ඉදිරිදර්ශන

අලුත් අවුරුදු ප්‍රකාශය

2022 :වසංගතයේ තුන්වන වසර සහ නැගී එන ගෝලීය පන්ති අරගලය

[මෙහි පලවන්නේ, 2022 ජනවාරි 4 දින New Year statement- 2022: Year Three of the pandemic and the emerging global class struggleයන මාතෘකාවෙන් පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි. ]

1. නව වසර ආරම්භ වෙද්දී, කෝවිඩ්-19 වසංගතය එහි බිහිසුනුම හා මාරකම අවධියට පිවිස ඇත. ප්‍රථම වරට 2021 නොවැම්බර් අගදී හඳුනා ගන්නා ලද ඔමික්‍රොන් (Omicron) ප්‍රභේදය, දැන් ගෝලීය වශයෙන් ප්‍රමුඛතම මාදිලිය බවට පත්ව තිබේ. එය යුරෝපයේ සහ එක්සත් ජනපදය පුරා අසාමාන්‍ය වේගයකින් පැතිර යන අතර, දිනපතා නව රෝගීන් වාර්තාගත ඉහලම මට්ටමට ගෙනැවිත් ඇත. 2021 අවසාන සතියේ, එක්සත් ජනපදය තුල සාමාන්‍ය දෛනික ආසාදන 500,000 ට ලඟාවෙමින් පැවතුනි.

2. ගෝලීය වසංගතය ඓතිහාසික පරිමානයේ ව්‍යසනයකි. එය අපරාධයක් ද වේ. මන්ද යත්, වසංගතයේ විනාශකාරී බලපෑම, ධනේශ්වර ආන්ඩු--ප්‍රමුඛව ම එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ ආන්ඩු--හිතාමතාම ජීවිතවලට වඩා ලාභයට ප්‍රමුඛත්වය දීමටත්, සාර්ස්-කොව්-2 (SARS-CoV-2) තුරන් කිරීමට අවශ්‍ය කෙරෙන මහජන සෞඛ්‍ය පියවරයන් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමටත්, ඒ වෙනුවට, ගෝලීය ජනගහනය පුරා වෛරසය ව්‍යාප්ත වීමට ඉඩ සලසන ප්‍රතිපත්ති අනුගමනය කිරීමටත් තීන්දු කිරීමේ ප්‍රතිඵලයක් නිසාය.

3. 2020 පුරා සහ 2021 වසර දක්වාම ආන්ඩු සහ මාධ්‍ය, වසංගතයට එරෙහි සටන, ව්‍යාපාරික හිතකාමී පදනමක් මත, එනම්,    එන්නත් කිරීමේ හා අවම කිරීමේ ක්‍රමවේදවල එකතුවක් හරහා සාර්ථකව ගෙන යා හැකිය යන මවා පෑම පවත්වාගෙන ගියේය. ඔවුන් කියා සිටි පරිදි මෙම ප්‍රවේශය, පාසල් ආරක්ෂිතව නැවත විවෘත කිරීමට සහ කම්කරුවන්ට ඔවුන්ගේ රැකියාවල යෙදීමට ඉඩ ලබා දෙන්නේය. ආරම්භයේ පටන්ම මෙම කියාපෑම්, සාර්ස්-කොව්-2 සම්ප්‍රේෂනය වන්නේ මූලික වශයෙන් වාතයේ පැය ගනනක් පවතින කුඩා අංශු (aerosols) හරහා බව තහවුරු කර තිබූ විද්‍යාව    හිතාමතාම යටපත් කිරීම මත පදනම් විය. පාසල් සහ සේවා ස්ථාන බහුතරයක් ඇතුලුව නිසි පරිදි වාතය පෙරීඒම සහ වාතාශ්‍රය නොමැති ගෘහස්ථ අවකාශයන් මෙලෙස වෛරස් සම්ප්‍රේෂනයේ මූලික මධ්‍යස්ථාන වී ඇත. ඊටත් වඩා අමූලික බොරුව වූයේ, වසංගතය ජාතික ආරම්භකත්වයන් මත පදනම්ව මර්දනය කල හැකිය යන්න යුක්ති යුක්ත කිරීම හා, එමඟින් සියලුම රටවලට එන්නත් නොමිලේ ලබා දීමට ගෝලීය මූලෝපායක් සහ ඵලදායි වැඩසටහන් නොසැපයීම යුක්තියුක්ත කිරීමයි. නමුත් ඔමික්‍රොන් ප්‍රභේදය නැඟී ඒමත් සමඟ සියලු බොරු සහ ව්‍යාජ මූලෝපායන් මුලුමනින්ම පුපුරා ගොස් ඇත.

4. ඔමික්‍රොන් පිලිබඳව දක්වන ප්‍රතිචාරය, වසංගතය අවසන් කිරීම කෙරෙහි ආන්ඩු සිය අවධානය යොමු කර ඇති බවට කරන මවාපෑම මුලුමනින්ම බිඳ දමා තිබේ. එක්සත් ජනපදය සහ බටහිර යුරෝපය විසින් මෙහෙයවනු ලැබ, ලොව පුරා බොහෝ ආන්ඩු විසින් විවෘතව අනුගමනය කරනු ලබන මූලෝපාය, 'රංචු ප්‍රතිශක්තිය' යි. මෙම සාපරාධී ප්‍රතිපත්තිය යටින් පවතින සංකල්පය නම්, තවමත් නොදන්නා යම් අවස්ථාවක දී, වෛරසය පුද්ගලයින් බොහෝ සංඛ්‍යාවකට ආසාදනය වීමෙන්,    පහසුවෙන් ප්‍රවේශ විය හැකි වින්දිතයින්ගේ සංචිතය අවසන් කරනු ඇත යන්නයි. ෆිනෑන්ෂල් ටයිම්ස් ජනවාරි 3දා කතුවැකිය තුල ලිවූ පරිදි, “වෛරසය සහ මානව ප්‍රතිශක්තිකරන පද්ධතිය අතර අන්තර්ක්‍රියාකාරිත්වයෙහි තේරුම වන්නේ, එන්නත් කිරීම හෝ ආසාදනය හරහා දරුනු කෝවිඩ් රෝග ලක්ෂන වලට එරෙහිව බොහෝ පුද්ගලයන් යම් ආරක්ෂාවක් ලබා ගන්නේ යයි සාධාරන ලෙස නිගමනය කල හැකි බවයි.”

5. ෆිනෑන්ෂල් ටයිම්ස්, රෝගය තුරන් කිරීමේ හැකියාව පවා නොසලකා හැර ඇති බව විශේෂයෙන් සඳහන් කල යුතුය. “කෝවිඩ්-19 තුරන් කිරීම සඳහා 2020 ආරම්භයේදී අපට කුමන හෝ සුලු අවස්ථාවක් තිබුනේ නම් එය අවසන්ව බොහෝ කාලයක් ගත වී ඇත,” යයි එය ප්‍රකාශ කරයි. “ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක සන්දර්භය තුල වසංගතය පාලනය කිරීමට දරන උත්සාහයන් මෙතෙක් යුක්ති සහගත කර ඇති නමුත්, ඒවා අනියමිත කාලයක් ගෙන යා නොහැක. මානසික සෞඛ්‍යයට සහ යහපැවැත්මට, සමාජ සහජීවනයට සහ ගෝලීය ආර්ථිකයට සිදුවන එක හා සමාන හානිය ඉතා විශාල වනු ඇත.

6. මෙම ප්‍රකාශයේ අර්ථය පැහැදිලිය: සාර්ස්-කොව්-2 ආවේනික රෝගයක් ලෙස වසර ගනනාවක්, දශක ගනනාවක් පවා, පවතිනු ඇත. වද වේදනා සහ මිනිස් ජීවිත සම්බන්ධයෙන් එහි ප්‍රතිවිපාකයන් කවරේ ද? සංගත-මූල්‍ය කතිපයාධිකාරීන්ට සහ ඔවුන් පාලනය කරන ආන්ඩුවලට එය පිලිබඳව තැකීමක් නැත. පිලිකුල් සහගත සමාජ විරෝධී මානසිකත්වයක් ධනේශ්වර පන්තිය තුල ගැඹුරින් මුල් බැස ඇත. එය අවධානය යොමු කර ඇත්තේ මරන සංඛ්‍යාව කෙරෙහි නොව කොටස් වෙලඳපල වටිනාකම වෙත ය.

7. ප්‍රන්ස විප්ලවයට පෙර අවුරුදු 'හොඳම කාලය' සහ 'නරක කාලය' ලෙස චාල්ස් ඩිකන්ස්    විසින් කරනු ලැබූ විස්තරය සුප්‍රකට ය. මේ වදන් වර්තමාන යථාර්ථයට කෙතරම් හොඳින් නම් ගැලපෙන්නේ ද. ධනපති පන්තියට නම් වසංගතයේ වසරවල් ආශිර්වාදයකට නොඅඩු දෙයකි. ඇපල් සමාගමේ වෙලඳපල වටිනාකම සියයට 125කින්, එනම්, ඩොලර් ට්‍රිලියන 3.0කට වඩා වැඩි වී ඇත. මයික්‍රොසොෆ්ට් හි එය සියයට 110කින්, ඩොලර් ට්‍රිලියන 2.5 දක්වා ඉහල ගොස් තිබේ. ඇල්ෆබට්හි වෙලඳපල තක්සේරුව ඩොලර් ට්‍රිලියන 1.9 දක්වා සියයට 108කින් ඉහල ගොස් ඇත. මනෝව්‍යාධියකු වන එලන් මස්ක් විසින් පාලනය කරනු ලබන ටෙස්ලාහි කොටස් වටිනාකම සියයට 1,311කින් ඩොලර් ට්‍රිලියන 1.1 දක්වා ඉහල ගියේය. පොහොසත් ම සියයට 5 හා මධ්‍යම පන්තියේ වඩාත්ම ධනවත් කොටස්වල සාමූහික ධනය ඉමහත් ලෙස වැඩී ගියේය.

8. නමුත් සමාජයේ අතිමහත් ජනතාව ජීවත් වන්නේ 'නරකම කාලයක' ය. වසංගතය ආරම්භයේ සිට ගතවූ වසර දෙක තුල නිල සංඛ්‍යාලේඛන වාර්තා කරන්නේ මිලියන 5.5 ක ජනතාවක් මිය ගොස් ඇති බවයි.    එක්සත් ජනපදයෙන් පමනක් 840,000 කට වැඩි පිරිසක් මෙයට ඇතුලත් වේ. කෙසේ වෙතත්, වසංගතය නොතිබියදී අපේක්ෂා කලහැකිවාට වඩා “අතිරික්ත මරන” මගින් මනිනු ලබන සැබෑ මරන සංඛ්‍යාව මිලියන 18 ට වඩා වැඩි යැයි ගනන් බලා ඇත. මේ අනුව, 2020 ජනවාරියේ සිට වසර දෙකක් තුල වසංගතයෙන් සිදු වූ සම්පූර්න මරන සංඛ්‍යාව, පලමු ලෝක යුද්ධයේ (1914-1918) සිව් වසර තුල දල වශයෙන් සිදුවූ මිලියන 20 ක මිලිටරි සහ සිවිල් මරන වලට ප්‍රතිවාදී ව පිහිටයි.

9. මරන සංඛ්‍යාව කෙතරම් බිහිසුනු වුවත් එය, වසංගතයේ විනාශකාරී බලපෑම පිලිබඳ ප්‍රමානවත්    මිනුමක් නොවේ. සාර්ස්-කොව්-2 ආසාදිත පුද්ගලයින්ගෙන් විශාල ප්‍රතිශතයක් දීර්ඝ කෝවිඩ් ලෙස හඳුන්වන දිගුකලක් පවතින රෝග ලක්ෂන සමඟ පොරබදති. එය බොහෝ අවයව පද්ධතිවලට බලපාන අතර පුලුල් පරාසයක බෙලහීනත්වය, ශාරීරික වේදනාව සහ මානසික වශයෙන් හානි ඇති කරයි. 2021 ජූලි මාසයේදී ඊක්ලිනිකල්මෙඩිසින් (EClinicalMedicine) විසින් අන්තර් ජාලයෙහි පල කරන ලද වාර්තාවකට අනුව, එහි අධ්‍යයනයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතරයකට දීර්ඝ කෝවිඩ් වලින් සුවය ලැබීමට සති 35කට වඩා (මාස නවයකට ආසන්නව) අවශ්‍ය විය.

10. මෙම ප්‍රතිඵලය නොවැලැක්විය හැකි දෙයක් නොවීය. බිලියන 1.4 ක ජනගහනයක් සිටින චීනයේ අත්දැකීම පෙන්නුම් කරන්නේ, 'ශුන්‍ය කෝවිඩ්' (Zero COVID) ප්‍රතිපත්තියක් ශක්‍ය ද අතිශයින් ඵලදායී ද වන බවයි. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන්,    මරන සංඛ්‍යාව 5,000ට සීමා කිරීමට චීනය සමත් වී ඇති අතර, 2020 මැයි මාසයේ සිට සිදුවී ඇත්තේ මරන දෙකක් පමනි.

