ඉදිරිදර්ශන

COVID-19 වසංගතය පිලිබඳව ගෝලීය කම්කරු පරීක්ෂනයක් සඳහා

[මෙය For a Global Workers’ Inquest into the COVID-19 Pandemic යන මැයෙන් 2021 නොවැම්බර් 22 පලවූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කෝවිඩ්-19 වසංගතය පිලිබඳව ගෝලීය කම්කරු පරීක්ෂනයක් ආරම්භ කරයි.

විද්‍යාඥයින්ගේ පර්යේෂන, මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ දැනුම සහ වැඩ කරන ජනතාවගේ සහ සිසුන්ගේ සැබෑ ලෝක අත්දැකීම් මත පදනම් වන පරීක්ෂනය, කොවිඩ්-19 වසංගතයට හේතුවන සාර්ස්-කොවිඩ්-2 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආන්ඩු, සංගත හා මාධ්‍ය ජාලයන්හි විනාශකාරී ප්‍රතිචාරය විමර්ශනය කර ලේඛනගත කරනු ඇත. වෛරසය පාලනයකින් තොරව බෝවීමට හා ලොව පුරා මිලියන ගනනකට මරු කැඳවමින් එය ව්‍යසනකාරී වසංගතයක් බවට පත් වීමට ඉඩ හල ප්‍රතිපත්ති අනුගමනය කල දේශපාලන හා ආර්ථික බලවේග මෙන්ම ඒවායේ අවශ්‍යතා ද හෙලිදරව් කිරීමට එවිසින් ප්‍රයත්න දැරෙනු ඇත.

වසංගතය ඓතිහාසික පරිමානයක සිදුවීමකි. විසි එක්වන සියවසේ ගමන් මාවත කෙරෙහි එහි බලපෑම, විසිවන සියවසේ ලෝක යුද්ධ දෙකක බලපෑම තරම්ම දුර දිග යන ඇඟවුම් දරන බව සනාථ කල හැකිය. එබැවින්, වසංගතයේ මූලාරම්භය, හේතු සහ ප්‍රතිවිපාක දැඩි සේ විභාග කොට අවබෝධ කර ගත යුතුය. මෙම ව්‍යසනය “දෙවියන්ගේ ක්‍රියාවක” හෝ චීන රසායනාගාරයක සිදු කල දුෂ්ට කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් නොවේ. වසංගතය පිලිබඳ ආඛ්‍යානය වසාගෙන ආන්ඩු සහ සංගත මාධ්‍ය විසින් පතුරන ලද මුසාවන් තීරනාත්මකව නිෂ්ප්‍රභා කිරීමට කාලය එලඹ තිබේ.

සාර්ස්-කොවිඩ්-02 ප්‍රථමයෙන් අනාවරනය වීමේ තැන් පටන්, වලක්වා ගත හැකිව තිබූ මිලියන ගනනකගේ මරන වලට වගකිව යුතු ප්‍රතිපත්ති සාධාරනීකරනය සඳහා උපයෝගී කරගෙන තිබෙන සත්‍ය වසං කිරීම්, මුසාකරන සහ වැරදි තොරතුරු කීතු කිරීමට මෙම පරීක්ෂනය අවශ්‍ය වේ. මෙම පරීක්ෂනය, සමාජීය වශයෙන් දුෂ්ඨ සහ මනුෂ්‍ය ජීවිතය කෙරෙහි සාපරාධී පවා වන නොතැකීමක් පිලිබඳ ඇති තරම් සාක්ෂි රැස් කර මහජනයා අතට ලබා දෙනු ඇත.

මෙම පරීක්ෂනය දියත් කිරීම කල් දැමිය නොහැක. ලෝකය වසංගතයේ තුන්වන වසරට ඇතුලු වෙද්දී, ගෝලීය වසංගතය පහව යමින් පවතිනවා නොවේ. උතුරු අර්ධගෝලයේ ශීත ඍතුව එලඹෙමින් තිබියදී රෝගීන්, රෝහල්ගතවීම් සහ මරන යලි වතාවක් ඉහල යමින්, වසංගතයේ හයවන ගෝලීය රැල්ල දැනටමත් ඇරඹී තිබේ.

2021 ඔක්තෝබර් 17 දින වන විට දෛනික ගෝලීය සාමාන්‍යය නව ආසාදිතයින් 402,548 ක් කරා ලඟා වී, නොවැම්බර් මැද දී දෛනික නව රෝගීන්ගේ සාමාන්‍යය 500,000 ඉක්මවීය. යුරෝපය පුරා සහ උතුරු ඇමරිකාවේ රෝගීන්ගේ සැලකිය යුතු ඉහල යාමක් දක්නට ලැබේ.

ප්‍රබල එන්නත් නිපදවා තිබුනද, අප්‍රිකානුවන්ගෙන් සියයට 7කට වඩා අඩු ප්‍රමානයක් හා අඩු ආදායම් සහිත රටවල පුද්ගලයින්ගෙන් සියයට 3ක් ඇතුලුව, එන්නත් මාත්‍රා දෙකක් ලැබී ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 41ට පමනි. අවශ්‍ය තුන්වන එන්නත් මාත්‍රාව ලැබී ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2.6ට පමනි. එන්නත් ලබා දීම මන්දගාමී වීම මධ්‍යයේ දිගින් දිගටම සිදුවන මහපරිමාන ආසාදනය නිසා එන්නත්-ප්‍රතිරෝධී ප්‍රභේදයක් නිර්මානය වීමේ තර්ජනය මතුකරමින් පරිනාමීය පීඩනයන් ඇති වන බවට විද්‍යාඥයන් නැවත නැවතත් අනතුරු අඟවා ඇත.

