සසප පලාත් පාලන මැතිවරනයට තරඟ කරයි

(මෙය Sri Lankan SEP to contest local government elections මැයෙන් 2023 ජනවාරි 25දා පල වූ ලිපියේ පරිවර්තනය යි.)

මාර්තු 9දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනයට, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) තරඟ කරයි.

කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාව, නුවරඑලිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රාදේශීය සභාව සහ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාව යන පලාත් පාලන ආයතන තුනට, සසප අපේක්ෂකයන් 53 දෙනෙකු ඉදිරිපත් කරයි.

විලානි පීරිස්, මයිල්වාගනම් දේවරාජා සහ තිරුඥාන සම්බන්ධර් (ඡායාරූපය: ලෝසවෙඅ)

පක්ෂයෙහි දේශපාලන කමිටුවේ නායක සාමාජිකයන් සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ දිගුකාලීන සටන්කරුවන් වන, විලානි පීරිස්, මයිල්වාගනම් දේවරාජා සහ තිරුඥාන සම්බන්ධර් පිලිවෙලින් අපේ අපේක්ෂක ලැයිස්තුවලට නායකත්වය දෙති.

පාලක පන්තියේ කන්ඩායම් විසින් අවුලුවනු ලබන වාර්ගික බෙදීම්වලට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදය මත ලංකාවේ කම්කරු පන්තිය ඒකාබද්ධ ව බලමුලුගැන්වීමට සටන් වදින එක ම පක්ෂය සසප යි.

අධිරාජ්‍යවාදී යුද්ධයේ තීව්‍ර වන අන්තරායට, කොලඹ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව, ගම්බද දුගීන් හා අනෙකුත් පීඩිතයින් රැලිකර ගන්නා, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීම අපේ මැතිවරන උද්ඝෝෂනයේ එල්ලය යි. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී පිලිවෙත්වලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිමු.

පලාත් පාලන මැතිවරනය පවත්වනු ලබන්නේ ලංකාවේ ධනේශ්වර පාලනය යෝධ ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දෙන තතු තුලයි. මෙම අර්බුදය, කෝවිඩ්-19 වසංගතයෙන් සහ ගෝලීය වහ්නි ජාලාවක තර්ජනය මතු කරන යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් තීව්‍ර කරනු ලැබූ ගෝලීය ධනවාදයේ ගැඹුරු වන බිඳ වැටීමේ කොටසකි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන තන්ත්‍රය මෙන් ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලංපොපෙ) පාලන තන්ත්‍රය, ඇප නයක් පතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙත හැරී ඇත. ආන්ඩුවේ වියදම් ගැඹුරින් කප්පාදු කිරීම, කම්කරුවන් ලක්ෂ ගනනක් මත සුවිසල් ආදායම් බදු පැටවීම, මිල සහනාධාර කපා හැරීම, පුද්ගලීකරනය සහ රාජ්‍ය අංශයේ යෝධ රැකියා කප්පාදු ඇතුලත් වන, ජාමූඅ විසින් විධානය කරන ලද ම්ලේච්ඡ වැඩපිලිවෙලක් එම පාලන තන්ත්‍රය විසින් දැන් ක්‍රියාත්මක කරමින් සිටී.

පසුගිය වසරේ අප්‍රේල්-ජූලි අතර පුපුරාගිය මහජන අරගල තුල, මිලියන සංඛ්‍යාත කම්කරුවෝ, රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත්, උද්ධමනය, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන් සහ දීර්ඝ විදුලි කප්පාදු අවසන් කරන ලෙසත් ඉල්ලා සිටියහ. රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට රාජපක්ෂට බලකෙරුනු අතර, ඔහු වෙනුවට පත් කරගන්නා ලද්දේ, දීර්ඝ-කාලීන එක්සත් ජනපද ගැත්තෙක් වන, අපකීර්තිමත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු ව්‍යාජ-වම්මුන්ගේ පිටුබලය සහිත ව වෘත්තීය සමිති විසින් කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා, අන්තර්-වාර ධනපති පාලන තන්ත්‍රයක් කැඳවුම් කිරීම පිටුපසට අපසරනය කොට පාවාදීම හේතුවෙන්, වික්‍රමසිංහ බලයට පැමිනියේ ය.

