“කම්කරු නීති ප්‍රතිසංස්කරනය” ගැන සාකච්ඡා කිරීමට ආන්ඩුව කල ආරාධනය සසප ප්‍රතික්ෂේප කරයි

(මෙය SEP rejects Sri Lankan government invitation to discuss “labour law reform” මැයෙන් 2023 ජුනි 9දා සසප පල කල ප්‍රකාශයේ පරිවර්තනය යි.)

කම්කරු නීති ප්‍රතිසංස්කරන සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් සහ ඒ සඳහා සාකච්ඡාවට සහභාගි වීමට ආරාධනා කරමින්, කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර එවූ ලිපියක් මැයි 26 දින සමාජවාදී සමානතා පක්ෂය (සසප) වෙත ලැබුනි.

2023 පෙබරවාරි 8දා කොලඹ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බදු ප්‍රතිපත්තියට රාජ්‍ය අංශ කම්කරුවෝ විරෝධය පලකරති. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

නව කම්කරු නීති සකස් කිරීමේ දී, “සියලු පාර්ශවයන්ගේ අදහස් විමසීමේ” කඩතුරාව යටතේ, ඒ හා සමාන ලිපියක් අනෙකුත් සියලු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ අනෙකුත් සිවිල් සංවිධාන කිහිපයකට යැවීමට නානායක්කාර කටයුතු කලේ ය. කම්කරු ඇමතිවරයා, හාම්පුතුන් හා වෘත්තීය සමිති යන පාර්ශව තුනින් සැදුම් ලත් කෝපරේට්වාදී මන්ඩලයක් වන ජාතික කම්කරු උපදේශක සභාවට ජූලි 9දා නව පනත ඉදිරිපත් කිරීමට නියමිත ය.

පහත ප්‍රකාශය කරමින් සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර පක්ෂය වෙනුවෙන් පිලිතුරු දුන්නේ ය:

“ඔබගේ ආන්ඩුවට කම්කරු නීති ප්‍රතිසංස්කරන සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිලිබඳ ව ඔබ සාකච්ඡාවට සහභාගි වන ලෙසත්, ඔබ කල ආරාධනය සසප ප්‍රතික්ෂේප කරයි. ජනගහනයේ අතිමහත් බහුතරය වන කම්කරු පන්තිය නියෝජනය කරන හා එහි අවශ්‍යතා සඳහා ක්‍රියා කරන අපේ පක්ෂය, ඔබගේ ආන්ඩුව සමග කිසිදු කරුනක් සම්බන්ධයෙන් ඒකාබද්ධ නො වන අතර, එහි කිසිදු කටයුත්තක කොටස්කරුවෙකු වන්නේ ද නැත. කම්කරුවන් සතුව පවත්නා අයිතීන් සීමිත වුව ද ඒවා කටුගා දැමීමට ද අපි විරුද්ධ වන්නෙමු.

“ඔබේ ලිපිය නරුම හා වංක අභ්‍යාසයකි. ‘හාම්පුතුන් හා සේවකයන් ආරක්ෂා කිරීමට සහ රැකවරන සැලසීමට’ රටෙහි පවතින කම්කරු නීති වෙනස් කිරීමට සූදානම් යයි ඔබ කරන කියාපෑම්වලට විපරීත ව, ඔබ විසින් ගෙන එනු ඇති නව කම්කරු නීති සේවකයන්ට විරුද්ධ ව හාම්පුතුන් ආරක්ෂා කරනු ඇත. ඔබේ ආන්ඩුවට අවශ්‍ය වන්නේ, දේශීය හා විදේශීය ආයෝජකයන් විසින් අබාධිත ව කම්කරුවන් සූරාකෑමට අවශ්‍ය නීති ස්ථාපිත කිරීම යි.”