නිල ගෝලීය මරන සංඛ්‍යාව දැන් මිලියන පහකට වඩා වැඩි ජනතාවක් ගිලගෙන ඇත. එය සුවිසල් අවගනනයක් ලෙස ප්‍රකට ය. වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනය තක්සේරු කර ඇත්තේ, කෝවිඩ්-19 වසංගතයෙන් සිදුවන මරන සංඛ්‍යාව ගෝලීය වශයෙන් මිලියන 12.1 ක් වන අතර සාමාන්‍යයෙන් දැන් ලොව පුරා දිනකට 13,300 කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් මිය යන බවටය. දීර්ඝ කාලයක් පැවතිය හැකි කෝවිඩ් (Long COVID) තත්වයෙන් පෙලෙන මිලියන සිය ගනනක ජනතාවක්ද ඇතුලත් වනු ඇති, දිගු කාලීන සමාජ බලපෑම් තවමත් සම්පූර්නයෙන් හඳුනාගෙන නැත.

සාමාන්‍ය තත්වයන් යටතේ අපේක්ෂා කල හැකි ප්‍රමානයට වඩා ඉහලින් සහ ඉන් ඔබ්බට ඇති වන සියලුම හේතූන් නිසා, වසංගතය පවතින කාලය තුල සිදුවන අතිරික්ත මරන සංඛ්‍යාව, මිලියන 17කට වඩා වැඩි බව ඉකොනොමිස්ට් විසින් ගනන් බලා ඇත. බීඑම්ජේ (කලින් British Medical Journal) ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ, වෛරසය පැතිරීමට ඉඩ දුන් රටවල, විශේෂයෙන් රුසියාවේ (අවුරුදු 2.32) කින් ද එක්සත් ජනපදයේ (අවුරුදු 2) කින් ද, අපේක්ෂිත ආයු කාලය 2020 දී සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි.

වසංගතය පෙර දැක තිබුනි

වසංගතය අනපේක්ෂිත හා නොවැලක්විය හැකි ව්‍යසනයක් බවට වූ මිථ්‍යාව, පරීක්ෂනය මගින් නිෂ්ප්‍රභ කරනු ඇත. ආරම්භයේදී චීනයේ වුහාන් හි සාර්ස්-කොවිඩ්-2 ඇතිවීමට--මෙය බොහෝ විට සත්ව වෙලඳපොලේ සතුන්ගෙන් බොහෝවිට වවුලන්ගෙන්, මිනිසාට සම්ප්‍රේෂනය වන්නට ඇතැයි විශේෂඥයින් තරයේ නිගමනය කර ඇත--දශක කිහිපයකට පෙර ම එවැනි වසංගතයක් ඇතිවිය හැකි බව පූර්වාපේක්ෂා කල විද්‍යාත්මක ලේඛන, පොත් සහ චිත්‍රපට පවා අතිබහුලව පැවතුනි.

2002-2004 සාර්ස් ව්‍යාප්තිය, 2003 එච්5එන්1 'කුරුළු උන' රෝගය, 2009 'සූකර උන' බෝවීම, 2012 ම’ස් (MERS) වෛරසය පැතිරීම සහ 2013-2016 ඉබෝලා වෛරස ව්‍යාප්තිය ඇතිවීම හමුවේ, වසංගතයක් ඉතා ආසන්න බවට ලොව පුරා විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුනි.

2005 ජූලි මාසයේදී වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය මයිකල් ඔස්ටර්හෝම්, ෆොරින් අෆෙයාස් සඟරාවේ “ඊලඟ වසංගතයට සූදානම් වීම” යන මාතෘකාවෙන් සවිස්තරාත්මක රචනාවක් ලිවීය. සියලුම සාරභුත කරුනු සහිතව මෙම ලියවිල්ල, ඇත්ත වශයෙන්ම 2020 ජනවාරි මාසයේ සිට ගෝලීය වශයෙන් ඇරඹුනු සිදුවීම්, ගෙනහැර දැක්වීය.

එලඹෙන වසංගතයක් “වැලැක්විය නොහැකි” බවට අනතුරු අඟවමින් ආචාර්ය ඔස්ටර්හෝම් සෑම රටකින්ම ඉල්ලා සිටියේ, “ජනතාව වසර එකත් තුනත් දක්වා කාලයක් ගෙවා දැමිය යුත්තේ යුත්තේ කෙසේද යන්න පිලිබඳ සවිස්තරාත්මක මෙහෙයුම් සැලැස්මක්” සකස් කරන ලෙස මෙන්ම “සමස්ත ලෝකයටම එන්නතක් සැපයීමේ මූලිකත්වයක්” ගන්නා ලෙසට ය. ඊලඟ වසංගතය එදින රාත්‍රියේ ආරම්භ වුවහොත්, “වසංගතයක් හඳුනාගෙන දින කිහිපයක් ඇතුලත සෑම වෛද්‍ය උපකරනයක්ම හෝ ආරක්ෂක ආම්පන්නයක්ම පාහේ හිඟ වනු ඇති” බවටත් ගෝලීය සැපයුම් දාමයන් දැඩි ලෙස කඩාකප්පල් වනු ඇති බවටත් ඔහු අනතුරු ඇඟවීය. ඔහු තම ලේඛනය අවසන් කරන්නේ, “මෙය ඉතිහාසයේ තීරනාත්මක හැරවුම් ලක්ෂයක්. මීලඟ වසංගතයට සූදානම් වීමේ කාලය අවසන් වෙමින් පවතියි. අපි දැන් තීරනාත්මකව සහ අරමුනක් ඇතිව ක්‍රියා කල යුත්තෙමු' යයි සඳහන් කරමිනි.

