ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ පැන නැගී ඇති අර්බුදය හේතුවෙන් කම්කරුවන් දසදහසකගේ රැකියා දැනටමත් අහිමි වී ඇති අතර ඉදිරියේදී තවත් රැකියා අහිමි වෙතැයි කර්මාන්ත හිමියන් සහ වෘත්තීය සමිති නායකයන් අනතුරු අඟවා ඇත. මේ අනුව, කම්කරුවන් මෙන්ම ඔවුන්ගෙන් යැපෙන පවුල් ඇතුලු තවත් ලක්ෂ ගනනක් දරිද්‍රතාවයට ඇද වැටීමට නියමිතය.
පසුගිය වසරේ රටේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 46 ක්, එනම් ඇමරිකානු ඩොලර් බිලියන 5.93 ක්, ආදායම් ඉපයූ ඇඟලුම් කර්මාන්තය මේ වන විට පසු බැසීමකට ලක්වී ඇත. මැයි 22 දා ඩේලි එෆ්ටී පුවත්පත වාර්තා කලේ, පසුගිය වසරේ අප්‍රේල් මසට සාපේක්ෂව මෙම අප්‍රේල් මස අපනයන ආදායම සියයට 24 කින් ද, පසුගිය වසරේ මුල් මාස හතරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හතර තුල ආදායම සියයට 17 කින් ද පහත වැටී ඇති බවයි.
නැටෝ බලයන් විසින් යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය මෙම අර්බූදයට ඝෘජුවම බලපා ඇතිබව, යුද්ධයට මැදිහත්ව සිටින එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වෙත ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන සැලකියයුතු ප්‍රමානයකින් පහත වැටීම මගින් තහවුරු වෙයි. පසුගිය වසරේ මුල් මාස හතරට සාපේක්ෂව මෙම මාස හතර තුල, එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වෙත අපනයන අනුපිලිවෙලින් සියයට 22.67 කින්, සියයට 16.7 කින් සහ සියයට 14.3 කින් පහල වැටී ඇත.
රැකියා සහ වැටුප් කප්පාදු මධ්‍යයේ දැවැන්ත උද්ධමනයකට මුහුන දී සිටින මහජනතාවගේ ක්‍රය ශක්තිය අඩුවී වෙලඳපොල හැකිලීයාම ඇඟලුම් අපනයනවල පහල වැටීමෙන් ප්‍රකාශයට පත්වේ. කලින් වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස දෙක තුල එක්සත් ජනපදයට කෙරී ඇති ඇඟලුම් අපනයනය සියයට 13 කින් අඩු වී ඇති බව fibre2fashion.com වෙබ් අඩවිය වාර්තා කරයි.
fashionatingworld.com වෙබ් අඩවියට අනුව යුරෝපා සංගමය තුල මෙම අගය සියයට 2 ක් වන අතර, එක්සත් රාජධානිය තුලට කෙරෙන අපනයනය පසුගිය පෙබරවාරියට සාපේක්ෂව මෙම පෙබරවාරි මස සියයට 11.5 කින් පහත වැටුනු බව fibre2fashion.com වෙබ් අඩවිය වාර්තා කරයි.
අධි-උද්ධමනය හේතුවෙන් රටේ භාන්ඩ මිල ඉහල යාම ඇඟලුම් නිෂ්පාදන මිල ඉහල යාමට තුඩු දී ඇති බවත් එම නිසා වෙලඳපල තරඟය ජය ගැනීම පිනිස නිෂ්පාදන මිල තවදුරටත් අඩු කල යුතු බවට ඇඟලුම් කර්මාන්ත වෙනුවෙන් පෙනී සිටින විශ්ලේෂකයෝ ආන්ඩුවට යෝජනා කරති.
එවැනි විශ්ලේෂකයින් උපුටා දක්වමින් ඩේලිඑෆ්ටී සඳහන් කරන්නේ, ලංකාවේ ඇඟලුම් මිල සමග සැසඳූ කල 'බංග්ලාදේශය, ඊජිප්තුව සහ අප්‍රිකානු රටවල' මිල ඉතා අඩු බැවින්, ජාත්‍යන්තර වෙලඳපොලේ තරගකොට වඩවඩාත් ඇනවුම් ලබා ගැනීමටනම් නිෂ්පාදන මිල පහත හෙලියයුතු බවයි.