11. වෛරසය තුරන් කිරීමේ විකල්පය ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජනපද සහ යුරෝපීය මාධ්‍ය, චීන ප්‍රතිපත්තිය, රෝගයට ම්ලේච්ඡ හා    අශෝභන    ප්‍රතිචාරයක් ලෙස පවා නිරූපනය කරයි. චීන ආන්ඩුව සහතිකෙන් ම 'අත්තනෝමතික' එකකි. නමුත් මෙම යෙදුම ද්වේශසහගත ලෙස යොදනු ලබන්නේ, වසංගතයට පුළුල් පදනමක් සහිත මහජන සහයෝගයක් ඇති නිවැරදි ප්‍රතිචාරයක්, අපකීර්තියට පත් කිරීමට ය. ඇත්ත වශයෙන්ම, ඉලක්කගත අගුලු දැමීම්, මහා පරිමාන පරීක්ෂන සහ සම්බන්ධතා සොයා යාම සහ ආසාදිත පුද්ගලයින් හුදකලා කිරීම ඇතුලු සියවස් ගනනාවක් පුරා සංවර්ධනය කරන ලද මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග භාවිතා කිරීමෙන් වෛරසය පාලනය කිරීමට චීනයට මේ දක්වා හැකි වී තිබේ.

12. උදාහරනයක් ලෙස, ආසාදන නැවැත්වීම සඳහා නිරෝධායන භාවිතා කිරීම, 14 වැනි සියවසේ වැනීසියේ කලු මරනයේ යුගය දක්වා දිවෙන රෝග වැලැක්වීමේ ක්‍රමයකි. ඇත්ත වශයෙන්ම, රෝගාතුර වූවන් නිරෝධායනය කිරීම සඳහා භාවිතා කරන නවීන මාධ්‍යයන්, මීට වසර 800 කට පෙර පැවති ප්‍රාථමික තත්වයන්ට වඩා බෙහෙවින් සංකීර්න සහ මානුෂීය ය. නමුත් මධ්‍යකාලීන යුරෝපයේ පවා මරනය සැලකුවේ, රෝගයක නරකම ප්‍රතිඵලය ලෙසයි, හැකිනම් එය කවරාකාරයකට හෝ වලක්වා ගත යුතුය කියාය. 21 වැනි ශත වර්ෂයේ දියුනුම තාක්ෂන ශිල්පි ක්‍රම    හිමි රටවල් ප්‍රතිපත්තියක් වශයෙන්, මුදල් අහිමි වීමට වඩා ජීවිත හානි වඩාත් සුදුසු යයි සැලකීමට හේතුව කුමක්ද? පවතින ධනේශ්වර ආන්ඩු විසින් අනුගමනය කරනු ලබන අන්ධ බලයක් සහිත 'රංචු ප්‍රතිශක්තිය' මඟින් දක්වන ප්‍රතිචාරය, එනම්, සාර්ස්-කොව් 2 සම්ප්‍රේෂනය නැවැත්විය හැකි සහ වසංගතය අවසන් කල හැකි ක්‍රියාමාර්ග හිතාමතාම ප්‍රතික්ෂේප කිරීම,    භයංකර සමාජ හා සදාචාරාත්මක පසුබෑමක් නියෝජනය කරයි.

13. ට්‍රොට්ස්කි වරෙක නිරීක්ෂනය කලේ, ඉතිහාසය තුල අවශ්‍යතාවය    'සාක්ෂාත් කරගනු ලබන්නේ, අහම්බයන්ගේ ස්වභාවික වරනය මගින්” බවයි. වුහාන් සත්ව වෙලඳපොලකදී විශේෂිත වවුල් වෛරසයක් මිනිසුන්ට ආසාදනය වීම අහම්බයකි. එහෙත් සමාජ, ආර්ථික හා පාරිසරික කොන්දේසි වල සංකීර්න අන්තර්ක්‍රියාවක් තුල මුල් බැසගත් එවැනි සිදුවීමක් ඇතිවීමේ හැකියාව පෙර දැක තිබුනි. මෙම ඓතිහාසික අර්ථයෙන්, වෛරසයේ සත්ව විද්‍යාත්මක මාරුවක්,    'සිදුවීමට නියමිතව තිබු අහම්බයක්' විය. ඒ හා සමානව, එවන් සිදුවීමක් සඳහා බරපතල සූදානමක් ප්‍රධාන ධනේශ්වර රටවල නොතිබීම සහ ඉන් පසුව, ගනු ලැබූ විනාශකාරී තීරන මාලාව නිර්නය කෙරුනේ, ගෝලීය ධනවාදයේ ඓතිහාසිකව යල්පැන ගිය ව්‍යූහයන් සහ එහි පාලක පන්තියේ ප්‍රතිගාමී සමාජ හා ආර්ථික අවශ්‍යතා මගිනි.

ඉතිහාසය තුල, මහජන සෞඛ්‍ය සහ සමාජ ප්‍රගතිය

14. මහජන සෞඛ්‍ය තත්ත්වය, සමාජ ප්‍රගතිය සහ සමාජයේ සමස්ත කොන්දේසි පිලිබඳ වඩාත් තීරනාත්මක දර්ශක අතර වේ. අභාවප්‍රාප්ත දීප්තිමත් ශාස්ත්‍රඥ ජෝර්ජ් රොසෙන් 1958 ප්‍රසිද්ධ කරන ලද The History of Public Health (මහජන සෞඛ්‍යය පිලිබඳ ඉතිහාසයේ ) ලියූ පරිදි: 'පොදු සනීපාරක්ෂාව පිලිබඳ දියුනුව, මානව ජීවය පිලිබඳ අවබෝධය, රෝගවලට ප්‍රතිකාර කිරීම, ආසාදනවලට එරෙහිව සටන් කිරීමට විෂබීජ නාශක පරිසරයක වැදගත්කම හඳුනා ගැනීම, එන්නත් සහ ප්‍රතිජීවක සංවර්ධනය, ලදරු මරන අඩුකිරීම සහ ආයු අපේක්ෂාව ඉහල යාම - වැනි ජයග්‍රහන මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසයෙහි සන්ධිස්ථානයන් ලෙස සැලකේ.'[1] මහජන සෞඛ්‍ය තත්ත්වය, සමාජ ප්‍රගතිය සහ සමාජයේ සමස්ත කොන්දේසි පිලිබඳ වඩාත් තීරනාත්මක දර්ශක අතර වේ. පොදු සනීපාරක්ෂාව පිලිබඳ දියුනුව, මානව ජීවය පිලිබඳ අවබෝධය, රෝගවලට ප්‍රතිකාර කිරීම, ආසාදනවලට එරෙහිව සටන් කිරීමට විෂබීජ නාශක පරිසරයක වැදගත්කම හඳුනා ගැනීම, එන්නත් සහ ප්‍රතිජීවක සංවර්ධනය, ලදරු මරන අඩුකිරීම සහ ආයු අපේක්ෂාව ඉහල යාම - වැනි ජයග්‍රහන මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසයෙහි සන්ධිස්ථානයන් ලෙස සැලකේ.

නැගෙනහිර ඇලබාමා වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙදියක් වන ඇබී ස්මිත්, 2020 දෙසැම්බර් 10 බ්‍රහස්පතින්දා, ඇල, ඔපෙලිකා හි දැඩි සත්කාර ඒකකයේ COVID-19 රෝගියෙකුට සේවා සපයයි. වසංගතය තීව්‍ර වන විට වෛද්‍ය මධ්‍යස්ථානයට, COVID-19 රෝගීන්ගේ නව ප්‍රවාහයකට මුහුන පෑමට සිදුව ඇත. (AP ඡායාරූපය/ජූලී බෙනට්)

15. දහ අටවන ශතවර්ෂයේ බුද්ධි ප්‍රබෝධ චින්තනය තුල තීරනාත්මක අංගයක් වූයේ, රටක ජනගහනයේ ශාරීරික සෞඛ්‍යය සහ එහි සමාජ හා දේශපාලන සංවිධානයේ ගුනාත්මකභාවය අතර ගැඹුරු සම්බන්ධතාවයක් පවතින බව ඒත්තු ගැනීමයි. මෙම විශ්වාසය උතුරු ඇමරිකාවේ බුද්ධි ප්‍රබෝධයේ අනුගාමිකයින් විසින් ද දරන ලද අතර මහා බ්‍රිතාන්‍යට එරෙහි යටත් විජිත විප්ලවවාදී අරගලයට සහාය දැක්වීම සඳහා යොදා ගනු ලැබින. තෝමස් ජෙෆර්සන්ගේ සමීපතම මිතුරා සහ ඇමරිකානු ප්‍රබුද්ධත්වයේ වඩාත්ම බලගතු ප්‍රකාශකයන් අතරට ගැනෙන බෙන්ජමින් රෂ්,    1774 දී ඇමරිකානු දාර්ශනික සංගමය ඉදිරියේ කියවන ලද පත්‍රිකාවක දී නිරීක්ෂනය කෙරුනු,--මහජන සෞඛ්‍ය ඉතිහාසඥ ජෝර්ජ් රොසන් විසින් සඳහන් කරන ලද පරිදි--    'එම රෝගය, දේශපාලන ආයතන, සහ ආර්ථික සංවිධානය කෙතරම් අන්තර් සම්බන්ධිතද යත්, ඕනෑම විශාල සමාජ වෙනසක් සෞඛ්‍යයේ ද වෙනස්කම් ඇති කලේය.' [2]

16. බුද්ධි ප්‍රබෝධ චින්තනයේ මෙම තීක්ෂ්න දැක්ම, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පසුකාලීන ප්‍රගමනයන් මගින් සනාථ කරන ලද අතර, ඒවා, 19 වැනි සහ ඊටත් වඩා 20 වැනි සියවස තුල බලගතු ලෙස මතු වූ විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී ව්‍යාපාරවල කම්කරු පන්ති අරගල නොමැතිව සාක්ෂාත් කරගත නොහැකිව තිබුනි. කාර්මික කම්කරු පන්තිය වඩ වඩාත් බලවත් සමාජ, දේශපාලන සහ විභව විප්ලවවාදී බලවේගයක් ලෙස වර්ධනය වීම සහ නූතන සමාජයේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් ලෙස මහජන සෞඛ්‍යය මතුවීම අතර සම්බන්ධය අවිවාදිත ඓතිහාසික සත්‍යයකි. කම්කරු පන්තියේ දියුනුව මහජන සෞඛ්‍යයේ දියුනුව තුල පිලිබිඹු විය.

ඔක්තෝබර් විප්ලවයේ ලෝක ඓතිහාසික වැදගත්කම

17. පලමු අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ සංහාරයෙන් පැනනැගුනු, බොල්ෂෙවික් පක්ෂය විසින් නායකත්වය දුන් 1917 ඔක්තෝබර් විප්ලවය ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේය. මිලියන 150 ක ජනතාවක් සිටි රටක පලමු කම්කරු රාජ්‍යය පිහිටුවීම, ධනවාදයේ සහ ධනේශ්වරයේ පාලනයේ ඓතිහාසික සංක්‍රමන ස්වභාවය ප්‍රායෝගිකව පෙන්නුම් කලේය. ඔක්තෝබර් විප්ලවයේ සමාජ බලපෑම සහ ඓතිහාසික ඇඟවුම් ගෝලීය ස්වභාවයක් ගත්තේය. කම්කරු බලය පිහිටුවීම සහ නිෂ්පාදන මාධ්‍යවල ධනේශ්වර හිමිකාරිත්වය අවසන් කිරීම රුසියාවෙන් ආරම්භ විය. එහෙත්, ට්‍රොට්ස්කි පෙර දුටු පරිදි:

සමාජවාදී විප්ලවය ජාතික ක්ෂෙත්‍රයේ ආරම්භ වන අතර එය ජාත්‍යන්තර තලයේ දිග හැරෙමින් ලෝක තලයේ පරිපූර්නත්වයට පත්වේ. මේ අනුව සමාජවාදී විප්ලවය, වචනයේ නව සහ පුලුල් අර්ථයකින් නොනවතින විප්ලවයක් බවට පත්වේ; එය සම්පූර්න වන්නේ, අපේ මුලු මහත් ග්‍රහ ලෝකය මත නව සමාජයක අවසාන ජයග්‍රහනය තුලින් පමනි. [3]

18. ඔක්තෝබර් විප්ලවය සෝවියට් සංගමයේ දේශසීමා තුල අතිමහත් ප්‍රගතිශීලී සමාජ-ආර්ථික හා සංස්කෘතික පරිවර්තනයක් සිදු කලා පමනක් නොවේ. එහි ලොකුම බලපෑම වූයේ, එය ලොව පුරා කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ අරගලවලට දුන් ජවය යි. කොමියුනිස්ට් ජාත්‍යන්තරය ආරම්භ කිරීම සහ 1919 සහ 1922 අතර පැවති එහි පලමු සම්මේලන හතර, සමාජවාදී විප්ලවය සූදානම් කිරීම සහ මෙහෙයවීමේ ගැටලුව ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන න්‍යාය පත්‍රය මත තැබීය.

