කොලඹ සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: ශ්‍රී ලංකා ආන්ඩුව විසින් රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය කිරීමට එරෙහි වනු! රැකියා සහ වැටුප් සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසින්, ජූලි 6 බ්‍රහස්පතින්දා සවස 4 ට, කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී 'ශ්‍රී ලංකා ආන්ඩුව විසින් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීමට එරෙහි වනු! රැකියා සහ වැටුප් සඳහා සටන් කිරීමට කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!' යන තේමාව යටතේ ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

cmb06j

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ශ්‍රී ලංකා ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉල්ලීම්වලට අනුකූලව, ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නයක් සඳහා පූර්ව කොන්දේසියක් ලෙස රාජ්‍ය ව්‍යවසාය (රාව්‍ය) 430 ක් 'ප්‍රතිසංස්කරන' කිරීමේ දැවැන්ත ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. මෙම ක්‍රියාවලිය යටතේ, ඇතැම් රව්‍යන් වසා දමනු ඇත; සමහර ආයතන ලංකාවේ සහ ජාත්‍යන්තර පෞද්ගලික ආයෝජකයින්ට විකුනා දමනු ඇත; සමහරක් ඒකාබද්ධ කරනු ඇති අතර ඉතිරි ආයතන 'ප්‍රතිව්‍යුහගත' කරනු ඇත.

ධනවාදයේ ගෝලීය අර්බුදයක කොටසක් වන රටේ ආර්ථික ව්‍යසනයේ සමස්ත බර කම්කරු පන්තිය හා ගම්බද දුගීන් මත පටවන අතරම විදේශ ආයෝජකයින් ආකර්ශනය කර ගැනීම, වික‍්‍රමසිංහගේ “ප්‍රතිසංස්කරනවල” අරමුන යි. මෙම වැඩසටහන දහස් ගනනක් රැකියා විනාශ කරමින් මෙම රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු කම්කරුවන් මිලියන භාගයකට වැඩි පිරිසකට බලපානු ඇත. ඉතිරිව සිටින අයට අඩු වැටුප්, අඩු විශ්‍රාම වැටුප්, තවත් නරක අතට හැරෙන තත්වයන් සහ වැඩ බර වැඩිවීමට මුහුන දීමට සිදුවනු ඇත. එපමනක් නොව, ජාමූඅ ක්‍රියාමාර්ග, සියලු භාන්ඩ හා සේවාවල මිල ඉහල දමමින්, දැනටමත් අධිඋද්ධමනය හා උග්‍ර හිඟය නිසා බැටකමින් සිටින වැඩකරන ජනතාව තවතවත් කාලකන්නිභාවයට තල්ලු කරනු ඇත.

ආන්ඩුවේ කප්පාදු ප්‍රහාරවලට එරෙහි කම්කරුවන්ගේ අරගල මාලාවක් පාවා දුන් වෘත්තීය සමිති, පසුගිය මාසයේ රාව්‍ය 'ප්‍රතිසංස්කරන' පියවර ප්‍රකාශයට පත් කල දා සිට මාරක නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යයි. වෘත්තීය සමිති ධනවාදය ආරක්ෂා කරයි, ජාමූඅ කප්පාදුවලට රහසිගතව හෝ ප්‍රසිද්ධියේ සහාය දක්වයි, පන්ති අරගලය පාලනය කිරීමට සහ මර්දනය කිරීමට ආන්ඩුවට සහ මහා ව්‍යාපාරිකයන්ට කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරයි.

පුද්ගලීකරනයට සහ ආන්ඩුවේ සියලුම සමාජ ප්‍රහාර වලට එරෙහි අරගලය තමන් අතට ගැනීම සඳහා සෑම වැඩපොලකම, කම්හලකම, වතුකරයේ සහ අසල්වැසි ප්‍රදේශයකම වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එම අරගලය ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම මත පදනම්ව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දක්වා වර්ධනය කල යුතුය.

සසප/සසජාතශි මහජන රැස්වීම ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තියට අවශ්‍ය සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය විස්තාරනය කරනු ඇත. කම්කරුවන්, තරුනයින්, ගම්බද දුගීන් සහ අපගේ සියලුම පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ රැස්වීමට පැමින මෙම වැදගත් සාකච්ඡාවට සහභාගී වන ලෙසයි.

දිනය සහ වේලාව: ජූලි 6, බ්‍රහස්පතින්දා, ප.ව. 4 ට

ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය.

කොවිඩ්-19 වසංගතය බැරෑරුම් ලෙස සලකමින් රැස්වීමේදී අවශ්‍ය සියලුම සෞඛ්‍ය සහ ආරක්‍ෂිත පියවර ගන්නා සසප, තමන්ගේ සහ අන් අයගේ ආරක්ෂාව සඳහා N95 මුහුනු ආවරන පැලඳ එන ලෙස සියලුම සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටියි.

Loading