වැටුප්, ජීවන කොන්දේසි, රැකියා සහ සමාජ අයිතීන් මතට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන් විසින්, ටෙලිකොම්, තැපැල්, බැංකු, සෞඛ්‍ය, දුම්රිය හා වතු අංශවල කම්කරුවන් දස දහස් ගනනක් නියැලෙන ජාතික පරිමාන අරගලයන්හි නව රැල්ලක් අවුලුවා තිබේ. ඉහල යන උද්ධමනය සමහන්වන පරිදි වැටුප් වැඩි කරන ලෙස ද, ආදායම් බදුවල දැවැන්ත වැඩිකිරීම් නතර කරන ලෙස ද ඉල්ලා, වරාය කම්කරුවන් දහස් ගනනක් ජනවාරි 23දා කොලඹ දී විරෝධතා දැක්වූ හ. මෙය, ජාත්‍යන්තර ව දිගහැරෙන වැඩ වර්ජන හා කාර්මික ක්‍රියා රැල්ලෙහි කොටසකි.

රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කරද්දී පවා, න්‍යෂ්ටික ව සන්නද්ධවූ බලයන් නිරත වන විනාශකාරී තුන්වැනි ලෝක යුද්ධයක අන්තරාය ගෙන එමින්, වොෂින්ටනය, චීනයට එරෙහි යුද්ධය සඳහා මිලිටරි සූදානම් තීව්‍ර කරමින් සිටී. එක්සත් ජනපදය හා ඉන්දියාව චීනයට එරෙහි ඔවුන්ගේ යුද ධාවනය තුලට වඩා සමීප ව ඒකාග්‍ර වන ලෙස කොලඹට පීඩනය යොදමින් සිටින අතරතුර, එම පියවරයන් ප්‍රතිතෝලනය කිරීමට සහ සිය ආනුභාවය ඉහල දමා ගැනීමට බෙයිජිනය උත්සාහ දරයි.

පලල් ව පැතිර ඇති මහජන විරෝධය, අන්ත මැතිවරන පරාජයක් ලෙස ප්‍රකාශයට පත් වෙතැයි බිය වන වික්‍රමසිංහ පාලනය, පලාත් පාලන මැතිවරනය කල් දැමීමට යලි යලිත් ප්‍රයත්න දරා ඇත. පලාත් පාලන මැතිවරන ප්‍රතිඵල ජාතික ආන්ඩුවට ඍජු ව තර්ජනය නො කල ද මැතිවරනයෙන් ලබන ඕනෑ ම පරාජයක් දේශපාලන අර්බුදය වැඩිදුර තීව්‍ර කරමින්, ජාමූඅ පියවරයන් තල්ලු කරගැනීමේ හැකියාවට වල කපනු ඇතැයි එය උත්සුක වෙයි. ඡන්දය නැවැත්වීමට අවසන් මිනිත්තුවේ දී දරන උත්සාහයන් නො තකා හැරිය නො හැක.

සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) යන ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ, පලාත් පාලන මැතිවරනයේ කවර හෝ කල් දැමීමකට විරුද්ධ වී ඇත. නව ජාතික ආන්ඩුවක් බිහිකිරීමට අපේක්ෂා කරමින් සිටින මෙම පක්ෂ දෙක, පලාත් පාලන මැතිවරනයෙන් ලබන ජයග්‍රහනයක්, මහ මැතිවරනයක් සඳහා තල්ලුව දෙනුවස් යොදාගැනීමට මාන බලති.