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප, පවතින කම්කරු නීති කටුගා දැමීම සඳහා දක්ෂිනාංශික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලනය ගන්නා කිසිදු පියවරකට සහභාගි වන්නේ නැත. ඒ අතින් ගත් කල, මෙම පාලනයේ හෝ කිසිදු ධනපති ආන්ඩුවක කිසිදු පියවරයක් සමග සසප ඒකාබද්ධ වන්නේ නැත. අපේ පක්ෂය සටන් කරමින් සිටින්නේ, වෛරයට පාත්‍ර මෙම පාලනය පෙරලා දමනුවස් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට යි.

නව කම්කරු නීති ගෙන ඒමේ දී ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසයක නිරත වන බවට ආන්ඩුව කරන මවාපෑම අමු බේගලයකි. එහි අරමුන වන්නේ, අනෙකුත් ධනපති පක්ෂ, ඒවායේ අන්තේවාසියකන් හා වෘත්තීය සමිතිවල සහයෝගය රැලි කරගැනීම යි. සංස්ථාපිත මාධ්‍යවලට අනුව, විශේෂයෙන් ම වෘත්තීය සමිති ඇතුලු සමහර සංවිධාන දැනට මත් කම්කරු අමාත්‍යාංශයට ඔවුන්ගේ යෝජනා යවා ඇති අතර, අනෙකුත් අය ඔවුන්ගේ යෝජනා සකස් කරමින් සිටිති.

“වැඩ ලෝකය තුල ඉස්මතු වෙමින් පවතින වෙනස්කම්වලට ආමන්ත්‍රනය කරනුවස්, සදාකාලික ව වෙනස් වන පරිසරයක් තුල අපේ කම්කරු නීති විමර්ශනය කිරීම හා යථාවත් කිරීම අත්‍යවශ්‍ය” බව ඇමතිවරයාගේ ලිපිය සඳහන් කරන්නේ, “හාම්පුතුන් හා සේවකයන් ආරක්ෂා කරමින් රැකවරන සැලසීම” සඳහා වන හදිසි භාවය “කෝවිඩ්-19 වසංගතය හා පසුකාලීන ආර්ථික අර්බුදය මගින් තීව්‍ර කර ඇතැ” යි තව දුරටත් කියමිනි.

“සදාකාලික ව වෙනස් වන පරිසරයක්” යන්නෙන් ඇමතිවරයා අදහස් කරන්නේ, ගැඹුරු වන ලෝක ධනවාදී අර්බුදයක ඒකාග්‍ර කොටසක් වන ලංකාවේ පෙර නුවූ විරූ ආර්ථික අර්බුදය යි. මේ සන්දර්භය තුල, “වැඩ ලෝකය තුල ඉස්මතු වෙමින් පවතින වෙනස්කම්” ගැන සඳහනට ගත හැකි එක ම අර්ථය වන්නේ, උපරිම ලාභ උකහාගනුවස් තමන්ගේ මනාපය පරිදි වැඩට ගැනීම හා දොට්ට දැමීම, වැටුප් කප්පාදු හා ම්ලේච්ඡ වැඩ කොන්දේසි පැනවීම සඳහා සංගත හා පරපුටු ජාත්‍යන්තර ප්‍රාග්ධනය “නම්‍යශීලී ශ්‍රම වෙලඳපොලක්” සඳහා ඉදිරියට දමන විධානයන් ඉටු කිරීමකි.

“සේවකයන්ට සාධාරන ව හා සමාන ව සැලකීමට” සහ “හාම්පුතා හා සේවකයා අතර සුසංවාදී සම්බන්ධතාවක්” තහවුරු කිරීමට කම්කරු නීති වෙනස් කිරීම් අවශ්‍ය බව ඔහුගේ ලිපිය කියයි. එහෙත්, ධනවාදය යටතේ, ලාභයේ රූපයෙන් කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම උකහා ගැනීම මත නිෂ්පාදනය හා බෙදාහැරීම රඳා පවතින තතු තුල, මේ කිසිවක් කල නො හැක.