19. ඔක්තෝබර් විප්ලවය විසින් මතු කරන ලද දැවැන්ත අනතුර පාලක පන්ති මුල සිටම හඳුනා ගත්හ. රුසියාව තුල තමන් අත්විඳින ලද පරාජයේ මහත්වය පැහැදිලි වන විට යුරෝපීය ධනපති පන්තිය, සමාජවාදී විප්ලවයේ තර්ජනය මැඩපැවැත්වීම සඳහා ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වය කරා යොමු විය. ෆැසිස්ට්වාදය සැලකිය යුතු ව්‍යාපාරයක් ලෙස මුලින්ම මතු වූයේ ඔක්තෝබර් විප්ලවයෙන් පසුව ය.

20. එහි සියලු ධනය හා බලය තිබියදීත් ඇමරිකානු පාලක පන්තියට, සමාජවාදී විප්ලවය කෙරෙහි පැවති භීතිය අනෙක්  කිසිවෙකුට නොදෙවෙනි විය. මෙම බිය අතාර්කික පීඩනෝන්මාදයක ප්‍රකාශනයක් නොවේ. සිවිල් යුද්ධයෙන් ඉක්බිතිව වේගයෙන් වර්ධනය වූ ඇමරිකානු ධනවාදයේ දැවැන්ත පරිමානය, පන්ති විඥානයෙන් ආවේශ ගන්වනු හා දේශපාලනිකව මෙහෙයවනු ලැබුවහොත්, පවතින සමාජයට නොවැලැක්විය හැකි අභියෝගයක් එල්ල කිරීමේ සමත් බහු ජාතික හා බහු වාර්ගික දැවැන්ත කම්කරු පන්තියක් බිහි කලේ ය. 1871 තරම් මුලදී ඇමරිකානු පාලක පන්තිය, පැරිස් කොමියුනයේ මතුවීමට ප්‍රතිචාර දැක්වූයේ, දැවැන්ත කොමියුනිස්ට් විරෝධී උන්මාදයකිනි. 1870 ගනන්වල පටන් එක්සත් ජනපදයේ පන්ති අරගලය වර්ධනය වූ අතර, කම්කරුවන් මර්දනය කිරීම සඳහා ආන්ඩුව සහ සංගත විසින් භාවිතා කරන ලද කුරිරු ප්‍රචන්ඩත්වයට,    කොමියුනිස්ට් විරෝධයෙන් දෘෂ්ටිවාදාත්මක මුක්කුව ලැබුනි.

ඉතිහාසඥ නික් ෆිෂර් ලියූ පරිදි:

එයට සාමාන්‍යයෙන් යොදාගන්නා මුර්ග නිපුනත්වය නොතකා, කොමියුනිස්ට් විරෝධය බොහෝ විට ප්‍රකාශයට පත්කලේ, පෙර පැවති සියලු ධර්මතා    සහ ජනතා ව්‍යාපාර අසාර්ථක වූ තැන “කොමියුනිස්ට්වාදයේ” බලවේග සාර්ථක වනු ඇතැයි යන මූලික බියකි. “කොමියුනිස්ට්වාදීන්” පැරිසියේ සහ පසුව 1905 දී රුසියාවේ සිදු වූවාක් මෙන්, විප්ලවයේ නැගී එන එක්සත් බලවේගයක් බවට ඇමරිකාවේ අතිමහත් පහල පංතියේ විවිධ කොටස් ඇද ගත හැකිය. එහිදී ප්‍රගතිශීලීත්වය, ජනතාවාදය, නිදහස් මුදල,    දේශීය වගාව, නිදහස් භූමිය, විමුක්තිය, ප්‍රතිනිර්මානය හා බුද්ධි ප්‍රබෝධය යටපත්වී “කොමියුනිස්ට්වාදය” ජයග්‍රහනය කල හැකිය. එහි ධජය යටතේ දැවැන්ත නාගරික සහ ග්‍රාමීය නිර්ධන පංතිය, ඔවුන්ගේ වෙනස්කම් යටපත් කල හැකිය;    සුදු සහ කලු කම්කරුවන් සහ අඳ ගොවීන්, ස්වදේශිකව උපන් අය සහ සංක්‍රමනික කර්මාන්තශාලා කම්කරුවන්, කතෝලිකයන් සහ රෙපරමාදු භක්තිකයන්, ක්‍රිස්තියානීන් සහ යුදෙව්වන් ද එසේම, විය හැකිය. රාත්‍රී භීහත්සය මෙය විය. [4]

රුසියානු විප්ලවයට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රතිචාරය

21. ඇමරිකානු පාලක පන්තිය    ඔක්තෝබර් විප්ලවය දැකගත්තේ දේශීය ස්ථාවරත්වයට තර්ජනයක් ලෙස පමනක් නො වේ. ඉතිහාසයේ වැදගත්ම සිදුවීම් දෙකක් -එකක් ප්‍රතිවිප්ලවවාදී සහ අනෙක විප්ලවවාදී --එකම වසරේ එකම මාසයකදී,    එකකට පසුව සති කිහිපයක් ඇතුලත අනෙක සිදුවීම, ඓතිහාසික උත්ප්‍රාසයන්ගෙන් එකකි. 1917 අප්‍රේල් 3දා, ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපති වුඩ්රෝ විල්සන්, ප්‍රධාන ලෝක අධිරාජ්‍යවාදී බලවතා ලෙස එක්සත් ජනපදයේ මතුවීම සලකුනු කරමින්, ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලෙස එක්සත් ජනපද කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටියේය. සති දෙකකට පසුව, 1917 අප්‍රේල් 16 වැනි දින, ලෙනින් පිටුවහලේ සිට පෙට්රොග්‍රෑඩයට පැමින, රුසියාවේ ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දැමීමට සහ සෝවියට් සභා (කම්කරුවන්ගේ සභා) මත පදනම්ව කම්කරු බලය පිහිටුවීමට සූදානම් වන ලෙස බොල්ෂෙවික් පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

22. ඓතිහාසික ක්‍රියාවලීන්ගේ මෙම අපූර්ව අන්තර්ඡේදනයේ අර්ථභාරය නම්, ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රමුඛත්වයට    නැගීමේ වර්ධනය, සමාජ විප්ලවයේ නිත්‍ය තර්ජනය සමග එක පෙලට සිදුවීමයි. 20වන සියවස පුරා, එක්සත් ජනපද පාලක පන්තිය මුහුන දුන් කේන්ද්‍රීය මූලෝපායික ගැටලුව වූයේ, රට තුල හා ගෝලීයව ඒකාබද්ධ අනතුරට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්නයි.

23. ආරම්භක ප්‍රතිචාරය වූයේ ප්‍රචන්ඩත්වය යොදා ගනීමයි. වුඩ්රෝ විල්සන් පරිපාලනය, බොල්ෂෙවික් ආන්ඩුව පෙරලා දැමීම සඳහා සෝවියට් සංගමය වෙත හමුදා යැවීය. එය, ව්‍යසනකාරී මිලිටරි ව්‍යාපාරයක් බවට පත්විය. එක්සත් ජනපදය තුල,“ප්‍රගතිශීලී” විල්සන් පරිපාලනය, සටන්කාමී රැල්ලට ප්‍රතිචාර දැක්වූයේ රුදුරු මර්දනයකිනි. 1919 සහ 1920 වසරවල කුප්‍රකට “රතු භීතිය”, අපකීර්තිමත් පාමර් වැටලීම්, සැකෝ සහ වැන්සෙට්ටි අත්අඩංගුවට ගැනීම සහ රටපුරා වානේ වැඩ වර්ජනය කෲර ලෙස මර්දනය කිරීම දැකගත හැකි විය. 1920 ගනන් පුරා, දේශපාලන ප්‍රතිගාමිත්වය පවත්වාගෙනගියේ “සාමාන්‍ය තත්ත්වය කරා යලි පැමිනීම” යන සටන් පාඨය යටතේ ය. කූ ක්ලක්ස් ක්ලෑන් වේගයෙන් වර්ධනය විය. කම්කරුවන්ගේ කටුක සතුරා සහ යුදෙව් විරෝධියකු වූ හෙන්රි ෆෝඩ්, ජර්මනියේ හිට්ලර්ගේ ප්‍රගතිය උද්‍යෝගයෙන් බලා සිටිමින්, නාසීන්ට මූල්‍ය ආධාර ලබා දුන්නේය. ලෝක ව්‍යාප්ත විරෝධතා නොතකා, සැකෝ සහ වැන්සෙට්ටි, 1927 අගෝස්තු මාසයේදී මැසචුසෙට්ස් ප්‍රාන්ත ආන්ඩුව විසින් විදුලි පුටුවේ හිඳුවා මරා දමන ලදී.

24. 1929 වෝල් වීදියේ කඩාවැටීම සහ අවපාතයේ ආරම්භය, ඇමරිකානු පාලක පන්තියේ දේශීය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට බල කලේය. දරුනු සමාජ කොන්දේසි කම්කරු පන්තිය රැඩිකල්කරනය කලේය. සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ    ස්ටැලින්වාදී තන්ත්‍රය ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය වඩාත් ප්‍රකටව ප්‍රතික්ෂේප කරමින් සිටිය ද, 1933 දී බලයට පත් ෆ්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් පරිපාලනය, ඔක්තෝබර් විප්ලවයේ ආදර්ශය පිලිබඳ මනෝගතිය, කම්කරු පන්තිය කෙරෙහි ඇති කරන බලපෑම පිලිබඳව භීතියට පත් විය. සමාජ සංරක්ෂනය හඳුන්වාදීම වැනි ප්‍රතිසංස්කරන ගෙන ආ ඇමරිකානු ජනතාව සඳහා රුස්වෙල්ට්ගේ “නව සම්මුතියක්” සඳහා පොරන්දුවට තුඩුදෙන ලද්දේ, එක්සත් ජනපදය තුල නැඟී එන පන්ති අරගලයේ    රැල්ල--.කාර්මික සංවිධාන සමුලු සම්මේලනය (සීඅයිඕ) ගොඩනැගීම සහ සමාජවාදී වම ප්‍රධාන භූමිකාවක් ඉටු කල පෙර නොවූ විරූ වැඩ වර්ජන රැල්ල--කර්මාන්ශාලා අත්පත්කර ගැනීමට සම්බන්ධ    වාඩිලා ගැනීමේ වැඩ වර්ජන වලින් ඇඟවුම් කල පරිදි, විවෘතවම විප්ලවවාදී ස්වභාවයක් ගනු ඇතැයි යන භීතියයි.

25. දෙවන ලෝක යුද්ධය පුපුරා යාම, ජාත්‍යන්තර පරිමානයෙන් කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව රැඩිකලීකරනය කිරීම කෙරෙහි දිගුකාලීන බලපෑමක් ඇති කලේය. මිනීමරු විරේක කිරීම් හා 1939 හිට්ලර් සමඟ අනාක්‍රමනික ගිවිසුම අත්සන් කිරීම ඇතුලුව, 1930 ගනන් පුරා ස්ටැලින් විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති, සෝවියට් සංගමය ව්‍යසනයේ අද්දරට ගෙන ආ නමුත්, සෝවියට් සංගමයේ ආර්ථික හා සමාජ ජයග්‍රහන නිසා,   1941 ජූනි මාසයේ ජර්මානු ආක්‍රමනයෙන් පසුව ඇති වූ මූලික පරාජයන්ගෙන් ප්‍රකෘතිමත් වීමට හැකි වුයේය. 1941 දෙසැම්බරයේ දී එක්සත් ජනපදය ලෝක යුද්ධයට අවතීර්න වීමෙන් පසුව, සෝවියට් සංගමය සමඟ සන්ධානයකින් තොරව, ජර්මනියට සහ ජපානයට එරෙහිව ජයග්‍රහන අත්කරගත නොහැකි විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු සමාජ ප්‍රතිසංස්කරන

26. නාසි ජර්මනිය පරාජය කිරීමේදී සෝවියට් සංගමය, තීරනාත්මක වැඩකොටසක් ඉටු කලේය. ස්ටැලින්වාදී තන්ත්‍රය එක්සත් ජනපදය සමග සම්මුතියකට උත්සාහ කල ද, යුද්ධයෙන් ඉක්බිතිව ලොව පුරා හමා ගිය මහජන අරගල රැල්ල මුලුමනින්ම පාලනය කිරීමට එයට නොහැකි විය. ඔවුන්ගේ පැත්තෙන් එක්සත් ජනපදය සහ එහි අධිරාජ්‍යවාදී සහචරයෝ, කුරිරු මිලිටරි ක්‍රියා, දේශපාලන මර්දනය සහ ප්‍රතිසංස්කරනවාදී සම්මුතියේ උපායශීලි සංකලනයකින් විප්ලවවාදී තර්ජනය වැලැක්වීමට උත්සාහ කලහ. ජාත්‍යන්තරව සහ දේශීයව, මෙම මුඛ්‍යාංගයන් හි අන්තර් ක්‍රියාකාරිත්වය විසින්, සීතල යුද්ධයේ ස්වභාවය නිර්නය කලේය.

27. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු ගෙවී ගිය සියවස් කාර්තුවේ දී, සමාජ සම්මුතියේ දේශීය ප්‍රතිපත්තිය ප්‍රමුඛ තැනට පත්විය. සම්මුතිය සඳහා ද්‍රව්‍යමය පදනම වූයේ, සමාජ ප්‍රතිසංස්කරන ලබා දීමට හැකි වූ ලෝක ආර්ථිකයේ පොදු ප්‍රසාරනයයි. ජාත්‍යන්තර පෙරමුනේ දී එක්සත් ජනපදය,    දෙවන ලෝක යුද්ධයෙන් පසු විජිත විරෝධී ව්‍යාපාර කෙරෙහි ගෝලීය අධිරාජ්‍යවාදී ප්‍රතිරෝධය මෙහෙයවී ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතාවලට වල කැපීමක් ලෙස සලකනු ලැබූ ඉරානයේ සහ ග්වාතමාලාවේ මෙන්, පාලන තන්ත්‍රයන් පෙරලා දැමීම එය සංවිධානය කලේය. කොරියාවේ සහ වියට්නාමයේදී එක්සත් ජනපදය, උග්‍ර මට්ටමේ මිලිටරි ප්‍රචන්ඩත්වයකට යොමු විය. එහෙත් එහි මිලිටරි ආනුභාවයේ මුලු ශක්තිය යෙදවීමට තිබුන හැකියාව, විශේෂයෙන් න්‍යෂ්ටික අවි භාවිතය (එක්සත් ජනපදය ජපානයට එරෙහිව 1945 දී පරමානු බෝම්බ පාවිච්චි කලේය) බොහෝ දුරට තීරනය වුනේ, සෝවියට් සංගමය පැවතීම මගින් එරට මත පනවන ලද සීමාවන් මගිනි. සෝවියට් මිත්‍රයෙකුට එරෙහිව අසීමිත මිලිටරි ක්‍රියාමාර්ගයක් ගතහොත්, විනාශකාරී විභව ගෝලීය ප්‍රතිවිපාක සහිත මිලිටරි ප්‍රතිචාරයක් ක්‍රෙම්ලිනයෙන් එල්ලවීමේ හැකියාව එක්සත් ජනපදයට බැහැර කල නොහැකි විය. 1950 දී චීනයට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයක් කිරීමට එරෙහිව ජනාධිපති ටෲමන් ද, 1962 දී කියුබාව ආක්‍රමනය කිරීමට එරෙහිව ජනාධිපති කෙනඩි ද, උතුරු වියට්නාමයට න්‍යෂ්ටික බෝම්බ හෙලීමට එරෙහිව ජනාධිපති ජොන්සන් සහ නික්සන් ද ගත් තීරන කෙරෙහි නිසැකවම තීරනාත්මකව බලපෑ සාධකය මෙය විය.

28. එක්සත් ජනපදය හා බටහිර යුරෝපය තුල ඇති කල ප්‍රධාන ප්‍රතිසංස්කරන ආරම්භකත්වයන් කෙරෙහි, ඔක්තෝබර් විප්ලවයෙන් ශේෂව පැවැති දේශපාලන හා සමාජීය ප්‍රතිඵල ප්‍රගාඪ ලෙස බලපෑවේය. ජර්මනියේ sozialmarktwirtschaft (සමාජ වෙලඳපල ආර්ථිකය) පිහිටුවීම සහ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය මෙන්ම දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මතු වූ වෙනත් සුබසාධන රාජ්‍යයන්හි බොහෝ සමාජ ප්‍රතිසංස්කරන විධීන් ද ඔක්තෝබර් විප්ලවයේ පසු කම්පනවල ප්‍රතිඵලයන් විය. එක්සත් ජනපදය තුල, 1960 ගනන්වල ශ්‍රේෂ්ට සමාජයේ (Great Society ) ස්වරූපය ගත් නව සම්මුතියේ දිග්ගැස්සීම, මෙම ක්‍රියාවලියේම ප්‍රකාශනයක් විය. ශ්‍රේෂ්ට සමාජය විසින් ගන්නා ලද සියලුම ආරම්භකත්වයන් අතරින්, වෛද්‍ය පහසුකම් (Medicare) සහ පසුව වෛද්‍යාධාර (Medicaid) හඳුන්වාදීම වඩාත් වැදගත් විය. මේ දෙකම ඊලඟ වසරවලදී එලඹෙන දේශපාලන ප්‍රතිගාමිත්වයේ දී, ධනේශ්වර පක්ෂ දෙකේ නිර්දය ප්‍රහාරයේ ඉලක්ක බවට පත් වීමට නියමිතව තිබුනි.

29. පශ්චාත් යුද පර්යායේ ජාත්‍යන්තර හා දේශීය දේශපාලන විධිවිධානවල බිඳවැටීම, ධනපති අර්බුදයේ හා දුර්වලතාවයේ ප්‍රතිඵලයක් මිස එහි ශක්තියක් නොවේ. එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික තත්වයෙහි දිගුකාලීන පරිහානිය, එහි වෙලඳ හා ගෙවුම් ශේෂයන්හි    අඛන්ඩ පරිහානිය තුලින් පිලිබිඹු වූ අතර එය, 1960 ගනන් අගභාගයේදී අර්බුදග්‍රස්ථ ලක්ෂ්‍යයකට පැමිනියේය. වැඩෙන උද්ධමනය සහ ජාතික අයවැය මත යෙදෙන පීඩනය ඉහල යාම, එතෙර යුද්ධ සහ ස්වදේශීය සමාජ ප්‍රතිසංස්කරන සඳහා එක්සත් ජනපදයට එකවර මුදල් යෙදවිය නොහැකි බවට අනතුරු ඇඟවීම් ලෙස සැලකුනි. ජාත්‍යන්තර ක්‍රියාවලියක් වන කම්කරු පන්තියේ නැඟී එන සටන්කාමීත්වය, ප්‍රතිසංස්කරනවාදී පක්ෂවල සහ වෘත්තීය සමිතිවල පාලනයෙන් ගැලවී යාමේ තර්ජනය මතු කලේය. ඩොලර් රත්තරන් පරිවර්ත්‍යතාව මත පදනම් ව 1944 දී පිහිටුවන ලද    බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය අවසන් කිරීමට 1971දී    එක්සත් ජනපදය ගත් තීරනය, ජාතික ප්‍රතිසංස්කරනවාදී ප්‍රතිපත්තිවල මල බෙරය හැඬවූ අතර,    ධනේශ්වර සමාජ ප්‍රතිගාමිත්වයේ නව කාල පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කලේය.

30. සෝවියට් සංගමය සහ එහි නැගෙනහිර යුරෝපීය “බෆර් රාජ්‍යයන්” ජාතික වශයෙන් පදනම් වූ ප්‍රතිසංස්කරනවාදයේ වැඩෙන අර්බුදයෙන් නිදහස් වූයේ නැත. සෝවියට් ආර්ථිකයේ වර්ධනය හා වැඩෙන සංකීර්නත්වය, එහි ජාතික සැලසුම් පද්ධතිය වඩ වඩාත් අශක්‍ය    බවට පත් කලේය. එයට ලෝක ආර්ථිකයේ සම්පත් වෙත ප්‍රවේශය අවශ්‍ය විය, නමුත් මෙය සාක්ෂාත් කර ගත හැක්කේ ක්‍රම දෙකක් අතරින් එක් ක්‍රමයකට පමනි: ධනවාදය පෙරලා දමමින් සමාජවාදී පදනමක් මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම හරහා ය; නැතහොත් සෝවියට් ආර්ථිකය ලෝක ධනවාදයේ ව්‍යූහයන් තුලට ඒකාබද්ධ කිරීම හරහා ය. අවසාන ක්‍රමය සඳහා ජනසතු කරන ලද කර්මාන්ත බිඳ දැමීම, විදේශ වෙලඳාමේ රාජ්‍ය ඒකාධිකාරය අත්හැරීම, ශ්‍රම වෙලඳපොලක් නිර්මානය කිරීම සහ පුද්ගලික දේපල අයිතිය හා පුද්ගලික ධන සමුච්චය    සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම අවශ්‍ය විය.

31. මින් පලමු මාවත සෝවියට් නිලධරයේ අවශ්‍යතා සමග කිසිසේත් නො ගැලපුනි. නිලධරයේ ද්‍රව්‍යමය වරප්‍රසාදවල ආරක්ෂාව අවිසර්ජනීය ලෙස රැඳී පැවතුනේ අධිරාජ්‍යවාදය සමග “සාමකාමී සහජීවනය” යන පිලිවෙත සමගයි. මෙම පිලිවෙත, “තනි රටේ සමාජවාදය” යන පැරනි ස්ටැලින්වාදී ක්‍රියාමාර්ගය ම ප්‍රති-සන්නාමකරනයක් විය. මේ අනුව, ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය තෝරාගත් මාවත වූයේ, ඔක්තෝබර් විප්ලවයේ සමස්ත ප්‍රගතිශීලී ආර්ථික හා සමාජ උරුමය අවසන් වසයෙන් ප්‍රතික්ෂේප කිරීම යි. මෙම භයානක පාවාදීමේ ප්‍රතිඵලය ඛේදජනක වූයේ සෝවියට් මහජනයාට පමනක් නො වේ. 20වන ශතවර්ෂයේ ගමන් මාවත පුරා කම්කරු පන්තිය අත් කරගත් සියලු ප්‍රගතිශීලී අභිවර්ධනයන් මත ගෝලීය ප්‍රහාරයක් සඳහා එමගින් දොරටු විවෘත කලේ ය. වසංගතය කෙරෙහි පාලක පන්තිය දක්වන ම්ලේච්ඡ ප්‍රතිචාරය අවබෝධ කරගනු ලැබිය හැක්කේ මෙම ‌ඓතිහාසික සන්දර්භය තුල බහා විමසීමෙන් පමනි.

සෝවියට් සංගමය බිඳ විසිරවීම සහ ධනපති ප්‍රතිගාමීත්වයේ 30 වසරක සමාජීය බලපෑම

32. 1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය බිඳ විසිරවූ තැන් පටන් දැන් 30 වසරක් ගත වී තිබේ. මිකායිල් ගොර්බචෙව් නායකත්වය දුන් ස්ටැලින්වාදී පාලන තන්ත්‍රය නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය පුනස්ථාපනය කිරීමට ගත් තීරනය, ධනවාදයේ තීරනාත්මක හා ආපසු හැරවිය නො හැකි ඓතිහාසික විජයග්‍රහනයක් ලෙස පාලක පන්තිය විසින් උත්කර්ෂයට නංවනු ලැබී ය. සමහරු “ඉතිහාසයේ අවසානය” පවා ප්‍රකාශයට පත් කල හ. සෝවියට් සංගමයේ අවසානය, ධනවාදය හා ජාතික-රාජ්‍ය පද්ධතිය මත පදනම් වන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුගැන්වීම සනාථ කල බව ඔවුහු කියාපෑ හ. සමාජවාදය විසින් ධනවාදයට ඉදිරිපත් කල අභියෝගය සදහටම පරාජයට පත්කරනු ලැබ තිබුනි.

33. ඉතිහාසය පිලිබඳ මෙම මායාකාරී අර්ථකථනය, මූලික දුර්මතයන් දෙකක් මත පදනම් කරනු ලැබී ය: ඉන් පලමුවැන්න වූයේ, සෝවියට් ස්ටැලින්වාදයට සමාජවාදය හා මාක්ස්වාදය සමග යම් හෝ සම්බන්ධතාවක් තිබුනු බව යි; දෙවැන්න වූයේ, ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයෙහි අභාවය ධනවාදයේ ඓතිහාසික අර්බුදය අතික්‍රමනය කිරීම හා විසඳීම අර්ථවත් කල බව යි.   

34. නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී රාජ්‍යයන් ජනසතු දේපොල සබඳතා දියකර හැරීමේ ක්‍රියාදාමය ආරම්භ කරද්දී හා ගොර්බචෙව්, අවසානයේ සෝවියට් සංගමය බිඳ විසිරවීම තුල කුලුගැන්වීමට නියමිත වූ පිලිවෙත් ක්‍රියාවට දමද්දී, 1990 මැයි මාසයේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමාජවාදී විප්ලවයේ ඉදිරි දර්ශනය සඳහා එම වර්ධනයන් දරන ගම්‍යයන් සාකච්ඡා කලේ ය. හජාජාක 10වන පුන්සැසියේ වාර්තාව මෙසේ පැහැදිලි කලේ ය:

නැගෙනහිර යුරෝපයේ සිද්ධීන්ට දෙනු ලැබිය හැකි භව්‍ය අර්ථකථනයන් දෙකක් පවතී. යමෙකුට මෙය සමාජවාදය අභිබවා ධනවාදය ලබන ඓතිහාසික විජයග්‍රහනය නියෝජනය කරන්නේ යයි කිව හැක; කම්කරු පන්තිය යෝධ ඓතිහාසික පරාජයක් අත්විඳ ඇත; සමාජවාදයේ ඉදිරි දර්ශනය සාරභූත වසයෙන් විනාශයට පත් වී ඇති අතර, අපි දැන් සිටින්නේ ධනවාදී වර්ධනයේ සමස්ත නව කාලපරිච්ඡේදයක එලිපත්තේ ය. නැතහොත්, අධිරාජ්‍යවාදී පශ්චාත්-යුද පර්යායෙහි බිඳ වැටීම, ජාත්‍යන්තර ව යෝධ දේශපාලන හා සමාජ අරගලයන්ගේ මාවතේ දී විසඳනු ලැබීමට නියමිත, ප්‍රගාඪ අසමතුලිතතාවක කාලපරිච්ඡේදයක් විවෘත කරයි,-සත්‍ය වසයෙන් ම මෙය, අන් සියලු ප්‍රවනතාවන්ගෙන් අප ව වෙන් කරන ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය වේ; එමෙන් ම, අද දින ප්‍රමුඛත්වය දරන්නේ, 1930 ගනන්වලින් මෙපිට කිසිදු කාලයක නො තිබුනු අස්ථායිතාවේ මට්ටමකි. (5)

35. ඉන් දශක තුනකට පසුව, සෝවියට් සංගමයේ බිඳ විසිරවීම පිලිබඳ භව්‍ය අර්ථකථනයන්ගෙන් නිවැරදි වන්නේ කුමක්දැයි යන්න අරබයා, කිසිදු සැකයක් නැත. ධනපති ක්‍රමය එහි පරස්පර-විරෝධයන් ජයගැනීමට හා ප්‍රගතියේ නව යුගයක් ආරම්භ කිරීමට විපරීත ව, පසුගිය දශක තුන විලක්ෂනය කරනු ලැබ ඇත්තේ, සමාජ අසමානතාවේ ආන්තික වර්ධනය, නිමක් නැති හා ප්‍රසාරනය වන ආක්‍රමනකාරී අධිරාජ්‍යවාදී යුද්ධයන් මාලාවක් හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවල වේගවත්  වන බිඳ වැටීමක් විසිනි. වසංගතයේ වසර දෙක පුරා, මේ සියලු ප්‍රවනතාවන් වේගවත් කරනු ලැබ තිබේ.

සමාජ අසමානතාවේ යෝධ වර්ධනය

36. මූල්‍ය කතිපයාධිකාරය වසංගතය යොදාගෙන ඇත්තේ, අන් කවර කලෙක කලාටත් වඩා සොරකම් කිරීමට ය. 2020 මාර්තුවේ දී ඉතා ප්‍රබල ද්විපක්ෂ පදනමකින් සම්මත කල කෙයාස් පනත (The Coronavirus Aid, Relief, and Economic Security Act) මගින් අවසර දෙන ලදු ව, එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුවේ මුදල් ඩොලර් ට්‍රිලියන ගනන්වලින් වෝල් වීදිය වෙත ගලා ආවේ ය. ෆෝබ්ස් සඟරාවට අනුව, 2020 නව අවුරුදු දිනය වන විට, එක්සත් ජනපදයේ බිලියනපතියෝ ඩොලර් ට්‍රිලියන 3.4ක ඒකාබද්ධ ධනයකට හිමිකම් කී අතර, එය ඒ වන විටත් ඇඟකිලිපොලා යන ගනනක් විය. ඉන් වසර දෙකකට පසුව, ඔවුන්ගේ ධනය ආසන්න වසයෙන් ඩොලර් ට්‍රිලියන 5.3ක් වන අතර, ඉන් අර්ථවත් වන්නේ, වසංගතයේ ගමන් මාවත පුරා, ධනය ඩොලර් ට්‍රිලියන 1.8ටත් වඩා වැඩිවීමකි.

37. සෑම ප්‍රධාන ධනපති රටක් තුල ම, එම පිලිවෙත ක්‍රියාවට දමනු ලැබ ඇත. දෙසැම්බර් 28දා ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත පල කල වාර්තාවකට (“ගෝලීය ප්‍රාග්ධන වෙලඳපොලවල් සඳහා ‘අධි බලැති' වසර තුල සමාගම් ඩොලර් ට්‍රිලියන 12කට වඩා උපයා ගනිති”) අනුව, ගෝලීය සංගතයන් කොටස් විකිනීම, නය නිකුත් කිරීම හා නව නය දීම් ඇරඹීම මගින් 2021 දී වාර්තාගත ඩොලර් ට්‍රිලියන 12.1ක් උපයා ගත්තේ, මහ බැංකු උත්තේජන ප්‍රවාහයක් සහ වසංගතයෙන් ක්ෂනික ප්‍රකෘතිමත් වීමක් බොහෝ ගෝලීය වෙලඳපොලවල් ඉහලට ප්‍රචාලනය කරද්දී ය.

වසරේ තවත් දින කිහිපයක් ඉතිරි ව තිබිය දී, 2020 වසරේ සිට දැනට මත් මූල්‍යමය ලාභය සියයට 17කින් ම වාගේ ඉහල ගොස් ඇත. එය ද ඓතිහාසික වසරකි.

රෙෆිනිටිව් දත්ත මත පදනම් වන ෆයිනෑන්ෂල් ටයිම්ස් ගනනය කිරීම්වලට අනුව, කොරෝනා වෛරස් අර්බුදයට පෙර 2019 දී පැවති අගයට වඩා හතරෙන් පංගුවට ආසන්න ප්‍රමානයකින් එම ලාභය ඉහල ගොස් තිබේ. අරමුදල් රැස්කිරීමේ චන්ඩ වේගය අවධාරනය කරන්නේ, එක්සත් ජනපදය ඇතුලු ව ලෝකයේ බොහෝ ප්‍රදේශ තුල මූල්‍ය කොන්දේසි කොතරම් සහනශීලී ද යන්න යි. කැපී පෙනෙන ලෙස එක්සත් ජනපදය තුල ඩොලර් ට්‍රිලියන 5ට වැඩියෙන් අරමුදල් රැස්කරගෙන ඇත.

38. මූල්‍ය වෙලඳපොලවල් ඇප දී ගලවා ගැනීමට අනුපූරකය වන්නේ, ලාභ නිපදවමින් කම්කරුවන් දිගට ම රැකියාවන්හි නිරත වීමේ හා ඔවුන්ගේ දරුවන් වෛරසයට ගොදුරු වී එය පැතිරවීම පිනිස පෙරලා පාසල්වලට යවනු ලැබීමේ අනිවාර්යතාවයයි. මහා පරිමාන ආසාදනය විවෘත ව දිරිමත් කිරීමේ ආකාරයෙන් වේවා, බයිඩන් පරිපාලනය විසින් දිරිමත් කරනු ලබන “එන්නත-පමනක්” මූලෝපායේ දී වේවා, වසංගතයට පාලක පන්තිය දක්වන පිලිවෙත ධාවනය කරනු ලබන්නේ, මෙම පන්ති තර්කනය විසිනි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය පුපුරා යාම

39. පාලක පන්තියේ කොල්ලකාරී අවශ්‍යතාවන්ට අමතර ව, වසංගතය කෙරෙහි තර්කාන්විත, විද්‍යාත්මක ප්‍රතිචාරයක් දැක්වීම වලක්වා ඇත්තේ, ලෝකය එකිනෙකා සමග තරඟ වදින ජාතික-රාජ්‍යයන්ට බෙදී තිබීම විසිනි. වසංගතය වනාහි, එහි ස්වභාවයෙන් ම, ජාත්‍යන්තර ඒකාබද්ධතාවේ පදනම මත ම පමනක් විසඳනු ලැබිය හැකි ගෝලීය ගැටලුවකි. ප්‍රධාන ධනපති බලයන් අතර තිබෙන ජාතික හා භූ-දේශපාලනික ගැටුම් විසින් මෙය කල නො හැක්කක් බවට පත්කොට තිබේ.

40. දශක තුනකට පෙර සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසුව, මැද පෙරදිග හා මධ්‍යම ආසියාව තුල ඇමරිකානු අධිරාජ්‍ය වාදයේ නායකත්වයෙන් ගෙන ගිය නො නවතින යුද්ධ මාලාවක් පැමිනියේ ය. පසුගිය දශකය පුරා, එක්සත් ජනපදය සියල්ලට ඉහලින් තම ප්‍රධාන භූ-දේශපාලනික ප්‍රතිමල්ලවයන් ලෙසින් දකින රුසියාව හා චීනයට එරෙහි ව, එහි යුද සැලසුම්වල ඉලක්කයන් මාරු කර ඇත.

41. වසංගතයේ වසර දෙක පුරා සිදු වී ඇත්තේ මිලිටරිවාදී තර්ජනයන් තීව්‍ර වීම පමනි. දක්ෂිනාංශික යුක්රේන ආන්ඩුවට එහි රුසියානු දේශසීමාව වෙත සොල්දාදුවන් 125,000ක් දිගේලි කිරීමට අනුබල දෙමින් හා එක්සත් ජනපදය “කිසිවෙකුගේ රතු රේඛාවන් පිලි නො ගන්නා” බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනතුරු අඟවමින්, යුක්රේනය තුල සිදු කරන නැටෝ-පිටුබලය ලබන ඉව බව නැති මිලිටරි තරකිරීම්වලට    බයිඩන් පරිපාලනය විසින් නායකත්වය දීම සමගින් නව වසර ආරම්භ වේ. යුක්රේන පාලන තන්ත්‍රය හික්මවීම වෙනුවට, බයිඩන් පරිපාලනය මිලිටරි ගැටුමක් දිරිමත් කිරීමේ අධිෂ්ටානයෙන් පසුවන බව පෙනෙන්නට තිබේ. “රුසියාව ඉදිරියට පියවර ගැනීමක් තෝරා ගන්නේ නම්, යුක්රේනය එරටට තවත් ඇෆ්ගනිස්තානයක් බවට පත්විය හැකි” යි ඩිමොක්‍රටික් සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි දෙසැම්බර් මාසයේ තර්ජනය කලේ ය.

42. එහෙත්, ඒ හැටියට ගත් කල අතිශයින් අන්තරායකාරී වන රුසියාවට එරෙහි ප්‍රකෝපකරනයන් වෙත  එක්සත් ජනපදය තල්ලු කෙරී ඇත්තේ, බොහෝ සෙයින් ම, සිය ගෝලීය ආධිපත්‍යධාරී තත්ත්වයට තර්ජනය ලෙස දකිනු ලබන චීනය අවහිර කිරීමට එයට පවතින අධිෂ්ටානය විසිනි. චීනය සමග යුද්ධයේ හැකියාව හා නො වැලැක්විය හැකි බව පවා, එක්සත් ජනපද විදෙස් පිලිවෙත් සකසන සංස්ථාපිතයේ හා මාධ්‍යවල ආධිපත්‍යය දරන තේමාවකි. උයිගුර්වරුන්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා “මනුෂ්‍ය සංහාරය” පිලිබඳ ව චීනය හෙලාදැකීම්, එක්සත් ජනපදය විසින් උත්සන්න කරමින් සිටී. දකුනු චීන මුහුද ක්‍රමානුකූල ව මිලිටරීකරනය කිරීම හා චීනය වටලෑම දිගට ම සිදු වේ.