වික්‍රමසිංහ-ශ්‍රීලංපොපෙ ආන්ඩුවට එරෙහි ව වැඩෙන මහජන කෝපය ගසාකෑමට අපේක්ෂා කරන සජබ සහ ජවිපෙ/ජාජබ, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ගේ ආරක්ෂකයන් සහ මහජනයා මුහුන දෙන සමාජ ව්‍යසනයේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටිති. ඔවුන්ගේ රඟපෑම ව්‍යාජ ය. ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් හෝ ජාමූඅ නියෝග කරන එහි ක්‍රියා මාර්ගය සමග ඔවුන්ට මූලික වෙනස්කම් නැත. මෙම පක්ෂ විසින් බිහිකරනු ඇති ඕනෑ ම අනාගත ආන්ඩුවක්, වර්තමාන පාලන තන්ත්‍රය මෙන් ම රුදුරු වනු ඇති අතර, අනිවාර්යයෙන් පැන නගිනු ඇති මහජන විරෝධයට එරෙහි ව රාජ්‍ය මර්දනය මුදාහැරීමට එලෙසින් ම කටයුතු කරනු ඇත.

මීට කලින් ජාමූඅ වෙත ප්‍රවිෂ්ට නො වීම ගැන පැවති රාජපක්ෂ ආන්ඩුව විවේචනය කල සජබ, තමන් කෙරෙහි “ජාත්‍යන්තර ආධාරකරුවන්ට විශ්වාසයක් ඇත” යි පුරසාරම් දෙඩවී ය.

කොලඹ දේශපාලන සංස්ථාපිතයේ ප්‍රධාන පක්ෂ මහජනයා අතර දේශපාලනික ව අපකීර්තියට පත් ව තිබෙන කොන්දේසි යටතේ, ජවිපෙ/ජාජබ පාලක ප්‍රභූවට, මහ ව්‍යාපාරිකයට හා ඉහල මධ්‍යම පන්තියට ඉදිරිපත් කරන්නේ, ලංකාව තුල ධනේශ්වර පාලනය බේරාගත හැකි හොඳ ම වාහකය තමන් ලෙස ය. පසුගිය ඔක්තෝබරයේ දී, ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායක ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාවට කීවේ, තම පක්ෂය, ජාමූඅ හි පියවරයන්ගේ “වියදම මහජනයා විසින් දරා සිටීම” තහවුරු කල හැකි “ආදර්ශවත් කන්ඩායමක්” බව යි.

ආර්ථික අර්බුදය විසඳීමේ එක ම මාවත වසයෙන් ජාමූඅ වැඩසටහනට සහයෝගය දෙන අතර, අපකීර්තිමත් හා බෙදී ගිය දෙමල ධනේශ්වර පක්ෂ ද මහජනයා රැවටීමට උපාමාරු දමමින් සිටිති. දෙමල ජාතික සන්ධානය (දෙජාස) බෙදීගොස් ඇත. ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) නමැති එහි ප්‍රධාන පක්ෂය පලාත් පාලන මැතිවරනයට වෙන ම තරඟ කරයි. දෙමල ඊලාම් මහජන විමුක්ති සංවිධානය හා දෙමල ඊලාම් විමුක්ති සංවිධානය ඇතුලු එහි අනෙකුත් කොටස්කරුවන්, අයිටීඒකේ ය විසින් තමා කොන්කරන බවට චෝදනා කර ඇත.

දෙමල කතා කරන කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන්ගේ වියදමින් දෙමල ප්‍රභූවට විශේෂ වරප්‍රසාද තහවුරු කරගැනීම සඳහා, කොලඹ ආන්ඩුව සමග යම් ආකාරයක බලය බෙදාගැනීමේ සැලසුමක් සුරක්ෂිත කරගැනීමට මෙම සියලු පක්ෂ අපේක්ෂා කරයි. චීනයට එරෙහි එක්සත් ජනපද-ඉන්දීය යුද ධාවනයට ඔවුන් සියලු දෙනා සහයෝගය දෙන අතර, එසේ කිරීම මගින් ඔවුන් ඉලක්ක කරන්නේ බලය බෙදීමේ සැලසුමක් සඳහා කොලඹට පීඩනය යොදනුවස් වොෂින්ටනයේ සහයෝගය ලබාගැනීම යි.

