සසප සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ආරක්ෂක උද්ඝෝෂනය නැවැත්වීමට වතු කලමනාකාරිත්වය, වෘත්තීය සමිති සහ පොලිසිය උත්සාහ දරයි

[මෙය Sri Lanka: Management, union and police seek to stop SEP/Plantation Workers’ Action Committee defence campaign යන මැයෙන් 2023 ජූලි 02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඕල්ටන් වතුයායේ දඩයමට ලක් වූ කම්කරුවන් විසිදෙදෙනා සහ තරුනයින් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික) ගෙනයන උද්ඝෝෂනය නැවැත්වීමට, එහි වතු කලමනාකාරීත්වය ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ප්‍රාදේශීය නායකයින් සමග එක්ව කුමන්ත්‍රනය කරමින් සිටින බවට සසප සහ වකක්‍රික වෙත විශ්වාසදායක තොරතුරු ලැබී තිබේ.

2023 ජූනි 23 වැනි දින, සසප සාමාජිකයෙකු, දඩයමට ලක්වූ ඕල්ටන් වතු කම්කරුවන් සඳහා කොලඹ වරාය කම්කරුවන්ගේ සහයෝගය දිනාගනිමින්.

කලමනාකාරිත්වය ජූනි මස මුලදී, එහි ප්‍රාදේශීය ආවතේවකරුවන් හා වෘත්තීය සමිති නිලධාරීන් එක්ව රැස්වීමක් කැඳවූ බව සසපට දැනගන්නට ලැබී තිබේ. වතු හාම්පුතුන් පැමින සිටි අයට පැවසුවේ, වකක්‍රික/සසප වැඩ නිසා ලෝක වෙලඳපොල තුල සමාගමේ තේ අලෙවියට බාධාවන බවත් මෙය කම්කරුවන්ට නරක ලෙස බලපෑ හැකි බවත් ය. උද්ඝෝෂනය අවහිර කිරීම සඳහා වතු කලමනාකාරීත්වය සහභාගිවූවන්ගෙන් සහාය ඉල්ලා සිටියේය.

කලමනාකාරීත්වයේ මෙම මැදිහත්වීම, සසප සහ ලෝක සමාජවා දී වෙබ් අඩවියේ සහයෝගය ඇතිව මැයි 30 දා දියත් කරන ලද වකක්‍රික පෙත්සමක දැක්වූ ප්‍රතිචාරය යි. ශ්‍රී ලංකා නීතිපතිවරයා වෙත යොමු කරන ලද එය, ව්‍යාජ චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, උසාවියට මුහුන දී සිටින අය ඇතුලු, වත්ත පාලනය කරන හොරන වැවිලි සමාගම විසින් සේවයෙන් නෙරපා හරින ලද ඕල්ටන් කම්කරුවන් 34 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙසත් බල කර සිටියි.

මෑත සිදුවීම් කිහිපයක් මගින් පෙන්නුම් කෙරෙන්නේ, පෙත්සම් ව්‍යාපාරය අවහිර කිරීමට කලමනාකාරිත්වය සහ වෘත්තීය සමිති එක්ව දරන උත්සාහයට පොලිසිය සහාය දෙන බවයි.

* ජූනි 4 දා, වත්තේ බෙහෙත් ශාලාවේ සේවය කරන ෂන්මුගනාදන් හෙවත් සන්දනන් පලනියාන්ඩි, වකක්‍රික-සසප සාමාජිකයින් විසින් ජූනි 4 දින දියත් කල පෙත්සම් උද්ඝෝෂනයක් කඩාකප්පල් කිරීමට උත්සාහ කලේය. ඔහු ඕල්ටන් වතුයාය තුල ක්‍රියාත්මක පොලිස් සුපරීක්ෂාකාරී කමිටුවක සාමාජිකයෙකු ලෙස තමා හඳුන්වා දුන් අතර, පෙත්සම් ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට ඉඩ දීම සම්බන්ධයෙන් වතු කලමනාකාරිත්වය සහ පොලිසිය තමාට 'දොස් පවරා ඇති' බව කියා සිටියේය.