මෙය තහවුරු කරමින් ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රධානි යොහාන් ලෝරන්ස් මැයි 15 දා, ද අයිලන්ඩ් පුවත්පතට කියා සිටියේ ලංකාවට හිමි තම වෙලඳපල පංගුව අසල්වැසි බංග්ලාදේශයට යන බවයි. 2021 සිට 2022 දක්වා ලංකාවේ අපනයනය සියයට 10 කින් පමනක් වර්ධනය වූ නමුත් බංග්ලාදේශය සියයට 28 ක වර්ධනයක් අත්කරගෙන ඇතිබව ඔහු පැවසීය. ඒ පිලිබඳ තම කනස්සල්ල පලකල ඔහු, “මෙම තත්වය [ආන්ඩුව] භීතියට පත් නොකරන්නේනම් වෙන කුමකින් එසේ [භීතිය] වනු ඇත්දැයි මට නොතේරේ“ යැයි කීවේය.
මොවුන් ආන්ඩුවට යෝජනා කරන්නේ, දැනටමත් දරිද්‍ර වැටුප් මට්ටම්වල සිටින කම්කරුවන් ගේ වැටුප් තවතවත් කප්පාදු කරමින් බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවන් ගේ මාසික වැටුප වන ඩොලර් 75-80 දක්වා ලංකාවේ ද වැටුප් කප්පාදු කරන ලෙසයි. දැඩි සූරාකෑමකට ලක්වන බංග්ලාදේශ කම්කරුවෝ තම වැටුප ඩොලර් 75-80 සිට ඩොලර් 200-215 දක්වා වැඩි කර ගැනිමට සටන් කලද ආන්ඩුව සහ කම්හල් හිමියන්, වෘත්තීය සමිතිවල ආධාරයෙන් මෙය වලකා ඇත.
බංග්ලාදේශයේ අපනයන වර්ධනය ගැන ලෝරන්ස් කෙසේ පැවසුවත්, ලෝක වෙලඳපලේ ඇඟලුම් සඳහා පවතින ඉල්ලුම අඩුවීම එරටටද බලපා ඇත. පසුගිය වසරට සාපේක්ෂව මාර්තු සහ අප්‍රේල් මාසවල එරට අපනයන ආදායම් අනුපිලිවෙලින් සියයට 2.49 කින් සහ සියයට 16.52 කින් අඩු වූ බව මැයි 3 දා නිව් ඒජ් පුවත්පත වාර්තා කලේය.
එමනිසා බංග්ලාදේශයේ ද ඇඟලුම් ඇතුලු බොහෝ ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ රැකියා අනතුරේ පවතී. පෙබරවාරී 9 දා බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පතේ වාර්තාවකට අනුව ඩකා අගනුවර ආසන්නයේ පිහිටා ඇති අෂුයිලා සහ ගසිපූර්හි ඇඟලුම් කම්හල් හතරකින් කම්කරුවන් 2,700 ක් ජනවාරි මස තුල නෙරපා ඇති අතර මාර්තු වන විට තවත් 8,000 ක් ඉවත් කිරීමට සැලසුම් කෙරෙමින් පවතී.
කෝවිඩ්-19 වසංගතය ආරම්භවනවිට ලංකාවේ ඇඟලුම් කම්කරුවන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් සිටි අතර ඉන් සියයට 80 ක් කාන්තාවෝ වූහ. වසංගතය හේතුවෙන් 150,000කට පමන රැකියා අහිමි වී ඇති බව නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේසේස) ලේකම් ඇන්ටන් මාකස් සඳහන් කරයි. පසුවද තවත් 50,000 කට රැකියා අහිමි වී ඇති බව ඔහු පවසයි.