පෙසප ඇතුලු විවිධාකාර ව්‍යාජ-වාම පක්ෂ, කම්කරු පන්තිය ප්‍රතිගාමී පාර්ලිමේන්තු රාමුව ඇතුලත කොටුකොට, එහි ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වැලැක්වීමේ දී ද්‍රෝහී භූමිකාවක් ඉටු කරමින් සිටිති. පලාත් පාලන ආයතන කිහිපයකට පෙසප අපේක්ෂකයන් ඉදිරිපත් කරයි. තමන් “සමාජවාදී”බවත්, ජාමූඅ වැඩසටහනට “විරුද්ධ” බවත්, එය ප්‍රෝඩාකාරී ලෙස කියාපායි.

මහජනයාට හිතකර ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තුවට හා ආන්ඩුවට පීඩනය දැමීම පිනිස, රටෙහි සෑම ප්‍රදේශයක ම ජන සභා සඳහා තමන් උද්ඝෝෂනය කරන බව පෙසප ප්‍රකාශ කරයි. මෙය වනාහි වැඩකරන ජනයා දේශපාලන සංස්ථාපිතයට ගැටගැසීමේ හා ධනපති පාලනයට විරුද්ධ ව කම්කරු පන්තියේ කවර හෝ ස්වාධීන ව්‍යාපාරයක් වැලැක්වීමේ තවත් උත්සාහයකි.

සිය මූලික සමාජ අවශ්‍යතා සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා සටන තමන්ගේ ම අතට ගැනීම සඳහා, මේ සියලු පක්ෂවලට විරුද්ධ ව, සෑම වැඩපොලක, කම්හලක, වත්තක, නිවහන් ප්‍රදේශයක හා ගම්බද ප්‍රදේශයක ම සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස සසප කම්කරුවන්ට හා ගම්බද පීඩිතයින්ට කැඳවුම් කරයි. මෙම ක්‍රියාකාරී කමිටු මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනය කරමින් සිටින්නේ, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ අරගලයට නායකත්වය දීම පිනිස ය.

එලඹෙන දිනවල දී, කම්කරු පන්තියට පක්ෂයේ ක්‍රියා මාර්ගය හා ඉදිරි දර්ශනය පැහැදිලි කරන මැතිවරන ප්‍රකාශයක් නිකුත් කරන සසප, අපේ පිලිවෙත් විස්තර කිරීම සඳහා ඔන්ලයින් හා ප්‍රාදේශීය රැස්වීම් පවත්වනු ඇත. අපේ උද්ඝෝෂනයට සහයෝගය දෙමින් එය හා එක් වන ලෙස අපි කම්කරුවන්, තරුනයන්, ගම්බද පීඩිතයින් හා ප්‍රගතිශීලී අදහස් දරන බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු.

රුපියල් ලක්ෂ 7ක මැතිවරන අරමුදල් දියත් කර ඇති සසප, එයට නො මසුරු සහෝගය ඉල්ලා සිටියි. අප සටන් කරමින් සිටින්නේ කම්කරු පන්තිය තුල අත්‍යවශ්‍ය විප්ලවවාදී නායකත්වය ස්ථාපිත කිරීමට වන අතර, එහි අර්ථය වන්නේ මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස සසප ගොඩනැගීම යි. අපේ ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය සමග එකඟ වන සියලු දෙනාගෙන් සසපට බැඳී මෙම දේශපාලන අරගලය ඉදිරියට ගෙන යන ලෙස අපි ඉල්ලා සිටිමු.

සසප අමතා අපේ උද්ඝෝෂනය සමග සම්බන්ධ වීමට හා එයට සහයෝගය දීමට:

ඊමේල්: wswscmb@sltnet.lk

දුරකථනය: +94773562327

ෆේස්බුක්: https://www.facebook.com/sep.lk

අපේ මැතිවරන අරමුදලට ආධාර කිරීම සඳහා මුදල් තැන්පත් කිරීමට:

ගිනුම් අංකය: 1472834301

ගිනුම් හිමියාගේ නම: සමාජවාදී සමානතා පක්ෂය, කොමර්ෂල් බැංකුව, කිරුලපන ශාඛාව

Loading