සුවිශේෂී ලෙස, රටෙහි කම්කරු නීතියට යෝජිත වෙනස්කම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විධානය කරන කප්පාදු වැඩසටහනෙහි කොටසකි. පුද්ගලික සංගතවල “තරඟකාරීත්වය” වර්ධනය කරනුවස්, ශ්‍රම “නම්‍යශීලීත්වය” තහවුරු කරන ලෙස සහ “විදේශීය හා දේශීය සංගත අතර වඩා හොඳ සබඳතා වර්ධනයට උදවු කරන” ලෙස, 2023 මාර්තු මාසයේ නිකුත් කල ජාමූඅ හි ලංකාව පිලිබඳ වාර්තාව ආන්ඩුවට කියා සිටියේ ය.

මුදල් ඇමතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නොවැම්බරයේ දී 2023 සඳහා ඔහුගේ අයවැය ඉදිරිපත් කරමින්, මෙසේ ප්‍රකාශ කලේ ය: “අපනයන-දිශානත ආර්ථිකයක් සඳහා සහ ශ්‍රමය නියාමනය කිරීමේ විස්තීර්න නීතියක් ගෙනඒම සඳහා කම්කරු නීති ප්‍රතිසංස්කරනය කිරීම අවශ්‍ය යි.”

දශක කිහිපයක් තිස්සේ, පවතින කම්කරු නීති වෙනස් කරන ලෙස ඉල්ලා ඇති ජාමූඅ, ලෝක බැංකුව හා ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්, රටෙහි ගැඹුරු ආර්ථික අර්බුදය මධ්‍යයේ එම වෙනස්කම් තල්ලු කරගැනීමට අධිෂ්ඨානවත් ය. ලංකාවේ කම්කරු නීතියේ සමහර දෑ, 1948 දී අවසන් වූ බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් උරුම වන අතර, අනෙකුත් නීති දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදයේ දී බලාත්මක කරන ලදී.

1941 වැටුප් මන්ඩල ආඥාපනත, 1942 කම්හල් ආඥාපනත, 1954 සාප්පු හා කාර්යාල සේවක පනත, පාරිතෝෂික පනත හා මාතෘ ප්‍රතිලාභ ආඥාපනත සහ 1971 සේවය අවසන් කිරීමේ පනත ඇතුලු නීති 28ක් විස්ථාපනය කරමින් එක් නීතියක් හඳුන්වා දීමට ආන්ඩුව යෝජනා කරමින් සිටී. පවතින කම්කරු නීති තුල රැකියා සුරක්ෂිතතාව, දවස් 180ක වැඩ සම්පූර්න කිරීමෙන් පසු රැකියා ස්ථීර කිරීම, වැටුප් සහිත නිවාඩු හා සමහර වෛද්‍යාරක්ෂන සහ සේවය අවසන් කිරීමේ දී සීමිත වන්දි ගෙවීම වැනි කම්කරුවන් අරගල හරහා දිනාගත් වැදගත් අයිතීන් පවතී.

ආන්ඩුවට හා හාම්පුතුන්ට දැන් මෙම නීති අහෝසි කිරීමත්, ධනපති ලාභ අවශ්‍යතාවන්ට කම්කරුවන් යටත් කිරීමත් අවශ්‍ය කරයි. ඇමතිවරයා, හාම්පුතුන්ගේ සංවිධාන, හාම්පුතුන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැනි අනෙකුත් සමහර සංවිධානවල සහභාගීත්වයෙන්, මැයි 17දා කම්කරු නීති ප්‍රතිසංස්කරන උපදේශක රැස්වීමක් පැවැත්වුනි.