2020 මාර්තු නිව් යෝර්ක් නගරයේ වසංගත නැගී ආ කාලය තුල බෘක්ලින්හි මයිමොනිඩේස් රෝහලෙන් පිටත මියගිය කොවිඩ්-19 රෝගීන්ගේ සිරුරු. එම ඡායාරූපය මාධ්‍යවේදීන් සමඟ බෙදාගෙන ඇත්තේ රෝහලේ හෙදියක් විසිනි.

ඉන්පසු එලඹි වසර 14 තිස්සේ ලියා ඇති ඒ හා සමාන ලිපි, රචනා සහ පර්යේෂන පත්‍රිකා දුසිම් ගනනක් ආචාර්ය ඔස්ටර්හෝම්ගේ අනාවැකිය අනුමත කර ඊට එකතු කිරීම් කරන ලදී. නමුත් මෙම අනතුරු ඇඟවීම් සෑම ආන්ඩුවක්ම පාහේ නොසලකා හරිනු ලැබ, සමාජය එවැනි සිදුවීමක් සඳහා මුලුමනින්ම නොසූදානම් තත්වයට අතහැර දැමීය. අනතුර සමඟ පොරබැදීමට අවශ්‍ය මූල්‍ය සම්පත් සපයනු නොලැබුනි. ඒ වෙනුවට, ඩොලර් ට්‍රිලියන ගනනක් මූල්‍ය වෙලඳපොලවල්වලට සහ හැමවිටෙම ඉහල යන මිලිටරි අයවැයට වත් කරන ලදී. තීරනාත්මක පරිසර පද්ධතිවල අසීමිත විනාශය නිසා සමාජය සතුන්ගෙන් සම්ප්‍රේෂනය වන රෝග වලට වැඩි වැඩියෙන් ගොදුරු වන්නට ඉඩහැරියේය. පුද්ගලික ආරක්ෂක උපකරන තොග පවත්වාගෙන ගියේ නැත. එම්ආර්එන්ඒ එන්නත් සහ වෙනත් තාක්ෂනය පිලිබඳ පර්යේෂන, ලාභ නොලබන්නේ යයි සලකා කපා හරිනු ලැබින. අවම කාර්ය මන්ඩල, අවම සම්පත් යටතේ සෞඛ්‍ය පද්ධතීන් අතහැර දැමුනි.

2020 මුල් භාගයේදී, සාර්ස්-කොවිඩ්-2 ගෝලීයව ආසාදනය වීම නැවැත්විය හැකිව තිබුනි

සාර්ස්-කොවිඩ්-2 ව්‍යාප්ත වීමට පටන් ගත් පසු, එය නැවැත්වීමට කිසිවක් කල නොහැකිව තිබූ බවට කර ඇති පිලිගත නොහැකි ප්‍රකාශය, පරීක්ෂනය විසින් විවේචනාත්මකව විමර්ශනය කර නිෂ්ප්‍රභා කර දමනු ඇත. වෛරසය සීඝ්‍රයෙන් තුරන් කිරීමට හදිසි පියවර ගත්, බිලියන 1.4 ක ජනතාවක් සිටින සමාජයක් වන චීනයේ අත්දැකීමට මෙම ප්‍රකාශය පැහැදිලිවම පරස්පර විරෝධීය. එම පියවරයන්ට මුහුනු ආවරන භාවිතය, සමාජ දුරස්ථභාවය, පරීක්ෂන, ආසාදිතයන්ගේ සම්බන්ධතා සොයා ගැනීම, අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දැමීම සහ නිරෝධායන මධ්‍යස්ථාන සහ සෞඛ්‍ය සේවා පහසුකම් ඉදිකිරීම ඇතුලත් විය.

පෙබරවාරි 14 වන දින වන විට, ආසාදනයන්ගේ උපරිම මට්ටම වූ 4,602ට ලඟා වීමෙන් මාසයකට පසු, 2020 මාර්තු 14 වන දින වන විට චීනය දෛනික නව රෝගීන් 25 දක්වා අඩු කරගෙන තිබුනි. වෛරසය ඉක්මනින් තුරන් කරන ලදී, වරින් වර සිදුවන සුලු ආසාදන සමඟ දෛනිකව නව රෝගීන් 200 ඉක්මවූයේ එක් වරක් පමනි. අද වන විට චීනයේ කොවිඩ්-19 මරන 4,636 ක් පමනක් වාර්තාවී ඇති අතර, 4 ක් හැර අනෙක් සියල්ල 2020 අප්‍රේල් 17 ට පෙර සිදුවී ඇත. නවසීලන්තය, වියට්නාමය, තායිවානය සහ ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල ද ඉමහත් ලෙස සාර්ථකව එවැනිම පියවර ගෙන ඇත.

වෛරසය නැවැත්විය නොහැකි බවට කරන ප්‍රකාශය ඛන්ඩනය කිරීම හුදෙක් ඉතිහාසය පිලිබඳව උනන්දුවක් පිලිබඳ කරුනක් නොවේ. එන්නත් ගෝලීයව බෙදාහැරීමට සමගාමීව, කොවිඩ්-19 තුරන් කිරීම සහ මුලිනුපුටා දැමීම කරා යොමුවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, අද, තවමත් කල හැකි සහ අත්‍යවශ්‍ය කාරනයකි.