* ජූනි 20 දා, සීඩබ්ලිව්සී හි මස්කෙලිය ප්‍රදේශයේ නායකයෙකු වන පිච්චමුත්තු සහ සීඩබ්ලිව්සී ඕල්ටන් වතු ශාඛාවේ නායක ටී. තනරාජ්, සසප සාමාජික කේ. කාන්දීපන් ජීවත් වන ග්ලෙනුයිජ් වත්තේදී ඔහුව හමුවී, සීඩබ්ලිව්සී ක්‍රියාකාරකම් සහ අනෙකුත් වෘත්තීය සමිති විවේචනය කිරීම සම්බන්ධයෙන් හෙලා දුටුවේය.

* ජූනි 22 දා පිච්චමුත්තු, ව්‍යාජ අධිකරන ක්‍රියාමාර්ගයකට මුහුන දී සිටින එක් සේවිකාවකගේ නිවසට ගොස් වකක්‍රික කිසිදු සාකච්ඡාවකට සහභාගී නොවන ලෙස ඇයට තර්ජනය කලේය. ඊට පෙර දින සවස, සහ උසාවි නඩු විභාගයෙන් පසුව, ඇය සහ තවත් දඩයමට ලක් වූ කම්කරුවන් නව දෙනෙකු ක්‍රියාකාරී කමිටු සාකච්ඡාවකට සහභාගී වූ අතර එහි උද්ඝෝෂනය ශක්තිමත් කිරීමට එකඟ විය.

* ජූනි 25දා, ඕල්ටන් වතුයායේ පීඩබ්ලිව්ඒසී සාමාජිකයින් හමුවීමෙන් වලකින ලෙසත්, වෘත්තීය සමිති විවේචනය නොකරන ලෙසත් සීඩබ්ලිව්සීයේ වෘත්තීය සමිති ශාඛාවේ නිලධාරියෙකු වන එම්. ශාන්තකුමාර් විසින් සසප සාමාජිකයින්ට—කේ. කාන්දීපන්ට සහ එම්. දේවරාජාට—පැවසීය. ශාන්තකුමාර් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඔවුන් වත්තට පැමිනීමෙන් පසුවය.

*සන්දනන් පලනියන්දි හෙවත් ෂන්මුගනාදන් විසින් කරන ලද පැමිනිල්ලක් අනුව, ජූනි 30 වැනි දින, මස්කෙලිය පොලිසියට කාන්දීපන් කැඳවා ඇත. තමාට නින්දා කෙරෙන පෝස්ටරයක් වත්තේ ඇලවූ බවට ඔහු කාන්දීපන්ට බොරු චෝදනා කලේය. ඔහුගේ ප්‍රකාශයට පටහැනිව, කාන්දීපන් අලවා තිබුනේ “දඩයමට ලක්වූ ශ්‍රී ලාංකික වතු කම්කරුවන්ගේ ආරක්ෂාවට බාධා කිරීමට දරන උත්සාහයට විරුද්ධ වනු” යන මැයෙන් ජූනි 12 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ප්‍රකාශයකි.

පොලිස් පරීක්‍ෂනයේදී, කාන්දීපන් සහ දේවරාජා, පලනියන්දිගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔහුට අභියෝග කලහ. කාන්දීපන්ට එරෙහි තම පැමිනිල්ල වැරදි බව පිලිගත් ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමා පොලිසියෙන් ඉල්ලා නොසිටින බව පැවසීය.

සසප පසුබට නොවනු ඇත. එය මෙසේ අවධාරනය කරයි: වකක්‍රික ට සහ සමාගම විසින් දඩයම් කරන ලද මෙම සේවකයින් ආරක්ෂා කිරීම සඳහා වූ අපගේ සටනට අත නොතබනු! ඒ අතරම, අප අනෙකුත් වතුකරයේ සහ වැඩපලවල කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, කුමන්ත්‍රනකාරී අධිකරන ක්‍රියාමාර්ගය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, සියලුම කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම සඳහාත් වන අපගේ පෙත්සමට සහාය දෙන ලෙසයි.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහි බොරු චෝදනා ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් යාපනය විශ්වවිද්‍යාල සිසුහු 2023 ජූනි 23 දින පෙත්සමට අත්සන් තබති.