එම රැස්වීමේ දී හාම්පුත්තු මෙසේ ඉල්ලා සිටිය හ: “තාක්ෂනික අභිවර්ධනයන්, ප්‍රතිව්‍යුහගත කිරීම් හෝ ව්‍යාපාරික ගිවිසගැනීම් හේතුවෙන් රැකියාවක තත්ත්වය අනවශ්‍ය වන්නේ නම්, රහසිගත තොරතුරු හෙලිදරවු කිරීම හෝ ව්‍යාපාරයේ අවශ්‍යතාවන් සමග ගැටෙන කටයුත්තක නිරතවීම ආදියෙන් කොන්ත්‍රාත්තු උල්ලංඝනය කරන්නේනම් හෝ දුර්වල කාර්ය දර්ශනය හා විනය හේතු නිසා සේවකයෙකුගේ සේවාව අවසන් කිරීමට හාම්පුතාට හැකි විය යුතු ය.” ඉහල දමනු ලබන වැඩ ඉලක්ක සම්පූර්න කිරීමට කම්කරුවෙක් අසමත් වන අවස්ථාවක දී “දුර්වල කාර්ය දර්ශනය” තීරනය කරනු ලබන්නේ සමාගම විසිනි. දරාගත නො හැකි වැඩ කොන්දේසිවලට කෙලෙසින් හෝ විරුද්ධත්වය පෑම් හෝ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීමක් විනය කඩ කිරීමක් ලෙස අර්ථ දක්වනු ලැබිය හැකි ය.

පවතින නීතියට අනුකූල ව අතිරේක දීමනා ගෙවීමකින් තොර ව, දහවල් වැඩමුරවලට කරන ගෙවීම ම කරමින් කාන්තා කම්කරුවන් රාත්‍රී සේවාමුරවල යෙදවීම සීමා කරන නීති ඉවත් කිරීම මහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ය. දැනට මත්, හාම්පුතුන් අත්තනෝමතික ලෙස එවන් ක්‍රියාවන් සිදු කර තිබේ.

වන්දී ගෙවීම් හෝ නියමිත වැටුප් හා අතිකාල ගෙවීම්වලින් පවා තොර ව, ඇඟලුම් අංශයේ කම්කරුවන් දහස් ගනනක් දොට්ට දමනු ලැබ ඇත. වැඩ දින ද අඩු කර, වැටුප් හා බෝනස් ඇතුලු අනෙකුත් දීමනා කපා දමා තිබේ. සියයට 75ක හෝ ඊට වැඩි පැමිනීමක් සහ දෛනික ඉලක්කයෙන් අවම වසයෙන් සියයට 90ක් වත් සම්පූර්න කිරීම මත වැටුප් වර්ධක පදනම් කරනු ලැබිය යුතු යයි හාම්පුත්තු වැඩි දුරටත් ඉල්ලා සිටිති.

ව්‍යාපාරවලට සිය මනාපය පරිදි රැකියාවට ගැනීමට හා ඉන් දොට්ට දැමීමට අවසර දෙමින් ද ස්ථීර කම්කරුවන් වෙනුවට, තාවකාලික හෝ අර්ධ-කාලීන කම්කරුවන් යොදාගත හැකි වන පරිදි නීතිය සංශෝධනය කල යුතු යයි හාම්පුත්තු අවධාරනය කරති.

මහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් ඉටු කරන පරිදි කම්කරු නීතිය වෙනස් කරන්නේ නම්, රැකියා සුරක්ෂිතභාවයක් නොතිබෙනු ඇති අතර, විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය ආවරන හා වැටුප් සහිත නිවාඩු වැනි ප්‍රතිලාභ හාම්පුතුන් විසින් සම්පාදනය නො කරනු ඇත.

මේ වර්ගයේ වෙනස්කම්, ජාත්‍යන්තර පරිමාන ව ආන්ඩු විසින් පටවනු ලැබෙමින් පවතී. පසුගිය වසරේ දී, ඉන්දියාවේ දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ පාලනය කම්කරු නීති 29ක් අහෝසි කොට, මහා ව්‍යාපාරිකයන්ගේ උත්කර්ෂයට බඳුන් වුනු නව පනත් හතරක් හඳුන්වා දුන්නේ ය. රැකියා හා වැඩ කොන්දේසි මත දුරදිග යන ප්‍රහාරයක් වූ එම නීති සියලුම රාජ්‍ය හා පුද්ගලික අංශවල ම පාහේ කොන්ත්‍රාත් ශ්‍රමය යොදාගැනීමේ හැකියාව සහතික කලේ ය.