එක් අතකින් කම්හල් හිමියන් ද, අනෙක් පසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල හරහා ආන්ඩුව ද, ඔවුන් මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර තම උරමත පැටවීම හේතුවෙන්, ජීවන තත්වයන් කාබාසීනියා වී ඇත්තේ කෙසේදැයි කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් කන්ඩායමකට පැහැදිලි කලහ.
කටුනායක කලාපයේ මාස් ෂැඩෝලයින් කම්හලේ තරුන කම්කරුවකු ඇනවුම් අඩුවීම ගැනත් තම වැටුප් කප්පාදුවීම ගැනත් මෙසේ පැහැදිලි කලේය.
“දැනට මාස හයක සිට ඕඩර් අඩු නිසා වැඩ අඩුයි. සෙනසුරාදා, ඉරිදා වැඩ නැහැ. උදේ 7.30 සිට හවස 5.30 වෙනකම් වැඩ. අතිකාල නැහැ. ඉන්සෙන්ටිව් (දිරිගැන්වීමේ දීමනා) නැහැ. මගේ මූලික වැටුප රුපියල් 35,000 යි. පැමිනීමේ දීමනාව රුපියල් 2,000 යි. අර්ථසාධකයට කැපුනට පස්සෙ ලැබෙන්නෙ රුපියල් 34,000 ක් විතරයි. කෑම සහ නිවාස කුලි ගෙව්වට පස්සෙ ඉතිරි වෙන්නෙ නැහැ. කලින් මට රුපියල් 55,000-60,000 ක් මාසෙකට ලැබුනා. මුලදී කම්හලේ 2,000 ක් විතර හිටිය. දැන් ඉන්නෙ 1,500 ක් විතර. පසුගිය කාලෙ සමහර අය අයින් වෙලා ගියා. සමහරු ඩුබායි වගේ රටවලට යනවා.”
ලංකාවේ ඇනවුම් අඩුවීම, ලෝක ආර්ථික අර්බූදයට, විශේෂයෙන්ම ඇමරිකාවේ අර්බූදයට ඇති සබඳතාවය ගැන පැහැදිලි කල විට ඔහු මෙසේ කීවේය: “ඇයි මේවා ගැන [ඇමරිකානු අරබූදය] නිව්ස් දෙන්නෙ නැත්තේ, ඇමරිකාවේ නය අර්බූදය ගැන දැනගෙන හිටියෙ නැහැ. එහෙ එහෙමනම් ලංකා ආන්ඩුව ගැන හිතන්න දෙයක් නැහැ. ලෝක වෙලඳපලේ ඕඩර් අඩුවෙලා කියල මම පිලිගන්නවා.“
වසර 17 ක් කටුනායක කලාපයේ සේවය කිරීමෙන් අනතුරුව දැන් නෙක්ස්ට් මැනුෆැක්චරින් ඇඟලුම් කම්හලේ රැකියාවේ නියුතු එක් දරු කම්කරුවකු නයබර ඇතුලු ආර්ථික ප්‍රශ්න ගැන කතා කලේය.
“දැනට මාස හයක ඉඳල ඕවර්ටයිම් නැහැ. ඕඩර් අඩුවෙලා ඇති. මාස පහක් හයක් ඇතුලත සේවකයෝ 100 ක් විතර අයින් වෙලා ඉන්නවා. දැන් වැඩ අඩුයි. ඉරිදා, සෙනසුරාදා, පෝය දිනවල වැඩ නැහැ. කම්හලේ මුලදී 2,000 ක් විතර හිටියා, දැන් 1,500 ක් විතරයි ඉන්නෙ. සමහර අය ගෙදර ගියාම ඇවිල්ල නැහැ.'