“රංචු ප්‍රතිශක්තියට” එරෙහිව තුරන් කිරීම

පරීක්ෂනය පහත තීරනාත්මක ප්‍රශ්නය සම්මුඛ කරනු ඇත: චීනය, නවසීලන්තය සහ අනෙකුත් ආසියා-පැසිෆික් රටවල සාර්ථක වූ ක්‍රියාමාර්ග එක්සත් ජනපදය, බ්‍රසීලය, ජර්මනිය, ඉන්දියාව සහ ලොව පුරා ක්‍රියාත්මක නොකලේ මන්ද? ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් නියම කලේ කුමන ආර්ථික, දේශපාලනික සහ සමාජ අවශ්‍යතා විසින් ද? අපරාධ නීතියේ පැරනි ප්‍රශ්නය—එනම්, ප්‍රතිලාභ ලබන්නේ කවුද? යන්න වසංගතයේ සන්දර්භය තුල මතු කල යුතු ය.

පරීක්ෂනයෙන් පෙන්නුම් කරනු ඇති පරිදි නොවැලැක්විය හැකි පිලිතුර නම්, මිනිස් ජීවිත සුරැකීමට වඩා මූල්‍ය වෙලඳපොලවල ක්‍රියාකාරිත්වය සහ සංගත ලාභයේ ක්‍රියාකාරිත්වයට ප්‍රමුඛත්වය දීමට දැනුවත් තීරනයක් ගෙන ඇති බවයි. කරුනු, සියලුම තොරතුරු සම්පාදනය කරයි. මිලියන ගනනක් කම්කරුවන් කොවිඩ්-19 නිසා මිය යද්දී සංගත වල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සහ ප්‍රධාන කොටස් හිමියන්ගේ ධනය විශාල ලෙස වැඩි වී ඇත. වසංගතයේ පලමු මාස 19 තුල, එක්සත් ජනපද බිලියනපතියෝ පමනක් තම ධනය ඩොලර් ට්‍රිලියන 2.1 කින් හෙවත් සියයට 70 කින් වැඩි කර ගත්හ. ලෝකය විනාශ කල රෝගයක්, වසංගතයෙන් ලාභ ගරන්නන් පොහොසත් කලේය.

2020 ජනවාරි මාසයේදී, සාර්ස්-කොවිඩ්-2 පිලිබඳ බුද්ධි අංශවල රහස් තොරතුරු දැනගත්, ධනවත් එක්සත් ජනපද සෙනෙට් සභිකයින්, වෛරසයේ අන්තරායන් පිලිබඳව නිහඬව සිටිමින් ම, ඩොලර් මිලියන ගනනක් වටිනා කොටස් විකුනා දැමූහ. 2020 මාර්තු 19 වන දින, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ්ට රහසිගත ව පැවසුවේ වෙලඳපොල මිල දී ගැනීමේ කලබැගෑනියක් වැලැක්වීම සඳහා ඔහු හිතාමතාම මහජනයා නොමඟ යැවූ බවයි, “මට අවශ්‍ය වූයේ එය සැමවිටම ලුහුකර දැක්වීමටයි. මම තවමත් එය ලුහුකොට දැක්වීමට කැමතියි, මන්දයත්, මට සන්ත්‍රාසයක් ඇති කිරීමට අවශ්‍ය නැත.” ලොව පුරා රටවල මෙවැනි සිදුවීම් ගනනාවක් ම සිදු විය.

තුරන් කිරීමේ මූලෝපායට හෝ “ශූන්‍ය කොවිඩ්” ප්‍රතිපත්තියට එරෙහි ව ආන්ඩු විසින් “රංචු ප්‍රතිශක්තිය” නම් වූ සමාජීය වශයෙන් සාපරාධී ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීය—එනම්, ජනගහනයෙන් බහුතරයක් ආසාදනය වන තුරු වෛරසය සමාජය තුල පැතිරයාමට ඉඩ දීම යි. ප්‍රථමයෙන් ස්වීඩනයේ ක්‍රියාත්මක වූ, ට්‍රම්ප් පරිපාලනය සහ ඔහුගේ සම-චින්තකයන් විසින් ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කරන ලද, නිව් යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මන් විසින් උද්‍යෝගිමත් ලෙස තොරම්බල් කල කරන ලද මෙම ප්‍රතිපත්තිය, මහා බැරින්ටන් ප්‍රකාශනය තුල දැනුවත් ප්‍රකාශනයක් අත් කර ගති. ෆ්‍රීඩ්මන් විසින් නිර්මානය කරන ලද තුරන් කිරීමේ පිලිවෙතට එරෙහි “රංචු ප්‍රතිශක්තියේ” මෙහෙයුම් ප්‍රති- මන්ත්‍රය නම්, “සුව කිරීම රෝගයට වඩා නරක විය නොහැක” යන්නයි—එනම් මහජන සෞඛ්‍යය සංගත ලාභයට යටත් කල යුතුය යන්නයි.