වැටුප් හා විශ්‍රාම වැටුප් කපමින් වැඩ පැය ගනන දීර්ඝ කිරීමට හා දොට්ට දැමීම්වලට අවසර දෙන නීති ක්‍රියාවට දැමීමට යුරෝපයේ ආන්ඩු ක්‍රියා කර ඇත. එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් දුම්රිය කම්කරුවන් මත ජාතික කොන්ත්‍රාත්තුවක් පැටවූ ආඥාදායක පනතකට අත්සන් කලේ, සමහර ඇමරිකානු ප්‍රාන්ත ලමා ශ්‍රමය නීතිගත කරන නීති සම්මත කර තිබියදී ය.

ශ්‍රී ලංකාවේ ඊනියා කම්කරු නීති ප්‍රතිසංස්කරන, වික්‍රමසිංහ පාලනය විසින් මුදාහරිමින් තිබෙන, දුර දිග යන ජාමූඅ කප්පාදු පිලිවෙත්වල කොටසක් ලෙස, කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට එල්ල කරන පලල් ප්‍රහාරයක කොටසකි. රජයට අයත් ව්‍යවසායයන් 430ක් පුද්ගලීකරනය කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අංශයේ රැකියා මහා පරිමානයෙන් විනාශ කිරීම, නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය කපා දැමීම, ආදායම් බදු ඉහල දැමීම හා පලල් කිරීම සහ සියලු භාන්ඩ හා සේවාවල මිල ගනන් ඉහල යවමින් වැට් බදු වැඩි කිරීම, මෙම පියවරයන්ට අයත් වේ.

නව කම්කරු නීතිය පුද්ගලික අංශයේ හා අර්ධ-රාජ්‍ය ආයතනවල මිලියන අටකට අධික කම්කරු පිරිසකට බලපානු ඇත. පුද්ගලික අංශයට නිදහස් වෙලඳ කලාප සහ කම්කරුවන් මිලියන 1.5ක් සේවයේ යෙදෙන ප්‍රාදේශීය වතු සමාගම් 21ක් ඇතුලත් වේ.

ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහි කම්කරුවන්ගේ අරගල සීමා කිරීමට හා මර්දනය කිරීමට උපස්ථම්භක වී ඇති වෘත්තීය සමිති, කම්කරු නීති ප්‍රතිසංස්කරනවලට එරෙහි ව කිසිදු උද්ඝෝෂනයක් සංවිධානය කිරීම ද ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට, නව නීති සකස් කිරීමේ දී පමනක් නො ව, ඒවා ක්‍රියාවට දැමීමේ දී ද ආන්ඩුව සමග එකට වැඩ කිරීමේ මනාපය වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත.

තමන් කම්කරු ප්‍රතිසංස්කරනයට විරුද්ධ නො වන බවත්, ඒවා කිසිසේත් ම කම්කරුවන්ට හිතකර නො වන නමුත් එම නීති “කම්කරුවන්ගේ ප්‍රතිලාභය” පිනිස විය යුතු බවත් සඳහන් කරමින්, පුද්ගලික අංශය සහ රජයට අයත් ව්‍යවසායයන් ආවරනය කරන වෘත්තීය සමිති 30ක් පමන මැයි 25දා රැස්වීමක් පැවැත්වූ හ. නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සමිතිය (නිවෙකපොසේසේස), ලංකා බැංකු සේවක සංගමය (ලංබැසේස), ලංකා වෙලඳ, කාර්මික හා පොදු කම්කරු සමිතිය සහ සියලු ටෙලිකොම් සේවක සමිතිය එම වෘත්තීය සමිති අතරට අයත් විය.

