු ලැබ ඇත. 'විප්ලවයේ මිනීවල හාරන්නා' ලෙස ස්ටැලින් හා ස්ටැලින්වාදය විසින් සිදු කල භූමිකාව සමාජවාදී ව්‍යාපාරයට හා කම්කරු පන්තියට එරෙහි ඔවුන්ගේ අසංඛ්‍ය අපරාධවල සටහන් වී තිබේ.

90. ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 21 වැනි සියවසේ විප්ලවවාදී මාක්ස්වාදයේ එකම නියෝජිතයා වේ. විවිධාකාර පැබ්ලෝවාදී, රාජ්‍ය ධනේශ්වර සහ අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන, අධිරාජ්‍යවාදයේ ඒජන්තයින්, වෘත්තීය සමිති යාන්ත්‍රනයේ ආරක්ෂකයින් සහ කම්කරු පන්තියේ විරුද්ධවාදීන් ලෙස හෙලිදරව් වී ඇත.

91. මාක්ස්වාදය පදනම් වී ඇත්තේ මහජන විප්ලවවාදී ව්‍යාපාර පැන නංවන වෛෂයික නීති සහ ක්‍රියාදාමයන් පිලිබඳ ඓතිහාසික භෞතිකවාදී අවබෝධයක් මත ය. ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලද නොනවතින විප්ලවයේ න්‍යාය, ලෝක සමාජවාදී විප්ලවයේ සාරභුත මූලෝපායික පදනම ලෙස පවතී. ධනවාදයට අවසන් තිත තැබීමට කම්කරු පන්තිය සතුව පවතින විප්ලවවාදී ශක්‍යතාව පිලිබඳ විද්‍යාත්මකව පදනම් වූ අවබෝධයක් මත ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය දේශපාලන ශුභවාදයකින් පුබුදුවනු ලැබ ඇත. නමුත් මෙම ශුභවාදය 'ඉතිහාසය අපේ පැත්තේ' යන අදහසින් සැනසීමක් ලබා ගන්නා නිෂ්ක්‍රීය නිරීක්ෂකයෙකුගේ තත්වයෙන් නොගැනේ. ධනවාදයේ අර්බුදය විප්ලවයකට තුඩු දෙන බව සැබෑය. නමුත් විප්ලවය සූදානම් කලයුතු වන අතර ඒ සඳහා සටන් කල යුතුය. ධනවාදයේ අර්බුදයට සමාජවාදී විසඳුම සඳහා කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීම අවශ්‍ය වේ.

92. පසුගිය වසරේ පාඩම් මෙන්ම ඉතිහාසයේ පාඩම් උකහා ගන්නා ලෙසත්, ධනවාදය ආවෘත අන්තයකට පැමින ඇති බව හඳුනා ගන්නා ලෙසත්, නව වසර අරඹන විට, අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. මානව වර්ගයාගේ අනාගතය රඳා පවතින්නේ සමාජවාදයේ ජයග්‍රහනය මතය. ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනැගීමේ සටනට එක්වන ලෙසත්, කෝවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනයට සහභාගිවන ලෙසත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සංසරනය ඉහල නැංවීමට දායක වන ලෙසත්, සියල්ලටත් වඩා, ඔබේ රටේ සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමට තීරනය කරන ලෙස සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට කටයුතු කරන ලෙසත්, අපි ඔබට කැඳවුම් කරමු.

Loading