අපගේ උද්ඝෝෂනය අඩපන කිරීම සඳහා වතු කලමනාකාරිත්වය, වෘත්තීය සමිති සහ පොලිසිය ඒකාබද්ධව දරන උත්සාහය වනාහි, ලංකාවේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් එය දිනා ගන්නා උද්‍යෝගිමත් සහයෝගයට ඔවුන්ගේ ප්‍රතිචාරය යි. ඔන්ලයින් සහ මුද්‍රිත ආකාරයෙන් ප්‍රකාශයට පත් කරන ලද මෙම පෙත්සම, වරාය, ටෙලිකොම් සහ දුම්රිය වැනි ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයන්හි කම්කරුවන් සහ විශ්ව විද්‍යාලවල සිසුන් විසින් අත්සන් කරමින් සිටී.

2021 පෙබරවාරි 17 වැනි දින පැවති උද්ඝෝෂනයක් අතරතුර වතු කලමනාකරුට සහ සහකාර කලමනාකරුට පහර දී කලමනාකරුගේ නිවසට හානි කල බවට කලමනාකාරිත්වය අසත්‍ය ලෙස චෝදනා කිරීමෙන් පසු ඕල්ටන් වත්තේ කම්කරුවන් 22 ක් සහ තවත් තරුනයින් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. පසුව ඔවුන් දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හරින ලදී.

සීඩබ්ලිව්සීය මෙම දඩයමට සහභාගී වෙමින්, ඊට සම්බන්ධ යැයි කියනු ලබන කම්කරුවන්ගේ නම් පොලිසියට සපයා ඇත. වතුයායේ අනෙකුත් වෘත්තීය සමිති දෙක වන ජාතික කම්කරු සංගමය හෝ උඩරට ජනතා පෙරමුන මෙම නින්දිත දඩයමට එරෙහිව ඇඟිල්ලක් හෝ ඔසවා නැත.

පෙබරවාරි 17 විරෝධතාව, ඊට සති දෙකකට පෙර පෙබරවාරි 2 දා ආරම්භ කල ඕල්ටන් වතු කම්කරුවන් 500 ක් පමන අලලාගත් වැඩ නැවැත්වීමේ කොටසකි. ඔවුන් ඉල්ලා සිටියේ රුපියල් 1,000 ක දෛනික වැටුපකි. පෙබරවාරි 5 දා ඔවුන් එම ඉල්ලීම මත දසදහස් සංඛ්‍යාත වතු කම්කරුවන් සම්බන්ධ කරගනිමින් සීඩබ්ලිව්සී විසින් කැඳවා තිබූ ජාතික වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ විය.

වර්ජිත කම්කරුවන්ට දඬුවම් කිරීමට අධිෂ්ඨාන කර ගත් හොරන වැවිලි සමාගම, 2021 අප්‍රේල් 21 වැනි දින කම්කරුවන් 34 දෙනකු, චෝදනා සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂනයකින් තොරව සේවයෙන් පහ කරන ලදී.

මෙම සේවයෙන් පහකිරීමෙන් පසු අත්අඩංගුවට ගත් 24 දෙනාට එරෙහිව පොලිසිය හැටන් මහේස්ත‍්‍රාත් අධිකරනයේ නඩු පවරන ලදී. මෙම නඩුව දිගින් දිගටම කල් දමමින් වසර තුනක් ගතවී ඇතත් තවමත් විභාගයට ගෙන නොමැත. අවසන් වරට ජුනි 21 ට ලැයිස්තුගත කර තිබූ මුත්, එය නැවත සැප්තැම්බර් 20 දක්වා කල් තබන ලදී.

ඊට ප්‍රතිචාර වශයෙන්, සසප උද්ඝෝෂනය මෙම දඩයමට ලක්වූ කම්කරුවන් ආරක්ෂා කිරීමේ සිය ව්‍යාපාරය තීව්‍ර කර ඇත. මෙම ප්‍රහාරයේ දේශපාලන අර්ථයත්, ආන්ඩුවට සහ සමාගම්වලට කාර්මික පොලිසියක් ලෙස සේවය කරන වෘත්තීය සමිතිවල නීච භූමිකාවත් පැහැදිලි කරමින් පක්ෂ ප්‍රකාශ කිහිපයක් සහ බොහෝ ලිපි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවී ඇත.

වතු සමාගම් සහ වෘත්තීය සමිති, වතු කම්කරුවන්ගේ පුලුල් ස්ථරයන්ගෙන් වකක්‍රික සහ සසප විසින් දිනා ගන්නා ලද සහයෝගය පිලිබඳව ඉමහත්ව කලබල වී ඇත.