43. වසංගතය යුද්ධයේ අන්තරාය තීව්‍ර කරනු ලැබ ඇත. ලෝක තත්ත්වයේ ප්‍රධාන හා ඉහල යන සාධකයක් වන්නේ, එක්සත් ජනපදය ද යුරෝපය හා ආසියා-පැසිෆික් කලාපයන් තුල එහි අධිරාජ්‍යවාදී සගයන් ද ඔවුන්ගේ විනාශකාරී දේශීය පිලිවෙත්වලින් අවධානය අපසරනය කරන හා බාහිර හතුරෙක් මත මහජන අවධානය රඳවන උපක්‍රමයක් ලෙස යුද්ධය දැකගැනීම යි. සහතිකෙන්ම, ඉතා හොඳින් ලේඛනගත කොට තිබෙන සාක්ෂි ප්‍රතික්ෂේප කොට, මාරාන්තික රෝගකාරකයක් කාන්දුවීමකින් හෝ සාපරාධී ලෙස නිෂ්පාදනය කිරීමකින් වසංගතය ඇති කලේ ය යන “වුහාන් රසායනාගාර බොරුව” පිටුපසින් පවතින අභිචේතනය මෙයයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම

44. අවසානයේ දී, මූල්‍ය කතිපයාධිකාරය මිලියන ගනනකගේ මරනවලට තුඩු දී ඇති පිලිවෙතක් ක්‍රියාවට දමා ඇති තතු යටතේ,    වසංගතය ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපවල බිඳවැටීම ඉමහත් ලෙස වේගවත් කර ඇත. වසංගතයේ පලමු වසර තුල, වෛරසය සීමා කිරීමට අවශ්‍ය කරන අගුලු දැමීම්වලට හා සියලු මහජන සෞඛ්‍ය පියවරයන්ට එරෙහි උද්ඝෝෂනය මෙහෙයවීමට උපයෝගී කරගන්නා ලද්දේ, ට්‍රම්ප් පරිපාලනය විසින් බලමුලුගැන්වූ ෆැසිස්ට්වාදී සංවිධානයි. 2020 මැතිවරනය කරා එලඹෙද්දී, මලසිරුරු කඳුගැසුනු තතු තුල, ට්‍රම්ප්, ඡන්දයේ ප්‍රතිඵලය අහෝසි කරමින් ව්‍යවස්ථාව පෙරලා දැමීමේ ක්‍රමානුකූල කුමන්ත්‍රනයක නිරත විය.

45. 2021 ජනවාරි 6දා ක්‍රියාවට දැමීමට උත්සාහ දරන ලද ෆැසිස්ට් කුමන්ත්‍රනයෙන් කූටප්‍රාප්ත වූ ට්‍රම්ප්ගේ කුටෝපායන්, එක්සත් ජනපදයෙහි දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයකි. මහ මැතිවරනයෙන් බයිඩන් ලත් ජයග්‍රහනය ඡන්ද වංචාවේ නිෂ්පාදිතයක් වී යයි ව්‍යාජ ව කියාපෑමෙන් පසු, ඔහුගේ තේරී පත්වීම මැතිවරන විද්‍යාලය විසින් සහතික කිරීම කඩාකප්පල් කිරීමේ එල්ලය ඇති ව, ට්‍රම්ප් හා ෆැසිස්ට් මූලෝපායඥ ස්ටීවන් බැනන් රිපබ්ලිකානු කොංග්‍රස් සභික ජාලයක් සංවිධානය කොට, ෆැසිස්ට් පැරාමිලිටරි කන්ඩායම් බලමුලුගැන්වූ හ. 2021 ජනවාරි 7දා ලෝසවෙඅ ලියූ ඉදිරි දර්ශන ලිපියක්  තත්වය මෙසේ පැහැදිලි කලේ ය:

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අනභිභවනීයත්වය සහ සදාකාලිකභාවය පිලිබඳ උදාර උත්කර්ෂයට නැංවීම් මුලුමනින්ම හෙලිදරව් වී ඇති අතර එය හිස් දේශපාලන මිථ්‍යාවක් ලෙස අපකීර්තියට පත්ව තිබේ. ඇමරිකානු ෆැසිස්ට්වාදයේ නැගීම පිලිබඳ සින්ක්ලෙයාර් ලුවිස්ගේ යුක්තිසහගත ප්‍රබන්ධ කථාවක මාතෘකාව වූ “එය මෙහි සිදුවිය නොහැක” යන ජනප්‍රිය කියමන, සිද්ධීන් විසින් තීරනාත්මක ලෙස අභිබවා ගොස් ඇත. ෆැසිස්ට් කුමන්ත්‍රනයක් මෙහි සිදුවිය හැකිවා පමනක් නොව, 2021 ජනවාරි 6 වන දින පස්වරුවේ එය සිදු වී ද තිබේ.

46. රිපබ්ලිකන් පක්ෂය වඩ වඩා විවෘත ෆැසිස්ට්වාදී පක්ෂයක් බවට පරිවර්තනය වෙද්දී පවා, ජෝ බයිඩන්ගේ සිට ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාෂියෝ-කෝටෙස් දක්වා වන ඩිමොක්‍රටිකයන්, රිපබ්ලිකානුවන් ව “අපේ සගයන්” ලෙස දිගට ම හඳුන්වන අතර, ජනවාරි 8දා බයිඩන් “මූලධර්මාත්මක හා ශක්තිමත් රිපබ්ලිකන් පක්ෂයක් අපට අවශ්‍යය” යි ප්‍රකාශයට පත්කලේ ය. ට්‍රම්ප්ට ෆ්ලොරිඩාහි ඔහුගේ මාලිගාවේ සිට ඊලඟ පියවරයන් සැලසුම් කල හැකි පරිදි ඉඩකඩ ලබා දී තිබෙන්නේ, ඔහුගේ කොංග්‍රස් සගයන් තවමත් සිය තනතුරුවල රැඳී සිටිද්දී ය. බොහෝ ප්‍රාන්ත තුල, අනාගත මැතිවරනවල දී මිලියන ගනනකගේ ඡන්ද අයිතිය අහිමි කිරීම සඳහා වන සූදානම් කිරීම් බොහෝ ඉදිරියට ගොස් තිබේ.     

47. තව ද ට්‍රම්ප් වනාහි, ජර්මනිය තුල ෆැසිස්ට්වාදී ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පක්ෂය, ස්පාඤ්ඤය තුල වොක්ස් පක්ෂය, ඉන්දියාවේ මෝදි හා බ්‍රසීලයේ බොල්සොනාරෝ ඉදිරියට දැමීම සහ ලොව පුරා රටවල අන්ත-දක්ෂිනාංශය සාර්වත්‍රිකව ඉහලට එසවීම ඇතුලත් වන ජාත්‍යන්තර ක්‍රියාදාමයක කොටසකි.

වසංගතය සහ ගෝලීය පන්ති අරගලය

48. ගෙවී ගිය වසර දෙකේ අත්දැකීම ප්‍රදර්ශනය කරන්නේ, හුදෙක් වෛද්‍යමය පියවරයන් හරහා වසංගතයේ අවසානය ලඟා කරගනු නොහැකි බව යි. මූලික ව සමාජීය අර්බුදයක් වන දෙයකින් මිදීම සඳහා, ලෝකය වෙනස් ආර්ථික හා සමාජ පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමට කරන දේශපාලන අරගලයක් ඉල්ලා සිටී. වෙනසක් සඳහා ධනපති රාජ්‍යයට කරන සියලු ආයාචනා අසාර්ථක වනු ඇත. වසංගතයට විද්‍යාත්මක ව මග පෙන්වන ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් ක්‍රියාවට දැමීමට හැකි වන්නේ, ගෝලීය පරිමාන කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් තුල, මෙම පිලිවෙත්වලට අවශ්‍ය සමාජීය පදනම සාදා ගන්නා ප්‍රමානයට පමනි.

49. එවන් මහජන ව්‍යාපාරයක වර්ධනය සඳහා පවතින භව්‍යතාවන් මොනවා ද? සත්‍ය වසයෙන් ම එය දැනට මත් සිදුවෙමින් පවතී. වසංගතය ඇරඹීමට පෙර වසර වූ 2019 දී, පන්ති අරගලය හා සමාජ විරෝධය ලොව පුරා පුපුරා ගියේ ය. එම වසරේ දී, මෙක්සිකෝව, පෝටො රිකෝව, ඉක්වදෝරය, කොලොම්බියාව, චිලී රට, ප්‍රන්සය, ස්පාඤ්ඤය, ඇල්ජීරියාව, බ්‍රිතාන්‍යය, ලෙබනනය, ඉරාකය, ඉරානය, සූඩානය, කෙන්යාව, දකුනු අප්‍රිකාව හා ඉන්දියාව යන රටවල් තුල මහජන විරෝධතා හා වැඩ වර්ජන පැවැත්වුනි. එක්සත් ජනපදය තුල, වසර 40කට අධික කාලයක් තුල ප්‍රථමවරට, ජෙනරල් මෝටර්ස් කම්කරුවෝ පලමු ජාතික වැඩ වර්ජනය දියත් කල හ.

50. ගෝලීය වසංගතය පන්ති අරගලයේ “සාමාන්‍ය” ගමන් මාවතට බාධා කලේ ය. එහි ආරම්භක අදියරවල දී, ඉතාලිය, එක්සත් ජනපදය හා අනෙකුත් රටවල් තුල වැඩ වර්ජන හා ක්ෂනික වර්ජන පැවතුනු අතර, කර්මාන්තශාලා තාවකාලික ව වසා දැමීමට එම වර්ජන බල කලේ ය. එහෙත්, වෘත්තීය සමිතිවල තීරනාත්මක සහයෝගය සහිත ව, කම්කරුවන් ව ආපසු වැඩට දක්කමින්, පාසල් යලි විවෘත කරන ලද්දේ ආසාදන හා මරනවල යෝධ නැගීමකට තුඩු දෙමිනි.

51. එහෙත්, කම්කරු පන්තික විරෝධය තාවකාලික ව යටපත් කිරීම, පන්ති අරගලය බලගතු ලෙස පුනර්ජීවනය වීමකට මග පාදා ඇත. වසංගතය සහ වසර අවසන් වන විට මූලික පාරිභෝගික භාන්ඩවල ඉහල යන උද්ධමනය ඇතුලු පාලක පන්තිය එයට දක්වන ප්‍රතිචාරයේ ආර්ථික හා සමාජීය විපාකයන් යන දෙක ම කෙරෙහි කෝපය හා විරෝධය පලකරමින් මතු වන ප්‍රධාන පන්ති අරගල මාලාවක් ම පසුගිය වසර  තුල  දැකගෙන තිබේ.

52. ඇලබාමාහි පතල් කම්කරුවන්; නිව් යෝක්, මැසචුසෙට්ස් හා මිනෙසොටාහි හෙදියන්; වර්ජිනියාහි වොල්වෝ ට්‍රක් කම්කරුවන්; මැද බටහිර ජෝන් ඩියර් කම්කරුවන් හා කෙලොග් ධාන්‍ය කම්කරුවන් සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ හා අනෙකුත් විශ්ව විද්‍යාල මන්ඩපවල උපාධිධාරී ශිෂ්‍ය කම්කරුවන් ඇතුලු ව එක්සත් ජනපදය තුල ප්‍රධාන වැඩ වර්ජන පැවතියේ, ගුරුවරුන් හා ඖෂධවේදී කම්කරුවන් අතර ක්ෂනික ලෙඩ නිවාඩු දැමීම් හා අනෙකුත් විරෝධතාවන් පවතිද්දී ය.

53. ගෝලීය පරිමානයෙන් ගත් කල, දකුනු අප්‍රිකාවේ ලෝහ කම්කරුවන් 171,000කගේ; ඉන්දියාව ප්‍රවාහන හා මෝටර් කම්කරුවන් දසදහස් ගනනකගේ සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂන කම්කරුවන් 50,000ක හා රාජ්‍ය අංශ කම්කරුවන් දසදහස් ගනනකගේ වැඩ වර්ජන හා විරෝධතා ද තුර්කියේ රාජ්‍ය සෞඛ්‍යාරක්ෂන කම්කරුවන් දහස් ගනනකගේ හා චිලී රටේ පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ රෝහල් තුල පවතින රුදුරු කොන්දේසිවලට එරෙහි ප්‍රන්සයේ සෞඛ්‍යාරක්ෂන කම්කරුවන්ගේ මහා විරෝධතා ද පසුගිය වසර තුල දකින්ට ලැබුනි. ඔක්තෝබරයේ දී, එක්සත් රාජධානියේ මවක වන ලීසා ඩයස්, පලල් ජාත්‍යන්තර සහයෝගයක් දිනාගත්, අනාරක්ෂිත කොන්දේසිවලට එරෙහි ස්කූල්ස්ස්ට්‍රයික් (පාසල් වර්ජන) විරෝධතාවන්ට ආරම්භකත්වය ගත්තා ය.

