සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ රැස්වීම: පුද්ගලීකරනයට ඉඩ සලසන ගෙවන වාට්ටු ක්‍රමයට විරුද්ධවෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීම සඳහා සෞඛ්‍ය සේවක සහ මහජන ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

මෙහි පලවන්නේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව විසින් නිකුත් කෙරුනු පත්‍රිකාවකි

***

සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව, 'පුද්ගලීකරනයට ඉඩසලසන ගෙවන වාට්ටු ක්‍රමයට විරුද්ධ වෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීමේ අරගලයක් සංවිධානය කිරීම සඳහා සෞඛ්‍ය සේවක සහ මහජන ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු! යන තේමාව යටතේ ජුනි 24 වෙනිදා දහවල් 12.30 සිට 2.30 දක්වා මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය සංගම් ශාලාවේ දී රැස්වීමක් සංවිධානය කර ඇත.

ප්‍රිය සහෝදරය, සහෝදරිය;

රජයේ රෝහල් තුල මුදල් අයකර ප්‍රතිකාර කිරීමේ ගෙවන වාට්ටු ක්‍රමයක් ආරම්භ කිරීමට ආන්ඩුව තීන්දු කර ඇති බව ඔබ දැනටමත් දන්නෙහිය. ආන්ඩුවේ මෙම සැලස්ම නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය ඇතුලු කම්කරු පන්තියේ අරගල තුලින් දිනාගනු ලැබ සීමිතව හෝ මෙතෙක් පැවති මහජන සුබසාධන සේවාවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයන් යටතේ පුද්ගලිකරනය කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි.

එය, දැනටමත් බරපතල ලෙස කඩාවැටී ඇති නිදහස් සෞඛ්‍ය සේවය වලපල්ලට යවමින් සෞඛ්‍ය සේවය මුලුමනින් ම පුද්ගලීකරනය කිරීමේ සහ දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා ලාභගරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ පලමු පියවර වනු ඇත.

රෝහල් තුල අතවශ්‍ය ඖෂධ නැත. වෛද්‍යවරුන්, හෙද සේවකයන්, උපස්ථායකයන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ බරපතල හිඟයක් පවතී. ප්‍රමානවත් තරම් වෛද්‍ය උපකරන නොමැත. මහනුවර රෝහලේ හෘද රෝග අංශයේ කැතීටර යන්ත්‍ර දෙකෙන් එකක් මුලුමනින් ම අක්‍රිය වී ඇති අතර අනෙකද කෙටි කලක දී අක්‍රියවීමට ඉඩ තිබෙන බව තාක්ෂනවේදීහු කියති. මේ හේතුකොටගෙන මහනුවර ජාතික රෝහලේ පමනක් හෘද රෝගීන් 8024 ක් පොරොත්තු ලැයිස්තුවේ සිටිති. ප්‍රධාන රෝහල් කිහිපයකම ස්කෑන් යන්ත්‍ර අබලන් වී තිබේ. බොහෝ වෛද්‍ය පරීක්ෂන අධික මිලක් ගෙවා පුද්ගලික රසායනාගාර වලින් කර ගැනීමට හා ඖෂධ පිටතින් මිල දී ගැනීමට රෝගීන්ට බල කෙරී ඇත. කෝවිඩ්-19 සහ ඩෙංගු වැනි වසංගත රෝග පාලනය හා ප්‍රතිකාර සඳහා වූ ප්‍රමානවත් පහසුකම් නැති කමින් මහජනතාවගේ මෙන් ම සෞඛ්‍ය සේවකයන් ගේ ද ජීවිත අනතුරේය.

ඖෂධ, වෛද්‍ය උපකරන සහ කාර්ය මන්ඩල හිඟය හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස නොකෙරෙන තතුතුල එය සෞඛ්‍ය කාර්ය මන්ඩලය හා රෝගීන් අතර අනවශ්‍ය ගැටුම් නිර්මානය වීම ට ද තුඩු දී තිබේ.

බලයට පත් ධනපති ආන්ඩු විසින් සෞඛ්‍ය සේවය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වඩ වඩා කප්පාදු කෙරුනු අතර, දැන් ධනවාදයේ ගෝලීය අර්බුදය තුල ලංකාවේ ගැඹුරු වන්නා වූ අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත ජනයා මතට හෙලීමේ කොටසක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි කර දැමීමට වත්මන් ආන්ඩුව ක්‍රියා කරමින් සිටී.