බැංකුවකින් ගත් නිවාස නයෙහි වාරික මාස අටක් පුරා ගෙවීමට නොහැකිව සිටින ඔහු බැංකුවෙන් නඩු පැවරෙතැයි යන බියෙන් පසුවෙයි. “මගේ වැටුප දැන් ලැබෙන්නෙ රුපියල් 20,000-30,000 ක් අතර. ජීවත් වෙන්න අමාරුයි. මම ප්‍රශ්න ගොඩක ඉන්නෙ. මගේ ත්‍රීවීලර් එකත් විකුනුවා. අනෙක් කම්හල්වලත් වැඩ අඩුයි. ආරංචියක් තියෙනවා බංග්ලාදේශය වගේ තැන්වලට කම්හල් ගෙනියන්න යනව කියල.“
ස්මාට් ෂර්ට් ඇඟලුම් කම්හල් ජාලයට අයත් කොටදෙනියාවේ කම්හල 'තාවකාලිකව' යැයි කියමින් වසා දැමීමෙන් පසු එහි සේවකයින් තුන්සිය ගනනක් තස කම්හලට අනුයුක්ත කල බව කටුනායක ස්මාට් ෂර්ට් ඇඟලුම් කම්හලේ කම්කරුවෙකු පැවසුවේය.
කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදු වී ඔවුනගේ ජීවන තත්ත්වයන් විනාහ වී ඇති නමුත්, ඇඟලුම් කර්මාන්තයේ අපනයන ආදායම් දැවැන්ත පරිමානයෙන් ඉහල නැග ඇත, දෙසැම්බර් 20 වැනිදා ඩේලි එෆ්ටී පුවත්පතේ වාර්තාවකට අනුව, 2022 වසරේ පලමු මාස 11 තුල ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5.14 ක් වූ අතර, එය එදාමෙදා තුර වාර්තාවූ ඉහලම අගය වේ. මෙය 2021 වසරේ මෙම කාලයට සංසදානාත්මකව සියයට 12.3 ක වර්ධනයකි. තවද, මෙය වසංගතයට පෙරාතු 2019 වසරේ ආදායම වූ ඇඩො 4.84 ද ඉක්මවා යාමකි.
හාම්පුතුන්ට මෙම දැවැන්ත ලාභ අත්කර දීමට වෘත්තීය සමිති ඉටුකල භූමිකාව ගැන මාකස්ගේ වචනවලින්ම පැහැදිලිය. වසංගතයෙන් තීව්‍ර කෙරුන ගෝලීය අර්බුදය හමුවේ “වැටුප් වැඩිවීම් ඉල්ලා නොසිටීමට වෘත්තීය සමිති වගබලා ගත්“ බව 2021 ඔක්තෝබර් 19 වෙනිදා වෘත්තීය සමිති විසින් පවත්වනු ලැබූ ඔන්ලයින් රැස්වීමක දී ඇන්ටනි මාකස් සඳහන් කලේ ය. “ඒ අවස්ථාවේදී අපි හැමෝටම පාර්ශ්වකරුවන් හැටියට සේවා නියෝජිත පක්ෂයටවත්, ආන්ඩුවටවත්, වෘත්තීය සමිතිවලටවත්, තනිවම මුහුන දෙන්න බැරි අභියෝගයක් හැටියට අපි එය හඳුනගෙන හිටියෙ“ යැයි ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා අහිමිවීම දිගින් දිගටම වාර්තා වෙමින් පවතී. පසුගිය කාලයේ කොග්ගල නිදහස් වෙලඳ කලාපය ඇතුලු වෙනත් තැන්වල පිහිටි එස්කුවෙල්, අවුරා සහ ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්හල් වසා දැමීමෙන් කම්කරුවන් 7,500 කට පමන රැකියා අහිමි වූ අතර, මැයිමස මීපේ හයිඩ්‍රාමනි ඇඟලුම් කම්හල වසා දැමීමෙන් 1000 කට අධික කම්කරුවන්ට රැකියා අහිමි විය.
මෙම තත්වය මගින් පැනනැගී ඇති පීඩනය හේතුවෙන් ඇඟලුම් කම්කරුවන් අතර සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවය වැඩෙමින් පවතී. මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක මාර්තු මස මැදදී මාධ්‍යවලට පැවසුවේ පසුගිය වසරේදී ආර්ථික අවපීඩනය හේතුවෙන් ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සිය දිවි නසාගැනීම්වල වැඩිවීමක් සිදුව ඇති බවයි.