“රංචු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්තිය සාධාරනීකරනය කිරීම සඳහා, කොවිඩ්-19 පිලිබඳ මූලික විද්‍යාත්මක සත්‍යයන් යටපත් කර අසත්‍යකරනය කරන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය ඇතුලු නිල ආයතන වසරකට වැඩි කාලයක් වෛරසයේ වාසර (වාතය මගින් පැතිරීමේ) ස්වභාවය ප්‍රතික්ෂේප කලේය. අවසාන වශයෙන්, ඉතා කුඩා බිඳිති, සම්ප්‍රේෂනයේ ප්‍රමුඛ මාධ්‍යය බව පිලිගත් පසු ද ඔවුන් මහජනතාව දැනුවත් කිරීමට, මුහුනු ආවරන අනිවාර්ය කිරීමට, පාසල් ඇතුලු පොදු ස්ථානවල වාතාශ්‍රය ක්‍රමානුකූලව වැඩිදියුනු කිරීමට කිසිදු හෝ උත්සාහයක් ගෙන නොමැත.

සෑම තරාතිරමකම දේශපාලකයින් මෙන්ම ධනේශ්වර-ගැති කම්කරු වෘත්තීය සමිති, ලමුන් කෙරෙහි කොවිඩ්-19 හි බලපෑම් සහ වෛරස් සම්ප්‍රේෂනයේ දී පාසල් ඉටු කරන කාර්යභාරය මුසාකරනය කලහ. එක්සත් ජනපදය තුල, ඇමරිකන් ෆෙඩරේෂන් ඔෆ් ටීචර්ස් (ගුරුවරුන්ගේ ඇමරිකානු සම්මේලනයේ-එක්සත් ජනපදයේ ප්‍රධාන ගුරු වෘත්තීය සමිතිය) සභාපති, බයිඩන් පරිපාලනය වෙනුවෙන්, ලමයින් නැවත පාසල්වලට දැක්කීමේ සාපරාධී නොසැලකිලිමත් උද්ඝෝෂනය මෙහෙයවූවාය. සිසුන්ගේ මානසික සෞඛ්‍යය ගැන කනස්සල්ලක් මවා පෑවද ඔවුන්ගේ යටි චේතනාව සෑම විටම සංගත වෙත අඛන්ඩ ව ලාභ ගලා ඒම සහතික කිරීම සඳහා දෙමාපියන් නැවත වැඩට යැවීම විය.

පුලුල්ව පැතිරුනු ප්‍රතිරෝධය මුහුන දෙන ප්‍රභූන්, මර්දනකාරී පියවරයන් සමග ප්‍රතිචාර දක්වා ඇත. බ්‍රිතාන්‍යයේදී, අනාරක්ෂිත ලෙස පාසල් යලි විවෘත කිරීමට එරෙහිව ජනතා ව්‍යාපාරයකට නායකත්වය දෙන මවක වන ලීසා ඩයස්ට දඩ ගසන බවට තර්ජනය කරන ලද අතර, මුද්‍රිත මාධ්‍ය ඇයට අවමන් කලහ. ලන්ඩන් බස් රථ රියදුරෙක් වන ඩේවිඩ් ඕ’සුලිවන්, කොවිඩ්-19 මගින් එල්ල වන අනතුර ගැන තම සගයන්ට අනතුරු ඇඟවීමට පලිගැනීමක් වශයෙන් සේවයෙන් පහ කරන ලදී.

මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති අපකීර්තියට පත් කිරීමේ ක්‍රියාවලියේදී, “රංචු ප්‍රතිශක්තිය” වෙනුවෙන් පෙනී සිටින්නන් දක්ෂිනාංශික උන්මත්තකයන් පොලඹවමින්, අගුලු දැමීම් ප්‍රතික්ෂේප කරමින්, මුහුනු ආවරන සහ එන්නත් වලට එරෙහිව කේන්ද්‍රගත වූ වැරදි තොරතුරු ප්‍රචලිත කිරීමේ ක්‍රමානුකූල ව්‍යාපාරයක් අනුගමනය කරමින් අන්තරායකාරී මහජන ව්‍යාකූලත්වයක් ජනනය කලහ.

මෙම 2020 සැප්තැම්බර් ඡායාරූපයේ, එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, වසංගතය පිලිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ධවල මන්දිරයේ කොරෝනා වෛරස් උපදේශක ආචාර්ය ස්කොට් ඇට්ලස් කතා කරන ආකාරය බලා සිටියි (ඒපී ඡායාරූප/ඇලෙක්ස් බ්‍රැන්ඩන්) [AP Photo/Alex Brandon]

ඒ අතරම, සාර්ස්-කොවිඩ්-2 වෛරසයේ හි මූලාරම්භය ගැන බොරු ගොතනු ලැබුවේ, වෛරසය වුහාන්හි රසායනාගාරයක නිර්මානය කර ඇති බව පවසමිනි. මෙම කුමන්ත්‍රන න්‍යාය අන්ත දක්ෂිනාංශය විසින් ගොතන ලද අතර පසුව සංස්ථාපිත මාධ්‍ය විසින්, විශේෂයෙන් වොෂින්ටන් පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් විසින් ඩැහැ ගන්නා ලදී. මෙය, වසංගතයේ සැබෑ හේතූන්ගෙන් අවධානය වෙනතකට යොමු කලා පමනක් නොව, චීනයට එරෙහිව යොමු කරන ලද මිලිටරිවාදී භූ දේශපාලනික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන යාමට ද යොදා ගන්නා ලදී.