එහෙත් වෘත්තීය සමිති ඊට එරෙහිව කිසිදු අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර ඇත. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිස) හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නායකයන් විවෘතව ම ආන්ඩුවේ පන්දම්කාරයන් ලෙස ක්‍රියාත්මක වෙති. ජනාධිපති වික්‍රමසිංහ විසින් වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කර සිටින රහෙනිස සභාපති සමන් රත්නප්‍රිය සෞඛ්‍ය සේවයේ පමනක් නොව මුලුමහත් කම්කරු පන්තියේ ම අයිතීන් තලා දැමීමට සහ ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට සහයෝගය දෙන්නෙකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන සමස්ත ලංකා සුව සේවක සංගමය, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙය වනු ලබන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුලු සෙසු සමිති ආන්ඩුව ගැන ඇල්මැරුන විවේචනවලට පමනක් සීමා වී සිටිති. ජාමුඅ කප්පාදු වැඩපිලිවෙලට වෘත්තීය සමිති කිසිවක් විරුද්ධ නැත. එපමනක් නොවේ, ඇතැම් සමිති ගෙවන වාට්ටු ඇතිකිරීමෙන් අපේ වැටුප් වැඩිවීමක් සහ ගෙවන වාට්ටුවලින් ලැබෙන ආදායමෙන් සෙසු රෝගීන්ගේ පහසුකම් වැඩි දියුනු කලහැකියයි මිත්‍යාවන් වපුරති.

අධ්‍යාපනය මෙන් ම සෞඛ්‍ය සේවය ද මහජන අයිතියක් මිස ලාභ ගරන ව්‍යාපාර නොවේ. ගෙවෙන වාට්ටු ඇති කිරීමෙන් පසු සිදුවනු ඇත්තේ සෙසු රෝගීන්ට දැනට තිබෙන සීමිත පහසුකම් පවා ගෙවන වාට්ටු වලට යොමු කිරීමයි.

ජාමුආ කප්පාදු වැඩපිලිවෙල යටතේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශ ප්‍රතිව්‍යුහගත කිරීම තුලින් එම සේවකයන්ගේ රැකියා, වැටුප් කප්පාදු කිරීම සහ රුදුරු සේවා කොන්දේසි පැටවීමේ තර්ජනයට ලක් වී ඇතුවාක් මෙන් ම අපගේ ද රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදු කෙරෙමින් ඇත. අධික වැඩ බර දැනටමත් අපට දැරිය නොහැකි මට්ටමක පවතී. අතිකාල ගෙවීම් සීමා කිරීම සහ උපයන විට බද්ද හරහා වැටුප් කප්පාදුවක් සිදුකෙරී ඇති බව ඔබ දන්නෙහිය.

එසේ වුව ද වැටුප් කප්පාදුවට සහ උපයන විට බද්දට එරෙහි ව මෑත දී පැනනැගුන සෞඛ්‍ය සේවකයන් ගේ අරගල වෘත්තීය සමිති විසින් හැකිතරම් සීමාකොට පාවාදුන්හ.

මෙම අත්දැකීම් මගින් අපට මුනගස්වා ඇති පාඩම වන්නේ සෞඛ්‍ය සේවකයන් ගේ ද, පොදුවේ කම්කරු පන්තියේ ද සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෘත්තීය සමිති නිලධරය හරහා ආරක්ෂා කර ගත නොහැකි බව යි. ධනපති රාජ්‍යයේ හා හාම්පුතුන්ගේ උවමනාකම් ආරක්ෂා කරන කම්කරුවන්ට එරෙහිව කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මකව වන වෘත්තීය සමිති වෙනුවට වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීන ව අපගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් තෝරාපත් කරගනු ලබන බිම් මට්ටමේ සංවිධාන අපට අවශ්‍ය ය.

අපගේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව ඒ සඳහා වූ විකල්ප සංවිධානයකි. එය සෞඛ්‍ය සේවකයන්ගේ සහ මහජනයාගේ ක්‍රියාකාරී කමිටුවක් ලෙස පුලුල් කිරීමට සහ එවන් කමිටු සියලු රෝහල්, සෙසු සෞඛ්‍ය ආයතන සහ නිවහන් ප්‍රදේශවල මහජනයා අතර ගොඩ නැගීමට අප හා එක් වන ලෙස ද ජුනි 24 වෙනිදා රැස්වීමට සහභාගී වන ලෙස ද අපි ඔබට ආරාධනය කරමු. රැස්වීම සමාජ මාධ්‍ය තුලින් සජීවීව විකාශනය කිරීමට ද අපි අපේක්ෂා කරමු.

Loading