54. 2022 ඇරඹෙද්දී හා ඔමික්‍රොන් ප්‍රභේදය පාලනයෙන් පිටපනිමින් පැතිර යද්දී, කායික ඉගැන්වීම නවත්වා පාසල් වසා දමන ලෙස ඉල්ලන ගුරුවරුන්ගේ ව්‍යාපාරයක් සහ රෝගය පතුරුවන මධ්‍යස්ථාන වන අත්‍යවශ්‍ය නො වන කර්මාන්තශාලා හා වැඩපොලවල් නැවැත්වීම ඉල්ලා සිටින කම්කරුවන්ගේ ව්‍යාපාරයක් වැඩෙමින් පවතී. ප්‍රධාන සංගත විසින් විධානය කරන ලද පිලිවෙතක් වන, එක්සත් ජනපදයේ රෝග පාලන හා වැලැක්විමේ මධ්‍යස්ථානය (සීඩීසී) විසින් නිරෝධායන කාලසීමාව දින 10 සිට පහ දක්වා අඩු කිරීමට ගත් පියවර, දැවැන්ත මට්ටමක සමාජ කෝපයක් හා විරුද්ධත්වයක් නිර්මානය කර ඇත.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

55. ධනපති සමාජයේ ස්වභාවයෙන් හා පාලක පන්තිය වසංගතයට දක්වන ප්‍රතිචාරයෙන් පැන නගින්නාවූ    පන්ති අරගලය වෛෂයික ය. මරන මුලුමනින් ම වැලැක්විය හැකි ව තිබියදී, මිලියන ගනනක ජනකායක් මිය යාමේ කරුන අක්‍රීය ව පිලිගැනීමට ලොව පුරා බිලියන ගනන් කම්කරුවන් සූදානම් නැත.

56. සංවිධානාත්මක රූපයක් ලබාදිය යුතු වන මෙම වෛෂයික ක්‍රියාදාමය, දේශපාලනික ව සවිඥානික කල යුතු ය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, පසුගිය වසර පුරා, වසංගතයට ප්‍රතිචාර වසයෙන් තීරනාත්මක ආරම්භකත්වයන් දෙකක් දියත් කර තිබේ: ඒවා නම්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (ක්‍රිකජාස) හා කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනය යි.

57. වසංගතයේ ගෝලීය මරන සංඛ්‍යාව මිලියන තුනකට අධික ව පවතිද්දී, 2021 අප්‍රේල් මාසයේ ක්‍රිකජාස දියත් කරනු ලැබී ය. කම්කරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා නියෝජනය කරන සංවිධාන නොමැති නිසා ක්‍රිකජාස සඳහා අවශ්‍ය්‍යතාව පැන නගී. පැහැදිලි ව දක්ෂිනාංශික වේවා, නාමික ව “වාමාංශික” වේවා, සෑම ප්‍රධාන ධනපති රටක ම සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන, මහා පරිමාන ආසාදනයේ හා මරනයේ පිලිවෙතක් ක්‍රියාවට දමමින්, විද්‍යාඥයින් හා මහජන සෞඛ්‍ය නිලධාරීන් වසංගතය නැවැත්වීම පිනිස ඉල්ලා සිටින පියවරයන් ප්‍රතික්ෂේප කර ඇත.

58. වෘත්තීය සමිති සම්බන්ධයෙන් ගත්කල, එක්සත් ජනපදය හා සෑම රටක් තුල ම ඒවා දශක ගනනාවක් තිස්සේ ක්‍රියාත්මක වී තිබෙන්නේ, පන්ති අරගලය මඩිමින් සංගතවල විධානයන් පැටවීමට ය. වසංගතය සමයේ දී, කම්කරුවන්ට අනාරක්ෂිත කොන්දේසි යටතේ වැඩ කිරීමට බලකරමින්, පාලක පන්තියේ මිනීමරු පිලිවෙත බලාත්මක කිරීමේ දී ඒවා තීරනාත්මක භූමිකාවක් ඉටු කර ඇත.

59. ක්‍රිකජාසට ආරම්භකත්වය ගනිමින්, හජාජාක මෙසේ පැහැදිලි කලේ ය:

'ජාත්‍යන්තර පරිමානයකින් සේවා ස්ථානවල, පාසැල්වල හා කම්හල්වල කම්කරුවන්ගේ ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී හා සටන්කාමී නව ආරක සංවිධාන ගොඩනැඟීමට (ක්‍රිකජාස) වැඩ කරනු ඇත. කම්කරු පන්තිය සටනට සූදානම්ය. එහෙත් ප්‍රතිරෝධයේ සෑම උත්සාහයක් ම ව්‍යාර්ථ කරන ප්‍රතිගාමී නිලධාරිමය සංවිධාන විසින් ඒවාට විලංඟු දමා තිබේ.

'කම්කරුවන්ට ආරක්ෂාව සපයන ලෙස , අනාරක්ෂිත ආයතන හා අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දමන ලෙස, වෛරසය පැතිරීම නතර කිරීමට අවශ්‍ය අනෙකුත් හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම සඳහා එක්සත් අරගලයක් සංවිධානය කරනුවස් තොරතුරු හුවමාරු කර ගැනීමට ලොව පුරා කම්කරුවන්ට ක්‍රිකජාස මගින් මාධ්‍ය සම්පාදනය කෙරෙනු ඇත.   

60. ජාතික, ජනවාර්ගික, වාර්ගික ස්වෝත්තමවාදයේ හා අනන්‍යතා දේශපාලනයේ ගනන් නැති රූපාකාර හරහා කම්කරු පන්තිය බෙදීමට දරන සියලු ප්‍රයත්නයන්ට එරෙහි සටනක් මත ක්‍රිකජාස පදනම් වේ. වසංගතය යනු සියලු කම්කරුවන්ට බලපාමින් තිබෙන ගෝලීය අර්බුදයකි. වර්ගය හා ලිංගිකත්වය මූලික සමාජීය ප්‍රවර්ගයන් ලෙස ඔසවමින්, සියලු කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතාවන්හි පදනමේ ඒකාබද්ධ කිරීමේ අරගලයට වල කැපීම පිනිස, ව්‍යාජ-වම විසින් ඉදිරියට දමනු ලබන සියලු ප්‍රයත්නයන් සපුරා ම ප්‍රතිගාමී බව ක්‍රිකජාස හෙලිදරව් කරයි.

කෝවිඩ් -19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනය සහ සාර්ස්-කොව්ව්-2 මුලිනුපුටා දැමීම සඳහා සටන

61. ලෝක සමාජවාදී වෙබ් අඩවිය නොවැම්බර් 21දා කෝවිඩ්-19 වසංගතය පිලිබඳව ගෝලීය කම්කරු පරීක්ෂනයක් ආරම්භ කලේය. වසංගතයෙන් මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ, වලක්වා ගත හැකිව තිබූ මරන වලට වගකිව යුතු ප්‍රතිපත්ති සාධාරනීකරනය සඳහා, යොදවා ඇති සහ දිගටම යොදා ගන්නා සත්‍ය වසං කිරීම, මුසාකරනය සහ වැරදි තොරතුරු හෙලිදරව් කිරීම සඳහා මෙම පරීක්ෂනය අවශ්‍ය වේ.

62. සාර්ස්-කොව්-2 ගෝලීය වශයෙන් තුරන් කිරීම සඳහා සටන් කිරීමට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ප්‍රමුඛ විද්‍යාඥයින් ද වසංගත රෝග විද්‍යාඥයින් ද අතර සහයෝගීතාවයෙන් පරීක්ෂනය සඳහා කැඳවීම මතු විය. වසංගතය ගෝලීයව තුරන් කිරීමේ අවශ්‍යතාවය හා ශක්‍යතාව සනාථ කරන සවිස්තරාත්මක විද්‍යාත්මක තොරතුරු සපයමින්, අගෝස්තු 22 හා ඔක්තෝබර් 24 පැවැත්වූ ජාත්‍යන්තර වෙබ්නාර් රැස්වීම් දෙකක් මෙයට ඇතුලත් විය. ඔක්තෝබර් 24දා පැවති වෙබ්නාර් රැස්වීම හඳුන්වා දෙමින් ලෝසවෙඅ, වසංගතය අවසන් කිරීමේ සටන පදනම් විය යුතු පහත සඳහන් මූලධර්ම ගෙනහැර දැක්වීය:

1. කෝවිඩ්-19 ඇති කරන සාර්ස්-කොව්-2 වෛරසයෙ හි ඉලක්කය වන්නේ, පුද්ගලයන් නොව සමස්ත සමාජයම ය. වෛරසයේ සම්ප්‍රේෂන ක්‍රමය මහා ආසාදනය ඇති කිරීම සඳහා යොමු වී තිබේ. සාර්ස්-කොව්-2    බිලියන ගනනකට පහර දීමට ජීව විද්‍යාත්මකව පරිනාමය වී ඇති අතර, එසේ කිරීමෙන් මිලියන ගනනක් මරා දමයි.

2. එබැවින්, එකම ඵලදායී මූලෝපාය, සෑම මහාද්වීපයකින්ම, සෑම කලාපයකින්ම සහ සෑම රටකින්ම වෛරසය තුරන් කිරීම ඉලක්ක කරගත් ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත ව්‍යාපාරයක් මත පදනම් විය යුතු එකකි. මෙම වසංගතයට ඵලදායීවන ජාතික විසඳුමක් නොමැත. සියලු ජාතීන්, වාර්ගික සහ ජාතිකත්වයන් ඇතුලත් මානවයා, විශාල සාමූහික සහ සැබවින්ම පරාර්ථකාමී ගෝලීය ප්‍රයත්නයකින් මෙම අභියෝගයට මුහුන දී ජයගත යුතුය.

3. වසංගතය පුපුරා යාමෙන් පසු සෑම ආන්ඩුවක්ම පාහේ අනුගමනය කරන ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කල යුතුය. සමාජ ප්‍රතිපත්තියේ ප්‍රශ්න නොකල හැකි ප්‍රමුඛතාවය විය යුතු දේ - මිනිස් ජීවිත ආරක්ෂා කිරීම - සංගත ලාභයේ සහ පුද්ගලික ධනය සමුච්චය කිරීමේ අවශ්‍යතාවලට යටත් කිරීම දිගටම කරගෙන යාමට ඉඩ දිය නොහැක.

4. ගෝලීය වශයෙන් තුරන් කිරීම සඳහා යොමු කරන ලද මූලෝපායකට තීරනාත්මක හැරීමක් ගැනීමේ මුලපිරීම පැමිනිය යුත්තේ, මිලියන සංඛ්‍යාත ජනතාවගේ සමාජ සවිඥානක ව්‍යාපාරයක් තුලිනි.

5. මෙම ගෝලීය ව්‍යාපාරය විද්‍යාත්මක පර්යේෂන මත පදනම් විය යුතුය. විද්‍යාඥයින්ට - ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ජීවනෝපායට සහ ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවී ඇති තතු යටතේ වැඩ කරති - හිංසා කිරීම් අවසන් කල යුතුය. වෛරසය ගෝලීය වශයෙන් තුරන් කිරීම සඳහා, සමාජයේ විශාලතම කොටස වන කම්කරු පන්තිය සහ විද්‍යාත්මක ප්‍රජාව අතර සමීපතම ක්‍රියාකාරි සන්ධානයක් අවශ්‍ය වේ.

63.    පරීක්ෂනය දියත් කරමින් ලෝසවෙඅ සිය ප්‍රකාශයෙන් පැහැදිලි කලේ, පෙර අවුරුදු පුරා ප්‍රධාන ධනේශ්වර රටවල පාලක පන්ති ප්‍රතිපත්තිවල කේන්ද්‍රය වූ “එන්නත පමනක්” මූලෝපාය අසාර්ථක වී ඇති බවයි. ලෝකයේ බහුතරයක් තවමත් සම්පූර්නයෙන්ම එන්නත් කර නොමැතිවා පමනක් නොව, “එන්නත් බෙදාහැරීම මන්දගාමීව පැවතීම මධ්‍යයේ, එන්නත් ප්‍රතිරෝධී ප්‍රභේදයක් නිපදවීමට තර්ජනය කරන, පරිනාමීය පීඩනයන් නිර්මානය කරන, මහා ආසාදනයක් ඇති වන බවට විද්‍යාඥයන් නැවත නැවතත් අනතුරු අඟවා ඇත.” දින හතරකට පසුව, ඔමික්‍රෝන් ප්‍රභේදය හඳුනාගැනීමේ නිවේදනයත් සමඟ මෙම අනතුරු ඇඟවීම තහවුරු විය.

64. පරීක්ෂනය ආරම්භ කිරීමෙන් සති පහක් තුල සිදුවෙමින් පවතින ව්‍යසනයේ හේතු සහ ප්‍රතිවිපාක පිලිබඳව විද්‍යාඥයින්ගෙන් සහ කම්කරුවන්ගෙන් සාක්ෂි රැස් කිරීම ආරම්භ කර ඇත. සිදුවී ඇති දේ සහ වසංගතය අවසානයේ සදහටම අවසන් කිරීමට දැන් කල යුත්තේ කුමක්ද යන්න පිලිබඳ අවබෝධයකින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමේදී, පරීක්ෂනය අත්‍යවශ්‍ය වේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කර්තව්‍යයෝ

65. වසංගතයේ තුන්වන වසරට අප ප්‍රවේශ වන විට, පාලක පන්තිය වසංගතය “ආවේනික” කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලිය, එනම් සමාජයේ නිත්‍ය තත්වයක් ලෙස වෛරසය දිගටම පැවැතීමට ඉඩ ලබාදීමයි. තම ධනය සුරැකීමට සහ ලාභ පද්ධතිය පවත්වාගෙන යාමට මුහුන දෙන විට, පාලක පන්තිය ඉවසා සිටින, මියෙන සංඛ්‍යාව කොතෙක් ද යන්නට සීමාවක් නැත. එහෙත් වලක්වා ගත හැකි වසංගතයකින් මිලියන ගනනක් මිනිසුන් මිය ගොස් ඇති බව සහ සෑම වසරකම මිලියන ගනනක් අඛන්ඩව මිය යන්නේය යන කාරනය, කම්කරු ජනතාවන් නිෂ්ක්‍රීයව පිලිගැනීමට යන්නේ නැත.