2021 දී ධනවත්ම රටවල එන්නත් නිකුත් කිරීමත් සමඟ, එන්නත් සහ මුහුනු ආවරන මගින් පමනක් වසංගතය අවසන් කල හැකි බවට වන ව්‍යාජ ප්‍රකාශ මත පදනම්ව “රංචු ප්‍රතිශක්තියේ” අපශාඛාවක් වර්ධනය විය. මෙය, බයිඩන් පරිපාලනය යටතේ එක්සත් ජනපදය තුල එහි තියුනුම ප්‍රකාශනය සොයා ගත් අතර, 2021 මැයි 13 වන දින එන්නත් කරන ලද පුද්ගලයින්ට මුහුනු ආවරන පැලඳීම නැවැත්වීමට උපදෙස් දුනි. 2021 ජූලි 4 වන දින වසංගතයෙන් නිදහස්වීම සැබවින් ම එසේ නොවූ තත්ත්වයක් යටතේ ම නිවේදනය කරන ලදි. එදින සිට කොවිඩ්-19 හේතුවෙන් ඇමරිකානුවන් 170,000 කට වඩා මිය ගොස් ඇත.

වසංගතය සඳහා උපාය මාර්ග තුනක් මතු වී ඇති බව ලෝසවෙඅ සටහන් කර ඇත: ඒවා නම්, “රංචු ප්‍රතිශක්තිය,” සීමිත අවම කිරීමේ පියවරයන් සහිත එන්නත්කරනය සහ සාර්ස්-කොවිඩ්-2 ගෝලීයව තුරන් කිරීම යි. පලමු උපාය මාර්ග දෙක පදනම් වී ඇත්තේ මහජන සෞඛ්‍යය පුද්ගලික ලාභයට යටත් කිරීම මත වන අතර අවසාන උපායමාර්ගය පමනක් වසංගතය අවසන් කිරීම සහ ජීවිත බේරා ගැනීම සඳහා ඉදිරි මාවතක් නියෝජනය කරයි.

විනාශකාරී “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තිවලට වගකිව යුතු එම මූල්‍ය අවශ්‍යතා විසින්ම තුරන් කිරීමේ උපාය මාර්ගය අත්හැර දමා මහා ආසාදන ඇති වීමට ඉඩ සලසන ලෙස ආසියා-පැසිෆික් කලාපය පුරා රටවලට දැවැන්ත පීඩනයක් එල්ල කර ඇත. මාස 18 කට ආසන්න කාලයක් සාර්ථකව වෛරසය මර්දනය කල නවසීලන්ත රජය අවසානයේ ජාත්‍යන්තර බලපෑම්වලට යටත් විය. අගෝස්තු මාසයේදී එය විද්‍යාඥයින් විසින් සකස් කරන ලද ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරියේය. මෙම පසුබැසීමේ ප්‍රතිඵලය වී ඇත්තේ කොවිඩ් ආසාදනවල හිටි හැටියේ වැඩිවීමකි. කොවිඩ් තුරන් කිරීම සඳහා වන කැපවීමෙන් පසුබැසීමට චීනයට ද බලපෑම් එල්ල වෙමින් පවතී.

සංගත ලාභ අපේක්ෂාවෙන් මහා ආසාදන පිලිගැනීමට රටවලට බල කිරීම අරමුනු කරගත් මෙම ගෝලීය කූටෝපායන් ද පරීක්ෂනය මගින් විමර්ශනය කරනු ඇත.

කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනයේ විෂය පථය සහ අරමුනු

සාපරාධී වරදකාරිත්වය පිලිබඳ ප්‍රශ්නය මතු නොකර මිලියන සංඛ්‍යාත මහජනතාවගේ මරන ගැන කතා කල නොහැක. ඩොනල්ඩ් ට්‍රම්ප් මහජනයාට ප්‍රසිද්ධියේ බොරු කියද්දී, බොරිස් ජොන්සන් “මල සිරුරු දහස් ගනනින් කඳු ගැසුනාවේ!” යයි වාචාල ලෙස කියා සිටියේ ය. ජෝ බයිඩන්, ජස්ටින් ටෘඩෝ, ඇන්ජෙලා මර්කල්, එමානුවෙල් මැක්රොන් සහ තවත් ලෝක නායකයින් දුසිම් ගනනකගේ ක්‍රියාවන්, සැසඳිය නොහැකි මට්ටමේ අනවශ්‍ය දුක් වේදනා හා මරන වලට හේතු විය. ඩෙල්ටා ප්‍රභේදයෙන් රට විනාශයට පත් වෙමින් තිබියදී 2021 අප්‍රේල් මාසයේදී වෛරසයෙන් නොව “අගුලු දැමීමෙන්” ඉන්දියානු ජනතාව “ගලවා ගැනීමට” නරේන්ද්‍ර මෝදි පොරොන්දු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විශ්වාසවන්ත අධ්‍යයනවලින් පෙනී යන්නේ කොවිඩ්-19 හේතුවෙන් අවම වශයෙන් ඉන්දියානුවන් මිලියන 3 ක්, නැතහොත් බොහෝ දුරට මිලියන 5 ක් මරා දමා ඇති බවයි.

වොෂින්ටන් පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් ඇතුලු මාධ්‍ය සහ එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ කොටස්, වසංගතය විමර්ශනය කිරීම සඳහා “9/11 පන්නයේ කොමිසමක්” ඉල්ලා ඇත. එවන් “පරීක්ෂනයක්” සිදුවී ඇති වසන් කිරීම ගැඹුරු කරනු ඇත. මෙම දැවැන්ත සමාජ අපරාධයට තමන් ම සම්බන්ධ වී සිටින බැවින් කිසිදු බරපතල පරීක්ෂනයක් එකදු ආන්ඩුවක් හෝ නොඉවසනු ඇත.

කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරුවන්ගේ පරීක්ෂනයට ආන්ඩු වල අනුමැතිය සොයන්නේ හෝ අවශ්‍ය වන්නේ නැත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පරීක්ෂනය ආරම්භ කිරීම සඳහා හොඳින් සන්නද්ධව සිටී. එය සාර්ස්-කොවිඩ්-2 වෛරසයෙ හි මුල්ම ප්‍රසිද්ධ වාර්තාවලින් ගෝලීය වසංගතයක අනතුර හඳුනාගත්තේය. 2020 ජනවාරි 24 වෙනිදා කොරෝනා වෛරසය පැතිරීම පිලිබඳව තමන් විසින් ප්‍රථම වරට වාර්තා කිරීමේ සිට, ලෝසවෙඅ මෙම විෂය සම්බන්ධයෙන් ලිපි 4,000 කට වඩා පල කර ඇත. වසංගතය නැවැත්වීම සඳහා ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස එය 2020 මුල සිට ඉල්ලා තිබේ. එය සමූහ මරනවලට වගකිව යුතු ආන්ඩුවල පිලිවෙත් හෙලා දැක ඇත.

2020 පෙබරවාරි 28 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක, වසංගතය නැවැත්වීමට ගෝලීය ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය අවධාරනය කරමින් ලෝසවෙඅ මෙසේ ලිවී ය:

'කිසිදු ජාතියකට කොරෝනා වෛරසයට දක්වන ප්‍රතිචාරය ජාතික මට්ටමින් සම්බන්ධීකරනය කල නො හැක. වෛරසය දේශසීමා හෝ වීසා හා සංක්‍රමන සීමාවන්ට ගරු නො කරයි. ගෝලීය ප්‍රවාහන හා ආර්ථික ඒකාබද්ධතා ජාලය වෛරසය ගෝලීය ගැටලුවක් බවට පත් කර තිබේ.

විසඳුම ගෝලීය විය යුතු ය. වෛරසය මැඩ පැවත්වීම, සුව කිරීම හා අවසානයේ දී එය අතු ගා දැමීමට අත්‍යවශ්‍ය ඵලදායි ප්‍රතිපියවරයන්ගේ වර්ධනය ප්‍රමාද කිරීමට පමනක් සේවය කරන, “ජාතික අවශ්‍යතා” හා භූදේශපාලනික ගැටුම්වල බාධාවන්ගෙන් තොර ව, ලොව පුරා සිටින විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂන හා තාක්ෂනය බෙදාහදා ගැනීමට ඉඩ දිය යුතු ය.

2020 මාර්තු 6 වන දින ලෝසවෙඅ මෙසේ ප්‍රකාශ කලේය : “ජනගහනයේ සෞඛ්‍යය කෙරෙහි ට්‍රම්ප් පරිපාලනයේ උදාසීනත්වය, වහලුන් කෙරෙහි පුරාන ඊජිප්තුවේ පාරාවෝ රජවරුන්ගේ ආකල්පයට වඩා හොඳ විය නොහැක, සමහර විට ඊටත් වඩා නරක විය හැක. මිනිස් ජීවිත අහිමි වීමට වඩා, වෝල් වීදියේ කොටස් වටිනාකම් කඩාවැටීම ගැන දුක් වෙමින් මාධ්‍ය බොහෝ කාලයක් ගත කර ඇත.

මෙම ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙමින් ලෝසවෙඅ 2020 මාර්තු 17 වැනි දින ප්‍රකාශයක් පල කලේය : “මෙම අර්බුදයට දක්වන ප්‍රතිචාරයට මගපෙන්වන සාරභූත මූලධර්මය විය යුත්තේ, සංගත ලාබ හා පුද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට ඉහලින් වැඩකරන ජනයාගේ අවශ්‍යතා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාව ලෙස ගැනීම යි.”

ලෝසවෙඅ කර ඇත්තේ වසංගතයේ බලපෑම ගැන වාර්තා කිරීම පමනක් නොවේ. වසංගතය සහ එය නැවැත්වීමට කුමක් කල යුතුද යන්න පිලිබඳව විද්‍යාත්මක අවබෝධයක් කම්කරුවන්ට සහ තරුනයින්ට ලබා දීමට එය උත්සාහ කර ඇත. මේ සඳහා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ක්‍රියාකාරී කමිටු වල ජාත්‍යන්තර කම්කරු සන්ධානය හා එක්ව 2021 අගෝස්තු 22 සහ ඔක්තෝබර් 24 යන දිනවල ගෝලීය තුරන් කිරීමේ ප්‍රතිපත්තියක් සඳහා සටන් වැදුනු ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයන් සමග ගෝලීය වෙබිනාර් රැස්වීම් දෙකක් සඳහා අනුග්‍රහය දැක්වීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයෝ 2021 ඔක්තෝම්බර් 8 වැනි සිකුරාදා දින ශ්‍රී ලංකාවේ කොලඹ පැවති වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් අතරතුර වඩා හොඳ වැටුප් සහ පුද්ගලික ආරක්ෂක උපකරන ඉල්ලා සටන් පාඨ කියති. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

වසංගතය අවසන් කිරීමේ සටනේ පදනම ලෙස ඔක්තෝබර් 24 වෙබිනාර් සාකච්ඡාව පහත සඳහන් දෑ යෝජනා කලේය:

1. කොවිඩ්-19 ඇති කරන වෛරසය වන සාර්ස්-කොවිඩ්-2 හි ඉලක්කය වන්නේ පුද්ගලයන් නොව සමස්ත සමාජයම ය. වෛරසය සම්ප්‍රේෂනය වීමේ ආකාරය යොමු වී ඇත්තේ සමූහ ආසාදනයක් ඇති කිරීම දෙසටය. සාර්ස්-කොවිඩ්-2 ජීව විද්‍යාත්මකව පරිනාමය වී ඇති ඇත්තේ බිලියන ගනනකට පහර දීමට සහ එසේ කිරීමෙන් මිලියන ගනනක් මරා දැමීමටය.