කම්කරු නීති ප්‍රතිසංස්කරනයෙහි පවත්නා කම්කරු පන්ති-විරෝධී ස්වභාවය ගැන පැහැදිලි ව ම දන්නා නිවෙකපොසේසේස ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්, යෝජිත කම්කරු නීතිය තරුන කම්කරුවන් රට හැර යාමට තුඩු දෙනු ඇතැයි බිය පල කලේ ය. ඔහුගේ එක ම යෝජනාව වූයේ, “යෝග්‍ය නීති” ගැන සාකච්ඡා කිරීම සඳහා “විශේෂඥ කමිටුවක්” ස්ථාපිත කිරීම යි.

ලංබැසේස සභාපති චන්න දිසානායක වාචාල ලෙස ප්‍රකාශ කලේ, නීතිවලට එරෙහි ව වීදි විරෝධතා සංවිධානය කල යුතු බව යි. එහෙත්, පවතින කම්කරු නීති හේතුවෙන් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ නැති බව කියන්නේ නම්, “අපි ඒ ආයෝජකයන් සමග කතා කිරීමට සූදානම් ...ඔවුන් පැහැදිලි කරන්නේ නම්, අපි එය අවබෝධ කරගෙන ඒ අනුව (කම්කරු නීති) ප්‍රතිසංස්කරනය කරනවා” යි ඔහු ඒ හුස්මට ම කීවේ ය.

තම මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කම්කරුවන් යෙදෙන ඕනෑ ම අරගලයක්, ඍජු ව ම, ලාභ පද්ධතියටත් මහා ව්‍යාපාරිකයන්ගේ හා ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කරන ධනපති රාජ්‍යයටත් මුහුන දෙයි.

කම්කරුවන්ගේ වියදමින් ධනපති ක්‍රමය පවත්වාගෙන යාමට ආන්ඩුව හා මහා ව්‍යාපාරිකයන් සමග ඒකාබද්ධ වීමේ මනාපය යලි යලිත් සනාථ කර ඇති වෘත්තීය සමිති හරහා, කම්කරු පන්තියට තම අයිතීන් ආරක්ෂා කරගත නො හැක. කාර්මික ක්‍රියා තහනම් කිරීමට යොදාගනු ලැබ ඇති විෂඝෝර අත්‍යවශ්‍ය මහජන සේවා පනතට හා හදිසි නීති රෙගුලාසිවලට විරුද්ධ ව කිසිදු උද්ඝෝෂනයක් දියත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට වෘත්තීය සමිති ක්‍රියා කර ඇත.

සෑම කම්හලක, වැඩපොලක, වත්තක හා නිවහන් ප්‍රදේශයක ම වෘත්තීය සමිතිවලින් හා සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ද ආන්ඩුවට හා එහි සමස්ත ජාමූඅ-විධානිත න්‍යාය පත්‍රයට එරෙහි ව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරමින් ද සටන තමන්ගේ ම අතට ගන්නා ලෙස සසප කම්කරුවන්ගෙන් ඉල්ලයි.

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා කරන පලල් අරගලයේ කොටසක් ලෙස, ධනපති පාලනය පෙරලා දැමීමේ සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමේ අභියෝගය, මෙමගින් කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතු කරයි. මෙම දේශපාලන අරගලය ඉදිරියට දැමීමේ මාවත වන්නේ, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන් මත පදනම් වන කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම යි.

මෙම ක්‍රියා මාර්ගය සඳහා සටන් වදින්නේ සසප පමනි. අවශ්‍ය කරන විප්ලවවාදී නායකත්වය ලෙස අපේ පක්ෂය ගොඩනැගීම පිනිස, මෙම සටන සියතට ගනිමින් ඒකාබද්ධ වන ලෙස, අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Loading