66. වසංගතයට පෙරදී පවා, සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි ඒවන විටත් අසාමාන්‍ය මට්ටමකට වර්ධනය වී තිබුනි. 2020 ආරම්භයේ දී, පසුගිය දශකය පුරා වර්ධනය වූ ගැඹුරු වන ආර්ථික, දේශපාලනික, භූ දේශපාලනික සහ සමාජ අර්බුදය සමාලෝචනය කරන ප්‍රකාශයක ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය, “අලුත් අවුරුද්ද පැමිනීම, පන්ති අරගලය සහ ලෝක සමාජවාදී විප්ලවය, තීව්‍ර වන දශකයක ආරම්භය සනිටුහන් කරයි.

උගත් ඉතිහාසඥයින් අනාගතයේ දී, 21 වන සියවසේ කැලඹීම් ගැන ලියන විට,    2020 ගනන්වල ආරම්භයේදී පැවති පරිදි ඔවුන්, ඉක්මනින්ම ලොව පුරා හමා යාමට නියමිත විප්ලවවාදී කුනාටුවෙහි පැවති සියලු 'පැහැදිලි' සලකුනු ගනනය කරනු ඇත. විද්වතුන්    තමන්ට අත ගසාගත හැකි විස්තෘත කරුනු, ලේඛන, ප්‍රස්ථාර, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වාර්තා සහ වෙනත් ආකාරයේ වටිනා ඩිජිටල්කරන තොරතුරු සහිතව, 2010 දශකය ගැන විස්තර කරනු ඇත්තේ, ලෝක ධනේශ්වර පද්ධතියේ නොවිසඳිය හැකි ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකින් සංලක්ෂිත කාල පරිච්ඡේදයක් ලෙසය.

67. එනම්, ලෝක ධනේශ්වර ක්‍රමයේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතා - ගෝලීය ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර සහ සමාජගත නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික අයිතිය අතර - දැවැන්ත, විප්ලවවාදී අරගල සඳහා කොන්දේසි නිර්මානය කර ඇත.

68. කෙසේ වෙතත්, විප්ලවවාදී තත්වයක වර්ධනයට අංඟ දෙකක් ඇතුලත් ය: ඒවා නම්, පැරනි සමාජයේ වෛෂයික ප්‍රතිවිරෝධතා සහ ආත්මීය සාධකය වන ජනතාවගේ විඥානය ද දේශපාලන සංවිධාන ද වේ. නමුත් වෛෂයික සහ ආත්මීය සාධකවල අන්තර්ක්‍රියාකාරිත්වය සංකීර්න වේ. “යාන්ත්‍රිකයෙකු තම මෙවලම් වෙනස් කරන ආකාරයට සමාජය අවශ්‍යතාව මතුවූ කල සිය ආයතන වෙනස් නොකරයි,” ට්‍රොට්ස්කි සිය මහා කෘතිය වන රුසියානු විප්ලවයේ    ඉතිහාසය තුල මෙසේ පැහැදිලි කලේය:

'ගතානුගතිකත්වයේ විලංගු අතෘප්තිමත්ව ඉරා දැමීමට සහ ජනතාව නැඟිටීමට සූදානම් කිරීම සඳහා පුද්ගල සහ පක්ෂවල කැමැත්තෙන් ස්වාධීනව සම්පූර්නයෙන්ම සුවිශේෂී කොන්දේසි අවශ්‍ය වේ.

විප්ලවයේ යුගයක මහජන අදහස්වල සහ මනෝභාවයන්ගේ ක්ෂනික වෙනස්වීම් හටගන්නේ, මිනිසාගේ මනසෙහි නම්‍යශීලී බව සහ සංචලතාවයෙන් නොව, එහි ප්‍රතිවිරුද්ධය, එනම්, එහි ගැඹුරු ගතානුගතිකත්වයෙනි. විප්ලවයේ කාල පරිච්ඡේදයක් තුල අදහස්වල සහ ආවේශයන්ගේ  එම පිම්මක් බඳු චලනය නිර්මානය කරනු ලබන්නේ, නව වෛෂයික කොන්දේසි ව්‍යසනයක ස්වරූපයෙන් මිනිසුන් මතට කඩා වැටෙන මොහොත දක්වාම එය (නව වෛෂයික කොන්දේසි) පිටුපසින් අදහස් සහ සබඳතාවල පවත්නා චිරාගත ලැගීම විසින්ම ය, එය පොලිස් මනසට පෙනෙන්නේ 'වාචාලයන්ගේ' ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් පමනක් ලෙසය. [6]

69. ලෝක ධනේශ්වර ක්‍රමයේ, එහි දේශපාලන ආයතනවල සහ පන්ති ව්‍යූහයේ යල් පැන ගිය සහ ප්‍රකෘතිමත් කල නොහැකි ප්‍රතිගාමී ස්වභාවය හෙලිදරව් කර ඇති වසංගතය, වැඩ වර්ජන සහ අනෙකුත් සමාජ විරෝධයන් අවුලුවාලීම පමනක් නොව, කම්කරු පන්තියේ සහ තරුනයන්ගේ    විඥානය ද ප්‍රගාඪ ලෙස වෙනස් කරන, ව්‍යසනයකි. දශක ගනනාවක් තිස්සේ අඩුවෙන් අරමුදල් සපයා ඇති, අඩු සේවක සංඛ්‍යාවකින් යුතු හා පිරී ඉතිරී ගිය පාසල් වැසීම ගැන පාලක පන්තිය කුහක ලෙස දුකට පත් වේ. ඔවුන් බිය වන්නේ, විධිමත් අධ්‍යාපනයක් නොමැතිකම ගැන නොවේ. ධනපති ආන්ඩු,    පාසල්වලින් බැහැරව සිටියදී තරුනයන් සිතීම නතර කර නැති බව දනිති. වසංගතය, ධනේශ්වර සමාජයේ ස්වභාවය හෙලිදරව් කරමින් තමන්ගේම අධ්‍යාපනයක් සපයා ඇත.

70. එහෙත් විඥානය ප්‍රගාඪ වෙනසකට භාජනය වෙද්දී, විප්ලවවාදී නායකත්වය පිලිබඳ ප්‍රශ්නය ඉතිරි වේ. සමාජවාදී විඥානය, එනම්, ධනේශ්වර සමාජය පිලිබඳ විද්‍යාත්මක අවබෝධය සහ සමාජයේ පරිවර්තනය සඳහා අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ගය, නිරායාසයෙන් හෝ ස්වයංක්‍රීයව පැන නගින්නේ නැත. වෛෂයික අර්බුදය, සමාජවාදය සඳහා සවිඥානික දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම, අපේ කාලයේ දැවැන්ත අභියෝගයයි.

71. මානවයා විශාල සමාජ ප්‍රශ්නවලට මුහුන දෙන විට, සාක්ෂාත් කරගත හැකි හෝ නොහැකි දේ පිලිබඳ නිෂ්ක්‍රීය සමපේක්ෂනය තරම් නිෂ්ඵල, වැදගැන්මකට නැති කිසිවක් නැත. අර්බුදකාරී කාලපරිච්ඡේදයකින් ප්‍රගතිය කරා යන මාවත රෝස මල්වලින් වැසී ගිය කාලයක් කිසිදා තිබී නැත. ලින්කන් වරක් නිරීක්ෂනය කල පරිදි එවැනි ඓතිහාසික අවස්ථාවන්හිදී, 'අවස්ථාව දුෂ්කරතාවලින් පිරී ඇත.' වෘත්තීය සමිතිවල ද පැරනි හිටපු ප්‍රතිසංස්කරනවාදී සහ හිටපු ලිබරල් ධනේශ්වර පක්ෂවල ද බෙලහීනත්වය සහ අමූලික ද්‍රෝහීකම ගැන පැමිනිලි කිරීම, තමන් හමුවේ ඇති බැරෑරුම් කර්තව්‍යයන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීමකි. මෙම සංවිධාන, ඔවුන්ගේ නියෝජිතයින් සහ සහචරයින් සමඟ අරටුවෙන් අරටුවටම කුනු වී ඇත.

72. අධිෂ්ඨානශීලී සහ අනම්‍ය අරගලයකින් මිස, ෆැසිස්ට්වාදයේ, යුද්ධයේ සහ පෘථිවියට කරන ආපසු හැරවිය නොහැකි පාරිසරික හානිය ද ඇතුලු වර්තමාන ව්‍යසනයෙන් ගැලවීමට අන් මගක් නැත.

73. ඓතිහාසික භෞතිකවාදය මත පදනම් වූ මාක්ස්වාදය, අව්‍යාජ මහජන විප්ලවවාදී ව්‍යාපාර ඇති කරන නියාම-පාලිත සන්තතින් ඉතා හොඳින් වටහා ගනී. නමුත් වෛෂයික සන්තතීන් පිලිබඳ මෙම අවබෝධය සහ ජනතාව ක්‍රියාකාරීවීමේ අවශ්‍යතාවය කිසි විටෙකත් පුද්ගල නිෂ්ක්‍රීයභාවය සඳහා නිදහසට කරුනක් නොවන්නේය. අසමානතාවයට, අයුක්තියට සහ පීඩනයට විරුද්ධ වීම ඇතුලු දේ ගැන පුද්ගලයෝ තීන්දු තීරන ගනිත්.  සටන් කිරීමට පුද්ගලයන් සවිඥානික තීරනයක් නොගන්නා මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් කිසිදා නොතිබූ අතර කිසිදා තිබිය නොහැක.

74. එබැවින් අපි නව වසරට පිවිසෙන විට, පසුගිය වසර දෙකේ අර්බුදය පිලිබඳව හා ඇත්ත වශයෙන්ම ඉතිහාසයේ අවශ්‍ය සහ මග හැරිය නොහැකි දේශපාලන පාඩම් උකහා ගන්නා ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. ධනවාදය තමන්වම ගර්හාවට පාත්‍ර කරගෙන ඇත. මානව වර්ගයාගේ අනාගතය රඳා පවතින්නේ සමාජවාදයේ ජයග්‍රහනය මතය. මෙම සටනට එක්වන්න. ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය ගොඩනඟන්න! කෝවිඩ් වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනයට සහභාගී වන්න! ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සංසරනය පුලුල් කරන්න! සියල්ලටත් වඩා, සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමට සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට තීරනය කරන්න!

පාද සටහන්:

[1] A History of Public Health, (මහජන සෞඛ්‍ය පිලිබඳ ඉතිහාසයක්), ජෝර්ජ් රොස්න් (බැල්ටිමොර්: ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල මුද්‍රනාලය, 1958), lxxxix පි.

[2] 'සමාජ ආතතිය සහ මානසික රෝග දහඅටවන සියවසේ සිට වර්තමානය දක්වා: සමාජ මනෝචිකිත්සාවේ සමහර මූලාරම්භයන්,' The Milbank Memorial Fund Quarterly (කාර්තුමය මිල්බෑන්ක් අනුස්මරන අරමුදල), 1959 ජනවාරි, වෙළුම, 37, අංක 1, පි. 9

[3] The Permanent Revolution (නොනවතින විප්ලවය) (සියැටල්: රතු ලිපි මුද්‍රනාලය, 2010), 313 පි.

[4] Spider Web: The Birth of American Anticommunism, (ස්පයිඩර් වෙබ්, ඇමරිකානු ප්‍රති කොමියුනිස්ට්වාදයේ උපත), නික් ෆිෂර් විසිනි, (උර්බානා, ඉලිනොඉස් විශ්වවිද්‍යාල මුද්‍රනාලය, 2016) 8 පි.

[5] වර්කර්ස් ලීගයේ අභ්‍යන්තර බුලටින්: හජාජාක 10 සැසිය, 1990 මැයි, ඩේවිඩ් නෝර්ත්ගේ ප්‍රකාශ, පි 13

[6] The History of the Russian Revolution (රුසියානු විප්ලවයේ ඉතිහාසය) (ලන්ඩන්: ප්ලූටෝ මුද්‍රනාලය, 1977), 1

Loading