2. එබැවින්, සෑම මහාද්වීපයකම, සෑම කලාපයකම සහ සෑම රටකම වෛරසය තුරන් කිරීම අරමුනු කරගත් ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත ව්‍යාපාරයක් මත පදනම් වීම එකම ඵලදායි මූලෝපාය වේ. මෙම වසංගතයට ඵලදායී ජාතික විසඳුමක් නොමැත. සුවිසල් සාමූහික හා සැබැවින්ම පරාර්ථකාමී ගෝලීය ප්‍රයත්නයක් තුලින් මානව වර්ගයා—සියලු වාර්ගික, ජනවාර්ගික හා ජාතීන්ට අයත් මිනිසුන්—මෙම අභියෝගයට මුහුන දී එය ජය ගත යුතුය.

3. වසංගතය පුපුරා යාමෙන් පසු සෑම ආන්ඩුවක්ම පාහේ අනුගමනය කල ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කල යුතුය. සමාජ ප්‍රතිපත්තියේ අවිවාදිත ප්‍රමුඛතාවය විය යුතු දේ—එනම්, මිනිස් ජීවිතය ආරක්ෂා කිරීම—ආයතනික ලාභ සහ පුද්ගලික ධනය ගොඩගසා ගැනීමේ අවශ්‍යතා සඳහා යටත් කිරීමට—දිගින් දිගට ඉඩ දිය නොහැක.

4. ගෝලීය තුරන් කිරීම සඳහා යොමු කරන ලද මූලෝපායකට තීරනාත්මක හැරීමක් ගෙන ඒමේ ආරම්භකත්වය පැමිනිය යුත්තේ, මිලියන සංඛ්‍යාත ජනයාගේ සමාජ සවිඤ්ඤානක ව්‍යාපාරයකිනි.

5. මෙම ගෝලීය ව්‍යාපාරය විද්‍යාත්මක පර්යේෂන සඳහා යොමු විය යුතුය. විද්‍යාඥයින්ට හිංසා කිරීම්—ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම ජීවනෝපායයන්ට සහ ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන යටතේ වැඩ කරති—අවසන් කල යුතුය. වෛරසය ගෝලීය වශයෙන් තුරන් කිරීම සඳහා කම්කරු පන්තිය—සමාජයේ මහා ජන ස්කන්ධය—සහ විද්‍යාත්මක ප්‍රජාව අතර සමීපතම ක්‍රියාකාරී සන්ධානයක් අවශ්‍ය වේ.

මෙම මූලධර්ම හා පසුගිය දෙවසරේ වැඩකටයුතු මත පදනම්ව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ගෝලීය පරිමානයෙන් පරීක්ෂනය පවත්වනු ඇත. එය ලොව පුරා සිටින විද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් සම්මුඛ සාකච්ඡා ගෙන තොරතුරු රැස් කරනු ඇත. පරීක්ෂනය, ලෝකයේ සෑම ප්‍රදේශයකම වසංගතයේ හදිසි නැගීම, පැතිරීම සහ කලමනාකරනයට අදාල පුලුල් පරාසයක තීරනාත්මක ගැටලු විමර්ශනය කරනු ඇත.

එය, සාමාන්‍ය මහජනතාවගේ ජීවිතවලට වසංගතයේ බලපෑම ලේඛනගත කරනුවස් සැබෑ ජීවන තොරතුරු සඳහා කම්කරුවන් සහ සිසුන් වෙත ලඟා වනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂවල ප්‍රකාශනය වන ලෝසවෙඅ, පරීක්ෂනය සඳහා සංවිධානාත්මක පලංචියක් සහ ආවේශයක් සම්පාදනය කරනු ඇත. නමුත් මෙම දැවැන්ත ව්‍යාපෘතියට, වසංගතයට එරෙහි සටනේ ක්‍රියාකාරී බොහෝ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගේ ක්‍රියාකාරී සහයෝගීතාවය අවශ්‍ය වේ.

පරීක්ෂනයේ ප්‍රායෝගික කාර්යය තුල මෙම සහයෝගීතාව වර්ධනය කිරීමට උත්සාහ කිරීමේදී, ලෝසවෙඅ විසින් තමන් පෙනී සිටින සමාජවාදී වැඩපිලිවෙල සමග සියලුම සහභාගිවන්නන්ගේ එකඟතාවය අපේක්ෂා නොකරයි. අනාගත සමාජයේ දේශපාලන, සමාජීය සහ ආර්ථික සංවිධානයේ හොඳම ආකාරය පිලිබඳව, පරීක්ෂනයට සම්බන්ධවන අය අතර වෙනස්කම් තිබිය හැකිය. නමුත් මෙම සහයෝගීතාවයට සහභාගිවන්නන් කෙරෙන්, විද්‍යාත්මක සත්‍යය, කොවිඩ්-19 තුරන් කිරීම සහ මුලිනුපුටා දැමීම සහ ජීවිතය, සංස්කෘතිය සහ මානව වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා නොසැලෙන කැපවීමක් අවශ්‍ය වේ.

පරීක්ෂන කටයුතු සඳහා සහය වීමට කැමති සියලු දෙනාගෙන් පහත පෝරමය පුරවන ලෙස අපි ඉල්ලා සිටිමු.

Loading