වතු සමාගම් විසින් ඉල්ලා සිටින වැඩිවන වැඩ බරට විරුද්ධ වන සසප, යහපත් වැටුප් හා වැඩි දියුනු කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමයක්, නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් සඳහා සටනක නිරතව සිටී. 2021 අරගලයේ දී මෙම සමාගම් විසින් මර්දනය කරන ලද සහ කම්කරුවන් දුසිම් ගනනක් නෙරපා දැමූ වැලිඔය සහ කටුකැලේ වතු කම්කරුවන් ද වකක්‍රික ආරක්ෂා කරයි.

ඕල්ටන් වතු කම්කරුවන්ට එරෙහිව උග්‍රවන දඩයම, ශ්‍රී ලංකාවේ සියලුම කම්කරුවන්ට අනතුරු ඇඟවීමක් වන අතර ඔවුන්ගේ වැටුප්, ජීවන කොන්දේසි, රැකියා සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ආන්ඩුව සහ මහා ව්‍යාපාරිකයන් විසින් එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරවල කොටසකි.

2023 ජූනි 23 වැනි දින වින්දිත ඕල්ටන් වතු කම්කරුවන්ට සහය දක්වන ලෙස, හැටන් නගරයේ තරුන වතුකර පදිංචිකරුවන් පෙත්සමක් අත්සන් කරති..

වතු සමාගම්, වික්‍රමසිංහ ආන්ඩුව සහ වෘත්තීය සමිති, පසුගිය වසරේ අප්‍රේල් සහ ජූලි මාසවලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බිඳ දැමූ මහජන ව්‍යාපාරයට වතු කම්කරුවන් ද සම්බන්ධ වූ බව හොඳින් ම දනී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉල්ලා සිටින පරිදි, වතු සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරනයට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව වැඩෙන විරෝධයට සමගාමීව මෙම වැඩෙන රැඩිකලීකරනය ඉහලයනු ඇති බව ද ඔවුහු දනිති. ශ්‍රී ලංකාවේ වතු 99 අවුරුදු බදු ක්‍රමය යටතේ මහා ව්‍යාපාරිකයන් විසින් අල්ලාගෙන සිටින අතර, ආන්ඩුව වතු විකිනීමට උත්සාහ කරන බව පෙනේ.

ඇතැම් වතුවල ප්‍රචන්ඩ ක්‍රියා නවතා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කල බව ජුනි 20 දා ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කලේය. වැරදිකරුවන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

වතු කම්කරුවන් දඩයම් කිරීම, අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ද එවැනිම මර්දනයන්ට සමගාමී වේ. පෞද්ගලීකරනයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන් මාර්තු මාසයේ දියත් කල වර්ජනයට පලිගැනීමක් ලෙස වෘත්තීය සමිති නායකයින් 20 දෙනෙකු සහ එහි ක්‍රියාකාරීන්ගේ වැඩ තහනම් කර ඇත. ශ්‍රී ලංකා රක්‍ෂන සංස්ථා සේවකයන්ගේ පෞද්ගලීකරන විරෝධී වැඩ වර්ජන හා විරෝධතාවලට ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ, සේවකයන් පනස් දෙනෙකුට අනතුරු ඇඟවීමේ ලිපි නිකුත් කිරීමෙන් සහ වෘත්තීය සමිති නිලධාරීන් දෙදෙනෙකුට බලහත්කාර ස්ථාන මාරුවීම් පැනවීමෙනි.

වකක්‍රික/සසප, සියලුම දඩයම් කරන ලද කම්කරුවන් වෙනුවෙන් සහ වික්‍රමසිංහ ආන්ඩුවේ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සිය ආරක්ෂක උදඝෝෂනය තීව්‍ර කරනු ඇත. ජාමූඅ විසින් නියම කරන ලද ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා හාම්පුතුන්ගේ ප‍්‍රහාරවලට එරෙහිව තම රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට, වෘත්තීය සමිති වලින් ස්වාධීනව, තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස සසප, වතුකරයේ සහ අනෙකුත් සෑම අංශයකම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සසප ඉදිරිදර්ශනය පදනම් වී ඇත්තේ, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත ය.

Loading